Saturday, October 9, 2021

271: උන්මාද චිත්‍රාදෝ මා 05




දහසක් හිරු පායා සියල්ලම ඒකාලෝක වන්නා සේ දැනී , නිර්මලී උඩ පැන්නද දිලීප සිටියේ මහත් කලබලයෙනි. ඔහුගේ ඒ කලබලය වැටහෙන්නට තවත් මිනිත්තු කිහිපයක් ගතවූ තැන, සිය පෙම්වතාගේ වෙනස් හැසිරීම වැටහුණු ඈ ග්‍රහණය ලිහිල්කොට දිලීප දෙස බැලුවාය.

"අපි යමු ඉක්මනට"

"ඔව්"

නමුත් දිලිපගේ පය ගේට්ටුවෙන් ඇතුලටත්, නිර්මලිගේ පය ගේට්ටුවෙන් පිටතටත් තැබුණු බැවින් නිර්මලී වික්ෂිප්තව අඩ අඳුරේ පෙනෙන දිලිපගේ මුහුණ දෙස බැලුවාය. එය තේරුම් ගන්නට නොහැකි පෙනුමකින් යුතුය. දෑස දිලිසුනේ කවර කරුණක් නිසාද?

"දිලීප.. අපි යමු! කෝ  ඔයාගේ වීල් එක?"

අඩ අඳුරේ තිබුණු තාප්පය අද්දර තවත් මිනිසෙකුගේ සෙවනැල්ලක් ඈ දුටුවේ ඒ මොහොතේය. ඈ දිලිපගේ අතේ එල්ලුනාය.

"මම බයික් එකක ආවේ ඕයි.. යාලුවෙක් එක්ක. .නැතුව මෙහෙම එන්න බෑනේ..."

"බයික් එකක?  හරි කමක් නැහැ.. අපි තුන් දෙනාට යන්න පුළුවන් "

"හරි හරි අයිසේ... මුලින්ම මාව ගෙට ගන්නවකො"

නිර්මලී අන්දුන් කුන්දුන්ව ගියාය.

"ගෙට යන්න නෙවේ..."

"තමුසේ පණ්ඩිතයා නොවී පොඩ්ඩකට මාව ගෙට ගන්නවා.. මෙතන ඉන්න බැහැ අහුවෙයි.. එතකොට ඔක්කොම ඉවරයි.. මූ ඉඳි අපි එනකල් බයවෙන්න දෙයක් නැහැ"

"................."

"මගුලක් කරන්නේ යමන් ඉක්මනට"

දිලිපගේ තරවටුව හමුවේ කරන්නට වෙනත් යමක් නොමැති වැටහුණු නිර්මලී, දිලීප සමඟ ගේට්ටුවෙන් ඇතුළුවී නිවස දෙසට ඇවිද ගියාය. දිලීප කියන දෙයක් අහන කෙනෙකු නොවේ. ඇගේ දෑස විමසිල්ලේ ඒ මේ අත ගියේ බියටමය.

කුඩා දොරෙන් නිවසට පැමිණි පසු, පසෙකින් වැටුණු ආලෝකයට දිලිපගේ මුහුණ මදක් පැහැදිලිව පෙනෙත්ම නිර්මලී තදින් ඒ අත බදාගත්තාය. 

"ආ.. හරි හරි.... උඹත් ඉතින් නටන්න ගත්ත මෙතන..... කෝ.. කොහෙද කාමරේ? තමුසේ ඉන්නේ වැඩකාර මිනිස්සු ඉන්න කෑල්ලක ද? %$%& න්න මේ ගෙදර මාලිගාවක් නේ බං "

දිලීප සිටියේ නිවසේ විසිතුරු වලින් වශීකෘතව වුවද, නිර්මලී උන්නේ දිලිපගේ අත තදින් අල්ලාගෙන මේ කිසිවක් නෑසු කන්වලිනි. සතියක් නොදුටු වුවද ජිවිත කාලයේම අහිමි වන්නට ගිය සිය පෙම්වතා දෙස බලාගෙන සිත් සේ ඔහුගේ පෙනුම විශ්ලේෂණය කලද, තමන් දකිනා තුරු තිබෙන නොඉවසිල්ලක් සොයාගැනීම ඇයට පහසු වුයේ නැත. 

වෙනදාට වඩා පිළිවෙලට කොණ්ඩය කපා තිබුනද, ඈ දෙස දෑස නොරඳන ඔහු, මෙතරම් ඈට ඉක්මනින් දුරස්ව ගියේ කෙලෙසකද? දිලීප ඈ හා අමනාපයෙන්ද?

නිවසේ තිබෙන සරල මහේශාක්‍ය පෙනුම නිසා තමන්ගේ අනුමානය නිවැරදි බව දිලීප තහවුරු කරගත්තේය. මේ මිනිසා සල්ලිකාරයෙකි. ඔහු එවර නිර්මලී දෙස බැලුවේ නිකමට මෙනි. පුදුමයකට ඈ වෙනදාට වඩා පිරිපුන්ව, රූමත්ව හා ආකර්ශනියව සිටින බව  වැටහෙන්නේ ඒ මොහොතේය.

'මේකි සුද්දියක් වගේ වෙලානේ'

"කොහෙද හලෝ තමුසෙගෙ කාමරේ?"

"අනේ මේ ...... කාමරේට යන්න බැහැ.. මට එතනින් ගන්න දෙයක් නැහැ... මුකුත්ම ගෙනාවෙත් නැහැ මම"

"බකපණ්ඩිතයා නොවී මාව එක්කගෙන යනවා ගෑනියේ... වෙලාව නැහැ... කවුද ගෙදර ඉන්නේ?"

"මහත්තය ගෙදර නැහැ.. මේ ගෙදර වැඩට ඉන්න ආච්චි ටීවී බලනවා.. අනේ දිලීප අපි ආපහු යමු..."

නිර්මලී හඬන්නට ආසන්නව මෙන් කිව්වද දිලිපගෙන් ගැලවීමක් නොතිබුණු බැවින් ඈ  තිබෙන කුඩා පඩිපෙළ ඔස්සේ ඉහල මාලයට දිලීප සමඟ ඇවිද ගියේ ඉක්මනිනි.

"හප්පද බොල , උඹ ඉන්නේ මේ කාමරේද?"

කාමරයට පිවිසි දිලීප පහසුවෙන් සයනය මත හිඳ ගත්තේ හාත්පස බලමිනි. නිර්මලී වහා කුඩා විදුලි බල්බය දමා ආලෝකය අඩු කලේ බිය නිසාය. පොඩිනාගේ කන් ඇසීම තරමක් දුර්වල වුවද දෑසට බල්බය පෙනෙන්නට පුළුවන.

"මෙන්න මෙහෙ වරෙන් බන්... උඹව කාලෙකින් ආශ්‍රය කරන්නත් බැරි උනා"

ක්ෂණිකවම නිර්මලී අතින් ඇද සිය උකුලේ බලෙන්ම හිඳුවාගත් දිලීප ඇගේ කනට කෙඳිරුවේ ඈ දෝතින්ම තමන්ට තදකොටගෙනය.

"අනේ අයියේ.. අපි යමුකෝ... මහත්තය එයිනේ"

" ඩිංගක් හිටපන් කෙල්ලේ, මම අරූව ගේට්ටුව ගාව තියලා ආවේ පණිවිඩේ දෙන්න පුළුවන් වෙන්නත් එක්ක... හම්මේ උඹ හරි හැඩ වෙලානේ මේ දවස් දෙක තුනට... "

ඇඳුම් අතරින් දිලිපගේ දෑතම නිර්මලිගේ සිරුර වෙත කඩා පනින්නට සදද්දී, නිර්මලී  ගැහෙමින් ඒ අත් ගසා දැමුවේ  මොහොතක අනුජ එනු ඇතැයි සිත මුරගාන නිසාය.

"අනේ අයියේ... අනේ.... අපි යමුකෝ.... මෙතැන ඉන්න එක  බයානකයීනෙ.. "

නිර්මලී වහා නැගිට දොර .අසලට ගියාය. ඇගේ සියොළඟ දෙස බලාසිටි දිලිපගේ දෑස ගොදුරක් වෙත කඩාපනින්නට බලාසිටිනා ව්‍යග්‍රයෙක්ගේ පෙනුමක් ගෙන තිබිණ.

"මෙහෙ වරෙන් .කෙල්ල... බයවෙන්න ..එපා. බන්... මමනේ.. වැඩිවෙලා යන්නේ නෑ ඉතින්.. අනික මේ වගේ සැප මෙට්ටයක් එක්ක උඹ වගේ කෙල්ලෙක් තියාගෙන නිකන් යන්නේ මොන පිස්සුවටද බන්... උඹ ඉතින්  මගේ හොඳ කෙල්ලනේ"

"බෑ බෑ... අපි යන්න .ඕනේ."

නැගුනු ඒ ස්වරයෙන්ම ඈ හිතුවක්කාර බව දන්නා දිලීප සිය අවශ්‍යතාවය රන්ඩුවකින් දිනාගත නොහැකිබව තේරුම් ගත් බැවින් තරමක් පසුබා ගියේය.

"ඇයි උඹට මහත්තය.... &^%%$&^&*"

නිර්මලිට ඇසුනේ එයමදැයි විශ්වාසයක් නැත්තා සේ තත්පර කිහිපයක් ගොළුව ගියාය. දිලීප මේ අසන්නේ අනුජ තමන්ව අඹුකමට ගත් බව ,  පැවසිය හැකි නොසරුප්ම වචන වලිනි.

".. උඹලටත් ඉතින් සල්ලි ටිකක් දැක්කහම තමයි රෙද්දත් ඉස්සෙන්නේ"

"පිස්සුද මනුස්සයෝ?"

කුමක් හෝ හේතුවකට නිර්මලිගේ සිත පෑරුනි. 

"එහෙනම් මොකද උඹට දැන් බැරි මගෙත් එක්ක ඉන්න?"

නිර්මලී දුර්මුඛව ගියාය. ඈ සිය පිට බිත්තියට හේත්තු කරගෙන නියපොතු විකමින් හුස්ම ඇල්ලුවාය. 

"අනේ මේ එහෙම වේලාවක්ද ?"

"අනේ මේ!... උඹ මට කියන්න එන්න එපා... කෝ වරෙන් මෙහාට..."

නිර්මලී අසලට පැමිණියේ නැත. මේ සිටින්නේ තමන්ගේ පෙම්වතා නොවන බව ඈට ප්‍රථම වරට සිතුනි. නැත! ඔහු සැමදාම එලෙසය. ලැබෙන හැමවිටම තමන්ගේ සිරුරෙන් යමක් ඉල්ලුවා නොවේද? කලින් කිසි දිනෙක මෙලෙස තනි වන්නට අවස්තාවක් නොවීම පමණකි.

".. හෙහ්.. උඹ එක්කෝ මේ මිනිහට කැමතිද? "

නිර්මලී ගල්ගැසී ගියාය.

"පි.. පිස්සුද දිලීප.. මේ මනුස්සය.. මේ මනුස්සය........ මහා ජරා මිනිහෙක්.."

"හෙහ්.... අනේ මේ... නාකි සල්ලිකාරයෙක් උඹව උස්සගෙන ඇවිත් , ඌට ඕනේ හැටියට %$^&* තියෙද්දී දැන් උඹ මට පත්තිනි අම්මාකම පෙන්නන්න එනවද?"

නිර්මලිගේ හිසට කුළුගෙඩි පහරක් වැදුනාක් මෙන් දැනුනි.

"අනේ දිලීප.. මේ මොනාද මේ කියන්නේ..? ඒ මනුස්සය වෙන ගෑනු ගන්න ඇති. මට මේ මිනිහා ඕනේ නැහැ.. මට ඕනේ මෙහෙන් යන්න... අපි යමු"

දිලීපගේ දෑස කුඩාව ගොස් ඇස තියුනු හී හිසක් සේ ඈ වෙතම එල්ලව ගියේය.

"එහෙනම් කොහොමද මු ජරා මිනිහෙක් කියල දන්නේ.????. අනේ මේ නිර්මලියෝ, උඹ මට සුදුලුනු පොඩිකරන්න එන්න එපා. උඹට තියෙන විසේ මම නොදන්නවාද?"

"අනේ නෑ මහත්තයෝ මේ සත්තමයි... මේ බලන්න.. මේ ... මේ ,, මේ බලන්න.. මේ මනුස්සයට ඉන්න ඉන්න කෙල්ලෙක්ගෙ ෆෝන් එකත් මම ගත්ත. මේ .. මේ බලන්න.... "

නිර්මලී වහා සිය සාක්කුවෙන් ගත් , තරුණිය සතු දුරකථනය දක්වා සිටියාය. එය උදුරාගත් දිලීප එහි අගුල ඉවත්කොට තිබුණු නිසා ඒ මේ අත බැලු අතර, නිර්මලී මදක් ලංව බුරුල්වූ නාසය ඉහලට අදිමින් හුස්ම වේගයෙන් ඉහල පහල  කරමින් සිටියාය.

ඉක්බිතිව නිර්මලී ඈට මෙතෙක් සොයාගත හැකිවූ සියල්ලද, දුටු සියල්ලද, ඇසුණු සියල්ලද  විශ්වාසී පෙම්වතා හමුවේ තැබුවේ තමන්ගේ නිර්දෝෂී භාවය පිළිබඳව යම් සාක්ෂියක් දෙන්නට පමණක්ම නොවේ. තමන්ව ගලවා ගන්නට දිලිපගේ හිත නවා ගන්නට ඈට අවශ්‍ය විය. දිලීප සිටි ආකාරය සහ දැන් උද්ගතව ඇති තත්වය නිසා අනුජ තමන්ව විවාහ කරගත් බවක් කියන්නට ඈ බිය වුවාය.

අනුජ නැමති කෛරාටික මිනිසා නොවන්නට ඈ මේ වනවිට දිලිපගේ පෙම්වතිය ලෙස කිසිදු වෙනසක් නොවී සිටිනවා නොවේද? මේ වියවුල් සියල්ලටම මුල එයම නොවේද?

සියල්ල අසා සිටි දිලීප කාමරයේ ඒ මේ අත සක්මන් කලේ වේගයෙනි. 

"මට උඹව විස්වාස නැහැ"

නිර්මලී අසරණව ගල් ගැසුණාය. මෙතරම් කරුණු කියද්දී පවා දිලීප මේ පවසන්නේ කුමක්ද?

"හරි... මේ ඔක්කොම සාක්කි  ගන්නකො එහෙනම්... මේ මනුස්සයාගේ මේ හුටපටේ ගැන පොලිසියේ බලන කෙනත් මම  කියන්නම්.. ඔයාම ගිහින්.. නෑ මමත් එන්නම්... මමත් එක්කම ගිහින් බලමු... මම මේ කියන්නේ බොරු නෙවෙයි දෙවියනේ...  අර මොරිස් කියන එකාගෙත් නොම්මරේ දෙන්නම්.. උගෙන්ම අහගන්න ඔක්කොම විස්තරේ..."

නිර්මලී ඉකිබිඳිමින් කියවාගෙන ගියේ හුස්මක් නොගෙනමය. අනුජ ගැන කිව නොහැකි කෝපයක් ඈ තුල ඇතිවෙමින් තිබිණ. 

දිලීප ඈ වෙතට ලංව නිර්මලී තුරුල් කරගත්තේ ගවුමේ බොත්තම් පේලියට අත තබා පහලට අදිමිනි.

"හරි.. හරි.. බන්... උඹ ඉතින් කොහොමත් මගේ කෙල්ලනේ... මේ බලපං.. මම  දවස් තුන හතරක්ම ඔත්තු බැලුව මේ ගේ වටේට. උඹව මෙහෙම ගෙනත් දැම්මේ මහා එකා කියලත් දැනගෙන....."

දිලිපගේ දෑත් වචනට වඩා වේගයෙන් වැඩ අරඹා තිබිණ. නිර්මලිට මහා අප්පිරියාවක් දැනුනේ මොහොතිනි.

"මේවා නෙවෙයි.. මාව එක්කගෙන යන්න දිලීප.. මට මෙහෙ ඉන්න බෑ !"

"හරි බං මම එන්නම් ආයෙත් දවසක එක්කගෙන යන්නත් එක්කම..."

නිර්මලී ගැස්සුනේත් සහ දිලිපගේ දෑත් තල්ලු කලෙත් එකවරමය.

"මොකක්?  ආයෙත් දවසක්? ආයේ දවසක් නෙවෙයි...අද යමු"

එවිටම දිලිපගේ දුරකථනය නාද වූ අතර නිර්මලී සිටි පැත්තට අනුව ඇඳමත තිබුණු ඒ නවීන දුරකතනයේ දිස්වුයේ කාන්තාවකගේ පින්තුරයකි. ක්ෂණිකව දිලීප ඇමතුම විසන්ධි කළේය.

".. දිලීප...... මාව අද එක්කගෙන යන්න... මට මෙහෙ ඉන්න බැහැ .. "

නැවතත් කලින් ඇමතුම පැමිණි අතර දිලීප එය විසන්ධි කරනවිටම නිර්මලී නොසන්සුන් වුවාය. 

"චඃ.... උඹට මගෙත් එක්ක තමයි බැරි...! "

ඇය දිලීප තල්ලුකොට දොර අසලට ගියේ වේගයෙන් හුස්ම අල්ලමිනි.

"ඔයා ආවේ මාව ගෙනියන්න නෙවෙයිද? වීල් එකක් නැතුව... බයික් එකක ආවේ? එතකොට.. එතකොට මම යන්නේ..?

"නෑ මම උඹව එක්කගෙන යන්න නෙවෙයි ආවේ... "

දිලීප කියන දේ එකවරම වැටහුනේ නැත්තාක් මෙන් නිර්මලී වික්ෂිප්ත වුවාය.

"මොනවා? මම... මම... මට..."

"අනේ උඹ වගේ මෝඩ ගහක්... මෙහෙ තියෙන සැපක් විඳගෙන හිටපන්කෝ ඉතින්... මම ඉතින් එන්නම්කෝ සතියකට වතාවක් විතර ඇවිල්ල උඹව ආශ්‍රය කරලා යන්න... ඔය නාකි මිනිහාට ටිකක් දීගෙන හිටියාට මක් වෙනවද බන් සල්ලි කඳක් නේ"

දිලිපගේ කම්මුල හරහා ගසන්නට තරම් ආවේගයක් නිර්මලිට පැමිණියද, ඇගේ අතපය සියල්ලම අප්‍රාණිකව ගියාක් මෙන් එකිනෙකාට නොදැනී එහා මෙහා වැනුනි.

"... අද කොහොමත් මම දැන් යන්ඩත් ඕනේ..  මොකටද බන් ඔච්චර ගණන් උස්සන්නේ.. මෙහෙට වෙලා කාලා බීල ඉඳපන්...  කොහොමත් ඔහොම තමයි බන්... උඹව ගේන්න ඇත්තේ සයිඩ් එකට... හෙහ් හෙහ්.... "

නැවතත් දිලිපගේ දුරකථනය නද දුන් අතර කලබලයට ඔහු අතින් එම ඇමතුම සම්බන්ධ විය. 

"තමුසේ කොහෙද ඉන්නේ ? මේ ගෙදර එන්..."

කියනවාත් සමඟම දිලීප වහා ඇමතුම විසන්ධි කළේය. ගැහැණු හඬක් බව ඇසුණු සැනින් නිර්මලීට එකවරම සිහියක් ආවාක් මෙන් දැනුනි. දිලීප!

"තමුසේ මම නැති ටිකට ආයෙත් අර කසිප්පු ගෑණි අල්ලගත්තද?"

මිට ප්‍රථම වතාවකදී ඈ සැක කලද, ත්‍රීවිල් නැවතුම්පලේදි කනින් කොනට ඇසුනද, නිර්මලී ඒ දිනවල මෙවන් පුවත් නෑසුණු කන්ව උන්නේ දිලිපගේ ප්‍රේමයෙන් අන්ධවී බව ඇයට වැටහුනේ එකවරමය. තමන් දිනාගන්නා තෙක් සැඟවුණු ඔහුගේ ඒ ජීවිතය නිර්මලී  ප්‍රශ්න නොකළේ, සිය නිවස තුල නැති ආදරයක්, සැලකිල්ලක් දිලිපගෙන් ලැබෙන නිසා බව තමන් අදහන නිසා බව දහසය හැවිරිදි ඈට වැටහීමක් තිබුනේ නැත.

'මට මොන යකෙක් වැහිලද සිටියේ? මෙච්චර මේ මිනිහා මත්තේ හිටියේ?'

"එහෙම නැහැ බන්.. මම ඒ අක්කාගෙන් අතමාරු කරගන්නවා උඹ දන්නවනේ.. වීල් එකට සල්ලි දුන්නෙත් ඒ අක්කා.. උන් එක්ක තරහ වෙලා ගමේ ඉන්ඩ බෑ බන්..."

දිලීප ඈ දෙසට ඇවිද එද්දී නිර්මලී දොර විවර කළාය. ඇගේ උගුර වියලිව ගොස්ය. තමන් වැටුනේ මහා අගාධයකටය. ඇගේ දෑසින් ඉක්බිඳීමක් නොමැතිවම කඳුළු ගලාහැලෙන්නට විය. දිලීප තමන්ව රැගෙන නොයන්නේ මන්දැයි සිතාගත නොහැකි වුවද ඔහු තමන් වෙනුවෙන් කිසිවක් නොකරන බව නම් ඇයට සක් සුදක් සේ පැහැදිලි විය.

දිලීප ගැන අපුලක් ; කෝපයක් මහා වේගයෙන් ඇගේ සිතපුරා පිරෙන්නට වියේ කඩාවැටුන වේල්ලකින් මහා වේගයෙන් ජලය විදින්නාක් මෙනි.

එවිටම විසල් ගේට්ටුව ස්වයංක්‍රියව විවර වන ශබ්දය ඇසුනි. අනුජ!

"අන්න මෙහෙ මහත්තය ආව... අපි යමු!"

සියල්ලමට පෙර දිලීප කාමරයෙන් එලියට පැන , නිර්මලී පෙරලාගෙන පහල මාලයට දිව්වේය.

"දිලීප.... මාව එක්කගෙන යන්න!"

ඔහු පසුපසුන් දිවගිය නිර්මලී ඔහුගේ බාහුවක එල්ලුනාය. ඔහු සමඟ නොවුනත් මෙයින් පැන යන්නට ඇයට අවැසිය. කොළඹ පාරක් තොටක් හෝ නොදැන ඈ කොහේ යන්නද? දිලීප ඇගේ අත ගසා දැමුවේ ක්ෂණයෙන් ආපසු හැරෙමිනි.

"පිස්සුද ඕයි ! මට දැන් යන්න ඕනේ... මම එන සතියේ එන්නම්"

එපමණකි! දිලීප අඳුරේ නොපෙනී ගියේ ඒ තත්පරයටය. නිර්මලී  බලාගෙන උන්නේ සියල්ලම එකවර කුඩාව දැනෙද්දී ය.

*************************************************


 දෙතුන් වරක්ම ආපසු හැරී ගිය අනුජ, අවසන්  වතාවට හිත   එකලාසයක් කරගෙන නැවත පැමිණ නිර්මලිගේ කාමරයේ දොර අසල සිටගත්තේය. හිමාල් කෙතරම් පැවසුවද මෙය තමන්ගේ සිතට එකඟ නැති බව අනුජ ඒ මොහොතේද සිහිපත් කළේය.

අනුජ එලෙස නිර්මලිගේ කාමරයේ දොරට තට්ටු කරනවිට, කඳුලින් පෙඟී, ඉදිමුණු දෑසින් යුතුව ඇඳ මත උන් නිර්මලී ගැස්සී සිටියාය.

"බබා.... ඔයා නිදි නැහැ නේද?"

නිර්මලිට කුමක් කරන්නදැයි එකවරම සිතාගත නොහැකි විය. තමන්ගේ මුහුණ දුටුමතින්ම මේ දැන් සිදුවූ දෙයක සලකුණු ඔහු හඳුනාගනු නියතය. ඊටත්, මෙතෙක් ඇසු දුටු දේවල් අනුව අනුජගේ මුහුණට වැරෙන් පහරක් ඇන , ඔහුගේ මේ තිරිසන් ක්‍රියාව ප්‍රශ්න කරන්නට ඈට අවශ්‍ය වුවද, ඉන්පසුව ක්ෂණිකව කෝපගන්නා අනුජට ඈ ඊට වඩා බිය වුවාය. 

".... අනේ සොරි මම පරක්කු උනා තමයි. ලයිට් දාලා තිබ්බ නිසා මම හිතුවා ඔයා ඇහැරගෙන ඇති කියල..දැන් දොළහට ළඟයි... නිදි නැතිනම්.... "

කිසිදු හැලහොල්මනක් නැත. 

අනුජ සිය අතෙහි තිබුණු පාර්සලය සමඟ නැවතත් පහල මාලයට ගියේය. නත්තල් ගස පාලුවට ගොස්ය. දාස විසින් සරසන ලද ඉහල කොටස හැරුණුවිට ගස ඈ අතින් හැඩවූ බවට සාක්ෂියක් ඔහුට සොයාගත නොහැකි විය.

'පව්... සරසන්න දන්නේ නැතුව ඇති..'

පාර්සලයේ ඇගේ නම හොඳින් පෙනෙන පරිද්දෙන් එතන තැබූ අනුජ නිර්මලී ගැන පසුතැවුනේය.

"උඹ කිව්වට එහෙම එක්කගෙන යන්න බෑ බන්... කෙල්ල පොඩිනේ "

හිමාල් තමන්ට පැවසුවේ සත්‍යක් බව අනුජ දනී. සිත තුල මහා දුකක් මෙන්ම , අනතුරක සේයාවක් ඔහුගේ සිතේ ඇතිවී නැතිවී ගියේය. සාදය පුරාම අනුජගේ සිතේ සිටියේ නිර්මලිය. ඈ රැගෙන එන්නට සිත කොතරම් බලකලද, එය කළහැකි දෙයක් නොවේ.

'පව්.. මම එනකල් ඇහැරගෙන ඉඳල. දැන් නින්ද ගිහිල්ල ඇති '

අනුජ සිය කාමරයට පිවිස උණු වතුරෙන් ගත දොවාගද්දී රාත්‍රී දොළහ වැදී හාත්පස රත්ඤ්ඤා ශබ්දයෙන් ඇලලී ගිය අතර, මල්වෙඩි කිහිපයක් යාබද නිවසින් පිටව ගොස් හාත්පස ඒකාලෝක කළේය.

කාමරයේ මේසය මත තිබුණු ඔහුගේ දුරකථනය නාදවනු ඇසුනද, අනුජ එය නෑසුනා සේ සිටියේය. දුරකථනය අට වතාවක්ම නාද වෙමින් නතර වනතුරුම ස්නානය කරමින් සිටි අනුජ, කාමරයට පිවිසියේ උණුසුම් කබායක් ඇඟලාගෙනය.

'සුබ උපන් දිනයක් අනුජ!'

ඔහු තමාටම කියාගත්තේය. අනතුරුව දුරකතනයේ ඇමතුම් නොබලා කෙටි පණිවිඩ පමණක් පිරික්සා බැලුවේ හිතාමතාමය. කෙටි පණිවිඩ රැසකි. ඒ සියල්ල උපන්දින සුබපැතුම් සහ නත්තල් සුබපැතුම්ය. 

රේසිකා විසින් එවනලද පණිවිඩය ඔහු නොබලාම මකා දැම්මේය. දන්නා සහ නොදන්නා අංක වලින් ලැබී තිබුණු පණිවිඩ ඔහු නොසලකා හැරියේය. නැවතත් නාදවූ දුරකතනයේ අනෙක්පස සිටියේ ඔහුගේ පියාය.

"සන්! සුබ උපන්දිනයක් වේවා!"

පියාගේ ගැඹුරු කටහඬ ඇසුණු සැනින් අනුජගේ සිත යන්තම් සහනයකට පත්විය.

"ස්තුතියි තාත්තා... "

"අද මොනාද කලේ? මට හිමාල් පුතා කිව්වා උදේ ඉඳලා පාටි කියලා. "

"... ආ.. ඔව්.... ඌ එක්ක හිටියේ"

"ඇයි මෙහෙ ආවේ නැත්තේ? හ්ම්ම්? අපි හැමපාරම මෙහේනේ සන් ගේ උපන්දිනේ සමරන්නේ"

අනුජට එකවරම පිළිතුරක් පැමිණියේ නැත.

"තාත්තට මම කියන්නම්..."

"මට පේන්නේ....."

"රේසිකාව පොඩ්ඩක් මගේ වැඩ වලින් අයින් කරලා තියන්න තාත්තා.. මට පොඩ්ඩක් මගේ නිදහස ඕනේ"

"හ්ම්ම්ම් මට තේරෙනවා සන්... මම දුවට කතා කරලා බලන්නම්.. හැබැයි ඔය සැලුන් වැඩේ ඉවර වෙච්ච ගමන්.. ඔක්කොම සෙට්ල් කරන්න ඕනේ"

"හ්ම්ම් ඔව් තාත්තා... ඒක හොඳයි"

"මම දන්නවා සන්... තව ටිකක් හිටියට කමක් නැහැ... මට සන්ව මිස් උනාට,සන්  තමන්ගේ පාර කපාගෙන යන එකට මම කැමතියි. මේ හැමදේම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සිද්ද උනේ"

අනුජගේ සිත බරවිය. සිය පියා දැන් ඔහුගේ සිත තේරුම්ගෙන සිටින බව ඔහුට වැටහේ. අම්මා සිටියා නම් මේවා මෙලෙස සිදුවන්නේ නැති වුවද තාත්තා ප්‍රමාදව හෝ මෙලෙස වෙනස්වීම ඔහුට එක්කළේ සහනයකි.

දුරකථන ඇමතුමෙන් පසුව ඔහුගේ සිත නොසන්සුන්ය. කලින් ඇමතුම රේසිකාගෙනි. රේසිකා සිහිවී ඔහුගේ සිත රොන්මඩ ඇවිස්සුන පොකුණක් මෙන් අපැහැදිලිව ගියේය. රාත්‍රී සාදයේදී ගත් වොඩ්කා වඩිය නිසා මත්වූ සිත තවත් එලෙසමය. අනුජ වී කරැ'ති තුනී කමිසයක් ඇඳගත්තේ , අනතුරුව කාමරයේ නොසන්සුන්ව ඒ මේ අත ඇවිදිමිනි.

"අද මට මාව කන්ට්‍රෝල් නැහැ මැණික...  "

ඔහු වහා ගොස් නිර්මලිගේ කාමරයත් තමන්ගේ කාමරයත් සම්බන්ධ කරන දොර අගුලු දමා , යතුර ගෙන ජනේලයෙන් පිටතට විසිකළේය.


*****************************************************

"හිසරදේ කිව්වනම් ටිකක් බලන්න එපැයි !"

පොඩිනා බියට පත්වුයේ හඬේ ඇති වේගය නිසාය. රුපවාහිනියේ නත්තල් වැඩසටහන අවසානයේ නින්දට ගිය ඈට නිර්මලී හිසරදයට ඉල්ලාගත් පෙති මිස අනතුරුව ඈ බලන්නට නොහැකිවූ නිසා අනුජ තරමක කෝපයෙන් එලෙස කියා ඉහල මාලයට දිවගෙන ගියේය.

"නිර්මලී.... ඔයාට ඔලුව රිදෙනවද තාම?"

නිර්මලී දොර මදක් විවර කළාය. ඇගේ මුහුණේ සනීපයක ලකුණු තිබුනේ නැත. පිරුණු කොපුල්වල තිබණු වෙහෙසකර බව දුටු අනුජ මද වෙලාවක් ඈ දෙස බලා සිටියේය.

නිර්මලී කිසිවක් නොකියා බිම බලාගෙන පහල මාලයට යන්නට යන්නට අනුජ පසුකොට ගියාය. අනුජට අමුත්තක් දැනුනි. අගේ දෑසේ දැල්වෙන තාරකා වන් ආලෝකයන් නිවී ගොසිනි.

"... නිර්මලී... තාම සනීප නැතිද? නිදාගෙන නැද්ද?"

නිර්මලී 'නැත' ලෙසට හිස සැලුවේ අරමුණකින් නොවේ. අනුජ පහලට යන නිර්මලී දෙස බලාසිටියේ ඇගේ මේ වෙනස දෙසය. ඈ වෙනදා මෙන් ඇස්වලින් සිනාසෙන්නේ නැත. තමන් පෙරදින ප්‍රමාදව පැමිණීම ඇගේ අමනාපයට හේතුවද? තමන් එන වෙලාව විමසනවා ඔහුට මතකය.

හේතුව කුමක් වුවත් නිර්මලිට ඇගේ පාඩුවේ ඉන්නට දෙන්නට අනුජ තීරණය කල බැවින් එතැනින් එහාට කිසිවක් ඔහු ඇසුවේ නැත.

"දහයට ගමනක් යන්න තියනවා.. අර කහපාට ගවුම අඳින්න. මම එදාඅ ගෙනාපු හම්පටි සපත්තු ඇති නේද? හිමාල් එයි එයාගේ වයිෆ් එක්ක. ඔයාට තනි හිතෙන එකක් නැහැ ඒ හින්දා"

උදෑසන ආහාරය නිමවා සාලය  වෙතට එමින් සිටි නිර්මලී අතරමැද හමුවී, අනුජ එසේ කියා ඉහල මාලයේ සිය කාමරයට යන්නට පිටත් විය. අද දින සැලසුම ඔහුගේ සිතේ තරමක නොසන්සුන්තාවයක් ඇතිකර තිබුණු බැවින්, නිර්මලී මගහැර සිටීමට ඔහුද තිරණය කොට තිබිණ.

නිර්මලී සිටියේ අවසිහියෙන් මෙනි. තමන්ගේ කෙටිකාලින වුවද පෙම්වතාගෙන් ප්‍රතික්ෂේප වීම, මේ සිරගෙදර සිරකාරියක ලෙස සිටීමට සිදුවීම, මේ විකෘති මානසික මිනිසා සමඟ නොපෙනෙන ජීවිතයකට යන්නට සිදුවීම යන සියලු කාරනා එක්ව ගත්කල ඇගේ මනසට ඔරොත්තු නොදෙන පීඩනයක් එල්ලකොට තිබිණ. ඈ ඇත්තටම උදෑසන ආහාරයක් ගත්තෙම නැති තරමකි. පොඩිනාට නොපෙනෙන්නට මුහුණ සඟවාගෙන, යන්තම් කටක් කා ඉතිරිය ඈ කුණු බක්කියට හැලුවාය.

රාත්‍රිය පුරාම හඬා , සුසුම්ලා නිම කරගන්නට නොහැකි වූ බැවින් පාන්දර වනවිට ඈ තීරණයක් ගෙන තිබිණ. 

දිලීප නැවත මේ නිවසට ගෙන්නා නොගන්නට ඈ පළමුව තීරණය කළාය. 

අසරණව සිටි තමාගේ සිරුර අවශ්‍ය වූ මෙන්ම තමන් නැති සතියට වෙනත් ගැහැනියක සමඟින් බැඳුනු ඔහු තමන්ට පෙරදිනයේ කිසිදු හිරිකිතයක් නොමැතිව කීවේ ඔහුගේ අනියම් බිරිඳ වන්නට කියා නොවේද? අනියම් තියා ඈ තවමත් කිසිවකුගේ බිරිඳක්ව පවා වී නැත. එය ඉටුකරගන්නට දිලීප තමන්ට භාවිතා කළහැකි අවසන් වැකියද කියා තිබුනෙන්, තවදුරටත් දිලීප කෙරෙහි ඇගේ කිසිදු හැඟීමක් ඉතිරිව ගියේ නැත.

දෙවැන්න, අනුජ තමන් මෙහි ගෙනාවේ මුදලට ගණිකා සේවයේ යොදවන්නට නම්, ඒ වෙනුවට තමන්ගේ අන්තිම ලේ බිංදුව දක්වා සටන්කොට අනුජගෙන් පළිගන්නට ඈ සිතට ගත්තාය.

 'මම මේ මිනිහව නැතිකරනවා!'

ඇයට සිහිවුයේ හිමාල් ය. ඔහු අනුජගේ රහස් සියල්ල දන්නා බව එදින ඇයට ඇඟවූයේ මේ නිසා වන්නට ඇත. හිමාල් දැක්වූ හිතෙෂි බව නිසා අනුජගේ දුර්වලකමට කෙටිම මග හිමාල් බව නිර්මලී තීරණය කොට  සිටියදී,දහවල් ඔවුන් එනවා ඇසීම ඈට ඇතිකළේ සතුටකි.

උදෑසන දහය වනවිට, සුපුරුදු කලුපාට මොරිස් මයිනර් රථය ගේට්ටුවෙන් ඇතුලට එද්දී නිර්මලී සිය සැලැස්ම යුහුසුළුව සිතේ සටහන් කරගෙන උන්නාය. 

හිමාල් පදවාගෙන පැමිණි වාහනයෙන් පළමුව බිමට බැස්සේ දුලීකාය. ඈ නිවසට ආවේ දෑසින් ගේ පුරාම ඇගේ අභිප්‍රාය සොයමිනි. අනුජ කාර්යාල කාමරයේ සිට හිසපොවා දුලීකාට වාඩිවෙන්නට කියද්දී, දුලීකා හිසින් ඇසුවේ කවුරුන් ගැනද කියා අනුජ දත්තේය.

"එයි.. උඩ ලෑස්ති වෙනවා"

අනුජ දෙස සරදම් සිනාවක් පෑ දුලීකා දෑත විදාගෙන කෑගැසුවාය.

"අනේ... මේ බලන්නකෝ මේ බර්ත්ඩේ බෝයි! අනුජ! කෝ අපේ කේක් ?"

අනුජ සිනාසෙමින් පැමිණ දුලීකා යන්තමට සිය උරහිසේ පසෙකට වැළඳගෙන සතුටින් සිනාසුනේය. උදෑසන රවුල්කොට සමඟ පැහැපත් මුහුණ වඩා කඩවසම්ව පෙනෙන අනුජ දෙස බලා දුලීකා ඉඟි මැරුවාය.

"හ්ම්ම්ම් හ්ම්ම්ම් පෙම්පාටයි ආ..!"

හිමාල් සාලයට පිවිසියේ ඒ සමඟය.

"අතෑරපන් මගේ ගෑනිව... බර්ත්ඩේ කියල බලන්නේ නැහැ මම දැන්! ... හ්ම්ම් කෝ?"

"උඩ , ලැස්ති වෙනවා... මොකක්ද බන්.. උඹල ආවේ මාව බලන්න නෙවෙයිද?"

"උඹව දැකලම ඇතිවෙලා බන්.. වමනෙට වගේ දැන් නම්"

එසේ කිව්වද හිමාල් සිය මිතුරාට සුබපතා ඔහු වැළඳගෙන පිටට තට්ටුවක් දැම්මේය.

" පාටියේ ඉන්න බැරුව දොළහ වෙන්න කලින් ආවනේ ආත බූත කඩාගෙන... දුලීකා... මම කිව්වේ මූට සෑහෙන්න අසාධ්‍යයි ආයෙමත් "

හිමාල් පහත හඬින් කියා අනුජගේ බඩට සෙමෙන් පහරක් ගැසුවේය. අනුජ ඔරවා සිටියා මිස කිසිවක් නොකීවේ, නිර්මලිට ඇසෙන නිසා බව හිමාල් දනී.

"බබා.... ලෑස්ති නම් එන්න යමු.. පරක්කු වෙනවා"

අනුජ පඩිපෙළ අසලට ගොස් නිර්මලිට කතාකළේය.

"දැක්කද.. මු වචන නමයක් කිව්වොත් අටක්ම බබා..."

හිමාල් දුලිකාගේ කනට කියා සිනාසෙද්දී අනුජ ඔහුට රවා සිටියේ දුලිකාගේ සිනාව පුපුරද්දීය.

"පව් හෙමා... පාඩුවේ ඉන්න දෙන්න එයාට.. කෝ ඉන්න මම බලන්න මේ ලමයව උඩට ගිහින්... මේ අපි ගියාට කමක් නැද්ද මන්ද"

දුලීකා පියගැට නගිමින් සිට අතරමගදී ඇසුවාය. අනුජ ඔරවාගෙන සිටී. අනුජගේ හැටි දන්නා දුලීකා එතනම නැවතී සිටියදී කහපාට කුඩා අත් ඇති ලිනන් ගවුමක් හැඳි පියකරු යුවතියක් පඩිපෙළ මුදුනේ සිටිනු දැක වහා සිනාවෙන් මුව සරසා ගත්තාය.

"ආනේ... නිර්මලී... මම දුලීකා , ඔයාව බලන්න මම මේ උඩට ආවේ"

නිර්මලී අපහසුවෙන් නගාගත් සිනාවකින් පඩි කිහිපයක් බැස එද්දී , රූමත් යොවුන් තරුණිය දුටු දුලීකා දෑතම පෑ ඈ පිළිගත්තේ දෑතින් අල්ලාගෙනය. 

බටර් පැහැ සමක් හිමි මේ අපුරු යුවතිය හැබැහින් දුටු දුලිකාගේ පපුව 'හෝස්' ගා ඇවිලී ගියේ සැනෙකින්ය. ඈ දුටු පින්තුරයට වඩා සජීවී ඈ දිලිසෙන රුවකින් හෙබි වූ අතර කහපාට චාම් ගවුමත්, මුදු මුදු කාලවර්ණ කෙස් කළඹත් නිසා වඩා බුහුටිව සිටියාය. වඩාත් කැපී පෙනුනේ ඇගේ නෙලුම් පොහොට්ටු මෙන් වූ විසල් නෙත් දෙකයි.

"ආ... අක්කා... මට..."

නිර්මලිට කියාගත හැකිවුයේ එපමණකි. දුලිකාගේ උණුසුම් අත්ල ඇගේ අත්ල මත පරෙස්සමින් සහ ස්ථිරව රැඳුනි.

"යමු නේද?"

අනුජගේ හඬ ඇසෙත්ම දුලීකා නිර්මලිගේ අතින් අල්ලාගෙන පියගැට පහලට බැස ආවේ සිනාසෙමිනි. වරක් නිර්මලී දුටු සැනින්ම අනුජගේ දෑස නළලේ රැඳී, හදවත ස්පන්ධනය නතර වූවාක් මෙන් දැනුනි. 

ඈ මෙතරම් ලස්සනද? ඊයේ විසිරුණු සිත ඔහුට නැවත එක්තැන් කරන්නට වෙහෙසෙන්නට විය. 

හිමාල්ට නැගුනේ කට කොනකට සිනාවක් පමණි. කහපාට ගවුම තරුණියට තරමක් ලොකු වුවද ඈ පෙනුනේ පුංචි සුරංගනාවියක් මෙනි.

හිමාල් උගුර පාදා , දෙතොල් මුව තුලට රුවාගෙන සිනාසුන අතර දුලීකා ඔහුට රවා නිර්මලී දෙසට හැරුණාය.

"නංගි යමු මගෙත් එක්ක පිටිපස්සේ සිට් එකේ... මේ දෙන්න ඕනේ එකක් කරගත්තාවේ.."

"ආ... හා.. හරි හරි.. අපි නෑ මුකුත් කියන්නේ.."

කහපාට ලිනන් කමිසයේ දිගු අත වැලමිට දක්වා නවා, නිල්පාට ඩෙනිමක් හැඳ සිටි අනුජ දෙසවත් නොබැලු නිර්මලී බිම බලාගෙන දුලීකා පසුපස වැටුනාය. තරමක් සිත රිදුනද, මොහොතින් එය අමතක කල අනුජ එය එතරම් ගණනකට ගත්තේ නැත.

අනතුරුව සිව් දෙනා අනුජගේ රේන්ජ් රෝවර් රථයට නැගුනේ, අනුජ රියදුරු අසුනටත්, මිතුරියන් දෙදෙනා පසුපස ආසනයටත් වශයෙන් බෙදෙමිනි. හිමාල් කියන්නට ගිය දේ ගිලගෙන ඉදිරි ආසනයේ හිඳගද්දී , අනුජ ඔහුට රවා සිටියේය.

"ඔච්චර ඔරවන්න එපා බන්, ඇහේ පොට යයි. කෝ මේ එතකොට අපි ගෙනියන ඒවා?"

"ඒවා ඔක්කොම උදේ යැව්වා වීරසිරි අතේ යැව්වා.. නැතිනම් වෙලාව මදිනේ.."

අනුජ වාහනය මාර්ගයට ගනිමින් පැවසුවේ ,පසුපස බලන කන්නාඩියෙන් එක වරක් නිර්මලී දෙස බලමිනි.  නිර්මලී සිටියේ පාරට යොමුවුනු දෑසිනි.

"අක්කා... අපි මේ කෙහෙද යන්නේ?"

දුලිකාගේ කනට කෙඳිරු නිර්මලා එකවරම කන්නාඩියෙන් ඈ දෙස බලන අනුජ දැක කම්මුල් රතුකරගත්තාය. 

'කුපාඩියා!'

"ආ... මේකා ඒකවත් කිව්වේ නැද්ද? අනේ අනේ... ඔහොම බැහැ දරුවෝ.... අපි මේ යන්නේ ළමා නිවාසයේ ක්‍රිස්මස් පාටි එකට.. අද අනුජගේ බර්ත්ඩේ එකත් හින්දා එයාලා ටිකක් ලොකුවට පාටි එක ගන්නවා කිව්වා.."

නිර්මලිට අමුත්තක් දැනුනි. අද ඔහුගේ උපන් දිනය බව ඈ දැන උන්නේ නැත. එය එතරම් වැදගත් නොවේ. ඔහු තමුන්ගේ සතුරාය!

"ළමා නිවාසේ කොහෙද අක්කා?"

දුලීකා සුන්දර සිනාවක් පා නිර්මලිගේ මුහුණ ඈ වෙත හරවා ගත්තාය.

"නංගි.... මේක මම මේ කියන්නේ මගේ මුළු හදවතින්මයි. ඔයාව නොදැක ඉඳල අහපු දේවල් ඔක්කොම කණපිට ගැහුවා ඔයාව අද දැක්ක ගමන්. ඔයා ඇත්තටම.. ලස්සන මලක් වගේ.. කහපාට රෝසමලක් වගේ... ඔයා මම ඔයාගේ අක්කා කියලා හිතන්නකෝ ඕනේ වෙලාවක.. හ්ම්ම්? 

අපි අද යන්නේ අනුජ ස්පොන්සර් කරන ළමා නිවාසෙට. එතැන ඉන්නේ පරිවාසෙන් ගෙනත් දාන ළමයි. ඒ ඔක්කොම අම්ම තාත්තා නැති අසරණ ළමයි.... ඒ බිල්ඩින් එක අනුජගේ තාත්තා තමයි ඩොනෙට් කලේ.. අනුජගේ අම්මා තමයි ඒ ළමයින්ගේ ගොඩක් දේවල් වලට ස්පොන්සර් කලේ ඒ කාලේ ඉඳල. දැන් අනුජ"

"අනුජගේ අම්මා? මොකද උනේ?"

දුලීකා නිර්මලිගේ හිස අතගා සැනසුවාය.

"ආන්ටි නැති වෙලා දැන් අවුරුද්දක් වෙනවා. අනුජලා ඔක්කොම හිටියේ ඉංග්ලන්ඩ්. ආන්ටිගේ අන්තිම කැමැත්ත තිබ්බේ ලංකාවේ එයා බෞස්තීම කරපු චර්ච් එකේ බොඩි එක තියන්න. ඒ හින්දා ඔක්කොම උනේ මෙහෙ. ඒ ෆියුනරල් ආපු ගමන් අනුජ ආයෙත් ගියේ නැහැ."

නිර්මලී තරමක් නොසන්සුන් වුවාය. 

".. නංගි... ඔයා ඇත්තටම දන්නේ නැහැ නේද ඔයා මෙහෙ ආවේ කොහොමද කියල.'?"

නිර්මලී හිස දෙපසට වවුනේ නැහැ කියන්නට මෙනි.

".... ටිකක් ඉන්න පැටියෝ.. අද ඔයාට ඒක දැනගන්න ලැබෙයි.. අනුජට කොච්චර කිව්වත් මේ ගමන එයා කැමති උනේ නැහැ ඔයාව එක්කගෙන එන්නත්, නමුත් හිමාල් මමයි දෙන්නම බලෙන් කියෝලා තමයි ඔයාව ගෙනියන්නේ.. ඒ හින්දා ටිකක් ඉවසීමෙන් ඉන්නකෝ, ගොඩක් දේවල් ඔයාට ඇහෙයි.. පෙනෙයි... පැනික් නොවී ඉන්න"



-------------------------------------------- මතු සම්බන්ධයි -------------------------------------------------

13 comments:

  1. ඊළඟ කොටස කරුණාකර හෙටම දමන්න! මම "මොරිස්ට" වඩා භයානක මිනිහෙක්!

    ReplyDelete
    Replies
    1. හප්පටසිරි... පපුවත් නතර උනානේ.....

      තරහ අවසර.. හෙටනම් වෙලාව මදිනේ... ඩිංගිත්තක් ඉවසන්නකෝ ඉතින්...
      කවුද කිව්වේ මොරිස් භයානක මිනිහෙක් කියල?

      Delete
    2. ඇයි එහෙම නැද්ද? ඔයා අපිව නොමග යවනවානේ!? එන සතිය වෙනකොට අර දිලීපයා සිල් ගත්තා කියල නම් ලියන්නෙපා ඔන්න! කටුස්සා ලස්සන පෝස්ට් එකක් දාලා! ඒ පැත්තෙත් ගිහින් එන්න. අපිට දැන් ඕනෙ පෝස්ට් වැස්සකුයි කමෙන්ට් කුණාටුවකුයි !

      Delete
  2. යෝ ගායිස් අයිම් සින්ග් අ සෝන්ග්..

    මේ සමහර තැං වල වාක්කිය පැටලිල තියෙයි. තැන් දෙකක් තුනක් ක්ලික් වුණා. (ඒ විදිහට තිබ්බ ද මංද) ඒත් ඒ වාක්කි වල තේරුමක් නෑ ද මංද..
    බයිද වේ.. මරු.. මිස්ටර් තට්ස් කිව්ව වගේ ඉක්මණට ඕන.. ජයි හෝ

    ReplyDelete
    Replies
    1. Proof read නොකරපු එකේ වරද. මොරිස් වගේ සැර කට්ටියට බයෙන් ලියල ඉක්මනට දැම්මේ.. මිට පස්සේ බලන්නම්කෝ.. ස්තුතියි ඈ

      Delete
  3. මේ.... ඉක්මනට දාන්න ඊළඟ කොටස, දැන් නම් කුතුහලය උපරිමයි..... mustard කහ පාට ගවුමක් ඇඳපු බටර් පාට ගෑණු ළමයෙක් මැවිලත් පෙනුනා....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ආවට, කියවලා කමෙන්ට් කලාට..

      හි හි දාන්නම්කො

      Delete
  4. කෝ මේ දිලීපයා...ඒකගෙ බෙල්ල මිරිකන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. එන සතියේ එනවා කිව්වනේ.. ආවම අල්ලගන්න

      Delete
  5. ඇති යන්තම් ඔයින් ගියා. අහුවෙන්න තිබුනේ දිලීපයා අනුජට. මේ...අනුජ ඔය කියන තරම් නාක එක්කෙනෙක් නෙවෙයි නේද? ඉක්මනට ඊළඟ කොටස දාන්න හොඳේ.

    ReplyDelete
    Replies
    1. අහුවෙන්න තිබ්බ තමයි... බලමුකෝ අනුජ කොතරම් සුදු චරිතයක්ද කියල

      Delete
  6. අඩ්ඩෙහ්! ලිකියා ලියලා... අරේ...! (නටන ගමං).

    අද දවස ඇතුළත මේක කියවනව මුල ඉඳං...

    ReplyDelete
    Replies
    1. නටන්ඩකෝ එහෙනම් ඔතනට වෙලා.... ආයෙත් එන්ඩ කියවන්න එහෙනම්

      ඇයි වදේ මම කලින් කතාවක් ලියල අහවර කලත් එක්ක.. අනේ ඉතින් ඒකත් කියවන්න එහෙනම්

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...