Thursday, September 30, 2021

269: උන්මාද චිත්‍රාදෝ මා 03



දිලිපගේ පසින් හැලහොල්මනක් නොමැතිව දවසින් දවස ගොස් සතියක් ගෙවුනේ නිර්මලිට කල්පයක් යන පරිද්දෙනි. ඒ සතිය පුරාම දුරකථනය  විරහිතව තිබිණ. 

ඒ අතර අනුජගේ දිනචරියාව ඈ හොඳින් දැනගෙන සිටියාය.

උදෑසන පහ වනවිට , තුන්වන මහලේ තිබෙන කායවර්ධන කාමරයට යන අනුජ, ඉඳහිට පාන්දර පිහිනුමේ යෙදෙයි. ඉන් පසුව ඔහු උදෑසන දුරකථන ඇමතුම් පෝලිමට පිළිතුරු දෙන්නේ කවුරුන් හෝ සම්බන්ධිකරණ කාන්තාවකටය. දවසේ වැඩ ලබාදෙන ඔහුගෙන් දිස්වන්නේ සැරපරුෂ පාලකයෙකුගේ හැසිරීමකි. 

"... මීටින් එක මගෙන් අහන්නේ නැතුව දැම්මේ මොන මගුලකටද? මම කියල තියෙනවා තුෂාරා! මගේ යකා අවුස්සන්න එපා දැන් !"

"... නෑ නෑ ... රේසිකා නෙවෙයිනේ මෙතන ලොක්ක! මමයි ඒ ශිප්මන්ට් ඩිලේ කරන්න කිව්වේ.... කාගෙන් අහලද පෙනල්ටි ගෙවන්න හදන්නේ තුෂාරා??? "

"මේවා ෆලෝ අප් කරන්න තමයි මම තමුසෙට පඩි ගෙවන්නේ චන්දන.... බැරිනම් හෙට ඉඳල ගෙදර ඉන්න පුළුවන්..."

  "... මට ඔය කතා වලින් වැඩක් නැහැ, මම ඔෆිස් එනකොට මේසේ උඩ ඩොකියුමන්ට්ස් ටික තියෙන්න ඕනේ! මට තමුසෙගෙ එක්ස්කියුස් වැඩක් නැහැ!"

මෙවැනි වදන් වලින් ඉහල මාලයම දෙදරා යද්දී නිර්මලී බොහෝවිට සිටින්නේ කාමරයේ දොර වසාගෙනය. 

නමුත් උදෑසන කෑම කන්නට හරියටම හත වනවිට අනුජ දොරට තට්ටු කරවන්නේ පොඩිනා එවීමෙනි.  පහලට ගියද ඊට හෝරාවකට පෙර බෙරිහන්දීම් නොවුවා සේ අනුජ , කාර්යාල කලිසමට, අත්දිග කමිසය ඇඳ , සිහින් දෑසින් සිනාසෙමින් නිර්මලිට උදෑසන ආහාරයට ආරාධනා කරයි. මද වෙලාවකින් සියල්ල අමතකව යන නිර්මලී ගිරවියක මෙන් කියවනු අනුජ අසා සිටින්නේ සිත තුල නැගී බිඳෙන සිතුවිලි අතරිනි.

'මේ කෙල්ල මාව කුල් ඩවුන් කරන තරමක්!'

අනුජ ඒ අතර සිතයි. තමන් කිවයුත්ත, නොකිවයුත්ත නොබලා අනුජ සමග කියවූ බව මතකයට නැගෙන්නේ අනුජට  ප්‍රමාද වන බව වීරසිරි පැමිණ මතක් කරනවිට, තමන් දෙස සමාව ඉල්ලන දෑසින් බලා නැගිට යන අනුජ දකින විටයි.

පාසලේ සිද්ධි, පාඩම් වැඩ වල සිදුවූ සිනායන දේ මෙන්ම තමන් මෙතෙක් උන් ලැයිමේ විස්තර පමණක්ද, පොත් රාක්කයේ හමුවූ ඇගේ ප්‍රියතම කතාවක කොටසක් පාහේ තමන් අතරින් කියා වුනා නේදැයි  සිතෙනවිට,නිර්මලී බිය වුවාය. 

'බැරිවෙලාවත් දිලීප ගැන කිය උනොත්?'

පුදුමයකට, ඇයට දිලීප ගැන කියන්නට කිසිවක් නොවුනි. ඉහත කී කිසිම මාතෘකාවකට දිලීප සම්බන්ධයක් නොතිබීමත්, ලැයිමේ විස්තර කොටස් වලදී  අනුජ ඉක්මනින් මාතෘකාව වෙනස් කිරීමත් එයට හේතුව බව දහසය හැවිරිදි ඈ නොදත්තාය.  

ඔවුන් සමඟ පැන්ට්‍රි මේසයේ, අනුජගේ කකුල් දැවටෙමින් ලෝරා නොයෙකුත් විකාර කරයි. තවමත් ලෝරා නිර්මලීව පිළිගෙන නැත්තා සේ ඉඳහිට ඇය තමන් අසලට එනවිට ගොරවයි.

සැමදාම උදෑසන අනුජ නිවසින් පිටවන්නට පෙර , එදිනට නියමිත පුද්ගලික පංති ගුරුවරියන් පැමිණ තිබෙන නිසා , නිර්මලී උදෑසන ආහාරයෙන් පසුව කෙලින්ම උපකාරක පන්තියේ සිරවන්නිය.

එය නිම වනවිටම බොහෝ වෙලාවට  දුරකථනයට අනුජට ඇමතුම ලබාදෙන්නේ තුෂාරාය.

"සර්!"

නිර්මලී අනෙක් පසින් දුරකතනයට පිළිතුරු දෙනවිටම තුෂාරා ඇමතුමේ මේ අන්තය අනුජගේ කාර්යාලයේ මේසය මත ඇති අංකයට සම්බන්ධ කරවයි.

"..අද ක්ලාස් එකේ ඔක්කොම වැඩ ටික තේරුනාද?"

".... ඇයි ඊයේ හෝම්වර්ක් කරලා නැත්තේ? මට ටීච කිව්වනේ"

"... ටීච සැරකලාට බුම්මගෙන හිටියද? ඕලෙවල් වගේ බෑනේ"

තුෂාරාට ඉඳහිට ඒ කෙටි සංවාදයන් ඇසී තිබේ. ඉඳහිට ඈ සිය ලිපිගොනු රැගෙන යනවිට අනුජ සිටින්නේ , මේසය මත තිබෙන සිය කුඩා කහපාට මෘදු බෝලය මිරිකමින් සහ වහලය දෙස බලාගෙන අසුනේ පසුපසට තෙරපී , කකුල් අසල පඩිය මත නිදහසේ දිගුකොට තබාගෙන බව දැක තිබේ. ඔහුගේ මුහුණ බලන්න ලස්සනය. 

අනුජ ගැන තරමක් දන්නා තුෂාරා , මේ කතාකරන්නේ කවුරුන් දැයි දැන සිටියේ නැතිබව සිතමින් සිටියදී අහම්බෙන් මෙන් හිමාල් මහතා පැමිණි දිනයක 'චූටි' නමින් වූ සඳහන් කරන මොහොතක් එකවරම අල්ලා ගන්නට සමත්වූවාය.

කටහඬට අනුව මේ කියන තරුණිය එතරම් වයසක් නොවේ. නමුත් පවුලේ කිසිවකුත් ලංකාවේ නොමැති නිවසක, වෙනත් තරුණියක් එලෙස සිටීම තුෂාරාට තරමක ප්‍රෙහෙලිකාවක් වුයේ රේසිකා දිනක් තමාට පැවසු දෙයකි.

"මහත්තය මොකද මේපාර ක්‍රිස්මස් එකට ඉංග්ලන්ඩ් එන්න තාම ටිකට් දැම්මේ නැත්තේ? කසින්ස් ල ඔක්කොම ඇවිත්,  එදත් මම කිව්වනේ තුෂාරා"

"අනේ මිස්.... දාලා තිබ්බ එක කැන්සල් කරන්න කිව්වා මිස්ට අනුජ"

"මොකක්? කෝ මාව දාන්න එයාට කෝල් එකකට"

"මිස්.. දැන් නම් ඉන්නේ මීටින් එකක. එක්සයිඩ් එකේ මිස්ටර් දුනුවිල ඇවිල්ල"

රේසිකා තරහින් ඇමතුම විසන්ධි කළාය. රේසිකාගේ කෝපය අනුජගේ තරහට වඩා හාත්පසින්ම වෙනස් බව තුෂාරා අත්දැකීමෙන් දත්තාය. එබැවින් වහා අනුජට පණිවිඩය කියන්නට ඈ උත්සුක වුයේ ඊළඟට එන ඇමතුම් සියල්ලම නතර කරන්නට ඈට පවා ශක්තියක් නොමැති නිසාය.

අනුජගේ දුරකථනය නදදෙනවිට පණිවිඩය ලැබී තිබුණු නිසා අනුජ පලවෙනි ඇමතුමටම පිළිතුරු දුන්නේය.

"සන්.... මොනාද මේ එන්නේ නැහැ කියන්නේ?"

"මම කෝල් එකක් දෙන්නම් තාත්තා... රේසි කොහොමත් දගලනවනේ. මම මිටීන් එකක ඉන්නේ "

සිය පියා ඒ වචනයෙන් පමණක් සෑහෙන බව අනුජ දනී.

 ඇමතුමෙන් පසුව තමන් ලඟට පැමිණි අනුජ , තමන්ගේ රාජකාරී දුරකථනය ඈ වෙත ලබාදෙන්නේ එයට එන ඇමතුම් සියල්ලටම පිළිතුරු සපයන්නට උපදෙස් දෙමිනි. ඒ මොහොතේ ඔහු අත තිබුණු පුද්ගලික දුරකතනයේ වෝල් පේපර් එක යම් තරුණියකගේ බව ඈ දුටුවාය.

සතිය පුරාම අනුජ ගතකලේ පාවෙන පිහාටුවක් වැනි මානසික තත්වයකිනි. තනිවම සිනාසෙන අනුජ නිතර තුශාරාගේ ඇස ගැටේ.

කරමින් සිටි වෙහෙසකර රාජකාරි අතරේ  පුද්ගලික දුරකතනයේ මුහුණත තිබුණු පින්තුරය දෙස බලා ඔහු නැවතත් එහි කම්මුල් කොටස සිය මහපට ඇඟිල්ලෙන් පිරිමැද්දේ සිනාසෙමිනි.

'හරිම සොෆ්ට් කෙල්ලෙක්' 

සිය පවුලේ අය වෙත යන්නට ලබාගත් ගුවන් ටිකට්පත අවලංගු කලේ නිර්මලීගේ ඒ පින්තුරය දුටු පළමු දිනයේමය. එය අව සිහියෙන් කලද, එය තමන් ගත් හොඳම ක්‍රියාමාර්ගය බව ඔහු තවත් විශ්වාස කරයි.

ඇතුලතින් ආ වේදනාවක් නිසා අනුජගේ සිතට අහේතුකව පිඩාවක් දැනුනි.

දින කිහිපයක් තිස්සේ මොරිස්ගේ කරදරය වැඩිවී යමින් පවතී. හිමාල් කෙතරම් කීවද, පලායන්නට සිත හදාගත නොහැක.

'කොහෙද මැණික මම උඹව හංගන්නේ...? උඹ මැණිකක්නේ... කොහේ හැංගුවත් දිස්නය වලක්වන්න බෑ මගෙන්'

ඔහුගේ සිත කියයි.

"බාරකාරයෙක් නැතුව උඹට කෙල්ලව අරගෙන රට යන්න බෑනේ... බොරු වයසක් දාල පාස්පෝට් හදලා මෙහෙන් පලයන්.. කලින් වගේ මම ඇදගෙනවත් යන්නම් ටික කාලෙකට"

හිමාල්ගේ වචන සත්‍ය බව ඔහු දනී.

"මට නම් තේරෙන්නේ නැහැ බං උඹ මේ මොකක්ද කරන්න යන්නේ කියල.. ආන්ටි හිටියා නම් උඹව කොත්තු ගහයි..!"

"මමා හිටියා නම් තේරුම් ගනී. උඹටවත් මාව තේරෙන්නේ නෑනේ"

"ඔව් වොව්... තේරෙනවා තේරෙනවා.. ඒකනේ බන් මෙච්චර උදව් කරන්නේ... ඔන්න බලපන් උඹට ඔච්චර දරදිය ඇදල උඹ දෙකේ කොලේට දැම්ම... අම්මත් කියල තිබ්බ පාපමිත්‍රයෝ ආශ්‍රය කරන්ඩත් එපා කියල"

"අනේ පලයන් යන්න... ආන්ටි උඹට වඩා මාව විස්වාස කරනවා. නැතිනම් උඹල කොහොමද මගේ අපාර්ට්මන්ට් එකේ අවුරුද්දක් පවුල් කෑවේ... ඉඳපන් උඹේ පැටිකිරිය කියන්න ආන්ටිට"

හිමාල්ගේ මුහුණේ ඇඳුනේ දඟකාර සිනාවකි. අනුජ තමන්ට කෙතරම් සමීප මිතුරෙක්ද යන්න ඔහු තරම් දන්නා වෙන කවුරුත් නොමැති තරමකි.

 අනුජ වෙනදාට වඩා කලින් නිවසට එනවිට නිර්මලී සිටියේ උද්‍යානයේ මල්පැල වලට සාත්තු කරන දාස සමඟ බර කතාවක් මැදය. අනුජගේ වාහනය ගේට්ටුවෙන් ඇතුල්වත්ම නිර්මලී ගාල කඩා ගත්තාක් මෙන් නිවාස තුලට දිවගෙන ගිය බව අනුජ දුටුවේ නැතත්, රියදුරු වීරසිරි දුටුවේය.

ඔහුට සිහි වුයේ පොඩිනා සමඟ ඊයේ ඇතිවූ කතාබහයි.

"හරියට කතුරක් වගේ කියවන්නේ. ඊයෙත් අර බැල්කනි එකේ ඔන්න ලොකු කතාවක්, මම බලනකොට කවුරුත් නැහැ. බැල්කනියේ කණ්ඩියේ හිටියා පොල්කිච්චෙක්.. බලනකොට ඌ එක්ක කතාව... ඒ උනාට මහත්තය දැක්කම දුවනවා"

ඊට තමන් කිසිවක් නොකියා සිනා උනා මතකය. දෙදෙනාම හිත පතුලෙන් සිය ස්වාමියාට වෙන් වෙන් ආකාරයට ලෙන්ගතු බැවින් , මේ තරුණිය ගැන අහිතක් නොසිතුවෝය. පොඩිනාට වඩා වැඩි රහසක් ලෙස, දෙදෙනාගේ විවාහය ගැන විජේසිරි පොඩිනාට පවා නොකියා හැරියේ සිය ස්වාමියා ගැන ඇති ගරුත්වය නිසාමය.

"රේසිකා නෝනාගෙන් බේරිලා ඉන්න එකම මදිද..."

වීරසිරි සිතුවේ එලෙසටය.

ව්‍යාපාර බදාගෙන ඒවායේ ලාභ ගන්නටම දබරවන රේසිකා, ස්වාමි දියණියකට වඩා විජේසිරිට දැනුනේ ආඥාදායිකාවක් වශයෙන් පමණි.

ඒ අතින් අනුජ ගෙවන මේ ජීවිතය විජේසිරිට සතුටකි.

දුරකතනයේ රැඳෙමින් නිවසට පැමිණි ඇස සෙව්වේ නිර්මලී වුවද ඇගේ සේයාවක් නොවුනි. කලින් ලිපිනය දුන් පසුව දිනපතා දිලීප අමතන්නට කල උත්සාහය ව්‍යර්ථ වූ නිසා නිර්මලී දහවල සිටම සිටියේ විස්සෝපයෙනි. අනුජ ඈගේ අධ්‍යාපනය වෙනුවෙන් දිනපතා කරන දේවල් විසින් ඈ දුර්වලකොට තිබුණු නිසා තවත් දුර්වල වන්නට මත්තෙන් මෙයින්  පැන යන්නට  අවැසිය.

ඇඟ සෝදාගෙන ඉහලමාලයේ තිබෙන නිවසේ සිනමා අංගනය ක්‍රියාත්මක කල අනුජ සිය වෙහෙසකර දවස ආවර්ජනය කළේය. Netflix සුසරකොට ඔහු ඒ මේ අත යමින් සිනමා පටයක් තේරුවද සිතට අල්ලන යමක් නොවිණි. ඔහු හිස හරවා බැලුවේ ක්ෂනයෙනි.

අහම්බෙන් මෙන් සිය දොර යන්තමට විවර කරගෙන එක ඇසකින් බලාසිටින නිර්මලී දුටුවනම අනුජට සිනා ගියේය. එය වළකන්නට මුව ඒ මේ අත ඇඹරු ඔහු, The Last Samurai තෝරා ගත්තේය.

----------------------------------------------------------------------

තමන් සිතු පරිදි දිලීප ඈ සොයා නොපැමිණීම නිර්මලීගේ සිත තදින් පාරා තිබිණ. තමන් සදාකාලිකව මේ එක්ටැම් ගෙය තුල , මේ නොදන්නා මිනිසාට බියෙන් ගෙවන්නද?

'පොඩ්ඩක් ඉන්න... ! මම මේ මනුස්සයාට බයද?'

'මම බය නැහැ'

'එහෙනම් පැනලා යන්නේ'

'දිලීප ඕනේ නිසා'

'ඇත්තටම ඒක එහෙමද?'

යුවතිය සිත ඇතුලාන්තය සමඟ සංවාදයේ නිරතවූවාය.

'මේ මනුස්සය අමුතු උනාට මට කරදරයක් කරන්නේ නැහැ වගේ. ඊටත් පුදුමේ කියන්නේ පුදුම වියදමක් දරන්නේ මට ඉගෙනගන්න'

දිනක් ගුරුතුමියට දෙන්නට කියා ඈ අත තැබූ ලියුම් කවරයේ තිබුණු දාහේ කොළ ගණන, ඈ අතගා තිබුණු ලොකුම මුදල මෙන් ඈට දැනුනි. ඒ සමඟින් දැනුනු වරදකාරී හැඟීම කහට පැල්ලමක් සේ ඇගේ හදවත් බිත්ති පුරා බැඳී ඇත්තාක් මෙනි.

'ඒ උනාට මොකක් හරි කපටිකමකට තමයි මේ මෙහෙම කරන්නේ'

'තාත්තට සල්ලි දෙන්නත් ඇති. අම්මෝ වීල් එකක් ගන්න තරම් සල්ලි?'

'ඒ මොකක් උනත් මම දිලීප එක්ක යන්න ඕනේ. මෙහෙ ඉන්න බෑ. කේන්තියි මට මාව මෙහෙම හිරකරගෙන ඉන්නවට '

දීලිපට අනතුරක්දැයි නිර්මලිට සිතුනු සැමවිටම සිත ඇවිලී ගියේය. සිය පියා නම් තමන් ගැන කිසිම විටෙක වද නොවන බව ඈ දත්තාය. සුසුමක් පිටවුනේ ඉබේටමය. මේ කුමන ඉරණමක්ද?

---------------------------------------------------------------------

එය නත්තල් දිනයට පෙර දිනය බව නිර්මලී දැනගන්නේ පොඩිනා බලන්නට ඇගේ මිනිපිරියක් පැමිණ සිටි බව දුටු නිර්මලී ඈ හා කතාකරන්නට යාමෙනි.

ඔවුන් නත්තල් සැරසිලි බලන්නට ලකලෑස්ති වෙමින් සිටි බව ඇසුණු නිසා කල් ඇතිවම පොඩිනා ඔවුන්ට , අනුජ විසින් ලබාදුන් තෑගී දුන් අතර මිනිපිරිය උඩ පනිමින් එය බදාගන්නවා නිර්මලී දුටුවාය.

උදෑසන සිටම අනුජ කිසියම් කලබලයකින් මෙන් සිටිනු දැනුනු නිසා  නිර්මලී  සිටියේ ඔහුගේ ඇස්මානයෙන් ඉවත්වය. කලබල වූ විට අනුජගේ මුහුණ බලන්නට නොහැකි තරමකි. කේන්තියට දත්කුරු සැපෙන්නේ ක්ෂනයෙනි. නිර්මලී සිය බීමත් තාත්තාගේ කෝපය පිටකිරීම් කෙතරම් දැක තිබුනද, අනුජට ඈ ඊට සිය ගුණයක් බියය.

"... අයියෝ මොන කරදරයක්ද බන්... මම දැන් බෑ කිව්වනේ..."

කාමරයෙන් ඇසුන අනුජගේ දුරකථන සංවාදයේ කොටස ඇසෙන විට දවසේ හතරවන වතාවට නිර්මලී දිලීප අමතන්නට දුරකථනය අසලට පැමිණ තිබිණ. උදෑසන සිට දුරකථනය නාද දෙයි, නමුත් ඔහු කතා නොකරයි.

නිර්මලීට ඇසුනේ අනුජගේ කාමරයේ දොර වැසෙන ශබ්දයයි. ඈ වහා දිලිපට ඇමතු අතර අනපේක්ෂිත හාස්කමක් මෙන් ඇමතුමට දිලීප පිළිතුරු දුන්නේය.

"දිලීප..... අනේ ඇයි මට කතාකලේ වත් නැත්තේ... මාව ගෙනියන්න එන්නකෝ"

"ආ..... මමත් ඉන්නේ කොළඹ තමයි... .හෙට? හෙට මම එන්නද?"

නිර්මලීගේ හුස්ම සිරවුවා සේ දැනුනි. 

"ඔය ඇත්තමද? අනේ දිලීප හා! කොහොමද එන්නේ... දන්නවද කොහෙද කියල"

"ආ.. ඒක හොයාගන්න පුළුවන්.... මේ ඔය අර වාහන කෑලි කඩවල් තියෙන මනුස්සය නේද? මිනිහට අවුරුදු හතළිහක් විතර නේද?"

නිර්මලීට ඒවාට පිළිතුරු දෙන්නට සිතක් නැත.

"එන්නේ කීයටද? මෙහෙ වැඩට මිනිස්සු ඉන්නවා... අනේ ඉක්මනට කියන්නකෝ මොකද මම කරන්න ඕනේ කියල"

"හෙට නත්තල් නේද? හෙට රෑට එන්නම් මම ඔතනට හ්ම්ම්ම්.... දහයට වගේ"

නිර්මලී සිතින් ඉක්මනින් දිනයේ කාලසටහන බැලුවාය. ඒ වනවිට අනුජ නිදාගෙන නම් නැත. නමුත් එසේ කියා අවස්තාව මගහරින්නට නොහැකිය. මෙය  අවසන් අවස්ථාව වන්නට පුළුවන්.

"....කෝ  මොකෝ තමුසේ සද්දයක් නැත්තේ?"

"මම මේ බැලුවේ කොහොමද පනින්නේ කියල මෙතනින්...."

"හරි.. මෙහෙම කරනවා.... ගෙට වම් පැත්තේ තියෙනවා පොඩි ගේට්ටුවක්. ඕක ඇරලා තියනවා රෑ උනාම. මාව ඊට පස්සේ ගෙට ගන්නවකො, ඉතුරුටික මම බලාගන්නම්"

පොඩිනා කුස්සිය පැත්තේ සිට එනවාක් මෙන් දැනුන නිසා "කවුද එනවා" කියූ නිර්මලී වහා දුරකථනය විසන්ධි කළාය. අගේ සියොලඟම වෙව්ලන්නට විය. එකක් නම්, තමන් හසුවේද යන බියයි, අනෙක නම් හෙට දිනයේ තමන් කරන්නට යන වික්‍රමය සිහිවීමෙනි.

වහා සෝෆාව වෙත ගොස් හිඳගත් ඈට, එතන සැපට නිදාගෙන උන් ලෝරා ගෙරෙව්වාය. නිර්මලී මදක් පසෙකට වුයේ බියට මෙනි. කුස්සියේ සිට සාලයට පැමිණි පොඩිනා , එකවරම සාලයට දුව ආ අනුජ දැක බියවී මෙන් බැලුවාය.

"පොඩිනා... ගේට්ටුව ගාව ඉන්න ළමයව ඉස්සරහ වාඩිකරවලා තියන්න චුට්ටක්. මම එන්නම්"

නිර්මලිට ඉබේම දොරටුවෙන් පෙනෙන ගෙමිදුල දෙස බැලුණි. මිදුල හරහා ඇවිද එන තරුණියකි. ඇගේ ගමනින්ම ඈ එන්නේ පුරුදු නිවසකට වැනි සැහැල්ලුවකි. ඩෙනිම් කලිසමට විසිතුරු බ්ලවුස් එකක් ඇඳගෙන, වම් පසින් අත්බෑගයක් එල්ලාගෙන වටපිට බලමින් ආවේ වේගයෙනි. 

ඒ වනවිට ඉදිරියට ගිය පොඩිනා ඈට කුමක් හෝ කියා පසෙකින් ඇති පෝටිකෝවේ අසුනකට යොමුකරනු නිර්මලී දුටුවාය. විසල් විදුරු වලින් තනා තිබුණු ආලින්දයේ ජනේල තුලින් නිර්මලිට ඒ තරුණිය පෙනේ. ඈ එතරම් වයසක් ඇති කෙනෙකු නොවන හැඩකි.

කුමක් හෝ හේතුවකට නිර්මලිට ඒ තරුණිය ගැන සැකයක් සිතුනි. ඈ අනුජගේ පැලැන්තියේ නොවේ. අනුජගේ ව්‍යාපාර ස්ථානවල සිටින කිහිප දෙනෙක් ඉඳහිට මෙහි පැමිණියද, ඒ කිසිවකුත් මෙවන් කුඩා තරුණියන් නොවේ. අනුජගේත් මේ තරුනියගේත් ඇති සම්බන්ධය කිමක්ද?

මද වෙලාවකින් අනුජ  සාලය හරහා දිවගෙන ආ අතර , සාලයේ කොනක උන් නිර්මලී දුටුවේ නැතිවම දොරෙන් එළියට ගොස් තරුණිය ඉන්න කොටසට යනු නිර්මලී සැලකිල්ලෙන් බලාගෙන සිටියාය. අනුජ එතරම් කලබලයෙන්?

ඈ  සාලයේ අනෙක් පසට ගොස් , ඔවුන්ට ඉඳුරාම ආසන්නයේ , ඇතුලතින් තිබුණු කවුළුව වසා ඇති ජනේල්තිර වලට මුවා වී ඔවුන් දෙස බැලුවාය. තරුණිය හඬයි. අනුජ ඉනට අත ගසාගෙන මහා විපතකට මුහුණ දුනා සේ ඇති මුහුණකින් ඈ දෙස බලමින් සිටගෙන සිටි අතර , ඔවුන්ගේ සංවාදය නෑසුනද තරුණිය දුරකතනයේ යමක් පෙන්වමින් හඬයි.  

ඒ සමඟම ගේට්ටුව විවරවී ඇතුළු වුයේ පැරණි මොරිස් මයිනරයකි. එය වේගයෙන් පැමිණ පෝටිකෝවේ නතර කල අතර, එයින් බිමට බට හිමාල් වේගයෙන් පැමිණ අනුජ අසලින් සිටගත්තේය.

"මොකද බන් උනේ?"

"උන් කතාකරපු නම්බර්ස් ට්‍රේස් කරලා... ඒ අතරේ මගේ නම්බර් එක තියෙනවා කිව්වා."

අනුජ කියද්දී , හිමාල් එක එල්ලේ තරුණිය දෙස බැලුවේය.

"නංගි... කෝ දැන් ඒ සිම් එක?"

තරුණිය කඳුළු අතරින් හුස්ම අල්ලමින් නාසය පිසදැම්මාය.

"ඒක.. ඒක... මොරිස් අයියා ඉල්ලගත්ත"

"පරය! ඌ තමයි ඕක කලේ... මම උඹට කිව්වනේ බන් ඕකට දෙන්න ඕනේ ඉන්ජෙක්ෂන් එකක් කියල. "

හිමාල් දත්මිටි කන්නට විය. අනතුරුව තරුණිය අත තිබුණු දුරකථනය ඉල්ලාගෙන එහි ඇති පින්තුර සහ කෙටි පණිවිඩ බැලුවේ වේගයෙනි.

"මිඩියා හින්දා දැන් ටිකක් අමාරුයි. ඒත් මම දන්නවා ඕක කන්ට්‍රෝල් කරන හැටි! ලිස්ට් එකේ එම්පී අමුනුගමත් ඉන්නවා. "

"හ්ම්ම්ම්"

"බයවෙන්න එපා.. මේක දුරදිග යන්නේ නැහැ.. කොල්ලුපිටිය පොලිසියේ ඔෆිසර් තිවංක සිල්වා මේක බලන්නේ... මට පුළුවන් ඉතිරි ටික බලාගන්න... නංගි...."

අනුජ තරුණිය දෙසට හැරුණේ තීක්ෂණ ඇසෙන් ඈ දෙස බලමිනි. ඔහුගේ ඇස් වේදනාවෙන් රතුවී තිබිණ.

"මම දාපු තැනින් කොහේටවත් යන්න එපා.. කිසිම විදියකින් මොරිස්ව ආයෙමත් කන්ටැක්ට් කරන්න එපා... එහෙ ඉන්න බැරිනම්, නංගි මෙහෙ එන්න"

හිමාල් අනුජ දෙස ඔරවා සිටියේය. 

තරුණිය එකවරම පහත්වී අනුජගේ කකුල් පාමුල වැටුණාය.

"මට සමාවෙන්න සර්! මම මොරිස් අයියාව විස්වාස කළා....."

අනුජ පසුපසට අඩියක් තබා වටපිට බැලුවේ අපහසුතාවයෙන් මෙනි.

"වෙච්ච දේ උනා.. දැන් කරන්න දෙයක් නැහැ.. ඉස්සරහට වත් පොඩ්ඩක් මොලේ ඇතුව වැඩ කරන්න. රෑ වෙන්නේ නැතුව දැන් වැඩපලට යන්න"

අනුජ ඇසෙන් හිමාල්ට කියූ දේ තේරුම් ගත් ඔහු, දුරකථනය තරුණියගෙන් ගෙන ඈට යන්නට ඉඩ ලබාදුන්නේය. තරුණිය මිදුලට බට සැනින් මෙතෙක් වෙලාවක් සැඟවී සිටි තැනින් ආපසු හැරෙන්නට උත්සහ කල නිර්මලී අතින් එතැන තිබුණු අලංකාර වීදුරු බඳුනක් පෙරලී යන්නේ මහා ශබ්දයක් සමඟින් එය කෑලි වලට කඩෙන ශබ්දයෙන් නිවසම දෙදරවා යද්දීය.

ඈ පාමුල යන මග අහුරාගෙන ලෝරා දත් විලිස්සමින් නිර්මලීට බුරා පනින්නට විය. නිර්මලිට කෑ ගැසුවේ කොයි මොහොතේ හෝ ලෝරා ඈ වෙත කඩාපනිනු යයි ඇතිවූ භීතියෙනි.

නිවාස තුලින් ඇසුණු කෑගැසීමත් , ශබ්දයත් නිසා අනුජ සහ හිමාල් ගෙතුලට පැමිණියෝය. නිර්මලී දුටුමනින්ම හිමාල්ගේ ඇස තිබුනේ නලළේය.

'හම්මටසිරි! '

මුදු මුදු කොණ්ඩය ඉහලට කොට ගැටගසාගෙන, ලා නිල්පාට සැහැල්ලු කොට ගවුමකින් සැරසී උන් නිර්මලී , එදින පින්තුරයේ පෙනුණු තරම්වත් වයසක් නැත්තාක් මෙනි.

"ලාරා... මෙහෙ එන්න!"

අනුජ කියූ සැනින්ම, මදක් මෙල්ලවුනු  ලාරා , තවත් වරක් නිර්මලිට ගොරවා පසුබැස්සාය. තමන් අතින් බිඳීගිය මිල අධික විදුරු භාණ්ඩය දෙස වරක් බලා, දෝතින්ම සිට මුව වසාගෙන , මුවදෙනක මෙන් ගැහෙමින් නිර්මලී අනුජ දෙස බැලුවේ අන්ත අසරණ බැල්මකි. 

"... ඇවිදින්න එපා.. කකුල් හොලවන්න.."

අනුජට කියන්නට ලැබුනේ එපමණකි. අනිච්චානුගවම නිර්මලී වීදුරුකටු මතට අඩිය තබා අවසානය.

වහා පසෙකින් ඉදිරියට පැන්න අනුජ ඇගේ බඳෙන් අල්ලා තමන් වෙතට ඇදගත්තේය. 

"අම්මා.....!"

විදුරු කටු ඇනීමෙන් නිර්මලී මොරදුන්නාය. පොඩිනා මේ සියල්ල දැක දෑතම හිස මත තබාගෙන 'මහත්තයා...' කියා කෑගැසුවේ, ඒ වනවිට අනුජගේ කකුලේ ඇනුණු වීදුරුකටු වලින් රුධිරය ගලා යමින් තිබෙනු දැකීමෙනි.

තමන්ගේ සිරුරට වත්තන් කරගත් නිර්මලී , තරමක් දැඟලුවද ඈ විදුරු කටු තිබෙන ඉසව්වෙන් ඈතට ඔසවාගෙන ගිය අනුජ පුටුවට බර වුයේ වේදනාවෙනි.

"අඩෝ... කකුලෙන් ලේ එනවා... පොඩිනා ගිනින් බේත් දාල තියෙන පෙට්ටිය ගේන්න"

හිමාල් අනුජගේ උරහිසෙන් අල්ලාගෙන කියද්දී, ඒ අසලම අනෙක් පුටුවේ නිර්මලී සිය යටිපතුලේ විදුරු කටුව ඇද ඉවත්කොට 'ඌ....' ගාමින් කට උල් කළාය.

"මොනවා කරනවද බබා....? බලන්න එපා කියද්දිනේ විදුරු කටු උඩට කකුල තිබ්බේ"

නිර්මලී වෙව්ලන්නට වුවාය. ඈ අතින් බිඳුනේ මිල අධික භාණ්ඩයකි. නිවසේ වතුර බොන වීදුරුවක් අත්වරදිමින් බිඳීම නිසා සිට කුඩම්මා ඈ එතනම බිම පෙරලා විදුරු කටු ඇනෙදී පහරදුන් හරි ඈට සිහියට නැගුණි.

"අනේ.... මම.. මම හිතල නෙවෙයි බින්දේ.... "

ඈට මහා හඬින් හැඩුනි. හිමාල්ට සිනා නැගුනු අතර අනුජ එකවරම ඇගේ වමතේ මැණික් කටුවෙන් අල්ලා ගත්තේය.

"පිස්සුද...? මම කිව්වේ ඕනමන්ට් එක ගැන නෙවෙයි!"

නිර්මලී ඒ ග්‍රහණයෙන් කඳුළු හිරවී භ්‍රන්තව ගියාය. පොඩිනා බෙහෙත් පෙට්ටිය ගෙනාවේ ඒ අතරය. හිමාල් ඇසින් ඉඟි කරමින් කියන්නට තතනන දේ, දෙස ඔරවමින් පිළිතුරු දුන් අනුජ, ඇගේ කකුලේ තුවාලය පිරිසිඳුකොට බෙහෙත් දැම්මේය. 

ඇගේ බටර් පාට නිරාවරිත කකුල් ඉදිරියෙන් හිමාල් පන්නා දැමු අනුජ අසලින් ලෝරා හඬමින් සිටියාය.  ඔහුගේ විලුඹේ තැනක කැපුමක් තිබුණු  උවද, එය එතරම් දරුණු නොවිය.

නිර්මලිට මහා වරදකාරී හැඟීමක් දැනුනද, සිත තුල තිබුණු චකිතය නිසා කිසිවක් පැහැදිලිව කල්පනාවට පැමිණියේ නැත. මොහොතකට පෙර ඇගේ සවන් වැකුණු කාරනා නිසා ඈ සිටියේ අවසිහියෙනි. ඊටත් දිලීප හෙට පැමිණේ!

"මචන්... අද පාටියට එන්න වෙන්නේ නෑ... කකුලත් කැපුනා."

"ඔන්න ඔන්න....!"

"පොඩ්ඩක් යමු ඔෆිස් කාමරේට.. මම එන්නම්..."

හිමාල් එය අසා කට කොනකින් සිනාසෙමින් , එක වරක් නිර්මලී දෙස බැල්මක් යන්තමට හෙලා ආපසු හැරුනේය. තමන් දෙස සරදම් සිනාවකින් බලන අනුජගේ යහළුවා නිර්මලිට ගෙනාවේ අපහසුතාවයකි.

"පිස්සු කෙල්ල! ඔහොම රෙක්ලස් විදියට වැඩකරනවද?"

අනුජ ඔරවා බැලුවේ  බොරුවට බව නිර්මලිට ඒ මොහොතේම වැටහුණි. කුමක් හෝ අමුත්තක් සිතතුළ පෙරලි කරන්නාක් මෙන් ඈට දැනේ. ඈ වාන්දමන ඒ සිතුවිලි වල වේල්ල තවත් ශක්තිමත්ව තැනුවාය.

".. ර්....රේක්.. කියන්නේ මොකක්ද?"

ඒ පැණයෙන් ඈ තවමත් සිටින්නේ දහසය වියේ බව සිහිවී අනුජට සිනාවක් නැගුණි.

"රෙක්ලස්... රේ... ක්.... ල... ස්... ඒ කියන්නේ අවදානම් වැඩ..."

අනුජ ඈ දෙස හිස හරවා යොමුකළ බැල්ම ඇගේ පපුව මැද්දෙන් ඇනී , අනෙක්පසින් පිට මැද මතුවූ පිහිපාරක් යයි නිර්මලිට දැනුනි.

"... ආයේ... ඔහොම කලබල වෙන්න එපා... හොඳද....?"

නිර්මලී හිස දෙපසට වැනුවේ සහෝදරයෙක්ගෙන් අවවාදයක් අසන කුඩා දැරියක පරිද්දෙනි.

ඒ ක්ෂණයෙන් හිස මත අත තබා හිස අතගෑ අනුජ අසුනෙන් නැගිට කාර්යාලිය කාමරය දෙසට ඇවිද ගියේ කොර ගසමිනි.

කැඩුණු විදුරු කැබලි අතුගාමින් උන් පොඩිනා නිර්මලී දෙස බැලුවේ තරවටුවට මෙනි. නමුත් නිර්මලී සිටියේ , දෙබස් අතරින් තමන්ට ඇසුණු කොටස ගලපමින් කතාවක් ගොතන්නට උත්සහ කරමිනි.

------------------------------------ මතු සම්බන්ධයි --------------------------------

9 comments:

  1. Replies
    1. ස්තුතියි...... බනිද මන්ද පස්සේ :D

      Delete
  2. මරු... තාම මොනවත් කියන්න කල් වැඩි. ලියමු. ඉක්මනට කොටස් ලියල දාමු.. 😃 ජය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.තාම කතාවේ අරටුවට ආවේ නැහැ.. මේ තාම පොත්ත හරිය

      Delete
  3. හ්ම්ම්! හ්ම්ම්!! දැන් නම් පොටකට එනවා වගේ! බලමු බලමු ! අපිත් ඉන්නේ මේ වැයික්කියේ නේ!?

    ReplyDelete
    Replies
    1. පොට පෙනෙයි
      මට බනියි
      මල් පිපෙයි

      Delete
    2. බලා ගෙනම ඉඳලා
      බෙල්ලේ පොට යයි!?

      Delete
  4. 3 ත් හරි.. ඔන්න දැන් කතාවට ග්ලු වෙලා ඉන්නේ..

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...