නිර්මලී ගේ පපුව ගැහෙන්නට වුයේ පැරණි දුම්රිය එන්ජිමක් මෙන් දුම් දමමිනි. ඈ සිය පපුවට අත තබා තරමක් හති ලෑවාය. අනතුරුව දොර තදින් වසා කාමරයේ අඳුරු මුල්ලකට පැන්නාය.
සවස පැමිණි තරුණියගේ දුරකථනය අනුජ තබා තිබුනේ ඔවුන් බෙහෙත් දමන්නට හිඳගත් පුටුව මත අමතකව මෙනි. හිමාල් සහ අනුජ පිටවීමෙන් පසුව එය දුටු නිර්මලී වහා දුරකථනය ගෙන සිය කාමරයට පැන්නාය.
කුතුහලය විසින් කළඹවන ලද නිර්මලිගේ සිත අනුජගෙන් පලායාමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයමින් සිටියේ පිපාසයට සොයන ජලය පොදක් මෙනි. යම් හෙයකින් තමන්ගේ පලායාමේ සැලැස්ම කඩාකප්පල් උවහොත්, ඒ සඳහා සුදානම් වීමට නිර්මලී සිතාගෙන සිටියාය. ඒ සමඟම , මේ ගුප්ත මිනිසාගේ අරමුණ කුමක්දැයි ඈ තුල හටගෙන තිබුණු නොනිමි කුතුහලය සන්දිඳුවීම පහසු නොවිය.
දෙවරක් පමණ උත්සහ කොට 123456 ලෙස එබූ සැනින් එහි අගුල ඉවත් විය. ඉවකින් මෙන් වහාම පින්තුර ගැලරියට ගිය සැනින් නිර්මලීගේ දෑස නිලංකාර ව ගියේය.
එහි තිබුනේ පැමිණි තරුණිය තවත් පිරිමින් සිටින පින්තුර ටිකකි. ඒ සියල්ලෝම බලන්නට අප්‍රසන්න වැඩිමහල් පිරිමින්ය. නිර්මලිගේ දෑත වෙව්ලා කලබලයට දුරකථනය වරක් ඈ අතින් ගිලිහුනද , වහා එය යලි අහුලා ගත්තේ වෙව්ලන දෑතිනි.
මේ තරුණිය කවුරුන්ද? නොයෙකුත් මිනිසුන් බදාගෙන සිටින මේ පින්තුර රැගෙන ඈ මෙහි පැමිණියේ ඇයි ? සංවාදයේදී මොරිස් අයියා ලෙස ඈට යන්තමට ඇසුනි. කොල්ලුපිටිය පොලිසියේ තිවංක සිල්වා යන නමත් ඈට ඇසුනි.
මෙහි ඇත්තේ කුමක් හෝ අසික්කිත අපරාධයක්ද?
'... ඔහොම දවස් දෙක තුනක් උන්නාවේ.. මගේ ප්ලෑන් එක මම උඹට කිව්වේ.. ඒ ඔක්කොම මම ලැස්ති කරලා තියෙන්නේ...'
අනුජගේ වචන සිහිවී නිර්මලීගේ ගතේ හිරිගඩු පිපී ගියේය.
'මේ කියන්නේ මම ගැන නොවේද?'
මේ තරුණියගේ මෙම පින්තුර වලට සෘජුවම හෝ වක්‍රව අනුජගේ සම්බන්ධයක් තිබේ. තවත් මොහොතක්වත් මේ නිවසේ ඉන්නට ඈට සිත හදාගත නොහැක. ඈ කාමරයේ ඒ මේ අත යමින් කල්පනා කලේ, දිලීප එනතුරු මේ අනතුරෙන් බේරී ඉන්නේ කෙලෙසද කියාය.
පිටතින් පෙනෙනවාට වඩා විකෘති ගතිගුණ ඇති මේ මිනිසා ගැන භීතිය, පිළිකුල සහ වෛරය නිර්මලී වසා සරමින් සිටියදී එකවරම දොරට තට්ටුවක් නැගුණි.