Saturday, September 25, 2021

268: උන්මාද චිත්‍රාදෝ මා 02

 


අඳුර සමඟ සිතට කාන්දු වන භයානක සිතුවිල්ල නිර්මලීට වලක්වාගත නොහැකි තරමකි. විදුලිය නැති බිත්ති හතරේ , කුඩා කවුළුවකින් පෙරී එන ආලෝකය හා ගෙවුණු අනන්ත අඳුරු දිනයන් ඈට නුහුරු නොවුනද, අද මේ අඳුර සමඟ දැනෙන භීතිය වෙනස්ම එකකි.

අවුරුදු දහසයක කෙල්ලක වූ ඈට , අනුජ කොයි මොහොතේ හෝ තමන් වෙත කඩාපැන , ඔහුගේ නීතිමය අයිතිය කියාපානු බව සිතින් ඉවත් කරගත නොහැකිය. 

ඇගේ මතකය අවදිවුයේ නිරායාසයෙනි.

වයස අවුරුදු පහේදී එකවරම නිවසින් නැතිව ගිය, තවමත් සිතේ අඳුරු ජායාවක් ලෙස මතකයේ ඇති සිය මව නැතිව ගෙවුනේ දවස් කීපයක් පමණකි. එතැනට අහසින් වැටුණු කුඩම්මා කවුරුන්දැයි ඈට වටහාගන්නට තරම් වයසක් නොමැති වුවද , කාමරයක් නොමැති බිත්ති හතර තුලදී අවුරුදු පහට නොතේරුන සිදුවීම් සියැසින් දැකීම නිර්මලීට තේරෙන්නට ගත්තේ අවුරුද්දකින් පමණය. 

ඉන් පසුව ගෙවුණු අවුරුදු ගණනාව තුල, දෙවරක් තාත්තා විසින් කුඩම්මා එලවා දැමුනද, නැවතත් සතියක් යන්නට මත්තෙන් ගෙතුළ ඇගේ මුකුළුව නිර්මලී අසා ඇත.

'ඔන්න ගෑනු! උඹේ අම්මන්ඩි වගේද බලපන් හරි දහිරියවන්ත ගෑනි...  විජේ ඔහොමම ගෙට වෙලා ඉන්නෙත් මේකි හින්ද.. නැතිනම් ඌ ගිහින් ඔලුව හැරුන අතේ.. බොලෑ අම්ම දන්නේ වදන්න විතරයි '

කුඩම්මා ගැන ඇගේ අම්මා දුන් චරිත සහතිකය නිර්මලිට මතකය. පිරිමින් කරනා සියල්ල උසුලාගෙන යායුත්තේ ගැහැනුන් බව ඈ දැනසිටියාය. 

එනයින් බලන කල, ඔවුන්ගේ වදනින් තමා තේ උඩිච්චියක්ව අනුජව දැපනේ දමාගත්තා වන්නට පුළුවන. දිලීප එලෙස සිතනු ඇතැයි සිතන විටදීද නිර්මලී බියෙන් වෙව්ලා ගියාය. ඔහුට කිසි දිනෙක තමන්ගේ වානිජ්‍ය දිනයේ ස්තුති කතාව ගැන නොකියන්නට ඇය තීරණය කලේ එබැවිනි. 

මේ විපතට හේතුව එයම නොවේද?

"පුංචි නෝනා..."

පොඩිනා ගේ කටහඬට ඇතිවූ නොමනාපය නොපෙන්වා නිර්මලී බැල්කනියේ සිට හිස හරවා බැලුවාය.

"... රෑ කෑමත් හැදුවා... නෝනා ඇවිත් මහත්තයට බෙදල දෙන්න කිව්වා.. මම එහෙනම් යනවා"

"නැන්ද.. කොහෙද යන්නේ?"

මේ ගැහැණිය සවසට අතුරුදහන්ව උදේට මතුවන්නේ කොහින්දැයි නිර්මලී සිටියේ කුතුහලයෙනි.

"ඇයි නෝනා... මම ඉන්නේ අර චුටි ගෙදර.. වැඩකාරයින්ට ඉන්නනෙ ඒක ලොකු නෝනා හැදුවේ.. මමයි විජේසිරි පුතයි රෑට ඉන්නේ එහෙ"

නිර්මලී හැඟීමක් නොමැතිව බලා සිටියාය.

"මේ ගෙදර වෙන කවුද පොඩිනා ඉන්නේ?"

පොඩිනා සිනාසුනේ මහා හපන්කමක් කරන්නට සැරසෙන්නාක් මෙනි. ඒ තරුණිය මේ කිසිවක් නොදැන පොඩි මහත්තයා රැගෙන ආවේ හිතුවක්කාරකමට බව ඈ අනුමාන කලද, පවුලේ ඈ ආදරේ වැඩිම ස්වාමියා වූ අනුජ සංදිරිගමට වචනයක් කියන්නට ඈගේ දිව නොනැමේ.

"මේ අපේ පොඩි මහත්තය විතරයි මෙහෙ ඉන්නේ. අනිත් ඔක්කොම ඉන්නේ , ඒරොප්පේ...  ඔක්කොම බලාකියාගෙන මම තමයි මෙහෙ උන්නේ. ලොකු නෝනා ආන්තරා උනාට පස්සේ පොඩි මහත්තයා ආව ගමන් තමයි මේ... ආයේ ගියේ නැහැ නොවැ... රේසිකා නෝනා.."

පොඩිනාට කියන්නට ලැබුනේ එපමණකි, පියගැට නැගගෙන අනුජ පැමිණියේ දුරකතනයේ ඇමතුමක් සමඟිනි. නිර්මලී දෙස බලා සිටියදීම ඔහුගේ වත ආලෝකමත් වුවද එලෙසින්ම බැල්කනිය අසළ කාමරයට වැදුනේ පොඩිනා දෙසවත් නොබලාය.

පොඩිනා කතාව අතරමැද නතරකොට පහලට ගියේ බියෙන් මෙනි. නිර්මලීට වැටහුනේ අනුජ පිවිසියේ තමන්ට යාබද කාමරයට බවයි. ඈ හෙමින් හෙමින් ඇඟිලි තුඩු වලින් ගොස් කාමරයේ දොරටුව අසලට කන යොමාගෙන උන්නාය.

"... පිස්සුද බන්.... ඌ මගෙන් ගනියි කෙහෙල්මලක්! මට ඌ මහා ලොක්කෙක් නෙවෙයි"

"... ඔහොම දවස් දෙක තුනක් උන්නාවේ.. මගේ ප්ලෑන් එක මම උඹට කිව්වේ.. ඒ ඔක්කොම මම ලැස්ති කරලා තියෙන්නේ... පිස්සුද බන්?"

".... උඹ කටක් ඇරලා තිබ්බොත් මම උඹව මරනවා..."

අනුජගේ හඬේ මුලදී  තිබුණු සැරපරුෂ ගතිය පසුව නොමැති නිසා ඔහුගේ කතාව යහළුවෙකු සමඟ වන්නට ඇති බව නිර්මලී අනුමාන කළාය.

'ප්ලෑන් ?' මොනාද ප්ලෑන් ?? නිර්මලිට දැනුනේ බියකි. උගන්වන්නට කියා ගෙනවිත් අවසානයේ ගණිකාවක් වූ තමන්ට වඩා වසර දෙකක් වැඩිමල් උසස්පෙළ පන්තියේ චමරි සිහියට නැගුනු නිර්මලී, මේ උගුලෙන් ගැලවෙන්නට ඉක්මනින් ක්‍රියාත්මක වන්නට සිතුවාය.

පොඩිනා සිටින්නේ වෙනත් නිවසක නම් මේ වනවිට දුරකථනය නිදහස්ය!

වහා පහල මාලයට දුවගිය නිර්මලී , සැනින් ස්ථාවර දුරකථනය තබා තිබුණු තැනට ගොස් මහත් වේගයෙන් දිලිපගේ අංකය එබුවේ දෙවැනි වතාවටය. කලබලය කෙතරම්ද යත්,  පළමු වතාවේ එය  වැරදි ගියේය.

"දිලීප!"

"නිමා කෙල්ල! කොහෙද බන් උඹ ඉන්නේ?"

"අනේ.. මම දන්නේ නැහැ දිලීප.. මම දන්නේ නැහැ කොහෙද කියල.. අනේ දිලීප මාව ගෙනියන්න මෙතැනින්.."

නිර්මලී හැඩුම වාවා ගනිමින් පැවසුවේ පියගැට බලමිනි. 

"හරි හරි.. දැන් කලබල වෙන්නේ නැතුව මට ආයේ හෙට කෝල් එකක් දෙන්ඩ... උඹේ අප්පා කිව්වේ උඹව කොළඹ ගෙදරක වැඩට නැවැත්තුව කියල. "

නිර්මලිට කියන්නට දෙයක් නොමැතිව පපුව සිරවී ගියේය.

".... අන්න ඌ ඊයේ වීල් එකක් අරගෙන ආව! මෙහෙත් නෙවෙයි අද හයර් දුවන්නේ හන්දියේ... අර චලෝ සුමනේගේ පොට් එකේ"

තාත්තාගේ වග නිර්මලී නොදන්නවා නොවේ. මෙතරම් සල්ලිකාර මිනිසෙකුට තමා ලොකු මුදලකට විකුණන්නට ඇත. පපුවේ පෙදෙසක් අප්‍රාණිකව යන්නා සේ දැනුනි. ඒ අසලම ඈ දුටුවේ දුරකථන බිලකි.

".. දිලීප.. මම ඉන්නේ... බත්... තර... මුල්... , ඔව් එහෙම වගේ... අනේ මට කියෝගන්න බෑ ඉංග්‍රීසියෙන් එඩ්රස් එක තියෙන්නේ... අනේ දිලීප.."

"ඈ.. බත්තරමුල්ලද? හම්මටසිරි... උඹ ඉන්නේ කොළඹ ද?"

"අනේ මම දන්නේ නැහැ දිලීප , අනේ ඉක්මනට මාව ගෙනියන්න"

නිර්මලී බැගෑපත් වුයේ වැඩිදුර  විස්තර ඔහුට කියන්නට නොහැකි නිසාය.

"... මෙහෙ මිනිහෙක් ඉන්නවා.. මට බයයි.... ඒ මිනිහා සල්ලිකාරයෙක්... අනේ මට බයයි"

"මිනිහෙක්? උඹ ඒ මිනිහත් එක්ක බුදියගත්තද?"

නිර්මලිගේ සිත මහා හඬින් හඬන්නට විය. ඔහුට අසන්නට වෙනත් ප්‍රශ්නයක් තිබුනේම නැතිද?

"අනේ නැහැ දෙවියනේ... මාව ගෙනියන්නකෝ... "

නිර්මලී පැටලෙමින් හැකි පමණින් බිල්පතේ තිබුණු ලිපිනය දිලිපට කියද්දීම පියගැට පෙළ මුදුනෙන් අසුන අඩි ශබ්දයට ගැස්සී වහා ඇමතුම විසන්ධි කළාය.

දිලීප නැවත අමතනු ඇතැයි සිතට නැගුනු බිය නිසා ඈ වෙව්ලමිනි. ඔහුගේ දුරකතනයේ ගිණුමේ ශේෂය ශුන්‍ය බවක් ඈ දන්නේ නැත.

වහා දුරකථනය තිබුණු තැනින් මෑත් වූ නිර්මලී, අසල තිබුණු පොතක් අතට ගත්තාය. එහි කවරය බලන්නටත් පෙරම පියගැට නිමකළ අනුජ නිර්මලී දෙස නොබලා මගහරිමින් මෙන් පැන්ට්‍රිය දෙසට ගියේ බිමට බරවූ නෙතිනි.

නිර්මලී කැළඹීම  කරගන්නට උත්සහ කරමින් සහ හොරගල් අහුලමින් සාලයේ කිරිපාටින් බබලන සෝෆාව වෙත ඇදුණාය. ඇගේ අත රැඳුන පොත ඈ දුටුවේ ඒ මොහොතේය. 

'ගෝරා'

නිර්මලීට තමන් සිටිනා තැන මතකයක්  නැතුවාක් මෙන් මහා සන්තෝසයක් දැනුනි. දෑස විසල්ව මුව විවරව ගොස් වහ වහා ඈ පොතේ පිටු හරහා පෙරලා යමින් ගොස් මුහුණට ලංකොට එය සිම්බේ, අලුත් පොතක ආශ්වාදය විඳගන්නට මෙනි. අනුජ ඈත සිට බලාසිටිනවා නොදුටු ඈ පිස්සුවෙන් මෙන් හිටගෙනම පොත දිගහැරියාය. මේ හිරිමල් තරුණියගේ මේ ලාමක වැඩ අනුජ සිනාගන්වයි.

'පොඩි කෙල්ලෙක්' ඔහුගේ සිත නිතර කියයි.

"ඔය පොත දන්නවද?"

බලාසිටිය නොහැකි තැන අනුජ අසද්දී යුවතිය පොතෙන් දාස නොගෙනම හිස ඉහල පහල සෙලවුයේ 'ඔව්' කියන්නට මෙනි.

"... මට හිතුන පොත් දිහා බලාගෙන හිටිය විදියට. තව පොත් ඇති කාමරේ තියෙන බුක් ශෙල්ෆ් එකේ. අරගෙන කියවන්න. යතුර ඇත්තේ යතුරු කටේමයි "

නිර්මලී එවර හිස ඔසවා බැලුවාය.

"ඇත්තටම? මේක නම් අලුත්ම පොතක්"

අනුජ දුරකතනයේ යමක් ඔබමින් සිටියේ ඇයට ඈතිනි.

"කමුද? බඩගිනි"

අනුජ කෙලින්ම නිර්මලිගේ මුහුණ දෙස නොබලා පොතද සමඟින් තමන් පසුකරගෙන ගොස් කෑම පිඟාන ගන්නා නිර්මලිගේ රුව වින්දේ සිත තුල නොසන්සුන් බවකි. දුරකථන ඇමතුමෙන් පසුව ඔහු සෑහෙන වෙලාවක් සිය සිත සමඟ පොර බදමින් ගතකලේ සන්සුන්ව සිටීමටය.

නිර්මලී අනුජගේ පිඟාන ගෙන , කෑම මේසයේ වැසුණු විනිවිද පෙනෙන සුදුපාට වැස්ම ඉවත් කළාය. ඈගේ ඇස තිබුනේ නලළේය. මගුල් ගෙදරකදී මිස ඈ කවදාවත් සොසේජස් ආහාරයට ගෙන නොමැත. පාන් සමඟ පාට පාටින් සරසන ලද එලවළුද, තම්බපු බිත්තරයක් හා සොසේජස් සමඟ කුඩා සැලඩ් එකක් මේසය මත විය.

"නිර්මලී රෑට කන්නේ බත්ද?"

ඒ පැනයට නිර්මලිගේ මුහුණට නැගුනේ සිනාවකි.

"මහත්තය විහිළු කරනවා"

"ඔන්න ආයෙත් මහත්තයලු... ! මට අනුජ කියන්න... නැතිනම්.. "

අනුජ හිස් එහෙට මෙහෙට වනමින් කිව්වේය.

"අපි ගොඩක් දවසට රෑට කන්නේ නැහැ ම-හ.."

එවර එකවරම අනුජට නිර්මලිගේ ඇස දෙස එක එල්ලේ බැලුණි.

"... කන්නේ නැහැ නෙවෙයි.. කන්න දෙයක් නැහැ"

අනුජට නිර්මලී වැළඳ ගන්නට අවශ්‍ය වුවද, ඈ බියවෙයි කියා සිතා තමන්ව මහත් ආවේගයෙන් පාලනය කරගත්තේය. නිර්මලී අහිංසකව සිනාසුණාය. එය තවත් පාරවන කාරනාවකි.

".. අපිට පුරුදුයි.... තාත්තල  රෑට එන්නේ හතර ගාතෙන්...අපි හවස තියෙන දෙයක් රත් කරලා කනවා, නැතිනම් එයා එන්න කලින් නිදාගන්නවා"

නිර්මලිට තමන් ගැනම පුදුම සිතුනි. අනුජ සමඟ එවැන්නක් කියන්නට ඈ තුන් හිතකින්වත් හිතාගෙන සිටියේ නැත. තමන් අනිච්චානුගව මේ පවසන්නේ ඔහුගේ අනුකම්පාව බලාගෙනද?

"නිර්මලී...."

අනුජගේ හඬ කුමක් හෝ ඈතක සිට ඇසෙනවාක් මෙන් නිර්මලිට දැනුනි. ඒ ඇස්වල බැල්ම සිය ආත්මය සිදුරු කරගෙන යන්නාක් මෙනි. ඈ බිම බලාගත්තාය. මේ නපුරු රාක්ෂයාට රැවටිය යුතු නොවේ.

".... ඔයාට කැමති කාලයක් මෙහෙ ඉන්න.. ඔයා ඉගෙන ගන්න ඕනේ ළමයෙක්... මම ඔක්කොම වියදම් දරන්නම්.. කැමති කාලයක, රස්සාවක් කරනකල්ම මෙහෙ ඉන්න"

හදවතේ බිත්තියක් පෙරන්ගානවා සේ නිර්මලී අසා සිටියාය. මේ මොන විකාරයක්ද? මොහු තමන්ව තමන්ගේ පියාගෙන් මිලටගෙන නොවේද? ඈට නැගුනේ ආවේගයකි.

 තමන් මේ වැටී සිටින අපායේ දිග පළලක් ඈ නොදනී. එය දැනගන්නට ඈට ඕනා  නැත. තාත්තාට එපාවූ ඈ ,දිලීප සමඟ යන්නට සිත හදාගෙනය. 

--------------------------------------------------------

පෙරදින සිදුවූ දේ නිසා නිර්මලී සිටියේ චකිතයෙනි. දොර ඇතුලතින් වසා තිබුනද අනුජ තමාගේ කාමරයට එන බව සිහියට නැගුනද, ඔහුගෙන් අනතුරක් නැති බවක් යටි සිත ඉඳහිට කියයි.

'ඒ උනාට මම මෙහෙන් පැනලා යන්න ඕනේ'

යුවතිය නොදැනුවත්වම සිත තුල අරගලයක් කරමින් ඇඟ දොවමින් සිට රාත්‍රී ඇඳුමට මාරු වුවාය. ඉඳහිට මිස ඈ රාත්‍රියට කියා වෙනම ඇඳුමක් ඇඳ නැත, ඇන්දත් එය කපු චීත්ත ඇඳුමකි. ඔහු මිලටගෙන තිබුනේ සැටින් රෙද්දෙන් කල සනීප ඇඳුමකි. 

කිසිදා ඈ වායුසමිකරණයක් ක්‍රියාත්මක කර තිබුනේ නැත. උණුවතුරෙන් ඇඟ සෝදාගන්නට තබා මෙවන් නාන කාමරයකට පිවිස නැත. මෙය එක අතකට සිහිනයක් මෙනි. නමුත් නිර්මලී මේ වැඩිමහළු පිරිමියාට බියය. ඊටත් ඈට පෙම්වතෙක් සිටී. කනට කරාඹුවක් දමා, බෙල්ලේ මාල දමා සිටින දිලීපට මොහු තරම් වයසක් නැත. එබැවින් මෙයින් පලා යාමක් හැරුණුවිට , කොතරම් සැපසම්පත් තිබුනද මෙහි රැඳීම ඈට සිතෙන්නේ නැත.

දීලිපට පණිවිඩය දුන් නිසා ඔහු හෙටම මෙහි එනු ඇති බව නිර්මලී සිතුවාය. මිනිසුන් නොයෙකුත් කටකතා කිව්වද, දිලීප එතරම් නරක අයෙකු නොවේ. දෙදෙනාට කොහේ හෝ පැනගොස් ජිවත් වන්නට හැකිය.

උදෑසන පන්තියේ ඉංග්‍රීසි ගුරුවරිය සිහිවී නිර්මලිගේ මුවට නැගුනේ සිනාවකි.

"දුවගේ අකුරු හරි පිලිවෙලයිනේ...  "

"පුතා මම හිතනවට වඩා දක්ෂයි"

 "මිස්ටර් සංදිරිගම මගෙත් එක්ක රණ්ඩු උනා ඔයාට මේ ක්ලාස් එක ගන්න.. හි හි... ඇහුනනේ අර කෝඩිනෙට් කරන ගර්ල්ට බැනපු තරමක්... එයාගේ යාලුවාගේ අක්කගේ දුවටත් මම තමයි ටියුෂන් දෙන්නේ.. ඒ ළමය කියන කිසි දෙයක් අහගෙන ඉන්නේ නෑනේ"

වරින්වර එසේ කියූ ගුරුතුමියගේ වියපත් වත මත රැඳුනේ මවකගේ මෙන් හිතවත් සිනාවකි. නිර්මලීට ලොබ සිතුනි. 

'මම කොච්චර ආසාවෙන්ද හිටියේ ඉංග්‍රීසි ඉගෙනගන්න. එක අතකට මම වගේ කෙනෙක්ට මොකටද ඉංග්‍රීසි?'

නිර්මලී සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත්තාය. දිලීප එනතුරු වෙනසක් නොපෙන්වා සිටිනට ඈ අදිටන් කලේ අනුජ ඈ වෙනුවෙන් කරන මේ සියල්ලම ඇගේ යටි සිතේ යම් යම් තැන් ස්පර්ශ කරන බැවින් වන්නට ඇත. 

තමන් කෙතරම් ඉගෙනගන්නට කැමතිදැයි ඈ දත්තා නමුදු, එය ඈ වටා සිටින කිසිවකුට මෙතෙක් කාලයක් අදාළ වුයේ නැත. තාත්තාට තමන් අමතර කටකි, කුඩාම්මාට අනුව ඈ තේ උඩිච්චියෙකි. පාසලේ උන් ගුරුවරුන් අතුරින් කිහිප දෙනෙකු ඇරුනුවිට සියල්ලන්ම ඈ විශේෂ කොට සලකන්නට උත්සුක නොවුයේ ඔවුන් කියන දුරක් යන්නට තනි තමන්ට නොහැකි බව කියමිනි.

"ඔය කොමස් කරලා මොනවා කරන්නද අනේ.... කරනවා නම් කරන්න ඕනේ සයන්ස්.. කොමස් කරලා පාරවත් අතුගාන්න හම්බෙන එකක් නැහැ කියලා අපේ තාත්ත ඊයෙත් කිව්වා"

තමන්ගේ පාසලින් ඉවත්ව නගරයේ පාසලකට ගොස් උසස්පෙළට විද්‍යා අංශයෙන් කිරීමට යන බවට පුරසාරම් දෙඩූ , හන්දියේ සිල්ලර කඩේ මුදලාලිගේ දුව ඈට සිහිවිය. 

මේ සියල්ල නිසා තම ඉගෙනීමේ සිහිනය නොපෙනන ඈතකට විසිවී ගියා නොවේද? දවසට වේලක් නොකා සිටියද ඈ පාසල් යාම නතර කලේ නැත. සමහර වසරවල් වලදී ඈ ලියන්නට ගත්තේ කලින් අවුරුද්දේ පොතපතය. ඉඳහිට දිනයක කවුරු හෝ පරිත්‍යාගශීලි සංවිධානයක් හෝ පුද්ගලයෙකු විසින් පොත් , ලිපිද්‍රව්‍ය ලබා දුන්නද ඒවා සැමදාම ඇත්තේ නැත. 

සමහර දිනවලදී තමන් පසුවදා පාසල් යන්නේ රෑ එලි වෙනකල් ගේ පසුපස තිබෙන පඩියේ රාත්‍රිය ගතකර බව සිහිවී නිර්මලීට තමන් ගැනම අනුකම්පාවක් ඇතිවිය. එසේ වන්නේ කුඩම්මා , තාත්තා නොමැති වෙලාවල් වලදී කෝප ගත්විටය. 

පාන්දර පහ වනවිට කුඩම්මා වැසිකිලියට යන්නට දොර හරිනවිට නිවසට එන නිර්මලී වතුර උගුරක් හෝ නොමැතිව එලෙසින්ම ලක ලැහැස්ති වී පාසලට යන්නීය. තමන් මෙතරම්ම ඉගෙනගන්නට කැමති, නිවසින් බැහැරව සිටීමට ඇති කැමැත්ත නිසාදැයි  හැවිරිදි නිර්මලී හරිහැටි දැනගෙන සිටියේ නැත. 

සිතුවිලි අතරේ සැරිසරමින් සිටි නිර්මලී නින්දට වැටුණු නිර්මලී සුපුරුදු පරිදි නැවත ඇහැරෙන්නේ , පෙරදින මෙන්ම මහා රාත්‍රියේ පොත් රාක්කය අසල සිටින අනුජ නිසාය. එදිනද ඈ නින්දේ සිටිනවා සේ නොසොල්මන්ව සිටියේය. 

පෙරදින මෙන්ම අනුජ හඬක් නොනැගෙන පරිද්දෙන් සෙමෙන් නිර්මලී වෙත ඇවිද එද්දී කුස තුලින් මහා ගින්නක් සේ භයානක බවක් දැනුනද, නිර්මලී නිසොල්මනේ උන්නාය. එකවරම නිර්මලිට සිහිවුයේ තමන්ගේ ඇඳුම් කොයි ලෙසද කියාය. නමුත් සෙලවෙන්නට නොහැකිය. අඳුරට හුරුවූ දෙනෙතින් නිර්මලී දුටුවේ අනුජ බලා සිටින්නේ තමා දෙසම බවය. ඈ දෑස තදින් පියා ගත්තේ බියට ශරීරයම සලිතව යද්දීය.

අඩ අඳුරේ නිර්මලී වෙතට ඇවිද ආ අනුජ, ඈගේ ඇඳේ  හිස පැත්තට යාබදවම තිබුණු කණ්නාඩි මේසයේ පුටුවේ හිඳගත්තේ ඇගේ නිරාවරිත සිරුර , ඇඳ ඇතිරිල්ලෙන් වසමිනි.

නමුත්, කොට්ටය තුලට ගිලුණු ඇත්දළ පැහැ මුහුණේ , පිරුණු කම්මුල් වලින් දෑස ඉවතට ගන්නට ඔහු අපොහොසත්ව ගියේය. දුටු පළමු දිනයේම ඒ නල දතත්, පිරුණු කම්මුල් දෙකත් හිතේ තැන්පත් වූ අයුරු පුදුමාකාරය. පිරුණු කම්මුල් ඇති යුවතියන් මීටපෙර දැක නැතුවාද? 

'අපෝ උඹ දන්නවා කෙල්ලෝ ගැන.. නැතිනම් අර ලාම්පුතෙල් කරත්තේ පස්සෙන් ඔහොම ඉන්නවද?'

'ලස්සන නෙවෙයි බන්... '

තමන් දුන්නේ ඒ පිළිතුරයි.

'ඔව්... ලස්සන නෙවෙයි තමයි... උඹ ඉතින් මම දන්නවනේ මොනාද බැලුව කියලා.. මහා ලොකු ටික් ටෝක් රැජිනනේ උඹේ '

අනුජගේ සිත රිදුනේ නැතිවා කියුවේ නම් එය මුසාවකි. ඒ සිද්ධියෙන් පසුව තමන් කෙතරම් කඩාගෙන වැටුනාද කියා දන්නේ හිමාල් සහ ඇගේ සොයුරිය පමණි.

නිදා සිටින නිර්මලිගේ රුව දෙස බලා උන් අනුජ දෑස නොපියා සිටියේ වාත්තු කලාක් මෙන් ඇති කොපුල් දෙසයි. හිතුවක්කාර සිත සියල්ල අභිබවා ගොස්, අනුජ ඉතා මෘදුව ඇගේ ඉහලට නිරාවරිත කොපුල යන්තමට අතතබා බැලුවේය. එක අවුරුදු දහ අටක තරුණයෙකුගේ සිතක් මිස , ඔහුගේ සැබෑ වයසේ හැසිරීමක් නොවේ.

'පරෙස්සම් වෙයන් බුරුව.. මේකිට තාම දාසයයි'

ක්ෂණයෙන් හිමාල්ගේ කටහඬ සවන් අසල ඇසී , අත ආපසු ඇදුනි. 

අනුජ ඒ සැනින්  තමන්  අසලින් අතුරුදහන් වනු දැනුනු නිර්මලී , ඉහළට ගත් හුස්ම පහළට ගත්තේ සැනසීමෙනි. මොහු අද කොපුලෙන් ඇල්ලු බව දැනුනු මොහොතේ , දැනුනු මෘදු උණුසුම පරයා සර්පයෙකු ගෑවුනා සේ දැනුනු නිර්මලී ඔහු ගියා යයි දැනුනු  පළමු මොහොතේම නාන කාමරයට වැද කම්මුල සෝදා හරියේ දෙතුන් වරක් සබන් යෙදීමෙන් පසුවය.


පසුදා උදෑසන කිසිවක් නොවූ අයුරින් අනුජ පහල මාලයේ , කා සමග හෝ කතාවක සිටින බව , පියගැට අසලට ආ නිර්මලී දුටුවාය. පැමිණ තිබුණු මිනිසා අනුජගේ වටපිටාවට කොහෙත්ම ගැලපීමක් නොමැති , කාල වර්ණ රස්තියාදුකාර පෙනුමක් ගත් නිසාත් , කතාබහ කෙරනු අඩු හඬ නිසාත් නිර්මලිගේ සිත කුතුහලයෙන් පිරුණි.

".. යමු අපි සමර් හට් එකට... "

"... නෑ ඉතින් මහත්තය කෙල්ල ඉන්නේ මෙහෙ නෙවෙයි කිව්වට.... හෙහ් හෙහ්.... ...( අපැහැදිලි වචන) මම එහෙම ඉල්ලුවේ නෑනේ.... ( අපැහැදිලි වචන ) අපිටත් ඉතින්"

"හරි මොරිස්.. මම දැන් එකපාරක් කිව්වනේ.. යමු අපි සමර් හට් එකට"

අනුජගේ කෝපවත් හඬට තරමකට මෙල්ලවූ මොරිස් , පිටතට ගිය අනුජ පසුපස ගියේය.

'මොරිස්! ඒ තමයි අර මනුස්සයා.. ඕකට මගේ සම්බන්දයක් තියෙනවා'

 ඒ ක්ෂණයෙන් ඉහල මාලයට දුවගිය නිර්මලී වහා සිය කාමරයේ බැල්කනියට පිවිසියද එහි සිට විසල් උද්‍යානයේ අනුජ සහ මොරිස් සිටින තැන නොපෙනන බව දැනී , තමන්ට යාබද තිබෙන කාමරයට යන්නට සිතුවාය. එහි පිටතින් අගුල දමා තිබිණ.

"පුංචි නෝනා..................."

පොඩිනා ගේ හඬ පහලින් ඇසුනි. නිර්මලී මදක් වික්ෂිප්ත වුවාය.

"ඇයි පොඩිනා ?"

"නෝනගේ ගණන් ටීච ඇවිත්"

නිර්මලීට සිනා ගියේය. ගණන්? ආ... අනුජ අද දිනට ඇයට උසස්පෙළ පන්ති සඳහා ගිණුම්කරණය පංතියක් කතාකරගත් බව සිහියට නැගුණි. වහා පහල මාලයට යද්දී පොඩිනා ඒ වන විටත් ගුරුතුමිය පාඩම් කාමරයට යොමුකොට තිබුණාය.

පෙරදින ගෙනා අලුත්ම අලුත් පොත්පත් අතරේ සැරි සරමින් සිට ඒවා විෂයන් වලට වෙනකොට තැබුවද, එය හුදෙක් කුඩා දැරියකට සීමාවූ බොළඳ සිහිනයක් මෙන් දැනුනා මිස, මේ සැරසෙන්නේ තමන්ගේ උසස් අධ්‍යාපන ඊළඟ කඩඉමට බව එතරම් සිතුනේ නැති බව දැනුන නිර්මලී, එකවරම සිතුවේ අනුජ දෙවියෙකු මෙන් තමන්ට පිහිටවනවා නොවේද කියාය.

'පුදුම මනුස්සයෙක් තමයි'

පාඩම් කාමරයට යද්දී තලතුනා පෙනුමෙන් යුතු ගුරුතුමිය නිර්මලීගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙළුවේ තරවටුවට මෙනි.

"මිස්ටර් සංදිරිගම කිව්වේ ඔක්කොම ලෑස්තියි කියලනේ. කෝ මේ ළමයා පොත් වත් ලැස්ති කරගෙන නෑනේ. ඔහොම බැහැ ඒලෙවල් කරන්න"

නිර්මලී ඒ වචන වලින් හෙල්ලි ගියාය. පෙරදා රැගෙන ආ පොත් ආසාවෙන් උඩපනිමින් අනුජ වෙන්කර දුන් පොත් අල්මාරියේ ඇසුරු තැනින් නිර්මලී වහ වහා පොත් කිහිපයක් ගෙන විෂයන් වලට ලියු ලේබල් බලමින් ඉන් පොත් දෙකක් තෝරා ගත්තාය. ඒ වනවිට ගුරුතුමිය සිය බෑගයෙන් අවශ්‍ය දේ රැගෙන මේසය මත තබා අවසන්ව වටපිට බැලුවාය. 

ඈ ඉදිරියේ සීරුවෙන් උන් නිර්මලී දුටුවේ උපැස් යුවල යටින් තමා දෙස බලන ගුරුතුමියයි. ඈට පිටුපසින් ඇති සුදුපාට බෝඩ් එක සහ මේසය මත තිබෙන නිල්පාට මාකර් පෑන ආවේ කොයි මොහොතේද කියා ඈ දැන උන්නේ නැත.

ගුරුතුමිය එකවරම සිතුවේ සංදිරිගම මහතාට මෙතරම් පොඩි නංගි කෙනෙක් කොහෙන් ආවාද කියාය. නමුත් මුවින් නොබැන හිඳගත් ඇය කෙලින්ම තමන්ගේ නීති රෙගුලාසි කියා සිටියේ සුපුරුදු පරිදිය.

"මගෙත් එක්ක වැඩකරනවා නම් වැඩ කරන්න බලාගෙනම ඉන්න ඕනේ. මම සතියකින් දෙකකින් බලලා නැතිනම් මිස්ටර් සංදිරිගමට කියලා නතර කරනවා. මොකද මම මේ ක්ලාස් එක හින්දා තව ගෘප් ක්ලාස් එකක් නතර කළා. මට සල්ලි නෙවෙයි ඕනේ රිසල්ට්ස්! ටියුෂන් කිව්වට මේක ටියුෂන් කියලා සැහැල්ලුවට අරගෙන හිටියොත් කැම්පස් නෙවෙයි රීඩ් මාවතට වත් යනවා බොරු"

රීඩ් මාවත නොදත්තද , 'කැම්පස්' වචනය වැටහුන බැවින් නිර්මලී ඒ තරවටුවට බිය වුවාය. 

"හරි මිස්"

පන්තිය ආරම්භ වී මද වෙලාවකින් කලබලයෙන් මෙන් අනෙක්පස දොරෙන් කාමරයට පැමිණි අනුජ සිය කාර්යාල මේසයේ හිඳගෙන දිගු හුස්මක් ගත්තේය. කෝපය සහ ආවේගය විසින් ඔහුගේ මනස අවුල්කොට තිබුනද ඈතින් පෙනෙන නිර්මලී දුටු මතින්ම ඔහුගේ සිත මහත් ලොබ කමකින් පිරී ගියේය.

'මගේ චුටි කෙල්ල! මම උඹව එහෙම අනාථ වෙන්න දෙන්නේ නැහැ මැණික. උඹ දන්නේ නැහැ මේ ලෝකේ කොයිවගේද කියලවත්.. කොටින්ම උඹ මේ වෙන කිසි දෙයක් දන්නේ නැහැ. පව් උඹ!'

 ------------------------------------ මතු සම්බන්ධයි --------------------------------

9 comments:

  1. අවංකවම කියනව නං කාලෙකිං බ්ලොග් එක්ක ලියවෙන කතා බැලවෙන කාලයක් මේ..
    පට්ට.. ලියමු.. ජය

    ReplyDelete
    Replies
    1. නියමයිනේ! එන්න එන්න කියෝමු...

      Delete
  2. පළවෙනි කොටසේ දැනුනු කුතුහලය මේ කොටසේ දැනුනේ නෑ. ඒක සාමාන්‍යයි කියලා මට හිතෙන්නේ... දිගටම ලියන්න අපි දිගටම කියවනවා.... අතරින් පතර රතු පාට මල් කතාවත් යයි නේද?...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙම වෙන්න ඇති.. කොඅටසකින් කුතුහලය හදල, අනිත් එකෙන් ලිහන්න වගේ හිතුව. නැතිනම් ඉඳිආප්ප රැල් වගේය , ගෙදරින් අතරමන් කරන පූසා ගෙනිච්ච මහත්තයාට වගේය කියලා ආයේ මොකටද කතන්දර අහන්නේ...

      Delete
    2. රතුපාට මල් නේද? අනේ ඉතින් ඔන්න ඕකනේ ............... බලමු බලමු..... මේ දිනවල කන්න බොන්නවත් නිදහසක් නැහැ වැඩ

      Delete
  3. මෙහෙම හිතන්නකෝ! ඔබ හොරර් මූවි එකක් බලනවා! ඔබ එහිදී වඩාත් බියට පත්වන්නේ; චරිතය තනිව ඉන්නා විටදීද කණ්ඩායමක් සමග සිටිනා විටදීද? ඔහු හෝ ඇය තනිවන විට ඒ තනිකම හා අනාරක්ෂිත බව අපට දැනෙන එක නවතා ලන්නට බැහැ! මේ කථව කියවාගෙන යද්දීත් මෙහි ප්‍රධාන චරිතය වන කුඩා තරුණිය නැතිනම් දැරිය තනිව අනතුරක් අභියස සිටිනා විට දැනෙන බිය අමතක කර දමන්නට නොහැකියි!
    ඒ නිසාම කථාව නෝමලයිස් වෙන තුරු හරි යමන් කමෙන්ටුවක් නොලියවේවි!
    ඔබ ඒතරං සීරුවට කථාව ගොඩ නංවමින් සිටියි!

    ReplyDelete
    Replies
    1. මොකක් උනාය කිව්වා? මේ අර ඩයිවින් කරනවා කියලා සහතික එක්කම කියපු, ෆෝවිල් වලින් පමණක් හන්දියේ කඩේට යන, ගියර් වැටුනේ නැතත් රා කඩවල් ගාවදි සුක්කානම වැඩ කරන තට්ට මහත්මයද?

      ඔයාට කියන්න මට දැන් ලියන්නත් බයයිනෙ!

      Delete
    2. "කථාව නෝමලයිස් වෙන තුරු හරි යමන් කමෙන්ටුවක් නොලියවේවි!
      ඔබ ඒතරං සීරුවට කථාව ගොඩ නංවමින් සිටියි!" agreed 100%
      කමෙන්ට් නැතුව ලියන එක පරක්කුවෙයි කියල බයටම මම හැමදාම කමෙන්ට් කරනවා....... සුහදිනියේ කියවද්දි මැද හරියෙදි බලන් ඉඳලා බෙල්ලේ පොට ගියා........

      Delete
    3. ඔව් ඒක වෙන්න පුළුවන්. තාම කතාවේ පොත්ත කොටස. ඒවා නිකන්ම ජේදයකින් නොකියා ලියන්න ඕනේ කියල හිතුන ටිකක්. කමෙන්ට් නැතිනම් ලියන්න නම් ලොකුවට හිතෙන්නේ නැති එක ඇත්ත. එතකොට මට කික් එකක් එනවා, ඒකත් ඇත්ත!

      ඒ හින්දා ආවා කියෙව්වා කියලා ලියන්න අඩුම ගානේ. මම කැමතියි කුතුහලය ඉතුරු උනාද කියලා වත් දැනගන්න

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...