Wednesday, March 29, 2017

89. ඔබ ඇවිත් යන්න එන්න... - 25

25
----------------------------------------------------------------

ගෙදර ගේට්ටුව ගාවට එනකොටම මට දැනුනේ අමුත්තක්.

ගෙදර වෙනදට නොවරදවාම පත්තුවෙන බුදුපහනේ එළිය පේන්න නැහැ. එළියේ කිසිම ලයිට් එකක් දාලත් නැහැ. සාලේ තිබ්බේ කණාමැදිරි එළියක්. පළාතම මට පෙනුනේ සුළිසුළඟක් මේ දැන් හමලා ඉවර වෙලා වගේ.

ගෙට ඇතුල්වෙනකොට මහා නිශ්ශබ්දතාවයක් දැනුනේ. තාත්තා ඉන්න කාමරේ මොකද්දෝ සද්දයක් ආව නිසා මම පරිස්සමෙන් අඩි තියලා ඒ පැත්තට ගියේ මුදානොගත්ත කලාපෙකට යනවා වගේ. ටිකක් ලංවෙනකොට මට පැහැදිලි උනා ඒක ඉකිබිඳිල්ලක් කියලා. ඇඟිලි තුඩු වලින් ගිහින් යන්තමට එබිලා බලනකොට ඇඳේ වාඩිවෙලා අම්මා අඬනවා දැක්කහම මාව පුදුමෙන් ගල් උනා.

අම්මා එහෙම අඬනවා මම දැකලම නැති තරම්.

"අම්මේ?"

මම හෙමින් ඇහුවා.

අම්මා මගේ සද්දේ ඇහිලා ගැස්සිලා වගේ මගේ දිහා බැලුවත්, ගස්සලා අහක බලාගත්තා. ඒ එක්කම ඇඩිල්ල තවත් වැඩි උනා.

"..අම්මේ... මොකද?"

මම කාමරේට අඩියක් තියන්න හදනකොටම වේගෙන් ආපු අම්මා මාව කාමරෙන් එලියට තල්ලු කරලා දොර 'දඩාස්' ගාල වැහුවා.
මාව ෆුල් හොල්මන්. ගෙදර වෙන කවුරුත් පේන්නත් නැහැ. ගෙදර ආපු සැහැල්ලුව ඔක්කොම දියවෙලා ගියා වගේ. මම සාලේ ලොකු බල්බ් එකක් ඔන් කළා. ගේ හරිම මූසල පෙනුමයි. මම එහෙම්මම එලියට බැස්සේ නිකිනිට කෝල් එකක් දෙන්න ඕනේ නිසා. ගෙදරින් ගන්න බැහැ ලෙඩේ.

මම ළඟ තිබ්බ කමියුනිකේෂන් එක ඇතුලට ගිහින් නිකිනිට කෝල් එකක් ගත්තා.

"කලණ.. බේබි මොකද උනේ ගියපු වැඩේ?"

"ඒක හරි ළමයෝ... මම කිව්වා මොනවහරි තියෙනවා නම් මට කතාකරන්න කියලා. එතන මැනේජර්ගේ කාඩ් එක මම ඉල්ලගෙන ආව. "

"කවුද විදුරගේ?"

"ඔව්... බලන්න ඕනේ නිකිණි මැඩම්ගේ මදර් කම්පනියෙන් කිව්වහම තිබ්බ සැලකිල්ල... කවුරුත් ඇවිත් නැහැලු මිට කලින් මේ වගේ උදව් වලට.."

"හි හි හි.. මේ සේරම ඔයා නිසයි කලණ. අපිට හරියට වැඩේ කරවගන්න තේරෙන කෙනෙක් හිටියේ නැහැනේ"

"ගෙවන්න වෙයි"

"ඔන්න පටන් ගත්ත.. ඔයා හෙට එනවනේ?"

"කෝ ඉතින් පටන් ගත්තේ නැහැනේ..."

"ඔය ඉතින්.... හෙට එනවා නේද කියල ඇහුවේ මම... ඇහුනේ නැද්ද මේ නෝටි ළමයට?"

"මම නයිස්... ස්වීට්.. දන්නවනේ..."

"හරි හරි.. දැන් මම තියනවා... හෙට එනවනේ හවස?"

"එපා.."

"මොනවද එපා"

"තියන්න එපා.."

"ළමයෝ ඔයා ගන්නේ කමියුනිකේෂන් එකකින් නේද? ඇති දැන්.. හෙට කතාකරමු.. බායි"

නිකිණි එහෙම කිව්වට කට් කලේ නැහැ. වදෙන් පොරෙන් වගේ කෝල් එක කට් කරනකොට ආයෙමත් තව විනාඩි ගානක් ගිහින්. මගේ හිත පිරිලා වගේ.



සැහැල්ලුවෙන් වැනි වැනී ආපහු ගෙදර පැත්තට එනකොට, ඈතදීම මට ඇහුනා ගේ ඇතුලේ මහා කාලගෝට්ටියක් වගේ.

මම අඩියට දෙකට ගේ පැත්තට දුවගෙන ගිහින් වහලා තිබ්බ දොර ඇරියා.

"කලණ.. පලයාං........"

චලන වෙන්න ඇති, මට දොර අරින්න දුන්නේ නැහැ. යන්තමට අරුණු දොර අතරින් මට පෙනුනේ බිහිසුණු දර්ශනයක්.

"එන්ඩ දීපං ඌට... එන්ඩ දීපං"

යකෙක් ආරුඪ වෙලා වගේ පෙනුමක් තිබ්බ තාත්තා ගුගුරන  සද්දෙට චලනගේ අත ලිස්සුව ගමන් මමත් තල්ලු කරගෙන ඇතුලට ගියා.

තාත්තා!! කොන්ඩේ ඔක්කොම අවුල් වෙලා, ෂර්ට් එකේ බොත්තම් නැතුව පාරේ ඉන්න පිස්සෙක් වගේ සාලේ කොනක ඉන්නකොට, ඊට දෙපැත්තෙන් බිරන්තට්ටුවෙච්ච නංගියි, අම්මයි තඩිස්සි වෙච්ච ඇස්වලින් මගේ දිහා බලාගෙන. මට ඇත්තටම මහා බයක් දැනුනා. මම කට ඇරගෙන ඊට පස්සේ බැලුවේ මගෙත් එක්ක දොරට ඔට්ටු වෙලා පරාද වෙලා දාඩිය දාගෙන දොර ගාව ඉන්න චලන දිහා.
මොකද්ද මේ වෙන්නේ?

"ආ..... උඹ ආවද? තෝ එනකල් තමයි හිටියේ වනචරයා... උඹ මොකද යකෝ මේ කරන්නේ?.. උඹ මේවද රස්සාවට යනවා කියල කරන්නේ?"

තාත්තා එහෙම කියාගෙන දොලපිදේනි කන්න පනින යකදුරෙක් වගේ මගේ පැත්තට පනින්න හදනකොටම අම්මයි නංගියි දෙන්නම දෙපැත්තෙන් එල්ලුනේ මරහඬ තලාගෙන.

චලන මාව පිටිපස්සට ඇද්දා.

"ඇයි මම මොකද්ද කලේ?"

"බැඳපු වල් වේසාවියෙක් එක්ක උඹ නටන නාඩගම මම නොදන්නවා කියල හිතුවද?ආ??? තොට ලැජ්ජා නැද්ද යකෝ?"

"තාත්තට පිස්සු!"

ඒ ටික කියල ඉවර කරන්නත් කලින් බුලට් ට්‍රේන් එකට හැප්පුනා වගේ තාත්තගේ වමතින් වැදුනේ තද කම්මුල් පාරක්. තරු මන්දාකිනියකුත් එක්ක මාව කැරකිලා, විසික් වෙලා බිමටම වැටුනා.

"කට වහපන් $##%^$%$! මම අද උඹව හම ගහනවා... නැත්තම් මකලා හදනවා... උඹ ආයෙමත් ඒකිත් එක්ක රවුම් ගහලා අහු උනොත් තෝව මම තියන්නේ නැහැ."

වැදිච්ච පාරට හක්කට මොකද උනේ බලන අතරේ තාත්තා අකුණු සැරයක් වගේ කෑගැහුවා. චලන දුවගෙන ඇවිත් මාව නැගිට්ටවන්න හැදුවා.

"කලණ.. උඹ පලයන් එළියට"

චලන මාව එලියට දාන්න හැදුවත් මම ඌව තල්ලු කරලා දැම්මා.

"තාත්තට ඔය පට්ටපල් බොරු කියපු එකාගෙන්ම අහගන්න එව්වා. එයා බැඳලා තමයි, ඉතින් මොකද? එයා මට ගැලපෙන නිසයි මම ආශ්‍රය කරන්නේ. අනික එයා හැදිච්ච පවුලක කෙනෙක්. තාත්ත ඔය කියන ජාතියේ කෙනෙක් නෙවෙයි."

මුළු සාලේම මීයට පිම්බා වගේ එකපාරටම ගල්ගැහුනා වගේ උනා. තාත්තගේ කටත් ඇරුනා.

"... මම එයාව බඳිනවා"

මම එහෙම කිව්වේ ඒ පුර්ණ නිශ්ශබ්දතාවය දෙදරවාගෙන වගේ.

ඔක්කොමල්ලා මහා ලොකු හුස්මක් ඉහලට ඇදගත්තා වගේ මට දැනුනේ.

"කාටද යකෝ තෝ ඒ කතාකලේ?"

තාත්තා මහසෝනා වගේ බෙල්ට් එක ඇදලා ගන්නවා විතරයි මම දැක්කේ. නංගිගේත් , අම්මගෙත් විලාපේ විතරයි ඇහුනේ. පැනපු ගමන් මට බෙල්ට් එකෙන් ගහගෙන ගහගෙන ගියේ මම හිතන්නවත් කලින්. මම අත් දෙකෙන්ම ඔලුව බදාගෙන බිම ගුලි උනේ ඔලුව බේරගන්න. එහෙම කරනකොට නිරාවරණය වෙච්ච මගේ පිට පුරාම හෙන වදිනවා වගේ බෙල්ට් පාරවල් වැස්සක් කඩාගෙන වැටුනා. අනික් තුන්දෙනා එකතු වෙලා තාත්තව එහාට ඇදගන්න ඇති, ඒ උනත් ඒ වෙනකොට මගේ පිට පුපුරලා වෙන්න ඇති කමිසේ පුරාම ලේ පැල්ලම්.

"දැන් ඔය ඇති දෙය්යනේ...."

අම්මා තාත්තගේ ඇඟේ එල්ලිලා බෙරිහන් දෙනවා. නංගි තාත්තව තද කරලා බදාගෙන.

"උඹ දැනගනින්... උඹට ඔය වල්කම් කර කර මේ වහලයට ඉන්න බෑ "

චලන මගේ ළඟට ඇවිත් මාව නැගිට්ටවන්න හැදුවා. මම උගේ අතත් ගහලා දාල එකපාරටම නැගිටලා ගියේ කාමරේට. අතට අහුවෙච්ච ට්‍රැවලින් බෑග් එකට ,අතට අහුවෙච්ච ඇඳුම් ටිකක් ඔබාගෙන ඔබාගෙන ගියේ දත්මිටි කන ගමන්.

"කලණ.. උඹ මොකද මේ කරන්නේ?"

චලන දුවගෙන ඇවිත් මගෙන් බෑග් එක උදුරන්න හැදුවත් මට මාර ශක්තියක් ඒ වෙලාවේ ආවේ.

"උඹ පැත්තකට වෙලා ඉඳපන්.. මට මගේ වැඩක් කරගන්න දීලා"

"තාත්තා ටිකක් කෑගැහුවට උඹ මේ වගේ තකතීරු වැඩක් කරන්න එපා බන්"

මම කනකට ගත්තේ නැහැ. මගේ ඇස්වලින් කඳුළු හෝ ගාල එලියට පනිනවා. මම සපත්තු දෙකත් අතට අරගෙන සාලෙට ආවා.

"අනේ පුතේ... උඹ මේ කොහේ යන්නද?"

අම්මා මගේ ඇඟේ එල්ලිලා කෑගහන්න ගත්තා. මම අම්මවත් ඇදගෙන වගේ ඉස්සරහට ඇවිදගෙන ගියා.

"අනේ අය්යේ........යන්න එපා"

නංගිත් ඒ පාර මගේ ඇඟේ එල්ලුනා. මට පේනවා තාත්තා සෝෆා එකේ තනි පුටුවේ රවාගෙන  මහසෝනා වගේ වාඩිවෙලා බලාගෙන ඉන්නවා.

"යන්න ඇරපල්ලා ඕකාට.. නතර කරගන්න එපා.. මේකා අපිව කන්න හැදිච්ච යක්සයෙක් !උදානි.. අත අරින්න නේද කිව්වේ.. විමලා........ වැරැද්ද කරලත් මුගේ තියෙන කටේ සවුදම.. අත අරින්න නේද කිව්වේ මම!!"

බයවෙච්ච පාර නංගිගේ අත බුරුල් උනා. අම්මාගේ අත මම ගසලා දැම්මා. එහෙම්මම මම ආවේ දොර ගාවට.

"අනේ අය්යේ.. යන්න එපා"

"පුතේ.. රත්තරන් පුතේ.. යන්න එපා....."

මම මගේ හිත තද කරගෙන දොර ඇරගෙන එළියට ආවා. වේගෙන් වේගෙන් මම ගේට්ටුව දිහාවට ඇවිදගෙන ආවේ සිහියෙන් නෙවෙයි.

"කලණ..."

".........."

මම අඩිය ඉක්මන් කළා.

"කලණ...."

මම නතර උනේ නැහැ. කෙලින්ම පාරට එනකල් ඇවිදගෙන ආවා. චලන දුවගෙන ඇවිත් මගේ උරහිසේ එල්ලුනා.

"කලණ... කොහෙද බන් උඹ යන්නේ?"

"...."

"මෙන්න මෙහෙ වරෙන් බන් ගෙදර යන්න"

"මාව අත ඇරපන්.. මාව ආයෙමත් ගෙනියන්ඩ හදන්ඩ එපා. පලයං යන්ඩ "

"කලණ!"

චලන මාව බදාගත්තා. මම වගේම ඌත් අඩනවා මට දැනෙනවා.

".. තාත්තගේ තරහ නිවුනාම ආපහු යමු කලණයෝ.... මට උඹ නැතුව පාලුයි"

"බෑ මචං... මම යනවා. මටත් උඹ නැතුව දුකයි. මම උඹව බලන්න එන්නම්"

චලනව අත ඇරලා මම බෑග් එක කරට ගත්තා. චලන මට යන්න දෙන්න බැරිවෙන්න වගේ තද කරලා අත අල්ලාගෙන. මගේ ඇස්වල කඳුළු එක්ක පිට පුපුරු ගහනවා. මම මගේ අත කරකවලා චලනගේ අත බුරුල් කරගත්තා. හෙමින්ම ආවේ පාරට. චලන ආයෙමත් දෙතුන් වතාවක් කතාකරනවා ඇහුනත් මම හැරිලාවත් බැලුවේ නැහැ.

----------------------------------------

ත්‍රීවිලර් එකට නැග්ගහම තමයි මම යන තැනක් ගැන කල්පනා කලේ. මම කොහේ යන්නද?

මම නිකිනිගේ ෆ්ලැට් එක ගාවින් බහිනකල් හිටියේ අසිහියෙන් වගේ. මම මේ මොනවද කරන්නේ කියලා මටම හරි හැටි තේරැමක් තිබ්බෙ නෑ මම හිතන්නෙ.

දොර ඇරියේ වාසනාවට වගේ නිකිනිමයි. 

"කලණ!"

"නිකිනි!"
මම වේදනාව වැඩි කමටම ඉස්සරහට අඩිය තියලා නිකිනිව මගේ උරහිසට තද කරගත්තා. 

"කලණ ඇයි මේ?? මොනවද මේ බෑග් එකකුත් අරගෙන? මොකද මේ? ඇදුම්ද මේ?"
නිකිනි ඉවරයක් නැතුව ප්‍රශ්න අහනවා. එතකොටයි මම දැක්කේ සාලෙ ඉදගෙන බලාගෙන ඉන්න මාධි අක්කයි, කාන්තියි.

"........දෙය්යනේ... මොකද මේ?"

මගේ කමිසේ තිබ්බ ලේ පැල්ලම් දැකලා නිකිනි හොදටම බය වෙලා. 

"එන්න එන්න. මුලිම්ම ඇතුලට එන්න. "

මාධි අක්කා සුහද නැති උනත් පොඩ්ඩක් හිතවත් කමක් තියෙන විදියට කියලා, මගේ අතේ තිබ්බ බෑග් එක අතට අරගෙන දොර වැහුවා. මම ලෙඩෙක් වගේ ඇවිදින් පුටුවකට වාරැ උනා. පිට හරියට ගිනි ගන්නවා වගේ. 

වෙච්ච දේවල් කිව්වහම නිකිනි ඉකි ගගහා අඩන්න ගත්තා. 
මාධි අක්කත් බය වෙලා. 

"ඔයා මොකටද මල්ලි ගෙදරින් පිටවෙලා ආවේ. දැන් ඉතිං මොකක් කරන්නද?"

"තාත්තගෙ වහල යටනෙ මට ඉන්න බෑ කිව්වෙ. ඒකයි මම ආවෙ. "

"හ්ම්"

මාධවී අක්කා සුසුමක් හෙලලා බිබී හිටපු මග් එකත් අරගෙන කුස්සිය පැත්තට ගියා. 
නිකිනි සෑහෙන වෙලාවක් තනියම කදුලු පිහමින් මගේ වටේ කැරකුනේ මාධවී අක්කට බයෙන් කියලා මට හොදටම තේරුනත් දෙන්නම එකතුවෙලා කාන්තිගෙත් උදව් ඇතුව මගේ පිටේ තිබ්බ තුවාල වලට බෙහෙත් දැම්මා. හිතේ තුවාලේ ඇදුම් කනවා. 

මීට කලින් කවදාවත් ගෙදරින් තරහා වෙලා ඇවිත් නැහැ. තාත්තා මට එහෙම නොකිව්වනං මම කවදාවත් එන්නෙත් නැහැ. 
'මම ආයෙ ඒ ගෙදර පස් පාගන්නෙ නෑමයි.'

තාත්තගේ බෙල්ට් පාරවල් මගේ හිතේ ඇතිකලේ පුදුම  තරහක්. තාත්තට වටින්නෙ නෑ මට එහෙම ගහන්න. අනික නිකිනි ගැන නොදැන එහෙම කියන්න!

අම්මා හවස අඩ අඩ හිටියේ ඒ හින්දද? තාත්තට කිව්වේ අම්මද? වෙන්න බෑ. අම්මා එහෙම තාත්තට අපි ගැන කේලම් කියන්නෙ නෑ. පොඩිකාලෙ උනත් ලොකු වැරැද්දකටවත් එහෙම කරලා නෑ. අම්මා අපිව බේරගන්න අනන්තවත් තාත්තට බොරු කියලා ඇති. එහෙනම් තාත්තා කොහොමද තාත්තා දැනගත්තෙ?
යන්තම් කාන්තිගේ බලේට පාන් ටෝස්ට් එකක් කෑවට මට රෑට කන්න බෑ. මම කාන්ති ලෑස්ති කරලා දුන්න කාමරේට ගිහිං යන්තම් මූණ විතරක් හෝදගෙන ඇදට වැටුනා. ගතේ තුවාලෙනුත්, හිතේ තුවාලෙනුත් එන වේදනාව නිසා මට නින්දක් අහලකටවත් ආවේ නැහැ. 

"කලණ... ඔයා තාම නිදි නැද්ද?"

මම අමාරුවෙන් ඇදේ වාඩිවෙලා කමි⁣සේ බොත්තම පියවගත්තා. 

කාමරේ දොරකඩ නිකිනි. ටිකක් වටපිට බලලා නිකිනි එයාගෙ අතේ තිබ්බ කිරි තේ එක අරගෙන මගේ ළගට ආවා. 
මට ඉබේටම ලොකු සුසුමක් හෙලුනා. 

"ඔයාට දුකද කලණ?"

"....."

"මට සමාවෙන්න බේබි. මමයි ඔයාව ඔය තත්වෙට පත්කලේ. මම හොද කෙනෙක් උනානම් ඔයාට ඔහොම වෙන්නෙ නැහැනෙ"

"ඒ ගැන හිතන්න එපා නිකිනි"
මම නිකිනිගේ අත උනුහුමට මගේ අත් අතරේ ගුලි කරගන්න ගමන් කිව්වා.
මම තේ එක අතට අරගෙන නිකිනිව මගේ ළගට ගන්න හැදුවත් නිකිනි එතන තිබ්බ සෝෆාවේ වාඩි උනේ හූල්ලන ගමන්. 

"... මම දැනගෙන හිටියා මට කවදාහරි මේ තීරණේ ගන්න වෙනවා කියලා..."

"............"

"...මම මෙහෙ ඉන්න එක හරි නැහැනේ. මම බෝඩිමක් හොයාගන්නම්"

නිකිණි දුක්බරව බිම බලාගත්තා.

"අපි... හෙට දවස ඉවර උනාම බලමු."

නිකිණි මගේ දිහා බලලා අහිංසක විදියට හිනා උනා.

මට නිකිනිගේ හිතේ තදවෙලා තියෙන දේවල් හිතාගන්න පුළුවන්. නිකිණි නම් එහෙම නොවුනට මාධවී අක්කගේ බැල්මෙන්ම තේරුනා මම මෙහෙ ඉන්නවට අකමැත්ත. චන්ඩියා වගේ එලියට බැස්සට, එහෙම යන්න කියලා තැනක් තිබ්බේ නැහැනේ.

"..කලණ"

නිකිණි මගේ ගාවටම ඇවිත් හිටගත්තා. ඒ ඇස්වල තිබ්බේ ආදරේ මිසක් වෙන මොනවත්ම නෙවෙයි.

"ඇයි ?"

මම නිකිනිගේ බඳට මගේ නළල තදකරගත්තා. නිකිණි හෙමින් මගේ ඔලුව අතගානවා.

"හුඟක් ලස්සනට ගලාගෙන ගියපු ඔයාගේ ජීවිතේට මම ගලක් අතෑරියා නේද? මට දුකයි මම හින්දා ඔයා මේ දුක් විඳිනවට"

"ඒක දුකක් නෙවෙයි නිකිණි"

"මමත් මගේ අම්මලට විරුද්ධව ගියා. එදා තමයි මට සදහටම වැරදුනේ. මම තනි උනා. මම ඒකෙ දුක හොඳටම දන්නවා කලණ. ඔයා මම නිසා ඔයාගේ දෙමවුපියන්ට විරුද්ධ වෙනවා. ඔයා කවදාහරි දවසක.. දුක් වෙයි.. අනේ.. මට ඔයාව සතුටෙන් තියන්න පුළුවන් නම්"

නිකිණි මගේ ළඟින් වාඩිවෙලා මගේ උරහිසට ඔලුව තියාගෙන සුසුම් හෙලනවා. මට කරගන්න දෙයක් නැහැ. මගේ උරහිස දිගේ තෙතක් වගේ දැනෙන්නේ ඒ කඳුළු, ඒවා හරි බරයි. මම ඔහේ බලාගෙන හිටියේ ඒ වෙලාවේ නිකිනිව සනසන්න මගේ ගාව වචන තිබ්බේ නැති නිසයි.

"අනේ.... මට ඔයාගේ අම්මගේ තාත්තගේ කකුල්දෙක අල්ලලා වැඳලා සමාව ගන්න තියෙනවා නම්..... ඒ හිත්වලට ගින්දරක් දීලා මම විතරක් කොහොමද සන්තෝස වෙන්නේ? මට බැහැ කලණ .. මට ඒකට හිත හදාගන්න බැහැ "

"නිකිණි"

මගේ උගුර හිරවෙනවා. ඒ කියපු හැමදෙයක්ම මගේ පපුව ඇතුලට ඊයම්  ගිහින් ඇතුලේ දෝංකාර දෙනවා වගේ.

"......අපේ තාත්තා හරියට දැනගෙන නෙවෙයිනේ කතාකලේ. එයාට කොහොමත් තරහ යනවා. කවුරුහරි එයාට කියල තියෙන්නේ කැත විදියට. ඔයා ඒ ගැන දුක්වෙන්න එපා බබා.. එයාලට ඇත්ත තේරෙයි. මගේ ආදරේ ඇත්තයි... සත්තයි, සහතිකයි"

කුරුළු පිහාටුවක් වගේ නිකිනිගේ අතපය සිනිඳුයි; මෘදුයි.

"තේ එක බොන්න. ඔයා රෑට කෑවෙත් නැහැනේ.. දැන් හොදටම රෑ වෙලා. නිදාගන්න. ඔයා ලෙඩ වෙයි"

නිකිනි නැගිටලා ගිහින් සෝෆාවේ ආයමත් වාඩි උනා.
නිකිනි බලාගෙන හිටපු නිසා අමාරැවෙන් උනත් තේ එක මම බොනකොට නිකිනි ආදරෙන් මගේ දිහා බලාගෙන හිටියා. 

"ඇයි??"

"දුකයි මට"

"........"

මමත් ඈ දිහා බලාගෙන. 

"ඇයි?"

"ලෝබයි මට"

මේ හැමදේකින්ම මගේ හිත නිකිනි පිරිමදිනවා වගේ සුවපත් කරනවා. 

"පිටේ තුවාල තාම රිදෙනවද? "

"හ්ම්........ ඒ උනාට දැන් දැවිල්ල අඩුයි. "

"නිදාගන්න ට්‍රයි කරන්න"

මගේ අතින් ⁣හිස් තේ කෝප්පේ ගන්න ගමන් නිකිනි කිව්වේ පුදුම ආදරයක් මුසුවෙචිච හඩකින්. මට නිකිනිව අල්ලලා මිරිකන්න හිතෙනවා. පුලුවනිද මේ තරම් ආදරයක් දෙන්න?


ම⁣ගේ දිහා බලාගෙනම නිකිනි ආපහු හැරිලා දොර ගාවට ඇවිදගෙන යනකොට මට එකපාරටම හිතුනා දුවගෙන ගිහින් නතර කරන්න. 
ඒත් නිකිනි සංසුන් විලාසයෙන් දොර වහගෙන යන්න ගියා


----------------------------------

18 comments:

  1. ඔන්න මේ කොලේ ගැන කියෙව්වා. අද තමා සම්පූර්න කරේ. අද ඉඳන් එක කොටස ගානේ හැමදාම කොලේ කියවමු. නියමයි ඈ!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා.
      ස්තුතියි.. කවුද අප්පා පාර කිව්වේ?

      Delete
    2. ඔය ඔය ඉතින් ඕකනෙ බැරි. ඔයාගෙ මේ කතාවෙ 14 කොටස බලන්න.

      Delete
    3. ජොලි කතාවක් නොවෙන ජොලි කතාවක් කියන්නද?

      ඔයා කිව්වා විදියට මම ඒ පෝස්ට් එකට ගියා. ඊට පස්සේ ආයෙමත් පෝස්ට් එක කියෙව්වා.. කොමෙන්ටුත් කියෙව්වා.... 'ඇයි මේ අහසෙන් ඇවිත් මේක කියවන්න කිව්වේ?' කියල හිතලා ආයෙමත් පෝස්ට් එක කියෙව්වා...
      මූහු ! ක්ලික් උනේ නැහැ...
      ආයෙමත් කියෙව්වා... ආයෙමත් කියෙව්වා... කෝ තාම කොලපාට බල්බ් එකක් නෑ..
      ආපහු මේ පෝස්ට් එකට ආව. 'මොකද්ද අනේ ඒ පෝස්ට් එකේ තියෙන අවුල' කියල ටයිප් කරලා සබ්මිට් බට්න් එක ඔබන්න හදනකොටම......
      පත්තු උනා.... මීට කලින් ඔයා කමෙන්ට් කරලා කියලනේ මේ කියන්නේ................................
      ඔන්න බලන්න ජාතියක් නගාහිටුවන්න තියෙන පැය ගානක් මේ ප්‍රශ්නේ විසදන්නම වැය උනා... මගේ වැරද්දක් නැහැ හරිද?

      Delete
    4. හෙහ් හෙහ්. කව්ද ඔයාට රට පටලවාගන්න කිව්වෙ ඈ? මං ඒකෙ කියල තියෙයිනෙ අමු සිංහලෙන්ම මං මුලු කතාවම කියවලයි ආයෙ කොමෙන්ට් කරන්නෙ වගේ අදහසක්. අද තමා කියවල ඉවර කරගන්න පුලුවන් උනේ. අන්න ඒ නිමිත්තෙන් බොහොම පහන් සංවේගයෙන් කොමෙන්ටුවක් කෙටුවම කව්ද පාර කිව්වෙ කියල ඇහුවම අපිත් නිකං කරකවල අතෑරිය වගේනෙ.හෙහ්. ඉතිං ඒ වෙලාවෙ හිතෙන දේ ඔහෙ ලියනව. අන්න එහෙමයි ඒකෙ (රවීට අනුව) අවයවේ.

      Delete
  2. ආ අවුලක් නෑ... කතාව වෙනස් මන් දන්න එකේ........ එකේ තාම ගෙදරින් දන්නේ නෑ.......

    ReplyDelete
    Replies
    1. ඒ කියන කතාවේ 'මේ කියන' කෙනා නමින් චරිතයක් තිබ්බදෝ කියලත් හිතෙනවා....

      එහෙනම් ඒ කියන කතාවේ එකාට කියනවා හොඳයි, මාට්ටු උනොත් වෙන්නේ මේ සන්තෑසිය කියලා

      Delete
    2. බය කරන්නේ නැතුව හිටු.....

      Delete
  3. සෑහෙන කොටස් ගානක් ගිහින්
    මැද්දෙන බලලා තේරුමක් නෑ වගේ නිසා මුල ඉඳන්ම බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. welcome to my 'kole'
      ඔව්.. ඔව්.. දවස ගානේ දැම්මා... ඒ නිසා චැප්ටර්ස් විදියට විසි පහක් දැනට ඉවරයි. කියෝලා එන්න එහෙනම්... ඒ උනාට මම නම් කැමති ඒ ඒ කොටසට ඒ ඒ වෙලාවේ කොමෙන්ට්ස් දානවට. මොකද ඒ මොහොතේ හිතෙනදේ තමයි වැදගත්.

      Delete
  4. අඩෝ වලිඛිතා , දැන් මේ මනුස්සයාව අපචාරයකට පටලන්නද හදන්නේ , අහිංසක කල්‍යාණ

    ReplyDelete
    Replies
    1. අබෑසිය :
      අපචාරය - කල්‍යාණ සම්බන්ධව තවදුරටත් අර්ථය පැහැදිලි වනසේ වාක්‍යයක් තනන්න

      Delete
    2. අපි අහුවෙයි ඕවට.. හැක්.

      Delete
  5. නින්ද යන්නෙත් නෑ.. පිටත් කකියනවා.. ලිඛිතට.. සොරි.. මේ නිකිණිට බැරිද ටිකක් නින්ද යනකම් ඔලුව අත ගගා වත් ඉන්න..

    ප.ලි. ගුටි කෑවත් මොකද එක නයිට් එකක් කෙල්ලගේ ෆ්ලැට් එකේ ඉන්න තිබුනම..

    ReplyDelete
    Replies
    1. නිදාගන්නේ ඇයි බන්..... කොච්චර වැඩ තියනවද කරන්න......... 😂😂😂😂😂😂

      Delete
    2. ක.මි:
      අම්මේ තියෙන ලෙඩ ගොඩ.... ඒ මදිවට දැන් වචනත් පැටලෙනවා.
      ඔලුව අතගාන්න නේද? නිකිනිට කියන්නම්කො මම හොඳවයින් දොරපොල්ලක් අරගෙන එන්න කියල... හුහ්

      Delete
    3. Ranuka: මේක මේ පරම පවිත්‍ර ප්‍රේමයක් හරිද... ගෙදරින් පන්නලා තියෙන මේ අව් අස්සේ මොන සුරුට්ටුවක් පත්තුකරන්න හදනවද මන්ද

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...