Sunday, April 2, 2017

93. ඔබ ඇවිත් යන්න එන්න... - 28

28
-------------------------------------
දෙන්ම මම නිකිනිට කෝල් එකක් ගත්තේ පාරට ඇවිත්. 

කියපු වෙලාවටත් කලින් නිකිණි Paiva's(පායිවාස්) එක ගාවට ඇවිත් හිටියා. දෙවතාවකට ඇතුලට ගියපු අපි දෙන්නේ උඩ තට්ටුවේ කොනේම මේසෙක වාඩි උනා. නිකිනිව දැක්කහම මට ඔක්කොම දුක් අමතක වෙනවා.



"මම හොඳටම බය උනා කලණ.. ඔයා ඇයි හදීසියෙම ගියේ? මම හිතුවේ ගෙදර ගිහින් කියලා"

"කියන්න වෙලාවක් උනේ නැහැ නිකිණි. මට තිස්ස අය්යා හම්බ උනා මගදී. එයත් එක්ක එහෙ ගියා"

නිකිණි තොල හපාගෙන බිම බලාගත්තා.

"ඇයි කලණ ඔයා ගෙදර නොයන්නේ? ඇයි බේබි ඔහොම කරන්නේ?"

මම උත්තර දුන්නේ නැහැ. නිකිණි මගේ අත අල්ලගත්තා.

"..දෙමවුපියෝ කවදාවත් තමන්ගේ දරුවෝ අහක දාන්නේ නැහැ. ගෙදර යන්න කලණ... එහෙ මෙහෙ යන්න එපා... බලන්න ඔයාගේ ඇඟේ හැටි.. මේ දවස් ටිකට ඔයා ඇදිලා ගිහින්"

"ඔයාගේ කෑම වල තරම තමයි ඉතින්"

නිකිණි මාව කෙනිත්තුවා.

"හැමදේම විහිළු නෙවෙයි තේරුනාද?"

"අපි දෙන්නා කොහේ හරි යමු නිකිණි... .අදම! මේ දැන්ම?"

නිකිණි මගේ දිහා බලාගෙන හිටියේ හුස්මක් අල්ලාගෙන වගේ. ඊට පස්සේ අමාරුවෙන් අහක බලාගෙන විනාඩියක් විතර සද්දයක් නැතුව හිටියා. මම නිකිනිගේ එක කම්මුලකට අතක් තිබ්බා. මල් පෙත්තක් වගේ.

"ච.. චලන ඊයේ කෝල් එකක් දුන්නා.. මම කිව්වා තාම වැඩ ඇරිලා ආවේ නැහැ කියලා... ජොබ් එක.."

මට තේරුනා නිකිණි ඉන්නේ හැඟීම් එක්ක පොර පිටියක කියලා. 

"ෂ් .. ඒ ගැන කතාකරන්න එපා...."

"................"

නිකිණි ගැන ඇතිවෙච්ච දුක හින්දම, මම සීරියස් වෙන්න හැදුවා. ඒත් මොකද්දෝ වෙනසක්..  


"මට ඊයේ.. අපේ නංගි හම්බ උනා"

"චලන කිව්වා මට. මොකද්ද කලණ ඔයා කරලා තියෙන වැඩේ? නංගි මිහරකී වගේ අඩනවා ලු.. ඔයාට පිස්සුද බේබි... ඒ ළමයා මොනවා කලාටද?"

"මම දන්නේ නැහැ නිකිණි.. මට බනින්න එපා... මට එහෙම උනා.. හිතල කළා නෙවෙයි"

"බලන්න.. ඔයාගේ නංගි  ඔයාට කොච්චර ආදරේද? ඉතින් ඇයි ඔයා එයාලට ඔතරම් දුක් දෙන්නේ? මම ඔයාව තියාගෙන ඉන්නවා කියල එයාලට හිතුනොත්"

ඒකෙත් වැරැද්ද එන්නේ නිකිනිට. පවු දෙය්යනේ... මම කරන වැඩ වලටත් දුක් විදින්නේ නිකිණි. එක පැත්තකින් විතරක් නෙවෙයි, හැම පැත්තෙන්ම!

".. එයාලගෙන් ඔයාව උදුරගන්න තරම් මට දරුණු වෙන්න බැහැ කලන. මම දන්නවා... ඒ හැමෝම ඔයාට ගොඩාරියක් ආදරෙයි. මම ඔයාට ආදරේටත් වඩා ආදරෙයි"

මම නිකිනිව මගේ උරහිසට තද කරගත්තා. වේටර් බලාගෙන ඉන්නවා. මම ගණන් ගත්තේ නැහැ. 

"කලණ... අර මිනිස්සු.."

"මට මොකද.. බලපුදෙන්"   


මුළු ලෝකෙටම ඇහෙන්න කෑගහන්න මට ඕනේ..
වෙන කෙනෙක් කිසිම වෙලාවක එහෙම කියන්නේ නැති වෙයි. ගෙදරට විරුද්ධව හරි ළඟට ගන්න ලැබුනොත් කවුද අකමැති? නමුත් නිකිණි ඒ කිසිම වෙලාවක මාව එහෙම බැඳගන්න හැදුවේ නැහැ. නිකිණි එතරම්ම හිත හොඳ කෙනෙක්. මට ඒ හිත ගැන දුක හිතුනා.

"නිකිණි..."

නිකිණි මගේ ළඟින් ඈත්වෙලා පුටුවේ මුල්ලකට උනා.

".. ඔයා මම හින්දා පුදුම අපහාසයක් දෙය්යනේ විඳින්නේ"

නිකිණි එයාගේ දිලිසෙන ඇස් වලින් හිනා උනේ දුකෙන් වගේ.

"මම ඔයාට මුලදීම කිව්වනේ කලණ .. මම හුඟක් අපහාස විඳපු කෙනෙක්. ඒ තරමට මම පවු කරලා ඇති කලින් ආත්මවල... "

"............"

"...මගේ මඩ ඔයාගේ ඇඳුම්වල ගෑවෙනවට මම කැමති නැහැ. ඒ මම ඔයාට ආදරේ නිසා. මේ මුළු ලෝකෙටම වඩා ආදරේ නිසා. මගේ පනටත් වඩා ආදරේ නිසා..."

"................."

"මම කොච්චර අපහාස වින්දත් කමක් නැහැ කලන... ඔය ඒ තත්වෙට වැටෙනකල් මට බලාගෙන ඉන්න බෑ.. මට ඒ පවුකාරකමට හවුල් වෙන්න බැහැ "

"මම ගෙදර යනවා නිකිණි. මම ඔයාට පොරොන්දු උනානේ.. මට.. තාත්තා එලවගනී කියලා බයයි"

"නෑ කලණ ... තාත්තා එහෙම කරන එකක් නැහැ.. "

නිකිනිගේ ඒ බැල්ම මට දරාගෙන ඉන්න බැහැ වගේ.

"මට ඔයාව නැතිවෙයි කියල බයයි නිකිණි... මොකද්දෝ හේතුවක් හින්දා මට මාර බයයි එහෙම වෙයි කියලා.."

මම ඇත්තම කිව්වේ මගේ හිත ඇතුලේ තියාගෙන ඉන්න බැරි නිසයි.
නිකිණි මගේ අතක් අරගෙන එයාගේ සිනිදු අත් දෙක අතරට මැදිකරගත්තා.

"මට.. ඔයාගෙන් කාරණයක් අහන්න තියෙනවා... බේබි මට ඇත්තම කියනවද?"

"ඇයි ? මොකද්ද? ඕනේ දෙයක් අහන්න. මම බොරු කියන්නේ නැහැ"

නිකිණි මගේ දිහා බලාගන්න බැරුව අහක බලාගෙන වගේ කතාකරන්න හදනකොට මම කොහොමහරි ඒ ඇස්දෙක පටලවා ගත්තා.

"සර්.. මොනවහරි ඕඩර් කරනවද?"

වේටර් ඇවිත්. මම ඉක්මනට ජූස් ඕඩර් කරලා ඒ මනුස්සයාව පිටත්කලා.

"මට ඔයාව ඕනේ නිකිණි... ඔයාව ඇරෙන්න.. මගෙන් ඕනෙම දෙයක් ඉල්ලන්න"

නිකිනිට ඇඩෙන්න වගේ ආවා.

ඒත් එයා ඇඩුවේ නැහැ.

"කලණ.. මට ඇත්තම කියනවා කියලා පොරොන්දු වෙන්න.. මගේ හිත හැදෙන්නවත් බොරුවක් කියන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න"

"මම ඔයාට බොරු කියන්නේ නැහැ නිකිණි  මොකද්ද ඔයාට දැනගන්න ඕනේ?"

නිකිණි  දිලිසෙන ඇස්වලින් මග දිහා බැලුවම මාව හිරිවැටිලා ගියා.

"ඔයා... ඇයි කලණ මට මෙතරම් ආදරේ? ඇයි මගෙත් එක්ක යාලු උනේ?"

මම යටිතොල හපාගත්තා.
ඇයි නිකිණි එහෙම ප්‍රශ්නයක් ඇහුවේ? මොකක් හිතාගෙනද එහෙම ඇහුවේ?

".. මට ඇත්තම කියන්න... ඇත්ත කොච්චර තිත්ත උනත් කමක් නැහැ"

"හ්ම්ම්.."

"......?"

"මට ඒක කියාගන්න තියා හිතාගන්නවත් අමාරුයි. ඇයි නිකිණි එහෙම අහන්නේ? මාව විස්වාස නැද්ද ඔයාට?"

"ඔයාව විස්වාස හින්දයි මම අහන්නේ"

"මං .. මං ... මං  දන්නේ නැහැ.. නිකිණි. මම ඒක දන්නේ නැහැ"

නිකිණි මගේ දිහා බැලුවේ දුකෙන්. මම කිව්වේ ඇත්තමයි. නිකිනිව දැක්ක දවසේ ඉඳලා කොහෙන්දෝ ආපු පිස්සුවක් මගේ ඔලුවට ගැහුවේ මම නොදන්නා හේතුවකට. කාගේ කවුද කියලවත් දන්නේ නැතුව මාව කාන්දමක් වගේ ඇදිලා ගියේ මම නොදන්නා හේතුවකට.

"ඔයා දන්නෙත් නැහැ.. මම දන්නෙත් නැහැ... අපි දෙන්නම දන්නේ නැහැ.... මේ නොදන්නා ආදරයක් හින්දා ඔයාගේ ජිවිතේ අවුල්වෙලා කලණ. "

"..............."

"මම මහා පවුකාරියක්...... ඒ පව මට කවදාවත් ගෙවලා ඉවරකරන්න බැරි වෙයි"

"නිකිණි.. පිස්සුද ඔයාට?"

"ඇත්තටම මට පිස්සු තමයි කලණ. ඔයාට මම පිස්සු වැටිලා. ඔයාගේ ආදරෙන් පිස්සු වැටිලා. ඔයා මට සලකන විදියට පිස්සු වැටිලා... මම හුඟක් ආත්මාර්ථකාමී වෙලා... මම වගේ වල්මත් වෙලා පාර වරද්දගත්ත කෙල්ලෙක්.. ඔයා වගේ ලස්සන ජිවිතයක් උරුම කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආලෝකය මොන තරම් සෙල්ෆිෂ් ද? මේකෙන් ඔයාව විනාශවෙලා යයි.. මට බයයි"

නිකිණි ඇඩුවේ නැහැ.. පුදුම ආත්මශක්තියකින් ඒ ටික කිව්වේ.

"... ඔයාම හිතල බලන්න.. අපි දෙන්න කොච්චර හොඳ උනත් , නැතත්... මිනිස්සු අපි දෙන්නා දිහා බලන්නේ වෙනස් විදියකට. ඔයා මට රෙස්පෙක්ට් කරන විදියට කවදාවත් කිසිම පිරිමි කෙනෙක් රෙස්පෙක්ට් කරලා නැහැ.... මම ඒකට ලෝබයි.... දෙය්යනේ මට එහෙම කියලා ඔයාගේ ජිවිතේ මෙහෙම අඳුරු වෙනවා බලාගෙන ඉන්නේ කොහොමද?"

බීම එක ආවා. මම වේටර්ට රැව්වේ අපි දිහා කන්න වගේ බලාගෙන උන්නු නිසා.

රෙස්ටුරන්ට් එකේ ඒ වෙලාවේ සෙනඟ හිටියේ නැහැ. නොදකින් විතරක්, නිදහසේ කතාකරන්නවත් නෑ මුන් ඔක්කොම මෙතන මගුලක් වගේ කන්න බලාගෙන ඉන්නවා!      


ඒ මිනිහා මම එලෝගත්තා ඇත්තම කිව්වොත්.

"නිකිණි.... මට තේරෙන්නේ නැහැ.... ඒ උනාට.. මට ඔයාව අතාරින්න බැහැ. මම ඔයාට ආදරෙයි, බොරුවට; සෙල්ලමට කෙරුවේ නැහැ. ඔයා ගැන ජරා අදහසක්, ඇත්තම මගේ තුන්හිතක වත් තිබ්බෙත් නැහැ, තාමත් නැහැ"

"............"

"මම ඔයාට ආදරෙයි.... ඇත්තමයි. මගෙත් එක්ක එන්න යන්න.. මම ඔයාව බාරගන්නවා ඕනේ වෙලාවක. මේ දැන් උනත්"

"කලණ.."

නිකිණි හොඳටම නොසන්සුන්.

"....චානකට ඕනේ සල්ලි... මගෙන් ඩවුරියක් ලැබෙනකල් මාව අත අරින්නේ නැහැ. මගෙන්.. මගෙන්.. මගෙන් ඔයාට..."

නිකිනිගේ හඬ බිඳෙනවා. මට මතක් උනේ චලන , අල්විසා කරා කියලා කියපු දේවල්.

"ඔයාට වෙච්ච දේවල් මම ඔක්කොම දන්නවා... ඔක්කොම.. මම කියන්නේ.. ඔක්කොම!"

නිකිණි මුනදීගන්න බැරුව වගේ ඔලුව තියාගත්තා. ඊට පස්සේ ගැඹුරු හුස්මක් ගත්තා. මගේ පපුව දැන් නම් පැලෙන්න වගෙයි.  

" චානක ඔයාට ගැලවෙන්න දෙන එකකුත් නැහැ. අනේ කලණ.. මට බයයි ඔයා ගැන.. "

"................"

"මේක ෆිල්ම් එකක් නෙවෙයි"

"...................."


"දැන් බලන්න.. ඔයාව ගෙදරින් එලෙව්වේ මම නිසා, රස්සාව නැති උනේ මම නිසා.... තව  මොනවා නැතිවෙයිද කියල මම බයයි... අනේ මට හරි බයයි කලණ.... මේකේ කෙලවර මොකද්ද කලණ ?"

මට උත්තර දීගන්න බැහැ. 
'මේකේ කෙලවර මොකක්ද?' 

ඇත්තටම මේකේ කෙළවරක් තියෙනවද? නිකිනියි මමයි හැමදාම මෙහෙම ඉන්නද? ඇයි බැරි අපි දෙන්නට ආදරෙන් ඉන්න? නිකිණි කියන්නේ ඇත්ත තමයි , ඒත් ???

"නිකිණි.... ළමයෝ... මම බය නැහැ මට එන ප්‍රශ්න වලට. හැමදේකටම විසඳුමක් තියෙනවා. මම බය නැහැ.... ඔයා මගේ ළඟින් ඉන්නවා නම්.. මට එච්චරයි ඕනේ... මම මේ කියන්නේ පට්ට ගොන්, බොළඳ කතාවක් වෙන්න ඇති... ඒ උනාට ඒ තමයි මට හිතෙන හැටි... මම ත්‍රීවිලර් එළවලා හරි ඔයාව බලාගන්නවා"

"කලණ..."

නිකිණි අත්දෙකෙන් මුණ වහගත්තා. අඩනවා වෙන්න බැහැ.

"ඔයා මගේ ජිවිතේ වගේ. මට කියන්නේ ජිවිතේ නැතුව මළමිනියක් වගේ ඉන්න කියලද?"

නිකිණි වේදනාවෙන් වගේ අත්දෙක මුනෙන් අරගෙන ටේබල් එක කොනිතිගහන්න ගත්තා.

"අපි දෙන්නම ආදරෙයි තමයි...... මාධවී මට දහස් වාරයක් කිව්වා.... මහා විනාසයක් වෙයි කියල. මගේ හිත මට පාලනය කරගන්න බැරිවෙච්ච පාපෙට..... ඔයා දඬුවම් විඳිනවා.. "

"නෑ නිකිනි.. මමයි ඔයාගේ පස්සෙන් ආවේ... එහෙම ආවේ ඔයා කාගේ කවුද වත් දන්නේ නැතුව... මම වල්කමට ආව නෙවෙයි... "

".............."

"ඔයාගේ එහෙන් මෙහෙන් ඉඳල හිටලා පොඩ්ඩක් ඇල්ලුවට.."

නිකිණි පුංචි හිනාවක් එක්ක මගේ දිහා බැලුවේ වැස්සකින් පස්සේ පායන හඳක් වගේ.

".... මම වලත්තයෙක් නෙවෙයි නිකිණි"

"මම ඒක දන්නවා... "

ඔක්කොම දුක වියැකිලා යන්න අපි දෙන්නා අතරේ හිනාවක්. නිකිණි හුල්ලන හැටි බලාගෙන ඉන්න බැහැ මට.

"බොන්න ජූස් එක... වේටර් තාමත් අපේ දිහා බලාගෙන. පිස්සෙක්ද කොහෙද"

නිකිණි මගේ දිහා බලලා යන්තමට හිනා වෙලා ජූස් එකෙන් ටිකක් තොලගෑවා. මම නම් ඒක බාගයක්ම බිව්වේ මගේ උගුරකට වේලිලා තිබ්බ නිසා.

"... ඌට පේන්නම.. අල්ලලා.. කිස් එකක් දෙන්න ඕනේ!"



නිකිණි රතු කරන්නයි, හිතේ දුක නැතිවෙන්නයි මම එහෙම කිව්වේ. 
 
"පි.. පිස්සුද... ඊ.. නෝටි වෙන්න එපා..."

"නෝටි නෙවෙයි මම නයිස්!"
 

ආයෙත් අර ඇස් සෙල්ලම, අපි දෙන්නම සද්දයක් නැතුව එකිනෙකා දිහා බලාගෙන.

"ඔයා... ටිකක් කල්පනා කරන්න ඕනේ"

නිකිණි එක්කම මමත් ජූස් බොන්න පටන්ගත්තා.

"මොනවද?"

"ඔයා වගේ අනාගතයක් තියෙන කොල්ලෙක්... මම වගේ කෙනෙක් නිසා"

"ඇති ඇති.... ආයෙමත් පටන් ගත්තා"

මම නිකිනිගේ කම්මුලක් කෙනිත්තුවා.

"ඌ යි!"

"මම ජොබ් එකක් හොයාගන්නවා... ඉක්මනටම. මේ ඩිප්ලෝමා එක හරි, වෙන මොකක් හරි බලාගෙන.."

"ඒක නෙවෙයි.. මුලිම්ම ඔයා..."

නිකිණි මගේ කට වැහුවේ එයාගේ දකුණු අතින්.

"... ගෙදර යන්න ඕනේ..."

මම ගොළු උනා. නිකිණි මගේ තොල්දෙක අල්ලලා මිරිකලා අල්ලගත්තා.

"..... ගෙදර යන්න පොරොන්දු වෙන්නේ නැතුව මගෙත් එක්ක එක වචනයක් කතාකරන්න එපා"

මම මගේ කට වහගෙන තිබ්බ නිකිනිගේ අත දිගේ අල්ලාගෙන එහාට ඇඟිල්ලෙන් ඇඳගෙන යනකොටම නිකිනි 'සුටුස්' ගාල අත අරගෙන මට රැව්වා. නළල රැලි වෙලා තිබ්බට, ඇස්වල පොඩ්ඩක්වත් තරහක් තිබ්බේ නැහැ.

"පිස්සු නටන්න එපා ළමයෝ... ඔයාගේ ඔය වැඩ හින්ද තමයි..."

"මට සිල් ගන්න සිද්ද උනෙත්.. නේද?
ඒක තමයි."

"හැප් කිව්වේ!"


නිකිණිගේ ඇස්වලින් මිදෙන්න අමාරුයි.

"මාව දාල යන්න එපා නිකිණි.. මට ඔයා නැතුව ඉන්න බැහැ "

මම කිව්වේ දුකෙන්. ඇත්තටම දුකෙන්.

"පොරොන්දු වෙන්න ගෙදර යනවා කියල...."

"..............."

"පොරොන්දු වෙන්න..."

".............."

"පොරොන්දු වෙන්න...!"

"හ්ම්ම්.."

"ප්‍රොමිස් කියන්න!!"

"ප්‍රොමිස්"

මම මේසේ ඔලුව තියාගත්තා. වෙච්ච දේවල් වේගෙන් මගේ ඔලුවට ගලාගෙන එනවා. මගේ ඔලුව අවුල් වෙලා.

"ඔයා මට ඇත්තටම ආදරේ නම්.. ආපහු ගෙදර යන්න. "

" ඔයත් මට පොරොන්දු වෙන්න... "

"............?"

"මාව දාල යන්නේ නැහැ කියල"

නිකිණි ගොළු උනා.

"කලණ.... මම... ම-ම ... අපි දෙන්නා... මම දන්නේ නැහැ දෙය්යනේ"

"මට පොරොන්දු වෙන්න!!"

"...................."

මම නිකිණි දිහා බැලුවේ පැහැදිලි ජලයක් දිහා බලනවා වගේ. ඒ ඇස්වල තිබ්බේ ආදරේ තමයි. ඒ උනාට උහුලන්න බැරි දුකක් මිශ්‍ර වෙලා.

"ඇයි පොරොන්දු වෙන්න බැරි?"

"මට වෛර කරන් එපා කලණ "

"මට කවදාවත් එහෙම කරන්න බැහැ. මාව දාල යන්න නම් එපා... මාව පිස්සෙක් කරන්නද හදන්නේ?"

නිකිණි නැතුව යනවා කියලා මට දැනෙන බය කෙළවරක් නැහැ. මම ගෙදරින් පවා පිටවෙලා ආවේ නිකිණි නිසා... එයා ඕනේ නිසා.

"... ඔයා අද ගෙදර යනවා නේද?"

නිකිණි මගේ අත් උනුහුමට අල්ලගන්න ගමන් කිව්වා. නිකිණි අතේ මම දීපු මුද්ද දිලිසෙනවා.



මම උත්තරයක් දුන්නේ නැහැ

-------------------------------------

මම හිටියේ ලෝක විනාසෙට මුණදුන්න එකෙක් වගේ. ඔලුව උඩ ගිනිකබලක් තියෙනවා වගේ. නිකිණි කියපු හැමදෙයක්ම මගේ ඔලුවේ පොරකනවා.

එක පැත්තකින් මගේ පවුලේ අය , අනෙක් පැත්තෙන් නිකිණි. නිකිනිට ඉන්නේ මම විතරයි. මම දන්නවා නිකිණි සතුටෙන් ඉන්නේ මම නිසා තමයි. වෙච්ච සමහර දේවල් එහෙම උනේ ඇයිද කියන්නවත් මම දන්නේ නැහැ. අනෙක් දේවල් වලට මමත් වගකියන්න ඕනේ. නිකිණි  ඇරෙන්න,කවදාවත් වෙන කෙනෙක් නම් මෙහෙම කතාකරන්නේ නැහැ.

මුළු රෑම මට නින්දක් නැහැ. මම නැගිටලා එළියට ගිහින් මිදුලට වෙලා හිටියා. හඳ පුංචියට පායලා. තරු වලින් මුළු අහසම පිරිලා උනත් ඒ තරු වලට බැහැ අහසේ තියෙන අන්ධකාරේ මකන්න. හරියට මගේ හිතේ අන්ධකාරේ වගේ. මම දොරකඩ පඩිය උඩ වාඩිවෙලා අහස දිහා බලාගෙන හිටියා.

ඇයි මම නිකිනිට ආදරේ කලේ? ඇත්තටම ඇයි ? නිකිණි ඇහුවම මට උත්තරයක් නැති උනේ ඇයි? 

නිකිණි හුඟක් ලස්සන නිසාද? නැත්තම්.. නෑ ... නිකිණි ලස්සන නිසා නෙවෙයි. 

මම නිකිනිගේ ලස්සනක් මුලින් දැක්කේ නැති තරම්. ඒ ලස්සන දකිනකොටත් මම නිකිනිට බැඳිලා ඉවරයි. නිකිණි බැඳලා කියලා දැනගත්තම මම දුක් උන තරමක්!

වයසෙන්, විවාහක බවෙන් මට නිකිණි ඈත් උනාට අදහස් වලින් අපි දෙන්නා කොච්චර ළඟද ? අපි දෙන්නා අදහස් වලින් ගැටිලාම නැහැ. හැමවෙලේම මට දැනුන දෙයක් තමයි නිකිණියි මමයි අතරේ කතාකරන්න බැරි දෙයක් නැහැ කියලා. නිකිනි මට අවනතයි, මමත් නිකිනිට අවනතයි. අපි දෙන්නම දෙන්නාට පුදුම ගරුත්වයක් තියෙන්නේ. දෙන්නම අනික් කෙනාගේ හිතුවිලි වලට කොතරම් ගරු කරනවද? මටත් ඒක කියල දුන්නේ නිකිනිමයි.

කොච්චර අය වයසෙන්, තත්වෙන් ගැලපුනත් අදහස් වලින් කොච්චර ඈතද ? හරියට චිරනියි මමයි වගේ. ඒක කොච්චර භයානක අවසානයක්ද ගෙනාවේ? මම කොහොමද නිකිනිව එහෙම නැතිකරගන්නේ?

මට සුසුමක් පිට උනා.

ගන්න තීරණයක් මම හෙට දවස වෙනකොට ගන්න ඕනේ. නිකිනිව අරගෙන කොහෙට හරි යන්නයි මගේ හිත. ජොබ් එකකුත් නැති, ඒ ලෙවලුත් අනාගත්ත මම වගේ එකෙක්ට මොන කෙල්ලොද? 

මම කොහොමද නිකිනිව බලාගන්නේ? තුන් වේලට ආදරේ කන්න දෙන්නද? නිකිණි දුක් විඳපු ප්‍රමානේ මදිද?

අල්විස් කාරයා එහෙම අපිට පාඩුවේ ඉන්න දෙයි කියලත් සැකයි. නිකිණි කිව්වේ ඇත්ත තමයි. ඌ සතෙක් වගේ කෑදරයි. මාව ගෙදරින් අහක දාන එකක් නැහැ. ඒත් නිකිණි කොහේ යන්නද? දුක් විඳින්නේ ඇත්තටම මම නෙවෙයි, නිකිණි... 

අනේ ඇයි අපි කලින් හමු නොවුනේ නිකිණි? 

දුක ඉවසන කෙනාටම ඇයි තවත් දුක් ගොන්නක් එන්නේ?

"සර්?"

මම ගැස්සුනා.

"සර්ට නින්ද යන්නේ නැද්ද?"

තිස්ස අය්යාගේ කටහඬට මාව මේ ලෝකෙට වැටුනා. ඉක්මනටම මම මුණ අත්දෙකෙන් පිහගන්නකොට ඉබේමට සුසුමක් හෙලුනා.

"හ්ම්ම්"

"සර් ඉන්නේ ලොකු හිතේ අමාරුවකින් නේද?"

මම මුකුත් කිව්වේ නැහැ. හිතේ අමාරුවකින් නෙවෙයි මම ඉන්නේ 'ගෙදර ගියොත් අඹු නසී - මග හිටියොත් තෝ නසී ' වගේ තත්වෙක.

"සර්ට මොකද්ද මගෙන් කෙරෙන්න ඕනේ?.. මට පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්නම්"

"අනේ මන්ද තිස්ස අය්යා... අය්යා අඳුනන ලෝයර් කෙනෙක්වත් නැද්ද?"

"ඒ මොකටද?"

"ඩිවෝස් එකකට උපදෙසක් ගන්න"

"ඩිවෝස් වෙන්න? ඇයි සර් බැන්දද?"

"මට නෙවෙයි.. මැඩම්ට"

හඳ එළියෙන් තිස්ස අය්යාගේ මුහුණ හරියටම පෙනුනේ නැති උනත් ඒ මුණ අමුතු උන බවක් නම් පෙනුනා.

"අනේ මන්ද සර්... සර් මොනවා කරන්න යනවද කියල"

"ඇයි.. තිස්ස අය්යා කැමති නැද්ද මම නිකිනිව.. නි-කි-නි මැඩම්ව බඳිනවට?"

තිස්ස අය්යා උත්තරයක් දුන්නේ නැහැ.

".. තිස්ස අය්යා අකමැතිද?"

"මගේ අකමැත්තෙන් සර් මොකක් කරන්නද සර්? නිකිණි නෝනා රත්තරන් නෝනා කෙනෙක්. ඒත් ගින්දරට අත දැම්මහම පිච්චෙනවා සර්. ඒක සිකුරුයි. අල්විස් මහත්තයා නයා වගේ මිනිහා. එලව එලවා විතරක් නෙවෙයි.. හැංගිලා ඉඳලා දෂ්ඨ කරන්නේ. කරන දෙයක් පරිස්සමෙන් සර්"

මම ආයෙමත් අහස දිහා බැලුවා.
මුළු අහසම මගේ ඔලුවට කඩාගෙන වැටුනානම් හොඳයි කියලා මට හිතුනේ.

අනේ නිකිණි!

-------------------------------------

සතිගානක් උන ගැනිලා හිටපු එකෙක් වගේ මගේ ඇඟට පන නැහැ. මම ඇඳේ ඉඳගෙන කල්පනා කර කර හිටිය.


"මහත්තයා ත්.. තේ"

"බොහොම ස්තුතියි. අක්කලට මම නිසා හරි කරදරයි නේද?"

"ඕක මොන කරදරයක්ද සර්. සර්ට කැමති කාලයක් ඉන්න බැරිය? "

".................."

"ඒත් ඉතින් ගෙදරින් තරහ වෙලා ආපු එක නම් වැරදියි නොවැ "

"..............."

මම විදුහල්පතිගෙන් අවවාද අහන ඉස්කෝලේ එකෙක් වගේ බිම බලාගෙන අහගෙන හිටියා.

"මට අපේ එක්කෙනා කිව්වේ ඊයේ. මටත් හිටියේ ඔය වයසේම මල්ලි කෙනෙක්. දැන් හමුදාවේ. ඒක හින්ද මට තේරෙනවා සර්... "

"............"

"සර්ගේ ගෙදර කට්ටියට දැන්නුවොත් නේද හොඳ?"

"මම ගෙදර යන්න ඉන්නේ අක්කේ"

"මම මේ මහත්තයට මෙහෙන් යන්න කියනවා හෙම නෙවෙයි. මහත්තයා මගෙත් එක්ක තරහ වෙයිද මන්ද"

"නෑ අනේ.. පිස්සුද? මට අක්කලා කරන උදව් මදිවාටද?"

සුමනා අක්කා යන්න ගියා.

හැමෝම කියන්නේ එකම දෙයක්.  

ගෙදර යන්න!!  

ඒත් කවුරුවත් නිකිණි ගැන කතාකරන්නේ නැහැ. එයාට වෙච්ච දුක, අසාධාරණේ ගැන කතාකරන්නේ වත් නැහැ. එයාගේ පැත්තෙන් හිතන්නෙවත් නැහැ.

මොකක් උනත් මම ගෙදර යනවා කියලා නිකිනිට පොරොන්දු උනා. එහෙම නොයා මට තව දවස් දෙකකින් එයාව හම්බෙන්න එන්නවත් එපා කියලා කිව්වේ. මාව දාලා යන්න නිකිනිට බැරි බව මම දන්නවා. හැමදෙයක්ම අවුල් කලේ මම නම්, ඒ හැමදෙයක්ම ආයෙමත් ප්‍රකෘති කරන්න ඕනෙත් මමම තමයි.



තේ එක බිලා මම බෑග් එකට මගේ ඇඳුම් ටික අස්කරගත්තා. තිස්ස අය්යා උදෙන්ම වැඩට ගිහින්.
මම දවල් උනේ එතකොට ගෙදර ඉන්නේ ගොඩක් වෙලාවට චලන විතරක් නිසා.

බස් එකේ යන ගමන් මගේ හිත හතර අතේ දිව්වා. නිකිණි මුණගැහුන දවසේ ඉඳන් වෙච්ච දේවල් හැම එකක්ම මට මතක් උනා. කොච්චර නම් දේවල් උනාද? මේ ගමනින් පස්සේ මම නිකිනිව මගේ ලඟට ගන්න තමයි ඔක්කොම දේවල් කරන්නේ. පිස්සෙක් වගේ වැඩකරන එන වහාම නතර කරන්න ඕනේ.

මගේ ජිවිතේ උඩු යටිකුරු උනේ නිකිණි නිසා උනත් මම මගේ ඇත්ත ආදරේ හොයාගත්තා. ඒක මට නැතිකරගන්න බැහැ මොකක් උනත්. මේ හැම දෙයක්ම මට දරාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම දන්නවා නිකිනිට පුළුවන් මගේ ශක්තිය වෙන්න. නිකිණි බය එයා ගැන නෙවෙයි, මම ගැන. මට දුකත් ඒකමයි !

අල්විස් කාරයා ගැන කියන්න බැරි තරම් පිළිකුලක් මට තියෙන්නේ. මාව රස්සාවෙන් අස්කරපු එක හින්දා නෙවෙයි.... ඌ මහා වීරයා වගේ හිටියට බයගුල්ලෙක් කියලා මට තේරිලා තිබ්බේ. ඌ මගෙත් එක්ක කෙලින්ම කතාරන්නේ නැත්තේ ඒකයි. ගිය දවස් ටිකේ වගේ මගෙත් එක්කම එල්ලෙන්න ආවේ නැත්තේ ඒකයි. මම දැන් ඌ හිතන තරම් වීක් නැහැ. ඌ පහරදෙන්නේ වීක් වෙලාවට විතරයි.

නිකිණි මගෙන් ඈත්වෙන්න හදනවා කියලා මට දැනෙන්නේ ඇයි ? ඌ තර්ජනේ කලාද? දෙය්යනේ මගේ නිකිණි අනතුරේද? ජඩයා මට ඌව පේන්න බැහැ!

"මේහ්... ටිකට් ගත්තේ මෙතැනට නේද?"

කොන්දොස්තර ඇහුවේ මගේ සබන් බෝලයක් වගේ හිතුවිලි ගොන්නට ඇඟිල්ලෙන් අනින ගමන්. මම උඩ ගියා. මලා.! ඔව් නේන්නම්... මම කලබලෙන් බස් එකෙන් එලියට පැන්නා.

මගේ පපුව 'ඩක් -ඩක් ' ගානවා.

මම මේ දැන් ගෙදර යනවා.. තරහවෙලා ගෙදරින් ඇවිත් දැන් සතියකට වැඩියි. ඒ අය මාව කොහොම පිළිගනිද කියන්න මම දන්නේ නැහැ.

පාරට හැරෙන තැන කඩේ මුදලාලි 'සුනාභුවියෙන්' ආපු එකෙක් දිහා බලනවා වගේ කටත් ඇරගෙන මගේ දිහා බැලුවත් , මම ගානක් නැතුව ආයෙත් බිම බලාගෙනම ගියේ කිසි එකෙක්ගේ ප්‍රතිචාරයක් මට නොපෙනෙන්න. 

ගේ ගාවට ආවා. මිදුලේ තණකොළ ඉහලට වැවිලා. මට මගේ ගෙදර ගැනම අමුතුවට හිතුනා. මම ඇවිද්දේ බිම්බෝම්බ පෑගෙයි වගේ පරිස්සමෙන්. ගේට්ටුවේ සද්දේ උනත් මම නෑහෙන ගානට කලත් යන්තම් පොඩි සද්දයක් ආවා. 

මම ඇවිදගෙන ආව දොර තියෙන දිහාවට.

මාව එලවගත්තොත්! මම කොහේ කියලා යන්නද? හැමෝම ආයෙමත් මාව ගෙදර එවයි. නිකිනිගේ මුණ මට මතක් උනා.

"අ---ය්------යේ!"

නංගි ගරාජ් එක පැත්තේ ඉඳන් කෑගහනකොට මම ගැස්සුනත් ඔලුව උස්සගන්න බැරි නිසා මම බිම බලාගෙන. නංගි එතන ඉඳන් කොහොමද මන්ද ඉගිල්ලලා වගේ ඇවිත් මාව තදකරලා බදාගත්තා.

"........කොහෙද ගියේ.... මගේ රත්තන් අය්යේ... කොහෙද ගියේ.... මාව දාල කොහෙද ගියේ....."

එතකොටම දොර ඇරුනා.

"කලණ ... උඹ ආවද.. දෙය්යනේ!"

චලන පැනපු ගමන් මගේ බෑග් එක අරගෙන වටපිට බැලුවා.

".. යං යං ඇතුලට"

නංගිවත් වත්තන් කරගෙන වගේ මම ඇතුලට ඇදලා ගත්තේ චලන. මට ඔලුව උස්සගන්න බැහැ.

"අනේ මට සමාවෙන්න අය්යේ"

නංගි මගේ කකුල්දෙක අල්ලලා බිම ඉඳගත්තා. මාව හොල්මන්.

"න.. නංගි !"

නංගිගේ උරහිස් දෙකින් අල්ලනවත් එක්කම එයාට සිහිය නැති උනා. මම එකපාරටම නංගිව හරහට අරගත්තා.

"ඔහොම සෝෆා එකේ තියපන්.. ඔතනින්"

චලන ඉක්මනට පවන් ගැහුවා. මට තේරුනා නංගිගේ ඇඟ රස්නෙයි කියලා.

"... අද තමයි ඔය උණ ටිකක් හොඳ උනේ. උඹ දන්නේ නැහැ කලණ වෙච්ච දේවල්"

මම නංගි ගාව දනගහගෙන සෝෆාවට ඔලුව තියාගත්තා.

"මොකද උනේ?"

"උඹ ආවනේ... මට ඒ ඇති කලණයෝ"

චලන මාව තද කරලා බදාගත්තා. ඌත් මට ආදරෙයි, නංගිත් මට ආදරෙයි.. ඒත් මගේ හිත දුකෙන් මිරිකිලා. ඇයි මට සැනසෙන්න බැරි??

"උඹ කාලද?"

"පස්සේ කමු.. මොකද නංගිට?"

"පෙරේදාට පළමුදා ඉඳලා උණ. එදා උඹව හම්බ උන දවසේ හවස හොඳටම අමාරු වෙලා ගිහින් බෙහෙත් ගෙනාව. නැගිටගන්න බැරුව හිටියේ. දැන් ටිකක් හොඳයි. අද තමයි අම්මත් ඉස්කෝලේ ගියේ "

මට මම කොච්චර අමනයෙක්ද කියල හිතුනා. නිකිණි කිව්වේ ඇත්ත. මම මෙහෙම කලේ මොන හිතකින්ද?

නංගිට සිහිය ඇවිත් හුඟ වෙලාවක් යනකල් මගේ අත අල්ලාගෙන හිල්ලුවා, ඇඩුවා . මට බලාගෙන ඉන්නත් බැහැ. නංගි නතර කරන්නෙත් නැහැ. මම නංගිව උස්සලා ගෙනිහින් කාමරෙන් තිබ්බා.

"මට සමාවෙයන් චලන"

"කොහොමහරි උඹ ආවනේ... ඒක මේ හැමදේකටම වඩා වැදගත්. ආයෙනම් ඔය වගේ මෝඩවැඩ කරන්න එපා"

"................."

"..................."


පැයකට විතර පස්සේ ඇඳුමක් මාරුකරගෙන මං කාමරේට එනකොට චලන ඇඳේ වාඩිවෙලා බලාගෙන ඉන්නවා.

"එ-දා.. ම-ම.. ගි-යාට පස්සේ මොක-ද උනේ?"

මම බොහොම අමාරුවෙන් හතරැස් පෙට්ටියක් වමාරනවා වගේ අන්තිමට ඒ ටික කියාගත්තා.  

"තාත්තා එදා ඉඳලා අපි කිසි එක්කෙනෙක් එක්ක කතාවක් නැහැ. අම්මා ඇඩූ කඳුලෙන්. ඊයෙත් නිවාඩු. අද තමයි ඔන්න ඉස්කෝලේ ගියේ. "

"................."

"නංගි මෙහෙම... උඹ නම් යකාගේ පුතෙක් තමයි.. තාත්තා කෑගැහුවට ඔහොම ගෙදරින් යනවද?"

"උඹ දන්නේ නැහැ.. උඹට මතකද තාත්තා මොනවද කිව්වේ කියල?"

"උඹ තාමත්...........?"

චලන කටට ආපු එක ගිලගත්තා.

"ඇයි මොකද්ද?"

"මම හිතුවේ උඹ ආපහු ආවේ තීරණයක් අරගෙන කියල. කොල්ලෙක් හින්දා ගානක් නැහැ. ඒත් .. උඹ මොකටද බන් ඒකිගේ ගෙදර ගියේ?"

"උඹ හිතන ජාතියේ කෙනෙක් නෙවෙයි බන් නිකිණි. ඇයි උඹ දන්නේ නැද්ද? නිකිණි කියන්නේ ඇත්ත. මිනිස්සු අපි දිහා බලන්නෙම ජරා විදියට"

"මට උඹේ බණ වලින් වැඩක් නැහැ. බලපං... උඹේ ඔය කොක්ක නිසා වෙච්ච දේවල් හොඳටම ඇති!"

"................"

" මම එදත් උඹට කිව්වා... අදත් උඹට කියනවා.... උඹ ඔය බැඳපු කෙල්ලව අත ඇරලා දාපන්.. උඹ කරන්න පුළුවන් අලයක් නැහැ. උඹ ජාතික වීරයෙක් වෙන්නද හදන්නේ?"

මම අත්දෙකම ඔලුව ගහගෙන ඇඳට කඩාගෙන වැටුනා.

"චලන.. උඹ දන්නවනේ නිකිණි කියන්නේ මොනවගේ කෙනෙක්ද කියල. පව් බන්... පව් බන් ඒ අහිංසකි "

"ඒ නිසා වෙච්ච දේවල් හොඳටම ඇති! තීරණයක් ගනින් කලණ! උඹ විතරක් නෙවෙයි... මමත් වැටුනේ නරා වලක"

මට ඒ වචන ටික වැදුනා. මම චලන දිහා බැලුව. උගේ මුණ හොඳටම දුකෙන්.

"ඇයි මොකද?"

"චඃ.. දැන් කියල වැඩක් නැහැ"

"ඇයි මොකද බන්... කියපන්කො.. තව මොකද්ද උනේ? උඹ මොකද්ද උනේ?"

චලනයා වේදනාවෙන් වගේ ඇස්දෙක පියාගත්තා. ඌ හොඳටම අප්සෙට් බව පේනවා.

"හ්ම්ම්ම්"

"කියපන්කො"

චලන දුකම දුක හිතෙන විදියට මගේ දිහා බැලුවා.

"ඒක ඉවරයි මචං.. "

"..........?"

"උඹ බැඳපු ගෑනියෙක් එක්ක පැනලා ගිහින් කියලා ආරංචි වෙලා සුගන්ධිකායි.. එයාගේ පවුලේ ඔක්කොමයි බෑ කිව්වා"

මගේ පපුව 'හෝස්' ගෑවා.

"මචං !"

මාව ඉබේටම නැගිට්ටුනා.

"උඹ කැමතිද මෙතන මිනියකුත් මැරෙනවට? මට සුගන්ධිකාට කලිනුයි උඹව හම්බ උනේ. ඒකිලාට එකපාරක් එපා නම්, මට දහ පාරක් එපා."

"..??"

" මම ඒකිගේ මහා අම්මණ්ඩිටත් කතාකරලා ආවේ. "

"අඩෝ.... "

"..................."

"උඹට දුකයි නේද චලන?"

චලන මගේ උරහිසට්ට ඔලුව තියාගෙන අඩන්න ගත්තා. චලන අඩනවා දකින්නවත් නැහැ. දෙය්යනේ මම වගේ පවුකාරයෙක්! මම නිසයි මේ ඔක්කොම.. මම නිසයි!

".. අඩුගානේ...... සුගන්ධිකාවත් තේරුම් ගත්තේ නැහැ. එහෙව් කෙල්ලෙක් මගේ බල්ලාටවත් එපා"

"මට සමාවෙයන් චලනයෝ"

"ඒ හැමදෙයක්ම ඉවරයි කලණ.."

ලොකු හුස්මක් ගත්ත චලන ඉක්මනට කඳුළු පිහාගත්තා.

".. උඹ ගෙදරත් ආවනේ.. ගම පුරාම කතාව ගිහිල්ල තියෙන්නේ උඹ පැනලා ගියා කියලනේ. උන්ගේ කටවල් වහන්න අපිට බැහැ. ඒත් කලණ .... දැන්වත් ඔය පිස්සුව නතර කරපන්... මම උඹට වඳින්නම්!"

මට හරියට අකුණක් වැදුනා වගේ.

මේ හැමදෙයක්ම වෙලා තියෙන්නේ මං හින්දා.චලනගේ ජීවිතෙත් විනාස උනේ මම නිසා. ගෙදර සතුට නැති කලේ මම... නංගි ලෙඩ උනේ මම නිසා... ඔක්කොටම හේතුව මම! මගේ තකතිරුකම!! මගේ තහනම් ආදරේ!!

මම ගුටිකාපු එකෙක් වගේ ඇඳේ පෙරලුනා. චලනයා මගේ පිටට අත තිබ්බා.

"කලණ.. උඹ ඕක නතර කරපන්. ඕකෙන් කාටවත් හොඳක් වෙන්නේ නැහැ. මේ බලපන් කලණ... ඕක කවදාවත් සිද්දවෙන දෙයක් නෙවෙයි"

"මට මගේ පාඩුවේ ඉන්න දීපන් "

චලන කාමරෙන් යන්න ගියා.

මම පැය ගානක් හූල්ල හූල්ල හිතුවා. ඒත් මම තාම එතනමයි. නිකිනිව මට අමතක කරන්න බැහැ. තව දවස් තුනක් යනකල් නිකිණි මාව මුණගැහෙන්නේ නැහැ කියල කිව්වේ මගේ හිත හදාගන්න කියලා මට දැනුයි තේරෙන්නේ. දෙය්යනේ ඒ කියන්නේ නිකිනිත්???

නෑ නෑ .. ඒක එහෙම වෙන්න බැහැ... තව විදියක් තියෙනවා මේ හැමදේම හරියන. නිකිනිවත් බේරාගෙන ගෙදර අයට දුකක් නොදී ඉන්න මම විදියක් හොයාගන්න ඕනේ..


'දෙය්යනේ මම මොකද කරන්නේ'?

*****************************

18 comments:

  1. පායිවාස්

    මොන කුනු හබ්බයක්ද

    ReplyDelete
    Replies
    1. හෑ ??? මොකද්ද ඒකෙ තියෙන අවුල? ඔන්න බලන්න කැත හිත!
      දන්නේ නැත්තම් මෙන්න බලාගන්න

      Delete
  2. ඔහොමම ඉතුරු ටිකත් දාමුද........ 29 දාලා අයින් කලේ මොකෝ???

    ReplyDelete
    Replies
    1. 29 අයින් කලේ ඒක 28ට කලින් පොස්ට් වෙච්ච නිසා.
      ඔහොම්මම බෑ... මම අද හවසට එකක් ( 29) දානවා. ඊළඟ එක හෙට !

      Delete
  3. බාගෙට කියවලා ඉන්න බෑ.... 29ත් දාන්ඩෝ.....

    ReplyDelete
    Replies
    1. බාගයක් නෙවෙයි අනේ. හෙට හෙට

      Delete
  4. අම්මා මාව දැක්ක ගමන් පිස්සුවෙන් වගේ අඬන්න ගත්තා. "උඹ කොහෙද මගේ පුතේ ගියේ? මගේ පපුව පැලුනේ නැති ටික විතරයි. අම්මා ගොඩක් දේවල් කියෙව්වා. මට හරියට මතකයක් නැහැ. මට ඒවාට දෙන්න උත්තර තිබුනෙත් නැහැ. ".. මගේ කොලු පැටියා ඇදිලා ගිහිල්ල. උඹ ඔහොම දුක් විදපු දරුවෙක් නෙවෙයි මගේ පුතේ. උඹ නැතුව මේ ගෙදර සොහොන් පිට්ටනිය වගේ..." මම අර මොනවද කාපු එකා වගේ හිටියා විතරයි. කියන්න දෙයක් නැහැ. හැම එකකටම මුල වෙලා තියෙන්නේ මම. මගේ හිතම මට සාප කරනවා වගේ. "කෝ තා-ත්-ත?" රෑ කාම එක වෙනකල්ම ඉවසගෙන ඉඳල මම ඇහුවේ බයෙන්. "මේ සතියේ කොළඹ කොන්ෆරන්ස් එකක් තියෙනවා එහෙ ගිහින්. "

    ReplyDelete
  5. මොන මගුලක්ද ? මොකාද මේ කලන කියන එකා , කනවා බොනවා අඩනවා නිදාගන්නවා විතරනේ , නෑ මේ මම කිව්වේ අඩුගානේ කැරම් අතක් ගහන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. හෑ ?? මේ ජල්බරි අස්සේ කැරම්????
      නාකි කොල්ලෝ වගේ නෙවෙයි මේ තරුණ ළමයි.. තේරුනාද?

      Delete
  6. /පාරට හැරෙන තැන කඩේ මුදලාලි 'සුනාභුවියෙන්' ආපු එකෙක් දිහා බලනවා වගේ කටත් ඇරගෙන මගේ දිහා බැලුවත් ,/

    ඔය සුනාභුවී ග්‍රහලෝකෙ සීන් එක තිබ්බෙ ජයන්ත චන්ද්‍රසිරිගෙ රැජින ටෙලි චිත්‍රපටයෙ. මරු කතාව ඒක. රවීන්ද්‍ර , යශෝධා එහෙම හිටියෙ ඒකෙ.

    හා..හා..හා ඒ කියන්නෙ බොලේ රැජින පෙන්නන කාලෙත් උඹට දහ අටක් ඈ?....හප්පච්චියේ...නරකම නෑ...:)

    ReplyDelete
    Replies
    1. හි හි හි
      මම ඕක ලියලම බලා.. ආ ආ ආ ගෙන හිටියේ එකෙක් හරි ඔතනින් පික් කරයි කියලා.. හි හි හි ඔය ඉන්නේ අපේ රවී... තවත් එකක් තියෙනවා.. පුළුවන් නම් හොයමු!

      අපෝ.. මේ පොඩි කොල්ලා තමයි ඒ කාලේ අවුරුදු 18 - 20 වගේ. අපි ලොකු ළමයි.. නැත්තම් මෙහෙම ලියයිද?

      Delete
    2. //නෝටි නෙවෙයි මම නයිස්!"//

      Delete
    3. KM: good one...
      ඒකත් එකක්!! තව හෙව්වොත් හම්බෙයි

      Delete
  7. //අදහස් වලින් අපි දෙන්නා කොච්චර ළඟද ? අපි දෙන්නා අදහස් වලින් ගැටිලාම නැහැ. හැමවෙලේම මට දැනුන දෙයක් තමයි නිකිණියි මමයි අතරේ කතාකරන්න බැරි දෙයක් නැහැ කියලා. නිකිනි මට අවනතයි, මමත් නිකිනිට අවනතයි. අපි දෙන්නම දෙන්නාට පුදුම ගරුත්වයක් තියෙන්නේ. දෙන්නම අනික් කෙනාගේ හිතුවිලි වලට කොතරම් ගරු කරනවද? // ඔන්න උත්තරේ.. මම කියුවේ.. කී දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් ද ඕක.. :)

    ReplyDelete
    Replies
    1. මෙහෙම කෙනෙක් අහිමි කරගන්න කවුද කැමති? එහෙම තදට වැදුන කෙනෙක් ගැන දැනෙන්නේ සම් -මස්-නහර ඇතුලින් එන වේදනාවක්.. නැද්ද? අම්මෝ එහෙම දුකක් නම් හතුරෙකුටවත් නොපතමි!!!!!

      සමහර වෙලාවට අපි ගැලපුම් හොයනවා මිසක් , නොගැලපිමේ ඇති ගැලපීම ගැන සතුටු වෙන්නෙත් නැහැ නේද?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...