Monday, May 15, 2017

105. රතුපාට මල් - 2


රතුපාට මල් - 1


තරමක් විශාල ශාලාව පුරා කැඩුණු ඩෙස් බංකු අතුරෙන් පරිස්සමෙන් තෝරා පිරියම් කරනලද පැරණි ඩෙස්ක යාකොට පේළි දහයක පමණ පංතිය 'අටවා' තිබුනේ වම්පස මුල්ලට වන්නටය. ගුරුතුමාගේ ආගමනයත් සමඟම එතෙක් තැන තැන අල්ලාප සල්ලාපයේ හා දෙතිස් කතාවේ නිරතවෙමින් උන් සියලුදෙනා සීනි මුලකට ඇදෙන කුහුඹුවන් මෙන් එකා පසුපස එකා වශයෙන් ඇතුල්වනවිට මට පෙනුනේ සංඛ්‍යාව තිහකට නොඅඩුවන බවයි.

'කල්ල මරේ ඇති'

මම නැවත සිනාසුනෙමි. නමුත් කිසිත් නොකී මම බංකු පේළියේ පස්වන පේළියේ මුල්ලකට වන්නට මගේ බෑගය තබා ඉක්මනින් ඉඩක් වෙන්කර නොගන්නට, පෙරකී තරුණියන් හතරදෙනා විසින් එය අත්පත්කරගන්නට හෝ ඉඩකඩ තිබුණි.

මට දැනුනේ කාලකන්නි සතුටක් වන්නට ඇත.

සියලු දෙනාට වැඩි සද්දයක් නොමැතිවම අසුන් වලට පත්වුහ. ඉදිරියෙන් තිබුණු පේළිවල ගැහැණුන් සහ පසුපස ආසනවල පිරිමින් වශයෙන් බෙදීගොස් තිබුණු එම පේළිවල, මම සිටියේ ගැහැණු අන්තිම පේළියේය.

වාඩිවී උන් අප සියලු  දෙනා දෙස වරක් සිය තියුණු බැල්ම යෙදු ගුරුතුමා හිස වරක් ඔසවනවිටම කවුරුන් පටන්ගත්තාදැයි සිතිය නොහැකි උවද අප සියලු දෙනාම එකවිටම නැගී සිටියෙමු. මම නම් එසේ කරන්නට ඇත්තේ අනෙකුත් අය එසේ  කරද්දී නිරායාසයෙන් ආ හැඟීම නිසා වන්නට ඇත.

"හැමදෙනාටම සුබ උදෑසනක් වේවා!"

දවුලක ගැඹුරු තානයක් බඳු ඒ කටහඬ මා තිගැස්සුවා කිවහොත් නිවැරදියි. එතරම් පැහැදිලි, ගැඹුරු කටහඬක් මම මීට පෙර කවරදාකවත් අසා තිබුනේ නැත. ඊටත් මෙවන් තරුණ පෙනුමක් ඇති කෙනෙකුගෙන්?

"එසේම වේවා සර්"

අතරින් පතර 'සර්' නොකියපු අයවලුන්ද, වෙනස් උත්තර දුන් අයවලුන්ද සිටියෙන් ගුරුතුමා ඒ සියල්ලම නිමවනතුර සිට හිස පහලට, ඉහලට කරමින් සිටියේය.

"හොඳයි... වාඩිවෙන්න"

ඉක්බිති එළඹියේ තමන් හඳුන්වාදීමේ කාලයයි. මට මහත් අපහසුතාවයක් දැනුනි. මුල්ම පේලියේ පටන් වරකට අයෙක් බැගින් නැගිට, තමන්ගේ නමත් ඉක්බිති තමන්ගේ වාසස්ථානයට අමතරව රැකියාව හෝ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කෙරුණි.

'බොරුවක් කියනවා.. එක්කෝ... නෑ රස්සාවක් කරන්නේ නැහැ කියනවා.. නෑ එහෙම කිව්වොත් හිතයි මම මැට්ටෙක් කියල... නෑ... ඉගෙනගත්ත යුනිවර්සිටි එක විතරක් කිව්වහම ඇති'

මම මා තුලම අරගලයක සිටිමින් කිවයුත්ත - නොකිවයුත්ත පෙරමින් සිටියෙන් අනෙක් කිසිවකු කියන්නේ කුමක්දැයි පවා මග හැරුණි. වාරය මගේ අසලටම පැමිණෙද්දී, හුස්මක් ගෙන මම නැගිසිටින්නට සදනවිටම...



"දැන් පිටිපස්සේ ඉඳල කියමු බලන්න ඉස්සරහට!"

මගේ වාසනාවට මෙන් ගුරුතුමා එලෙස කිවේය. පසුපසම පේලියේ සිටි අයෙක් නැගිට තමන් හඳුන්වා දුන්නේය.

"මගේ නම වාසුල සේනාරත්න. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර ශිෂ්‍යයෙක්. ආවේ කැස්බෑවේ ඉඳල"

"හ්ම්ම්..."

"මම තිලක රණවීර, ආවේ කොස්වත්තේ ඉඳල. මම.... මම... ඉංජිනේරුවෙක්"

"හ්ම්ම්"

"මම විකුම්. ආටිස්ට් කෙනෙක්. ගම රත්නපුරේ"

මම යන්තමට එබී බැලුවෙමි. සැබෑම හුරුබුහුටි තරුණයෙකි. ඔහු මගේ දෙස යන්තමින් බලද්දී මම සෙලවී ගියෙන් ඉක්මනින් ඉදිරිය බලාගත්තෙමි.

ඉතිරි කිසිවක් මම අසා සිටියේ නැත. ඉක්මනින්ම මගේ අවස්තාව උදාවනතුරු මට නිනව්වක් නැතුව සිටියා වන්නට ඇත.

"ඔව්?"

මම ගැස්සී දෙපා බිම ගසා නැගී සිටියෙමි. ගුරුවරයා සිය තියුණු බැල්මෙන් මා දෙස බලා සිටි. යන්තමට වැඩි තිබුණු ඔහුගේ ඝන රැවුලෙන් වැසුණු මුහුණේ , තදින් පියවුණු දෙතොල දෙස මට බැලුනේ ඇයිදැයි මට දැනුනේ නැත. යන්තම් පියවි සිහියට එළඹී මම වේගයෙන් ඇසිපිය ගැසුවේ ඉබේටම වන්නට ඇත.

"ම...... මම කුන්චනා... ආවේ... හ්ම්ම්.. ගම රත්නපුරේ.... හ්ම්ම්.. ලේක්චරින් කරනවා.. පොත් ලියනවා"

"හොඳයි.. බොහොම හොඳයි"

මම එසේ කිවේ ඇයිදැයි මටම වැටහීමක් නැත.

ඉක්බිතිව ගුරුවරයා විසින් ඔහුව හඳුන්වා දුන්නේය. එය සරල එක් වැකියකි.

"මම කාශ්‍යප මායාදුන්නේ"

'කාශ්‍යප... මායාදුන්නේ?'

මෝහන විද්‍යාව ගැන පැවැත්වෙන්නට යන පංති මාලාවේ නව බඳවාගැනීම් කොලයේ සඳහන්වුයේ 'ප්‍රවීන මෝහන විද්‍යා ආචාර්‍ය මායාදුන්නේ' කියා පමණකි. එදා මෙන් මට අද සිනහවක් ආවේ නැති වුවද, මේ යටි හිත 'බක බක' ගගා සිනහවනු මට දැනේ. මම ආයාසයෙන් මැඩගත් විනෝදකාමී ගතිය සමඟම ගුරුතුමා දෙස බැලීමි.

".. නේද මිස් කුන්චනා?"

මම උඩ විසි වුවා වැනිය.

ගුරුවරයා විසින් මෙතෙක් වෙලා යමක් කියමින් පවතින්නට ඇත. ඒ කිසිවකට අවධානයක් මට තිබුනේ නැත. මට මහා ලැජ්ජාවක් දැනුනු බැවින් රත් වූ දෙකොපුල් සමඟින් බිමට යෝමාගත් නෙතින් යුතුව ඉවසීමි. පංතියේ නැගුනේ සිනහවකි. මට පොලව හාරාගෙන යන්නට පමණ මහා දුකක් මිශ්‍ර ලැජ්ජාවක් දැනුනි.

".. හා හරි... දැන් ගන්නකො ගෙනාපු සී. ආර්. පොත... මෙන්න මේ ලිපි ටික ඒ පොතේ හරියටම මැද්දට වෙන්න දාගන්න... ඊළඟ දවසේ එනකොට ඒ හැම එකක්ම කියෝලා, පොතේ මැද  ඉඳලා එහාට.. ඒ කියන්නේ ඉස්සරහට අලවාගෙන යන්න ඕනේ.. තේරුනාද?"

අතින් අත හුවමාරුවී ආ කුඩා පොතක් ඇතුළු කොළ දුසිමකට ආසන්න ප්‍රමාණයක් මගේ අසල ඩෙස්කුවට පාවී එන්නට ඇත. මම හිස නුඋස්සා ඒවා එක්කොට මම ගෙනා කුඩා අභ්‍යාස පොතේ පිටු අතර රිංගවා ගතිමි.

ඇස කොනින් මම දුටුවේ අනෙක් සියල්ලෝම ලොකු සී. ආර්. පොත රැගෙන විත් ඇති බවකි. පන්තිය පිලිබඳ මගේ ඇති නොසැලකිල්ල ගැන කවර අරුමයක්ද?

ඉක්බිති ගුරුතුමා විසින් සාමාන්‍ය කතාබහක් ලෙස ආරම්භ කරමින් මෝහනය සහ මෝහන විද්‍යාව ගැන සරල කාරනා , සුලභ යෙදුම් ගැන කෙටියෙන් පැහැදිලි කර දෙද්දී මම අසා සිටියේ සත්‍ය වශයෙන්ම පුර්ණ අවධානයෙනි.

කියූ කාරණා කවරක් වුවත් ඔහුට දේශනා කෞශල්‍ය නම් මනාව පිහිටා ඇතිබව නම් මට ඉතා හොඳින් දැනුනේ, මුළු පංතියම නොසෙල්වී හුස්මක් වැටෙන ශබ්දයක් හෝ නෑසෙන තරමට ඒකාත්මික වූ බැවිනි.

හොරා දෙකකට ආසන්නව පැවති පන්තිය නිමවී , සුපුරුදු කුරුබිලියෙන් නික්ම ගරාවැටුණු ගේට්ටු කණු තුලින් මහපාරට පිවිසෙද්දී මම සිටියේ සැබෑම සතුටකින් යයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ. මේ පන්තිය මම හිතුවාටත් වඩා මගේ විනෝදය දෙගුණ තෙගුණ කරවනු ඇත.

උදෙක්ම මා මෙහි පැමිණියේ කුතුහලය මිශ්‍ර සෝපහාස ගනයේ ලා සැලකිය හැකි අදහසක් සහිතවය. එනම්, මෝහනය සහ ගුප්ත විද්‍යාව යනු මම කිසි විටෙකවත් විස්වාස කරන්නක් නොවන නිසා පමණක් නොවේ. භෞතික විද්‍යාවෙන් ආචාර්ය උපාධියක් දක්වා උගත් මට එවන්නක සාක්ෂියක් වත් හෝ නොමැතිව තර්කයට යනු නොහැකි තත්වයක් ඇති වූ නිසාය.

මුග්ධ මිනිසුන් අතරේ මෙවන් දුෂ්ඨ විද්‍යාවක් පැතිරවීම නිසා ඇතිකරන සමාජීය හානිය ගැන සැබවින්ම මම කෝපයෙන් සිටියෙමි.

මොවුන් මෝහනය කියා සිදුකරන්නේ මුග්ධ ජනයා අඳුරට තල්ලුකොට, ඔවුන්ගේ පසුම්බි වලට වගකීමයි. උදක්ම මගේ හිතවත්ම යෙහෙලියක් ඒ බොරුවෙන් ගලවාගන්නට මම දැරූ තැත ව්‍යර්ථ වීමත්, මෙය මවිසින්ම සොයාගත යුත්තක්ය යන දැඩි තිරනයේත් ප්‍රතිපලයක් අනුව මම 'මායාදුන්නේ' විසින් මෙහෙයවන මෙම පන්තිය තෝරාගත්තා මිස වෙනත් කිසිදු පෙළඹවීමක් නොවීය.  නමුත් දැන් දැනෙන්නේ වෙනස් ආකාරයක සතුටකි.

එම සතුට නම්....
මම සෙවූ නියම ප්‍රයෝගික අත්හදාබැලීම් උරගා බැලියහැකි තත්වයකම එය තිබීමත්, ඊටම සරිලන වසුපැටවුන් රැලක් පංතියේ සාමාජිකයින් වීමත්ය.

"කුන්චනා...!"

ප්‍රධාන පාරට වන් මම කුලීරථයකට අමතන්නට දුරකථනය අතට ගත්තා පමණි.

ආපසු හැරී බලන මම දුටුවේ පංතියේ උන් අපුරු තරුණයා මා වෙත ඉක්මන් පියවර තබමින් පැමිණෙන ආකාරයයි. මගේ හදවත වේගයෙන් දෙදරන්නට විය.

මගේ මතකය නිවැරදි නම් ඒ තමන් රත්නපුරින් පැමිණි සිත්තරකු යයි හඳුන්වාගත් තරුණයාය. ඔහු හැබෑම කලාබර පෙනුමකින් යුක්ත, මුහුණ පුරා රැවුල්කොට දැරූ මධ්‍යම ප්‍රමාණයේ උසින් යුතු තරුණයෙකි. පියවර තබනා ගැම්මට ඔහුගේ උරසිහ හරහා දමාගෙන තිබුණු බෑගය 'සලන්-බිලින්' හඬින් නදදෙනු ඇසේ. ඔහු පැමිණියේ මාවෙතම යොමුවූ දෑසින් හෙයින් මම මදක් තිගැස්සුණි.

".... කුන්චනා නේද? නම කිව්වේ?"

"ඔ.. ඔව්...?"

"රත්නපුරේ කිව්වා නේද ගම?"

මට දැනුනේ සහනයකි. මම මා ගැන කී එකම ඇත්ත එයයි. එහෙත් අනපේක්ෂිත බියකින් මම ඇතුලාන්තයෙන් ගැස්සෙමින් සිටියෙමි.

"ඔ.. ඔව්......??"

තරුණයා හොඳින් දත් පෙන්නා සිනාසුණේය.

"මොකද්ද ඉස්කෝලේ? කොහෙද යුනිවර්සිටි එක? මම ජ'පුර මෙඩිකල් ෆැකල්ටියේ. කලාබර තමයි, ඒ උනාට චිත්‍ර අඳින්න දන්නේ නැහැ"

මම වික්ෂිප්ත වීමි. එසේනම් ඔහුත් මා මෙන්ම අර්ධ සත්‍ය පවසා ඇත! මට නිතැතින්ම නැගුනේ සිනහවකි. මගේ සිතැඟි වැටහුනාදෝ යයි නොදන්නා නමුත් ඔහුද මා හා අත්වැල් අල්ලමින් සිනහවට එකතු විය.

එවිටම අප දෙස බලමින් පැමිණි පංතියේ කෙල්ලන් රෑන සුකර මස් කඩයක දුටු මුස්ලිම් මිනිසුන් දෙස බලන්නා සේ බලමින් අප පසුකොට ගියෝය. තවත් පසෙකින් පැමිණියේ ඉතිරි පිරිමි සගයින් කිහිපදෙනෙකි.

"මට පරක්කු වෙනවා.. යන්නම්"

ඒ මොහොතේ දැනුන අපහසුතාවය නිසා මම එලෙස පවසමින්ම ඉක්මන් ගමනින් මාර්ගයේ අනෙක් පසට පාර මාරු වීමි.



මතු සබැඳි....


10 comments:

  1. කලාබර පෙනුම?

    ReplyDelete
    Replies
    1. රුවිත පෙනුමට වඩා හොඳයි. ඉස්කෝප්ප පෙනුම ඊටත් හොඳයි.

      Delete
    2. හාරත පෙනුම ගැන දන්නෙ නෑ

      Delete
  2. මායාදුන්නේ සර් ගැන කියන විස්තරෙන් මට මතක් වෙන්නෙම අපේ සර්ව.. එයත් මේ වගේ... මෝහනේටත් සම්බන්ධයිනෙ...

    //කුංචනා// ලස්සන නම...

    ReplyDelete
    Replies
    1. කවුද ඔයාගේ සර්?

      මලසේක කිව්වලු.... දැන් එහෙනම් පරිස්සමෙන් ලියන්න වෙයි. නිර්මාණි මෝහනය ගැන දන්නා දේ ලියනවාද?

      කුන්චනා - මම ආස නමක්.

      Delete
    2. හා හා ඒක හිතන්න එපා... ඔයා ලියාගෙන යන විදිහට ලියන්න.... සර් තමයි, ඤානදාස පෙරේරා.... මම කැම්පස් එකේ කලේ මනෝ විද්‍යාව... එතකොට නිතර මෝහනය ගැන කතා කරනවා...

      මෝහනය මනෝ ප්‍රතිකාර ක්‍රමයක් විදිහට භාවිත කරන්න පුලුවන්... අපි අහලා තියෙන්නේ පෙර ආත්මවලට යන්න පුලුවන් කියලානේ.. ඒ විතරක් නෙවෙයි, මොලයට අලුත් යෝජනා ලබා දෙන්න... යම් යම් දේ එපා කරවන්න වගෙත් මෝහනය භාවිත කරන්න පුලුවන්... ඒ විතරක් නෙවෙයි, පුංචි පුංචි රෝග තත්ත්වයන් සුව කරන්න, මතක සංවර්ධනයටත් මෝහනය වැදගත් වෙනවා කියල තමයි කියන්නේ..... සරලවම මේ ටික කියන්න පුලුවන් ලිඛිතා...

      Delete
  3. තවත් ලස්සන කතාවක් වගේ.

    ReplyDelete
    Replies
    1. ලස්සන නම් මන්දා..... බලමුකෝ ඉදිරියට

      Delete
  4. දැම්ම මොකුත් කියන්න හොඳ නෑ.. :)

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...