Monday, April 3, 2017

94. ඔබ ඇවිත් යන්න එන්න... - 29

29
-----------------------------

ම්මා මාව දැක්ක ගමන් පිස්සුවෙන් වගේ අඬන්න ගත්තා.

"උඹ කොහෙද මගේ පුතේ ගියේ? මගේ පපුව පැලුනේ නැති ටික විතරයි.

අම්මා ගොඩක් දේවල් කියෙව්වා. මට හරියට මතකයක් නැහැ. මට ඒවාට දෙන්න උත්තර තිබුනෙත් නැහැ.

".. මගේ කොලු පැටියා ඇදිලා ගිහිල්ල. උඹ ඔහොම දුක් විදපු දරුවෙක් නෙවෙයි මගේ පුතේ. උඹ නැතුව මේ ගෙදර සොහොන් පිට්ටනිය වගේ..."

මම අර මොනවද කාපු එකා වගේ හිටියා විතරයි. කියන්න දෙයක් නැහැ. හැම එකකටම මුල වෙලා තියෙන්නේ මම. මගේ හිතම මට සාප කරනවා වගේ.

"කෝ තා-ත්-ත?"

රෑ කාම එක වෙනකල්ම ඉවසගෙන ඉඳල මම ඇහුවේ බයෙන්.

"මේ සතියේ කොළඹ කොන්ෆරන්ස් එකක් තියෙනවා එහෙ ගිහින්. "

චලන උත්තර දුන්නා.

"අපි හෙට කෝල් එකක් දෙමු. දැන් දුන්නොත් අදම දුවගෙන එයි රෑ බලන්නේ නැතුව"

අම්මා කිව්වා. අම්මා මගේ ළඟින්ම ඉඳන් මට බත් බෙදමින් කන්න පෙරැත්ත  කළා.මට කෑම පොඩ්ඩක්වත් ප්‍රිය නැහැ. කරන්න දෙයක් නැති නිසා මම කෑවේ.

නංගි උණ නිසා කාමරේ හිටියේ. මගේ හිත ඇතුලේ ලොකු කළු කුහරයක් වගේ දෙයක් හිරවෙලා හැම දේකම තියෙන සතුට ඒ කුහරේට ඇදිලා යනවා වගේ.

"කලණ.. අන්න නංගි උඹට කතාකරනවා"

මම හෙමින් හෙමින් නංගිගේ කාමරේට ගියා.


"නංගි මට කතාකලාද?"

"අනේ මගේ ළඟට එන්න"

නංගි ඇඳේ විට්ටමට හේත්තුවෙලා. මම ඇඳේ කොනෙන් වාඩි උනා. නංගි මගේ අතේ මැණික්කටුවෙන් අල්ලගත්තා.

"කලණ අය්යා මට සමාවෙන්න"

"ඇයි ? මමනේ කරන තරමක් වැරදි කෙරුවේ"

"අනේ කලණ අය්යේ... මට මේක ඔයාට කියන්නම ඕනේ"

නංගි කාමරේ දොර දිහා බයෙන් වගේ බැලුවා. කවුරුත් පේන්න නැහැ.



".. මම චලන අය්යට වත් කිව්වේ නැහැ. බය හින්දා... මම හිතුවා... අය්යා මගෙත් එක්ක සදහටම තරහ වෙලා කියලා. එදා මා...ව දැ-ක-ලා.. ත්‍රිවිල-රේ නැගල ගි-යා-ම... .... .... "

නංගිට හරියට කතාකරගන්න බැහැ. හති අල්ලනවා. මට නම් ඒ සිද්ධිය මතක් වෙනකොටත් මාර අප්සෙට්.

"..අය්යට ඔහොම උනේ මම නිසා.. අනේ ඒකට ඔයාගෙන් වැඳලා හරි සමාව ගන්න ඕනේ හින්දයි එදා... මම... "

"එහෙම වෙන්නේ කොහොමද? නංගිට පිස්සු "

"නෑ අය්යේ.... එරංග... එ-රං-ග-ට ඔයා දොස් කිව්වා කියලා ආරංචි වෙලා, එරංග තමයි තාත්තට අර ලියුම එවලා තියෙන්නේ. නිකිණි අක්කා ගැන ජරා විදියට ලියල එවපු නිර්නාමික ලියුම එවල තියෙන්නේ එයා. මම අඳුනනවා අත් අකුරු! මම ඒක දැක්කේ පස්සේ.. මම හින්දා තමයි අය්යට ගෙදරින් යන්න උනේ"

මම නංගිව මගේ උරහිසට තද කරගත්තා.

එහෙනම්... එරංගයා තමයි තාත්තට නිකිණි ගැන ලියපු ඒ ලියුම එවලා අපේ ගෙදරට බෝම්බයක් දැම්මේ? ඌ එහෙම කලේ මගෙන් පලිගන්න.. ජඩයා! ඌ මොන හිතකින්ද එහෙම බලු වැඩක් කලේ?

"නංගි  අඬන්න එපා"

"අය්යා මට සමාව දෙනවා නේද?"

"මම නංගිත් එක්ක තරහ වෙන්නේ මොකටද? නංගි  අඬන්න එපා.. නංගි හොඳ අනාගතයක් තියෙන කෙනෙක්... මේ කිසි දෙකින් හිත නරක කරගන්න එපා.. මට දුක, නංගි  අසනීප වෙච්ච එක"

"අය්යා ආපහු එන්නේ නැතිවෙයි කියලා මම බය උනා. දෙය්යනේ.. එහෙම උනානම් මම මැරෙයි.. මට අය්යා නැතුව ඉන්න බෑ "

මාව වලකට වැටෙනවා වගේ දැනුනේ. පපුවත් වේගෙන් ගැහෙනවා. ඔලුව කම්මලක් වගේ. නූල් බොලේ වගේ, එකක් ලෙහනකොට දෙකක් පැටලෙනවා.

".. අය්යා ආයෙමත් නම් යන්න එපා... මම අය්යා කිව්වා දේ ඇහුව නම් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මම ආයෙමත් ඒ මෝඩකම් කරන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා"

මම හෙමින් නංගිගේ ඔලුව අතගෑවා. ඒ කතාව කියන්න ඕනේ නංගි විතරක් නෙවෙයි කියලා මට ඒ වෙලාවේ හිතුනා. ඒත් .. දෙය්යනේ නිකිණි!!

මම ආපු කාමරේට එන අතරේ චලන කෝල් එකක් ගන්නවා දැක්කා. තාත්තට වෙන්න බෑ ! මට පිටිපස්ස හරවලා හිටපු නිසා මම එහෙම්මම අපේ කාමරේට ආව.

මාව හරියට කරකවලා අත ඇරලා වගේ. මම මොකද කරන්නේ? මේ හැමදෙයක්ම දමලා ගහලා නිකිනිත් එක්ක කොහේ හරි යනවද? ඒ අහිංසක කෙල්ලට ගින්දර දීලා ආපහු හිටපු විදියට ඉන්නවද? ඒ දෙකම මගේ හිත දෙකට ඉරනවා වගේ වැඩක්!

චලනගේ ජීවිතෙත් දෙදරලා ගිහින්. නංගිගේ ජීවිතෙත් කැළඹී ලා. විසඳුමක් පේන මානෙක නැහැ.
ඇයි මට නිකිනිට ආදරේ කරන්න බැරි නිදහසේ? එයා බැඳපු කෙනෙක් නිසාද? නැත්තම් මට වැඩිමල් කෙනෙක් නිසාද? නැත්තම් ඒ දෙකම නිසාද? 

ඇයි දෙය්යනේ නොපෙනෙන්නේ අපේ හිත් ?? නොගැලපෙන කසාදයක් නිසා හැමදාම දුක් විඳින්න ඕනෙද නිකිණි? මට බැරිද එයාව බේරගන්න ?? ඇයි බැරි? එයා ලෝකේ තනිවෙලා නැහැ කියලා කියල දෙන්න මට පුළුවන් නම්!

"කලණ.. මොකද?"

මම ඇඳේ අනික් පැත්තට පෙරලුනා

"නෑ... මට නින්ද යන්නේ නැහැ"

"උඹට සරම ඇඳගෙන ඔලුවෙන් හිටගත්තත් මොලේ පෑදෙන්නේ නැති පාටයි. මාව අත ඇරපන්! උඹ දැක්කද අම්මා හූල්ලන තරමක්. ඇයි බන් උඹ මෙහෙම කරන්නේ?"

"චඃ"

මම අනික් පැත්තට හැරුනා.

"ඇයි උඹට නිකිණි ගිය දවස් ටිකේ මොනවත් වැඩියෙන් දුන්නද?"

මට යක්ෂයා වැහුනා. මම කෝට්ටේ අල්ලලා පොලේ ගහලා ඇඳේ වාඩි උනේ වෙව්ලන ගමන්.

"උඹත් හිතාගෙන ඉන්නේ නිකිණි මගෙත් එක්ක ඇඳේ ලැග්ග කියලද? ලැජ්ජයි යකෝ.. තොට තියෙන්නේ මනුස්ස හිතක් නෙවෙයිද?"

"................."

මට ඇත්තටම ඇඩුනා.

".. ඇයි බන් එහෙම හිතන්නේ... අනේ දෙය්යනේ ඒ කෙල්ල.... ඒ කෙල්ල... පව් බන් එහෙම හිතන එක.... මම වලත්තයෙක් වෙන්න ඇති. ඒ උනාට ඒ කෙල්ල... පව් බන්..."

"වෙන්න පුළුවන්.  ඒක උඹයි මමයි දන්නවා උනාට.. ඒකි එහෙ ඉන්නෙත් තනියෙම . බැඳපු ගෑනියෙක් වෙලා..."

"පව් යකෝ.... "

"යකෝ... මේක ලංකාව ! එක දවසක් හරි එහෙ හිටියා කීවහම... උඹම හිතපන්... මට නහර පුප්පන්නේ නැතුව!"

මම ඇඳේ  කොනේ කොම්බුවක් වගේ ගුලි උනා. මට කියාගන්න දෙයක් නැහැ. මම කොහොමද මේවට උත්තර දෙන්නේ?

'අපි දෙන්නා කොච්චර හොඳ උනත්.. මිනිස්සු අපි දිහා බලන්නේ වෙනස් විදියකට. ඇඟිල්ල දික් කරන්නේ උත්තර දෙන්න බැරි විදියට' මට නිකිණි කියපු දේවල් මතක් උනා. ඒ හැම දෙයක්ම ඇත්ත නේද? මට කෑගහලා අඬන්න ඕනේ! මට ඒ උනාට අඬාගන්න බැහැ. පපුව හිරවෙනවා විතරයි.

"..... කලණ ... නිකිනිටවත්, උඹටවත් මේකෙන් කිසිම හොඳක් වෙන්නේ නැහැ බං. තාත්තා බෑන්ක් එකට ඇප්ලිකේෂන් දෙකකුත් ගෙනත්. උඹ දාපන් කම්පියුටර් සෙක්ෂන් එකට. අපි දෙන්නම දාමු. හෙමින්ම ඕක අමතක කරපන්"

මගේ ඔලුව පුපුරන්න වගේ. චලන මම බිම ගහපු කොට්ටය අරගෙන ආයෙමත් ඇඳට විසිකලා.

".. පරිත්‍යාග කරන්න ඉගෙනගනින් බං "

චලන ලයිට් ඔෆ් කලත් ඒ වචන මගේ කන්වල දෝංකාර දුන්නා.

'පරිත්‍යාග කරන්න ඉගෙනගනින් බං'

ඇත්තටම චලන මම වෙනුවෙන් පරිත්‍යාගයක් කළා. 
ඌ සුගන්ධිකා නැති කරගත්තා. එහෙම කලේ එයාල මට අපහාස කළා කියලා. ඌ ට දුකක් නැතුව නෙවෙයි. කාටහරි හොඳක් වෙනවා නම් ඌ පරිත්‍යාග කරනවා. නංගි එයාගේ නොගැලපෙන ආදරේ නතර කරලා...

ඒත් මම? මම විතරක් ආත්මාර්ථකාමී වෙලා උඩ පනිනවා. ඇයි මම මෙච්චර ආත්මාර්ථකාමී? මම එච්චර හිතක් පපුවක් නැති කොල්ලෙක්ද? 

ඇයි මට මගේ පවුල වෙනුවෙන් පරිත්‍යාග කරන්න බැරි?

ඇයි එහෙනම් මට නිකිණි වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න බැරි?


--------------------------------------
to be cont...

No comments:

Post a Comment

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...