Tuesday, October 26, 2021

275: උන්මාද චිත්‍රාදෝ මා 09

 



සිය මව විසින් පවත්වාගෙන ගිය රුපලාවන්‍යගාර ජාලය , රේසිකාගේ පාලනය යටතේ පාඩු ලැබුණු බැවින් සංදිරිගම මහතා එය අනුජට පැවරුවේ , අනුජ තරමක් කාර්යබහුල කරවමිනි.

කලින් පාවිච්චිකළ සන්නාම වල වෙළඳ ගිවිසුම් නිසා මසකට ලක්ෂ ගණනාවක් අලාභ වූ අතර රේසිකා ඇගේ  තනි මතයට ක්‍රියාකර එයට සුදුසු පිළියම් ගෙන තිබුනේ නැත. අනුජ පළමුව සිදුකලේ එම අංශයට අදාළ විෂයානුබද්ධ දක්ෂ කෙනෙකු වන දුමිනා සේවයට ගැනීමයි. ඒ සමඟම වෙළඳ සන්නාම වල ගිවිසුම් අවලංගු  කර, සිය නීතිඥයා ලවා නව වෙළඳ ගිවිසුම් අත්සන් කලේ ප්‍රතිලාභ මාසිකව සමාලෝචනය කරන පරිද්දෙනි.

නිර්මලී ඒවායේ කටයුතු සමහරක් සඳහා සිය කැමැත්තෙන්ම උපකාර කලේ අනුජ හා හරි හරියට ව්‍යාපාරික ඥානය යොදවමිනි. ව්‍යාපාරික දැනුම කෙසේ වෙතත් ඇය තියුණු ලෙස ඒවායේ එක් එක් කොටස් වෙන්කොට එක්සෙල් මගින් පාලනය කරන තරමට වාර්තාවක් සකසා දුන්නාය.

"හ්ම්ම්ම් චුට්ටක්  මොළෙත් තියෙනව නේ?"
අනුජ සරදම් කරමින් කියද්දී ඈ කට උල් කරමින් ගස්සා බොරු අමනාප පෑවාය. අනුජ ඒ ගැස්සිලි විඳින්නේ කැමැත්තෙනි.

"හුහ්.. ආයේ උදව් කරන්නෙම නැහැ ඔන්න.."

"ආ... අර අලුතෙන් වැඩට ආපු ගර්ල්ට හොඳට එක්සෙල් පුළුවන් කියලා තුෂාරාත් කිව්වා. මිට පස්සේ මම එයාට කියලා කරගන්නම්"

නිර්මලිගේ ඇස්දෙක කොලපාට වී යටිතොල සැපිනි. දැන් නම් ටැප් එක අරින්නට සුදානමිනි.

"... අනිද්දා එයා එයි ඔෆිස් එකටත්..."

කියන්නට ලැබුනේ එපමණකි. නිර්මලී පුටු කොට්ටයෙන් දෝත බදා අනුජගේ ඔලුවට ගැසුවේ මොහොතිනි.

"නපුරා... "

ඉතින් ඉන්පසුව නිර්මලී නලවා ගන්නට හිස මත සිපුම මදිව යන්නේය. බලෙන් තුරුල් කරගෙන ඈ 'ඌයි' කියා මොර දෙද්දී කම්මුල් සිපගන්නටම සිදුවේ. ඒ සියල්ලම අවසන් වන්නේ ආදරණිය බැල්මක් හෙලා රතුවූ නිර්මලී අනුජගේ පපුවට තුරුල් වෙමිනි.

නමුත් , ප්‍රතිපලය ලැබෙන්නේ තවත් දින දෙකකින් නිර්මලී සවස් වරුවේ කාර්යාලට කඩාවැදීමෙනි. එකවරම දොර අසලින් මතුවූ නිර්මලීගේ මුහුණේ ස්වභාවය දැක තුෂාරාට සිනා ගියාට සිනා වෙන්නට නොහැකිය. 
දුන්නෙන් ගිලිහුන හීයක් මෙන් නිර්මලී අනුජගේ කාර්යාලට තුලටම යද්දී තුෂාරා වහා කෙටි පණිවිඩයක් අනුජට යවාගන්නට සමත් වුවාය. අනුජ සිටියේ අනෙක් රැස්වීම් කාමරයේ දුමිනා සහ අලුත් කළමනාකාර වරයා සමඟ සැලසුමක් සකස් කරමිනි.

'සර්... එයා ඔෆිස් එකේ'

කෙටි පණිවිඩය දුටු සැනින් අනුජට මනමාල සිනාවක් නැගුණි. ඒ සමඟම වීරසිරි ගෙන් ඇමතුමකි.

"අනේ පුංචි මහත්තය මට පණිවිඩයක් දෙන්නවත් බැරුව ගියා. මගේ පෝන් එකත් උදුරා ගත්ත පුංචි නෝනා... බේරෙන්න බැරුව මම එක්කගෙන ආවේ"

"ආ... හරි හරි වීරසිරි... ප්‍රශ්නයක් නැහැ"

අනතුරුව දුමිනා දෙසට හැරුණු අනුජ බරපතල මුහුණක් මවාගත්තේය.

".. දුමිනා.. පොඩ්ඩක් අර රිපෝට් වල තියෙන තේරෙන්නේ නැති තැන් අහගන්න, අන්න ඒක හදපු මිස් ඇවිත් ඉන්නවා.. ඉක්මනින් ලැප්ටොප් එක අරගෙන ඔහොම්මම යමු"

දුමිනා ඉක්මනින් අනුජ පසුපසින්ම ගියේ මදක් චකිතයෙනි. තුශාරාගේ මේසය පසුකොට සිය කාර්යාලයට යන අනුජ දෙස පුළුල් සිනාවක් පෑ තුෂාරා වෙත අනුජද බැලුවේ සිනාසෙමිනි.

කාර්යාල කාමරයට යද්දී නිර්මලී ඇගේ කැමතිම පුටුවට වී , එය කරකවමින් මාළුවන් බලමින් උන්නාය. අනුජ දුටු සැනින් පිබිදුන මුහුණ, ඔහුට පිටුපසින් මතුවූ දුමිනා දුටු සැනින් එල්ලා වැටුණි. 

'මෙයාද මේ දුමිනා?'

"... දුමිනා.. මේ ඉන්නේ මිස් නිර්මලී...අර රිපෝට්ස් ටික මේ මිස්ට කියලා ක්ලියර් කරන්න. අතන ටේබල් එකට යන්න"

නිර්මලී නළල රැලි ගන්වා අනුජට එරෙව්වාය. අනුජ සිය මුව උල්කොට ඈට හාදුවක් පාකලේ දුමිනාට නොපෙනෙන්නටය. ඉතින් තරහා බාගයක්ම අහවරය. නමුත් අද ආවේ මේ දුමිනා බලාගන්නට නිසා බුරුලක් දෙන්නට තවමත් හිතක් නැත. දුමිනා දෙස බැලු නිර්මලී දුටුවේ ඇගේ උස මහත සිරුරත්, මනාව සැකසු කොණ්ඩයත්ය.

"හෙලෝ මෑම්.... "

දුමිනා සුහද සිනාවක් සමඟ නිර්මලී දෙස බැලු නිසා ඈට ඔරවන්නට නොහැකිය. එක අතකින් සිය මුව වසාගෙන අනුජ මේ විගඩම බලා සිටින්නේ සිනාසෙමිනි.

"... මට සර් කිව්වා මිස් ගැන.."

ඒ ඒ පුටුවල හිඳගත් පසුව දුමිනා සිටියේ අනුජට පිටුපාගෙනය. 

"...අනේ මිස්ගේ කොණ්ඩේ හරි ලස්සනයි නේ..නැචුරල්ද ?"

"ඔව්..."

"මිස් හරි ලස්සනයිනේ.... සර් මට කිව්වා ලස්සනයි කියලත්.. මෙච්චර ලස්සනයි කියලා නම් හිතුවේ නැහැ ඉතින්"

ස්වභාවයෙන්ම කටකාර, පුහුණුවෙන් කෙනෙකුගේ සිත ගන්නට හැකි දුමිනා ඒ වැකියෙන්ම නිර්මලිගේ අඳුරු මුහුණ රතුපාට කළාය. එහෙත් නිර්මලී අනුජට එරෙව්වාය. අනුජ සියලු දෙනාට බීම ඉල්ලා යැවු පණිවිඩයට පිළිතුරු රැගෙන පැමිණි තේ බෙදන රානි , නිර්මලී දුටු සැටියෙන් සිනාවේගන පැමිණියාය.

"ආ.....නේ.. මිස් ආවේ කොයි වෙලේද? මම ඉතින් සර් කියපු නිසා සීනි අඩුවෙන් ගෙනාවේ.. ඉන්නකෝ මම සීනි ටිකක් දාලා ගේන්නම් මේ ඩ්‍රින්ක් එකට"

රානි සෙමෙන් එලෙස මුනුනා ගෞරවයෙන් බීම වීදුරුව නොපිළිගන්වා යන්නට හදද්දී නිර්මලී වහා එය උදුරා ගත්තාය.

"කමක් නැහැ රානි.. අනේ මට තව එකක් ගේන්න එහෙනම්. මේක මට ඕනේ.. අනේ අන්න වීරසිරි අන්කල් ඇති කා පාර්ක් එකේ.. එයාටත් මොනවාහරි දෙන්න හරිද?"

අනුජ වෙනත් වැඩක් කරනවාක් මෙන් ලැප්ටොප් පරිඝනක තිරයට ඉහලින් මේ සියල්ල බලාගෙන සිටියේ  සිනාසෙමිනි. ඔහුගේ සිනාසෙන දෑස දෙස බලමින් , වරෙක ඔරවමින් නිර්මලී අවධානය දුමිනාට දුන්නේ අපහසුවෙනි. වාර්තාවේ තමන්ට අපැහැදිලි තැන් ලෙහාගත් දුමිනා නිර්මලිට ස්තුතිකොට, අනුජටත් කියා කාමරයෙන් පිටත් වුවාය.

"මොකද ඔරවන්නේ?"

අනුජ සිය සිහින් දෑස සහ මනමාල සිනාව දක්වා නිර්මලී අඩපන කළේය. 

".. මොකද මැඩම් මේ මෙහෙ කඩා පාත් උනේ ආ?.. මෙහෙට එන්න.."

"බෑ !"

"එන්න නේද කිව්වේ... නැතිනම් මාව ඔතනට ගෙන්නගන්න එපා...."

එය නම් නොමනා දඟකාරකමක් බව දැනුන නිසා නිර්මලී වහා සිය අසුනෙන් නැගිට සෙමෙන් ඔහුගේ මේසය අසලට පැමිණියාය. අනුජ ඉදිරියට නැමී ඇගේ බඳ අල්ලාගෙන තමන්ට ලං කරගත්තේය. 

".. මේ චුටි කෙල්ලෙක් ලැස්ති කරගෙන මට තියෙන වදයක්... දැන් දැක්කද දුමිනා ඇන්ටිව?"

නිර්මලී හිකි හිකි ගගා සිනාසුනේ ඔහු 'ඇන්ටි' කියා කියූ ආකාරයටය. 

".. පිස්සි... අර වයසක මනුස්සයවත් කලබල කරගෙන මෙහෙ දුවගෙන ආවේ ඇයි අද හවස ක්ලාස් එක කට් කලාද? මම අනින්නේ ටොක්කක්!"

යටිතොල සපා තරවටුවට මෙන් ටොක්කක් අනින්නට ගිය නිසා නිර්මලී සිනාසෙන ගමන්ම දෑස පියාගෙන හැකිලුනාය.

"අනේ... අද ක්ලාස් නෑනේ.. ටෙස්ට් එකට නිවාඩු දුන්නනේ....."

අනතුරුව නිර්මලී සිය වම් කකුලේ හිඳුවා තදින් පපුවට තදකර , සිය රැවුල්කොට සහිත කම්මුල ඇගේ කම්මුලේ ඇතිල්ලුවේ සෙනෙහසිනි.

"ආව්..."

"හ්ම්ම්ම්?.. ආව් ගාන්නේ.. මම රිද්දුවද?  පණ්ඩිත ආච්චි... මට වැඩ කරන්න දෙන්නේ නැද්ද ආ!?"

නිර්මලී කිචි කිචි ගගා සිනාවෙයි. 

"පිස්සි... "

මහත් වූ ලොබ කමකින් අනුජ ඇගේ කොණ්ඩය අතුරින් මුහුණ පාදාගෙන බලා සිටියේ අදම ඈ දුටුවා සේය. දෑස සිහින් කරමින් ඈ සිනාසෙයි. අනතුරුව අනුජගේ බඳ වටා දෝතින්ම අල්ලා සෙමෙන් පපුවට තුරුළු වුවාය.

".. ඉරිසියාකාරි... "
අනුජ මෘදුව හිස් මුදුන සිපගත්තේය. නිර්මලී ඒ පපුව මත එහෙ මෙහෙ වෙමින් ඉඩක් සාදා ගත්තාය.

"..... එහෙම කරනවද මම මගේ මැණික ඉද්දි? හීනෙන් වත් වෙන කෙනෙක්ගේ හුස්මක්වත් වදින්නේ නැහැ ඇත්තමයි... "
අනුජ පැවසුවේ හැඟීම්බරවය. තත්පර කිහිපයක නිහැඬියාවක් ඒ සමඟය. අනුජ වෙතින් නික්මෙන සුවඳ විඳිමින් නිර්මලී සිටියේ දෑස වසාගෙනය.

"....ඒ උනාට මම කැමතියි එහෙම ඉරිසියා කරනවට"

ක්ෂණිකව නළල මත හාදුවක් තැබූ අනුජ බලෙන් මෙන් ඈ ඈතට කලේ කතාව දික්ගැස්සෙනවාට වඩා තමන්ගේ රතු ඉර පනිනවා දැනුන නිසාය. 

".. හ්ම්ම් හ්ම්ම් දැන් යන්න වීරසිරි එක්ක ගෙදර.. මම තාම වැඩ ඉවර නෑනේ.. "

නිර්මලී කට උල්කොට නැගී සිටියේ බොරු නොමනාපයෙනි. 

".... ආ අද හවස දුලීකා එනවා කිව්වා අපිත් එක්ක ඩිනර් වලට. ගිහින් පොඩ්ඩක් පොඩිනා එක්ක ඒක බලන්න. ඔයාගේ අර රස චොක්ලට් පුඩින් එක හදන්නකෝ "

ඈතට කලාට හිත රිදුනු බව සැබෑ මුත් දුලීකා සහ චොක්ලට් පුඩින් කී සැනින් එය දුරුවී ගියේය.

නැවතත් අනුජගේ ඒ මැජික් කිස් එක හිස මත තබා සියල්ලම විසඳා දැමුවේය. 

------------------------------------------------------------------------------------


වාර විභාගයේ මෙවරත් නිර්මලී ඉදිරියෙන් සිටියාය. ඉංග්‍රීසි පන්තියද  ඇගේ ජිවිතයේ සෑහෙන වෙනසක් ඇතිකොට තිබේ. නිර්මලී පාසලේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ඇති විවාද කණ්ඩායමේ සාමාජිකාවක් වුවාය.

ඇගේ ගුරුතුමිය සිතුවාට වඩා වේගයෙන් ඈ ඉංග්‍රීසි චතුර බව ලබාගත්තේ අනුජ පවා පුදුමයට පත්කරමිනි. පොත් පත්තර සඟරා පිපාසාවෙන් කියවන නිර්මලිට අනුජ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාල සාමාජිකත්වය ලබාදුන්නේ එනිසාය.

සෙනසුරාදා දින වෙනදා වීරසිරි සමඟ පුස්තකාලයට ගියද එදින  නිර්මලී ගෙන යන්නට අනුජ පැමිණියේ ඔහුට ඒ අසල වෙනත් වැඩක් යොදාගෙන තිබුණු  බව කියමින් උවද ,  අනුජගේ සිත ඇතුලේ වෙන සැලසුමක් පිනුම් ගසමිනි. අනුජ සමග එහෙම ගමනක් යන්නට වන්නේ කලාතුරකින් නිසා යුවතිය පැමිණියේ තටු සලමින් වූ අතර, මගින් මගට ඇගේ කෙළවරක් නැති කියවිල්ල අනුජ විඳදරාගෙන උන්නේ ඇතුලතින් සිනාසෙමිනි.

"මෙතන පාකින් නෑනේ... ලයිබ්‍රි එකෙන් එන්න පැය බාගයක් ඇතිනේ? මම ගන්න එනවා .. ඒ හින්දා මම කතාකරනකල් ඉන්නේ නැතුව එන්න හරිද?"

 බසිද්දී අනුජ කියූ කිසිවක් ඇසුන බවක් නොමැතිව ඈ පාර දිගේ දිව ගියේ හදිස්සියෙන් මෙනි. තාරුණ්‍යයේ මලක් වැනි ඈ දෙස කිහිප දෙනෙක් උවමනාවෙන් බලනු සහ යන්තමට  ඈ හා කවුරුන් හෝ පිවිසුම අසලදී දොඩමලු වනු අනුජ ඈතට දුටුවේය. වාහනය එතනින් ගන්නට වූ නිසා අනුජ මදක් නොසන්සුන්ව වාහනය ඉදිරියට එන ගාලු පාරට දැම්මේය.

පැණිරස වලට කෑදර ඈ වෙනුවෙන් කප්කේක් සහ සිතේ තබාගෙන සිටි ඇනවුමට  ලබාදුන් ගවුම අතට ගත් අනුජගේ සිත නොඉවසිල්ලෙන් ඒ මේ අත ගියේය. හෝරා බාගය දැන් විනාඩි හතලිස් පහකි.

'පොඩ්ඩක් ඉන්න... මෙයා මහා කුලප්පුවෙන් දුවගෙන ගියේ ඇයි ? දැන් පැය බාගෙත් ගිහින් තාමත් නැහැ... පොත් හතරක් තෝරන්න පැය බාගයක් යනවද ?'

වහාම වාහනය  හරවාගෙන ගොස් රැජින පාරේ කොනක නතරකල අනුජ ඉක්මන් ගමනින් නැවත ඇවිද ආවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අනෙක් පාරට පිවිසෙන්නටය.  එතැන තිබෙන හන්දියේ නිර්මලී ඔහු එන මගට පිටුපා සිටියේ තවත් කිහිප දෙදෙනෙකු සමඟ කතා කරමිනි. ඔවුන් සිටියේ බර කතාවකය.

".... මට ඒ ගණන් ඔක්කොම පැටලුනානේ නිර්මලී... වෙලාවට ඔයාගෙන් අහගත්ත ගාන විතරක්  ගොඩ"

නිරූපා සිනාසෙමින් කියද්දී ඇයට ඉදිරියෙන් උන් පසිඳු  යමක් රහසින් කියන්නට නිර්මලී වෙත නැඹුරු විය.

"අන්න ඔයාගේ දුරට ඇපල් එනවා.... උදේ ඉඳලම රැකගෙන ස්ටඩි ඒරියා එකේ.. "

"කවුද අනේ?"

"වෙන කවුද දේශාන් මිසක්..."

හිස ඔසවා බැලු නිර්මලී දුටුවේ දේශාන් ඈ වෙතම යොමුවූ නෙතින් යුතුව ඈතසිට ඇවිද එන ආකාරයයි. තනිවම නොසිටි ඔහු දුටු මතින්ම නිර්මලී වෙනදාටත් වඩා තැති ගත්තාය.

"අනේ අපි යමු නිරූපා... අප්පටසිරි මම ෆෝන් එකත් දාලා ඇවිල්ලනේ..."

"මේ..... ඒක නෙවෙයි නිර්.... අර අතන ඉඳල කවුද එකෙක් දැන් සෑහෙන වෙලාවක් තිස්සේ ඉඳල අපිව කන්න වගේ බලාගෙන ඉන්නවනේ.. මේ මොකක්ද හලෝ මේක හරියට සිරියාව වගේ කලාපයක්නේ බලාගෙන ගියාම..."

නිර්මලී ඒ කියූ දෙස ආපසු හැරුනේ ක්ෂනයෙනි. ඇගේ රෝම කූපයක් ගානේ කෙලින්ව සිටියේ අනුජගේ මරුමුස් බැල්ම දුටු මොහොතේය. දෑතම පපුව ඉදිරියේ බැඳගෙන ,ඈතසිට පණපිටින් කන්නට මෙන් ඒ බලා සිටින්නේ හොඳකට නොවන බව දත් නිර්මලී "මම යනවා" කියාගෙන වහා අඩි තබමින් අනුජ සිටි දෙසට ඇවිද ආවේ දුවමින් මෙනි.

"කවුද  අප්පා ඒ.... ? හැන්ඩියෙක් තමයි... තාත්තා වෙන්නත් බෑ... නිර්ගේ තාත්තලා රටනේ "

පසිඳුට කිය උනේ ඉබේටමය. තමන් අසලට ආ නිර්මලිගේ වෙත හෙලුනු දැඩි බැල්ම නිසා ඈ වෙව්ලන බව දැන දැනම අනුජ නැවතත් හිස හරවා පිරිස දෙස බැලුවේය.

"එන්න අදහසක් නෑ නේද? කවුද අර කනට මුමුණපු ගස් ගෙම්බා?"

"......"

"ආ...??? උත්තර නැත්තේ කටේ පිට්ටුද?"

"අ... ඒ ඉස්කෝලේ යාලුවෙක් ... පසිඳු..කියලා..... අපි ටෙස්ට් එක ගැන කතා කර කර හිටියේ"

"කවුද ඇහුවේ කතාකලේ මොනාද කියල???? නගින්න කිව්වේ වාහනේට...!"

නිර්මලී හැකිලී ගොස් ඉක්මන් අඩි තබා වාහනය අසලට පැමිණියාය. අනුජ සිය නළල දබර ඇඟිල්ලෙන් තෙරපමින් පැමිණ රියදුරු අසුනට බරවිය. නිර්මලී සිටියේ ආසනයේ ගුලිවෙමිනි. අනුජ සිය අතේ තිබුණු ඇගේ දුරකථනය ඈ වෙත දිගු කළේය.

".. මොන සිහියෙන්ද බැස්සේ මේකත් දාලා? මම කිව්වනේ පැය බාගෙන් එන්න කියල. පොත් හතරක් තෝරන්න පැය බාගයක් යනවද?"

නිර්මලී පිළිතුරු දුන්නේ නැත. අනුජ නැවතත් පිරිස දෙස බැලුවේය. උසින් වැඩි දේශාන් ඔහු ක්ෂණයෙන් හඳුනා ගත්තේය.

"... අර මෝඩයා මොකද තාමත් පස්සෙන් එන්නේ?"
නිර්මලී ගල්ගැසී ගියාය. දේශාන් ගැන ඔහු දන්නේ කෙලෙසද? 

රථය පනගන්වා මාර්ගයට ගත් ලෙසින්ම අනුජගේ කෝපය කෙතෙක්දැයි නිර්මලී දත් නිසා කරබාගෙන ඔහේ සිටියාය. 
'මේක පුදුම කේන්තියක්නේ.. මම මොනාද කලේ?'

දුරකථන ඇමතුමක් ආ මුත් අනුජ ඒ දෙසවත් නොබලා එයට පිළිතුරු දුන්නේය.

"අනුජ හියර්"

"ඔව් ඔව්.. උඹ හියර් බව මම දන්නවා... මට දැන් කියපන් අපි එන්න ඕනේ කොහාටද කියලා හෙට. මට වෙන ගමනකුත් තියෙනවා හරියට තැනක් කියපන්"

හිමාල් කියවාගෙන ගියේය.  අනුජ වහා ඇමතුම සිය බ්ලුටුත් උපකරණයට ගත්තේ හොරැහින් නිර්මලී දෙස බලමිනි. ඔහුට අනුව නිර්මලී ටැප් එක ඇරගෙනය.

"ඉඳපන් මම ගන්නම්.."

අනුජ රථය පසෙකට කර නතර කළේය. රීඩ් මාවතේ අතුරු පාරක් වූ නිසා එහි වැඩිය සෙනග ගැවසුණේ නැත. බර සුසුමක් හෙලා අනුජ ලය සැහැල්ලු කරගෙන දබර ඇඟිල්ලෙන් සුක්කානමේ ඉරි කිහිපයක් ඇන්දේය.

"මොකද අඬන්නේ?"

"ඕනේ නැහැ.... "

"මොනාද දැන් ඕනේ නැත්තේ. කප් කේක් එකද?"

කප් කේක් කියූ සැනින් ඉවතට හැරී තිබුණු මුහුණ අනුජ වෙත හැරුණි. අනේ මේ පොඩි කෙල්ල කප් කේක් එකටත් රැවටෙනවා, පිස්සි!

තමන් පෙළන්නේ ඉරිසියාව බව අනුජ දනී. නමුත් කුමක් කරන්නද, හිත ඉවසන්නේ නැත. 

".. කප් කේක් තමයි... කොල්ලෝ එක්ක මුකුළු කරන්නේ මට පේන්නද? ආ?? වෙනදට වීරසිරි එක්කනේ එන්නේ.. පැය ගණන් ඔහේ කයිවාරුව වෙන්න ඇති.... "

අනුජ සිය සිහින් දෑසින් නිර්මලී දෙස බැලුවේ අමනාපයෙන් නොවන බව ඈ දත්තාය. නමුත් වරදක් නොමැතිවම දැනුනේ පසුතැවිල්ලකි. අනුජ ඉරිසියාවෙන් පැළුන බව දත්තේ ඔහු පමණය.

".. දැක්කේ නැද්ද උන්ගේ ඇස් තියෙන්නේ වෙන වෙන තැන්වල... කොහෙද මෙලෝ සිහියක් නෑනේ"

එවර අනුජගේ දෑස ඇගේ දනිස්ස දක්වා වූ කහපාට ගවුමේ රැඳුනි. හරි වැඩක්නේ! මේක නම් ලේසි කේන්තියක් නෙවෙයි!

"මේක... මේ... ඔයා අ-ර-ගෙන දුන්න..."

අනුජගේ කේන්තිය ඒ ක්ෂණයෙන් නිමුනේ නිර්මලිගේ උල් වූ කට දකින මොහොතිනි. අමනාප වූ විට කට උල්වී ඈ අමුතුම සුරතල් පෙනුමක් පාන්නීය.

"හ්ම්ම් හ්ම්ම්ම්.. දැන් කඳුළු පිහාගන්න.. කොයි වෙලෙත් ටැප් එක ඇරගෙන. මම  කොච්චර බලාගෙන හිටියද එනකල්? ආ? ඊට පස්සේ එනකොට කවුද කනට කොඳුරනවා.... බබා ඔයා දන්නවනේ....."

"ඔව් ඔව් දන්නවා.... "

අමනාප වූ විට නිර්මලී වයින්කළ බෝනික්කෙකු වැනිය. කලබල වූ පරෙවි කිරිල්ලියක මෙන් හිස ඒ  මේ අත හරවන්නේ අනුජගේ කෝපය නිවෙන අයුරිනි.

"ඌ මොනාද කිව්වේ මම දිහා බලල?"

නිර්මලී නිරුත්තර වුවාය. කුමක් කියන්නද?

"...  මොනාද කිව්වේ කියන්න"

නිර්මලී ඇස් කරකවා කල්පනා කරන්නා සේ රඟපෑවාය.

"මතක නෑ "

"මතක නෑ ?"

අනුජ  නැමී ඈ තමන් වෙත ඇදගත්තේ නිර්මලීගේ මුවින් සිහින් කෑගැහිල්ලක් ඇසෙද්දිය.

"... බොරුකාරි... මතක නැහැ කියන්නේ... මේ බලන්න මගේ දිහා... කෝ.."

"අන්... ...නේ. එපා.. ඌයි රිදුනා.... මට මතක නෑ"

"බොරු කියන්න එපා මම රිද්දුවේ නැහැනේ... පාර නෙවෙයි නම් දනී මම කරන දේ.. පිස්සි... ඒ කොල්ලා කිව්වේ මොනාද කියනකල් අතාරින්නෙ නැහැ.."

"ආව්... එයා කිව්වේ කවුද කෙනෙක් මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා කියලා... ආව්.. අනේ අතාරින්න.. රැවුල කපලම නෑනේ මට කිචි අය්යෝ..."

අනුජ මද වෙලාවක් ඈ දෙස බලා සිටියේය. ඔහුගේ දෑස වෙනස්වනු නිර්මලී හොඳින් නිරීක්ෂණය කළාය.

"... දුක හිතුනද?"
නිර්මලී ඇසුවේ ඒ දෑසට එබීගෙනමය.

"හ්ම්ම්ම් "

එයට නම් නිර්මලීට ප්‍රතිචාරයක් නොදීම බැරිවිය.

"ඒයි ! ඒ මොකද්ද ඒ කලේ? දෙනවා දෙකක් මම දැන් "

"ඇයි මට බැරිද?"

"ආ.... බැරිද? පණ්ඩිත ආච්චි... පොඩි ළමයින්ට දෙන තොත්තුනේ ඕවා.... "

"අන්.. නේ.. යන්න....  හරි නරකයි"

"පැහෙන්නේ නැහැ තේරුනාද.... පිස්සි... "

නිර්මලිගේ නාසය මිරිකු අනුජ ඇගේ දකුණතේ පිටි අල්ලට සිය සුපුරුදු හාදුව තබා නිර්මලී අතහැරියේය.

".... පොඩි ගමනක් තියෙනවා යමු... පස්සේ අල්ලගන්නම්කො... කෝ ඔය ගවුම හදාගන්න..  මේ පාරේ මිනිස්සු හිතයි මම වෙන මොනාහරි කරනවා කියලා"

"හරි නරකයි ඔයා... දැන් මමද ?"

ඒ ගැන කතාකොට පලක් නැත. නමුත් ඒ ආදරේ ගැඹුර සහ හෘදයාංගම බව නිර්මලී හොඳින් දන්නා කාරණාවකි. 

වාහනය ගාලු පාරේ සිට බේස්ලයින් ඔස්සේ පෑලියගොඩ දෙසට ඇදෙද්දී නිර්මලී තනිවම සිනාසෙමින් වීදුරුවෙන් ඉවත බලාගෙන දුලීකාගෙන් ලද ඇමතුමකට සම්බන්ධව උන්නාය.

".... මහා ඉරිසියා කාරයා ඔහොම හිටියට... නංගිව ඉස්කෝලෙන් එදත් ගන්න ඇවිත් ඔක්කොම කොල්ලෝ ටික බලාගෙන මට කනක් ඇහෙන්න නෑ..... ඔය දේශාන්ගේ කතාව එයා දන්නවා , එතන ස්ටාෆ් එකේ ඉන්න නාමලී මෙයාගේ යාලුවෙක්නෙ..."

"ඇති ඇති මගේ කෙල්ලව නරක් කළා... අපි මේ ගමනක් .. යනවා.....පස්සේ කතාකරන්න..."

අනුජ ඇගෙන් දුරකථනය උදුරා ගත්තේ නිර්මලී සිතන්නටත් පෙරය. නිර්මලී ඔරවා සිටියාට ඈට සිනාය. වාහනය අධිවේගී මාර්ගයට පිවිසෙන්නට හරවන  අතර අනුජ නිර්මලිට ඇසෙන් පැවසුවේ ආසන පටි පැළඳ ගන්නා ලෙසයි.

------------------------------------------------

නිර්මලී ටෙරාසෝ ගල් පුවරුව මත රඳවා තිබුණු වර්ණවත් පින්තුරය සිය ඇඟිලි තුඩින් ස්පර්ශ කළාය. ඇගේ සිතට දැනුන වේදනාවටත් වඩා ඒ  දෙස බලා උන් අනුජගේ වේදනාව ගත් නිර්මලී අනුජ අසලින්ම පඩියේ හිඳගෙන ඔහුට තුරුල් වුවාය.

"... මට කියන්න අයියා ඉතින්.."

අනුජ තරමක් හුස්ම අල්ලාගෙන අහස දෙස බැලුවේ වේදනාව සමනය කරගන්නට මෙනි. අනතුරුව නිර්මලිගේ මුහුණ බලා සිටියේය.

"ඒ ඔක්කොම කියන්න බැරි උනත්, ඔයා දැනගන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා මැණික... "

නිර්මලී සිය නිකට අනුජගේ පපුවට තදකොට තවත් තුරුල් වුවාය. සොහොන්කොත අසල වුයේ සෙවන සහිත නිසංසල බවකි.  අනුජ විසින් ගෙන ආ සුදු රෝස මල් පොකුර, සොහොන්කොත මත තිබුණු කුඩා ඵලකය මධ්‍යයේ නිසංසලේ වැතිර සිටියේය.

".. මේ දේවල් ඔයාට කියන්න හිතුවේ ගිය මාසේ. ඒ උනාට ඒක මගෑරුනා. අපේ සැලෝන් වල වැඩ වලට හිරවෙච්ච හින්දා ඔයාට නිදහසේ කතාකරන්න මට වෙලාවක් හොයාගන්න බැරි උනානේ..."

කුමක් හෝ බරපතල බවක් ඒ වචනවල ගැබ්ව තිබෙන බව නිර්මලී දත් නමුත් ඈ වෙනසක් නොපෙන්වා අසාගෙන ඉන්නට දැන් පුරුදු වී ඇති නිසා , අනුජගේ සිහින් දෑස දෙසම බලාගෙන සිටියාය.

"... බතල පැටිස් වගේ.. ස්පෙයාර් පාට්ස් කරන මම කොහොමද හිතන්නකෝ මේ කෙල්ලෝ අන්දන ඒවා කරන්නේ..."

අනුජගේ ඒ සිනාසෙන දෑස්වල තිබුනේ කුමක් හෝ වේදනාවකි.


--------------------------------- මතු සම්බන්ධයි ----------------------------------

15 comments:

  1. Replies
    1. ගරුකටයුතු ප්‍රාජේ මහතා මොකෝ හ්ම්ම් ගාන්නේ

      Delete
  2. අද තියෙනේ anticlimax එකක්. හිතේ කරදරයක් නැතුව කියවගෙන ගියා.... ඒ ඔක්කොමත් හොඳට කරල අන්තිමට අතරමං කරා නේද ආයෙත් අපිව???

    ReplyDelete
    Replies
    1. බැන්නනේ බය කරනවා කියලා.. ඇති යන්තම්! ටිකක් ඉන්ටකො

      Delete
    2. ලිඛිතා කන්දෙන් ආපු ළමයෙක් වගේ........

      Delete
  3. අයියෝ අද මෙච්චරද ?

    ReplyDelete
    Replies
    1. ඔයින් ගියා මදැයි.. තව බලමු

      Delete
  4. ලංකාවේ පලමු ටෙලි නාට්ටිය ලෙස බෞතීස්ම දී ඇත්තේ දිමුතු මුතු" ටය. මෙහි සිටියේ දේවිකා මිහිරාණි හෙවත් විජය නන්දසිරිගේ හොඳ පලුව හෙවත් ඇඹේණිය ය. එහි සමහර එපිසෝඩ් එක පුරාවට ගියේ දේවිකා මිහිරාණි; නිරිත දෙස බලා සිට වයඹ දෙසට හැරෙණ අංශක 90 ගෙවී යන්නටය! එදා එපිසෝඩ් එක අංශක අනූවෙන් කෙළවර වේ! මෙය ඊට වඩා හොඳය! ඊට වඩා පොඩිත්තක් එක් සතියකට සිදුවේ! අනේ ඉතිං අපි බලා සිටින්නෙමු ඊළඟ සතිය එළඹෙන බලා සිටින්නෙමු; නිර්මළී අනූජට ආයෙත් තෙල් දාන තෙක්! ඉක්මනට ඔය ලමයාව තැනකට ගේන්නකෝ!

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මේවාට මොනවා කියන්නද කියල.. ඒ කාලේ දිමුතු මුතු ගැන කියෝන තව එක්කෙනෙක් ඉන්නවා.. එයත් එක්කම මෙයත් පටන් අරගෙන දේවිකා මිහිරානි ගැන කියවන්න.
      ඒ කාලේ ක්‍රෂ් එකක්ද කොහෙද මෙයාලගේ

      Delete
    2. මේ කියන විදියට නිර්මලිගේ ෆීචර්ස් එහෙමත් ඒ කාලේ දේවිකා මිහිරානි ගේ වගේ තමයි.. :)

      //ඒ කාලේ දිමුතු මුතු ගැන කියෝන තව එක්කෙනෙක් ඉන්නවා..// ඒ කාලේ ක්‍රෂ් එකක්ද කොහෙද මෙයාලගේ// ආයිත් අහල.. ක්‍රෂ් එකක් නෙව.. පස්සේ පස්සේ මම නම් වැඩිය කැමති උනේ දීපිකා සන්දනායක ට.. තට්ට මහත්තයාට මතක ඇති සමන්තැන්න නාට්‍යය..

      Delete
    3. අම්මෝ අනේ නැහැ.. දේවිකා මිහිරානිගේ කටේ පළල වැඩිනේ.. අම්මියෝ නෑ නිර්මලී ලස්සනයි අනේ...

      Delete
  5. කොටස් දෙකක් එකට කියව්ව.
    ජයි හෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අදහසක් එහෙම කියල.. අර උඩින් ඉන්න කට්ටිය වගේ බැනලා එහෙම යන්ඩ පුළුවන්

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...