Sunday, April 2, 2017

92. ඔබ ඇවිත් යන්න එන්න... - 27

27
---------------------------------------


පි ෆ්ලැට් එකට එනකොට හවස පහට විතර ඇති. නිකිනිගේ වදෙන් බේරෙන්න බැරි හින්දා ආවා මිසක්, මට එන්න ඕනෙකමක් තිබ්බෙම නැහැ. ගමන් මහන්සිය යටකරගෙන හිතේ සතුට මතුවෙලා තිබ්බේ.

නිකිනියි මමයි දොරගාවට එනවත් එක්කම, අපි එනකල් බලාගෙනම ඉන්නවා වගේ දොර ඇරියේ කාන්ති. කාන්තිගේ ඇස්වල තිබ්බේ බයක්. එතකොට තමයි මම සාලේ වාඩිවෙලා ඉන්න චලන දැක්කේ. අපිව දැක්ක ගමන් චලන සෝෆාවෙන් නැගිටලා දොර පැත්තට අඩියක් තිබ්බ.

"චලන!"

"කලණ !"

මට එකපාරටම නිකිනිගේ මුහුණ බැලුනේ. ඉබේටම ඒ අතත් ඇල්ලුනත් නිකිණි බිම බලාගෙන එහාට උනේ වැරදිකාරියෙක් වගේ.

"උඹ කොයි වෙලේද ආවේ?"

"දැන් දෙවනි පාරටයි මහත්තයා ආවේ. දැන් ඇවිල්ලත් පැය දෙකක් විතර ඇති"

උත්තර ලැබුනේ කාන්තිගෙන්.

නිකිණි නෙලුම් කොලේ උඩ ඇවිදින කොකෙක් වගේ පරිස්සමෙන් අඩි තියමින් ගේ ඇතුලට ගියේ බිම බලාගෙන. එහෙම යන නිකිණි දිහා කන්න වගේ බලාගෙන හිටපු චලන මගේ දිහා බැලුවේ ගිනියම් වෙච්ච ඇස්වලින්.

"වාඩිවෙයන් චලන"

චලන නෙවෙයි හිනා උනේ.

"කලණ... බෑග් එක ගනිං ! යමන් ගෙදර!!!"

චලන එකපාරටම කිව්වේ හෙන ගහන්නා වගේ. මුගේ මූඩ් එක හොඳටම අවුල් ගිහිං.

"... වරෙන් යන්න"

"උඹ කොහොමද දන්නේ මම මෙහෙ කියල?"

"ඒකෙන් වැඩක් නැහැ.. ගනින් බෑග් එක.. යමන් ගෙදර!! ඔහොම්මම යමන්"

"චලන...!"



මූට මොකෙක් වැහිලද? කතාකරන්නේ හරිම අමුතුවට. එනපොට නම් හොඳ නැහැ වගේ. තාත්තද මූව එව්වේ?

"මම උඹට සැරයක් කිව්වනේ... උඹ මොකටද මෙව්වයේ රිංගන්න ආවේ? වරෙන් යන්න!"

මේ කතාකරන්නේ චලනයාමද? ඌ දන්නවා නිකිණි කවුද කියලා. මොකද මෙහෙම කතාකරන්නේ? මට හොඳටම රතු කට්ට පැන්නා.

"මම එන්නේ නැහැ... උඹ මොකටද මාව හොයාගෙන ආවේ? මම එන්නේ නැහැ"

"උඹ ආවේ නැත්තං.."

"ඇයි ? උඹ මොකක් කරන්නද මම ආවේ නැත්තන්? ආ?? මට ගහන්ඩද ? බලෙන් ගෙනියන්ඩද ?"

"මට උඹට ගහන්න ඕනෙකමක් ඇත්තේ නැහැ. උඹ මේ ගුබ්බෑයමේ ඉන්නවා කියලා හිතලයි ආවේ එක්කගෙන යන්න.! අම්මා අරෙහෙ පොලවේ පස් කනවා. ගෙදර මළගෙයක් වගේ. තෝ මෙතන මගුල් නටනවා!! උඹට හිතක් පපුවක් නැද්ද යකෝ?"

මට තරු පැන්නා.

"මොකද්ද උඹ කිව්වේ? ආයෙමත් කියපන් බලන්න!"

මම චලනයාගේ කොලර් එකෙන් අල්ලාගත්තේ වෙව්ලන ගමන්. ඌ මගේ දිහා බලාගෙන හිටියේ ගිනිගන්න ඇස් වලින්, මමත් හිටියේ එකසිය ගානට තද වෙලා.

"අනේ.. අනේ.... කලණ ! මොකද ඔය කරන්නේ!"

නිකිණි කොහේදෝ ඉඳන් දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලිලා කොහොමහරි චලනයි , මාවයි දෙපැත්තට කළා.

"උඹ මට ගැහුවට මට දුකක් නැහැ කලණයෝ... එහෙනම් උඹ මටත් අත ඉස්සුවා කොහෙවත් යන මේ ගෑනියෙක් නිසා. උඹ එන්නේ නැත්තම් මෙතනම බින්න බැහැපන්.. මම යනවා යන්න!"

චලන ඊයක් වගේ දොර ගාවට ගියා.

"චලන... අනේ චලන"

නිකිණි ඉක්මනට ගිහින් දොර අහුරගත්තා. කාන්ති බය වෙලා බලාගෙන ඉන්නවා මේ නාට්‍ය දිහා.

".. අනේ චලන.. යන්න එපා චලන..."

"පැත්තකට වෙනවා...."

චලන නිකිනිට සැර දැම්මත් නිකිණි නෙවෙයි අහකට උනේ. මට දැන් හොඳටම තරහයි. ඌ කොහොමද නිකිනිට එහෙම කතාකරන්නේ?

"කලණ ගෙදරට කෝල් කළා දවල්. කවුරුත් ගෙදර හිටියේ නැහැ. කලන ගෙදර යන්නයි හිතාගෙන හිටියේ.. ඔය තරමට තරහ ගන්න එපා.... මමයි කලණ අප්සෙට් එකේ ඉන්න නිසා එලියට එක්කරගෙන ගියේ... අනේ චලන.. මට සමාවෙලා පොඩ්ඩකට වාඩිවෙන්න"

මට මේක බලාගෙන ඉන්න බැහැ.

මම කාමරේට වැදිලා දොර මහා හය්යෙන් වහගත්තා.

'මොකද්ද මේ ඌට වැහිලා තියෙන පිස්සුව? මම හිතුවේ මට ඌ ඉන්නවා කියලා. මගේ හිත ඌ දන්නවා කියලා. දැන් බලනකොට ඌටත් මාව තේරුම් ගන්න බැහැ.'

නිකිනිට මෙච්චර නරක විදියට කතාකරලත් නිකිණි ඌට කොච්චර කරුණාවන්ත උනාද? ඇයි මේ හැමවෙලේම නිකිනිට මෙහෙම අපහාසම ලැබෙන්නේ? මම නිසාද මේ කෙල්ල මෙච්චර අපහාස විඳින්නේ?

වේදනාව හින්දම මගේ ඇඟපත රිදෙන්න ගත්තා. තරහට සරුවාන්ගෙම වෙව්ලනවා. මම කාමරේ තිබ්බ සෝෆා එක උඩට කඩාගෙන වැටිලා වහලය දිහා ඔහේ බලාගෙන හිටියා.

'ටොක්.. ටොක් .. ටොක් '

"කලණ "

නිකිනිගේ කටහඬ. මම සෝෆාවේ හිටපු විදියටම හිටියා.

"....කලණ .... පොඩ්ඩකට දොර අරින්න.. පොඩ්ඩකට එන්න"

"මට බෑ! ඌට යන්න කියන්ඩ"

"පොඩ්ඩකට එන්න කලණ කියන දේ අහලා.. ප්ලීස්"

"..................."

"ප්ලීස්..."

"............."

"කලණ.. එන්නකෝ ප්ලීස්"

මම අකමැත්තෙන් උනත් වැනි වැනී ගිහින් දොර ඇරියා. චලන සාලේ තියෙන සෝෆා එකේ වාඩිවෙලා ඉන්න ගමන් ඔලුව උස්සන්නේ නැතුව මගේ දිහා බැලුවා.

නිකිණි මගේ කාමරේ දොරකඩ.

".. කලණ.. ගෙදර යනවා නේද?"

මට දෙන්න උත්තරයක් නැහැ. මම අහක බලාගත්තා.

"......... චලන.. මට තේරෙනවා ඔයාලේ ගෙදර සිටුවේෂන් එක. මම නිසා ඔය දෙන්නා තරහ වෙන්න එපා.. "

අපි කවුරුත් කතාකලේ නැහැ.

".... මම දන්නවනේ ඔය දෙන්නට.. ඔය දෙන්නා නැතුව බැහැ කියල... මම ඒ මැද්දට තාප්පයක් වෙන්න කැමති නැහැ. "

චලනයි මමයි දෙන්නම කසාය බීපු ගොළුවෝ වගේ ඔහේ හිටියා.

"..........ඔය දෙන්නා යාළුවෙන්න... නැත්තන් මම තමයි පවුකාරි!

"ම-ම ත-ර-හ නැ-හැ"

චලන ඒ එක්කම කිව්වේ හෙමින්, බිමට මුණ හරවාගෙන.

නිකිණි මගේ දිහා බැලුවා... උත්තරයක් ඕනේ කියන්නා වගේ..

"කලණ ?"

මගේ උගුරත් හිරවෙන්න වගේ ආවා.

"ම-මත් තරහ නැ-හැ"

නිකිණි ගිහින් වාඩිවෙලා හිටපු චලනව එක්කගෙන ආවා මම හිටපු තැනට. මම හොරෙන් වගේ ඌ දිහා බලලා අහක බලාගත්තා.

"කෝ ඉතින්.. එහෙනම්.. ෂේක් හෑන්ඩ් කරන්න"

දෙන්නම වටපිට බලනවා.

"... කෝ...."

මම අහක බලාගෙන වගේ නැති උනත්, යන්තම් ඉස්සරහට අතක් දික්කලා. චලන හෙමිට අත ඉස්සරහට ගෙනත්, එකපාරටම මාව බදාගත්තා. මාව ලොකු රළපාරකට අහු උනා වගේ... ඒ සහෝදර බැම්ම කොහොම අමතක කරන්නද මම? චලනයා අඬනවා වගේ. මටත් මාර දුකයි. නිකිණි මගේ එක අතකින් අල්ලාගෙන සතුටු කඳුළු හලනවා.

"ගෙදර වරෙන් කලණයෝ.. මට ගෙදර ඉන්න බෑ පාලුයි... තරහ වෙන්න එපා මචෝ.. තරහ වෙන්න එපා නිකිණි.."

මගේ පපුව 'හෝස්' ගෑවා. චලන කොහොමත් ලේසියෙන් වැටෙන එකෙක් නෙවෙයි. දැන් නම් උගේ තත්වය සාමාන්‍ය නැහැ.

මමත් හිටියේ සාමාන්‍ය තත්වෙන් නෙවෙයි. නිකිණි තමයි මාව මෙහෙමවත් මානසිකව හැදුවේ.

"......උඹ නැතුව ගෙදර පිස්සුවෙන් වගේ. අම්මා කන්නෙත් නැහැ. නංගි බලාගත්ත අතේ බලාගෙන.. ගෙදර වරෙන් බං "

චලන මාව අත ඇරලා නිකිණි දිහා බැලුවා.

"ගෙදර යන්න කලණ... පව් එයාලා"

නිකිණි මගේ පිටට අතක් තියලා කිව්වා. මට හිතාගන්න බැහැ නිකිණි මේ වගේ කොහොමද හැමෝගැනම හිතන්නේ කියලා.

"මම ගෙදර එනවා චලන.. හැබැයි දැන්ම නෙවෙයි... අද නෙවෙයි... මට ටික දවසක් දීපන්... මම ආතල් එකේ හිටියා කියලා හිතන්න එපා... නිකිණි මගේ හිත හැදුවා. මාව තියාගන්න එයා හැදුවේ නැහැ..."

"මට සමාවෙයන්.. මට ටිකක් තරහ ගියා... ඉරිසියාවට වෙන්න ඇති මම කෑගැහුවේ.. සොරි නිකිණි..... "

"ඒකට කමක් නැහැ චලන... මට තේරෙනවා ..... ඔයා වගේ සහෝදරයෙක් ඉන්නකල්.. කලණ ගැන මට බයක් නැහැ. ඔයා මට කරපු උදව් කවුරුත් මට කරන්නෙත් නැහැ. මෙහෙම දේවල් අවුල් කරන්න මම හීනෙන් වත් හිතුවේ නැහැ"

නිකිණි හූල්ලමින් කිව්වා.

චලන පිටවෙලා ගියේ මහා බරක් මගේ හිතේ හිරකරලා.

මට ගෙදර මතක් වෙන එක ඇත්තයි. ඒත් මම එළියට ආපු හැටියට යනවා කියන එකත් මට හීනයක්. අනිත් අය කෙසේවෙතත්, තාත්තා ආයෙත් මාව බාරගන්න එකක් නැහැ. මම දන්නවනේ තාත්තගේ හැටි. වැරැද්දක් කලොත්, සමාවක් ඇත්තේ නැහැ. කිව්වොත් දෙයක්, ආයේ ශක්‍රයා කිව්වත් වෙනස් කරන කෙනෙක් නෙවෙයි.

මමත් නිකිණි ගැන මෙතරම්ම තදින් ඉන්නේ ඒ තාත්තගේ පුතා හින්දම වෙන්නත් ඇති.

----------------------------------

මම කෙලින්ම HR කෙල්ලගේ මූන බැලුවා.

"හේතුවක් නැතුව ?"

"හේතුවක් ඇතුව. නොදන්වා සේවයට වාර්තා නොකිරීම තමයි. එහෙම තමයි මෙහෙ process එක. මට කරන්න දෙයක් නෑ. "
එහෙම කියලා HR කෙල්ල ලියුම් කවරයක් මගේ දිහාට දික් කලා. මට ආපු තරහ නිමක් නැහැ. තරහ පෙන්නන්නේ නැතුව මම ලියුම අරගෙන ආපහු ආවා. 

"ඇයි සර්?"

කරුණාරත්න එහෙම අහගෙන මගේ පස්සෙන්ම මම ඉන්න තැනට ආවා. 

".........සර්ට මොකක් හරි කරදරයක්ද?"

මම කතාකලේ මගේ රූම් එකට ආවහම. 

"මාව අස්කරලා කරුණාරත්න"

"චා චා ඇත්තට? මම නිකමට හිතුවා එදා සර්ගේ විසිට් එකෙන් පස්සේ , සර්ගෙ වර්නනාව අර මාතලේ සර් කියනකොටම. "

මම කබඩ් ඇරලා මගේ මග් එහෙම අරගන්න ගමන් අහගෙන හිටියා. 

".....පරිස්සමෙන් සර්. මෙහෙ බිත්ති වලටත් කන් තියෙනවා. "

'අල්විසා එහෙනම් උඹ මගේ රස්සාවට කෙලියා. හොදයි බලමුකෝ.'

කොහොමත් මම වෙන තැනකට යන්න හිතුවා විතරයි. 
මම ගාමන්ට් එකෙන් එළියට බැහැලා ඇවිදගෙන ආවා පාරට. දැං ම⁣ට උලත් එකයි පිලත් එකයි. 
ඒ වෙලාවේ වැඩිය වාහන තිබ්බෙ නැති නිසා බස් එකක් එනකල් මම හෝල්ට් එක ඇතුලට ගියා.

ත්‍රිරෝද රථයක් පහුකරලා නතර කල නිසා යන්තමට ඒ දිහා බැලුනා. 

"ආ මහත්තයා. මොකද මේ අවේලාවේ?"

තිස්ස අයියා! තවත් බාල්දියක්ද?

"මම මම මේ නුවරට පොඩ්ඩක් යන්න කියලා. බස් අඩුයි වගේ"

"යං සර් මගෙත් එක්ක යමු. මම ටවුමට යන්නෙ"

"එපා තව ටිකකින් බස් එකක් එයි. තිස්ස අය්යා යන්න. මගදි හයර් එකක් ලැබෙයි. "

"ඒකට කමක් නෑ මහත්තයා. යමු යමු"

බස් එකක් වංගුවෙන් මතු උන නිසා මම ත්‍රිවිලරෙන් එහාට වෙලා බස් එකට නගින්න ලෑස්ති වෙනකොට දැක්කේ ඒක උඩපාරේ එකක්.

"අය්---යේ!"

ඒ බස් එක ස්ලෝ කරනවත් එක්කම කෑ ගහගෙන බස් එකෙන් බිමට පැන්නේ නංගි. මට උතුර දකුණ මාරු උනා. මම ආපහු අඩියක් තියලා එක පිම්මට ත්‍රිවිලරේ ඇතුලට පැන්නා. 

"යං යං තිස්ස අයියා යං"
"අනේ අය්යේ............ ටිකක් ඉන්න යන්න එපා!"
නංගි ත්‍රිවිලරේ එල්ලුනා.
"යං යං !!! අද්දලා යං යං!!!!"
කලබලේ උනත් සිහි එලවාගත්ත තිස්ස අය්යා ලෑල්ලට පෑගුවා. නංගිට ත්‍රිවිලරේ අහු උනේ නැති නිසා වැටුනේ නෑ මම හිතන්නෙ. හැරිලා පිටිපස්සෙ වීදුරුවෙන් බලපු මම දැක්කේ කෑගහලා අඩනවා වගේ පෙනුනු නංගී.

උඩට ඇදලා ගත්ත හුසිමටික මම පහළට දැම්මේ නුවර ටවුන් එකටත් ආවාම. 

"මො මොකද සර් ඒ? "

"............."

"ඒ ස-ර්ගෙ නංගි නේද?"

මම අත්දෙක ඔලුවේ ගහගත්තා. 

"ඔව් හලෝ. නංගි තමයි"

මම හති අරින්න ගත්තා. නූලෙන් බේරැනේ. ඒත් හිත හරියට රිදෙනවා. මම ඒ කරපු දේ හරිද වැරදිද? මට තීරණයක් ගන්න බැරි උනා.

"ඇයි සර්? සර්ට මොකවත් ප්‍රශ්නයක්ද? සර්ට මගෙන් මොනවහරි කෙරෙන්න ඕනෙද?"

"..."

"කියන්න සර්... මම පුළුවන් දෙයක්නම් කරනවා"

"මම ගෙදරින් පිටවෙලා ආව තිස්ස අය්යා"

තිස්ස අය්යා වේගේ බාල කරලා මගේ දිහාට යන්තම ඔලුව කරකවලා බැලුවේ පුදුමෙට වෙන්න ඇති.

"කවදද? ඊයේ?"

"නෑ පෙරේදා"

"ඒ මොකටද සර් ඒ? "

"............."

"අර. අර.. අර..අර මැඩම් ?"

"ඔව් හලෝ ඒ හින්ද තමයි. අපි දෙන්නගේ එෆෙයාර් එකට දැන් ටිකක් කල්. අපේ තාත්තට අහුවෙලා.. මාව ගෙදරින් එලෙව්වා.. මට දැන් ඉන්න තැනකුත් නෑ.. ඒ මදිවට අද මාව ජොබ් එකෙනුත් අස් කරලා"

තිස්ස අය්යා ත්‍රිවිලරේ පාරේ අයිනට වෙන්න නතර කරලා මගේ පැත්තට හැරුනා.

"සර්.. සර්.. අඩනවද?"

"නෑ හලෝ"

මම ඔලුව ඉස්සුවා. තිස්ස අය්යා මගේ දිහා බලාගෙන කල්පනා කරනවා.
දැන් මං මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ.
ජොබ් එකක් නැතුව මොන සෙල්ලමක්වත් බැහැ. කවුද ඒලෙවල් වත් නැති මගේ ඩිප්ලෝමාවට විතරක් ජොබ් දෙන්නේ. මම තවත් නිකිනිගේ ගෙදර ඉන්න එකත් හරි නැහැ. මාධවී අක්කට මාව අඳුකොළ වගේ.

"සර්.. ඉන්න  යමු අපේ ගෙදර. ජොබ් එකක් අපි හෙමීට හොයාගම්මු"

"එහෙම හරියන්නේ නැහැනේ තිස්ස අය්යා"

"සර්ට ගෙදර යන්න ඕනේ නම් මම ගෙනිහින් ඇරලවන්නම්"

"නෑ තිස්ස අය්යා.. මට තාම ගෙදර යන්න හිත හදාගන්න බැහැ. මොකක් කරන්නද කියලා මට හිතාගන්න බැහැ "

"ඒකද සර්, සර්ගේ නංගි දැක්කහම දුවගෙන ආවේ?"

"හ්ම්ම්"

"ඒ උනාට සර් මට ඒ මිස් ගැන පවු හිතුනා"

"මම නංගිත් එක්ක තරහක්වත්, කාත් එක්කවත් අමනාපයක්වත් නැහැ තිස්ස අය්යා. එයාල මාව ගෙදර ගෙන්නගන්න හදනවා. මට තාම හිත හදාගන්න බැහැ ගෙදර යන්න"

"යං සර් අපේ ගෙදර, සර්ව මට බරක් නෙවෙයි.. වැඩිය පහසුකම් නම් නැහැ. ඒ උනාට සර්ව මට බරක් නෙවෙයි"

මට වෙන ගන්න තීරණයක් තිබ්බේ නැහැ. මම තිස්ස අය්යත් එක්ක නිකිනිගේ ෆ්ලැට් එකට ගිහින්, යන්තම් විස්තරයක් කාන්තිට කියල බෑග් එක අරගෙන ත්‍රීවිලර් එකට ආවා.


තිස්ස අය්යාගේ ගෙදර මිදුලේ නතර කරනකොටම මිදුලේ හිටපු කෙනෙක් පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා. තිස්ස අයගේ වයිෆ් වගේ මතක.

"හම්මෝ මම බයවෙච්ච තරමක්. මොකෝ මේ අවේලාවේ ගිය පයින්ම?"

මාව දැක්ක ගමන් ඈ ප්‍රශ්න ඇහිල්ල පැත්තක තියලා බයාදු හිනාවක් පෑවා.

"මේ මහත්තයට පොඩි කරදරයක්.. සුමනට මතකනේ මේ මහත්තයව.. අපේ කසාදෙට අස්සන් කලේ. එන්න සර් ඇතුලට. මේක තමයි ඉතින් මගේ ගේ"

ඒක යන්තමට හුණු පිරියම් කරපු පොඩි ගෙයක්. පන්සලක වගේ මිදුල නම් හොඳ පිළිවෙලට අතුගාලා.

"..වාඩිවෙන්න සර්.. සුමනා... තේ ඩිංගක්... සර්ට මතකනේ සුමනා"

"ඔව් ඔව්"

මම ඉඳගත්ත පුටුව ජරබර ගෑවා.

"තිස්ස අය්යට මම හින්දා අද බිස්නසුත් නැහැ නේද?"

"එක මොකද්ද සර්... දැන් ත්‍රීවිලර් ප්‍රමානේ වැඩියි. ඉඳල හිටලා තමයි හොඳ හයර් වදින්නේ. නැත්තන් කුනුකොල්ලෙට තමයි දුවන්න වෙන්නේ"

"සර්.. දෙන්න සර් බෑග් එක මම ඇතුලෙන් තියන්නද?"

සුමනා ඇවිත් මගේ බෑග් එක ගන්න නැමුනා.

"හා හා.. මම ගන්නම්.. බර උස්සන්න එපා"

සුමනා හිනා උනා. ඉනවටේ තිබ්බ චිත්තේ එක්ක සුමානගේ ඉදිරියට නෙරලා තිබ්බ කුස කැපිලා පෙනුනේ එතකොටයි.
ගේ අතුල අඳුරුයි. තිබ්බේ බඩු බොහොම පොඩ්ඩයි. පරණ වෙච්ච රේඩියෝවක්, එක කකුලක් කැඩිච්ච ටිපොවක් උඩ තියලා තිබුනා. මේ හැමදේකම දුප්පත් අහිංසක කමක් ගෑවිලා තිබුනේ. මෙහෙම ඉඳගෙන කොහොමද රස්සාවක් නැති මට කන්න දෙන්නේ? ආපු මෝඩකමද?

දවල් කෑමට පොලොස් මාළුවක් එක්ක හුනුසාල් බත්. රසම රසයි. මට අම්මා මතක් උනා. අම්මට හරිම රසට පොලොස් හදන්න පුළුවන්. පවු.. අම්ම මම ගැන දුක් වෙනවා ඇති.

"මම ඉක්මනට ජොබ් එකක් හොයාගන්න ඕනේ තිස්ස අය්යා.. මොකක් හරි කමක් නැහැ"

"සර්ට අඳුනන අය නැද්ද ගාමන්ට් එකේ?"

"ඔය බම්බුවට මම ආයේ යන්නේ නැහැ. ඊට වඩා හොඳයි හිඟා කනවා. "

"නිකිණි නෝනගේ මහත්තයද සර්ව අස්කලේ"

තිස්ස අය්යා වටපිට බලලා එහෙම ඇහුවේ රහසින් වගේ. ඒකට මගේ හිත රිදුනා. 'නිකිනිගේ මහත්තයා' එක කොතරම් ගරුත්වයක් තියෙන්න ඕනේ තනතුරක්ද?

"දන්නේ නැහැ අය්යා.. වෙන්න ඇති"

"සර් අමනාප වෙන්නේ නැත්තම් මම කාරනාවක් කියන්නද?"

"මම මොකටද අය්යා එක්ක අමනාප වෙන්නේ? මට මෙච්චර උදව් කරලත්"

"ඒ මහත්තය.. අර නෝනගේ.... එයා එච්චර හොඳ කෙනෙක් නෙවෙයිලු"

"කවුද තිස්ස අය්යට කිව්වේ?"

"අපේ  නංගි... ගාමන්ට් එකේ කෙල්ලෝ කතාවෙන එව්වා වෙන්න ඇති. කෙල්ලොන්ට කරදර කරනවා කියලයි ආරංචිය. පවු දෙය්යනේ ඒ නෝනා"

මම පුටුවෙන් නැගිටලා එලියට බැස්සා.
මගේ කනට යකඩ කුරකින් අනිනවා වගේ. නිකිනිව මට මගේ ලඟට ගන්න බැරි හැටි!

"සර්ට තරහ ගියාද?"

"නෑ  අය්යා... එහෙම එකක් නැහැ"

මම හිනාවෙලා බිම බලාගත්තා.

හෙට උදෙන්ම ගිහින් නිකිනිව මුණගැහෙන්න ඕනේ කියලා මම හිතුවේ නිදාගන්න ගියපු වෙලාවේ. හිත හොඳ උනාට මම කොහොමද මේ මිනිස්සුන්ට බරක් වෙන්නේ? නිකිනිට කිව්වොත් ජොබ් එකක් වත් හොයල දෙයි මට.
----------------------------------------------

7 comments:

  1. Adare weedana mage hitha purawala
    Sadakal handawala kohedo giye
    Oyatama himi wela mama oyagema wela
    Bala inne sadaa oya wenuwen thama

    ReplyDelete
    Replies
    1. ආදරේ වේදනා මගේ හිත පුරවලා
      සදාකල් හඬවලා කොහේදෝ ගියේ..
      ඔයාටම හිමිවෙලා මම ඔයාගෙම වෙලා
      බලා ඉන්නේ සදා ඔයා වෙනුවෙන් තමා....

      හ්ම්ම්.. හ්ම්ම්...

      කෝ සිංහල අමතක උනාද?

      Delete
  2. නිකිනිව අස් කරලා තිබ්බනං එහෙම ඔන්න මං රස්සාවක් දෙනවා එවෙලේම , අම්මප

    ReplyDelete
    Replies
    1. හෙහ්... දීකිරට ලවූ පූසෝ 'කදව් කදව් ' කිව්වලු

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...