Saturday, October 16, 2021

273: උන්මාද චිත්‍රාදෝ මා 07


 

නිර්මලී වෙව්ලන දෑත මාරුවෙන් මාරුවට මුවේ ලමින් , නියපොතු කමින් අපහසුවෙන් හුස්ම ගත්තාය. 

නිවාසයෙන් පිටත්වූ අනුජගේ රේන්ජ් රෝවර් රථය නිවස කරා පැමිණියේ අධික වේගයෙනි. ඉදිරි අසුනේ සිටි හිමාල්ගේ දුරකථනයත්, අනුජගේ දුරකථනයත් තරඟයට මෙන් නොනවත්වා නද දුන්නද දෙදෙනාගෙන් කිසිවකුත් එයට පිළිතුරු දුන්නේ නැත. පසුපස අසුනේ උන් දුලීකා සිය තොල් විකාගෙන , දුරකතනයට එබීගෙනමය. 

සියල්ලෝම ගොළුවත බින්දේ අනුජගේ නිවසේ ගරාජය අසලින් රථය නවත්වද්දීය.

"මචන්..."

"මට ටිකක් පාඩුවේ ඉන්න ඕනේ මචන්... තරහ වෙන්න එපා..."

හිමාල් කියූ වචන නතර කරන්නට ක්ෂණිකව එසේ කියූ අනුජ වහා වාහනයෙන් බැස , නිවස තුලට ගියේය. හිමාල් සහ දුලීකා එකිනෙකා දෙස බැලු අතර, සෙමෙන් වාහනයෙන් බිමටබට නිර්මලී , බිම බලාගෙනම නිවසට ඇතුළු වීමට දොරටුව අසලට ගියාය. ඇගේ සර්වාංගයම පිළිස්සෙනවා මෙන් දැනෙන්නට වූ අතර මහා වරදකාරී හැඟීමක් නිසා තද චිත්ත පිඩාවක් දැනෙන්නට විය.

මිහිමත දෙවියෙක් ලෙස තමන්ගේ අගාධයට වැටෙන්නට ගිය ජීවිතය බේරාදුන් මේ උතුම් මිනිසාට අපහාස කරන්නට  ආයුධ ලබාදුන්නේ තමන් නොවේද?

"අක්කා... පුලුවන්ද ටිකක් ඉඳලා යන්න..? මට බයයි"

දුලීකාට නිර්මලී ගැන සන්තාපයක් දැනුනි. අනුජ කෝප නොගැනීම පුදුමයකි. කෝපය විසින් අනුජ කෙතරම් පෙරළියකට ලක් කරනවාද කියා දුලීකා දන්නා නිසා නිර්මලී ගැන බියක් නොසිතුනාද නොවේ. හිමාල්  දෙස බැලු දුලීකාට ලැබුනේ යහපත් ප්‍රතිචාරයකි.

තිදෙනාම නිවසට ගොඩවු අතර පොඩිනා සිනාසෙමින් පැමිණ දුලීකා සහ හිමාල් අසල නැවතුනාය.

"උත්සවේ ලස්සනට තිබුණය කියල වීරසිරි කිව්වා. නෝනලා දවල්ට කාලා නේ යන්නේ? මම මහත්තයට කිව්වා අද මම හදන්නේ ඉස්පෙසල් කියල. "

"ආ.. පොඩිනාගේ ස්පෙෂල් අපි දන්නවනේ... .ඔව් ඔව්. දවල්ට කන්න ඕනේ.. එහෙනුත් කාලනේ ආවේ. දැන් තේ එකක් බොමු එහෙනම්"

හිමාල් දුරකථන ඇමතුමකට සම්බන්ධ වෙමින් විසිත්ත කාමරයෙන් ඉවත් වනවිට දුලීකා එසේ කියනමින් නිර්මලී සමඟ සෝෆාවේ අසුන් ගත්තාය. නිර්මලී සිටියේ වේදනාව පිටකරගත නොහැකිව අකර්මන්‍යවය. 

"නංගි... "

පොඩිනා ඉවතට ගොස් අතුරුදහන්ව ගිය පසු නිර්මලි දෙස බලා දුලීකා සෙමෙන් හඬ අවදි කළාය.

".... අනුජ ඔයාට කිව්වද... මේ...?"

එයට 'ඔව්' කියන්නට මෙන් නිර්මලී හිස ඉහල පහල වැනුවාය. බිමට යොමුවුනු ඇගේ දෑසෙන් එවර කඳුළු කඩා හැලුනේ නිරායාසයෙනි.

"අනුජ ඔය ළමයට උදව් කලේ අපිත් එපා කියද්දී. ඒ කෙල්ල එහෙම ඒ දේවල් වෙන කාටවත් දෙයි කියල අපි හීනෙකින්වත් හිතුවෙත් නැහැ.  කලින් වතාවක් ඕක ඇදුනම යට ගියේ රත්වත්තේ කියන ඇමතිගේ නමත් ඔතන කියවෙච්ච නිසා. මේ පාර කෙලින්ම අනුජ  විතරයි මෙහෙම හයිලයිට් වෙලා තියෙන්නේ... "

දුලීකා හුස්මක් ඇල්ලු අතර , නිර්මලි බුරුල් වූ නාසය ඉහලට ඇද්දාය. ඇගේ පපුවට යවුලෙන් අනින්නා සේ දැනුනි.

"... අනුජ එහෙම ඒ ලමයව සල්ලි වලට ගත්තේ නැහැ නංගි... එයා කෝල් කලේ ඒ ළමයට උදව් කරන්න. කේස් එක ඇදුනම CID එකෙන් ගත්ත කෝල්  ලිස්ට් එකේ හිටිය උන්ගේ නම් එක්ක මෙයාගේ නමත් ගියා... ඒත් මෙයාට වඩා ඇමති ගැන තමයි හයිලයිට් උනේ..  මෙච්චර කාලෙකට සංදිරිගමලා කාටවත් මඩක් තිබ්බේ නැහැනේ. ඒ හින්දා මේ පාර තනියෙන් ආපුවම..... මෙයාගේ නම ගියාම..."

නිර්මලිගේ පපුව සූරාගෙන ගිය ඒ වචනවල තිබුනෙම අනුජගේ නිර්දෝෂී බවයි. 

".. නංගි... අනුජ වද වෙන්නේ ඒ ඔක්කොටම වඩා ඔයා එයා ගැන වැරදියට හිතයි කියලා. මගෙන් සැහෙන වතාවක් ඇහුවා ඔයා අඬන්නේ බයවෙලාද කියල. ඔයත් එක්කම ඉන්න කිව්වේ ඔයාට අඬන්න දෙන්නත් එපා කියල. දැන් අඬන්නේ නැතුව ඉන්න.."

හිමාල් නැවත සාලයට පැමිණියේ පමණක සැනසුම් සුසුමක් හෙළමිනි.

"හරි... පෝස්ට් ඔක්කොම අයින් කරගත්ත... මේක දාපු අකවුන්ට් එක හොයන්න මම කිව්වා මේනකට.. ඌ ඕක පැයෙන් හොයලා කියයි... "

නිර්මලිගේ හදවත වේගයෙන් ස්පන්ධනය වන්නට විය. මෙය දිලීපගේ තිරිසන් වැඩක් බව ඈට විශ්වාසය. ඒ තිරිසන් ක්‍රියාවට කෙලින්ම අනුබල දුන්නේ තමන්ය. තමන්ව මෙහි දමාගිය දිලීපගෙන් පලිය ගැනීමට නොව, කන්න දුන්නු අත සපා කෑ තමන්ට දඬුවමක් අවශ්‍ය බව ඇගේ සිත මුරගෑවේය.

ඈ වහා නැගී සිටියේ යමක් සිතට ගත් නිසාය.

කුමක් වුවද මෙයට තමන්ට මේ සත්‍යට මුහුණ දෙන්නට වන බව, තමන්ගේ නොසන්ඩාල කමට දඬුවමක් ලබෙන බව සිතාගත් නිර්මලී එලෙසින්ම පියවර තබමින්  ඉහළ මාලයට ගියේ දුලීකා නිහඬවම ඒ දෙස බලා සිටියදීය. පඩිපෙළේ ඉහලට නගින යුවතිය ඇස මානයෙන් ඉවත්වන මොහොතේ ඈට ඉබේම නැගිට්ටුන නමුත් හිමාල් ඈ වලක්වාලුයේය.

"ඔයා යන්න එපා.... නිර්මලී මොකක්හරි කියලා මුව කූල් කරයි. කෙල්ල කියන දේ අහනවා මේ පිස්සා"

"පව්.. "

"මට හිතාගන්න බැහැ මූ ඔහොම සද්ද නැතුව ගියේ මොකද කියලා.. DIG ඔක්කොම බලලා කරලා තිබ්බා. දැන් කතාකලේ මුගේ ලෝයර්.. මූ ෆෝන් එක ගන්නේ නැහැ කියල"

නිර්මලී සෙමෙන් අනුජගේ කාමරය වෙත පියවර තැබුවාය. ඇගේ සර්වාංගයම වෙව්ලන්නට වුවද, මෙයට කෙසේ හෝ මුහුණ දෙන්නට ඈ සිතාගෙන හමාරය.

අනුජගේ කාමරය පාමුල සිටි ලෝරා නිර්මලී දැක 'ගර්ර්' හඬින් ගොරවන්නට වුවාය. නිර්මලී ලෝරාට ආදරයෙන් කතාකලද, ගෙරවීම නතර වුයේ නැත. මේ තිරිසන් සතාට ඇගේ දුෂ්ඨකම වැටහුනාද ?

එකවරම දොර හැරුණු අතර අනුජ සිටියේ අතෙහි තබාගත්  ඉයර් ප්ලග් දෙකක් සමඟ, කමිසය වැලමිටට නවාගෙන, සැහැල්ලුවෙන් බොත්තම් කිහිපයක්ම විවර කරගෙනය. දෑසේ වුයේ විඩාබර වේදනාත්මක බවකි. නිර්මලී නිරායාසයෙන් ඔහුගේ මුහුණ , අතේ තිබෙන ටැටූ සලකුණ සහ විවරවූ පපුව දෙස  පිලිවෙලින් බැලුනු  අතර කොපුල් ඉබේම රතුව ගියෙන් නිදහස් අතින් ඉක්මනින් අනුජ සිය කමිසයේ උඩ බොත්තමට අත තැබුවේය.

"නි... නිර්මලී?"

නිර්මලී කතා කලේ නැත. ලෝරා ගෙරවීම වැඩිකරමින් බුරන්නට වුවාය.

"....ලෝරා... බුරන්න එපා.. දැන් ඔයා යන්න බැල්කනියට"

වරක් නිර්මලී දෙස බලා ගෙරවු ලෝරා සෙමෙන් බැල්කනිය පැත්තට ගියේ අතිශය කීකරු ලෙසිනි.

අනුජගේ දෑස තුල තිබුණු කතාව කියවන්නට තරම් තරුණිය මෝරා නොතිබුනත්, තරුණියගේ දෑස කියවන්නට තරමට අනුජ සමත් වී තිබිණ. දොර අසල සිට විවර වූ දොර එසේම තිබියදී සිය කාමරයට ගිය අනුජ, කාමරයේ බිත්තියක් පුරා ඇති කණ්නාඩියෙන් සිය ප්‍රතිබිම්බය දෙස බැලුවේය. 

එවිටම නිර්මලී කාමරයට එබෙද්දි එලෙසින්ම හිස එසවූ අනුජ ඈ දුටුවේ කණ්නාඩිය තුලිනි. දෙදෙනාගේම දෑස්  තත්පර කිහිපයක් එක අයුරින්ම එකිනෙකා කෙරෙහි විය. වෙනදා ඇති විදුලි කාන්දුව අද අනුජට දැනුනේ නැත.

ඉන් පළමුව නෙත ගලවාගත්තේ අනුජය. ඔහු ආපසු හැරී බලා, කාමරයේ පහසුවෙන් තබා තිබුණු සුදුපාට සැපපහසු සෝපාවේ හිඳගත්තේ දෙපා දෙපසට විහිදුවා , පිටදුන් කොටසේ මදක් රූරා වැටෙමිනි.

අපේක්ෂා නොකළ පරිද්දෙන් , නිර්මලී දොරෙන් ඇතුලට පැමිණ දොර වසා දැමු නිසා අනුජ මදක් තිගැස්සුනි. තමන් දුටු හැමවිටම පලා යන, සා පැටවියක මෙන් ගැහෙන දෑසින් බලා සිටින නිර්මලී එලෙස කරන්නට නම්, ඇයට යමක් සිදුවී තිබිය යුතුය. වෙනදා තරම්ම තීව්‍ර නොවුවද, අනුජගේ සිත විසිරී ගොස්ය.

නිර්මලී සෙමෙන් පැමිණ අනුජ අසලින් සිටගෙන සිටියදී, අනුජ දෑස වසාගෙන, මුහුණ ඉහලට හරවාගෙනම උන්නේය. කාලය ගෙවුනේ කල්ප වලින් වන්නට ඇත. දෑස වසාගෙන , උඩ බලාගෙන සිටින අනුජ සංදිරිගම දෙස නිර්මලී බල සිටියේ හුස්මක් නොඅල්ලාමය. සෘජු නැහැය , රැවුල්කොට ගහන පැහැපත් මුහුණ, තදින් පියවි ඇති දෙතොල් දෙස තරුණිය බලා සිටියාය.

ඒ පෙනුමේ තිබුණු මිල අධික බව හැරුණුවිට, තමන්ගේ මනෝ විකාරවල වූ සල්ලාල කමක් නොවීය. සීනිබෝල සුදක් නොවුණු ඔහු සැබෑ කඩවසම් තරුණයෙකි. දිලීප වැනි තුට්ටු දෙකේ ගතිපැවතුම් නොමැති, තමන්ට ගරු කරන චරිතයකි. තමන් මෙතෙක් සිටි කාල වකවානුව ඇතුලත, කිසි දිනෙක තමන්ව අනවශ්‍ය ලෙස ස්පර්ශ නොකරන්නට තරම් ඔහු තුල මහත්මා ගතියක් තිබුනා නොවේද? මෝඩකම සහ උද්දච්චකම නිසා ඔහුට දුන් පිඩා කෙතෙක්ද? 

ඒ සියල්ලටම වඩා ඔහු වැනි කෙනෙකුගේ ප්‍රතිරූපය එලෙස නැති කරන්නට තරම්? දිලීප පැවසු සියල්ලම කෙතරම් සාහසිකද? එහෙත් ඉතා කෙටි කලක් දන්නා ඔහු කිසිදින ඇයට අගරු දෙයක් කලේ නැත. 

'මම කොච්චර ජරා කෙල්ලෙක්ද?'

සිත තමන්ට නගන්නේ සුළුපටු දොසක් නොවේ. හදවත ගලවා ඔහු ඉදිරියෙන් තබන්නට සිතෙන තරමකි. මනසින් දුර්වලව ගිය නිර්මලී තවත් විනාඩි ගණනාවකින් පසුව ඔහු අසලම, දෙපා මුල හිඳගෙන එකවරම ඔහුගේ වම් කකුල තදින් සිය ලයට තදකොට බදාගත්තාය. අනුජට බර සුසුමක් පිටවිය.

"ඇයි ඔයා ඒවා එෆ්බි දැම්මේ?"

එය අනුජ ඇසුවේ ඉතා පැහැදිලි මෘදු වචන අතර,  හිඩැස් තබමිනි. 

'අනේ.. ඒ කියන්නේ එයා දන්නවා.... '

හදවත වේදනාවෙන් මිරිකෙයි.

නිර්මලී අනුජගේ කකුල තවත් බදාගත්තේ කඳුළු කඩා හැලෙද්දීය. ඇගේ මුවින් කිසිදු ශබ්දයක් පිටවුයේ නැත. අනුජ ලොකු හුස්මක් ගත්තේ දෑස හරිමිනි. ඔහුගේ මුහුණ තවමත් අහස බලාගෙන, ඇස කාමරයේ වහලයේ රැඳී තිබිණ.

"... ෆෝන් එක තිබ්බේ ඔයා ගාව... මම ඒක දන්නවා... ඒත්.. මම හිතුවේ නැහැ... ඔයා කවදාවත්"

"මට සමාව දෙන්න එපා සර්...! මට කවදාවත් සමාවක් දෙන්න එපා..."

නිර්මලී ඇගේ නළල අනුජගේ කකුලේ තබාගෙන තද කළාය.

අනතුරුව දෙදෙනා අතරම තිබුනේ ගැඹුරු නිහැඬියාවකි. නිර්මලිගේ දෑසින් වැටුණු කඳුළු අනුජගේ ඩෙනිම් කලිසම පසාරු කරගෙන ඇතුලන්තයටම ගියේ හදවත පැලී රුධිරය වහනය වන්නාක් මෙනි. මද වෙලාවකින් සිතට ධෛර්ය ගත් අනුජ ඉදිරියට නැමී , සිය කකුල බදාගෙන සිටින සිය සිතගත් තරුණියගේ බිමට නැඹුරු වුනු මුහුණ දබර ඇඟිල්ල නිකටට තබා ඉහලට ඔසවා තමන් වෙත හරවා ගත්තේය.

"ඔයා දන්නේ නැහැ මම ඔයාට කොච්චර ආදරෙයිද කියල නිර්මලී......"

නිර්මලිගේ දෑත දෙපා සියල්ලම අක්‍රියව ගියාක් මෙන්, ඉබේටම අනුජගේ කකුල ග්‍රහණයෙන් ගිලිහුණි. ඒ දෑසේ තිබෙන වේදනාත්මක ගැඹුරු පිරිමි හැඟීම් විසින් ඈ කම්පිතව ගොස් කුමක් හෝ ගන්ධබ්බ ගතියක් දැනෙන්නට විය.

"... ඔව් බබා... මම බල්ලෙක් තමයි... පුංචිම පුංචි කෙල්ලෙක් කියලාවත් බලන්නේ නැතුව මම අරගෙන ආවේ ඔයාව බලෙන්ම තමයි..... මම හිතුවේ නැහැ ඔයා ඒකට අකමැතිද කියලාවත්.. මට හිතුනෙම මගේ කෙල්ල කවුරුහරි කුපාඩියෙක් උස්සයි කියල විතරයි... මට අකමැති වෙයි කියලා නිකමටවත් හිතුනේ නැහැ... "

"සර්..."

නිර්මලිගේ වෙව්ලන දෙතොල් වලින් පිටවුයේ එපමණකි.

"එච්චරම මාව හේට් කරයි කියලා මට හිතුනෙම නැහැ... "

නිර්මලී අනුජගේ වමතේ අල්ල දෝතින්ම අල්ලා ඔහුව වඳින්නාක් මෙන් බැගෑපත්ව බැලුවාය.

"මට සමාව දෙන්න එපා සර්.. මම මගේ ජිවිත කාලෙම... සර්ට බැලමෙහෙවර කරගෙන ඉන්නම්... මට බනින්න.. ඕනේ නම් ගහන්න... සමාව දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි මම කලේ.. මම.. මම.. මම.. ඒ ෆෝන් එක දුන්න කෙනා තමයි ඒවා දාල තියෙන්නේ... ඇත්ත සර්ගේ පින්තුරේ දුන්නෙත් මම තමයි ... අනේ ඒ උනාට ඔහොම දායි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ සර්.... අනේ බුදු සර්..... මම.. මම මම හිතුවේ...."

අනුජේගේ දෑසේ කඳුළු තිබෙන බව තරුණියට හොඳටම පෙනෙද්දී ඈ අනුජගේ අත තදකොට බදාගත්තාය.

"නි..ර්මලී... "

නොනවත්වා හඬන තරුණිය ඔහුගේ අත තදකොට බදාගෙනය. අනුජ වේදනාවෙන් ඉවත බලාගත්තේය.

".. දුලීකා එක්ක යන්න එහෙ ටික දවසකට... "

"...................."

"ඔක්කොම ටියුෂන් මම එහෙට එවන්නම්..."

"...................."

"දැන් අඬන්න එපා... හ්ම්ම්?"

"............"

"බයවෙන්න එපා දැන්.. මේක දන්නේ මමයි, ඔයා කියන ඔය අනිත් කෙනයි, ඔයයි විතරයි. මම වෙන කාටවත් කියන්නේ නැහැ."

තමන්ගේ හදවත පුපුරා කුඩා කැබලි වලට කැඩී යන්නාක් මෙන් දැනී නිර්මලී ඉකිගසන්නට වුවාය. අනුජට සුසුමක් හෙලුනි.

".. සන්සුන් වෙන්න දැන්... ඔයත් අහන්නකො මේ මියුසික් එක ටිකක්... කෝ දැන් නැගිටින්න"

නිර්මලිව අනෙක් අතින් අල්ලා ඔසවාගෙන තමන් අසලම සෝෆාවේ හිඳුවාගත් අනුජ සිය මහපට ඇඟිල්ලෙන් ඇගේ කොපුල්වල තිබුණු තෙත ගතිය පිසදැමුවේය. ඇගේ කොපුල්වල ඇති ඒ මෘදු ස්පර්ශය ඔහුගේ සිත අවුළුවා හැරියද, අනුජ ඒ සිත වලක්වා ගත්තේ ක්ෂනයෙනි. ඔහුගේ මතකයට එකවරම පැමිණියේ රේසිකාගේ මුහුණය.

අනුජ සිය අතෙහි තිබී පසෙක තැබුණු ඉයර් ප්ලග් දෙකෙන් එකක් නිර්මලිගේ දකුණු කනේ ගසා අනෙක තමන්ගේ වම් කනේ රැඳවූ අතර නිර්මලී තවමත් හුස්ම අල්ලමින් ඉකි ගසනු දැක වෙනත් ගීතයක් වාදනය කළේය.

Wise men say
Only fools rush in
But I can't help falling in love with you
Shall I stay?
Would it be a sin
If I can't help falling in love with you?
Like a river flows
Surely to the sea
Darling, so it goes
Some things are meant to be
Take my hand
Take my whole life too
For I can't help falling in love with you
Like a river flows
Surely to the sea
Darling, so it goes
Some things are meant to be
Take my hand
Take my whole life too
For I can't help falling in love with you
For I can't help falling in love with you


ගීතයේ ලයාන්විත භාවයත් සමඟ නිර්මලී සුසුම් හෙලමින් අනුජගේ උරහිසට යන්තම් බරවුවද, අනුජ අනුබලයක් නොදක්වා සිත තුලින් නැගෙන වේදනාව තදින් මිරිකාගෙන නිසොල්මනේ උන්නේය.

තමන් තුල නැගෙන වරදකාරී හැඟීම නිසා ඒ මොහොතේ නිර්මලී සිටියේ තමන් කියන කරන ඕනෑම දෙයකට අවනතව යන තරමට මානසික වියවුලකින් බව අනුජ දන්නා නිසා තරුණිය අසරණ කරන්නට අවශ්‍ය වුයේ නැත. ඈ ගැන තමන්ගේ සිතේ ඇතිවූ ප්‍රේමය මෙලෙස කියන්නට සිදුවීම ගැන ඔහු කණගාටුවට පත්ව තිබිණ. 

ඒ ප්‍රේමය කවර ආකාරයේ එකක්දැයි ; කුමන හැඩයේ එකක්දැයි තේරුම් ගන්නට සිය මිතුරාට තබා තමාටද නොහැකිය. එබැවින් , නිර්මලී වෙත එය දක්වා බිය ගන්වන්නට ඔහුට අවශ්‍ය වුයේ නැත.

අද සිදුවීමෙන් පසුව ඈට සිතතුළ වූ ප්‍රේමය වචනයෙන් කියන්නට සිදුවිය. ඇගේ කම්පනය, වේදනාවෙන් යටපත් වන්නට ඇත. සමහරවිට මෙතෙක් සිතේ තබාගෙ සිටි සියල්ලම එයින් වෙනස් වනු ඇත.

ප්‍රේමය දුටුමතින් ඇතිවීමක් ගැන අනුජගේ විශ්වාසයක් කිසිදින තිබුනේ නැත. තරුණියන්ගෙන් ඔහුට කවදාවත්  අඩුවක් නොතිබුනත් සිත පුරා ප්‍රේමයක් කියා යමක් පිදුවේ මීට පෙරය. ඒ සියල්ලම ඔහුගේ අතීතයයි. නිර්මලී තමන්ගේ අනාගතය නොවන්නට ඉඩක් ඇත. එය තමන්ට පිලිගන්නවට හිමාල් නොගත් උත්සහයක් නොමැති බව අනුජ දනී.

මොකක් කරන්නද? මට නිර්මලිව ඕනෙම උනා!

ගීතය නිමවූ පසුව , නිර්මලී තමන්ගේ උරහිසට බරවී, අත් ගොබය අස්සේ මුහුණ ඔබාගෙන නිසොල්මනේ සිටීම අපහසුවෙන් වුවද විඳගෙන සිටි අනුජ සැහැල්ලු වන්නට උත්සහ කළේය.

"බබා...... දැන් ඔයා ඔයාගේ කාමරේට යන්න.. මෙහෙම ඉන්න එක හොඳ නැහැ"

එයට අවනතව , කිසිවක් නොකී නිර්මලී නැගිට දොර අසලට ගියේ බිම බලාගෙනමය.

"මුණ හෝදගෙන යන්න. ඔතන වමේ තියෙන දොර  බාත්රූම් එක.. අඬල අඬලම හෙම්බත් වෙලා..  "

අවසාන කොටස අනුජ කියාගත්තේ තමන්ටමය. නිර්මලී බිම බලාගෙනම නාන කාමරය දෙසට ගොස් මුහුණ සෝදා ගන්නා අතරේ අනුජ සිය ජංගම දුරකතනයට ආ ඇමතුමට සම්බන්ධ විය.

"එවපන් ඔය පොඩි කෙල්ලව... ඇති !"

-------------------------------------------------------------------------


නිර්මලී නැවත නැවතත් ඒ වචන ප්‍රතිරාව කළාය.

"ඔයා දන්නේ නැහැ මම ඔයාට කොච්චර ආදරෙයිද කියල නිර්මලී......"

ඒ වචන කියන මොහොතේ ඔහුගේ ඇස්වල තිබුණු පිරිමි පෙනුම විසින් නිර්මලිගේ ආත්මයම ගල්ගැසී ගියා නොවේද? මේ කුමක්ද මේ කියන්නේ? 

අනුජ සංදිරිගම... කෝටිපති ව්‍යාපාරික; විසිනව හැවිරිදි ; අනුජ සංදිරිගම , ලැයිමක ජිවත්වන ;නූගත් ; සිය පියා විසින් අලෙවිකර දැමු ;දහසය හැවිරිදි  නිර්මලී හේවගේට ආදරෙයි කියලද මේ කියන්නේ? එය කොතරම්ම ලොකු සුරංගනා කතාවක්ද?

තමන්ගේ කිර්තිය නැතිවන තරම් අවදානමක් ගෙන තමන්ව ගලවා ගත්තේ ආදරේ නිසාද? අනේ ඒක , සතියක් අසල නොමැති මොහොතේ වෙනත් ගැහැණියෙක් සොයා යන දිලීප වැනි මිනිසුන් දකින්නේ සල්ලාලකම කියාද?

තමන් මෙහි රැගෙන ආ සැමදිනෙකම ඔහු කෙතරම් ගරුත්වයකින් තමන්ට සැලකුවාද? ආදරේ කියන්නේ එයද? හසුවන පළමු නිමේශයේම තම සිරුරට බරව එහි පහස සොයන දිලීප සමඟ බැලු විට අනුජ කුමන ආකාරයේ ආදරයක්ද මේ පතන්නේ?

ඔහු වරින්වර, නොකඩවා තමන්ට පැවසුවේ ඉගෙනගන්නා ලෙසයි. එසේ නොමැතිව විවාහ කරගත්තා කියා තමන්ගෙන් බිරිඳක් බලාපොරොත්තු වුයේ නැත. තමන් එය වරදවා වටහාගෙන සිටියේ ඔහු කරනා ලද මුලාවක් ලෙස නොවේද? නමුත් එයද ආදරය කියන්නේ?

හැඩිමෙන් බැරැන්ඩිව ගිය උගුර නිසා ඇයට කැස්සක් ආ බැවින් නිර්මලී නාන කාමරයට ගොස් ඇල් වතුට ටිකක් බිව්වාය.

වයස විසි නවයක් වූ ඔහු, තමන්ට වඩා අවුරුදු දහතුනක් බාල යුවතියක් වෙත ප්‍රේමයෙන් බැඳීම අමුතුයි නොවේද? සෙමෙන් සෙමෙන් කාන්දුව පිරෙන ජලාශයක් මෙන්, නිර්මලිගේ සිතට අනුජ මෙතෙක් පෙන්වූ ආදරයේ මොහොතවල් දැනෙන්නට පටන් ගත්තේ ඒ මොහොතේය. එය ඇරඹුණේ අඩු වේගයකින් වුවද, මද වෙලාවකින් මහා මුරුගසන් වරුසාවක් පැමිණ ජලාශය කර මට්ටම දක්වා පුරවා දමනවාක් මෙන්  ඇයට දැනුනි.

'මම අනුජ ගැන ඇත්තටම මොනාද හිතන්නේ?'

නිර්මලී තමන්ගෙන්ම විමසුවාය. 

'ඇත්තටම මම මොනාද දිලිපට ආදරේ කරනවා කියලා කලේ? මුල් දවස්වල නම් ඔන්න දකින්න ආසාවෙන්. ඊට පස්සේ අතින් අල්ලන්න.. මගේ කියලා කියවන්න කෙනෙක්... එච්චරද? නෑ , මම දිලීප හින්දා ඉස්කෝලේ නොගිහින් ඉන්න උනොත්.. එදාට මම රණ්ඩු කරලා යනවා. මම එපා කිව්වට දීලිපත් එයාට ඕනේ දේවල්මයි කලේ.. ඒ උනාට අනුජ? මම හින්දා ඉස්කෝල හොයනවා, ඇඳුම් ගේනවා, ඉගෙනීම ගැන වද වෙනවා , මම දුකෙන්ද කියලා බලනවා... මම නිසා දැන් අපහාසත් විඳිනවා.. '

පෙර දිනයන් වලදී ඔහුට බියෙන් සිටියා කියා සිතුවාට, ඇත්තටම තමන් ඔහුට බියෙන් සිටියේ නැහැ නොවේදැයි නිර්මලිට සිහිවිය. හිතේ තියෙන ඕනෑම දෙයක් කියවාගෙන යන්නට සිතෙන තරමට ඔහු අසල දැනෙන්නේ සැහැල්ලුවකි. දිලීප සමඟ වචනයක් වැරදුන මොහොතින් කුණුහරප වැලක් කියවයි. පාසලේ ඒවා ඔහුට 'වැල් බයිලා'ය. පොත්පත්වල තිබුණු දේවල් 'මන්දස්ගාත' ය.

'මම දිලීප එක්ක මොහොතක්වත් අනුජව සසඳන්න බැහැ දෙවියනේ... අනුජ කියන්නේ ඈත ඉන්න තරුවක් වගේ '

නිර්මලිගේ සිත මුරගෑවේය.

පසුදින අනුජ සුපුරුදු පරිදි සිය දින චරියාව අරඹා තිබිණ. එකම වෙනස වුයේ උදෑසන ව්‍යායාම කර, උදෑසන කාල සටහනට සිය ලේකම්වරියට බැන අඬගසා , ලෑස්ති වී පහලට එනවිට කෑම මේසය අසල නිර්මලී සිටීමයි. පොඩිනා පෙනෙන්නට නොවීය.

අත්දිග කමිසයේ මැණික් කටුව අසල බොත්තම් දමමින් පැමිණි අනුජ දෑස සිහින්කොට බැලුවේ නිර්මලී දෙසය.

"කෝ පොඩිනා ?"

"අද එයා නිවාඩු.. අද මම ඉව්වේ"

අනුජ එකවරම නිර්මලී දෙස බැලුවේය. අනුජගේ හුස්ම මදකට නතරවිය. මොහොතින් දැහැනින් මිදුන ඔහු සාමාන්‍ය වන්නට උත්සහ කළේය. කුකුල්මස් සමඟ අල හොදි සහ තවත් එළවලු සමඟ බත් උයා තිබිණ. ඔහුගේ සිත කුමක්දෝ කම්පනයකින් වෙව්ලා යනු දැනී නැවතත් නිර්මලී දෙස බැලුවේ යමක් කියන්නට මෙනි.

".. මම... හොඳට ඉගෙනගන්නවා සර්... ණය ගෙවන්න නෙවෙයි... ඒ උනත් මම පොරොන්දු වෙනවා. මාව කොහෙවත් යවන්න එපා "

නිර්මලිගේ උගුර සිරවී ගියේය. 

පෙරදින තමන් කෙතරම් බල කලද නිර්මලී දුලීකා සමඟ යන්නට කැමැත්තක් පලකලේ නැත.

අනුජ සෙමෙන් තරුණිය අසලට පැමිණියද, ඈ වැළඳ ගන්නට ආ සිත අපහසුවෙන් වලක්වා ගත්තේය. ඒ වෙනුවට බිමට නැඹුරු වූ ඇගේ බුහුටි ඇත්දළ පැහැති නිකටින් ඔසවා ඒ මුහුණ දෙස මද වෙලාවක් බලා සිටියේය.

"තැන්ක්ස් නිර්මලී...."

නිර්මලී තමන්ගේ සිරුරට අඟල් කිහිපයක් ඈතින් සිටින අනුජගේ සිරුරට වාරු වන්නට සදත්ම, අනුජ ඇගේ උරහිසින් අල්ලා නතර කලේ ක්ෂනයෙනි. නිර්මලී අනුජ දෙස බැලුවද, ඔහු ඉවත බලාගෙන වහා ආපසු හැරුනේය. නිර්මලී ව්‍යාකුල වුවාය.

'තරහ ගියද?'

අනුජ වෙනස්ම සිනාවක් මුහුණට නගාගෙන කෑම මේසයට  හිඳගත්තේය. අනතුරුව සාමාන්‍ය කතාබහ ඇරඹුණේ සුපුරුදු පරිදිය. මද වෙලාවකින් පෙර සිටි නිර්මලී දක්නට ලැබුන නිසා අනුජ සිත ඇතුලින් සිනාසෙමින් ඇගේ යොවුන්, ජීවී , බුහුටි කතා අසාගෙන සිටියේ සතුටිනි.

"සර්.."

වීරසිරි සුපුරුදු  පරිදි දොරකඩ සිට සිහි කැඳවිය. අනුජ ඉක්මනින් සිය පරිගණක බෑගය අතටගෙන වාහනය් වෙත යද්දී අනිච්චානුගවම නිර්මලී පසුපසින් ගියාය. ඒ වනවිට ඇගේ ඉංග්‍රීසි ගුරුතුමිය ගේට්ටුව දෙස සිට නිවසට එමින් සිටියාය. 

ඉවකින් මෙන් පසු හැරුනු අනුජට තමන් අසලින්ම සිටින නිර්මලී දැක ඉබේටම නැගුනේ මන්දහාසයකි. ඔහු සිය වමත ඇගේ හිස් මුදුනෙන් තබා කෙලින්ම ඇගේ මුහුණ බැලුවේය.

"අද හොඳට වැඩ ටික කරන්න එහෙනම්.... කෝල් එකක් දෙන්නම්කො මම"

"හ්ම්ම්"

තරුණිය හිස වැනුවේ , අනුජගේ ඒ දයාර්ද බැල්මට වශිව ගොස් මෙනි. නෙලුම් පොහොට්ටු වැනි විසල් ඇස්වල දිලිසිමෙන් අනුජගේ හදවතේ රුධිර පීඩනය වැඩිවී යන්නාක් මෙන් දැනුනද, ඔහුගේ දුරකථනය නාදවිය. වීරසිරි පැමිණ ඔහුගේ අතේ තිබුණු පරිඝනකය ගෙන වාහනයේ පසුපසින් තැබුවේය. 

"මිස් මට අද ටිකක් පරක්කුයි"

ගුරුතුමිය සමඟ වචන කිහිපයක් කතාකල අනුජ පිටව යනු නිර්මලී බලා සිටියේ කුමක්දෝ අමුතු හැඟීමකිනි. ඒ  හැඟීමට කියන්නට නමක් ඈ දැන උන්නේ නැත.


------------------------------------------------------------------

ඉන් මතු සති ගණනාවක්ම ගෙවුනේ මේ ආකාරයේ උදෑසනකිනි. දෙවන තුන්ව දිනයේදී අනුජ පොඩිනාට කෑම උයන්නට පැවසුවේ නිර්මලී ඒ වෙලාවට උදෑසන පාඩම් කරන්නට එකඟ කරගනිමිනි. ඔහුගේ කායවර්ධන කාමරයට යාබද කාමරයක් ඇයට උදෑසන පාඩම් කරන්නට සකසා දුන්නේ පහල මාලයට යන්නට නිර්මලී කම්මැලි කරන බව දැනුනු බැවිනි.

ඒ සතිය ඇතුලතදී දිලීප දෙවරක් ස්ථාවර දුරකතනයට ඇමතුවද, දෙවතාවේම නිර්මලී එය වැරදි අංකයක් බව කියා විසන්ධි කළාය. එක්තරා දිනෙක දහවල් වරුවේ බැල්කනියට පිවිසෙන තමන්ට ඈතින්, කලින්දා ගෙතුලට ගත් ගේට්ටුව අභියස රැඳුනු දිලිපගේ රුව දුටු වහාම නිර්මලී සැඟවී සිටියාය. එයින් මතුව නිර්මලිට දිලීප ඇමතුමක් දුන්නේ නැත.

අනුජ පිටව ගිය පසුව බදාදා හැරුණුවිට අනෙකුත් සැම දිනකම ඇගේ උපකාරක පංති පැවැත්වුණි. ගුරුතුමියන් සියලු දෙනාම ඇගේ දක්ෂතාවය ගැන අනුජ සමඟ පැවසුවේ සතුටිනි. ඈ වේගයෙන් විෂය කරුණු ග්‍රහණය කරමින් වඩා දක්ෂ ශිෂ්‍යාවක් බවට පත්වෙමින්  සිටියාය. වැඩිම දියුණුව තිබුනේ ඇගේ ඉංග්‍රීසි පන්තියේ වැඩකටයුතු වලයි. 

මසක් නිමවනවිට, නිර්මලී ඇගේ නව අර්ධ රජයේ පාසලට ඇතුලත් වූ අතර, අනුජ සමග උදෑසන පාසලට යන්නටත්, දහවල් වීරසිරි සමඟ පාසලෙන් නිවසට එන්නටත් පටන් ගත්තාය. අමතර පන්ති පැවැත්වුනේ සවස හතරේ සිට නිසා නිර්මලිට එය පහසු විය. 

පාසලේ ඇගේ සමීප මිතුරියන් ලෙස නේහා සහ ප්‍රමිලා එකතු වුයේ මේ අතරය. නේහා යනු හමුදාවේ මේජර් වරයෙකුගේ එකම දියණියක් වූ අතර ප්‍රමිලා මධ්‍යම පාන්තික රජයේ නිලධාරියෙකුගේ බාලම දියණියයි.

මිශ්‍ර පාසලක් වූ නිසා නිර්මලීගේ ආගමනයෙන් සම වයස් තරුණයින්ගේ බැල්ම ඈ වෙත යොමුවූ නමුත්, නිර්මලී නොවෙයි ඒ ගැන කිසිදු වගක් ගත්තේ. එයින් වඩාත්ම වාසි ගත්තේ ප්‍රමිලාය. නිර්මලිගේ කැමැත්ත අසා එවන චොක්ලට් පෙති සියල්ලම ප්‍රමිලා ඩැහැගන්නේ  ඒවා නිවසට ගෙනයන්නට නිර්මලී අකමැති බැවිනි.

".. අනේ ඔයාට නම් පිස්සු අනේ... ඊයෙත් අර දේශාන් මට කිව්වා ඔයාව හම්බෙන්න ඕනේ කියල"

ප්‍රමිලා පැවසුවේ සිනාසෙමිනි.

"අනේ මේ.. පිස්සුද ප්‍රමිලා... ඌ බාස්කට් බෝල් කැප්ටන් කියලා මම කැමති වෙන්න ඕනෙද? මම ආසා නැහැ පුරාජේරු කියන කොල්ලන්ට. ඔයානේ මේ චොක්ලට් ගන්නේ උගෙන් "

"මේ කෙල්ල අපිට බොරු කරන්නේ ප්‍රමී.... මෙයාගේ අර හැන්ඩියා තමයි හිතේ ඉන්නේ..."

නේහා නිර්මලිගේ කම්මුල මිරිකමින් පැවසුවාය.

"අ .න්.....නේ... එහෙම  එකක් නැහැ අනේ.. ආ... එයාව කොහොමද ඔයාලා දැක්කේ? ආ?"

"ඔය අහුවෙන්නේ.... දැක්කද අපිට පෙන්නන්නෙත් නැහැ.... දැන් දැක්කේ කොහොමද අහනවා"

නිර්මලිගේ කොපුල් රතු වුයේ ක්ෂනයෙනි.

"රතුත් වෙලා... මේ බලන්නකෝ නේහා...!"

"ඇති දැන් ඇති.... එයාව දැක්කේ කොහොමද කියනවා..!"

ප්‍රමිලා ඇස කරකවා සිනාසුනාය.

"අපිවත් මගෑරලා එදා අර හවස හිටියේ ඩිබෙටින් ප්‍රැක්ටිස් කියලා... හවස ගන්න ආවේ ඌ නේද? හි හි... මගෙන්ම තමයි ඇහුවේ ඔයා කෝ කියලා.... හම්මෝ නිර්මලී උගේ හිනාව නම් මාරයි ආ!"

නිර්මලී තව තවත් රතුව ගොස් ගොළුවී ගියාය.

පාසලට බාරදෙන්නට පැමිණි දිනයේ ඔහු තමන් හැඳින්වුයේ ඇගේ ඥාතී සොයුරා කියා වූ අතර දෙමවුපියන් විදෙස්ගතව සිටින බව කියද්දී නිර්මලී එය මතකයේ තබාගත්තාය. පාසලේ අනෙක් කටයුතු වලදී දුලීකා පැමිණි අතර, වීරසිරි සමඟ පාසලට යාම් ඊම් තිබුන නිසා අනුජ ගැන වෙනත් තොරතුරක් කිසිවකුත් දන්නේ නැත.

තම හොඳම මිතුරියන් දෙදෙනාට පවා ඈ පැවසුවේ අනුජ සංදිරිගම යනු තමන්ගේ ඥාතී සොයුරා කියාය. පෙනුමෙන් තරමක් එකිනෙකාට ගැලපුන නිසා එය ප්‍රශ්න කෙරුණේද නැත. අහම්බෙන් පාසලේ සවස ක්‍රියාකාරකමක් තිබුණු විවාද කණ්ඩායමේ පුහුණු සැසියක් අවසානයේ දිනෙක වීරසිරි වෙනුවට පැමිණියේ අනුජය.

එදින තමන් කෙතරම් සතුටින් උද්දාම වුවාදැයි සිහිවී නිර්මලී තනිවම සිනාසුණාය.

"පිස්සු අනේ.. එහෙම එකක් නැහැ... "

නිර්මලී එලෙස කියුවද, එදිනම සවස ඈ කල්පනා කලේ මේ බැඳීම කුමක්ද කියාය. ඇගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය වූ එම සිද්ධිය දිනයේ තමන්ට එලෙස ආදරය කරන වග පැවසුවද, ඉන් පසුව කිසි විටෙක අනුජ එවන් දෙයක් නොකියන්න හේතුව , නිර්මලී අතින් එවන් වරදක් සිදු නොවූ නිසාමද? නැතිනම් අනුජ එය හිතා මතාම මගහැර දමනවාද?

'මගේ දිහා බලන්නෙම ආදරෙන් කියලා මට හිතෙන්නේ. ඒ උනාට ඈතින්මයි ඉන්නේ.. වැඩිම උනොත් ඔලුව අතගායි.. එදා වගේ තුරුල් කරගන්නෙත් නැහැ.. මම කරපු දේ නිසා තාමත් ඉන්නේ මාව එපා වෙලාද?'

නිර්මලී එකින් එක ප්‍රශ්න අසමින් සිටියේ තමන්ගෙන්මය.

නමුත් අනුජ සියල්ලම අඩුවක් නොමැතිව ලබාදෙයි. තමන් ගැන සොයයි. ඉඳහිට හිමාල් කරන විහිළු වලදී කන්දෙක රතුකරගෙන සිටිනවා හැරුණු විට කිසිවක් නොකියයි. නමුත් සමහර වෙලාවල් වලදී ඈතසිට තමන්දෙස බලාසිටින අනුජ ඇගේ ඇසට ඉඳහිට හසුවී ඇති  නමුත් පෙර දවසක මෙන් රාත්‍රියේ කාමරයේ හොල්මන් කරන්නේ නම් නැත. 

මීට සතියකට ප්‍රථම තමන්ගේ දාහත්වන උපන්දිනය දා උදෑසන නිර්මලී වෙත තිලින කලේ ලැප්ටොප් පරිඝනකයකි. මේවා සියල්ල ඇයට දරාගත නොහැකි තරමක් වී ඇත. එදා එසේ පැවසුවද ඔහු තවදුරටත් තමන්ට ආදරය නොකරනවාද? මේ සියල්ලම යුතුකම්ද?

'අනේ ඒ ආදරේ හරිම සුවිශේෂයි නේද? මම ඒ ආදරේ ඉල්ලනවා නේද?'

තමන්ගේ මුළු ජිවිතයම අනුජ විසින් අයිති කරගෙන තිබීම නිසා නිර්මලී සිටියේ සුරක්ෂිත දෝතින් ආවරණය කරගත් කුරුළු පැටියෙකු සේ උණුසුම්වය. තමන්ට  රැකවරණය මින් පෙර කිසි දිනෙක ඇයට දැනී නැත. නමුත් ඔහුගේ ආදරය?

'පොඩ්ඩක් ඉන්න... මම අනුජට ආදරේ ?කරනවද? ඇත්තටම?'

නිර්මලිගේ  සර්වාංගයම වෙව්ලා ගියාක් මෙන් දැනුනේ අනුජ මේ දැන් දත්තාක් මෙනි. මිතුරියන් ඇයට කෙතරම් සරදම් කලද,  නිර්මලී ඒ ගැන මින් පෙර මෙලෙස සිතා තිබුනේ නැත. 

මේ හැඟීම කුමක්දැයි ඇයට වැටහුනේ නැත. සවස් වරුවම කල්පනා බරිතව උන් නිර්මලී , සවස පාඩම් වැඩක්  කරන්නට තරම් සිත එකලාසයක් කරගන්නට නොහැකිව රුපවාහිනියේ චිත්‍රපටයක් බලන්නට හිඳගත්තාය. එහිද හිත රැඳුනේ නැත.

සෑහෙන කාලයකට පසුව 'ඇට මැස්සා' පොත අතටගත් නිර්මලිට එහි පිටු තුන හතරක් කියවද්දී නින්ද ගියේ ඉබේටමය. රාත්‍රී නවයේ කණිසමට නිවසට ආ අනුජ , රුපවාහිනිය නරඹන කොටසේ තිබෙන සැප පහසු පුටුවේ නිදා වැටි සිටි නිර්මලී දුටුවනම සිනාවක් නැගුණි.

ඈ රාත්‍රී ආහාරයට නොපැමිණි  බවත්,තමන් ආ පසුව රාත්‍රී ආහාරය ගන්නා බව කියූ බවත් පොඩිනා පැවසු නිසා නිර්මලී සිටින්නේ කුසගින්නේ බව දත් අනුජ, සිය කාමරයට නොගොස් සෙමෙන් අඩි තබමින් තරුණිය අසලට පැමිණියේය. සපත්තු ගලවා සිටි නිසා ඔහුගේ ආගමනය නිර්මලිගේ කණ වැකුණේ නැත.

නිර්මලී අසලටම ගිය අනුජ , ඈ අසල මද අඳුර මැකෙන්නට විදුලි බුබුල දල්වා විනාඩියක් පමණ නිහඬවම ඇගේ රුව වින්දේය. පිරුණු කම්මුල්, තද කළු ඇස් බැමි යුගල පරදවා ඇගේ මෘදු දෙතොල් අනුජගේ නෙත පටලවා ගත්තේය. ඈ මුලින්ම දුටු දිනයට වඩා පිරිපුන් සිරුරේ , ලැම උස් පහත් වෙමින් ඔහුව අවුල්කොට දමන්නට විය. ඇගේ කොපුල් අල්ලන්නට ආ ආවේගය ඔහු මැඩගත්තේ බලවත් අපහසුවකිනි.

'මගේ පුංචි කෙල්ල... හරි ලස්සනයි ඇත්තටම.... මගේ සුරංගනාවී... පව් මැණික උඹ.. කොච්චර ආසද පොඩ්ඩක් තුරුල් කරගෙන ඉන්න... ඒක කරන්න බැහැ මට..  '

දෑස වසාගන ගැඹුරු හුස්මක් ගත් අනුජ ආපසු හැරී ගොස් සිය කාමරයේ දොර හැර එහි පිවිස තරමක ශබ්දයෙන් එය වැසුවේ නිර්මලී අවදි කරවන්නටය.

ශබ්දයට ඇහැරුණු නිර්මලී දෑස විවර කර හාත්පස බැලුවාය. ශබ්දය ඇසුනේ අනුජගේ කාමරයේ දොරයි. ඔහු එන්නට ඇත. නිර්මලී ඉක්මනින් නැගිට සිය අවුල්වූ හිසකෙස් සකසමින් කාමරයට ගොස් මුහුණ සෝදා ගත්තාය. ඈ නැවත පිටතට එනවිට අනුජ සැහැල්ලු කොට කලිසමකින් සහ සුදුපාට ස්කිනි එකකින් සැරසී දුරකථනය ඔබමින් පහළ මාලයට යන්නට නිර්මලිගේ කාමරය පසුකළේය. ඔහුගේ සුවඳ නිර්මලිට අමුතුවට දැනුනේය.

"ආ... කෑවේ නෑ නේද තාම.. යමු යමු කන්න... මට අද ගොඩක් බඩගිනියි"

අනුජ ආපසු  හැරි කියද්දී නිර්මලී ඔහුගේ පසුපසින් වැටී කෑම මේසය තෙක්ම ගියාය.

"අර නිර්මලිගේ කවුද යාලුවා අර... මේ....නේහා  නේද?"

කෑම මේසයට වාඩි උන සැනින් අනුජ ඇසු පැනයට නිර්මලී තිගැස්සිණි.

'නේහා ? එයා මොනාද කිව්වේ?'

දහවල් කතාව සිහිවී නිර්මලිගේ සිතට පැමිණියේ මහා භයානක හැඟීමකි. අනුජ නේහා දන්නේ කෙලෙසකද?

"අ... ....ආ... ..ඔව්...නේහා  තමයි.. ඇයි අයියේ?"

අනුජට සිනා නැගුණි. නොයෙකුත් තර්ජන ඝර්ජන දක්වා ඇගේ ' සර් ' ආමන්ත්‍රණය අයියා කරගන්නට හැකිවුයේ මෑතකදීය. ඈ අයියේ කියනවිට හදවතට දැනෙන්නේ මිහිරියාවකි. අනුජගේ සිනාවට නිර්මලිගේ කම්මුල් රතුව ගියේය.

'ඔක්කොමත් හරි , පොඩ්ඩ ඇත්තම් රතු වෙනවනේ'

".. මට අද හම්බුනා සුපර්මාකට් එකේ ඉන්නකොට. ඔයාගේ හොඳම යාලුවෙක් කිව්වා නේද?"

අනුජ දෙබැම හකුළුවා නිර්මලී දෙස බැලු නිසා මේ කියන්නේ කුමක්දැයි වටහාගත නොහැකිව නිර්මලී ඔහේ බලා සිටියාය.

".... යාළුවො ඔක්කොටම බෝයිෆ්රෙන්ඩ්ස් ල ඉන්නවද?"

'ඉවරයි! එහෙනම් මේ මෝඩි රංග එක්ක රවුමක් ගහලනේ. ඒ මදිවට අනුජටත් කතා කලේ මොලේ හොඳ නැද්ද?'

නිර්මලී සිතින් නේහාට  බනින්නට විය. රංග යනු නේහාගේ පෙම්වතාය. ඔහු වෙනත් පාසලක සිසුවෙකි. නිර්මලී පිට්ටු හිර වුනා සේ බලාගෙන සිටියාය.

".. මම අහපු එක ඇහුනද?"

"ආ.. ආ... නැහැ ඒ එයාගේ.. මේ... "

නිර්මලී ගොත ගසන විට අනුජගේ සිත ඇතුලතින් සිනාසෙන මුත් බොරුවට රවාගෙන සිටියේය.

".. ආ මේ මේ නෙවෙයි. යාළුවො කලාට කමක් නැහැ තමන් හරියට ඉගෙනගෙන ඉන්න එකයි. ඒවා තියාගන්න එපා "

අනුජ වෙත සිය වෙව්ලන දෑතින් පාන් පෙත්ත බෙදන නිර්මලී දෙස එක එල්ලේ නොබලා කියූ අනුජ කිරි වීදුරුවෙන් උගුරක් බිව්වේය. ඔහුගේ හිස කැක්කුම නිසා නළල රැලි කරගත්තේය.

"නේහා කියන්නේ බොරු... මට එහෙම එව්වා ඉස්කෝලේ නැහැ "

හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා සේ කියූ එයට , අනුජ එකවරම සිය ඉඳුරන් සියල්ලම ක්ෂණිකව තියුනුව තබා ගත්තේය. නිර්මලිට තමන්ගේ දිව හපාගන්නට සිතින.

'මම මොකක්ද ඒ කිව්වේ?'

නිර්මලිට සිතින. අනුජ ඇගේ ඒ වචන ඒ මොහොතට දහස් වරක් පමණ එහා මෙහා යවමින් කල්පනා කළේය. 

'ඉස්කෝලේ නැහැ කිව්වේ.. වෙන කොහෙවත් තියෙනවා කියන එකද? '

අනුජගේ හිසේ  කැක්කුම දෙගුණ වුවා සේය. ඉන්පසුව නිහඬතාවයෙන් දෙදෙනාම ආහාර ගනිමින් සිටියදී වරින්වර අනුජ සිය නළල රැලිගන්වනු නිර්මලිට පෙනුනි.

"ඔලුව රිදෙනවද අයියා?"

"හ්ම්ම්"

අනුජ නැගිට ගොස් පිඟාන සෝදන්නට සදද්දී, නිර්මලී දුව විත් එය උදුරා ගත්තාය.

"කෝ දෙන්න මම හෝදන්නම්.. අයියට සනීප නැද්ද?"

නිර්මලී අවසාන කොටස ඇසුවේ අනුජගේ මුහුණ දෙස හොරැහින් බලමිනි. පිඟාන සේදු ඈ එය පසෙක නවා තැබුවාය.

"ටිකක් ඔලුව රිදෙනවා... පැනඩෝල් දෙකක් බිව්වම හරි"

අනුජ පැන්ට්‍රියේ තිබෙන ඉහල කබඩ් වල , බෙහෙත් තිබෙන කොටසේ පියන හැරියේය.

"පැනඩෝල් බොන්න එපා ඔච්චර. ඉන්න....මම තෙල් ටිකක් ගාන්නම් කෝ"

අනුජ ඉදිරියෙන් රිංගා කබඩ් එකේ එල්ලුන නිර්මලී එහි තිබෙන බෝතල් අතුරින් බෝතලයක් තෝරන්නට වුවාය. ඈ ඇඟිල්ලෙන් ඉස්සි ඉස්සී සොයනවිට එතන සිටගෙන උන් අනුජගේ පපුවට තදවූ නමුත් අනුජ ඉවත්වූයේ නැත. 

ඇගේ ඉන වටා දෑතින් අල්ලා ගන්නට සිතෙන සිත අනුජ වහා මැඩගත්තේය. බෝතලය අතට ගත් නිර්මලී ආපසු හැරෙද්දී ඈ අසලින්ම අනුජ ඈ වෙතම දෑස යොමාගෙන සිටි අයුරට, මදක් ගැස්සී ගියාය.

".. මේ තෙල්.. එක... ...... ම.. මත් ගාන්නේ...... පොඩිනා හින්දලා දුන්නේ..."

අනුජ පසුපසට අඩියක් තබා හිස පසුපසින් කැසුවේ තමන්ගේ ඒ බැල්ම ඈ බියගන්වා ඇති බැවිනි.

"... මම ගාන්නම්... යමුකෝ"

පොඩිනා කුස්සියේ රුපවාහිනිය තබා ඇති කාමරයෙන් පැමිණියේ ඒ මොහොතේය.

"නැන්දා... කෑම අස්කරන්න එහෙනම්.. "

අනුජ ඉස්සර වී ගොස් පඩිපෙළ නගිනු දුටු නිර්මලී මදක් පසුබෑවාය. අනුජ එය නොදැනුනා සේ ගියේ නිර්මලී ඔහු පසුපස එන බව දන්නා බැවිනි. සෙමෙන් ඇවිද ගිය අනුජ නතර වුයේ දෙවන මහලේ විසල් බැල්කනිය අසලිනි.


------------------------------------- මතු සම්බන්ධයි ------------------------------------------

18 comments:

  1. අනුජ රේසිකාව බැඳලද ඉන්නේ......??? හම්මෝ දැන් නම් පිලිවෙලක් වෙලා සෑහෙන්න.....

    ReplyDelete
    Replies
    1. ඒවා තව ඉදිරියට!
      පිළිවෙලක් වෙලා කිව්වේ?

      Delete
    2. පිළිවෙලක් වෙලා කියන එකේ තේරුම දැනට මේ කතාවට වැටිලා තියෙන ඔක්කොම හොඳ කමෙන්ට් වල එකතුව කියලා හිතා ගන්නකෝ...... දැන් කතාව නියමයි....... කපන්න කපන්න මුවහත් වෙන කිඹුලා උදලු තලයක් වගේ, මේ කතාව කියවන්න කියවන්න රසවත් වෙනවා.....

      Delete
    3. ගොඩක් ස්තුතියි!

      Delete
  2. ඉස්සර තිබුනා (දැනුත් තියෙනවා නමුත් මේ විදියට නෙවේ) අනුරාධපුර ඉඳන් ලංකාවේ හතර දිග්බාගයට විහිදුනු බස් ජාලයක් ඩී එස් ගුණසේකර කියලා! මේ බස් එකකට නැගලා ඉස්සරහ සීට් එකක වාඩිවෙලා යන්න හොඳ හිතේ හයියක් හෝ සසර කළකිරීමක් තියෙන්නම ඕනේ! ඊළඟ මොහොතේ කුමක් සිදු වේවිද? කාගේ අතපය කැඩේවිද? පන පිටින් කොළඹින් බහින්න පුළුවං වෙයිද? ඔය මගීන්ට හිතට ආපු ප්‍රශ්ණ! ඉතිරිටික පස්සෙ ලියන්නම්. තාම දිගට ලියා ගන්න හිත එකලාසයක් කරගන්න විදියක් නෑ! මූ ඒ ගානට එලවනවා සී.ටී.බී බස් එකක් පස්සේ . . . . . . . මේකට නම දාන්න තිබ්බේ ඩී එස් ගුණසේකර කියලා නෙවෙයි බුදු අම්මෝ ට්‍රාන්ස්පොර්ට් සර්විස් කියලා!

    ReplyDelete
    Replies
    1. මට බැන්නා කියලා හිතන මම! :-|


      කොහොම උනත් ස්තුතියි ඈ

      Delete
    2. ඕං ඉතිං ඕකනේ කොරණ්න බැරි!? මං කිව්වේ කථාව කියවලා ඉවර වෙනකොට පාඨකයෝ නිකං ඉත්තෑවන් සේය කියලා! මොකද මයිල් කෙලින් හිටලා!

      Delete
    3. කමෙන්ටුව කියෙව්වාම මට මතක් උනේ මේක.....

      කෝකිල නාදය පරදන සින්දු!
      ගල් ලෙනෙහි හිර කළ කුමරිය!
      වැලන්ටයින් කුමරා
      රාක්සයාගේ කටින් යතුර සොරාගෙන
      ගල් ලෙනෙහි දොර හැර කුමාරිකාව
      බේරාගෙන මන්ත්‍ර බලෙන්
      අහසින් යෑම !
      අද්භූතයි! බලන්ට පුදුමයි! සිත්
      කම්පා කරයි !
      මන්තරකාරයා පණපිටින්
      උල හිඳුවීම !
      බමණදාසගේ කොමිට් කෑලි
      ඉළ ඇට කැඩෙන සිනා!

      Delete
    4. තට්ටයා මහතා >> ඈ තේරුනේ දැන් තමයි.... ඒ කියන්නේ ඩිංගක් හොඳයි කියන එකනේ! හරි සන්තෝසයි

      Delete
    5. Nayanthara > ඒක මරු හි හි හි

      Delete
  3. ටිකක් බනින්න තිබුනෙ හැබැයි මෝඩ ගහට...අනුජගෙ කරුනාව වැඩියි...දිලීපයා ගේ අස්සට රින්ගන්න බැරි නෑ වෙලාවක...ලියවිල්ල නම් සුපරි පරි...කියවන්න ආසා හිතෙනවා... නියමයි.

    ReplyDelete
    Replies
    1. බනින්න නෙවෙයි දෙකක් අනින්න තිබ්බේ... අවුරුදු 16යි කියලා පොඩ්ඩක් අනුකම්පා කළා වගේ මටත් හිතුනේ.. ඔය FB වල වැඩිමනත්ම මොට්ට විදියට හැසිරෙන්නේ බාල වයස්කාර ළමයි... හ්ම්ම්

      ගොඩක් ස්තුතියි සහ සතුටුයි ආසාවෙන් කියවනවා නම්

      Delete
  4. බලන් ඉමුකො ඉස්සරහට හොද හොද සෙල්ලං ඇති නොවැ

    ReplyDelete
    Replies
    1. ආව ආව.... ඔන්න බලන්නකෝ වෙලාවටම ඇවිත්!
      ඔව්.. ඔව්.. තව මොනවා වෙයිද මන්ද

      Delete
  5. අද නං පරක්කුයි ඕං.. 😃😃😃
    අනුජය හොම්බ⁣ට ඇන්නෙ නැති එක ලොකු දෙයක් 😃😃😃

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආපු එකනේ වටින්නේ...
      ඇත්ත ඇත්ත... හොම්බට අනින්න තමයි තිබ්බේ

      Delete
  6. මේ.... මේකේ ඉතිරි කොටස් කොයි?..... පාඨකයා බලා සිටී...... විකාශනය බදාදයි සෙනසුරාදයි නේද? හෙටත් දාන්නෙ නැද්ද ආ......???

    ReplyDelete
    Replies
    1. ලියන්න විවේකයක් නැති උනානේ.... බලන්නම් අද හෙටම

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...