Wednesday, October 13, 2021

272: උන්මාද චිත්‍රාදෝ මා 06



 යුවතියගේ හදගැස්ම තරමක් තීව්‍ර වුයේ එකවරමය. දුලිකාට එය වැටහුනේ තමන්ගේ අතින් අල්ලාගෙන සිටි නිර්මලිගේ ග්‍රහණය තරමක් දැඩිව ගිය නිසාය.

නිර්මලී ළමා නිවාසයේ පසෙක තිබෙන තණකොළ ගොල්ලේ පේලියට ඇති පුටුවක් වෙතම දෑස රඳවාගෙන උන්නාය. එහි සිටියේ පෙරදින අනුජගේ නිවසට පැමිණි තරුණියයි.

"...අපි මුලින්ම මේ ආපු වැඩේ කරමුකෝ.. යමු අර පැත්තට"

දුලීකා සමඟ බිමට යොමාගත් නෙතින් යුතුව පියමනින නිර්මලී දෙස ඈත සිට බලාසිටි අනුජගේ සිත ව්‍යකුලය. ඈ අහිමි කරගන්නට නොහැකිය.

පියවරක් ඉදිරියට තැබුවද හේමාල් ඔහුගේ උරහිසෙන් අල්ලාගත්තේ  ඔහුව වළකන්නට මෙනි.

"උඹ ගොනා වගේ හිතේ තියාගෙන ඉන්න එපා. "

"ඒ උනාට.."

"හැබැයි පුතා.. උඹ වෙලාවට කතාකරන්න ඕනේ! "

අනුජ අපහසුවෙන් ඒ මේ අත බැලුවද ඒ සෑම බැල්මකම අග ඈතින් සිටින නිර්මලී සිටියේය. 

"...මේ දේවල් පිටින් ආරංචි වෙනවට වඩා අපිම කියන එක වටිනවා කියල උඹගේ ඔය මහා ලොකු මොලේට තේරෙන්නේ නැද්ද බන්?"

"අනේ කෙල්ල පොඩියි මචං.. "

"පොඩි හින්දා තමයි දැනගන්න ඕනේ"

චාම් ලෙස උත්සවය සංවිධානය කොට තිබුනේ ළමා නිවාසයේ පසෙකින් තිබෙන මිදුලේ කුඩාරම් ගසා , දිලිසෙන කොළ වලින් සරසමිනි.

පාලිකාවන් පැමිණ උත්සවය ආරම්භ කරන්නට ආරාධනා කළෙන් අනුජ එයට මැදිව ගියේය. දුලීකාට උපකාර කරමින් නිර්මලී ඈ අසලම රැඳුනද, ඇගේ ඇස තිබුනේ කලින් දුටු තරුණිය වෙතයි.

අනුජ වෙනුවෙන් උපන්දින කේක් එකක් සුදානම් කොට තිබුණු අතර, සුබපැතුම් මධ්‍යයේ කැපුණු එයින් කටක් කිසිවකුට කවන්නට ඔහු බලවත්ව අකමැති විය. නිර්මලී ඒ මොහොතේ එතැන මගහැර සිටියාය. කහපාට ලිනන් කමිසයත්, රැවුල්කොට සහිත පැහැපත් මුහුණත් නිසා අනුජ වෙනදාටත් වඩා කැපීපෙනෙන කඩවසම් බවක් දක්වද්දී, නිර්මලී ඔහු මගහැර වෙනත් වැඩ වලට උපකාර කරමින් උන්නේ අනෙක් තරුණිය ගැන විපරමෙනි.

ඇතුලාන්තයෙන් මහා අරගලයක් කරමින් නිර්මලී සිටියේ කුමක් විස්වාස කරන්නද කියා සිතමිනි. දුලීකා පවසන පරිදි අනුජ යන මේ පුද්ගලයා වැදගත් ලෙස ජිවත් වන , කාටත් උපකාර කරන කෙනෙකි. නමුත් මොරිස් මේ කියන ගණිකාවන් සමඟ කෙරෙන සෙල්ලම කුමක්ද?

තමන් මෙවන් පහසුකම් මැද ඉගෙනගන්නට ගෙන ආවේ ඒ යහපත් අරමුණෙන් නම්.. මොරිස් කියන තරුණියගේ සිද්ධිය කුමක්ද? අනුජ ගැන මේ කිසිවකුත් නොදන්නා තොරතුරක් තමා සොයාගත්තා වන්නට ඇති ඉඩකඩ අවමය. ඒ මන්ද යත්, හිමාල් ඒ සිද්ධියේදී සිටිනු ඈ දැක අසා තිබුණු බැවනි.

මේ සියලු දෙනා කරන්නේ රඟපෑමක් ද?

උත්සවයේ අංග ලෙස ජේසු උපත දක්වන කෙටි  නාට්‍යයක් සහ නත්තල් කැරොල් ගායනයක්  තිබිණ.නිර්මලී සිටියේ ඈතට වී සිටගෙන වෙනම කල්පනාවකය. එම අංග අවසානයේ සංග්‍රහයක් පිළියෙළ කොට තිබිණ. දුලීකා දරුවන්ට ලබාදෙන ත්‍යාග ගැන බලන්නට නිර්මලිට කතාකල බැවින් එයට උපකාර කරන්නට හද්දී , පෙරකී තරුණිය ගොඩනැගිල්ලේ සිට තනිවම ඇවිද යනු දුටු බැවින් වහා දුලීකා මගහැර පිටතට පැමිණියාය.

අනුජ, හේමාල් සමඟ කාර්යාලය තුලට පිවිසියේ මොහොතකට නිර්මලීගෙන් දෑස ඉවතට ගෙනය. 

"මේ......."

නිර්මලිගේ ඇමතුමට තරුණිය වහාම හැරී බැලුවේ නිකමට මෙනි. නිර්මලී දුටුවනම ඒ මුහුණ සිනාවෙන් ඔපවත් විය. නිර්මලිගේ සිතට එවවරම පැමිණියේ ඇගේ දුරකතනයේ තිබුණු නිරුවත් පින්තුරයි. මහත් අපුලක් සිතේ ඇතිවූ බැවින් ඈ සිනාවක් නොනගාම ඈ දෙස බලා සිටගෙන ඉන්නේ, දෑතම පපුව ඉදිරියේ ගැටගසාගනය.

"ඇයි මිස්?"

නිර්මලී ඈ දෙස එක එල්ලේ බලා සිටියේ දහසක් පැනයන් වලින් සිත පිරෙද්දිය. තරුණියගේ සිනහව සෙමෙන් වියකි ගොස් තරමක බැරෑරුම් මුහුණක් ඉතිරිවිය. රවුම් වටකුරු මුහුණට , යන්තමට  කැරලි කෙටි කොණ්ඩය එක්කොට හිස පිටුපසින් අස්ස වලිගයක් දමාගෙන සිටියාය. හැඳ සිටි රතුපාට ඇඳුමට නිසා ඇගේ වයසට වඩා මෝරපු පෙනුම තවත් කැපී පෙනුනි. නිර්මලීට වඩා ඈ උසය, නමුත් පාටින් අඩුය.

".. මිස්... නේද අර.. අනුජ මහත්තය...."

නිර්මලිගේ සිත දෙපලු වන්නට ආසන්නව මෙන් වේගයෙන් ගැහුනේය. මේ කියන්නේ අනුජ මහත්තයාගේ කවුරු කියාද? මොරිස්ගේ වචන සිහිවී නිර්මලී වෙව්ලා ගියාය. තරුණිය දෑත එකිනෙක තෙරපවමින්, අත්ල මත රටා අඳිමිනි.

"අනුජ මහත්තයව දන්නේ කොහොමද? මෙහෙට මහත්තය එන්න කලින්ද?"

තරුණිය දෑස විදහා වරක් නිර්මලී දෙස බැලුවාය. අනතුරුව වටපිට බැලුවේ ඇයිදැයි නිර්මලිට ඒ මොහොතේ වැටහුනේ නැත.

"ඒ මහත්තය දෙවියෙක් මිස්... මගේ ජිවිතේ බේරුවා"

"ඒ කිව්වේ?"

නිර්මලී සැලකිල්ලෙන් ඇගේ ඉරියව් නිරීක්ෂණය කළාය. තරුණිය  බලා සිට නැවත නිර්මලී දෙස බැලුවේ සිය කුඩා ඇස් වල කුමක්දෝ කතාවක පෙරනිමිති පෙන්වමිනි.

"මිස්  දන්නේ නැහැ වෙන්න ඇති එහෙනම් . මට මේක මිස්ට කියන්න ලජ්ජා නැහැ මිස්... මට මිස්ට කියන්න ඕනේ කලේ මම හිටපු නරකාදියෙන් මහත්තය මාව ගොඩට ගත්ත පිනට... මිස්ටත් පව්ලේ හැමෝටමත් බුදුන් දැක නිවන් දකින්න ඕනේ.. මම බුද්ධාගන් කාරියෙක් තමයි මිස්, මට ඊට වඩා දෙයක් ප්‍රාර්ථනා කරන්න දන්නේ නැහැ ඒ මහත්තයට"

"ඔයාගේ නම මොකක්ද?"

"ඉරේෂා... "

"...."

"මගේ ගම තුල්හිරියේ මිස්... මගේ තාත්තා මැරුනේ කෝච්චියෙන් වැටිලා. ඊට පස්සේ අම්මයි නංගියි එක්ක කන්න විදියක් නැතුව ඉන්නකොට...."

නිර්මලිට සිතුනේ මේ තමන්ගේ කතාවේම වෙනත් වෙළුමක් නොවේද කියාය.

"මහත්තයද රස්සාවක් හොයල දුන්නේ?"

ඉරේෂා දෑස ලොකු කොට බැලුවාය.

"නෑ  මිස්.... අපේ ගමේ අයියා කෙනෙක්ගේ මාර්ගයෙන් වෙන මනුස්සයෙක් මට රස්සාවක් හොයල දුන්න. මම... මම දැනගෙන හිටියේ නැහැ... මිස්....."

"මොනවද?"

"මට තිබුනේ... කෝල් එකක් දුන්නම... ඒ කියන තැනට ඇවිත් , අර මනුස්සයා ලැස්ති කරලා දෙන මනුස්සයා එක්ක ඉන්න. මට ඒ මනුස්සයා කිව්වේ අම්මලා බඩගින්නේ ඉන්නවෙයි කියලා එහෙම නැති උනොත්.. අනේ මිස්.. මගේ එක මල්ලි කෙනෙක් පාන්ඩුව හැදිලා මැරුණා. නංගි මැරෙයි කියලා බයේ මම ඒ මිනිහා කියන දේ කළා"

නිර්මලිගේ හිස බමන්නා සේය.

"කවුද ඒ කියන මිනිහා?"

"මොරිස් කියලා... මිස් දන්නේ නැහැ මම හිතන්නේ... මම බයයි ඒ මනුස්සයට... මම බැහැ කිව්ව දවසට ඒ මිනිහා අම්මට ගහනවා. ඉතින් මම ගියා.."

ඉරේෂා එක අතකින් ඇගේ කඳුළු පිසදමා ගත්තාය. ඒවා බොරු යයි කියන්නට අපහසුය.

"දැන් එතකොට කවුද ඔය  කතාව දැන් මගෙත් එක්ක කියන්න කිව්වේ?"

නිර්මලී එලෙස ඇසුවේ මෙය සැලසුමක් වන්නට ඇති බව ඉව වැටීමෙනි. දුලීකා පැවසුවේ මෙහිදී තමන්ට යම් යම් කතා ඇසෙන බව නොවේද? එසේනම් මෙය සැලසුම් සහගත රැවටීමක්ද ?

"කවුරුත් නැහැ මිස්... මගේ මැරිච්ච තාත්තා පල්ලා මම මේ කියන්නේ සත්තමයි. මිස් දැක්කහම මට මේ ටික කියන්න හිතුන."

"මිට කලින් මහත්තයාගේ ගෙදර ගියා නේද? මේ ලඟදි ??"

තරුණිය මදක් නිර්මලී දෙස බලා බියක් නොමැතිවම පිළිතුරු දුන්නාය.

"මට බේරෙන්නම විදියක් තිබ්බේ නැහැ. අන්තිමේ මොරිස් කියන මිනිහාගෙන් මාව හැංගුවේ අනුජ මහත්තය. ඊට පස්සේ මෙහෙට ආවේ.ඒත්  ඒ මනුස්සයා මෙහෙට හොයාගෙන ඇවිත් මට තර්ජනය කළා අනුජ මහත්තය එයාව පොලිසියට අල්ලලා දුන්න එකට පළිගන්නවා කියල. මම ඒක මහත්තයට කියන්න එහෙ ගියා.  "

ඉරේෂා ආයාචනාත්මක බැල්මෙන් නිර්මලී දෙස බැලුවාය. එහි තිබුනේ දුක් පිඩා විඳි දරුවෙකුගේ පෙනුමකි. 

"... අපේ මෙහෙ මැඩම් මිස්ව පෙන්නලා මට කිව්වේ අනුජ මහත්තයාගේ නෝනා කියල. මට හිතුනා මිස්ට කතාකරන්න...ඒත් බය හිතුන. හේමාල් මහත්තයයි දුලීකා නෝනයි මාව දන්නවා...!"

නිර්මලිට විදුලි වේගයෙන් මොරිස් කියන මිනිසාගේ අපුල කටහඬ සිහියට නැගුණි. ඒ කියූ කතාව සහ මේ කතාව කිසිදු අඩුවක් නොමැතිව ගැලපෙන්නේය. මොරිස් , අනුජ හා අමනාප වන්නේ ඔහුගේ ආදායමක් නතරවූ නිසා වන්නට ඇත. 

නමුත් අනුජ මොරිස්ව හඳුනන්නේ කෙලෙසකද කියා තරුණියට සිහියට පැමිණියේ නැත.

"හ්ම්ම්.. හරි ඉරේෂා.... ගොඩක් ස්තුතියි මට කතාකලාට... ඒක නෙවෙයි.... ඔයා මෙහෙ ඉන්නේ ඇයි ? මේක පරිවාස නිවාසයක්නේ"

පරිවාස නිවාස ගැන යම් තරමක් නිර්මලී දත්තේ ඇගේ පළාතේ කසිප්පු පෙරූ සුමනේ සිරගෙදරට යනවිට , ඔහුගේ දරුවන් පරිවාසයට ලබාදුන් බව අසා ඇති බැවිනි. ඈ සිතුවේ එය සිරගෙදරක් කියාය.

"මගේ සිද්ධිය නඩු යනවා මිස්. මට වයස මදි හින්දා මාව මෙහෙ දැම්මා.. මොරිස් අයියා... අයියා කිව්වට මිස්  ඒ මනුස්සයට පනහක් විතර ඇති... ඇප ගත්තනේ. නඩුව කල් තිබ්බ. මට එච්චර තේරුමක් නැහැ මිස්.."

ඉරේෂාගෙන් සමුගෙන ගොඩනැගිල්ල තුලට ඇවිද ආ නිර්මලීගේ හිස බමන්නා සේ දැනුනි.

පොඩ්ඩක් ඉන්න... මේ කියන්නේ අනුජ , ඉරේෂා නම් මේ තරුණියව කරදරයෙන් මුදවා ගත්තා කියා නොවේද? මේ කියන්නේ බොරුවක් වන්නට ඇති අවස්තාව අවම වන්නේ , මොරිස්ගෙන් ලද ඇමතුම හා මේ කතාව බොහෝ තැන් වලින් ගැලපි යන නිසාය.

'මම මේ මොනාද අනුජ කියන කෙනා ගැන කලින් හිතුවේ? දෙවියනේ... මම අනුජ කළා කියලා මහා බොරුවක් නේද දීලිපට කිව්වේ? ඒ ඔක්කොම කලේ මාව මෙතැනින් එක්කගෙන යන්න කැමතිකරගන්න නේද? පලිගන්න කියලා මම ඇයි ඒ වගේ වැඩක් කලේ?'

අනුජ ගැන ඇතිවූ වැරදි චිත්‍රය පිළිබඳව පසුතැවිමටත් වඩා , නිර්මලිගේ සර්වාංගයම සලිතව ගියේ ඒවා සියල්ලම දීලිපට ලබාදීම ගැනය. 

දැන් කරන්නට යමක් නැත. සියල්ලම නොපැවසුවත්, අනුජ ගැන ඇති මේ කහට ඉවත්කොට ගත යුතුය. නමුත් නොවිසඳුණු පැනය වුයේ... අනුජ තමන්ව මෙලෙස තබාගෙන ඉන්නේ ඇයි ? මෙවන් නිවාසයකට දමන්නටද?

"නිර්මලී.. නංගි ?"

දුලිකාගේ හඬින් පියවි සිහියට පැමිණි නිර්මලිගේ පෙනුම දැක දුලීකා විමසිල්ලෙන් ඈ දෙස බැලුවාය. ඈ සිටියේ තෑගිවල නම්  සඳහන් කොලයේ නම් පරික්ෂා කරමිනි.

".. ඇයි නංගි සනීප නැතිද?"

නිර්මලිගේ උගුර වියලි ගොසිනි. මදක් අපහසුවෙන් කෙල පිඬක් ගිලදමා නිර්මලී තරමක් සිහිය එලවා ගත්තාය.

".. ම.. මට.. අනුජ මහත්තයට ක්.. කතාකරන්න ඕනේ"

දුලිකාගේ මුව'ඟට නැගුනේ ප්‍රීතිමත් සිනාවකි. ඉරේෂා හා කතාකල බවක් ඈ දැන උන්නේ නැත. කොටින්ම නිර්මලී ඉරේෂාව හඳුනන බව වත් ඈ දැන සිටියේ නැත.

"අ..... ආ... පුළුවන් පුළුවන්.... අන්න ගියා ඔෆිස් එක පැත්තට...  අපිත්.. යමු"

නිර්මලී කැටුව කාර්යාලය දෙසට ඇවිද ගිය දුලීකා ඈතදීම හිමාල්ට ඉඟියක් කළාය. අනතුරුව කාර්යාලයේ සිටි අනුජ , අතේ තිබුණු කොල කිහිපය සමඟම නිවාසයේ විසිත්ත කාමරය වෙත රැගෙන ආ හිමාල්  , නිර්මලී දුටුවනම අනුජගේ මුහුණේ ඉරියව් වල වන වෙනස දැක ඇතුලතින් සිනාසුනේය.

"ආ... හරි.. මේ ඉන්නේ මේ ඉන්නේ "

අනුජගේත් නිර්මලිගේත් දෑස් තත්පරයකට හමුවිය. නෙලුම් පොහොට්ටු වැනි දෑස් බිමට යොමාගත් තරුණිය තමන් අසලින් හිඳුවාගත් දුලීකා අනුජ අතේ තිබුණු කොල කිහිපය අතට ගත්තාය.

".. නංගි මේ හිමාට පිස්සු... විහිළු කරනවට ගණන් ගන්න එපා... මේ ළමයට තේරෙනවද ඕව.. එන්න හිමා අපි මේ ටික ඔක්කොම ඉලෙක්ට්‍රිසිටි බිල් සෙට්ල් කරලා දාන්න.. අනුජ මේක විතරයි මට ඉතුරු කලේ ගෙවන්න.."

දුලීකා හිමාල් සමඟ කාර්යාලය දෙසට ගියාය. හදිසියේ තනිවූ නිසා නිර්මලී හිස එසවූයේ අපහසුවෙන් මෙනි.

"මම මෙතනින් වාඩිවෙන්න ද ?"

හා කියන්නට මෙන් හිස සැලූ නිර්මලිට පසෙකින් තිබුණු තනි පුටුවක අනුජ හිඳගත්තේ බිම බලා සිටින නිර්මලිගේ රුව විඳිමිනි.

"....මහන්සිද?"

නිර්මලී නැත කියන්නට හිස දෙපසට වැනුවාය.

".. මමත් මේ ආවේ අවුරුදු ගානකින්. සාමාන්‍යයෙන් මම මෙහෙට එන්න කැමති තැනක් නෙවෙයි. ඔක්කොම ඉන්නේ පරිවාසේ ගෑනු ළමයි"

"මට... මට මහත්තයගෙන් දැනගන්න දෙයක් තියෙනවා"

සිතට මහත් ධෛර්යයක් ගත නිර්මලී එකවරම ඇසුවාය. අනුජ එක එල්ලේ නමුත් මෘදු බැල්මෙන් නිර්මලී දෙස බලා දෑස සිහින්කොට සිනාසුනේය. එය වැදුනේ නිර්මලිගේ පපුව මැදටය! 

ඔහුට ඇති ඒ සිනාව!! 

නිර්මලී අසන්නට ගිය වදන් ගිලිහි ගියාක් මෙනි. අනුජට ඇගේ අපහසුතාවය සිහිවී තරමක් බැල්ම ඉවත්කොට පුටුවේ ඉදිරියට නැමුනේය.

"ඔව්... අහන්න නිර්මලී "

"මහත්තය කවුද?"

"..............."

"ඇයි මේ මාව මහත්තයාගේ ගෙදර තියාගෙන ඉන්නේ?"

නැවත අනුජ සෙමෙන් නමුත් නිර්මලිගේ දෑස දෙස කෙලින් බැලුවේය. එහි තිබුණු හැඟීම නිර්මලිට තේරුම් ගැනීමට පහසු වුයේ නැත.

"ඒක ටිකක් දිග කතාවක්... මම ඒක ඔයාට කියන්නම්... දැන් මට කියන්න.... ඇයි මට තාම මහත්තය කියන්නේ? හ්ම්ම්?"

නිර්මලී ඒ දෑසේ පැටලුනේ කෘමියෙකු දැලට හසුවන්නා සේය. ඇගේ හුස්ම ක්‍රමයෙන් ඉහල පහල ගියේ වේගයෙනි.

"...මට බයවෙන්න එපා නිර්මලී.... ඔයාට තේරුම් ගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා.. හෙමීට මම ඒවා කියන්නම්. ඔයා තාම ඉගෙනගන්න වයසේ පුංචි ළමයෙක්"

නිර්මලී දෝතින්ම මුහුණ වසාගත්තාය. ඒ ක්ෂණයෙන් ඇගේ දෑස කඳුළු පොකුණු දෙකක් නිර්මාණය කොට තිබිණි. දෑත දෙපසට කල නිර්මලී අනුජ දෙස බලද්දී ඔහුගේ සිනාසෙන දෑස සහිත මුහුණ අඳුරුව ගොස් තිබිණ.

"එහෙනම් මාව කසාද බැන්දේ?"

ක්ෂණයෙන් නැගී සිටි අනුජ නිර්මලිගේ අතින් අල්ලාගෙන කිසිවක් නොකියා නිවාසයෙන් පිටතට පැමිණියේය. ඔහු පසුපසින් ඇදීගිය නිර්මලී විරෝධතාවයක් පෑවේද නැත. අනතුරුව වාහනයේ ඉදිරි අසුන හැරදුන් විට  නිර්මලීද ඊට කිසිවක් නොකියා එකඟව එහි නැගීහිඳගත්තාය. 

වාහනය නිවාසයෙන් පිටව ප්‍රධාන මාර්ගයේ තරමක් දුර යනතුරුම දෙදෙනාම ගොළුව සිටියෝය. විනාඩි කිහිපයකින් වෙලරබඩ මාර්ගයක් පැමිණි අතර, අනුජ වාහනය අයිනට කොට නතර කළේය. ඈතින් මුහුද පෙනුනේ ඉමක් නොමැතිව මෙනි. වායුසමීකරණය පරදා නිර්මලිට දහදිය දමා තිබිණ.

දිගු හුස්මක් ගත් අනුජ නිර්මලී දෙස හිස හරවා බැලුවේය.

"මම දන්නවා... ඔයා මට බයයි. ඒක ඉතින් සාධාරණයි. මොකද, නිර්මලී මාව දන්නේ නැහැ. දැකලා තිබ්බෙත් නැහැ. මාව දකින වාරයක් ගානේ ඔයා බයෙන් වෙව්ලනවා"

අනුජ පැවසුවේ වේදනාවෙනි. නිර්මලී දෑස නොවසාම ඒ මුහුණේ ඇති අපූරු භාවයන් බලා සිටියාය. පටු නළල'ත මදක් රැලි වී, දෑස වේදනාවෙන් සිහින්ව ගොස් තිබුණු අතර, අනුජ ගේ දෙතොල් සැලෙන්නාක් මෙනි ඈට පෙනුනේ.

'මම බයෙන් හිටපු බවත් තේරිලා. ඔහු අවංක නොවේද? මේ කියන්නේ නම් බොරුවක් වෙන්න බැහැ'

"මම ඔයාව බැන්දා... එහෙම කලේ ඔයාව මගේ ගෙදර තියාගන්න ඕනේ නිසා "

නිර්මලිගේ පුළුල් ඇස් දෙස බලාගෙන අනුජ කියුවේ මෘදු හඬිනි.

".. මම එහෙම නොකලා නම්... ඔයා ලොකු කරදරයක වැටෙනවා. ඔයා ලෝකේ දන්නේ හරි අඩුවෙන්  නිර්මලී .... ඔයා හිතන්නකෝ මම ඔයාට ඉගෙනගන්න උදව් කරන්න ඕනේ නිසා එහෙම කළා කියලා. ඔයා දක්ෂ ළමයෙක්. මම මැරෙනකල් ඔයාට අපේ ගෙදර ඉන්න පුළුවන්. ඉගෙනන්නත් පුළුවන්"

එකවරම නිර්මලිට සිහිවුයේ දිලිපය. දිලීප ගැන අනුජ දන්නවාද? උසස්පෙලක් ගැන කිසිදින සිහින නොදැකපු තමන්ට, දිලිපගේ බිරිය ලෙස මිස අනාගතයක් නොතිබුනා නොවේද?

"මහත්...."

"මට අනුජ කියන්න.."

"අ.. නු.. ජ.. සර්... මට මේ මොකවත් තේරෙන්නේ නැහැ"

"හ්ම්ම්ම්"

අනුජ දිගු හුස්මක් ගෙන ලය සැහැල්ලු කරගත්තේය.

"... මෙහෙමයි.... ඇත්තටම කිව්වොත් මම ඔයාගේ තාත්තට කතාකරලා ඔයාව මගේ ළඟට ගත්තා. ඒක එහෙම කලේ... එක්තරා නරක මනුස්සයෙක් ඔයාට නපුරක් කරන්න හිතාගෙන ඔයාගේ තාත්තව රවට්ටලා ලැස්ති වෙමින් තිබ්බ නිසා"

නිර්මලිට සියල්ලම පැටලී ගියේය.

"ඒ කිව්වේ.. මගේ තාත්තා....?"

අනුජ සිය දුරකථනය ගෙන එහි සැඟවුණු කොටසක ඇති යමක් මුරපදයක් ලබාදී තිරයට ගත්තේය. අනතුරුව හුස්මක් අල්ලා එය නිර්මලී වෙත පෑවේය. එහි තිබුනේ නිර්මලිගේ පින්තුරයකි. එය තමන්ගේ වැඩිවිය පැමිණි දිනයේදී ගත් ජායාරුපයකි. එය අනුජ අතට පත්වුයේ කෙලෙසකද? නිර්මලී ප්‍රශ්නාර්ථයෙන් අනුජ දෙස බැලුවාය. 

අහිංසක යුවතිය ගැන පිරුණු අනුකම්පාවෙන් මේ කතාව හැකිපමණ සැර බාලකොට පවසන අන්දම සිතාගන්නට අනුජ තරමක් වෙලා ගත්තේය.

"මේ පින්තුරය දාලා තිබ්බේ ඇඩ් එකක... නිර්මලී දන්නේ නැතුවත් ඇති.. මේ... සල්ලිවලට පොඩි ගැහැණු ළමයි විකුණනවා ඉන්ටනෙට් එකේ. ඔයාවත් එහෙම ඇඩ් එකකට දාලා තිබ්බා.. විකුණන්න!"

ඇගේ පියවි සිහිය ඒ මොහොතේ අහිමිව ගියේය. නිර්මලී අවසිහියෙන් මෙන් අනුජ දෙස බලාගත්වනම සිටියාය. මේ කියන්නේ කුමක්ද? එවන් පහත් වැඩක් කරන්නේ කවුරුද? අනුජ සුක්කානමේ අතක් රඳවාගෙන ඉදිරියේ ඇති මුහුද දෙස බලාගත්වනම හඬ අවදි කළේය.

"... ඔයාව මම ඊට කලින් ඔයාගේ ඉස්කෝලේ ආපු වෙලාවක දැකලා තිබ්බ නිසා අඳුන ගත්ත. ඉතින් මම.. ඔයාගේ තාත්තට කෙලින්ම කතා කරලා , කෙලින්ම මගේ ළඟට ගත්ත..."

නිර්මලිගේ හුස්ම සිරවන්නට ආ අතර අනුජ සුක්කානමට සෙමෙන් තට්ටු කරමින් හුස්මක් ඇල්ලුවේය.

"....මට සමාවෙන්න මම ඒකට කියන්න අකමැතියි සල්ලි වලට ගත්තා කියල... ඒ උනාට මට ඒ මුදල් වලට වඩා ඔයාගේ වටිනාකම වැඩියි"

නිර්මලී මේ සුරංගනා කතාව අසා සිටියේ දෑස පවා නොසෙල්වමිනි. දෑසින් නොකඩවා කඳුළු කඩාහැලෙද්දී නිර්මලී දෝතින්ම මුව වසාගත්තාය.

නිර්මලිගේ කඳුළු අනුජට මහා බරක් ඇතිකළේය. ඔහු තමන්ට හැකි පමණ සැර බාල කොට පැවසුවද, සත්‍ය විසින් ඈ පාරවිම වැලැක්විය නොහැකිය.

".. ඔයා ඉගෙනගන්න ළමයෙක්. ඔයාට ඔයාගේ තාත්තා ගාව ආරක්ෂාවක් නැහැ. ඔයාගේ ගමෙත් ආරක්ෂාවක් නැහැ. මගෙන් ඔයාට කරදරයක් නැහැ නිර්මලී.... ඔයාට ඇතිතරම්."

"අනේ..!!!! අනේ මට සමාවෙන්න සර්!!!!"

නිර්මලී මහා හඬින් හඩන්නට වුවාය. අනුජ කියන්නේ ගොතනලද කතාවක් නොවන බව නිර්මලී දත්තාය. තමන්ගැන කිසිදු හැඟීමක් නැති සිය පියා , ඇගේ විවාහ සිද්ධියට දින කිහිපයකට පෙර තවත් කවුදෝ මහත මිනිසෙකු සමඟ දෙතුන් වතාවක් කතාකරනු ඈ ඈතට දැක තිබුන බව සිහියට නැගෙන්නේත්, ඒ රුව මොරිස් කියන මිනිසා සමඟ සැසදෙන්නේත් එකවිටමය.

ඈ උමතුවෙන් මෙන් සිය හිස අවුල් කරමින් දෑතම හිස් පුරා එහෙ මෙහෙ ගෙනගියාය. අනුජ ඈ වෙත නැමී ඇගේ එක අතක් අල්ලාගත්තේය. තමන්ගෙන් නිර්මලී සමාවක් ඉල්ලන්නේ ඇයිදැයි අනුජ නොදත්තේය.

"දැන් අඬන්න එපා ටිකක් සන්සුන් වෙන්නකෝ"

නමුත් නිර්මලිට සන්සුන් වන්නට නොහැකි හේතු රැසකි. තමන්ට මෙවන් උපකාරයක් කල අනුජ ගැන තමන් සිතාසිටි දුෂ්ඨ ස්වරුපයත්, ඔහුගේ නුගුණ කීමෙන් සිදුකරගත් පාපකර්මයත් සමඟ තාත්තා විසින් ඈ අලෙවි කළැයි සිතීමත් ඈ උමතු කරවන්නට සමත්විය. 

තවත් විනාඩියක් පමණ ගතවුවද, සන්සුන් නොවන අහිංසක තරුණිය දැක වික්ෂිප්තව ගිය අනුජ ඈ තමන්ට තුරුල් කරගෙන තදින් වැළඳ ගත්තේ සන්සුන් කිරීමටය. ඔහු සිය නිකට නිර්මලිගේ හිස මුදුනේ තබා මෘදුවට සිපගත්තේ අනිච්චානුගවමය.

බිඳුණු හදවතැ'ති තරුණිය තව තවත් ඔහුට තුරුල් වෙමින් සිය වේදනාව දියකර හරින්නට වුයේ අනායාසයෙනි. විනාඩි ගණනාවක් නොකඩවා හැඬු නිර්මලි අවසානයේ ඉකි ගසමින් සුසුම් හෙලන්නට වුවාය. ඇයට දැනුන රැකවරණය අතිමහත්ය.

හදිසියේ මතක් වුවා සේ ඈ අනුජගෙන් මිදී වාහනයේ දොරට පිටදී, බිම බලාගත්තාය. හැඩිමෙන් ඉදිමි, අගේ කම්මුල් රෝස පැහැයට හැරී තිබිණ. අනුජ හිස නොහරවා සිටියේ නිර්මලී සිටියේ ලැජ්ජාවෙන් නිසාය.

ඇගේ කඳුලින් අනුජගේ කහපාට කමිසය තරමක තෙත පැල්ලම් රැසක් ඇතිකර තිබිණ. තමන්ගෙන් මිදුණු තරුණිය දෙස මහා ලොබ කමකින් බලාසිටි අනුජ ඈ අපහසුතාවයට පත් නොකොට ඈතින් පෙනෙන මුහුද දෙස නෙත යොමුකළේය.

"දැන් අඬන්න එපා... මගේ ළඟ ඉන්නකල් ඔයාට ආරක්ෂාව තියෙනවා. ඔයාට තියෙන්නේ හොඳට ඉගෙන ගන්න එකයි.. හ්ම්ම්ම්?"

අනුජ මෘදු හඬින් පැවසුවේය. අනතුරුව නිර්මලී දෙස බලද්දී ඈ සිටියේ අනුජ දෙසම බලාගෙනය. උපුල්වන් හැඩති ඒ දෑස , ඉනට යන්තම් ඉහලට ඇති මුදු මුදු කොණ්ඩය වෙත යොමුව අවසානයේ අනුජගේ දෑස ඇගේ වෙව්ලන දෙතොලේ රැඳුනි.

"ඇයි සර්... ? ඇයි මෙච්චර ලොකු උදව්වක්?"

අනුජ දෑස සිහින්කොට සිනාසුනේය.

එවිටම ඔහුගේ දුරකතනයට ඇමතුමක් පැමිණි අතර අනුජ එය නොසලකා හැරියේය.

"පොරොන්දු වෙන්න.. ඔයා හොඳට ඉගෙනගන්නවා කියල? ඔයාගේ ඔක්කොම ක්ලාස් වලට මම ගෙදරට ටියුෂන් ගේනවා.. අලුත් ටර්ම් එකට ඔයාව මම ප්‍රයිවට් ඉස්කෝලෙකට දානවා... පුළුවන් නේද නිර්මලී.. මම වෙනුවෙන් හොඳට ඉගෙනගන්න?"

නිර්මලිගේ පපුව ස්පන්ධනය නොවන්නා සේ දැනුනි. මෙය සිහිනයක්ද? මේ මිනිසා එක්කෝ උමතුවෙනි, නැතිනම් මෙය විහිළුවකි.

"... හැබැයි ආයෙම සර් කිව්වොත්.. මම මේ නිවාසේ කෙල්ලෝ එක්කම දාල යනවා"

නිර්මලිගේ මුහුණේ ඇඳුනේ දැරියකගේ සිනාවකි. අනුජ සිය සිතැඟි වහා සඟවාගෙන ඇගේ වතෙන් ඇස් ඉවතට ගත්තේය. 

"ස..... මහ.... හ්ම්ම්ම් ... සර්... දෙවියෙක්ද ?"

අනුජ සිනාසුනේ හඬ නගාය. ඔහුගේ මුවේ වම් පැත්තේ පෙනුන නළදත නිර්මලී දුටු පළමු අවස්ථාවය.

"පිස්සු කෙල්ල.... මම සාමාන්‍ය මනුස්සයෙක්. විකාර හිතන්න එපා! පොඩ්ඩක් ඉන්නකෝ"

අනුජ එසේ කියා වාහනයෙන් බැස පාරේ අනෙක්පස තිබෙන වෙළඳසලකට ගියේ නිමේශයෙනි. නැවත එනවිට ඔහුගේ අතෙහි තිබුනේ උණුම උණු ගොටු පිට්ටු දෙකක් සහ කිරි පැකට් දෙකකි.

"කන්න.., . උදේ කෑවේ නෑ නේද?"

එය නිර්මලී අතෙන් තැබූ අනුජ , ගොටු පිට්ටු කන නිර්මලී දෙස ඇස කොනෙන් බලා තනිවම සිනාසුනේය. 

මේ කතාව මෙලෙස කියන්නට ලැබීම එක අතකට ඔහුට සහනයකි. මෙය කියන තුරු දුලිකා සහ හේමාල් යන දෙදෙනාම ඔහුට නිතර කරදර කලෝය. නිර්මලී බියපත් කරන්නට අකමැති වූ අනුජ එය දිනෙන් දින කල්දැමූ අතර මෑතකදී මොරිස්ගේ ප්‍රශ්නය ඇදුනු මොහොතේ එය වඩා බරපතල නොවන්නට යමක් කලයුතු බව අනුජට පිළිගන්නට සිදුවිය.

පිපාසයෙන් සහ කුසගින්නෙන් සිටි නිර්මලී සිහියක් නොමැතිවම ආහාර ගත්තේ අනුජ පුදුම මිනිසෙකු යයි සිතමිනි 

"කිරි එක බොන්න කලින් ඔය සීට් බෙල්ට් එක දාගන්නකෝ... අපි යමු.. දැන් පරක්කු වෙලා අරුන් ඔයාව හොයයි"

සැබෑවටම සිදුවන්නේ ඔවුන් විසින් තමාව බයිට් කරන එක බව දන්නේ අනුජ පමණය.


--------------------------------------------------------

වාහනය නිවාසය අසල නතර කරද්දී , දුලීකා සහ හිමාල් යන දෙදෙනාම ඔවුන් වෙත දිව ආවෝය. ඔවුන්ගේ මුහුණ දුටු වහාම අනුජගේ මුවෙහි තිබුණු මන්දස්මිතිය සහ සැහැල්ලුව අතරුදහන්ව ගියේය.

"මොකක්හරි අවුලක්ද?"

එවීටම නැවතත් අනුජගේ දුරකථනය නාදවිය. පසුගිය විනාඩි දහය පහළොව ඇතුලත නොනවත්වා  දුරකථන ඇමතුම් රැසක් ලැබුනේ අමුතු ලෙසකිනි. අනුජ ඒවා කිසිවකට පිළිතුරු බැන්දේ නැත. 

කිසිවක් නොකී දුලීකා නිර්මලී වාහනයෙන් බස්සවා ගත්තාය. හිමාල් ඉක්මනින් අනුජ සමග කටු කුටු ගානවාත්, එකවරම අනුජ මදක් ගැස්සී යනවාත් නිර්මලී බලා සිටියාය.

"නංගි ඔයා අර මිස් එක්ක ඇතුලට යන්න.. අපි එන්නම් හොඳද?  ඔයා එනකල් කියලා කට්ටිය කෑමත් තියාගෙන.. යන්න දැන්"

දුලීකා එසේ කියා නිර්මලිව පාලිකාව වෙත යැව්වද, නිර්මලී මදක් පමා වුවාය. තිදෙනාම කවයක්ව සිටගෙන බරපතල ලෙස ඔවුන්ගේ දුරකතනව වලට එබිගෙනය.

"....මටත් කෝල් කෙළවරක් නැහැ"

දුලීකා පැවසුවාය.

"බලපන්.... වෝල් එකේ ශෙයා කරලද කියල..."

"මගේ ෆෝන් එකේ  බලපන්... ඔක්කොම මාව ටැග් වෙලා.. ශෙයා කරන උන් ඔක්කොම මාට ටැග් කරලා"

දුලීකා වහාම ඇගේ දුරකථනය අනුජගේ අතින් උදුරා ගත්තාය. අනතුරුව ආපසු හැරී පාලිකාව දෙස කලබලයෙන් බැලුවාය.

"මිස්.. අර ඉරේෂාට එන කියන්න ඉක්මනින්"

නිර්මලී තරමක් ඈතින් තවමත් සිටීම දුලීකා දුටුවේ නැත. ඒ සමඟම ඉරේෂා හැල්මේ දිවගෙන ගියේ නිර්මලී පසුකොටගෙනය. 

"ඉරේෂා!!.... තමුන් කාටද මේවා දුන්නේ?  කියනවා!"

දුලිකාගේ හඬ දත්මිටි කමිනි.

"අනේ මිස්... ඇයි මිස් මොකක්ද වෙලා තියෙන්නේ? මට මුකුත් තේරෙන්නේ නැහැ..."

ඔවුන් දුරකතනයේ යමක් ඉරේෂාට පෙන්වමින් තවත් කුමක්දෝ මුමුණනවාත් , ඉරේෂා අතින් මව වසාගෙන විස්සෝප වනවාත් නිර්මලී බලාගෙනය.

 " අනේ මිස්......මගේ මැරුණු තාත්තා පල්ලා මම මේ දන්නේ නැහැ"

" අනුජ... උඹ ෆෝන් එකකටවත් උත්තර දෙන්න එපා. ඔක්කොම ශෙයා වෙලා තියෙන ඒවායේ උඹේ පින්තුරයත් එක්ක ටැග් වෙලා ගිහින් තියෙන්නේ. "

"මුලින්ම මේක අයින් කරගන්න ඕනේ.. ඉඳපන් මම DIG ට කතා කරන්නම්..."

අනුජ දුරකතනයෙන් ඇමතුමක් ගත්තේ ක්ෂනයෙනි. හිමාල් , ඉරේෂා වෙත හැරුණි.

"අනේ බුදු සර්... මොකද වෙලා තියෙන්නේ..? මම මේ මුකුත් දන්නේ නැහැ"

"තමුසේ මොකටද අර මොරිස්ට කතාකලේ? ඒකෙන් තමයි මේ ඔක්කොම . දැන් කතාකරලා වැඩක් නැහැ.. කවුරුහරි බල්ලෙක් මේ යටගහපුව ඔක්කොම , තව ඔක්කොම බොරුත් එක්ක එකතු කරලා එෆ්බී එකේ දාල . .අනුජ මහත්තය තමුසෙව  සල්ලි වලට ගත්ත කියල ඒ මහත්තයාගේ ඔක්කොම විස්තර එක්ක පින්තුරත් එක්ක ගිහින් තියෙන්නේ."

ඉරේෂාගේ දෑස් උඩ ඉන්දුනී. ඈ මහා හඬින් හඬන්නට වුවාය. ඈතින් සිට හරිහැටි දෙබස් නෑසුන නිර්මලී සෙමෙන් ආපසු පැමිණි අතර ඉරේෂාගේ විලාසය දැක තරමක් විපිළිසර වුවාය.

"ඇයි ඉරේෂා? මොකද වෙලා තියෙන්නේ.."

දුරකතනයට පිළිතුරු දෙමින් අනුජ තරමක් මිදුලේ ඒ මේ අත ඇවිදියි. හේමාල්ද තවත් ඇමතුමකය. අවසිහියෙන් මෙන් සිය දුරකථනය අතේ තබාගෙන සිටි දුලිකාගේ පසුපසින් සිටගත් නිර්මලී අගේ දුරකථන තිරය දෙස බැලුවාය.

ඇගේ වම'ත මුවට ගියේ ඉබේටමය.

මුහුනුපොතේ අනුජගේ පින්තුරය යටින් , පොල් අකුරෙන් ලියා තිබුණු දේ ඈ එකරවම කියෙව්වාය.

"..සල්ලාල කෝටිපති ව්‍යාපාරිකයා දැරියක්  අපයෝජනය කරයි. පින්තුර සහිතයි"

ඒ පින්තුරය, පෙරදින ඈ දිලිපට දුන් අනුජගේ පින්තුරයයි!


---------------------------- මතු සම්බන්ධයි -------------------------------------------------

8 comments:

  1. අම්මට සිරි මාර කථන්දරයක්නේ!? ඔයා නම් අපේ ඔළුවත් මඥ්ඥක්ස් කරලා තමයි පස්ස බලන්නේ මේ විදියට පටලලා!
    එළ ඉක්මනට අනිත් කොටස දාන්ඩෝ!

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි මෙයා කමෙන්ට් කරලනේ!

      Delete
  2. අන්නේකයි. අනුජ හොඳ කොල්ල. සිරාවට ලියල අද නම්. නියමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් බලමුකෝ.. ස්තුතියි ඈ

      Delete
  3. ඊළග කොටස කියවන්න බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... පුළුවන් ඉක්මනින් දෙන්නම්

      Delete
  4. බලමු, බලමු මේකත් අන්තිමේ 'කොටුවෙදී' හදිසියෙම නවතිවිද කියල.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  5. හේමාල් ද හිමාල් ද
    අනුජ ලොක්ක දැනගත්ත ගමං මේක කලේ නිර්මලීීකියල.

    ඩිෂුම් ඩිෂුම්

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...