Wednesday, October 6, 2021

270: උන්මාද චිත්‍රාදෝ මා 04

 



නිර්මලී ගේ පපුව ගැහෙන්නට වුයේ පැරණි දුම්රිය එන්ජිමක් මෙන් දුම් දමමිනි. ඈ සිය පපුවට අත තබා තරමක් හති ලෑවාය. අනතුරුව දොර තදින් වසා කාමරයේ අඳුරු මුල්ලකට පැන්නාය.

සවස පැමිණි තරුණියගේ දුරකථනය අනුජ තබා තිබුනේ ඔවුන් බෙහෙත් දමන්නට හිඳගත් පුටුව මත අමතකව මෙනි. හිමාල්  සහ අනුජ පිටවීමෙන් පසුව එය දුටු නිර්මලී වහා දුරකථනය ගෙන සිය කාමරයට පැන්නාය.

කුතුහලය විසින් කළඹවන ලද නිර්මලිගේ සිත අනුජගෙන් පලායාමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයමින් සිටියේ පිපාසයට සොයන ජලය පොදක් මෙනි. යම් හෙයකින් තමන්ගේ පලායාමේ සැලැස්ම කඩාකප්පල් උවහොත්, ඒ සඳහා සුදානම් වීමට නිර්මලී සිතාගෙන සිටියාය. ඒ සමඟම , මේ ගුප්ත මිනිසාගේ අරමුණ කුමක්දැයි ඈ තුල හටගෙන තිබුණු නොනිමි කුතුහලය සන්දිඳුවීම පහසු නොවිය.

දෙවරක් පමණ උත්සහ කොට 123456 ලෙස එබූ සැනින් එහි අගුල ඉවත් විය. ඉවකින් මෙන් වහාම පින්තුර ගැලරියට ගිය සැනින් නිර්මලීගේ දෑස නිලංකාර ව ගියේය.

එහි තිබුනේ පැමිණි තරුණිය තවත් පිරිමින් සිටින පින්තුර ටිකකි. ඒ සියල්ලෝම බලන්නට අප්‍රසන්න වැඩිමහල් පිරිමින්ය. නිර්මලිගේ දෑත වෙව්ලා කලබලයට දුරකථනය වරක් ඈ අතින් ගිලිහුනද , වහා එය යලි අහුලා ගත්තේ වෙව්ලන දෑතිනි. 

මේ තරුණිය කවුරුන්ද? නොයෙකුත් මිනිසුන් බදාගෙන සිටින මේ පින්තුර රැගෙන ඈ මෙහි පැමිණියේ ඇයි ? සංවාදයේදී මොරිස් අයියා ලෙස ඈට යන්තමට ඇසුනි. කොල්ලුපිටිය පොලිසියේ තිවංක සිල්වා යන නමත් ඈට ඇසුනි.

මෙහි ඇත්තේ කුමක් හෝ අසික්කිත අපරාධයක්ද? 

'... ඔහොම දවස් දෙක තුනක් උන්නාවේ.. මගේ ප්ලෑන් එක මම උඹට කිව්වේ.. ඒ ඔක්කොම මම ලැස්ති කරලා තියෙන්නේ...'

අනුජගේ වචන සිහිවී නිර්මලීගේ ගතේ හිරිගඩු පිපී ගියේය. 

'මේ කියන්නේ මම ගැන නොවේද?'

මේ තරුණියගේ මෙම පින්තුර වලට සෘජුවම හෝ වක්‍රව අනුජගේ සම්බන්ධයක් තිබේ. තවත් මොහොතක්වත් මේ නිවසේ ඉන්නට ඈට සිත හදාගත නොහැක. ඈ කාමරයේ ඒ මේ අත යමින් කල්පනා කලේ, දිලීප එනතුරු මේ අනතුරෙන් බේරී ඉන්නේ කෙලෙසද කියාය.  

පිටතින් පෙනෙනවාට වඩා විකෘති ගතිගුණ ඇති මේ මිනිසා ගැන භීතිය, පිළිකුල සහ වෛරය නිර්මලී වසා සරමින් සිටියදී එකවරම දොරට තට්ටුවක් නැගුණි.

වහාම දුරකථනය කොට්ටය යටට දැමු ඈ ගැහෙන හදින් යුතුව නැගිට දොර අසලට ආවාය.

"ක... කවුද?"

"බබා .. දොර අරින්න ටිකක්.. "

".............."

"ඇයි උඩට ආවේ..? කකුල අමාරුද?"

නිර්මලිට පිළිතුරක් පැමිණියේ නැත. උගුර වේලි ගොසිනි. ඈ අඩියෙන් අඩිය පසුපසට යන ගමන් කාමරය මධ්‍යයේ නතර වුවාය.

".. කෝ මේ දොර අරින්න... "

අනුජ වෙනදා නම් දොරට තට්ටු කරන්නට එවන්නේ පොඩිනා නිසාත් මොහොතකට  අනුජගේ පිළිකුල්සහගත රහසක් අනාවරණය වූ නිසාත් නිර්මලී දොර විවර කරන්නට නොහැකිව වෙව්ලා සිටියාය. ඇගේ ඉදිරියේ මැවී පෙනුනේ අනුජගේ දෙපා අල්ලා හැඬු තරුණියයි. ඈ කියුවේ කුමක්දැයි නිර්මලිට ඇසුනේ නැතිවද, අනුජට වැඳ වැටෙන්නට තරම් කුමක් සිදුවීද?

අනුජ යනු ඒ තරුණිය එලෙස පින්තුරයට නැගූ කෙනාද? නැතිනම් ඈ අයුතුලෙස ප්‍රයෝජනයට ගත්තාද? නිර්මලීගේ සිත උමතුවෙන් මෙන් ප්‍රශ්න කරමිනි.

".. බබා.... ? නිර්මලී...."

අනුජගේ හඬ සලිතව ගියේය. තවත් නොසිතා අනුජ දොර හැරගෙන කාමරයට පිවිසියේය. කාමරය මැද සා පැටියෙකු මෙන් වෙව්ලමින් උන් නිර්මලී දුටුවනම අනුජ තරමක් තිගැස්සුණි.

".. ඇයි ? ඔයාට අමාරුද? කෝ තාම ලේ ගලනවද?"

". එපා.,, අල්.. ලන්න...."

කකුල දෙසට පහත්වන්නට ගිය අනුජ දැක නිර්මලී කෑගැසුවද උගුර සිරවී වචන පැටලුණි.  අනුජට සරදම් සිනාවක් නැගුණි. හිමාල් මෙතෙක් වෙලාවක් තිස්සේ කියපු කතන්දර අසා සිටියාක් මෙන්, තරුණිය එලෙස කිව්වාය.

"හා.. හරි... බයවෙන්න එපා.. පොඩිනට කියල හෙට උදේ බෙහෙත් දාගන්නකෝ... දැන් යමු"

නිර්මලිගේ දෙපා අවසඟව ගියාක් මෙන් දැනේ. මේ කොහි යන්නද?

"... හෙට ක්‍රිස්මස්.... දන්නවද? තව ටිකකින් ක්‍රිස්මස් ට්‍රී එක ගෙනෙයි. ඔයාට පුළුවන් සරසන්න. මම මේ බය උනේ අමාරු ඇති කියල..."

නිර්මලී පිළිතුරක් දුන්නේ නැත.

ඈ මෙලෙස ස්ටින්නේ බිඳුණු විසිතුරු භාණ්ඩය නිසා සිතු අනුජ ඈ වෙතින් බැල්ම ඉවත්කොට ආපසු හැරුනේය. 

"... යමු කන්න එහෙනම්... අර ඇවිත් ඉන්නේ මගේ හොඳම යාළුවා... හිමාල්.... එන්නකෝ මම ඔයාට අඳුන්වල දෙන්න"

දැන් ඉතින් කුමක් වුවද ඉවසිය යුත්තේ හෙට දවස වනතුරු පැය විසි හතරක් පමණකි. නිර්මලී සිත හදාගෙන , බිය මදකට නොපෙන්වා හිස් සැලුවාය. අනුජට සැකයක් නොසිතෙන පරිද්දෙන් සිටීමෙන් සැලසුම සාර්ථක කරගන්නට හැකිවනු ඇත. එයින් පසුව මේ සියලු දෙයින් තමන් නිදහස් වනු ඇත.

කෑම මේසයට යනවිට හිමාල් දුරකථන සංවාදයකට මැදිව සින්ක් එක අසල පිටුපාගෙන උන්නේය. නිර්මලී වටපිට බැලුවේ අනුජ නොදුටු නිසාය. මද වෙලාවකින් අනුජ ඉදිරි දොර අසලින් පැමිණියේ ඔහු පසුපසින් මිනිසුන් දෙදෙනෙක් විසින් ඔසවාගෙන එන ලොකු නත්තල් ගසක්ද සමඟිනි.

"... ඔතන තියන්න... හරි... ගොඩක් ස්තුතියි"

ඒ දෙදෙනා විසින් ගෙන ආ  ගස, සාලයේ ඉඩ තිබුණු තැනකට වන්නට තබන්නට උපදෙස් දුන් අනුජ, ඔවුන්ට කියා එය නිවැරදි ලෙස සවිවී ඇතිදැයි පරික්ෂා කළේය.  විසිතුරු දැක නිර්මලී කට බලියාගෙන බලා සිටියාය.

පිටවන්නට පෙර , පසුම්බියෙන් ඔවුන්ට සන්තෝසම් මුදලක් ලබාදුන් අනුජ ඔවුන් ගෙනා පෙට්ටි අසල සිට සිනාසී නිර්මලී දෙස බැලුවේ කුඩා කොල්ලෙකු පරිද්දෙනි.

"... බබා ඔයා ඩෙකරේට් කරනවා නේද? ඔක්කොම ටික මේ පෙට්ටිවල තියෙන්නේ.. මම කියන්නම් දාසට උදව් කරන්න කියල.. උඩ නගින ඒවා ඔක්කොම මිනිහා කරයි"

එම වචන ඇසි, මෙතෙක් වෙලාවක් සිටි ඇමතුම විසන්ධි කොට ඔහු දෙස බැලු හිමාල් අතින් කල ඉඟිය නිර්මලී දුටුවේ නැත. අනුජට තරු පෙනුනද, වාසනාවට නිර්මලී සිටියේ අනුජට පිටුපාගෙනය.

'මූ මාව කනවා ඉතින්.... මේ  පුංචි එකී බය කරනවා ගොන් වස්සා'

පැයකට ආසන්න වෙලාවක් කරනලද සාකච්ජාවෙන් පසුව , සවස සිද්ධිය හා බැඳුනු ආතතිය පමණකට සමනයවී ගොස් තිබුණු අතර , දෙමිතුරෝ යම් සැලැස්මකට ඒ වනවිටත් එකඟව තිබුණු නිසා අනුජ තරමක් සහනයකට පත්ව තිබිණ. 

උද්ගතව තිබෙන තත්වය යටතේ, තමන්ට කුමන  කරදරයක්,අවලාදයක් පැමිණියද, නිර්මලී ඒ සියල්ලෙන් ඈත්කොට තබන්නට ඔහුගේ සිත වදවෙයි. මේ කරදරය අග කොටසක් සමඟ නිර්මලී පැටලෙනු ඇති බවට වන භීතිය ඔහුගේ සිතේ තදින් හොල්මන් කරන්නට වූ කාරණයකි.

මේ අතර, වෙනදාට වඩා අනුජ තමන්ට 'බබා' යයි කීම නිර්මලී ට ඇතිකළේ ලැජ්ජාවකි. තමුසේ, ඕයි , නිමා කෙල්ල හෝ නිමා ලෙස මිස දිලීප කෙදිනකවත් ඇයට බබා කියා නැත. මෙය විකාරයකි! ඒ අපහසුතාවයත්, තරමක නොසන්සුන්කමත් නිසා ඇගේ කොපුල් ලේ පුරා රෝස පැහැ ගෙන තිබිණ. 

හිමාල් කෑම මේසයට පැමිණ හිඳගත්තේ පසෙක තිබුණු භාජනයෙන් ඇපල් කැබැල්ලක් මුවට රුවාගනිමිනි.

"මචන් මම යන්නද, දුලීකා එහෙ මහගෙදර කෑමට ගිහින් , මට එහෙන් කන්න පුළුවන්"

"අනේ මෙහ්.. පිස්සු නැතුව හිටපන්... කියපන්කො ආන්ටිට මෙහෙ ඉන්නේ කියල"

අනුජ ඉක්මනින් පැමිණ නිර්මලී පසුකොට කෑම මේසයට ගියේය. ඔහුගේ වේගයට ඔහු වෙතින් හැමූ විලවුන් සුවඳ ඈට හොදින් දැනුනි. ඇයට ඒ මොහොතේ ක්ෂණයෙන් සිහිවුයේ විදුරු කැබලි ඉවත් කරමින් ඇගේ පාදයට බෙහෙත් දමද්දී ඈට එය කොතරම් ළඟින් දැනුනාද කියාය.

".. එන්න කමු"

අනුජගේ වචන වලට පියවි සිහියට ආ නිර්මලිට , ඔහු විසින් ඇද දුන් කෑම මේස පුටුවට බාරවන්නට සිදුවිය.

"... ආ... නිර්මලිට හම්බෙලා නෑනේ හිමාල්... මේ ඉන්නේ මගේ හොඳම යාලුවා හිමාල් මොල්ලිගොඩ. මගේ පහේ පන්තියේ ඉඳල යාලුවා.. හිමාල්, මේ නිර්මලී.. හ්ම්ම්...."

අනුජ ඉතිරිය කියන්නට ගොස් ගිලගත්තේය. පැහැපත් ඔහුගේ කන්දෙක රත් පැහැ වී ඇති බව දුටු හිමාල් ඇතුලතින් සිනාසුනද, තරුණිය වෙත සුහද බැල්මක් හෙලා හිස සැලුවේය. මරණයට කැපවුණු මුවෙක් මෙන් ඇගේ ඇස්වල ඇති  නුහුර සහ තැතිගැන්ම හිමාල්ට දුටු බැවින් අනුජට කවටකමක් කරන්නට නොහැකිව ඔහු ලතවුනේය.

'ඉන්දපන්කෝ මම උඹට කියන්න'

"හලෝ නංගි... දැක්කේ අදනේ. දැන් සතියක් විතර නේද ඇවිල්ල?"

ආහාර වැසුන දැල මදක් ඉවත් කරමින් හිමාල් ඇසු පැනයට ඔව් කියන්නට මෙන් නිර්මලී බිම බලාගෙන හිස ඉහල පහල වැනුවාය. මේසයට යටින් අනුජ හිමාගේ කකුලට ඇන්නේය. හිමාල් එය ගණනකට නොගත්තේය.

".... මූ මගේ අතිජාත මිත්‍රයා. මම මුගේ රහස් ඔක්කොම මම දන්නවා නංගි.. ඔයාට ඕනේ දෙයක් මම කියන්නම් අහන්න... "

අනුජ අන්දමන්දව ගියද  වෙනසක් නොපෙන්වා ඉන්නට සමත්විය. නිර්මලී එකවරම හිස ඔසවා හිමාල් දෙස බැලුවේ එවිටමය.

"පිස්සු මූට ! ඔයා මුගේ ලනු කන්නේ නැතුව ඉන්න බබා.."

'බබා? අඩේ මූ කෙල්ලට වචන තුනෙන් තුනට බබා කියනවත් එක්ක... මුව බයිට් නොකර කොහොමද?'

හිමාල් සිනාසුනේ දඟකාර කමින්මය. නිර්මලිගේ බැල්මෙන්ම ඈ කෙතරම් අනුජට බියදැයි වැටහුණු හිමාල්ට අනුජ ගැන සියුම් සතුටකුත්, මේ රුවැති කුඩා යුවතිය ගැන සහෝදර අනුකම්පාවකුත් ඇතිවිය.

'මොන තරම් පව්ද ? මහපොලව උහුලන්නේ නැති දෙයක්නේ වෙන්න ගියේ'

ඔහු එලෙස සිතා , නමුත් ඊට හාත්පස වෙනස් පෙනුමකින් අනුජ දෙස බලා ඇසක් මරා ඉඟි කළේය.

"මම ඉතින් වැරද්දක් කිව්වද ඒපාර ? ඒක මේ ළමයට කියලා තියපන් අනුජ... නැතිනම් මේ කෙල්ල කිසි දෙයක් දන්නේ නෑනේ... විහිලුවට උනත් මම කිව්වේ ඇත්ත.. "

හිමාල් කියූ දේ ඇති අරුත නිර්මලිට ඒ මොහොතේ වැටහුනේ නැත. එසේ නොකිරීමේ විපාක අනුජට විඳින්නට සිදුවන බව ඔහුද ඒ මොහොතේ දැන සිටියේද නැත. නිර්මලි දෙස බලා සිටි අනුජ ඇගේ කොපුල් ක්‍රමයෙන් රෝස පැහැ ගැන්වෙනු හොඳින් නිරීක්ෂණය විය. හිමාල් නිර්මලිගේ පිඟානට ඉඳිආප්ප කිහිපයක් බෙදා අනුජ වෙත එය දිගුකළේය.

"... මූට ටිකක් මෙහෙම හිටියට පිස්සු.. "

අනුජ ඔහු දෙස හෙලූ එරවිල්ලට නිර්මලිට සිනා ගියේය.

"... අදනේ මමත් ඔයාව දකින්නේ. මම කිව්වා මේ ගේ අස්සට වෙලා ඉඳල නංගිට ඇතිවෙලා ඇති කියල. නංගි.. මම ඉන්නේ මේ ලේන් දෙකක් එහාපැත්තෙ... දුරත් නෙවෙයි... "

ඔහු කතාකරන විලාශයට නිර්මලී ඔහු දෙසම බලා සිටියේය. මුහුණ පුරා රැවුල වවාගෙන උන් , තලෙළු පැහැ හිමාල් පෙනුමෙන් මරුමුස් වුවද කතාවෙන් නිර්මලිගේ සිත ගත්තේ ඒ මොහොතේය.

"...අනුජ, උඹ එක්කගෙන වරෙන් අනිද්දා හවස අපේ ගෙදර.. දුලීකා බලාගෙන ඉන්නේ මේ නිර්මලී කවුද බලන්න."

අනුජට දත්කුරු සැපුනි, නිර්මලී බලා සිටින්නේ මේ රිලවා දෙසය. ඊටත් දින කීපයකට පෙර නිර්මලී  සමඟ කිසි ගමනක් නොයන ලෙස කියා, දැන් මේ කරන්නේ තමන්ව අපහසුතාවයකට පත්කිරීම නොවේද? අනුජ හොදි බෙදු වේගයට හිමාල්ගේ කමිසයටද විසිවී ගියේය. හිමාල්ට සිනාවක් නැගුණි.

".. .අනික... මූට අසූහාරදාහට මල පනිනවා... නංගි බයවෙන්න එපා ඒවාට හොඳද.. සැර කලොත් අනික්පැත්තට කියලා දාන්න... බයවෙන්න එහෙම එපා හරිද?"

නිර්මලිට සිනාවක් නැවත ඉපදිණි. 

"මහගෙදරින්ම කාපන්, නැතිනම් මම උඹේ කටේ ඔබනවා ඉඳි ආප්ප ඔක්කොම "

අනුජට සැබෑවටම කෝපයක් නැති බව දැන උන්නේ හිමාල් පමණි. නිර්මලී බිය වූ බව දුටු නිර්මාල් සරදම් සිනාවකින් මුව සරසාගත්තේය.

"මූට තරහ ගිහිල්ල නැහැ. මූ රඟපානවා.. ඒ ඉස්කෝලේ නාට්‍ය වල හොඳම නළුවා මූ තමයි... නංගි  දන්නවද... හොඳම නිළිය..."

"පව් නොදී පලයන්.. උඹට මෙහෙ කන්ඩ නෑ මීට පස්සේ"

නිර්මලිට මේ රණ්ඩුව මහත් විනෝදයක්ව දැනුනි.

"මොන නිළියද ?"

"ආ.. ඒ නිළිය මුගේ පස්සෙන් ඇවිත්, අන්තිමට ප්‍රින්සිපල් ගාවින් තමයි කෙලවර උනෙත්.. ඉන්නකෝ මම පස්සේ  විස්තරේ කියන්න.. අර ලේඩිස් කොලේජ් එකේ....."

අනුජගේ දෑසින් ගිනි පිටවනවාක් මෙන් දුටු හිමාල් සරදමට සිනාසී අනුජගේ උරහිසට තට්ටුවක් දැම්මේය. නිර්මලී 'හිකි හිකි' ගගා සිනාසුණාය. ඇගේ ඒ සීනු හිනාවට හිමාල් පවා වශිව ගියාක් මෙනි.

"කාලා ඉක්මනට පලයන්... නිර්මලිට කකුලත් අමාරු ඇති..."

ඇගෙන් ලැබුණු සිනාවට කෝපය හිලව් වුවද, හිමාල් මෙතරම්ම ඔහු හා සරදම් කරනවාට අනුජගේ කැමැත්තක් නැත. ඊටත් මේ රිලවා දෙස කෙල්ල බලා සිටීම ඔහුගේ නොසතුටට හේතුවක්ව තිබිණ.

වෙනත් නොයෙකුත් කතා අතර සරමින් රාත්‍රී ආහාරය ඉක්මනින් නිමකළ තිදෙනා අයිස්ක්‍රීම් කමින් සිටියදී ලෝරා කොහේ හෝ සිට පැමිණ අනුජ අසලින් , මදක් ඈතට වී තොලකට ලෙවකමින් සිටියාය.

"... ආවද? දැන් තරහ ඉවරද? මම බැන්නා කියල තරහවෙලා ගියා.. අයිස්ක්‍රීම් නම් දෙන්නේ නැහැ ඒ උනාට"

අනුජ එසේ කියද්දී ලෝරා අමුතු ලෙස ඔහු දෙස බැලුවාය. නිර්මලී  බයකළ නිසා අනුජ ඈට  බැන්නා කියා සිත රිදී ලෝරා අමනාපව  ආහාරය වර්ජනය කොට සිටියාය. මේ පැමිණ සිටින්නේ අයිස්ක්‍රීම් සුවඳ දැනිමෙනි. 

නිර්මලිට ලෝරා අතගාන්නට ඇතිවූ ආශාව මැඩගත්තේ , තවමත් ලෝරා ඇයට දුටුතැන ගොරවන නිසාය.

අනුජ ලෝරාව සිය ඔඩොක්කුවට ගෙන ඇගේ හිස අතගාද්දී, ඈ අනුජගේ උණුසුමට තුරුළු වුවාය. 

-------------------------------------------------

රාත්‍රිය නිර්මලී අවදියෙන් තැබුවේ හෙටදින සිදුකරන්නට යන වික්‍රමය නිසාය. පසුගිය දින ටිකේම රාත්‍රියේ අනුජ ඇගේ කාමරයේ සක්මන් නොකළේය. එබැවින් නිර්මලී පසුදා යන්නට කියා ඇගේ බඩු සුදානම් කරන්නට සිතුවාය. 

පොත්, පැන්සල් කිසිවක් ගෙනයා නොහැකිය. ඇඳුම්? ඒ සියල්ල අනුජ විසින් මිලටගෙන දුන් ඒවාය. එබැවින් ඒවාද රැගෙන යාමට නොහැකිය. නිර්මලිට සුසුමක් හෙළුනි. ඇය මෙහි පැමිණියේ ඉටිබෑගයක තිබුණු ඇඳුම් කඩමාලු කිහිපයක් සමඟ පමණි. එබැවින් යා යුත්තේද එලෙසටමය.

නිදි වර්ජිත රාත්‍රිය  පුරාම නිර්මලී  සිහින කිහිපයක්ම දුටුවේ අතරින් පතර ඇහැරෙමිනි. දිලීප පැමිණ ඈ රැගෙන යන්නට සදද්දී, එකවරම ආ අනුජ වරෙක දිලිපට වෙඩි තබනු දැක නිර්මලී බියවී අවදි වුවාය. වරෙක දිලීප හා බොහෝ දුර ගිය විටදී කුමක් හෝ වාහනයකින් පැමිණ හප්පනු දුටුවාය. 

නින්දක් හරිහැටි නොමැතිව පාන්දර දෙකට පමණ අවදිව සිටි නිර්මලිගේ කොට්ටය යටින් ඇසුනේ කුමක් හෝ සංගීත නාදයකි. එය අර තරුණියගේ දුරකතනයේ නාද රටාවයි. කලබලව ගිය නිර්මලී අතින් ඇමතුම ඉබේම සම්බන්ධ වුනි. එයින් ඇසුනේ ගොරහැඩි පිරිමි හඬකි. නිර්මලී  කනෙහි තබා ගත්තේ හුස්ම ඉහලට අල්ලමිනි.

".. කෙල්ලේ.. මම කියන එක ඇහෙනවද.... කෙල්ලේ.... උඹ කොහෙද  ඉන්නේ?... ඇයි උඹ මම ගහපු කෝල් වලට උත්තර දුන්නේ නැත්තේ? 

මම දන්නවා උඹව අර මහලොකු සල්ලිකාරයා බේගල් කියලා නවත්තගෙන ඇති.... උඹ දන්නවනේ කෙල්ල.. උඹට මම කොච්චර උදව් කරලා තියෙනවද . කියල.... උඹලෑ අම්මා කන්න නැතුව ඉන්නකොට මම නේ බන් උඹලට කන්න අඳින්න විදියක්වත් හොයල දුන්නේ... දැන් බලපන් උඹ ඒ දවසින් හොයපුවා ඔක්කොම දමලා ගහලා ආවට, අම්මල කන්නේ කොහොමද කියල... "

නිර්මලී හුස්ම ඉහලට අල්ලාගෙන උන්නා මිස කිසිවක් පැවසුවේ නැත.

"... කලිසම් ඇන්දට උන් ඔක්කොම එකයි කෙල්ලේ... දැන් බලපන් උඹව ඔය මහලොකු මහත්තය නේද කෝල් ගහලා මට කියල  &% ගන්න ගෙන්නගත්තේ? ඔන්න බොරුද? 

ඔක්කොම ටෙලිෆෝන් කෝල් දැන් පොලිසියට අහුවෙලා තියෙන්නේ බං! මම එව්ව පින්තුර එකක්වත් බොරු නෙවෙයිනේ බන්... උඹ පොලිසියට කියපන් කෝල් ගැහුවා කියල ඔය සංදිරිගමයා......

අනිත් එක , උඹ මෙච්චර උඹට උදව් කරපු මට ඔහොම කරන එක හරි නෑනේ... උඹ එවපන්කෝ හොඳ එකී වගේ ඔය සංදිරිගමයා උඹව &*න්න ගෙනිච්ච වෙලාවේ ගත්ත පින්තුරත්.. බලපන් උඹ ඔක්කොම එව්වා, මේක විතරනේ එව්වේ නැත්තේ.... මොකද දන්නවද, දැන් ඒ සංදිරිගමයා උඹට වඩා හැඩ කෙල්ලෙක් ඉස්සුවා මේ ලඟදි... හෙහ් හෙහ්... ඒකත් මම තමයි සෙට් කලේ....

උඹ ඒක එව්වේ නැතිනම් මම ඒ අලුත් කෑල්ල ගැන පොලිසියට කියනවා. බලපන්, මේවා හින්ද උඹගේ ගෙදරට මට සල්ලි ඩිංගක් වත් යවන්ඩ විදියකුත් නෑනේ..."

නිර්මලී අත තදින් මුවට තදකොට ගත්තේ හඬක් නොනැගෙන සේය. කන්දෙක අගුල් වැටෙන්නාක් මෙනි.

".. කෙල්ලේ... උඹ අහගෙනද?"

නිර්මලී වහා ඇමතුම විසන්ධි කළාය. හිස මතට දැවැන්ත හෙනයක් පහත්වුවා සේ නිර්මලී අකර්මන්‍යව ඇඳමත අවසිහියෙන් ඇලවුනු අතර, දුරකතනයේ ඇසුණු කටහඬ මොරිස් යන මිනිසාගේ බව ඈ අනුමාන කළාය.

මේ කියන තොරතුරු අනුව,අනුජ එම තරුණිය මොරිස්ගෙන් මිලටගෙන ඇත්තේ ගණිකාවක් වශයෙනි. පෙර දිනයේ සිදුවූ සහ ඇසුණු දේවල් සමඟ මෙය වහා ගැලපි ගියේ , මොරිස්  තරුණියන් අනුජට සපයන තැරව් කරුවෙකු බව නිර්මලිගේ සිතට වැටහීමෙනි. අනුජගේ අලුත්ම ගොදුර තමන්ය!

මේ ඉගැනුම් සහ පහසුකම් සියල්ලම මුලාවකි. ඔහු මේ  ප්‍රථම තමන්ට කන්නට බොන්නට දී මෙහි සිරකොට ලන්නට සාදන මලපුඩුවකි! නැතිනම් කිසිවකුත් නැති මෙවන් සුවිසල් ගෙදරක, අනුජ වැනි අයෙකු කුමක් කරනවාද?

දිලිපට කතාකොට එන්නට කියන්නට හැකිවීම ගැන නිර්මලී දහස් වරක් සතුටු වුවාය.

ඇගේ ඇසෙන් වැටුණු කඳුළු කොට්ටයේ උරය තෙත්කොට ගියේ මහා බරක් සහ භීතියක් පැල්ලම් ලෙස ඇති කරමිනි. අද දින රාත්‍රී 10න් පසුව මෙයින් පැන යා යුතුය. නිර්මලී දෙවියන්ට කන්නලව් කලේ තමන්ට මෙයින් ගැලවීමට ඉඳිකටු තුඩක හෝ අවස්තාවක් ලබාදෙන ලෙසයි.

නිදි වර්ජිතව ගෙවූ රාත්‍රියෙන් පසුව , උදෑසන නිදිබරිත දෑසින් පහල මාලයට පැමිණි නිර්මලී කෙලින්ම කුස්සියට යද්දී පොඩිනා උදෑසන ආහාරය සාදමින් උන්නාය.

"ආ... අද පුංචි නෝනා උදෙන්ම ඇහැරලා නේ.. මම තේ හදන්නද?"

"එපා පොඩිනා... මට ටිකක් හිසරදේ... බෙහෙත් මොනවත් නැතිද?"

පොඩිනා සැලකිල්ලෙන් නිර්මලී දෙස බලා, ඈ වෙත මුහුණ රඳවුවාය. 

"මුණත් තඩිස්සි වෙලා... කකුල අමාරුද බලන්න කියලා යන්න කලින් මට මහත්තය පාන්දරම කිව්වා. "

නිර්මලී කිසිවක් නොකීවාය. එසේනම් අනුජ නිවසේ නැත. අද දින නත්තල් නිසා ඔහුට සාද ආරාධනා ලැබුණු බව දෙතුන් වරක් පොඩිනා කියූ බව සිහිවී සිත තුලින් නිර්මලී ඉක්මන් සැලැස්මක් සැදුවාය.

වේදනානාශක පෙති දෙකක් ඉල්ලාගත් ඈ උදෑසන ආහාරයද නොගෙනම ආපසු කාමරයට පැමිණ , දුරකතනය සඟවා තිබුණු තැනින් පිටතට ගත්තාය.

පළමු ඇමතුම දිලිපටය. එය සෑහෙන වෙලාවක් නාදවීමෙන් පසුව විසන්ධිව ගියේය. නිර්මලී සිංහල අදහස එන්නට ඉංග්‍රීසි අකුරෙන් ලියා යැවු පණිවිඩයේ ඉක්මනින් කතාකරන්නට යයි ලියා තිබිණ.

පණිවිඩය ලැබුණු අනෙක්පස, දිලීප සිටියේ තදබල නින්දක නිසා ඈට ඒ මොහොතේ පිළිතුරු ලැබුනේ නැත.

ඉන් අනතුරුව නිර්මලී වහාම ඇගේ පාඩම් කාමරය වෙත ගියේ පොඩිනා මගහැරය.

එහි තිබුණු අනුජගේ කාර්යාල මේසය පුරාම නිර්මලී ඒ මේ අත පෙරලමින්, සාක්ෂි යමක් සෙව්වේ , මේ කරනලද සහ කරන්නට යන අපරාධයට අනුජට විරුද්ධව යමක් කිරීමට වඩා, හදිසියෙවත් ඔහුගේ අතට හසුවුවහොත් ඔවුනට ගැලවී යන්නට අවැසි යම් ප්‍රභල ආයුධයක් ලබාගනු රිසියෙනි.

මිල අධික ඇඳුම් අඳිමින් , ලොවට පෙනෙන්නට මහත්මා පෙනුමෙන් සිටින මෙවන් තිරිසන් මිනිසෙකු ගැන නිර්මලීට සිතාගත නොහැකිය. ඔහුගේ කුරුමාණම වඩාත් පහසු ගොදුරක් වන්නට ඇත. ඈ විවාහ කරගන්නා ලෙසින් ඒම පළමු මුලාවයි. දෙවැන්න මේ අධ්‍යාපන මුලාවයි.

තමන් වැටුණු විපත ගැන සිතමින්, විස්සෝපයෙන් සිටි නිර්මලිට විවරව තිබුණු කිසිදු ලාච්චුවකින් වැදගත් යයි සිතියහැකි කිසිවක් ලැබුනේ නැත. ඒ වෙනුවට අනුජ මිට කලකට පෙර , පවුලේ අය හා ගන්නා ලද යයි සිතිය හැකි පවුලේ ජායාරුප දෙකක් සහ අනුජ මෑතකදී ගන්නා ලද අතිශය කඩවසම් උඩුකය පින්තුරයක් නිර්මලිට හමුවුයේ ලාච්චුවක පතුලේ තිබියදීය.

පවුලේ ජායාරුප කිසිවක් නිවසේ නොතිබීමත්, මේ ජායාරුපයේ , අනුජ අසලින්ම  ඔහුට තුරුල්ව සිටින තරමක් සුරූපී තරුණියක් සිටීමත් නිසා නිර්මලී එම ජායාරුපය ගන්නට සිතුවාය. අනුජගේ තනි පින්තුරය දෙස මද වෙලාවක් බලාසිටි ඈට එය ගන්නට සිත්වූයේ ඇයිදැයි සිතාගත නොහැකි තරමකි.

මේසය මත තිබී නිර්මලිට හමුවූ දේ අතර හෙටදින පැවැත්වෙන නත්තල් සැමරුමක් සඳහා වන ආරාධනා පත්‍ර කිහිපයක් විය. එයින් එකක් පරිවාස ළමා නිවාසයකිනි. අනෙක් දෙකම ව්‍යාපාර ස්ථාන දෙකකිනි. නිර්මලී ඒවා තිබුණු තැන්වලටම දමා ඉක්මනින් පැමිණ පාඩම් මේසය ළඟ සිටගත්තේ පොඩිනාගේ කටහඬ ඇසෙන්නට වූ නිසාය.

"පුංචි නෝනා කන්න එන්න.. නොකා හිටියොත් මට මහත්තය බනිවී.... "

නිර්මලිගේ සිත කම්මලකි. සයිලන්ට් දමා තිබුණු දුරකතනයෙන් තාමත් දිලීප ඈ ඇමතුවේ නැති බැවින් ඈට කාලය ඉබි ගමනේ යන්නාක් මෙන් දැනුනි.

"පොඩිනා... මේ... කොච්චර කල්ද මෙහෙ වැඩට ඇවිත්?"

ඒ පැනයට පොඩිනාගේ මුහුණ එළිය වුයේ විදුලි පන්දමක් දැල්වුවාක් මෙනි. එවිටම කුස්සිය පැත්තේ සිට දාස සිය කහට ගැහුණු දසන් දක්වමින් නිවසට එබුණේය.

"නෝනේ...... මහත්තය මට අර ගහ සරසන්න උදව් කොරන්නය කිව්වා.... නෝනේ කාලා එන්නකෝ හෙනං... මම අනිත්වා ලැස්ති කොරන්නන්"

එසේ කියාගෙන දාස සාලය කොටසට ඇවිද ගියේය.

"මම මේ ගෙදරට එනකොට ඔන්න ඔය දාසටත් දහයක්  විතර වයස! දැන් මිනිහට හතළිහත් පැනල!!"

නිර්මලී පොඩිනා දෙස බැලුවේ මවාගත් සිනාවකිනි.

"අර රේසිකා කියල නෝනා කෙනෙක් ගැන කිව්වේ?"

මන්ද ස්වරයකින් නිර්මලී අසද්දී, පොඩිනාගේ මුහුණ නරක වූ බව නිර්මලිට පැහැදිලිවම පෙනුනි.

"මේ ගෙදර ලොකු මහත්තයා හරිම රත්තරන් මහත්තයෙක්. නෝනා දේවතාවියක් වගේ. අනුජ මහත්තයා එකම දරුවා. මහත්තයට උගන්නන්න නේ ඒරොප්පේ යැව්වේ... අන්තිමට මෙයාලා එහෙ ගියා, ලොකු නෝනා දිව්‍යලෝකේ ගියා... අනුජ මහත්තය මෙහෙ පදිංචි උනා"

පොඩිනාගේ මේ හතර බිරි කතාව නිර්මලිට වැටහුනේ නැත. තමන් ඇසුවේ රේසිකා යන තරුණිය ගැනයි. පොඩිනා එයට පිළිතුරු නොදී වැල්වටාරමක් පවසයි.

එක අතකට විසි වසරක් පමණ විශ්වාසයෙන් සිටින මෙහෙකරුවෙකුගෙන් මේ නිවසේ ඇති අවකල් ක්‍රියාවක් හෝ පවුලේ අඩුවක් දැනගත්ත හැකිවීම විය හැක්කක් නොවන බව ඈට වැටහුනේ නැත.

යන්තමට කෑම කා අවසන්ව කාමරයට යද්දී දුරකථනය නාද විය. එය දිලිපගෙනි!

"අයියා?"

"ආ... මේ... මම රෑ වෙලා ගන්නම්... මට අද හයර් ටිකක් තියෙනවා"

"අනේ.. මට මෙහෙ ඉන්න බයයි.. ඉක්මනින් එන්නකෝ"

"හරි හරි මනුස්සයෝ... ඔය හිටපු විදියටම අද රෑ වෙනකල් ඉන්නවා ඉතින්.. මම එන්නම්කෝ"

"දිලීප අයියා ඉන්නේ කොළඹද? කවදද ආවේ? කොහෙද ඉන්නේ? යි ඊයෙම ආවේ නැත්තේ?"

"අනේ මේ මට තමුසෙගෙ ප්‍රශ්න වලට උත්තරදෙන්න වෙලාව නැහැ... මම වැඩ අද. මම එනකල් ඉන්නවා හලෝ"

දුරකථනය විසන්ධි විය. දිලීප එනවා යයි කියන ප්‍රවෘතිය අන් කවද දේටත් වඩා ඈට වටනේය. මේ මරු කටෙන් ගැලවී යන්නට ඇතිනම් කුමක් වුවද ඇත. 

දිනය ගෙවුනේ ඉබි ගමනේය. උදෑසන පිටවගිය අනුජ රාත්‍රී අටේ හෝරාව වනතුරු නිවසට පැමිණියේ නැත. දාස කෙතරම් කතාකලද, නත්තල් ගස සරසන්නට ඉස්පාසුවක් නිර්මලිට තිබුනේ නැත. නියපොතු හපමින්, කාමරයේ ඔබ-මොබ සක්මන් කරමින්,ඈ සිටියේ අවසිහියත් සිහියත් අතර දෝලනය වෙමිනි.

පොඩිනාගේ කරදරය නිසාම රාත්‍රී ආහාරයට ජෑම් ගෑ පාන් කෑ නිර්මලී, වහා කාමරයට පැමිණ දිලිපගේ දුරකතනයට කතා කලද, එය නිවා දමා තිබිණ.

නිර්මලී සිටියේ නොඉවසිල්ලෙනි. කිහිප වතාවක් එය හැඩවුනේ මොරිස්ගේ ඇමතුම් වලට වුවද, නිර්මලී එයට පිළිතුරු නොදුන්නාය.

නමයේ හෝරාව නිමවනවාත් සමඟම නිවසේ ස්ථාවර දුරකතනයට ඇමතුමක් ඇසී නිර්මලී වහා දුවගොස් එයට පිළිතුරු සැපයුවේය.

"බබා....?"

ඒ කටහඬ අනුජගේය. නිර්මලී ගල්ගැසී ගියාය.

"... රෑට කෑවද? "

නිර්මලී පිළිතුරක් දෙන්නට උත්සුක නොවුවාය. 

".... මම මේ බලාගෙන ඇති කියල හිතල කෝල් එකක් දුන්නේ.... තාම ආපු වැඩේ ඉවර නැහැ... සිග්නල් නැහැ මේ හරියට"

ඈට කියන්නට යමක් නැත. ඔහු රාත්‍රී දහය වනවිට නිවසේ සිටිනු ඇතිදැයි දැනගැනීම වටිනු ඇත.

"කීයටද එන්නේ?"

අනුජගේ සිත විකසිත විය. ඔහුගේ මුහුණේ ඇඳුන සිනහව දුටු හිමාල් තාලයට සුරුවම් බෑවේය.

"ආව් .. ආව්... මූගේ මුණ බලපල්ලකො"

අනුජ දුරකතනයේ මුව කොටස වසා හේමාල්ට ඔරවා සිටියේය. ඔහුට සිනාය.

"හ්ම්ම්ම්.. ටිකක් රෑ වෙයි. මම කිව්වා පොඩිනාට ඇතුලෙන් නිදාගන්න කියල. ලාරත් ඉන්නවනේ.. බයවෙන්න දෙයක් නැහැ."

නිර්මලිගේ හදවත වේගයෙන් ස්පන්ධනය වෙයි.

".. කම්මැලි නම් ටීවී බලන්න... ට්‍රී එක ඩෙකරේට් කලාද?"

නිර්මලිගේ සිත එයට පිළිතුරක් පවා ගැලපුවේ නැත. අනුජට එයද පිළිතුරකි. 

".. හරි එහෙනම්... මම එනකල් ඉන්න ඕනේ නැහැ නිදාගන්න... අද පාඩම් කලේ නැති උනාට කමක් නැහැ ඉතින්"

 එය එසේනම් ඔහු තව හෝරාවකින් නොඑනු ඇත. එය සියල්ලටම පහසුය. සියල්ලම හොඳින් සිදුවනු ඇත.

ඇමතුම විසන්ධි වූ පසුව නිර්මලී වහා ගොස් පොඩිනා සිටින්නේ කොහිදැයි විපරම් කළාය. ඈ සිටියේ මුළුතැන් ගෙයට යාබදව ඇති සේවක විවේකාංගනයේ , රුපවාහිනියේ නත්තල් උත්සවයක් නරඹමිනි.

තවත් හෝරා බාගයක් යද්දී නිර්මලී නිවසේ පසෙක තිබෙන , මිදුලට බට හැකි වෙනත් උප ප්‍රධාන දොරටුවක් අසලට ගියේ, දාස විසින් ලාච්චුවේ තබා තිබෙන විදුලි පන්දම අතැතිවය. හාත්පස ඇත්තේ මන්ද ආලෝකයකි. තමන්ට ගෙන යන්නට කියා කිසිවක් නොමැති නිසා, දිලීප ආ සැනින් ගේට්ටුවෙන් පනින්නට ඈ සිතාගෙන සිටියේ හිස් අතිනි.

දහයේ හෝරාවට මිනිත්තුවක්වත් ප්‍රමාද නොවී , දිලිපගේ අංකයෙන් ඈ අතවූ ජංගම දුරකතනයට ඇමතුම එනවිටම නිර්මලී එයට පිළිතුරු දුන්නාය. ඇගේ සිත ප්‍රීතියෙන් ඔදවැඩි තිබිණ.

"දිලීප!"

"මම තව ටිකකින් ඔතන! ගේට්ටුව අරිනවා"

පියාපත් ලද කිරිල්ලියක සේ නිර්මලී මිදුලට පැන්නේ , සිය ගැලවුම්කරුගේ උපදෙස් ඉස් මුදුනින් ගනිමිනි. හාත්පස තිබෙන උත්සවශ්‍රිය නිසා, අසල්වැසි නිවස පුරා දල්වා තිබුණු විදුලි බල්බ වලින් පාර සොයාගත් නිර්මලී, නිවසේ වම්පස කොටසට ඇවිද ගියේ දාස එනු ඇතැයි බියෙන් වටපිට බලමිනි.

නිවසේ වම්පස තිබුණු ගේට්ටුව වාහනයක් ඇතුල්කල නොහැකි තරම් පටු එකකි. එතනට එද්දිම නිර්මලිට කල්පනා වුයේ දිලීප මේ ගේට්ටුව ගැන දන්නේ කෙලෙසද කියාය. පසුව ඒ ගැන විමසන්නට ඈ ඉටාගත්තේ, ඊට වඩා මේ පලායාමේ ප්‍රීතිය නිසා වන්නට හැකිය.

හාත්පස ආලෝකය මදකට මුවාවන ගේට්ටුව අසල ඇති අඳුර තුලින් වුවද, හඬක් නොනැගෙන ලෙස විවර කරන විටම සෙවනැලි ගුලි දෙකක් මෙන් මිනිසුන් දෙදෙනෙකු සිටිනු නිර්මලී හැඳිනියාය.

පියවරක් ඉදිරියට තැබූ දිලීප ඒ මොහොතේ තිබුණු ආලෝකයෙන් වුවද හඳුනාගන්නට ඈ සමත් වුයෙන්, ඉදිරියට පැන්න ඈ දිලිපගේ ගෙලෙහි එල්ලුනේ එකවරමය.



------------------------------ මතු සම්බන්ධයි ------------------------------------

18 comments:

  1. දැන් නම් මාර කුතුහලයක් තියෙන්නේ.... දිලීප නිර්මලීව විකුණන්න හදලා වත් ද...?

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ඉතිරි ටිකත් දාන්නම්කො... ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට

      Delete
  2. අම්මට සිරි එළනේ!?

    ReplyDelete
    Replies
    1. අප්පා මේ වචන ටිකේ වටිනාකම!

      මම කිව්වේ මෙහෙම කෙටියෙන් එළ කිව්වෙත් ශතවර්ශෙකට විතර පස්සේ වෙන්න ඕනේ. එතරම් කියන්න දෙයක් නැහැ කියලා මම මේක වරදවා වටහා නොගනිමි

      Delete
    2. හරියට හොඳ නැත්නම් බොරුවට වචන දමා නොගසමි! ලස්සනයි කියන්නේ ලස්සනම නිසාය! හොඳයි කියන්නේ හොඳ නිසාමය!

      Delete
    3. මොකෝ මළ පැන - මූන අඳුරු කර?

      Delete
  3. අද කොටසත් මරු.. ජය

    ReplyDelete
  4. බලං යනකොට මිසීත් කරන වැඩ.
    අර කෙල්ලට ගෙදරිං පැනලයන්ඩම වැඩ සැට් කරනවා ඈ ..

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. මම අහිංසකයි
      ආවට ස්තුතියි ගොඩක්!

      Delete
  5. ෂා නියමයිනෙ. රතුපාට මල කියවන්න ආවම හම්බුනේ උන්මාද චිත්‍රා. ඔන්න මන් ඔක්කොම කියෙව්ව. හරි ලස්සනයි කතාව. මේකිට අර නත්තල් ගහ සරසන්න හිතුනෙ නැති හැටි. අපිට වගේ නම් පැනලයන එකත් අමතක වෙනවා ඔහොම වැඩක් තියෙයි නම්. :)

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ මේ පැත්තේ එන්න වුනේ නෑ. බිසී. දැන් ටිකක් විවේකයි. අද ඉඳලා ඔක්කොම වෙලාවට බලල කොමෙන්ට් දාන්නම්කො.

      Delete
    2. ආනේ... කොච්චර දෙයක්ද ආපු එක....
      කියවන්නකො ඉස්සරහට

      ආ.. ඔය ක්‍රිස්මස් ට්‍රී සරසන්න ගිහින් ඒවා පෙරලිලා කරන්ට් වද්දගෙන ඉන්නේ.. ඒ හින්දා දන්නවා පිස්සුව.. හි හි

      Delete
  6. දැන්ම මුකුත් කියන්ට නාකයි...

    ReplyDelete
    Replies
    1. අනේ එහෙමත් කියනවද අප්පා.... නාක නෑ මොනවාහරීම කියන්ඩකෝ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...