Wednesday, September 1, 2021

267: රතුපාට මල් - 9



https://kadadasikole.blogspot.com/2021/08/266-8.html

මෝහන පන්තිය වෙලාවට මම යෝගා පන්තියක් පටන් ගත්තෙමි. එසේ කලේ යෝගා කිරීමට  උනන්දුවක් නිසා නොව, මා එහි යාම වලක්වාලීම අපහසු බව මට දැනුන නිසාය. එබැවින් සති දෙකක අවෑමෙන් මම සාර්ථක ලෙස පන්තිය මගහැරගත්තෙමි.

සුපුන් හදිසියේම මා අමතනු පෙනී තරමක කලබල වූ බව හැබෑය. මම පැමිණි whatsapp වීඩියෝ ඇමතුමට පිළිතුරු දුන්නේ කැළඹීමෙන් බව නොකිවමනාය.

"කුන්චි!"

කැමරා කාචයෙන් සුපුන් මා දුටුවනම එකවර කියද්දී, මා ඉදිරියෙන් අල්වාගෙන සිටි දුරකථනය ලිස්සා නොගියා පුදුමය. 

"ඇයි සුපුන්?"

සුපුන් සිය මුහුණ වඩාත් දුරකතනයට ලංකොට සිටියේ සිය පැහැපත් මුහුණේ මනාව කැපුණු රැවුල්කොට පවා පැහැදිලිව පෙනෙන පරිද්දෙනි.එතෙක් දුටු දේ අනුව,  මට පෙනුනේ ඔහු සිටියේ කාර්යාල ඇඳුමේ ටයිපටිය බුරුල්කොට කමිසයේ බොත්තම් තුන හතරක්ද ගලවා දමාගෙන වන්නට ඇත. මට කිසිවක් දැනුනේ නැත.

"ඔයාගේ..මුණ ටිකක් ලං කරන්න... මට ඔයාව බලන්න ඕනේ"

මට ඉබේටම වේගයෙන් ඇසිපිය සැලුනි.

"Are you ok ?"

මට ඇසුනේ ඉබේටමය. 

"කුන්චි... මට බලන්න ඕනේ ඔයාව.... කෝ? මට හොඳට මුණ පෙන්නන්න.."

මට දැනුනේ අපහසුතාවයක් වන්නට ඇත. උදෑසන යෝගා පන්තියෙන් පසුව පැමිණ උණුවතුර ස්නානයෙන් පසු, සැහැල්ලු කොට ගවුමකින් සැරසී උන් මට එය දැනුනේ බලහත්කාරකමක් ලෙසය. 

නමුත් මම සුපුන්ගේ මුහුණ දෙස බලාගෙන සිටියෙමි. ඔහු තරමක වේගයෙන් හුස්ම අල්ලන බව මට පෙනුනේ ඔහුගේ පුළුල් නහයේ අග පමණට වඩා ක්‍රියාකාරී බවක්පෙනුන නිසාය.

"පිස්සුද සුපුන්? ඇයි මේ?"

සුපුන්ගේ මුහුණ බලා සිටියදී රතු පැහැයට හැරුණි.  

"මට තව ටිකක් දවසක් ඉන්න වෙයි. "

එය මා කම්පිත නොකළේය. නමුත් අකම්පිතව සිටින්නටද මට නොහැකිය. ඇතුළාන්තයට වැද මම විසින්ම මගේ ලය සොලවා ගත්තෙමි.

 'සුපුන් තව දවසක් ඉන්නවලු කුන්චනා.. පොඩ්ඩක් දුක් වෙයන්කෝ'

"මම වැඩක හිටියේ.. පස්සේ කතාකරන්න පුලුවන්ද?"

"ආ.. ඔයාගේ මෝහන ක්ලාස්  අද? ආ හරි මට මතක නැති උනා.. ඔයා ඉන්නේ ක්ලාස් එකේද? මම තියන්නම් එහෙනම්"

මගෙන් පිළිතුරක් නොලබාම සුපුන් ඇමතුම විසන්ධි කළේය. කුමක් හෝ හේතුවකට මට එකවරම පෙරදා රාත්‍රිය සිහියට නැගුණි.

'සමහර වෙලාවල් වලට නින්දෙනුත් මට ඔය ඇස්දෙක පේනවා'

මට ලැබුණු කෙටි පණිවිඩය පෙරදා සිහිනයේදී මට කන අසලින්ම මුමුණා පැවසුවේ ගොරෝසු හඬකිනි. මම භීතියට පත්වීමටත් වඩා සිදුවුයේ කුමක් හෝ සරාගී හැඟීමක් සමඟ එන නොසන්සුකාරි සිතකින් ඒ මොහොත වෙලා ගැනීමයි. අනෙකුත් දිනවලදී මෙන්ම පටු කොරිඩෝව, අඩක් වැසුණු දොරක කාමරයකින් එන මුණු මුණු හඬ හා කෙඳිරියට මේ වචන ටික එක්කල අනාරක්ෂිත භීතිය නිසා මම දහදිය දමාගෙන ඇහැරෙන විට සිහියට ආවේ මා සිටියේ සාලයේ තබා තිබුණු හකුලන සෝෆාවේ බවයි. රුපවාහිනියේ ඩිස්කවරි නාලිකාව ඒ වනවිටත් රූප මවමින් සිටියේය. 

මා තුල සිටින ස්ත්‍රී මුර්තිය කුමක් හෝ අහිමි දෙයක් යදිනවාක් මෙන් මට දැනෙන්නේ ඇයි? මේ සියල්ල ඇරඹුණේ අදක ඊයෙක නොවුවද, මේ සා කැළඹීමක් මා තුල පෙරලි කරන්නට පටන්ගෙන මාසයක් පමණ වී ඇති බව මගේ හැඟීමයි.

සුපුන්ගේත් මගෙත් මේ සම්බන්ධය මට මෙතරම් අර්බුදයක්ව දැනෙන්නේ ඇයි ? ඉහළපෙලේ ආයතනයක අලෙවි අංශයේ අධ්‍යක්ෂක කෙනෙක් ලෙස සුපුන් හමුවූ මොහොත මට සිහියට නැගුනේ නිරායාසයෙනි.

සාද වලට මගේ ඇති අතිශය අකමැත්ත නොසලකා , මගේ විශ්වවිද්‍යාලයේ නව පර්යේෂණ කෘතියේ විද්වත් සාකච්ජාවට අනතුරුව පැවැත්වූ කුඩා සාදය අතරතුර මම සිටියේ මගේ දුරකතනයෙන් අන්තර්ජාලයේ යමක් කියවමිනි.

සුපුන් සමඟ එහි පැමිණි මගේ නිබන්දන සකසන රේඛා නම් ගැහැණිය , මට ඔහු හඳුන්වා දුන්නේ නමගිය ඔහුගේ සමාගම ගැන මට ඇතිවූ උනන්දුව ගැන සලකා වන්නට ඇත. මා දුටුවනම සුපුන් සිය යටිතොල විකාගෙන කුමක් හෝ කළා මතකය. එදිනම හුවමාරු වූ දුරකථනය අංක ,  ඉන් පසුව දිනක් ඇතුලත සිදුවූ දුරකථන සංවාද අධිවේගී දුම්රියක ගිය ගමනක් විය. රේඛා මගේ අසල රැකියාවෙන් ඉවත්වී ගියද, සුපුන් මගේ ජිවිතයේ නැංගුරම දමාගෙන හමාරය.

අවංකවම පැවසුවහොත් අප දෙදෙනාගේ බැඳීම සෑහෙන පමණකට ශරීරයන් හා එක්ව ගියේය. එය මට කිසිවිටෙකත් ගැටළුවක් නොවුයේ  විවාහයක් සහ ඒ හා සමාන බැඳීමක් කෙරෙහි මගේ කිසිවිටෙක උවමනාවක් නොතිබුන නිසා වන්නට ඇත. 

මගේ ඇමරිකාවේ ගතකල වසර ගණනාව තුලදී ප්‍රේමයෙන් බැඳීම, කායික සබඳතා සහ විවාහය සැමවිටම එකිනෙකට ස්වයායත්තව සිතන්නට මම පුරුදුවී සිටියෙමි. එය මා සිටි රට නිසා  සිදුවූවක් යයි මට සිතෙන්නේ නැත. කුඩාකල සිටම නිවසේ පෙරළිකාර චරිතය වූ මම ඒ මතය තහවුරු කරගත්තා පමණක් වන්නට ඇත.

දුරකථනය නාද වුයේ ඒ මොහොතේය. තාරුකා? මේ වෙලාවේ?

"කුන්චි?"

"යේස්? කියන්න තාරු?"

"ඇත්තටම ඔයා හොඳින්ද?"

මට ඒ පැනයට පිළිතුරක් තිබුනේ නැත. තාරුකා මේ අසන්නේ කුමක් අරභයාද යන්න මට  වැටහුනේ නැත.

".... උඹේ මෝහන පන්තියක් කට් කලාද?"

"ආ?"

මම පුදුමයට පත්වනවාත් සමඟම තාරුකා ඒ ගැන දන්නේ කෙලෙස දැයි මට පුදුම සිතුනි.

"ආ... නෙවෙයි... මට එතනින් කෝල් කළා මේ දැන්.. සති දෙකකින් ඇවිල්ලා නැහැ කියල. මොකක්හරි ප්‍රශ්නයක්ද අහනවා. උඹ මගේ නම්බර් එකද එතනට දුන්නේ මැට්ටි ?"

මට සිනාවක් පැන්නේ ඒ මොහොතේය. පන්තිය පිළිබඳව මගේ තිබුණු නොසැලකිල්ල කෙතරම්ද කියතහොත් මම එයට ලබාදුන්නේ තාරුකාගේ දුරකථන අංකයයි. එක දිගට සති දෙකක්ම නොපැමිණි නිසා ඔවුන් කතාකොට ඇත්තේ තාරුකාටය.

"ඉතින් උඹ මොකද කිව්වේ?"

"අහන හැටි විතරක්! මම ඉතින් උඹ වගේ කිව්වා එන සතියේ එන්නම් කියල. එනකොට සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන එන්නලු, ප්‍රැක්ටිකල්ලු එන සතියේ කරන්නේ. මේ... ඇත්තටම මොකක්ද ඔය මෝහන පංතිය ? මටත් ආසා හිතුනා"

"ආ... එහෙනම් උඹ යන්න මම වෙනුවට.. "

මම  මෝහන  පන්තියට යන මං සලකුණු පැවසුවේ සිනාසෙමිනි.

"පිස්සුද කුංචි ? ස්ටුඩන්ට්ස්ලා ඔහොම ෆොලෝ අප් කරනවා නම්, ඔයා හිතන්නේ ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියලද? ඒ කතා කලේ එතන සර්.. කෝල් එක කට් කරන්න කලින් මට කිව්ව දෙයින්ම තේරුනා අහු  උනා කියල."

"මොනවා? සර් කතාකලා? ඇයි මොනාද කිව්වේ? "

"පණිවිඩේ දෙන්න කිව්වා. මට ඒක මීටර් උනේ කෝල් එක කට් කලාම"

කාශ්‍යප මායාදුන්නේ.... ඔහු කවර ආකාරයක ගුප්ත අයෙක්ද? මට දැනුනු හැඟීම අමුතුය. ඔහුගේ ගුප්ත දෑස සහ දවුලක් වයන්නාක් මෙන් දැනෙන පැහැදිලි ගැඹුරු කටහඬ නැවත සිහිපත් වී ඉබේම නියපොතු සපන්නට වීමි.

"එන සතියේ බලනවා... මට ඒකට යන්න කම්මැලි තාරු.. කොහොමත් මම ඒ වෙලාවට යෝගා ක්ලාස් එකක් දාගත්තා."

"යෝගා ?"

තාරුකාට සිනාවක් පැන්නේ ඇසුරු සැනිනි. 

"ඔයා දන්නවද... යෝගා කරනකොට.... ගැහැණුන්ගේ සරාගී සිතුවිලි ඇවිස්සෙනව කියල? ඔයාගේ ඔය මේ දවස්වල කුලප්පුවට හේතුව ඒක වෙන්න ඇති"

හේතුවක් නොමැතිව මම ගල්භීත වී ගියෙමි.

".... වෙනදට වඩා සෙක්සි වෙලා, අත්නැති හැට්ට එක්ක සාරි ඇඳගෙන ඇවිල්ල , ඩිපාර්ට්මන්ට් එකම හොලවලා ඉන්නේ දැන් ඔයා"

"තාරු?"

කුමක් හෝ හේතුවකට මම කෝප ගත්තෙමි. ඇමතුම විසන්ධි කල මම සාලයේ ඒ මේ අත ඇවිද්දේ උමතුවෙන් මෙනි. කාගේහෝ පිටින් තරහා යවන්නට තරම් ආවේගයක් මට ඇතිවූවා වන්නට ඇත. මහා අනාරක්ෂිත , අසරණ බවක් මට දැනී දෑත් දෙපා වෙව්ලා ගියාක් මෙන් විය.

වෙනදාට නම් මා සරාගික බව කියූ සැනින් මම සිනාසී බාරගන්නට මට කිසිදු අපහසුවක් දැනී නැත. එය මා අසන පලවෙනි වතාවද නොවේ. සාගරයක උඩුබැලිව ජලය මත පාවෙමින් අහස දෙස බලා සිටියදී රැල්ලට ගසාගෙන ගියාක් මෙන් මට දැනුනේ හුස්මක් අල්ලාගත නොහැකි බවකි.


*****************************************

  සතිය ගෙවී ගියේ ඉබි ගමනේය. රාජකාරි වලින් ලැබෙන හැම ඉසිඹුවම මම සිසුන් හා තව තවත් සාකච්ජා වලට මිඩංගු කලෙමි. බ්‍රහස්පතින්දා සවස වනවිට , හැකි හැමවිටකම කාර්යබහුල වන්නට උත්සහ කිරීමම මා වෙහෙසට පත්කොට තිබිණ. ගෙවී ගිය සතිය පුරාමත්, මේ සතියේත් හැම දිනකම හරියටම සවස 4 වනවිට මා වෙත පැමිණෙන අනිවාර්ය කෙටි පණිවිඩයක් විය.

'මහන්සිද මගේ ලස්සන ඇස් තියෙන කෙල්ල?'

එය පැමිණියේ මම eyes යනුවෙන් ගබඩා කරගෙන සිටින අංකයෙනි. බදාදා දිනයේ පමණක් වෙනස් පණිවිඩයක් තිබිණ.

'මට මහන්සිද අහන්නේ නැද්ද? මට අද හරි මහන්සි'

වෙලාව සවස 4 පසුවී විනාඩි තුනකි. මම සිටියේ පර්යේෂණ වාර්තා දෙකක එකිනෙක සමාන කරුණු තිබීම පරික්ෂා කරමිනි. සිසුන් දෙදෙනා එකම මුලාශ්‍රයෙන් ගත්තා විය හැකි බවට මගේ ඉව මට හොඳින් දක්වා තිබිණ. 

අධ්‍යාපන රාජකාරි වලදී මම තරමක දෘඩ ප්‍රතිපත්තියක් අනුගමනය කල බව කා අතරත් ප්‍රසිද්ධ කරුණක්ව පැවතුනද, වංචාවක් නොමැති නම් අවැසි අඩුපාඩුවක් නිවැරදි කරගෙන ඉදිරියට යන්නට ඇති මගේ ආධාරය නොඅඩුව බොහෝ සිසුන් ලද්දෝය. එබැවින් මගේ රෙකමදාරුව ලැබීම වැඩි දෙනෙක් සැලකුවේ මහත් අභිමානයක් ලෙසය. නිශ්ශංක විසින් වංචා කරන්නට ඇති හේතුවද එය විය.

කවුරුන් හෝ මගේ කුටියේ දොර අසල ගැවසෙනු මට බොඳ කරනලද වීදුරුවේ කොටසින් පෙනුනද, මම පාඩුවේ මගේ වැඩට හිත යොමුකොටගෙන සිටියෙමි.

දුරකතනයට යම් පණිවිඩයක් එනු මට ඇසුනි. මම එය නොසලකා දැමුවද, අද දින පණිවිඩය කුමක්දැයි බැලීමේ කුහුලක් මා සිත එකවරම පොලා පැන්නේය.

දොර විවර කරගෙන පැමිණියේ මා සමඟ එක්ව වැඩකරන මහාචාර්යවරයෙකි. 

'මේ මොන නැහැදිච්ච කමක්ද? '



දොරට තට්ටුවක්වත් නොදා එලෙස පිවිසුණු චන්ද්‍රසේකර මහතා දෙස මට ඉබේම බැලුනේ දෙබැම හකුලා නොපහන් බැල්මකි.

"කුන්චනා.. මම මගේ මගේ හොඳම මිත්‍රයෙක් අඳුන්වලා දෙන්න කියලා ආවේ.. "

එසේ කියද්දී ඔහුගේ මිටි ශරීරය පසුපසින් මතු වුයේ තවත් තරබාරු ,මිටි මිනිසෙකි. ඔහුගේ මුහුණ තෙල් පිරීමෙන් දිලිසෙනවාක් මෙන් පෙනුනේ මුහුණේ ඇතිවූ සිනහව නිසා වන්නට ඇත. රවුල් ගසක්වත් ඉතුරු නොකොට ඔහු මුහුණ සඳක් මෙන් පාලු කොට ඇත්තේය.

"... රණබාහු මහත්තයා.. මේ ඉන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න යංම පි.එච්.ඩී කෙල්ල! ඩිපාට්මන්ට් එකම හොල්ලගෙන ඉන්නේ"

"හලෝ... "

මම අසුනෙන් නැගිට රණබාහුට සුහද සිනාවක් පා චන්ද්‍රසේකර මහතාට ඔරවා සිටියෙමි.

".. මොනාද මිස්ටර් චන්ද්‍රසේකර මේ කියවන්නේ... පිස්සුද මන්දා. වාඩිවෙන්න.. මොනාද මගෙන් කෙරෙන්න ඕනේ?"

දෙදෙනාටම මා ඉදිරියේ පුටු පෙන්වා මම සුහදව බොරු සිනාවක් මවාගෙන කිව්වෙමි.

"මිස්ටර් රණබාහු මේ දවස්වල පත්තරේටආටිකල් එකක් ලියනවා.ආටිකල් එකක්  කිව්වට ආටිකල් සීරිස් එකක්. ඉතින් මිස්ටර් රණබාහුට ඕනේ කිව්වා වෙනස් අත්දැකීම් තියෙන කෙනෙක් හම්බෙන්න. මම දන්නවනේ කුන්චනාගේ වෙනස් වැඩ.."

මට පමණක කෝපයක්ද නොනැගුනා නොවේ. මෙතරම් මා ගැන විකාර කියවන්නේ මොකටද? මම එහෙම වෙනස් ග්‍රහලෝකයකින් පැමිණි අයෙක්ද?

"අනේ මිස්ටර් චන්ද්‍රසේකර , මම එහෙම වෙනස් කෙනෙක්  නෙවෙයිනේ.. මොකද්ද කියන්නකෝ හරියටම මේ මිස්ටර් රණබාහු මගෙන් බලාපොරොත්තුවෙන වෙනස කියල?"

රණබාහු නැමැත්තා ම දෙස මෘදු බැල්මකින් බලා සිටියේ සිනාසෙමිනි.

"මිස්.! මිස් පුනුරුප්පත්තිය විස්වාස කරනවද?"

මම තිගැස්සුනේ ඇයිදැයි නොදනිමි. මගේ බැල්මෙන් ගැස්සුනේ චන්ද්‍රසේකර මහතාය. මගේ බැල්මෙහි තිබුනේ පිළිතුරක් බව  ගත්තාක් මෙන් චන්ද්‍රසේකර මහතා දෙස බැලූ රණබාහු සිය කුර්තා කමිසයේ එක අතක් ඉහලට කර මගේ මේසය මත තබා ඉදිරියට නැමුනේය.

"... මිස් කැමති නම් අපි මේ ආටිකල් එකට මිස්ගේ අදහසුත් එකතු කරමු. සමහර දේවල් වලට අපි එකඟ නොවෙන එකම සුදුසුකමක්"

ඒ හඬේ ඇති සෝපහාස බව මට අභියෝගයක්ව දැනුනේය. කවරෙකු හෝ මට අභියෝග කළහොත් එයම මගේ අරමුණව යන බව  මම පවා පාලනයෙන් තොරව පිළිගත්තෙමි.

"ඉන්ටරෙස්ටින්... ...හ්ම්ම්.... පුළුවන් දෙයක් තියෙනවා නම් බලමු. මට මිස්ටර් ගේ නම්බර් එක දෙන්නකෝ. ආයෙත් ආවහම කතාකරමු. මට දැන් යන්න ටිකක් හදිස්සියි"

එලෙස කියුවේ මට දැනුනු අභියෝගය මා තුල වැඩෙන්න හරින්නට ඉඩදිය යුතු නිසා වන්නට ඇත. ඔවුන් පන්නාගත් වහාම මම ඉක්මනින් බෑගය රැගෙන පිටතට එද්දී තාරුකා හමුවුයේ මහා කලබලයක් මුහුණේ තිබියදීය.

"තාරු?"

"ආ...ම්ම්.."

"ඇයි දැන් ඕෆ් වෙන්නේ නැද්ද? "

තාරුකාගේ මුහුණ කළු වී වෙනස්ව ගොසිනි.

".. මොකක්හරි කලබලයක්ද?"

"න.. නෑ කුන්චි මම මේ පණිවිඩයකට යන ගමන්.. ඔයා යන්න එහෙනම් බායි"

මම සුසුමක් හෙලා මගේ කාර්යාලයේ ගොඩනැගිල්ල ඔස්සේ ඇති පටු මාවතෙන් වමට හැරී වාහන අංගනය වෙත ගියෙමි. වාහන අංගනය ඉඳුරාම අනෙක්පස ඇති පිට්ටනිය දෙස නිකමට මගේ දෑස යොමු වුයේ හේතුවක් ඇතිව නොවේ.

තාරුකා පිට්ටනිය කොනේ ඇති අරලිය ගසක් අසල පිරිමි රුවක් සමඟ කතාවක බව මට එකවරම පෙනුනි. දෙදෙනා බහින්බස් වන බවත් පෙනුනි. ඇගේ පුද්ගලික සම්බන්ධතා මට එතරම් වැදගත් නොවන නිසා මම වාහනය විවෘත කර රියදුරු අසුනට නගිද්දී , වාහනයේ ඉදිරි වීදුරුවේ පිටතින් අලවා තිබුණු කහ පැහැති 'ස්ටිකි නොට්' එක ඇස ගැටුණි.

'මගේ ලස්සන ඇස් ඇති කෙල්ල!'

 රවුම් ලස්සන අකුරු වලින් එසේ ලියා තිබිණ.


******************* මතු සබැඳි ************************

4 comments:

  1. ටඋඩු.. ලිඛිතා කෙලී දැක්ක කල්‍‍
    කෙල්ලද කොල්ලද වැඩක් නෑ ඕං.. සෑහෙන කාලෙකිං කඩං වැටුනෙ‍‍
    ඔක්කම කියවල එඤ්ඤං
    ජය

    ReplyDelete
    Replies
    1. ආ නියමයි නියමයි.....
      කියෝගෙන එමු... පරෙස්සමෙන් ඔය වැටිච්ච පතුරොම් එහෙම ඇති කලින් පෝස්ට් වල

      Delete
  2. කවුද ඕක.. මට ඔය වටේ පිටේ ඉන්න පිරිමි දෙතුන් දෙනා ගැන තාම හරියට අධ්‍යයනය කරන්න බැරි උනා.. ඒකට කමක් නෑ.. කුන්චිට මොනා හරි උදව්වක් ඕනි නම් ඕනි වෙලාවක මට කියන්න. :)))

    ආ..මේ.. ඒක නෙවෙයි ඔහේගේ නුවර කුමාරි අඩවිය ආපහු පන ගහලා දුවනවා නේද? ඒක මට අප්ඩේට් වෙන්නේ නෑනේ. අහම්බෙන් දැක්කේ දවසක්..

    ReplyDelete
    Replies
    1. හම්මේ.. උදව්වට නම් ඔය දැනටමත් වටවෙලා ඉන්නේ කට්ටිය.. පෝලිමේ එන්ට

      අනිත්වා නම් මන්ද

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...