Wednesday, September 22, 2021

268: උන්මාද චිත්‍රාදෝ මා 01



සිදුවුයේ කුමක්දැයි සිතාගත නොහැකිව නිර්මලී හුස්මක් නාල්ලා සිහිය එළවාගන්නට උත්සහ කළාය. ඒ අතරතුර තමන් රැගත් වාහනය , තවදුරටත් තමන් දෙසවත් නොබලා විරුද්ධ දිශාවට ඇවිදයන සිය පියාගේ රුව සිය ඇස මානයෙන් කෙමෙන් කෙමෙන්  ඉවත් කරමින් යනු දුටුවේ සිහිනයෙන් මෙනි.

ඇය සිය දෑස එකවරම ගෙනගියේ රියදුරු අසුනේ සිටි මිනිසා වෙතයි. ඔහු වෙත කඩාපැන ඔහුගේ බොටුවෙන් අල්ලා තමන් දමායන ලෙසට කෑගසා තර්ජනය කරන්නට සිතද්දී, ඒ ක්ෂණයෙන් ඇගේ නෙත රැඳුනේ තමන්ගේ ජිවිතයම කාලකන්ණි කොට, ඒ කිසිවක් ගැන මෙලෝ වගක් නොමැතිව සිය දුරකතනයට එබී මොන මොනවාදෝ ඔබමින් පසුපස අසුනේ එහා කෙලවර සිටි මිනිසා වෙතයි.

ඔහු හැඳ සිටියේ මිල අධික සන්නාමයක් සහිත ඔරලෝසුවකි. ඇපල් දුරකථනය දෙස බලමින් සිටි ඔහු කිරිපාටින් බබලන කමිසයට , ප්‍රතාපවත් ටයි පටියක් පැළඳ , දිලිසෙන පිරිසිඳු මිල අධික සපත්තු පය ලාගෙන සිටියේ ඇගේ ඇස උගුල්ලවන ලෙසටය. 

නිර්මලී කැකෑරෙන කෝපයෙන් ඔහු දෙසම බලා සිටියේ හුස්ම වේගයෙන් ඉහල පහල යද්දීය.

'අනුජ විශ්වනාත් සංදිරිගම වන මම, මෙහි සිටින.... පේදුරු හේවගේ නිර්මලී චාරුකා යන අය .. මාගේ භාර්යාව වශයෙන්....'

ඔහු එසේ කියද්දී පවා නොදැනුනු කෝපයක්, ආවේගයක් විසින් නිර්මලීගේ දෑසින් පනින්නට සුදානම්ව සිටියද ඒ ගැන නොදන්නා ඇගේ අනෙක් අන්තයේ උන් මගියා අහම්බෙන් මෙන් එකවරම හිස හරවා බැලුවේය.

"මහන්සිද? අපි යන ගමන් මොනවාහරි බොමු..."

ඒ තියුණු දෑස මදකට සිහින්කොට ඔහු එලෙස කියා ඉදිරිපස උන් රියදුරා දෙසට හැරුනේය.

"... වීරසිරි... අපි අර හොටෙල් කෝපරේෂන් එකේ රෙස්ට් එක ළඟින් නතර කරමු ආප්ප කන්න"

"හරි සර්"

ඔහුගේ මෘදු හඬින් නිර්මලී වෙව්ලා ගියාය. මුහුණට එකවර අනින්නට සිතුනද ඝනකම් දෙබැම යටින් තිබුණු සිහින් ඇස්වල තිබුණු ගුප්ත හැඟීමක් නිසා භීතියක් මිස වෙන යමක් ඇගේ සිතේ ඉතිරි නොවුනි.

මීට මොහොතකට පෙර සිය අත්සන යෙදු විවාහ සහතිකයේ ඔහුගේ උපන්දිනය දැක කඩාවැටුන සිත තවමත් ආතුරය. මේ මිනිසා තමාට දෙගුණයක පමණ වයසය. ඒ වනවිට ඇගේ වයස දහසය සම්පුර්ණ කොට තිබුනේ මාස හයක් පමණකි. ක්ෂණයෙන් දුටු ඒ උපන් දිනයට හැදුනු වයස විසි නවයක් බව පෙනුන සැනින් පපුවේ කොටසක් නාය ගියේය.

"ඒ මහත්තය එහෙමටය කියල වයසක් පේන්නේ නැහැ. ඇයි බොට ඕනේ දහාටේ ගැටයෙක්ද ? අනේ මේ පැලෑන් බං යන්ඩ මගෙන් කුණුහරප අහන්නේ නැතුව!"

තාත්තාගේ ගොරනාඩුවේ අවසාන කොටස සැමදාම එලෙස වුවත් එතැන් පටන් සියල්ල නොසරුප් බව නිර්මලිට සැමදාම දන්නා කරුණකි. ඇයට හඬන්නට ඕනෑ වී නමුදු මුරණ්ඩු සිත ගල් අහුරක් සේ තරහ පුරමින් ඈ ඇතුලතින් පුළුස්සා දමමිනි.

'අනේ දිලිප්... මාව බේරගන්නකෝ'

ඇය සිතින් යැද්දේ සිය පෙම්වතාටය. ඔහු තියා මේ ගැන තමන්වත් හාංකවිස්සියක් දැන උන්නේ නැතිය. දිලිප්ගේ මුහුණ මැවි මැවී පෙනුනේ සිත ඇතුලාන්තයෙන් හඬා වැලපෙමිනි. මේ යක්ෂයා සිය ජීවිතය කාබාසිනා කරන්නට පැමිණි සංසාර සතුරෙක් නොවේදැයි සිතමින් සිය දහස්වර ශාප කළාය. හැකිතරම් ඔහුගෙන් ඈත්ව දොරට ඇලී සිටි නර්මදා සිය දෑස පිටාගෙන ආසනයේ පිටුපසට හිස හොවාගෙන සිටියේ අජීවී බෝනික්කෙකු පරිද්දෙනි.

ගමන්ගත් සැපපහසු මෝටර් රථය නතරව යත්ම යලිත් අර මෘදු හඬ ඈගේ වම පසින් ඇසුනි.

"අපි ආප්ප කාල යමු, බහින්න"

"මට එපා!"

නිර්මලී අහක බලාගෙනම පොල්ලකින් ගහන්නා සේ වියරුවෙන් කියා දැමුවාය. අනුජ ඒ හඬට එකවරම බැලුවේ ඉදිරි රියදුරු ආසනය දෙසයි. වාහනය නතරකල වීරසිරි වහා එයින් බිමට බැස්සේ ඒ බැල්ම නිසා වන්නට ඇත.

"බඩගිනි ඇතිනේ.. කමු"

"මට ඕනේ ඇති කෑමක් නෑ !"

නිර්මලිගේ හඬ සිතතුළ කැකෑරෙන වේදනාව පමණකට දක්වා සිටියේය. අනුජ මද වෙලාවක් නිර්මලී දෙස බලාසිට සිය පස දොර විවර කරගෙන බිමට බසිනු නිර්මලී ඇස කොනෙන් දුටුවද , ඇගේ බැල්ම නොවෙනස්වී ජනේලයෙන් පිටත රැඳී තිබිණ.  ආවේගයට ලය වේගයෙන් ඉහල පහල යමින් තිබිණ. ඔහුට කිසිදු බුරුලක් දෙන්නට නිර්මලිට අවශ්‍ය නොවීය.

බිමට බට අනුජ රියදුරුට යමක් පවසා ඔහුව පිටත්කොට හැරී අතර දුරකතනයේ කා සමඟ හෝ සංවාදයේ යෙදෙනු නිර්මලී දුටුවාය. ඔහු වැනි පෙනුමක් ඇති කෙනෙකු මෙතරම් නින්දිත යකෙකු යයි විස්වාස කරන්නටද නොහැකි තරමකි.  සත්‍යකි! පෙනුමෙන් මහත්මයන් සොයන්නට නොහැකිය. ඉතා පිළිවෙලට ලස්සනට හැඳ පැළඳ කුමාර වේශයෙන් පැමිණ ඇත්තේ යක්ෂයෙකි.

".. උඹ කට වහපන් ප*ට බැ*ලි! උඹට කන්න දෙන්න මට දැන් බෑ. ඉගෙනගෙන ඇයි උඹ මහා ඒජන්ත වෙන්ඩද?"

ඊයේ උදෑසන ඇසුනේ ඒ තාත්තාගේ ගෝරනාඩුවය. එය අසාගෙන පාසල් ගියේ පාසල් නිවාඩුව අවසන් දිනයේ යෙහෙලියන් සමඟ විනෝද වන්නට ඇති ආසාවට වඩා දිලිප් දැක මද වෙලාවක් හෝ ඔහුගේ තුරුලේ සිටින්නට සිතාගෙන  වුවද, හදිසි නෑදෑ ගමනක් නිසා දිලිප් එදින සවස නොඑන බව චන්දරේ අත පණිවිඩයක් එවා තිබිණ. අද දින ඔහු මුණගැසෙන්නට කතිකා කරගෙන නිදාහුන් ඇයට මේ හෙනය පහත වුයේ උදේ පාන්දරය.

නින්දේ උන් ඈ අසලට පැමිණි සිය කුඩම්මා මහා වේගයකින් සිය ඇඳුම් ආදිය ඉටි බෑගයකට දමනවා පෙනී නිර්මලී අවදි වූයේ කුතුහලයෙනි. ඒ නිවසේ කාමරයක් කියා යමක් තිබුනේ නැත. බිත්ති හතරේ දකුණුපස මුල්ල කාමරයක් යයි සිතා නිර්මලී සිටියේ ට්‍රන්ක පෙට්ටි ඇති මුල්ලේ බිම පැදුරක් එලාගෙනය.

"ඇයි මේ?"

කවදත් කුඩම්මාට කිසිම ආමන්ත්‍රණයක් කැපුනේ නැති බැවින් නිකන්ම කතා කරන්නට නිර්මලී පුරුදුවී සිටියාය. නිර්මලී දෙසවත් නොබැලු ඈ කඩිමුඩියේ එතැන බිත්තියේ එල්ලා තිබුණු ඇගේ සාය හැට්ටයක් ගෙන සුවඳ බලා නිර්මලී දෙස ඔරවා මෙන් බැලුවාය.

"නැගිටලා ලැස්ති වෙනවා. මෙන්න මේක ඇඳගන්නවා... කොහෙද ඉතින් රෙද්දක් වත් හෝදලා තියාගන්නවද පිරිසිඳුවට! "

සිය හැට්ටය නිර්මලී වෙත දමා ගැසූ කුඩම්මා නැවතත් නිර්මලිගේ පාසල් බෑගයට තුවායක් සහ චිත්ත ඇඳුම් කිහිපයක් එබුවේ නොසැලකිල්ලෙන් මෙනි. නිර්මලිගේ තාත්තා ගෙට ඇතුළු වුයේ ඒ මොහොතේය.

"තෝ තාම නිදිද කුම්මැහියා වගේ. නැගිටලා ලැස්ති වෙයන්. දුර යන්ඩ තියෙනවා"

එය අණකි. මෙය පුදුමයකි. ඒ වැකියේ කුණුහරප නොවීමත් කුඩම්මාත් තාත්තාත් සමඟ තමන් යන ගමනක් තිබීමත් පුදුමයකි. නිර්මලී දෑස දල්වාගෙන සිට පැදුරෙන් නැගිට්ටාය.

"කොහෙද යන්නේ?"

පිළිතුරක් වෙනුවට ලැබුනේ තාත්තාගෙන් දරුණු රැවුමකි. ඒ සමඟම පැදුර ඉහත්තාවේ සිටි කුඩම්මාගේ විලාපයක් වැනි දෙයක් ඇසුනේ කන අසලිනි.

"ආ... මේ තියෙන්නේ බඩු ! මෙන්න පෝං එකක්.. මම කිව්වේ විජේ දෝනියන්දගේ තරම එදත්. කොහෙද අපිට රැවුල නෑනේ.. අර ත්‍රිවිල් පාක් එකේ දිලිපයා එක්ක මේකි නටනවා කියල මුළු ගමම දන්නව.. මේ පෝං කොහෙන් පාත් වෙලාද එහෙනං"

නිර්මලී වෙව්ලා ගියාය. පැදුර අකුලනවිට එහි යට තබා තිබී පරෙස්සමට ඉවත් කරන  ජංගම දුරකථනය දිලීප ලබාදුන්නේ හමුවීමට සහ කතා කිරීමට ඇති අපහසුව නිසාමය. 

ඉන්පසුව ඇරඹුණේ සුපුරුදු ගුටිබැට හුවමාරුවයි. නමුත් වෙනදා මෙන් නිර්මලිගේ හිස බිත්තියේ නොගැසූ සිය පියා ඒ වෙනුවට දුරකථනය උදුරාගෙන කම්මුලට කිහිප පාරක් පහර දී නිවසේ පසුපස දොරෙන් එලියට දැම්මේය.

".. උඹ... උඹත් අර මහා ගෑනි වගේ තමයි..  ගහේ කටු උල්කරන්න ඕනෙද? ඒ වේ* වගේම හැදියන් උඹත්... ඒකිත් කලේ මට කන්ඩ කටක් ඉතුරු කරපු එක විතරයිනේ... ලැස්ති වෙයන් උඹ දැන් මගෙන් මැරුම් නොකා..."

නිර්මලිගේ මතක ආවර්ජනය බිඳ දමමින් අනුජ දොර හැරගෙන මෝටර් රථයට නැගුනේ සුවඳ හමන ආප්ප පාර්සලයක්ද අතැතිව ය. 

"ආප්ප උණුයි.. කන්න"

උදෑසන කහට කෝප්පයක් වත් නොමැතිව උන් නිර්මලිගේ කුස ආහාර ඉල්ලමින් පොරකෑවද මුරණ්ඩු කමින් සිත තද කරගත් ඈ ඔරවාගෙන වීදුරුවෙන් පිටතට හැරුණාය. අනුජ ඔවුන් දෙදෙනා මැද්දෙන් පාර්සලය තබද්දී වීරසිරි රියදුරු අසුනට නැගී රිය පාරට ගත්තේ යන්තමට පසුපස කණ්නාඩියෙන් බලමිනි.

තරුණියගේ කෝපවත් මුහුණත්, අනුජගේ නිහඬ බවත් ඔහුට ළඟ ළඟ එන මහා වරුසාවක ලකුණු කියාපාන බව වටහා ගෙන  සුසුමක් වැටුණි.

ඔවුන් රැගත් රථය සෙමෙන් සෙමෙන් කොළඹ නගරය කරා ඇදෙද්දී තෙහෙට්ටුවෙන් බඩගින්නෙන් සහ සිත් වේදනාවෙන් ආතුරව උන් නිර්මලිට ආසනයේ කොනක නින්ද ගියේ ඉබේටමය.

--------------------------------------------------------------------------

නිර්මලිගේ හදවත ගැහෙන්නට වුයේ දියෙන් ගොඩදැමු මාලුවෙක් පරිද්දෙනි. නිවසට ඇතුළු වූ අනුජත් , නිර්මලිත් පිළිගන්නට පැමිණියේ මහලු , චීත්තයක් හැඳගත් සේවිකාවකි. ඈ වෙත නිර්මලී හෙළුවේ අප්‍රසන්න බැල්මකි. කුදු කොන්ද යන්තම් ඔසවා බැලු හිසෙන් ඈ පළමුව අනුජ වෙත දැක්වුයේ බය පක්ෂපාත සිනාවකි. 

"පොඩිනා.. මේ නෝනට කාමරේ පෙන්නලා ඉන්න.. මහන්සි ඇති දුර ඉඳලනෙ ආවේ"

අනුජ සිය අත්දිග කමිසයේ අතේ බොත්තම ගලවා ඒවා ඉහලට නවමින් , ලිහිල්කල ටයිපටිය අතටගෙන සාලයේ තිබුණු සැපපහසු සෝෆාවේ හිඳගත්තේ අතපය විසුරුවා සැහැල්ලුවෙනි.

දුටු මතින්ම තමන්ට ඔරවා සිටි තරුණිය කෙරෙහි නොපහන් සිතක් ඇති වුවද පොඩිනා මදක් වික්ෂිප්තව අනුජ දෙස බැලුවේ කාමරය කුමක්දැයි සිතාගත නොහැකිවය.

"මේ.... පහල..."

දෑස වසාගෙන උන් අනුජ වහා සිය ඇස හැර පොඩිනා දෙස බැලු ලෙසට ඇගේ වචන හිරවී ගියේය.

"උඩ තට්ටුවේ සුදුපාට එක... ඇයි මම අස්කරලා තියන්න කිව්වා නේද?"

පොඩිනා බියෙන් මෙන් ගමන්කොට නිර්මලී අසල නැවතුනාය. පොඩිනාගේ පුදුමය දැක්විය නොහැකි වුවද , ඉතාම ලාබාල පෙනුමක් ඇති මේ කෙල්ල දුටු ඇගේ පපුව හෝස් ගා ඇවිලී ගියේය.

'හරි ලස්සන කෙල්ල.. ඒ උනාට කොහෙන් හොයාගත්තද? චූටි බේබිට පිස්සුද මන්දා'

ඒ සමඟම ඇසුනේ දොරක් පහුරු ගාමින් ඇසෙනා බල්ලෙකුගේ කෙඳිරියකි.

අනුජ වහා නැගිට ගොස් දොරක් විවර කරන ශබ්දයත් සමඟම ඒ කෙඳිරිය නතරව ගිය අතර සාලයේ කොනකින් ඔහු මතු වුයේ පුළුන් බෝලයක් වන ටෙරියර් වර්ගයේ බලු පැටියෙකු තුරුළු කරගෙනය. අනුජ එක අතකින් පපුවට තද කරගෙන උන් බලු පැටියා ඉස්සි ඉස්සී ඔහුගේ මුහුණ සිපගන්නවා දුටු නිර්මලීට දැනුනේ අප්පිරියාවකි. 

".. මේ ඉන්නේ ලෝරා... ඔයාත් එක්ක තාම යාලු වෙන එකක් නැහැ..  යාලු උනාම අතගාන්නකෝ.. දැන් හපයි නැතිනම්.."

නිර්මලී අසලට පැමිණ පැවසු අනුජ සිය දෑස කුඩාකොට , හිස හරවා නිර්මලී දෙස බලද්දී ඒ කපටි සිනාව නොතකා නිර්මලී ඉවත බලාගත්තේ නොසතුටිනි.

"යමු පුංචි නෝනා"

පොඩිනා නිර්මලී ඉස්සරකොට ගනිද්දී වටපිට බැලුවේ ඇගේ ඇඳුම් බෑග කොහිදැයි සිතමිනි. එවිටම අලුතෙන් ගත් ඇඳුම් මලු කිහිපයක් සමඟ වීරසිරි පෝටිකෝවේ පසෙකින් මතුවිය. ඒ අතර තමන්ගේ නිවසින් ගත ඉටිබෑගය තිබෙන බව පමණක් නිර්මලී දුටුවේ අහම්බෙන් මෙනි.

වාහනයේ තද නින්දක උන් නිර්මලී මගදී මිලටගත් ඇඳුම් ගැන හාන්කවිස්සියක් දැන උන්නේ නැති නිසා මදක් පුදුමයෙන් ඒ දෙස බලා සිටියා පමණකි.

පොඩිනා පසුපසින් වැටී ඉහල මාලයට පඩිපෙළ නගින නිර්මලිගේ කන්දෙක පුරාම නැගුනේ කුඩම්මාගේ කටහඬේ දෝන්කාරයයි.

".... හන්දියේ ත්‍රීවිල් කොල්ලෝ එක්ක මගුල් නටන්න හොඳයි, මහලොකු පත්තිනි අම්ම. බලපන් මේ වගේ ගෙදරක උඹට වැඩකාර කමක්වත් ලැබෙනවද කියල"

මුළු නිවාස පුරාම ඇත්තේ නිර්මලී මෙතෙක් ජිවිතයේ කිසිදා හැබැහින් දැක නැති, සඟරා වල පමණක් දැක ඇති සුඛෝපභෝගී පෙනුමකි. සියල්ලම සුදු පැහැයෙන් තිබුණු අතර ගෘහභාණ්ඩ වල සහ අනෙකුත් සියල්ලම කළු මිශ්‍ර පමණක් විය.

ඉදින් මේ අවුරුදු දහසයක මනාලිය මේ නිවසේ සිය අඳුරු ජීවිතය අද සිට අරඹන්නට සිදුවූ බව අකමැත්තෙන් වුවද පිළිගෙන තිබුණාය. ගල් අහුරක් මෙන් සිත තුල කැකෑරෙන වේදනාව වෛරයක් සේ දළුලා වැඩෙන්නට වුයෙන් , සන්සුන් කාමරයේ පිරිසිඳු කමත්, පිළිවෙලත් ගැන නොතකා එහි කිරිපාට  ටයිල් පොලවේ ඇඳ පාමුල ඉඳගත් නිර්මලී දෑතම පපුවට තබා ගනිමින් දිලීප සිතින් මවාගත්තාය.

'අනේ දිලීප.. මම දන්නවා මට වෙච්ච කිසි දෙයක් ඔයා තාමත් දන්නේ නැහැ කියල.. මාව බේරගන්න එන්නකෝ.... මේ නාකියා එක්ක මට ඉන්න බැහැ දෙවියනේ'

හැඬුමක් තබා ඉකිබිඳුමක් හෝ නාවද හදවත තුවාල වී ඇත්තා සේය. කර්කශ පරිසරය විසින් අසංවේදී කල නිර්මලී ගේ සිත පුරා වෛරය, භීතිය ඇරුණුකොට කිසිවක් සිහියට එන්නේ නැත. 

උදෑසන බලෙන් මෙන් ත්‍රිරෝද රථයකට දමාගෙන ආ ඇය ජිවිතයේ ප්‍රථම වතාවට අනුජ විශ්වනාත් සන්දිරිගම දකින්නේ විවාහ ලියාපදිංචි කාර්යාලයේය. තමා දෙස සෑහෙන වෙලාවක් බලා සිටින , මිල අධික පෙනුමක් ඇති මිනිසා දෙස නිර්මලී බැලුවේ එක දෘඩ බැල්මක් පමණි. සිහිනෙකින්වත් නොසිතු පරිදි මෙවන් විවාහයක් වෙනුවන් ඈ සුදානම්ව සිටියේ නැත. 

වතුකරයේ දුප්පත් මිනිසුන් අතරේ මෙවන් අඩු වයස් විවාහ , ඉක්මනින් ඉහිරී යන විවාහ ජිවිත හා ගැහැනුන් මිනිසුන්ගේ අනේකවිධ විවාහ හුටපට අඩුවක් නොවූ නිසා රෙජෙස්ටාර් වරයාට මෙය අමුත්තක්ව තිබුනේ නැත. එකම අමුත්ත මෙහි මනාලයා ලෙස සිටින වෙනස්ම පෙනුමක් ඇති පිරිමියාට ඇති කිළුටු පෙනුමැති නිර්මලීගේ නොගැලපීම පමණකි. මරණිය තර්ජන හමුවේ පවා මුරණ්ඩුව උන් නිර්මලී ඒ වනවිට  පරාදව හේබා ගොස් උන්නාය. 

මේ ඉරණමට එදිරිව යන්නට ඈ වැනි දැරියන්ට ශක්තියක් නොවිණි. උපතින්ම උරුම දිළිඳුකමත්, නුගත් කමත් නිසා මෙවන් විවාහයක් අරුමයක් නොවුනද, නිර්මලී එය පැතුවේ දිලීප වැනි සිය පෙම්වතා සමඟ මිස මෙවන් වයසක මෝරපු මිනිසෙකු සමඟ නොවේ! සිය පන්තියේ අනෙක් කෙල්ලන්ගෙන් කිහිප දෙනෙක්ම එවන් ගමන් ගොස් ඇති වුවද නිර්මලීට අත්වුවාක් මෙන් ඛේදවාචකයක් ඔවුන්ට නොවූ බව ඈ කල්පනා කලේ සුසුම් හෙළමිනි.

සිය දණහිස් මත හිස හොවාගෙන නිර්මලී හඬන්නට උත්සහ කරමින් සිටියදී එකවරම හැරුණු දොර අභියස සිටියේ අනුජ සංදිරිගමය. නිර්මලීගේ හිස එසවුනේ නැතත් සපත්තු හඬ තමන් ළඟටම පැමිණි බව දැන සියොලඟම සීතලව ගොස් , ගත අප්‍රාණික වනවා සේ දැනුනේ කාමරයේ දොර වැසී යන හඬටය.

හුස්ම පවා ඇසෙන තරමේ නිශ්ශබ්දතාවයක් තත්පර පහළොවක් පමණ පවතිද්දී, නිර්මලිගේ වම් බාහුවෙන් අල්ලා ඈ කෙලින් සිටුවාගත් අනුජ ඈ දෙස දෑස නොපියා බලා සිටියේය. නිර්මලී පිළිකුල නිසා හටගත් කෝපය පිටකරගත නොහැකිව බිම බලාගෙන උන්නාය. අනුජ වෙතින් හමා එන විලවුන් සුවඳ ඈ කැලඹුවද , ඈ තුල ඇතිවූ නොපහන් බව මකන්නට එය ප්‍රමාණවත් නොවනී.

"ලස්ස්සනයි....... "

"................"

ඈට දිලීප සිහිවිය. අහම්බෙන් ලැබෙන ඇසිල්ලක කොපුලක් සිපගත් දිලීප ඊළඟ මොහොතේ සිය ලය තදින් තෙරපවා කීවේද එවැන්නක් බව සිහිවූ නිර්මලිට පපුව කඩාගෙන ගියාක් මෙන් දැනුනි.

".. නිර්මලී....."

බාහුවෙන් මිදුණු අනුජගේ අත සෙමෙන් ඇගේ ව'මත ඔස්සේ ඉහලට යද්දී ඈ තදින් දෑස පියාගත්තේ කෙල පිඬක් ගිලමින් වෙව්ලමිනි. ඒ අත සෙමෙන් ගෙල දක්වා විත්, එකවරම ඇදගත් අනුජ සිය සිහින් දෑස ඇගෙන් ඉවත්කොට හුස්මක් ඉහලට ගෙන හිස ඒ මේ අත හැරෙව්වේ හිස තුල ඇති සිතුවිලි ගසා දමන්නාක් මෙනි.

තමන්ම කල ලැජ්ජා සහගත ක්‍රියාව ගැන කම්පිත වීමට මදක් වෙලාවක් ගත් අනුජ සිහිය එලවාගෙන මෙන් බිම බලාගෙන ඒ මේ අත තද කරගත් මුව හැරවුයේ නොසන්සුන් කමිනි.

"... කාල ඉන්න ළමයෝ.... මෙන්න මම ගෙනාව ආප්ප එක.. වොෂ් එකක් දාලා කන්න එහෙනම්"

අනෙක් අතේ තිබුණු පාර්සලය කුඩා මේසය මත තැබූ අනුජ නැවතත් නිර්මලී දෙස බැලුවද ඈ සිටියේ දෑස වසාගෙන ඔහුගෙන් ඉවතට මුහුණ හරවාගෙනය. ඒ මොහොතට නැවතත් අනුජ නිර්මලිගේ රුව වින්දේය. ඒ ඇසිල්ලේ කාමරය ආප්ප සුවඳින් පිරුණු අතර පෙරලෙන බෝලයක් මෙන් ලෝරා කාමරයට පැමිණ නිර්මලීගේ කකුල අසල හිඳගෙන බිරුවාය.

".. ලෝරා.... කාමරෙන් එළියේ ඉන්න "

අනුජ කාරුණිකව කියද්දී යන්තමට විවර වුනු නිර්මලිගේ ඇසින් දුටුවේ ඉතා කීකරුව කාමරයෙන් පිටතට ගිය ලෝරා එතනට වී හිඳගෙන බලාසිටිනුය.

නැවත හුස්මක් වැටෙනවා දැනුනේ අනුජ වේගයෙන් මෙන් දොර වසාගෙන පියවර තබා කාමරයෙන් පිටව යද්දීය. දෑස විවර කල නිර්මලිගේ පපුව වේගයෙන් ස්පන්ධනය වන්නාක් සේ දැනුනි. ඒ ස්පර්ශය උණුසුම් උවද ඈ සිහිකලේ අප්‍රසන්නවය.

නැගී ආ කුසගින්න ඇයට නුහුරු නොමැත. කාමරයේ තිබුණු බිත්තියට ඇලුණු පොත් රාක්කය පාමුල ඇඳුම් බෑග අතරින් තමන්ගේ බෑගය සොයද්දී එය නොමැති බව දැනුනි. තුවායක් වත් නොමැතිව මුහුණ සෝදන්නට නොහැකිය. මදක් වටපිට බැලු ඇය දුටුවේ කාමරයේ කොනක තිබුණු නාන කාමරයකි. එහි පිවිසි ඇය දුටුවේ තරු පන්තියේ හෝටලයක මෙන් සකසා තිබුණු නාන කාමරයයි.

යන්තමට සිය මුහුණත් කකුල් දෙකත් සෝදාගෙන ඈ කිරිපාට ඇඳ ඇතිරිල්ලක් දමා තිබුණු සැප පහසු යුගල ඇඳේ කොනක වැතිරුනේ විදුලි පහන් නිවා දමා, කාමරයේ අගුල දැමීමෙන් පසුවයි.

මේ මිනිසා තමන් දෙස බලන ඒ කෑදර බැල්ම ඈට දරාගන්නට නොහැකිය. පොතක අත්සන්කොට ගෙනා තරුණියක් වෙත නොපැමිණ සිටින්නට තරම් ඔහු බෝධිසත්වයෙක් නොවන බව කලින් ඈ දෙස බැලු බැල්මෙන්ම දැනුනු බව සිතද්දී නිර්මලී වෙව්ලා ගියාය. ඔහු කොයි මොහොතේ හෝ පැමිණ තමන්ට කරදර කරනු ඇති බව දැනෙද්දී ඇගේ නිදිමත පලාගොස් තිබිණ.

නමුත් හැලහොල්මනක් නොමැතිව රාත්‍රී දහය පසුවී පසුවී හොරා ගණනක් යද්දී මානසික පීඩනය සහ ගමන් මහන්සිය නිසා ඇගේ දෑස පියවි ගියද රෑ මැදියමේ කවුරු හෝ කාමරයේ සිටිනවා දැනී එකවරම තිගැස්සී අවදිව බියටපත් නිර්මලී දුටුවේ , පොත් රාක්කය අසල අඩ අඳුරේ කුමක් හෝ කරමින් සිටින රුවක්ය.

අඳුරට ඇස හුරුවී ,රාක්කය අසල තිබුණු මන්ද ආලෝකය සහිත බල්බයෙන් හඳුනාගත් පරිදි,  උඩුකය නිරුවත්ව සිටින අනුජය! ඔහු කාමරයට පැමිණියේ කෙසේද? නිර්මලී කාමරයේ දොරේ අගුල දැමුවේ ඇතුලතිනි. ඈ ඊළඟ මොහොතේ කුමක් වේදැයි වෙව්ලන සිරුරෙන් ඈ බලා සිටියාය.

පොත් රාක්කයෙන් පොතක් ගත් අනුජ යන්තමට ආපසු හැරී නිදාසිටි නිර්මලී දෙස බලා සිටියේය. නිර්මලී සිටි ඉරියව්වට ඇගේ මුහුණ නොපෙනුනද , ඈ සිටියේ තියුණු අවධානයෙනි. මද වෙලාවකින් නිර්මලී දෙසට ඇවිද ආ අනුජ නිසා ඈ නැවතත් භීතියෙන්  වෙලුනද , නොසෙල්වී සිටියාය.

තමන් අසලටම පැමිණි ඔහුගේ නිරුවත් වම් බාහුවේ අත් ගොබය අසල කොටා තිබුණු පච්චය දුටු මතින්, නිර්මලී තදින් දෑස පියාගෙන නින්දේ පසුවන ලෙසක් දැක්වූවාය.

තමන් ගෙනා ඇඳුම් නොඅල්ලා, කෑම වර්ජනය කර , ඇඳේ කොනක ගුලිවී නිදන තරුණිය දුටු වහාම අනුජගේ සිත ඇවිලී ගියේය. ඔහු කොට්ටයක් ගෙන ඈට හේත්තු කොට ඇඳ ඇතිරිල්ල ඔසවා ඈ ආවරණය කොට, කාමරයේ වායුසමීකරණය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ආපසු හැරුණේය.

තමන් වෙතින් ඉවතට ඇවිද ගොස් නැවත පොත් රාක්කය වෙත ගිය අනුජගේ ඉරියව් ගැන අවධානයෙන් උන් නිර්මලිට ඔහුගේ අත්ගොබයේ තිබුණු පච්චය ගෙන ආවේ අමුතු හැඟීමකි. 

'දුෂ්ඨ මිනිහා.. පේනවට වඩා අමුතුයි වගේ'

නිර්මලිගේ දෑස නැවත පියවුනේ කාමරයේ සිතල නිසා ඇතිවූ සුවදායක බව නිසාය.


----------------------------------------------------------

පොඩිනා විමතියෙන් බලා සිටියේ තරුණියගේ මුහුණ දෙසය. එවිටම අනුජ කොට කලිසමින් සහ සැහැල්ලු ආම්ස් කට් ස්කිනි එකකින් සැරසී සාලයට පැමිණි අතර ලෝරා ඔහුව දැක මහා කලබලයක් කරනු පෙනුනි.

"පොඩිනා කෑම ලෑස්ති නම් ගිහින් දවල් වෙලා එන්න. මම අද වැඩට යන්නේ නැහැ"

පොඩිනා ඇතිවූ අපහසුතාවයට සරිලන පරිද්දෙන් සාදා තිබුණු කිරි කෝපි කෝප්පය ගෙනගොස් ගර්වයෙන් යුතුව අනුජට පිළිගැන්වූවාය. නිර්මලී සිටියේ ඔහුට පිටුපා කුස්සියේ වියලි පැන්ට්‍රිය අසල ටෙරාසෝ වේදිකාවට බරදීගෙනය.

පොඩිනා පිටත්ව යනවා දුටු අනුජ නිර්මලී වෙත ඇවිද ආවේ කිරිකෝපි කෝප්පය අතේ තබාගෙනය.

"බබා මොනාද බොන්නේ?"

'බබා? ඒ මොන කතාවක්ද ? මම බබෙක්ද?' නිර්මලී සිත ඇතුලෙන් කෝප වුවාය.

පැන්ට්‍රිය වෙත පැමිණි අනුජ උණුවූ වතුර ගෙන කිරිපාට මග් එකට හලමින් ඇසුවේය. ඔහුගේ පෙනුම දුටු නිර්මලී ගැස්සී ගියාය. ඔහු සැබෑම කඩවසම් අයෙකි. පෙරදින අත්දිග කමිසයට වඩා , අත්ගොබ හොඳින් පෙනෙන ඇඳුමත්, අපිළිවෙල කැරලි කොණ්ඩයත් සමඟ ඔහුගේ මුහුණේ යන්තමට වැවී තිබෙන රැවුල හා සම මුවේ ඇඳුනු සිනහව නිර්මලිව අමුතුම තිගැස්මකට ලක්කර තිබිණ.

".... ඇයි ඊයේ ඇඳුම්වත් මාරු කලේ නැත්තේ? ඔයාට ඇඳුම් තිබ්බේ නැති නිසානේ මම ටිකක් සල්ලිවලට ගත්තේ. ඔයා ඒවාට අකමැති නම් අපි අද යමු ඇඳුම් ටිකක් ගන්න.. හ්ම්ම්? ඇඳුම් මාරු කරගන්න.. වොෂ් එකක් දාල රිලැක්ස් එකේ ඉන්න.. හ්ම්ම්ම්..? දැන් මොනවද බොන්නේ කියන්න.. ඊයේ රෑට කාලත් නෑනේ"

කුමක් හෝ හේතුවකට ඒ  බැල්මත්, කතාවත් සමඟම නිර්මලී මදක් සන්සුන්ව ගොස් සෑහෙන බඩගින්නක් දැනෙන්නට විය. ඒ වනවිට පොඩිනා විසින් කිරිබත් සමඟ මේසය පිළියෙළ කර තිබිණ.

".. .ශා. මරු අද කිරිබත් හදලා... තේ බොනවද? කනවද? හ්ම්ම්ම්?"

නිර්මලී වචනයක්වත් කතා නොකර බිම බලාගත්තාය. ඇයට නොනවත්වා දිලීප සිහියට නැගුණි. ඔහු තමන්ව සොයනවා ඇත. සිය පියාට නම් තමන් ගැන වගක් නොමැති බව ඈ දනිතත් කුමක් හෝ හේතුවකට ඔහුව සිහිවිය.

නිර්මලීගේ පිළිතුර කෙසේ වුවද අනුජ ඇයට කිරි තේ කෝප්පයක් සාදා ඇගේ අතටම දුන් බැවින් ඉවත බලාගෙන ඈ එය අතට ගත්තාය.  පිරිසිඳු නොවූ නිසා ශරීරයට දැනුනේ අපහසුවකි. අනුජ මේසයේ සකසා තිබුණු පිඟන් දෙකට වෙන වෙනම කිරිබත් බෙදා නිර්මලී දෙස බැලුවේය. නොසිතාම නිර්මලී අනුජට ඈතින් තිබෙන පුටුවකට බරවුවාය. 

අනුජ එහි පැමිණ කිරිබත් බෙදූ පිඟාන ඈ අසලින් මේසය මත තැබුවේය.

"බයවෙන්න එපා... මගෙන් ඔයාට කිසි කරදරයක් නැහැ.. ඔයා මෙහෙ රිලැක්ස් එකේ ඉන්න... හ්ම්ම්ම්? කෑම කන්න... ලස්සන ඇඳුම් අඳින්න.. ලස්සනට ඉන්න... ඔයා වගේ ලස්සන චූටි කෙල්ලක් ඔහොම මුණ එල්ලගෙන ඉන්න එක එතරම් ලස්සන නෑනේ.. හ්ම්ම්?"

ඒ වචන නිර්මලිගේ සිත ගැඹුරේ තැල්මකට සීතල අයිස් තැබුවාක් මෙනි. ඈ අනුජව තේරුම් නොගන්නා බැල්මකින් ඔහු දෙස බැලුවේය.

"...කාලා... ලැස්ති වෙන්නකෝ හොඳ ළමයා වගේ.... ඔන්න එතැන  තියෙනවා ලා නිල්පාට ගවුමක්, ඒක අඳින්න හරිද?"

අනුජ කෝපි කෝප්පයෙන් උගුරක් බී සිය පිඟාන අසල පුටුව ඇද හිඳ ගත්තේය.

"... එක වචනයක්වක් කියන්නේ නැහැනේ ඔයා... බයවෙලාද? "

"........."

" අනේ අනේ... මේ චූටි කෙල්ල එදා අර ස්තුති කතාව කරනකොට තිබ්බ කට කෝ?"

නිර්මලී තිගැස්සී බැලුවාය.

"මොන කතාවද?"

අනුජ සිනාසුනේ මුහුණ පුරා හැඟීම් පෙන්වමිනි. ඒ ඇස් ! නිර්මලීට ඒ ඇස් තේරුම් ගැනීමට තරම් ශක්තියක් නොවීය.

"ඔයා දන්නවද... මම ඔයාව මුලින්ම දැක්කේ ඔයාගේ ඉස්කෝලේ කොමස් ඩේ එක දවසේ. "

මෙවන් මෝරපු මනුස්සයෙකු පාසලේ වාණිජ්‍ය දිනයකදී ඈ දකින්නේ කෙලෙසකද?

"... කන්නකෝ ළමයෝ..."

කුඩා දරුවෙකුට අණ දෙන්නාසේ වූ ඒ මෘදු අණට නිර්මලී කිරි තේ එක බිව්වාය. එය දිව පිනා යන රසයක් ලෙස දැනුනේ ඈ එතරම්ම බඩගින්නේ ගතකල බැවින් වන්නට ඇත. තමන්ට මොහු කරුණාවක් දක්වන බවක් වැටහුණු නිසා ඇගේ සිත තරමකට සන්සුන් විය. අනතුරුව ඔහු අනුගමනය කරමින් ඈ කිරිබත් කෑල්ලක් මුවට ලංකලාය.

"... ඒ ලෙවල් කරපු කෙල්ලෝ අස්සේ මම දැක්කා බුලට් එකක් වගේ එහාට මෙහාට දුවන පුංචි කෙල්ලෙක්"

අනුජට ඒ දිනය සිහිවී සිනා නැගුන අතර නිර්මලී සිනාසුනේ ඔහුගේ ඒ වදන් වලටය. දෙදෙනාගේම දෑස තත්පරයකට යා විය. නිර්මලී තම දෑස ඉවතට  ක්ෂනයෙනි.

".... කොන්ඩේ කරල් දෙකක් ගොතලා, ඒකත් එහෙට මෙහෙට වන වන.... ලස්සන චුටි කෙල්ලෙක්... ආපහු දැක්කේ ස්තුති කතාව කරන්න ස්ටේජ් එකට නගිනකොට... මම බලාගෙන උස නැති නිසා ලි පෙට්ටියක් උඩ නැගලා නේද කතාව කලේ?"

නිර්මලී රතුවී ගිය අතර දෙදෙනාටම සිනා නැගුණි. මොහු එතනට ආවේ කොහොමද?

"අනේ........"

අනුජ සිනාසෙමින් රතුවූ මුහුණින් කිරිබත් බුදිමින් සිටින නිර්මලී දෙස බලාගෙනම කිරි කෝපි උගුරක් තොල ගෑවේය.

".... ඔයා කොහොමද... ම-හත්ත-ය... කොහොමද.."

"මට අනුජ කියන්න..."

නිර්මලී ගොලුවී ගියේ නැවතත් අනිච්චානුගව ඒ ඇස් එකිනෙක හමුවූ නිසාය.

"... මම ඔයාගේ මහත්තය තමයි... ඒ උනාට මට අනුජ කියන්න... මට කියන්න වෙන පෙට් නේම් එකක් තියේද?"

නිර්මලිට කතා කරගත නොහැකි විය.

'පොඩි කෙල්ලෙක්නේ බං! උඹට අමු කැවිලද?'

හිමාල්ගේ වචන අනුජගේ දෙසවන් වල දෝංකාර දෙන්නට විය. මේ කුඩා තරුණිය වෙහෙස කරවන්නට ඔහුට අවශ්‍ය නොවිණි. ආ මොහොතේ පටන් සා පැටවියක මෙන් තැති ගැන්මෙන් සහ ව්‍යාකුලත්වයෙන් ඉන්නා ඈ කළඹන්නට ඔහුට අවශ්‍ය නොවිණි. සාක්කුවේ තිබුණු දුරකථනය නාද වුයේ එවිටමය.

"කියපන් මචං "

හිමාල්ගේ ඇමතුමට පිළිතුරු සපයන ගමන් අනුජ කිරීබත් අහුරක් කටට දමා ගත්තේය.

"කෙල්ල යහතින් ඉන්නවද?"

අනුජට සිනාවක් නැගුණි. එය මනමාල සිනාවකි. ඔහුට හොරැහින් මුහුණ බිමට හරවාගෙන කෑම කන නිර්මලී දෙස හොර බැල්මක් හෙලු අනුජ පිඟාන රැගෙන ආපසු හැරී සින්ක් එකට ගියේය.

"පොඩි කෙල්ලෙක්නේ බන්... උඹ හිතුවද මට එච්චර මානසික රෝගයක් තියෙනවා කියල?"

ඔහු පිලිතුරු දුන්නේ ඉංග්‍රීසියෙන් නිසා නිර්මලිට වැඩි කොටසක් වැටහුනේ නැත. අතරින් පතර තේරුණු වචන වලින් ඒ කියන්නේ තමන් ගැන වන්නට ඇති බව නිර්මලී සිතුවාය. තාත්තා වන්නට නොහැකිය. කිරිබත් වල කිරි යහමින් දමා රසට සාදා තිබීමත්, කිරි තේ කෝප්පය රසතිව තිබීමත් නිසා ඈ කෑම පිළිබඳව අවධානයෙන් සිටියාය.

"අමාරුවේ තරම පේනවා!"

හිමාල් එසේ කීවද එහි ඇත්තේ  සරදමක් බව දෙදෙනාම දත්හ.

"පව් බන්... හා පැටියෙක් වගේ ගැහෙනවා"

"උඹගේ වලත්ත ඇස්දෙක දැක්කහම අර යසට හිටපු  කසින්ස්ල ඔක්කොම කුලප්පු වෙන එකේ.. ඒ කෙල්ල බය නොවී තියෙයිද?"

".අනේ මේ.... මගේ වැඩේ හරිද කියපන්.. මම තව ටිකකින් එනවා"

"හරි හරි... සතියක් පරක්කු උනත් කැමති උනා එන්රෝල් කරගන්න. අනිත්වා ඔක්කොම මම කතා කළා. ඔක්කොම විස්තර මම එතනට දීලා තියෙන්නේ. කිසි අවුලක් නැහැ"

"තැන්ක්ස් මචන්... ලොකු උදව්වක්"

"වරෙන් හෝටලයට සතියකට වගේ... නිවාඩුත් දාපු එකේ"

අනුජට  සිනාවක් නැගුනේ ඉබේටමය. ඔහු වටපිට බලා නිර්මලී අසලක නොමැති බැවින් හිමාල්ට කි කතාවට යහළුවන් දෙදෙනාම සිනාසුනහ.

ඇමතුම විසන්ධි කර ආපසු හැරුණු ඔහු දුටුවේ මේසය පිළිවෙලට අස්කොට පිරිසිඳු කරන නිර්මලීය. 

------------------------------------------------------

නිර්මලී පුදුමයෙන් ගල්ගැසී බලා සිටියාය. අනුජ ගුරුතුමියට පුටුව පෙන්වා ඇසින් නිර්මලීට අනෙක් පුටුව පෙන්වද්දී ඈට ඉබේටම එහි හිඳ වුනි. එහි තිබුනේ අණක් වැනි දෙයකි.

"ප්‍රයිවට් තමයි ඒලෙවල් කරන්නේ... මම කිව්වා එතන ගෑනු ළමයට ඉංග්‍රීසි  සබ්ජෙක්ට්ස් වලට කරදරයක් නොවෙන විදියට දාන්න කියල. කෝ ඉන්න බලන්න මොකද්ද උනේ කියල"

අනුජ කෝපයෙන් සිටිනු දුරු නිර්මලී මෙන්ම ගුරුතුමියද බිරාන්තව ගියහ. වහා ඇමතුමක් ගත අනුජ අධ්‍යාපන ආයතනයේ පාඨමාලා හසුරවන තරුණියට කන් දෙකේ ඇඟිලි ගහගන්නට බැන වැදුනේ ඔහුට අවශ්‍ය ලෙස පන්ති සැලසුම සකස්කර නොතිබීම නිසාය. ඇමතුම අවසානයේ වැස්සක් පෑයුවාක් මෙන් නිහඬතාවයකින් එතැන හිස්ව ගියේය.

".. හරි මිස්.. අදට ක්ලාස් එක කරන්න. අපි වෙන දවසකට මාරු කරගම්මු. මොකද අද වෙන වැඩකට යන්න හිටියේ"

අනතුරුව බියවී මෙන් බලාසිටි නිර්මලී දෙසට හැරුනේය.

"... එන්න බලන්න මම දෙන්නම් කොළ වගයක් එහෙනම්... අදට ලියන්නකෝ. පොතක් නැතුව කොහොමද.. අපි අද යන්න හිටියේ පොත් ගේන්න"

කාර්යාල කාමරයේ තිබුණු සුදුපාට කබඩ් එකක තිබුණු ෆයිල් කවරයකින් අනුජ ෆොටෝකොපි කොළ ටිකක් නිර්මලී අත තබා, අනතුරුව මේසය මතින් ගත් නිල් පෑනක් ඊට එකතු කළේය. නිර්මලී ප්‍රශ්නාර්ථයෙන් ඔහු දෙස බලා සිටියදි අනුජ දෑස සිහින්කොට සිනාසුනේය.

"...ඇයි  හ්ම්ම් ? බයවෙලා වගේ මොකද ?"

නිර්මලිට කියන්නට දෙයක් සිතට පැමිණියේ නැත.

 ".... කොහොමත් ඉංග්‍රීසි ටිකක් ඕනේ වෙනවනේ.. ඔයා අදට ක්ලාස් එකේ ඉන්න.. බයවෙන්න එපා.. මම ඉන්නේ මෙතන ටේබල් එකේ.. හ්ම්ම්?"

නිර්මලී බලාපොරොත්තු උනේ එවන් පිළිතුරක්  නොවේ. ඇයට මෙය සිහිනයක් මෙනි. ගුරුතුමිය පැමිණ ඇත්තේ ඈට ඉංග්‍රීසි පන්තියක් උදෙසාය. තමන් මෙතෙක් ගියපු පුංචි පාසලේ ඉංග්‍රීසි ගුරුවරියක් සිටියේ නැත. ඒ වෙනුවට ඉඳහිට විදුහල්පතිතුමා පැමිණ මොනවාහෝ යමක් කරනවා මිස කිසිම දිනෙක විෂය නිර්දේශයකට උගන්වා තිබුනේ නැත. 

ඊයේ තමන් සිය බිරිඳ ලෙස නිවසට රැගෙන ආ ඔහු අද උදෑසන තමන්ගේ අධ්‍යාපනය ගැන සැලසුම් සදයි. තමන්ට නොගැලපෙන බව දැනගත් ඔහු තමන්ගේ තත්වයට ගන්නට උත්සහ කරනවාද ? තමන් කවුදැයි කියා හොඳටම දැනගෙන කරන ලද ලොකු ක්‍රියාදාමයක තමන් ඉත්තක් වී ඇත්තා සේ දැනී නිර්මලී නොපහන් සිතින් මුහුණ හකුලා ගත්තාය.

ඉන් අනතුරුව ඉංග්‍රීසි පන්තිය පවත්වන තුරුම ඔහුත් ඊට කෙලින්ම නොපෙනෙන කාර්යාල මේසයක සිට ලැප්ටොප් පරිඝණකයක කාර්යබහුලව වැඩ කරමින් සිටියේය. මේ ලැබුණු ඇසිල්ලේ කාර්යාලයේ වැඩ කටයුතු ගැන සහ වැදගත් ඊමේල් පණිවිඩ කිහිපයකට කාලය වැයකළ අනුජ ඉතිරි වෙලාව වැයකලේ වෙනත් වැඩකටය. 

ඒ වනවිට සිය පිය උරුමයෙන් ලැබුණු වාහන අමතර කොටස් ව්‍යාපාරයට , වාහන ටයර් සහ බැටරි කඩ කිහිපයක්ම එක්කොට වඩාත් ස්තාවර ව්‍යවසායකයෙක් ලෙස අනුජ සංදිරිගම ව්‍යාපාර ලෝකයේ සිය නම තබාගෙන සිටියේය. 

සිය මවගේ අභාවයෙන් උරුම වූ  සොයුරිය යටතේ අසාර්ථකව යමින් සිටින රුපලාවන්‍ය ව්‍යාපාරය ඈදා ගන්නට කියා සිය පියාගෙන් ලැබෙන පීඩනය හා සම්බන්ධ සිදුවීම් නිසා තරමක නොසන්සුන්තාවයක් ඔහුගේ ජිවන රටාවට එකතුව තිබිණ. ඒ කතාබහ සහ ව්‍යාපාර තීරණ වලට සොයුරිය ඔහු හා සිත රිද්දාගෙන උන් බැවින් අනුජ සිටියේද තරමක සිත් වේදනාවෙනි.

අද ඔහුගේ ලිපිනයට ඒවා තිබුණු ඊමේල් අතර සොයුරියගේ ලිපිය දැකීමෙන් තරමක කලකිරීමක් ඇතිව තිබුණු නිසාත් නිර්මලිගේ ඉංග්‍රීසි පන්තියේ  සිදුවූ පටලැවිල්ල නිසාත් කෝපය විසින් ඔහුගේ හිස අවුල්කොට තිබිණ. ඒ අතර වරින්වර හිස ඔසවා බලන ඔහුට මේසය මත ඇති දර්පනය තුලින් කාමරයේ කොනක සකසා තිබුණු මේසයේ සිටින නිර්මලිගේ මුහුණ දෙස බලමින් ඔහු තනිවම සිනාසුනේ අවුරුදු දහ අටක පාසල් කොල්ලෙකු පරිද්දෙනි. එම දර්පනය ඔහු සකසා ගත්තේ මේසයට වාඩිවනවිටමය. 

ජම්බු ගෙඩියක පැහැය ගත් කම්මුල් ඇති යුවතිය ගුරුවරිය ලබාදුන් අභ්‍යාසය කරන්නේ බිමට යොමුකරගත් මුහුණිනි. කැරලි ගැසුණු ඇගේ කොණ්ඩය පිටුපසට කොට ගැටගසා තිබුනද දඟකාර ඇය විටින් විට කෙහෙ රොද කන පිටුපසට කරන ලතාව දෙස බලා සිටි අනුජ අතීතයට ඉගිල ගියේ මොහොතිනි.

හෝරාවක පමණ ඇවෑමෙන් පොඩිනා කාමරයේ දොර අසලින් හිස දමද්දී , අනුජ අතවනා තේ තුනක් ඇනවුම් කළේය. කිරි තේ කෝප්ප දෙක සමඟ පැමිණි අඩු සීනි කිරි කෝපි කෝප්පය මේසය මත තැබූ පොඩිනා දෙස අනුජ බැලුවේ නොසැලකිල්ලෙනි.

"...මේ.... මහත්තය.."

"ඇයි පොඩිනා ?"

"මේ.... මම මේ.... "

අනුජ සැලකිල්ලෙන් බලද්දී පොඩිනාගේ වදන් මුවතුල සිරවුනි.

"මොකක්ද?"

"මේ පොඩි නෝනා.... අර.. පෝං එකෙන් "

"මොන ෆෝන් එකෙන්ද?"

"වයර් තියෙන පෝං එකෙන්.... කාටද කෝල් කළා. මම එනකොට තිබ්බ"

ඇතුලතින් ගැස්සුනද අනුජ වෙනසක් නොපෙන්වා සිටියේ කලබලයක් නැති පරිද්දෙනි. ඔහුගේ ඇස ඉබේම දර්පණයෙන් පෙනෙන නිර්මලීගේ රුව හා ක්ෂණයෙන් ගැටුණි.

" කොයි වෙලේද ?"

"උදේ මහත්තය පහලට එන්න කලින්. කුටු කුටු ගෑවා. මට හරියට ඇහුනේ නැහැ "

"ආ... එයාගේ තාත්තට වෙන්න ඇති. "

එසේ කීවද එය එසේ නොවන බව අනුජ ඉඳුරා දත්තේය. පෙරදින ඇගේ පියා කටගොන්නක් බීගෙන සිය වැඩපොළේ  මිනිසුන් සමඟ දබර කරගත් බව අනුජ දනී. එවන් පියෙකුට නිර්මලී ඇමතුමක් දුන්නා යයි කීම බොරුවකි. නැවතත් ඔහුගේ සිත නිර්මලී කෙරෙහි අනුකම්පාවෙන් පිරී ගියේය.

වානිජ්‍ය දිනයේ බබළන තරුවක් සේ ශාලාව පුරා එහා මෙහා දුවපැන යමින් සිටි ඒ තරුණිය ඔහුගේ මතකයෙන් ඉවත් වුයේම නැත. සොයුරියගේ බලකිරීමට වතුකරයේ තිබෙන මේ පාසලට වානිජ්‍ය දිනයේදී සංගීත භාණ්ඩ සහ පරිගණකයක් ලබාදීමට පැමිණියද අනුජ සිටියෙම දුරකතනයේ එල්ලීගෙන සේවක ගැටළුවක් විසඳමින් නිසා නිතර ශාලාවෙන් පිටත වූ මුල්ලක සිග්නල් තිබුණු තැනකට වී සිටින්නට සිදුවිය. නිර්මලී ඔහු පසුකොට එතනින් විසි තිස් වතාවක් ගියද ඈ සිටියේ කාර්යබහුලවය. අනෙක් ළමයින්  පෙනෙන සමේ පැහැය නිසා එකවරම ඇස ගියද, ඒ සියල්ලටම වඩා අනුජ දුරුවේ ඇගේ ඒ කටකාර කඩිසර හැසිරීමයි.

'මීළඟට ස්තුති කතාව පවත්වන්නට  ආරාධනා කරන්නේ නිර්මලී සොයුරියට'

ඒ නම මතකයේ රැඳුනේ එලෙසිනි. වතුකරයෙන් පිටත්ව නැවත ආ පසුව සතියක් යනතුරුම අනුජ ඈ සිත තුල තබාගෙන සිටියද,  වූ නිර්මලී ගැන ඔහුට ඊට වඩා ඉදිරියට යා නොහැකි බව අවසානයේ හිමාල් සමඟින් පවසා සිත නිදහස් කරගත්තේය.

ඊට මාස ගණනාවකට පසුව එක්තරා දිනයක් වනතුරු එය එසේම විය!

අනුජගෙන් ප්‍රතිචාරය නිසා පොඩිනා ආපසු හැරුනේ කළකිරීමෙනි. ඇයට මේ තරුණිය හිතට ඇල්ලුවේ නැත. පොත්ත සුදුවට තිබුනද, ඇගේ මුහුණේ තිබුණු නොරිස්සුම පොඩිනා ප්‍රියකලේ නැත. මේ පැමිණ ඇත්තේ සිය ස්වාමියාගේ බිරිඳ බව ඈ පිළිගන්නට ඇති නොකැමැත්ත ඊට හේතුපාදක වන්නට ඇත.

ඉංග්‍රීසි පන්තිය අවසානයේ ගුරුවරයාට එදිනට නියමිත ගාස්තුව අතටම දුන් අනුජ නැවත  දන්වනතුරු මේ දිනයටම එන ලෙස පවසා පිටත් කළේය.

"කොහොමද.. ක්ලාස් එක හොඳද?"

නිර්මලී කම්මුල් රතු කරගෙන බිම බලාගත්තාය.

"මට... ඉංග්‍රීසි... බෑනේ"

"බැරි නම් ඉගෙනගන්න තමයි ක්ලාස් එකක් පටන් ගත්තේ...හ්ම්ම්?"

නිමාලි කුමක් කියන්නදැයි සිතාගත නොහැකිව වචන අහුලන්නට විය. ඇගේ රතුවූ කොපුල් දෙස බලා අනුජ සිය ආවේනික සිනහව සඟවා ගනිමින් ඉවත බලාගත්තේය.

"... ගිහින් කොන්ඩේ පිරගෙන එන්න ගමනක් යන්න තියෙනවා.. පරක්කු උනා"

නිර්මලී පඩිපෙළ දිගේ දිවගෙන යනු බලාසිටි අනුජ හිමාල් ඇමතුවේය.

"දැන් එනවා අපි.. උඹ කට කැඩිච්ච මොනවත් එහෙම කියන්නේ නැහැ හරිද? පොඩි කෙල්ලෙක්නේ"

--------------------------------------------------

උදෑසන සිට දහවල තෙක් සිදුවූ දේවල් නිසා නිර්මලී සිටියේ කල්පනා බරිතවය. අනුජ යනු සල්ලිකාර මිනිසෙක් බව උදෑසන නිවස පුරා ඇවිද ගිය ඇය හොඳින් තේරුම් ගත් දෙයකි. හතරවන මහලේ දොරටුව විවර කරගන්නට නොහී වුවද එහි තිබුණු විදුරු දොරෙන් තමන් කිසිදා දැක නොමැති පිහිනුම් තටාකයක් තිබෙනු දැකීම ඈ විශ්මයට පත්කොට තිබිණ. 

අනුජ වැනි සල්ලිකාර මිනිසුන්ගේ අනේකවිධ නොමිනිස් කම් ඈ අසා තිබුනේ එවන් නිවෙස් වලට මෙහෙකාරකමට යන ගෙවල් පේලියේ ගැහැණුන්ගෙනි. ඔවුන් සියල්ලෝම ඒ මිනිසුන්ගේ නොමිනිස් හැඟීම් වලට යටව , කරකියාගත දෙයක් නොමැතිව තමන් දැක අසා ඇති බව සිතද්දී තමන්ගේ ඉරණම ඊට වඩා ලොකු වෙනසක් වන්නේ කෙසේද?

ඒ සියල්ලටම වඩා සිය පෙම්වතා හැරදා මොන සුර විමනක සිටියද ඇයට එය අපායක්මය. උදෑසන ලත් අවසරයෙන් ඇය දිලීප ඇමතුවද එතරම් උදෑසනින් අවදි නොවන ඔහු දුරකතනයට පිළිතුරු දෙන්නට ප්‍රමාද විය. එබැවින් පොඩිනා හදිසියේ එතැනට පාත් වන ටිකට කියාගත හැකි වුයේ පොඩි ප්‍රමාණයකි.

"දිලීප අනේ මේ මම නිර්මලී. මම ඔයාට රෑ වෙලා කතාකරන්නම්, මේකට කෝල් ගහන්ඩ එපාඃ "

අනුජ යනු කවරෙක්දැයි තමන් සිටි චිත්‍රය මේ ගමනින් බොඳවී ගියාක් සේ ඇයට දැනුනි. ඔහු ගුප්ත අයෙක්ද? ඔහුගේ මිතුරා සැහැල්ලු වදනින් කතා කරන විට අනුජ ඒ හා සමානව සිනාසෙමින් සිටියේ පාසල් තරුණයෙකු ලෙසටය. නමුත් කුමක් හෝ අධ්‍යාපන ආයතනයකට ගොස් ඔහු එතන තමා වෙනුවෙන් කතාකලේ පියෙකු ලෙසටය. එහිදී ඈ උසස්පෙළ සිසුවියක් ලෙස බඳවා ගන්නට අවශ්‍ය පෝරම පුරවා බාරකරු ලෙස ඔහු අත්සන තැබුවේ නිර්මලී බලා සිටියදීමය. එයින් පිටත්ව පොත් සාප්පුවට ගොස් තමන්ට අවශ්‍ය සියලු පාසල් උපකරණ මිලට ගත්තේ සොයුරෙකු ලෙස වෙස් පෙරලාගෙනය. 

මිට පෙර කිසි දිනෙක නොදකිනලද පාට පාට පැන්සල් , මකන ආසාවෙන් අතගා බලන නිර්මලී ,  නැවත තබන සුකුරුත්තම් සියල්ලම පාහේ කවුන්ටරයට බාර දෙන්නට  අණ දුන් අනුජ පොත් අතර අතරමංව සිටින ඈ සොයා ගියේ බිල්පත ගෙවා නිමකිරීමෙන් පසුවය.

"මොකද? පොත් හොයන්නේ කියෝනවද?"

නිර්මලී මුළු දසන් දක්වාම සිනාසෙද්දී ඇගේ නළදත වෙත අනුජගේ ඇස රැඳීම වලක්වාලිය නොහැකි විය. ස්තුති කතාව අවසානයේද ඈ එලෙස සිනාසුනා හොඳටම ඔහුට මතකය. ඔහුගේ හදවත නතර වූවා සේ දැනුනේ ඒ මොහොතේය.

"හ්ම්ම්.. ටිකක්"

"යමු.. පරක්කු වෙනවා "

තමන්ට පොතක් මිලටගෙන දෙතැයි සිතුනු නිර්මලී පුම්බා ගත්තාය. පොත් සාප්පුවෙන් පැටවූ සියල්ලෙන් පසුපස ආසනය සහ ඩිකිය පිරි පැවතුනි.

"රිසල්ට්ස් එන්න තව කල් තිබ්බට කමක් නැහැ.. ටියුෂන් පටන් ගන්නවා. කොමස් නේද කරන්නේ?"

නිර්මලී පුදුමයෙන් මෙන් ඔහු දෙස බැලුවේය. 

"කොහොමද දන්නේ?"

"කොමස් ඩේ එකට ඔච්චර මහන්සි වෙන්නේ ඒකට ආසා නිසානේ. නිකමට හිතුනා"

අනුජ ගැන තිබුණු චකිතය පමණකට දුරුවී තිබුණු නිසා නිර්මලී තරමක්  කරන්නට වුවාය. නොපහන් බව එලෙසම තිබුනද ඔහු මෙතරම් ඉගෙනීමට උපකාර කරද්දී කතා නොකර ඉන්නට නිර්මලිට නුපුළුවන. නමුත් මේ නිවසින් ඉක්මනින් පලා යා යුතු යයි ඇගේ සිත කියයි.

මගදී කෙටි කෑම අවන්හලක් අසල නතරකල අනුජ නිර්මලී දෙස බැලුවේ හිස හරවාය.

"මොනාහරි කාලා යමුද? හ්ම්ම්?"

"මට බඩගිනි නෑ"

ඇගේ පිරුණු කම්මුල් අල්ලන්නට එන බලවත් හැඟීම අනුජ මැඩගත්තේ අපහසුවෙනි. හිමාල්ගේ තර්ජනාත්මක වචන ඔහුගේ සවන් පුරා දෝංකාර දෙන්නට විය. 

'උඹ මේ කෙල්ල ඉස්සර කරගෙන රට වටේ යන්නේ එහෙම නැහැ... කෙල්ල ලස්සනයි.. උඹව දන්නා මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. නිකන් බොරුවට ෆේස්බුක් එකේ වීඩියෝ හිට් කරන්නේ නැතුව ඉඳපන්'

"... මම අරගෙන එන්නම්.. හ්ම්ම්? මොනාද  කන්නේ? පැණිරස දෙයක්?"

ඈ දන්නේ බුන්දි පමණි. නමුත් හිස වැනුවේ ඔහුව කෝප ගන්වන්නට නොහැකි නිසාය. කලින් වතාවේ බීමට යමක් එපා කියූ සැනින් එකවරම අනුජ කෝප ගත්තේ නිර්මලී නොසිතු පරිද්දෙනි.

වාහනයෙන් බට අනුජ නැවත එනතුරු නිර්මලී සුවපහසු වාහනයේ ඒ මේ අත බලමින් සිටියාය. කිසි දිනෙක මෙවන් වාහනයක ඈ ගමන්කර නැත. නමුත් ඇගේ සිතට පැමිණියෙම දිලීපය. 

ප්‍රේම සම්බන්ධය යයි කියනා තරමට ඒ කතාබහ ඇරඹි මාස කිහිපයක් පමණකි. වෙනත් ගමකින් පැමිණ පදිංචිවී පාසල අසල ත්‍රිරෝද ගාලේ සාමාජිකයෙකු වූ දිලීප නිර්මලී දුටු දවසේ සිට ඈට බේරුමක් දුන්නේ නැත. ඈට කැමැත්තෙන් සිටින යයි හැඟෙන සියලු තරුණයන් හා හබ කරගන්නා ඔහු ඉක්මනින් කිපෙන බව නිර්මලී දනී.  බේරෙන්නම බැරි තැන ඔහුට කැමැත්ත දුන්නද, ඉන් පසුව ඔහුගේ දඟකාරකම් හමුවේ නිර්මලී ඔහුට නොසංසිඳෙන ලෙස ප්‍රේම කළාය. 

තාත්තාගේත් කුඩම්මාගේත් නිරන්තර මානසික සහ ශාරීරික වදයන්ට ලක්වූ නිර්මලී ඒවා දිලීප සමඟ කියමින් සිත නිදහස් කරගත්තාය. මේ මිනිසා එවන් සමීප බවක් ඇත්තෙම නැත. ඊටත් තමන් ඔහුට ප්‍රේම නොකරයි. දිලීප හාදවූ දින දෙක තුනට පොඩි අවසරයෙන් ඈ වෙත මුදාහල ආවේගයන් ගැන සිහිවන විට නිර්මලී මේ මෝරපු මිනිසාට ඇති බිය දෙගුණ කරවයි. පළමු දින රාත්‍රියේ ඔහුගේ බැල්ම සිහිවනවිට ඈගේ සියොලඟම අප්‍රාණික වන්නා සේය.

කෙටි කෑම පාර්සලයක් සමඟ අනුජ වාහනයට එන තරමග ඔහු හඳුනන කිහිප දෙනෙක් ඔහු හා කතා කරනුද , තරුණියන් දෙදෙනෙක් ඔහු හා එක්ව සිටගනිමින් ජායාරුපයක් ගන්නා අයුරුද නිර්මලී දුටුවාය. අනුජගේ මුහුණේ ඇති ඒ සිනහව දෙස යලිත් බැලු නිර්මලී සිතුවේ ඔහු මෙතරම්ම කපටි , අමුතු කෙනෙකු වන්නට හැක්කේ කෙලෙසද කියාය. 

'සල්ලිකාර මිනිස්සු අපි වගේ නෙවෙයි කෙල්ලේ... උන්ට අණක් ගුණක් නෑ. සල්ලිම තමයි ඔක්කොම. ගෑනු උනත් මේම මේම ඕනේ හැටියේ.  මහත්තයාගේ නෝනා නිලියෙක්නේ.. හරි ලස්සන.. ඒ උනාට ගෑනු හැමතැනම...'

අවුරුදු ගානකට කොළඹ ලොකු බංගලාවක වැඩට සිටි මිලි අම්මා නිවාඩුවට පැමිණි දිනෙක කට්ටිය වටකොටගෙන කියද්දී නිර්මලී අසා සිටියා මතකය.

වාහනයට නැග නිර්මලී වෙත සිය බෑගය දිගුකල අනුජ, නාදවන සිය දුරකථනය දෙස බැලුවේය.

"හෙලොව්?"

"බොස් කොහෙද ඉන්නේ ?"

කටහඬ හඳුනාගත් අනුජ ඔරවාගත් මුහුණෙන් යන්තමට නිර්මලී දෙස බලා වාහනය පනගන්වා පාරට ගත්තේය. පිළිතුරක් දෙන්නට ඔහුට හදිසියක් තිබුනේ නැති බැවින් බ්ලුටුත් උපකරණය කනේ ලාගෙන හුස්මක් ඉහලට ගත්තේය.

"හ්ම්ම් මම දැන් එළියේ ඉන්නේ"

"ඕකනේ බොස්.... උදව් ගන්නකොට තියෙන හෙවිල්ල නෑනේ උදව්වෙන් පස්සේ"

අනුජ පිළිතුර පමා කලේ හොරැහින් නිර්මලී දෙස බලමිනි ඇය කෑම පාර්සලයට එබෙමින් සිටියේ කුඩා දැරියක පරිද්දෙනි. ඇත්තටම ඈ කුඩා දැරියකි.

"මම තව ටිකකින් ගන්නම් මොරිස් , පොඩි වැඩක ඉන්නේ"

"ආ... ඔව් දැන් වැඩ ඇති තමයි. කෙල්ල පොඩි උනාට සාරෙට උනන්නේ... හරි හරි බොස් කරගෙන යන්න.. මට කෝල් එකක් එහෙම දෙන්නකෝ"

අනුජ ඇමතුම විසන්ධි කලේ සිතේ සැලසුමක් ඇඳගෙනය. 

නිවස දක්වා වේගයෙන් පැදවූ වාහනය සහ ක්ෂණයෙන් වෙනස් වුනු අනුජගේ මුහුණේ ඉරියව් දුටු නිර්මලී සැලකිල්ලෙන් ආවර්ජනය කලේ ඇයට ඇසුණු කරුණුය. 'මොරිස්' ඇයට ඇසුනා නිවැරදි නම් එවන් නමක් ඇති මිනිසෙකු කතා කළේය.

නිවසට පැමිණි සැනින් පොඩිනා සමඟ නිර්මලී , රැගෙන ආ පොත් පත් ආදිය ගනිද්දී, අනුජ නිවසට ඈතින් සිට කාගේ හෝ සමඟ අතපය වනමින් ආවේගයෙන් ඇමතුමක සිටිනු නිර්මලිගේ ඇස ගැටුණි. 

අනුජ කෝප වූවිට බලන්නට නොහැකි තරමට බියජනක බව මතක් වූ නිර්මලිට ඒ සැනින් සිය පියාගේ රුදුරු මුහුණ සිහිවිය. කිසිදා ලේ පොදක් නැති ඒ මුහුණ කොයි මොහොතේත් අවුල් වූ කෙස් වැටියෙන් වැසී තිබිණ. ඔහු සැමදාම සිය කෝපය වෛරය මුදාහළේ නිර්මලිට තඩිබෑමෙන් නිසාත් තමන්ට ඕනා තරමය දෙයක් නොවුනොත් දිලිපගේ ප්‍රතිචාරයත් විඳ තිබිම නිසාත් පිරිමින්ගේ කෝපයෙන් විලිස්සෙන මුහුණ ඈට අමුත්තක් නොවුනද, නොදන්නා මේ මිනිසාගේ කෝපය ඈ බියපත් කරවන්නේ අවිනිශ්චිත බවකිනි.

ලෝරා කොහේ හෝ සිට නටාගෙන පැමිණ දොර අසල නතර වී වලිගය වනමින්, කෙඳිරි ගාමින් ඈතින් ඇමතුමේ සිටින අනුජ දෙසම බලා සිටින්නේ නිර්මලී පසුකරගෙන යද්දීය. නිර්මලිගේ සිත ඌ අල්ලන්නටමය, නමුත් ලෝරා නිර්මලී සමඟ මිත්‍ර වීමට ඉක්මන් නොවුවාය.

"පුංචි නෝනා තේ හදන්නද?"

"හා නැන්දා "

පොඩිනාගේ සිත ගැස්සුනි. මුල් දිනයේ ඔරවාගෙන සිටියද තරුණියගේ මුහුණට අද එළියක් වැටී තිබිණ.

'අනේ මන්දා පොඩි මහත්තය මොන පිස්සුවක් නටනවද කියල'

තරුණිය ගෙනා කෙටි කෑම , පිළිවෙලකට දීසියකට අසුරා මේසය මත සැකසුවාය. 

"පොඩි මහත්තය බොන්නේ කිරි කෝපි... කිරි යහමින් දාල සීනි නැතුව"

පොඩිනා කියවන්නේ ආඩම්බරයෙනි. නිර්මලිගේ සිත එහි රැඳුනේ නැත, ඇයට අවශ්‍ය වුයේ නැවතත් දුරකථනය වෙත ළඟාවන්නට අවස්තාවක් ගන්නටය.

හැකි ඉක්මනින් දිලීප අමතා ලද අවසරයෙන් මේ  උගුලෙන් මිදී එළියට පනින්නටය.

------------------------------------ මතු සම්බන්ධයි --------------------------------


අලුත් කතාවක්, වෙනස්ම තේමාවක් එක්ක. කමෙන්ට්ස් සහ ප්‍රතිචාර බලලා මම පලකරන්න හිතුවේ. ඒ නිසා කියවලා රසවින්දා නම් කමෙන්ට් එකක් හරි ලයික් කරලා හරි ප්‍රතිචාරයක් දක්වනවා නම් ඒක ලොකු හය්යක්. ස්තුතියි  

2 comments:

  1. ammo aluth kathawak!!! lassanai, digatama liyanna, thank you so much.....!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට.ලියන්නම් වෙලාව එන විදියට

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...