Monday, May 15, 2017

104. රතුපාට මල් - 1






කුලීරථයට නියමිත මුදල ගෙවූ මම මීට මොහොතකට පෙර මා මුව අයාගෙන බලාහිඳ සියලු බලාපොරොත්තු අත්හල ඒ කුඩා ගේට්ටුව දෙස නැවත වරක් බැලීමි.

මගෙන් ලද මුදලද ගුලිකොට කුලී තෙසක්රිය 'බෑන්..' හඬින් මොරදීගෙන එතැනින් නික්මයද්දී , අතැ'ති බෑගය නැවතත් දකුණු උරෙහි පටලවන්නට තතනමින් මම ඉදිරියට පයක් තැබුවේ සුනුවිසුනු වූ දිනයේ බලාපොරොත්තු පයට පෑගේ යයිද බියකින් මෙනි.

'මට හිතුන මෙතනත් ඒ වගේ හොර ගුබ්බෑයමක් කියල'

උදෑසන නොපැවතියද, මීට හරියටම සතියකට පෙරදී මෙම පංතියට සහභාගිවන්නට ඉල්ලුම් කර , ඒ ලිපියේ කවරය ඇලවීමේදී මගේ හිතේ නැගුනු අදහස නැවතත් පොලා පැන්නේ නිතැතිනි.

කවරක් උවද මා මෙහි පැමිණියේ බලාපොරොත්තුවකට වඩා යමක් නිර්ධය ලෙස පෙලා දැමීමට පමණක් බැවින්, එහි තිබුණු ගරාවැටෙන්නට ආසන්න ගේට්ටු කණු අතුරෙහි එල්ලී උන් මහළු ගේට්ටු කණු අතර ඇති හිඩැසින්, මම ඒ පාළු බවක් ඉසිලු පාසල් භූමියට ඇතුළු වුයෙමි.

දියුණු නගර මධ්‍යයේ , මේසා ගරාවැටුණු පාසලක් තිබීමත් විහිළුවක් උවද , රටක් ලෙස ගත්විට එවැන්නක් විසුළුවක් වන්නේ නොවේ. සතියේ දින පහක්ම නගරයේ ජනප්‍රිය පාසල්වල ගේට්ටු තුලින් ඇතුලට යාගත නොහැකිවුන , නගරයේ පයක් තබාගෙන පමණක් සිටින දෙමවුපියන්ගේ පුතුන් විසින් පෙලනලද වෙහෙසකර බිමක ලක්ෂණ මොනවට කියා පෑ මෙම පාසල් වත්ත පුරාම කැඩුණු ඩෙස් -බංකු  සහ ඒවායේ කොටස් දක්නට ලැබුණි.

හාත්පසම දැඩි නිහඬතාවයක් සහිතය.



මම නිරායාසයෙන්ම ඇදී ගියේ කළු ලෑල්ලක් වූ එම දැන්වීම් පුවරුව දෙසටයි.

'මෝහන විද්‍යාව - එන්න අත්විඳින්න'

එහි වුයේ එම දැන්වීම පමණකි. එසේ නම් මා නිවැරදිය. සැනසීමකට වඩා මට දැනුනේ මම මටම හිනාවෙන සැටියකි. මගේ සිනහව අතරින්ම මට පිටුපසින් දොඩමළුව පැමිණි කිහිප දෙනෙක් දකුණු පස ඇති පටු තීරයේ ආරම්භයෙන් ගොඩනැගිලි අතරට නොපෙනී ගියහ.

මම අත බැඳි අත් ඔරලෝසුව දෙස බැලීමි. වෙලාව උදෑසන නවයකුත් මිනිත්තු හතලිස් හයකි. පංතිය ඇරඹෙන්නේ තව මිනිත්තු දහ හතරකිනි. එතෙක් මට පංතියට යාමට කිසිදු පෙළඹවීමක් ඇතිවුයේ නැති බැවින් අලස ලෙස මම හාත්පස බැලුවෙමි.

'මේ වගේ විකාර වැඩ වලට මේ වගේ තැනක් මිසක් ඉතින් වෙන කොහේ ගන්නද?'

නැවතත් මම මටම ඇතුලාන්තයෙන් සිනහවිමි. අවු රශ්මිය දරාගන්නට නොහැකි බැවින්ම , තත්පර කිහිපයකින්ම මම වෙනස් මානසික තත්වයකින් පන්තිය කරා යාමට ඉටාගතිමි.

තවත් කිහිපදෙනෙක් මා පසුකොට පෙරකී පටු දෙබොක්කාව අතුරෙන් රිංගා ගත්තෝය. අපිළිවෙලට සිටුවනලද කොහිල කොරටුවක් සේ එම ගොඩනැගිලි දෙක එකිනෙකට යාබදව පිහිටියෙන් , ඒ අතරින් අඳුරු; පටු මාර්ගයක් තැනී තිබිණි.

මමද ඒ අතුරෙන් රිංගා යන්නට පටන් ගතිමි. කුරුබිලියක අඳුර තිබුණු එම පටු තීරුවේ අග්ගිස්සේ ආලෝක අන්තයක කෙලවර තිබුනේ,  අපිළිවෙල ගොඩනැගිලි දෙකකට මැදිව ගිය මඩුවක් වැනි කුඩා බිම්කඩකි. එහි හැඩයක්  නිශ්චය කරගැනීමට නොහැකි  තරමට මම ජ්‍යාමිතිය අතින් දුර්වල වන්නට ඇත.

මෙතෙක් පටු තීරුව විසින් ගිලගන්නා ලද සියලු දෙනා අතරට මාද එක්වූ විට, සියලු දෙනාම විස්සක් නොඉක්මවන්නට ඇත. සියල්ලෝම උන්නේ 'මුණු මුණු' හඬින් දොඩමළුව උවද මම බෑගයෙන් ගත් දුරකතනයට යොමාගත් නෙතින් යුතුව අසල  කණ්ඩියට බරවීමි.

"....ආ.. මචන් එතකොට උඹ කොහෙද?"

"මම මොරටුවේ.. උඹ?"

"මමත් මොරටුවෙනේ... කටුබැද්ද කැම්පස් පාරේ"

"ආ....... මම කෝස් එකකට ඇවිත් ඉන්නේ බන්.... බෝඩ් වෙලා... ගෝල් රෝඩ් එකේමයි"

"..."

"අඩෝ.... උඹ උගේ බැච් එකේද? කළුවා මගේ යාළුවා.... ඉස්කෝලේ එකට හිටියේ"


එකිනෙක අතරින් පතර මට ඇසෙන්නේ එකිනෙකා දැන හඳුනාගන්නා පංති සගයින්ය. මට මදක් දකුණු පසින් ඔබ්බට වන්නට වඩා සෙවන ඇති මුල්ලෙහි ඇසෙන්නේ ස්ත්‍රී පාර්ශවයේ කතාබහයි.

"ශා...... ලස්සනයි අනේ ඒක "

"නෑ අනේ මම ගත්තේ ගිය සතියේ.... හොයල හොයල සයිස් එක අමාරුවෙන් ගෙන්න ගත්තේ"

"වෙලාවට පටන්ගනී නේද? මට හවස වැඩකුත් තියෙනවා..."

"මෙහ්... මම නම් ආවේ ආසාවෙන්.. ඉස්සර ඉඳන්ම මම හරි ආසයි මේ වගේ ඒවාට"

"ඔය බුද්ධාගමේ උනත් තියෙනවා අනේ මේවා ඇත්ත කියල.. මම කලින් ගියා අර චන්දිම සර්ගේ ක්ලාස් එකට.. ඒ උනාට එතන හිප්නොටයිස් කරන්නේ නැහැ අනේ.. වැඩක් නැහැ.. අපරාදේ මම එතැන මාස ගානක්ම බලාගෙන හිටිය"

"මේ සර් හිනොටයිස් කරනවා.. මම නම් ගියා සර්ගේ සෙමිනා දෙකකටම... නියමයි අනේ..."

"ඒ කියන්නේ සර් එහෙම කරනවද? නැත්තම් අපිටත් එහෙම කරන්න කියල දෙනවද?"

"දන්නේ නැහැ.. සර්ට නම් හොඳටම පුළුවන්"

මට සිනහව වලක්වාගන්නට යම් ආයාසයක් දරන්නට සිදුවුණු බැවින්, ව්‍යාජ කැස්සක් මවාගන්නට සිදුවුණි. දුරකතනයට යොමාගෙන සිටින දෑස පරයා මාගේ සවන් වැකෙනා මෙම දෙබස් මා වින්දේ සෝපහාසයක්ද සමඟිනි.

එසේනම්.... මොවුන් අතුරින් විස්වාසයක බිඳක් හෝ නොමැතිවම මෙහි පැමිණ ඇත්තේ මා පමණක්මද?

එකවරම සියලු 'මුණු මුණු' පමණක් නොව, මදක් උස්හඬින් නැගෙන කතාබහ පවා මදකට නතරව, හිස් අවකාශයක් නිර්මාණය වුයෙන්, මට නිතැතින්ම පටු මාවතේ අවසානය දෙස දෑස් යොමුවිය.

විස්මයකි.....

මම බලාපොරොත්තු වුනු වයෝවෘධ, තලතුනා පෙනුමට සම්පුර්ණයෙන්ම විරුද්ධ පෙනුමක් ඇති නමුදු අතැති ෆයිල් කවර සහ කොලමිටි වලින් පමණක්ම සිය තනතුරට හිමිකම් කිවහැකි උස් සිරුරැති තරුණයෙක් අප සියල්ලන් දෙසම බලාගත්වනම සිටියේය.

"සර්!"





මතු සබැඳි 














ප.ලි:
මගේ ලියුම් රටාවේ ආරම්භක ශෛලිය උනත්, කාලාන්තරයකින් නැවත අත්හදාබලන බලන බැවින්, මේ ශෛලිය නීරස වන්නට ඉඩ ඇත. අවංක අදහස පවසනවා නම් අගයකොට සලකමි.




14 comments:

  1. හොඳ ආරම්ඹයක්.. බලමු ඊලඟ කොටසින් මොකද වෙන්නෙ කියලා...

    ලියූ රටාව මට නම් අව්ලක් නෑ ලිකිතා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..

      කාලෙකින් මේ ශෛලියෙන් ලියන නිසා නුහුරුයි වගේ නිසයි ඇහුවේ. එය තේරෙන්නේ කියවන කෙනාට

      Delete
  2. ජය වේවා !!! තව කතාවක්.......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. කතාවක් නම් තමයි.. හැබැයි වෙනස් විදියේ එකක්. බනීද දන්නෙත් නැහැ.. හි හි

      Delete
  3. අවංක අදහස - නීරස නැත.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      නීරසයි කිව්වා කියල හිත නොහොඳ වෙන එකක් නැහැ. එහෙම නම් වෙනස් ශෛලියක් යොදාගන්න වෙනවා මුලදීම.

      Delete
  4. රටාව නං අවුලක් නෑ.. කතාව ගැන දැම්ම කියන්න බෑනේ.. අපිව ආපහු මෝහනය කරන්න නේද හදන්නේ.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. මාගේ දෑස දෙස බලනු.. ඌ ඌ ඌ ඌ......

      දැන් පටන් ඔබ මෙන්ඩාගේ බ්ලොගයෙන් ඉවත්විය යුතුය.......අ..අ..අ...අ.....

      මාගේ දෑස දෙස බලනු.. ඌ ඌ ඌ ඌ......

      Delete
  5. හිප්නෝටයිස් නේද...

    ReplyDelete
  6. මං දැක්කේ දීනි කොටසනේ... කොහොම මිස් උනාද මන්දා... දැන් යනවා දෙවෙනි කොටස කියවන්න , :)

    ReplyDelete
    Replies
    1. දිනී ? ( දෙවෙනි කොටස?)

      හා හරි... කියෝලා අදහස කියන්නකෝ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...