Saturday, October 30, 2021

276: උන්මාද චිත්‍රාදෝ මා 10


 "මමා  නැති උනේ මීට අවුරුදු තුනකට කලින්, අද වගේ දවසක බබා..."

අනුජගේ වේදනාබර  මුහුණ නිර්මලී බලා සිටියේ අනුකම්පාවෙන් නොවේ. එහි තිබුනේ නොසෙල්වෙන ප්‍රේමයයි.

".... එයා කවදාවත් මට කිසි දේකට බල කරපු කෙනෙක් නෙවෙයි. එයා මම කරපු එකම එක දෙයක් ඇරෙන්න, වෙන කිසිම දෙයක් එපා කියලත් නැහැ...."

අනුජ නිර්මලිගේ දෙකොපුල් වලින් අල්ලා මුහුණ තමන්වෙත හරවා ගත්තේය. අනුජගේ ක්‍රමයට පුරුදු නිර්මලී ඒ වදන් වල සැම ඉස්පිල්ලක් රේපයක්ම සැලකිල්ලෙන් අසා සිටියාය. 

'මොකක්ද ඒ එකම දේ?'

ඒ ඇස් වල තිබුණු ප්‍රේමය මෙතෙකැයි කියා කිව නොහැකි තරමකි. නිර්මලිගේ සිත පිරී උතුරා යන වැව් බැම්මක් සේ හෝ හඬ නගනවා දැනුනි. ඇයට හැඩුනේ නැත, එක එල්ලේ ඒ ඇස්දෙස බලා සිටියා පමණි.

".. ඔයාව මෙතනට එක්කගෙන එන්න ඕනේ කළා... මෙහෙම ඔයාව මට තුරුල් කරගෙන, මමා ඉස්සරහම කියලා පොරොන්දු වෙන්න මට ඕනේ කළා...  ඔයාගේ ජිවිතේ තියෙනකල්  බලාගන්නවා, ආදරේ කරනවා කියල.. තේරුනාද? අද මේ ගමන ආවේ ඒකට. මේකෙන් පස්සේ මම මැරුණත් , මගේ ආදරේ ඔයාව ජිවත් කරයි. හරියට මමා මට ඉන්නවා වගේ "

"...අනේ....... මැරෙන කතා කියන්න එපා..."

අනුජ සෙමෙන් ඇගේ වම'ත ගෙන සිය ලයට තෙරපාගෙන, වඩා උණුසුම් ලෙස හිස මුදුනද, නළලද සිපගත්තේය. අනතුරුව සිය සාක්කුවෙන් ගත් සිහින් රන් කර මාලය ඇගේ ගෙලෙහි පළඳා , හදවත් හැඩති මාල පෙත්ත සකස් කළේය. 

"නෑ ඇත්තටම... මැරුනොත් මම පෙරේතයෙක් වෙලා හරි ඔයා පස්සෙන් එයි... "

අනුජ දඟකාර සිනාවක් පා නිර්මලිගේ කොණ්ඩය අවුල් කළේය. 

"අනේ.... මොනාද මේ කියන්නේ....?"

"එන්න අපි කැන්ඩ්ල්ස් පත්තු කරමු"

සුදුපාට රෝසමල් පොකුර ඉදිරියෙන් දෙදෙනාම ඉටිපන්දම් පත්තු කල අතර, ඒ එළියෙන් සිය පෙම්වතිය දෙස බැලු අනුජ තනිවම කල්පනා කලේ තවත් කීමට ඇති දේ කියන්නේ කෙලෙසද කියාය.

දෙදෙනාම පල්ලියේ කනත්තෙන් එළියට පැමිණ නැවත වාහනයට යනතෙක්ම එකිනෙකාට තුරුළු වී සිටියහ. අනුජගේ සිත තවමත් නොසන්සුන්ය.

"අයියාගේ අම්මා ගැන මට පොඩිනා විස්තර කියනවා... ගොඩක් කරුණාවන්ත කෙනෙක් කියලා... අයියා ඔච්චර හොඳත් ඒ හින්දා වෙන්න ඇති"

අනුජ සර්වාංගයම පිලිස්සී ගියාක් මෙන් දැනුනි. ඔහුගේ දෑත සුක්කානමේ තදකොට රැඳුනේ වෙව්ලමිනි.

'අනේ මේ කෙල්ල මම ගැන මොනාද දන්නේ?'

යාන්තම් දහ අටවැනි වියට පා තැබුවාට, ඈගේ ලෝකය කෙතරම් කුඩාද? එය සුනුවිසුනු කරන්නට තමන්ට නොහැකිය. කිසිදු ලෝබකමක්, සැඟවීමක් නොමැති ඒ ආදරය තුල ඈ රවටන්නට තමන්ට නොහැකිය. මේ ගිනි ගොඩට ඈ ඇද දමන්නේ සිතාමතාමද?

'මමා.... මට උදව් කරන්න ප්ලීස්.... මට නිර්මලී නැතිකරන්න එපා මමා.. ඔයා කියපු දේ ඇහුවේ නැතුවට.... මට ලැබුණු දඬුවම ඇති දෙවියනේ.. නිර්මලීව නම් ඈත් කරන්න එපා මමා '

ඒ සමඟම අනුජ සිය සැලසුම වෙනස් කළේය. ඇගේ උසස්පෙළ නිමවන දිනය දක්වා කල්තැබූ එය , අනුජගේ සිත තුල බරැති යකඩ ගුලියක් සේ නිධන්ගතව ගියේ ඒ මොහොතේය. තමන් දුන් මාලයේ මාල පෙත්ත අතගාමින් නිර්මලී සිය නෙලුම් පොහොට්ටු හැඩති දෑස දල්වා බලා සිටිනු අනුජ දුටුවේ ඒ මොහොතේය.

නිර්මලිගේ දෑස අනුජගේ වෙනස්වූ වත පුරා ගියේ සැළකිල්ලෙනි. අනතුරුව නිර්මලී අනුජගේ ටැටූ අතේ ඉහල කොටසට හාදුවක් දී සිය කම්මුල එහි තබා තද කළාය.

"ආදරෙයි මම... දෙවියෙක් වගේ ඔයා... ඇත්තටම මම එහෙම වටිනා කෙනෙක් නෙවෙයිනේ. මට තාම හීනයක් වගේ මේ හැම දෙයක්ම.. "

"මටත්... සමහර වෙලාවට හිතාගන්න බැහැ  මෙච්චරම ආදරේ මොකද කියලාවත්... ලස්සන නිසා නෙවෙයි බබා.... ඔයා හෙට මුළු ඇඟම පිච්චිලා හිටියත්, මම මේ විදියටම ආදරේ කරයි... මේවා නිකන්ම වචන වගේ තේරෙයි, ඒත් මම එහෙම කෙනෙක් නෙවෙයි"

"මම ඒක දන්නවා.."

සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත් අනුජගේ ඒ වෙනස තේරුම් ගන්නට තරම් තරුණිය පරිනතව සිටියාය. අනුජ නොකියන කුමක් හෝ යමක් තිබෙන බව වැටහුනද, අනුජ හොඳින් තේරුම්ගත් ඈ ඔහුට අවශ්‍ය කාලය ලබාදෙන්නට තීරණය කොට තිබිණ. 

අනුජ වාහනය පනගන්වා නැවත මාර්ගයට දමද්දී ඔහුගේ ටැටූ වම් අත සිය තනි අයිතියට ගෙන, නිර්මලී සිටියේ බර කල්පනාවකය. ඇගේ සිත නොයෙකුත් ලෙසින් ඇයට චෝදනා කරමිනි. මෙවන් පෙම්වතෙක්, මෙවන් රැකවලෙක් හමුවේ තමන් කෙතරම් නොසැලකිලිමත්  ;  අකාරුණික තරුණියක් දැයි ඇගේ සිත ඇයට චෝදනා කරමිනි. 

තමන්ගේ මියගිය මවගේ සොහොන ඉදිරියේ ප්‍රතිඥාවක් ලබාදුන් තරුණයෙක්??

ඇගේ කල්පනාවට ඉඩ හරිමින් අනුජ වාහනයේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කර නිශ්ශබ්දව උන්නේ ඔහුගේ සිතද ඒ මේ අත යමින් තිබුන බැවිනි. සිතේ බර තවමත් නිදහස් වුයේ නැත.

"අයියා...."

ආපසු එන අතරමග බේස් ලයින් පාරට අවතීර්ණ වූ පසුව ඇතිවූ නිහඬතාවය බිඳිමින් නිර්මලී හඬ අවදි කළාය. ඒ ස්වරයේ ඇති වෙනස හඳුනන්නට අනුජට හැකිය.

"හ්ම්ම්ම්ම්?"

"අයියාගෙන් බඩ්ඩක් අහන්න. තරහා නොගෙන උත්තර දෙනවද?"

නිර්මලී මේ පඳුරු තලන්නේ නම් යහපත් කාරනාවක් සඳහා නොවේ. ඔහු පිළිතුරු දුන්නේ සෑහෙන ප්‍රමාදයකිනි.

"හ්ම්ම්ම්..."

"මේ.... ඇයි කවදාවත් මගෙන් ඇහුවේ නැත්තේ... මම ෆෝන් එක දුන්නේ කාටද කියලා"

අනුජගේ පපුව කොටසක් අප්‍රාණිකව ගියාක් මෙන් දැනුනද, අපහසුවෙන් නගාගත් සිනාව සමඟ ඉදිරිය බලාගෙනම සිටියේය. තවත් විනාඩි ගණනාවක් පිළිතුර ප්‍රමාදය.

"ඒක ලොකු දෙයක් නෙවෙයි"

නිර්මලී අනුජගේ වමත දෝතින්ම ගෙන සිය කොපුලකට තදකොට ගත්තාය.

"මම මහා එපාකරපු කෙල්ලෙක් දෙවියනේ.... මම ඒක දුන්නේ....."

"ඒ මිනිහා ගැන හිතේ තාමත් තියෙනවද?"

ඒ වචන පැමිණියේ දුන්නෙන් විද්දාක් මෙන් ක්ෂනයෙනි. නිර්මලී හුස්මක් අල්ලා ගත්තාය.

"අනේ නෑ ...... අබමල් රේණුවක වත් නෑ. "

"එහෙනම් එච්චරයි... අමතක කරන්න"

අනුජ ඉවත බලාගෙනම කියා දැමුවද ඔහුගේ සිත රිදුනු බව නිර්මලී  දැන උන්නාය. වාහනයේ වේගය වැඩිවූයේ ඊට සාපේක්ෂවය. එය කෙලින්ම නිවසට යන පාර මගහැර හැරුනේ විහාරමහා දේවි උද්‍යානය දෙසටය.

'ඇයි මට මෙහෙම ආදරේ....? මෙච්චර වැරදි කරපු මට? '

"මට ඔයා එක්ක ඒ ගැන කියලා හිත නිදහස් කරගන්න ඕනේ...."

නිර්මලී හැඩෙන්නට එන ආවේගය වළක්වාගෙන පැවසුවේ සිතට දිරිය ගනිමිනි. අනුජ රථයේ වේගය අඩුකොට මාවතේ අයිනකට කොට නතර කළේය. ඔහුගේ නෙත තිබුනේ ඈතඉමකය.

"බබා... ඔයා ඒක කරන්න ඕනේ නැහැ..."

"නැහැ.. මම ඒක කරන්න ඕනේ... අවුරුදු ගානක් ගියත්, මට මටම සමාවක් දෙන්න බැහැ ඒ වෙච්ච දේට. මම ඒ කරපු දේට , ගහනවා තියා ඔයා වචනයක්වත් කිව්වේ නැහැ මට. මට ඒක දරාගෙන ඉන්න බෑ... මට හිත නිදහස් කරගන්න ඕනේ..."

"..................."

"මම එදා ගෙදරින් පැනලා යන්න හැදුවේ... ම.. ම කෝල් කරලා මගේ... ගමේ..... හිටපු.... මගෙත් එක්ක.. යා... ලු වෙලා.... හි.. ට.. පු..... දිලීපට එන්න කිව්වා..."

අනුජ එකවරම  මිට මොලවා සුක්කානමට පහරවල් දෙකක් දී, දොර විවර කොට නැවත 'දඩාස්' හඬින්  වසා දැමුවේය. දත්මිටි කමින් අසුනේ හිස් තබන කොටසට තදවූ ඔහුගේ හිස සහ තදින් පියවුණු දෑස නිර්මලී මොහොතක් වික්ෂිප්ත කළේය. තත්පර දෙකක් තුනක් පමණ ගතවුවද,  නිර්මලී කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව ගල් ගැසුණාය. බිය නිසාම ඈට කරන්නේ කුමක්ද කියා එකවරම සිතුනේ නැත.

".... මම මහා......"

නිර්මලිගේ වචන සිරවුයේ අනුජගේ එක බැල්මෙනි. තියුණු සිහින් දෑස කෙලින්ම ඈ වෙත එල්ලකළ ස්නයිෆර් තුවක්කුවක් මෙනි.

"මට දැනගන්න ඕනේ නැහැ !"

ඔහු නිර්මලිගේ හිස මත සිය දකුණත තබා ඇගේ දෑස දෙස බලාගෙනම සිටියේ රතුවූ දෙනෙතිනි.

".... මම ඔය කියන මිනිහාව හොයාගත්තා. ඌ ඔයා ගැන කියපු දේවල් මට වැඩක් නැහැ. මම ඒවා හිතන්නෙත් නැහැ..... "

පාත් වූ හෙනය ගැන නිර්මලිට කිසිදු හැඟීමක් නොවීය. දිලීප හොයාගත්තා? මම ගැන කිව්වා? මොනවද? ඒ කිසිවක්ම නිර්මලී ඇසූ ප්‍රශ්න නොවේ. ඈ බලාගෙන සිටියේ ගල්ගැසී මෙනි.

"...මගෙත් එක්ක ඉන්න හැමදාම. මාව දාලා යන්න එපා... එච්චරයි! හ්ම්ම්?"

අනුජ සිය වේදනාත්මක දෑස සිහින් කරමින් පවසා ඇගේ කම්මුලක් සිය ඇඟිල්ලෙන් අතගෑවේ ප්‍රේමයෙනි.

"... ඒ හැම දෙයක්ම අමතක කරන්න... එග්සෑම් එකට තව ටික දවසනෙ.. ඔයා එකපාරින්ම කැම්පස් යන්න ඕනේ... සිමා ක්ලාස් එකක් මම බලල තියෙන්නේ. ඒකට ඔයා එන්රෝල් වෙන්න ඕනේ..."

කම්මුල මත තිබුණු අනුජගේ අත සිය දෝතට ගත් නිර්මලී හැඬුවේ නැත.

"ඔයා දෙවියෙක් වගේ කෙනෙක්.... සත්තමයි... කවදා මම මේ ණය ගෙවන්නද?"

"මතක තියාගන්න... ඔයා කවදාවත් මට ණය නැහැ. හ්ම්ම්? ඔයා මගේ කියලා දැනුන දවසේ ඒ ඔක්කොම ගෙවලා ඉවර උනා බබා...   තව එක පොරොන්දුවක්..?"

"ඕනෙම දෙයක්....ඉල්ලන්න මගෙන් "

"ඔයා ශක්තිමත් කෙල්ලෙක් වෙන්න ඕනේ... මොන ප්‍රශ්න ආවත් ඒ හැමදේකටම සැලෙන්නේ නැතුව මුහුණ දෙන කෙනෙක් වෙන්න ඕනේ... 

මම දන්නවා ඔයාට ඒක පුළුවන්! ඔයාට මුණදෙන්න වෙච්ච දේවල් එක්ක බැලුවම , ජිවිතේ තව ඉස්සරහට එන දේවල් වලට හිත ශක්තිමත් කරගන්න. හ්ම්ම්ම් තේරුනාද? 

හැම වෙලේම ටැප් එක අරින්නේ නැතුව, සිහියෙන් ඉන්න ඕනේ... ඔයා මගේ වයිෆ්... ඒක හොඳට මතකේ තියාගන්න"

නිර්මලිගේ දෑස දිලිසුනේ තරු දෙකක් ලෙසටය. ඇයට දැනුනේ කුමක් හෝ බලවේගයක් විසින් තමන්ට කුමක්දෝ බලයක් ලබාදෙනවාක් මෙනි.

"... මම දන්නවා... මම ඔයාට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්නේ... ඒ උනාට නිර්මලී.... මම කියනදේ හොඳට අහගන්න. හිමාල්, දුලීකා කියන්නේ ඔයාගේ අයියයි අක්කයි කියලා හිතාගන්න. මට ටික දවසක් දෙන්න පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඔයා සමහර දේවල් ගැන මගෙන් දැන්ම ප්‍රශ්න කරන්න එපා... ඔයාට මාව කවදාවත් නැතිවෙන්නේ නැහැ නිර්මලී.. මම දන්නවා, සමහර වෙලාවට මම ඔයාගෙන් ඈත්වෙලා ඉන්නේ ඔයාගෙම හොඳට.. තේරුනාද? "

නිර්මලී සිටියේ පාවෙන තැනකය, නමුත් හොඳ සිහියෙනි. අනුජගේ ස්ථිරසාර ඇස්වල ඇති ගැඹුරු පණිවිඩය සිය රුධිරය හරහා ගමන්කොට සියලු ඉන්ද්‍රියන් එකටම ජාලයක් ලෙස බැඳ දැමුවාක් මෙන් ඈට දැනුනි.

ඉන්පසු ඔහුගේ ඒ සුපුරුදු හිස මුදුනත හාදුවයි.


--------------------------------------------

සිය මවගේ සොහොනට ගිය දිනයේ සිට නිර්මලී වෙනස්ම චරිතයක්ව සිටින බව අනුජට පැහැදිලිවම පෙනෙන්නට තිබිණ. ඇය වෙනදාට වඩා යුහුසුළුව සහ ස්වාධීනව ඇගේ සියලු අධ්‍යාපන කටයුතු වලට යොමුවී සිටියාය. අනුජ ඒ අතරතුර රුපලාවන්‍ය ජාලය , නව මුහුණුවරකින් විවෘත කල අතර, එය තරමක සෙමෙන් ප්‍රසිද්ධිය නැවත ලබාගනිමින් තිබිණ.

මේ කුඩා තරුණිය ඇයට නියමිත රළු බොරළු පාරට අවතීර්ණ වන්නට පෙර සුදානම් කරන්නට තමන් තැබූ පළමු පියවර සාර්ථක බව දැනී ඔහු සතුටු විය. ඇය වයසින් කුඩා වුවද, තමන්ගේ ජිවිතයේ ඇති අභියෝග වලට ඔරොත්තුදෙන චරිතයක් බව මොනවට පෙන්වන්නීය. 

එදින උදෑසන නිර්මලිගේ දහ නමවන උපන්දිනය සැමරුවේ , ඔවුන් දෙදෙනා පමණක් කිරිබත් කමිනි. එය ඔවුන් දෙදෙනා විසින්ම කැමතිම විධියයි.

ඉන්පසුව අනුජ මුළු දවසම සිටියේ ව්‍යාපාර වැඩ වලට එහෙ මෙහෙ දුවමින් වූ අතර නිර්මලී සිටියේ සිය අවසන් උපකාරක පන්ති වල සිරවෙමින් නිසා එකිනෙකා නැවත දකින්නේ රාත්‍රී ආහාරය සඳහා පැමිණි මොහොතේය.

තරුණ යුවලගේ විකාර ඉවසන පොඩිනා හිතාමතාම ඔවුන්ට නිදහස දී, කෑම අස්කරන්නට පමණක් මතුවීම දැන් පුරුදු චර්යාවක් වී හමාරය. රෑ කෑමෙන් පසුව අනුජ ඉහල මාලයේ රුපවාහිනි නරඹන කොටසට ගියේ සිය පියාගෙන් ලද දුරකථන ඇමතුමකට සම්බන්ධ වෙමිනි. 

දහවල් කාලයේ අනුජගේ ලෝකය තුලට එල්ලවූ බෝම්බ ප්‍රහාරයක් නිසාත් එතැන් සිට සිය පියා සමඟ ඇතිවූ බහින්බස්වීම නිසාත් තරමක් නොසන්සුන්වී සිටි නිසා, ඇමතුම නිමවී අනුජ චිත්‍රපටයක් නරඹන්නට පටන් ගත්තේය. ඔහු සිටියේ බිඳුණු, වේදනාත්මක බව සඟවාගෙනය.

නින්දක් අහලකවත් නොතිබනු  බැවින් කිචි කිචි ගගා සිනාසෙමින් ලෝරා තුරුල් කරගෙන කාමරයටත්, සාලයටත් දෙතුන් ගමනක් ගිය නිර්මලී දෙස රූපවාහිනියේ netflix චිත්‍රපටය බලමින් සිටි අනුජ බැලුවේ වරක් දෙවරක් නොවේ.

"නිදාගන්න යන්නේ නැද්ද? පව් බලන්න ලෝරා නිදිකිරා වැටෙනවා"

ලෝරා මෑතක සිට නිර්මලී සමඟ බැඳුනේ හිතාගත නොහැකි වේගයෙනි. කොටින්ම නිර්මලිට ලොරාගේ කුඩා ඇඳ පවා තම කාමරයට ගන්නට සිදුවුයේ, නිර්මලී ඈ තුරුල්කර නිදා සිටිනවා තමන් දුටුව බව කේලමක් ලෙස අනුජගේ කනට ගිය මොහොතේය. 

"නිදිමත නැහැ මට... ලෝරා බබා.. එහෙනම් ඔයා නිදාගන්නකො"

එසේ කියමින් නිර්මලී ලෝරා ඇගේ රවුම් ඇඳෙහි තැබුවාය. තද නිදිමත නිසා ලෝරා එලෙසම නින්දට වැටුණි.

නිර්මලී හොරගල් අහුලන බව අනුජ සිටියේ නොදැනුන ගානටය.

"නිදාගන්න නේද කිව්වේ... බොරුවට නිදිමරන්නේ ඇයි ? පාඩම් කරන්න කිව්වොත් තමයි මෙතන කෙල පෙරාගෙන නිදි!"

අනුජ ඔරවන්නේ බොරුවට බව නිර්මලී දනී. තමන් කැරකෙන්නේ ඇයිදැයි ඔහුට ඉව වැටුන බවද එලෙසම ඈ දන්නා වුවත් හොර මුහුණ සහ සිනාව වලක්වාගත නොහැකිය.

"අන්නේ ..... ඉතින් බර්ත්ඩේ ගර්ල් නේ... බනින්නේ නැතුව ඉන්නකෝ... මටත් ෆිල්ම් එක බලන්න ඕනේ"

"දැන් වෙලාව  දහයයි... ෆිල්ම් බලන්න නෙවෙයි නිදාගන්න... "

"එතකොට ඔයා බලන්නේ?"

අනුජ යටිතොල විකාගෙන ඔරවා සිටියේය.

"මේක ඔයා බලන ජාතියේ එකක් නෙවෙයි... සති දෙකයි නේද එග්සෑම් එකට ආ?? යන්න නිදාගන්න"

"අනේ ඉතින්.. බර්ත්ඩේ එක හින්දවත්? අද දවසම ක්ලාස් වල ඉඳල මහන්සියි අයියෝ... පව්නේ මම...."

මේ එන්නේ මොකාටද කියා අනුජ නොදන්නවා නොවේ. බලමින් සිටි චිත්‍රපටය ඔහු වෙනස් කර ඩිස්කවරි ට්‍රැවල් නාලිකාව දැම්මේ, දෙදෙනාම එයට කැමති නිසාය. 

ඒ අවසරයෙන් හොර පුසියක සේ නිර්මලී , දිගැති සෝෆාවේ කකුල් දිගුකොට වැතිරී මෙන් සිටි අනුජගේ පසෙකින් වූ සැප ඉඩෙහි හිඳගෙන ඔහුගේ පපුවට හේත්තු වුවාය. අනුජ සිය වමතින් දුරස්ථ පාලකය තබාගෙන, දකුණත ඇගේ ගෙල සහ උරහිස් හරහා යවමින් තමන්ට හේත්තු කරගත්තේය. 

මෙය ඔවුන්ගේ සාමිච්චි ඉරියව්වයි. ඉබේම ඔහුට හෙළුන සුසුමේ බර නිර්මලී  ක්ෂණයෙන් හැඳින්නාය.

"දඟලන්නේ නෑ.. දානවා මම බිමට එහෙම උනොත්! දන්නවනේ?"

 "අනේ හරි නපුරුයි ඔයා..."

"නපුරුයි තමයි... බින්කුන්ඩෙක් වගේ හාරනවානේ. "

"අන්නේ....."

අනුජ කියන්නේ බොරු බව ඈ දනී. ඔහුට තුරුල්වී ඉන්නට ලැබෙන්නේ මෙවන් දිනයක පමණය. එබැවින් ඔහු මොනතරම් සරදම් කලත් නිර්මලී නොවේ අතහරින්නේ.

"කොයි වෙලේ බැලුවත් අනේ පනේ තමයි... දැන් එග්සෑම් එකට ලෑස්තිද මගේ පණ්ඩිත ආච්චි?"

"හ්ම්ම්... ගොඩක් නෙවෙයි... සෑහෙන්න.... පුළුවන් උපරිමේ කරනවා අයියා"

නිර්මලිගේ ඒ වචන අනුජ විශ්වාස කරයි. සෑහෙන වෙලාවකින් පසුව ඔහුගේ මුහුනේ ඇඳුනේ අපූරු සිනාවකි.

"නේහා එහෙම කෝල් කලාද අද?"

"හ්ම්ම්.... ඔව්.. ප්‍රමිලාත් කතාකලා... නේහාත් සිමා කරනවා කිව්වා... එයා කැම්පස් යන්නේ නැතිලු. මමත් එයාත් එක්කම ක්ලාස් යන්නද අයියා?"

චැනලයේ යන සුන්දර වෙරළතීරය දෙස බලාගෙන නිර්මලී දෑතින්ම අනුජගේ සිය ගෙලවටා එතුණු අත  ටැටූ එක පහුරු ගාන්නට වුවාය.

"ඔන්න පටන් ගත්තා හාරන්න..."

නිර්මලී කිචි කිචි ගගා සිනාසෙයි. 

".. මට ලාදුරු කියලද හිතාගෙන ඉන්නේ ගෑනු ළමයා? ආ?"

නිර්මලී සිය හිස හරවා අනුජ දෙස බලා, නැවත රුපවාහිනිය දෙස බැලුවේ ඔරවාගෙනය. 

"එහෙමත් හිතුන වෙලාවල් නැතුවම නෙවෙයි"

එතරම් සැර පිළිතුරක් අපේක්ෂා නොකළ අනුජ උඩගොස් බිමට පතිත විය. ඔහු ගෙලවටා තිබුණු ඔහුගේ අත බුරුල් කොට මදක් කල් මැරුවේය.

"බබා.....!"

"මම බබෙක් නෙවෙයි"

දෙදෙනා සිටි ඉරියව්ව නිසා මුහුණ නොපෙනෙන බැවින්, හඬේ ඇති අමනාපයට  ඇගේ කට උල් වී ඇතැයි අනුජ අනුමාන කල නිසාම සිනාවක් නැගුනේ ඉබේටමය. 

සිතුවිලි සමනය වන්නට, අනුජ ඈ සිය ලයට තෙරපාගෙන හිස සිම්බේය. නමුත් එයින් සිදුවුයේ ඇගේ සුවඳ විසින් තවත් ඔහු අවුල්කොට දැමීමයි. දහවල් දවස් තිස්සේ සිත රිදවූ කාරණයන් නිසා අනුජ සිටියේ පුරුකක් දුර්වල දම්වැලක මෙන් අවිනිශ්චිතවය. ඔහුගේ ඒ සිතුවිලි දකින්නට තරමට මෝරා සිටි නිර්මලී ඔහුගේ ඒ වෙනස හඳුනාගෙන සිටියාය.

"... අයියා.. ඔයා ඉන්නේ දුකෙන් නේද? මම බබෙක් නෙවෙයි ඒක නොතේරෙන්න තරම්..."

නිර්මලී හිස හරවා අනුජගේ මුහුණ දෙස බැලුවේ සෘජුවමය. තමන්ගේ සියලු කැළඹීම් සියල්ලම ඈ සමනය කරන අපුරුව!

ඇගේ ඒ මොන්ටිසෝරි හාදුව අනුජගේ වම් කොපුල මත වදිද්දී, අනුජ ඇගේ මුහුණ දෝතින් ගෙන මුහුණ පුරාම සිය නෙත් ගෙනගියේය.

".. මට කියන්න..."

නිර්මලිගේ ඉතිරි වදන් අනුජ සිය දෙතොලෙන් සොරාගත්තේය. කිසි දිනෙක නොමැති ආවේගයකින් ඔහුගේ දෑත් නිර්මලිගේ කමිසය තුලින් රිංගා ගියේ මොහොතිනි. යොවුන් , නොඉඳුල් තරුණියගේ මෘදු හැඟුම් වලින් මත්වූ අනුජගේ සිත මෙතෙක් ඇඳි සීමාවන් සිහි කැදෙව්වේ නැත. ඔහු විසින් දිගුකල ඒ ගෘන්ගාරාත්මක ප්‍රේමය දෝතින්ම බදාගෙන නිර්මලී ලතාවක් සේ අනුගතව ගියා මිස , වදනකින් වත් පසුබැසීමක් ඈ තුල නොවීය.

"අනේ මැණික මම රිද්දුවේ නැහැ නේද? කෝ... මගේ දිහා බලන්න... අඬනවද ? අනේ සොරි පැටියා"

අධිවේගී මගක ගමනක් අවසානයේ ලත් ඉසිඹුවක සිහිය ආ සැනින් නිර්මලිගේ මුහුණට ඉහලින් එබෙමින් අනුජ ඇසුවේ ඇගේ නළලත තදින් සිපගනිමිනි. 

කුමක්දෝ සැහැල්ලු පියාපතක් මත සිටිනවාක් මෙන් සිත කුල්මත්වී , සිත තුල වූ වේදනාව පාවී ගොසිනි. නිර්මලී හිසින් 'නැහැ' කීවද දෑස නම් විවර කලේ නැත.

"... පව් ඔයා... ආදරෙයිද මට? තරහද?  කෝ මගේ දිහා බලන්න..."

"..තරහ නැහැ... බෑ බෑ බලන්න බෑ..."

නිර්මලී දෝතින්ම සිය මුහුණ වසාගද්දී,  ලේ පැහැ තරමට රතුවූ දෙතොලත්, වෙනදාට වඩා ලේ පුරා තිබෙන ඇගේ ඇත්දළ පැහැ කොපුල් දෙසත් අනුජ බලා සිටියේ උණුසුම් හැඟීමෙනි.

"දැන් බබෙක් නෙවෙයි කිව්වේ... ඔය බබ්බු දෙන තොත්තු හරියන්නේ නැහැ දැන් මට.. තේරුනාද?"

"ආව්... රිදුනා!"

"බොරු කියන්නේ.. එහෙනම් ඉස්සෙල්ලා රිදුනේ නැද්ද? දැන් මට කිව්වේ ලාදුරු කියල! පොඩියට හිටියට පැහිලා තියෙන තරම.. ආ!"

"අනේ..... ඉතින්.."

තමන්ට තව තවත් තුරුල්වන නිර්මලිගේ හිස මත සිය හාදුව වෙනදාට වඩා බරට තැබූ අනුජ, ඒ මොහොතේ සැලසුමේ අනු අංකය වෙනස් කල අතර, හිමාල්ට එය ලැබුනේ කෙටි  පණිවිඩයක් ලෙසිනි.

'මචං...  අගෝස්තු විසි නවය දවල්ට කෙරෙන්න ඕනේ අරක. මෙෂර්මන්ට් ටික තුෂාරාගාව තියෙන්නේ. මිස්ටර් දාබරේට පණිවිඩේ කියන්න හෙට වැඩේට'

ඊට පිළිතුරු ලැබුනේ ක්ෂනයකිනි. එය සිනාසෙමින් දිව දමාගෙන සිටින ඉමොජි එකකි.

----------------------------------------------------

පසුදින උදෑසන දහය වනවිට අනුජගේ නිවසට පැමිණි නීතිඥ දාබරේ ඉදිරියේ නිර්මලී වෙත රුපලාවන්‍ය ව්‍යාපාරය පැවරුනේ , අනුජ සහ හේමාල් අධ්‍යක්ෂක ධුරයේ තබමිනි. නිර්මලී වෙව්ලමින්  ලේඛන වලට අත්සන් කල අතර දුලීකා ඇගේ අත අතගාමින් සන්සුන් කලේ අනුජගෙන් ඈ මිදෙන මොහොතවල් වලදී පමණි.

එළඹුන සතියේ යෙදුනු විදෙස් ගමනක් නිසා අනුජ පිටවුයේ සතියකින් නැවත එන සැලසුමකිනි. නිර්මලී උසස්පෙළ විභාගයට සිය අවධානය යොමුකළේ අනුජගේ තරවටුව සහ අධීක්ෂණය යටතේ වෙන විකල්පයක් නොවූ බැවිනි. 

විභාගය නිමවනතෙක්ම අනුජට ව්‍යාපාර ගමන් වලට විටින් විට විදෙස්ගත වන්නට වූ නිසා කාලය ගෙවුනේ අතිශය කාර්යබහුලවය. අනුජ කලින් සිතු පරිද්දෙන්ම අගෝස්තු මස විසි අටවනදා නිර්මලිගේ උසස්පෙළ විභාගය නිම විය.

ඊට පසුදින පේදුරු හේවගේ නිර්මලී චාරුකා , අනුජ විශ්වනාත් සංදිරිගම හා විශේෂ බලපත්‍රයක් යටතේ සත්‍ය වශයෙන්ම නිත්‍යානුකුලව විවාහ වූ අතර සාක්ෂියට අත්සන් කලේ හිමාල් සහ දුලීකාය. දුලීකා විසින් ලබාගත් නිර්මලිගේ මිමි බලා , අනුජ ඔහුගේ මනාලියගේ ගවුම රැගෙන ආවේ සිංගප්පුරුවෙනි. 

චාම් සුදුපාට ගවුමකින් සැරසී , සිය කැරලි කොණ්ඩය සරල කොණ්ඩා මෝස්තරයකට සකසා, මෘදු ආලේපන සමඟ , අනුජගේ අළුපාට ඇඳුමට ගැලපෙනම පෙනුමින් නිර්මලී සිනාසෙන පින්න මලක් සේ සිය මංගල ජායාරුපයට පෙනී සිටියාය.

විශ්මය සහ ප්‍රීතිය විසින් ඈ වලාකුළු අතර පාවන තත්වයකට පත්කොට තිබිණ.

"හරි හරි මචන්... you may kiss the bride වගේ ගොන් කතා කිය කියා කාලේ කන්න ඕනේ නැහැ... උඹ ඉතින් මොකද ඕක කියනකල් හිටියේ නෑ කියල අපි නොදන්නවාද? අපි යන්න යමු දුලී ආපු අතක් බලාගෙන, මු කොහොමත් අපිව දැන් එලෝනවා "

නිර්මලී සිටියේ මල් කළඹින් මුහුණ වසාගෙනය.

"අනේ හිමා... දැන්වත් නතර කරන්නකෝ ඔය බයිට් කිරිල්ල... පොඩි කෙල්ල නරක් කරන්න එපා බහුබූත කියල. යමු නංගි අපි චේන්ජ් එකක් දාගෙන එන්න... "

අනුජ අස්සේ සැඟවී සිටි නිර්මලී දෙස අනුකම්පාවෙන් බැලු දුලීකා අනෙක් දෙදෙනාට රවා නිර්මලිගේ අතින් අල්ලා ගත්තාය.

තමන්ගෙන් ඈතට ඇවිද යන සිය රූමත් ලාබාල මනාලිය දෙසම නෙත අලවාගෙන උන් අනුජගේ මුහුණේ තිබුනේ තරමක බැරෑරුම් බවකි.

"මචන්.... උඹලා ෆ්ලැට් එකට පලයන් අද හෙටම.  කොයි වෙලේ හරි අරකි ගෙදරටත් එනවා"

හිමාල් සිය මිතුරාගේ උරහිසට අත තබා කීවේ ස්ථිරසාරවය. අනුජ එය නිවැරදි බව දනී.

"ගෑනි පොලිසියේ එන්ට්‍රි එකක් දාලා, මම ගැහුවා කියල. එතනින් මට කෝල් එකක් ආවා. මට මොකක් උනාද මන්දා බන්.... මම ෆුල් අවුලෙන් ගෙදර ආවෙත්. ඒ අස්සේ තාත්තා ඒකට මගෙත් එක්කම ගේම ඉල්ලුවනේ... නිර්මලීට කරදරයක් කරයි කියලා මට බය හිතුනා, නැතිනම් කෙල්ලට එග්සෑම් තිබ්බනේ... මම ලංකාවේ නැහැ කියලත් ඒකි හොයලා ගිය ටිකේ.  "

"හ්ම්ම් මට තේරෙනවා බන්... කෙල්ලව බැඳපු එක හොඳයි උඹ. හැබැයි පුතා ඒකිව බඩ කරන්නේ නැතුව ඉඳපන්. "

"පිස්සුද ... එහෙම නැහැ යකෝ. මුකුත් තේරෙන්නේ නැහැ තාම පොඩි කෙල්ලෙක්නේ... තාම රේසිකා ගැනවත් දන්නේ නැහැ. පව්... මට මාර ගිල්ටි. ඒත් වෙන කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ මට. මම එදත් ඒකයි කලින්ම උඹට කිව්වේ රෙජිස්ටර් කරන එක කරන්නම හිතෙනවා කියල.... කොහොමත් සැලෝන් වැඩෙන් පස්සේ මේක ඇදෙන බව මම දැනගත්තා. නිම්මි එන්න කලින් මට ඒ විස්තර කියන්න ඕනේ බන් , මම කැමති නැහැ කෙල්ල මේ බැට්ල් එකට මැදි වෙනවට.  කියන්න වෙලාවක් උනේම නැහැ, මට බය ස්ටඩීස් අවුල් කරගනී කියලා"

"නැහැ මචන්... කෙල්ල ස්ට්‍රොන්ග්.. උඹ කිව්වට එච්චර විස්වාස කලේ නැහැ. හැබැයි උඹව අදහාගෙන ඉන්න විදිය දැක්කහම දුක හිතෙනවා බන්"

අනුජගේ සිතට එය මහා බරක් සේ දැනුනි.

ඊට හෝරාවකට පසුව ජායාරුපගාරයෙන් ලබාගත් සජීවී ප්‍රමාණයේ මංගල ජායාරුපයද සමඟ නිවසට පැමිණි යුවල පොඩිනා පිළිගත්තේ දෝතින් ගත් පිච්චමල් දැමු වතුර වීදුරුවක්ද අතැතිවයි.

කිසිදු ජායාරුපයක් නොමැති විසිත්ත කාමරයේ දකුණුපස බිත්තිය මධ්‍යයේ මංගල ජායාරුපය එල්ලූ අනුජ , නිර්මලී තදින් වැළඳගෙන ඇගේ හිස සිම්බේ ආදරයෙනි.


------------------------------------------------------------------

උසස්පෙළ නිමවීමත් සමඟ CIMA පාඨමාලාව සඳහා නේහා සහ නිර්මලී එකම ආයතනකයට ලියාපදිංචි වූ අතර, ප්‍රමිලා පැවසුවේ නැවත වතාවක් විභාගයට සුදානම් වන බවකි. නිර්මලී ගැන සෑහෙන බලාපොරොත්තුවක් පාසලෙත්, ඇගේ අනෙකුත් ගුරුවරියන්ද තබා තිබුණත් , අනුජ පැවසුවේ, ප්‍රතිපලය කුමක් උවත් ඉගෙනීමේ අනෙක් කඩයිම සඳහා සුදානම් විය යුතු බවමය.

අනුජගේ ඊළඟ අභියෝගය වුයේ වැඩි ඈතක නොවේ 


--------------------------- මතු සම්බන්ධයි -------------------------------

19 comments:

  1. අද නම් තට්ටමහත්තයාගේ කමෙන්ට් එක නොබලා මොකුත් කියන්න බැහැ වගේ. :D

    ReplyDelete
    Replies
    1. හි! හි!! දැන් මෙහෙමයි. ඔන්න යාළුවෙක් එනවා උදේ පාන්දරම ගෙදරට "යංද මචං පොඩි ගමනක්!" කියාගෙන. අපි කොච්චර ඇහුවත් කියන්නේ නෑ. අපි ඉතින් ඉස්සරහ වීදුරුවෙන් බලාන ඉන්නවා; කොයි ලෝකෙකද මේ යන්නේ කියාගෙන! ඔන්න දැන් යනවා මූද අද්දරින් වෙරළ අයිනෙන්! අපිට ඉතිං කට තියාන ඉන්න බැරුව කියනවා "අනේ මරු පාර! අපි හරි ආසයි මූද අයිනෙන් යන මේ වගේ පාරක දුරක් යන්න!" කියලද්. අනේ එහෙම කියලා විනාඩි ගානක් යන්න වෙන්නේ නෑ මේං යනවා ටවුමක කඩ මණ්ඩියක් මැද්දෙන්! අපි ඊළඟට කියනවා "අනේ ලොකු දෙයක් ටවුමකට ආපු එක. මොනවා හරි කන්න ගන්න නවත්වන්න!" කියලා. මේං යාළුවා නවත්වනවා හාර්ඩ්වෙයාර් එකක් ළඟ! ඊළඟට බඩ ගින්නෙම පිටත් වෙනවා "යන ගමනක් ඉක්මනට යන එක; එක අතකට හොඳයි මග දිගට පරක්කු නොවී!" කියලා. මෙන්න ඒ ගමන වාහනේ නවත්තනවා ගඟක් ළඟ! "පරක්කු උනත් කමක් නෑ වතුර ටිකක් නාගෙනම යමු!" කියලා බැහැල බලන කොට එතන පොඩි බෝඩ් ලෑල්ලක් ගහලා තියෙනවා "වතුරට බසින්න එපා! මිනී මරු කිඹුලන් ගැවසෙන ස්ථානයකි!" කියලා. ආන්න ඒ වගේ තමයි මේ කථාවත්. "අනේ යාන්තං ඇති!" කියලා හිතන කොටම ආයෙ සෙට් වෙනවා මොකක් හරි මරාළයක්. බලමු තව මාසයක්! එතකොටවත් මේ කථාව අපිට තේරෙණ විදියකට දුවයිද කියලා. මේක ලියන උන්නැහීගේ එකම අභිප්‍රාය අපේ මොළය උළුක්කු කිරීම කියලයි හිතෙන්නේ.

      Delete
    2. විනීත පූ > ඇයි දෙවියනේ , අදහස් දැක්වුවාම කිල්ලට අහුවෙන කොටසක්ද?

      Delete
    3. තට්ට මහතා>
      දැන් ඉතින් මට කියන්න එහෙම සිද්ධියක් හෝ සිද්ධි ටිකක් නැතිනම් මේක කතාවක් වෙන්නේ කොහොමද හත්වලාමේ? දැන් මම එහෙම මුකුත් අබග්ගයක් නැති කොටසක් දාලා දේවිකා මිහිරානි වර්ගයෙන් ආඩපාලි අහගත්තා. අනේ මන්ද මොකක් කරන්න කියනවද කියල!

      Delete
    4. ගණන් ගන්නෙපා සුහදිනියෙ...දැන් මේකනේ වැඩේ. මේ මං වගේ ඇත්තියන්ට ඔයාගේ කතාව කියවීමෙන් ලැබෙන මෙව්වා එක සම්පුර්ණ වෙන්නෙ මේ තට්ටයා මහත්තයාගෙ කමෙන්ට් එක කියවීමෙන්. අනික ඉතින් වලියක් නැති තැන ජොලියක් තියේද.. නෑනෙ නෑනෙ...ඔන්න ඔහේ පොඩ්ඩක් ඔයාල දෙන්න ඇවිලේන්නකො. එතකොට මේ බලන අපිට සතුටුයිනෙ. අන්නේකයි මං කියන්නෙ.

      Delete
    5. තව ෆයිට් කෑලි ටිකක් වෙන්න දාල.... ලව් සීන් ටිකක් කපලා..... නාරං බික් තුනකුත් දාලා..... නයි බිත්තර දෙකකුත් දාල..... මී පැණි බෝතලයක් දාලා.... පොඩි කජු මද ටිකකුත් තියලා

      තව.... මිණී ඔලුවකුයි කටුස්සෙකුයි... පොළඟගේ දළකුයි නාගයෙකුයි.....

      එක්කොත් ඉතිරි ටික කියන්න ඕන නෑ....... ලියන ගෑල්ලමයට තව දාන්න ඉතිරි වෙලා තියෙන්නේ හල හළ විශ විතරයි දත් මන්ද........ ඒකත් මේ බදාද ද ශුවර් නෑ..... මේ යන විදියට......

      Delete
    6. විනීත පූ >> ඇයි දෙවියනේ කටහක කියෝලා ආයේ අර කියනා කතන්දරෙත් කියෙව්වමද සම්පුර්ණ වෙන්නේ? හුහ්... මොකට මේ කතන්දර ලියනවද මෙහෙම කතන්දර අහගන්න හැබෑට
      වැලි නම් ඉතින් කොහොමත් අපි එතන

      Delete
    7. nayanathara>> පයිට් නම් දාන්නම්
      ලව් සීන් කපන්න කිව්වා? හප්පේ... එහෙමත් එකක්ද... තවත් කවුද ලියල තිබ්බ රොමෑන්ටික් වෙච්ච ගමන් කතාව ඉවරයි කියල. හාකෝ.. හාකෝ...
      නාරං , නයි බිත්තර, කජුමද එහෙම මේ දවස්වල හොයාගන්න බෑනේ.. මීපාසානම් ටිකක් කමක් නැද්ද?

      මට මේ බැන්නද???? කට්ටියට කතාව එපාවෙලාද මන්ද

      Delete
    8. පික්සු ද.... ඔයා ට බනිනවද මෙයා අපි....??? මේ ඔයාව දිරිමත් කරනවා..........

      ඒ උනාට රේසිකා කතාවට එනකන් මට නින්ද යන්නේ නෑ වගේ.......

      Delete
  2. ලස්සන සිංදුවක් මතක් උනා! " ජීවිතයේ කන්තාරේ - තුරුණි වියළි වැල්ලේ - උතුරා ගලා යන ආදරේ . . . . "

    ReplyDelete
    Replies
    1. සින්දුව නම් පංකාදුයි - හින්දි කොපියක් නොවුනා නම් !

      Delete
    2. ඔන්න ඉතිං මල පනිනවා ! ලියනවා හිතුනොත් පෝස්ටුවක්ම ඔය කරපු අපහාසෙට; ඔබ තුමීට ඇඳන් ඉන්න ඇඳුම් පිටිං නාගන්න හිතෙන්න!

      Delete
  3. එන පොට නම් හොඳ නෑ වගේ පේන්නෙ. එක්කෝ ඊ ළඟ කොටසත් කියෝල බලලම මොනවහරි කියනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් ඕකනේ.. ඊළඟ කොටස ගොඩාක් පරක්කු වෙනවා

      Delete
    2. අනේ නපුරු වෙන්නෙපා වස්තු. ඉක්මනින් දාන්න හොඳේ.

      Delete
  4. ඒකත් ජය සිරි මංගලං කිව්වලු... හාකො හෙනං 😃😃

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් බලන්ඩ එහෙම කියනවද මෙච්චර මේ හොඳ දවසේ

      Delete
  5. Replies
    1. අන්න හරි.. මෙන්න මෙයා විතරෞ කහටක් නැතුව එහෙම කිව්වේ... සන්තෝසයි

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...