Tuesday, March 28, 2017

88. ඔබ ඇවිත් යන්න එන්න... - 24

24
----------------------------------------



නිකිනි මගේ අතටත් මල් දෝතක් දුන්නා. එන්න බෑ කියද්දි මම නිකිනිව ඇදගෙන ආවේ ගැටඹේ බෝධියට නිකිනි එක්ක එන්න මම ආසාවෙන් හිටපු නිසාමයි.

සමන් පිච්ච මල් වලින් එන සුවදත් එක්ක මට නිකිනි ගාවින් එන සුවදත් විටින් විට දැනෙනවා. සතියේ දවස්වල මේ වෙලාවට පන්සල නිස්කලංකයි. රැට එන හම්බාවො බෝ ගහට ඇවිත් වහන්නෙ පිටසක්වල ජීවින් වගේ.

"ඔයාගෙ නංගි සැරද?"

"අපොයි නෑ. බොරුවට මිරිස් කරල වගේ හිටියට උදානි හොදයි. හරි ජොලි"

"එයා කියන්න මම විෂ් කලා කියලා. නංගිට කෙලින්ම මෙඩිසින් යන්න පුලුවන් නේද?"

"ඔව්. රෑන්ක් එක තිස් ගානක්. අද උදෙත් බර බරේ ම⁣ට ඔයා ගැන කියලා. මම යංතං ශේප් වෙලා ආවා. "

"ඔයා මොනවද මම ගැන කිව්වෙ?"

"ඔයා මගෙත් එක්ක වැඩකරනවා කිව්වා. "

"ඉතිං. නංගි වෙන මොනවද ඇහුවෙ?"
"මම වැඩි විස්තර කියන්න ගියෙ නෑ. "

"එහෙම උනොත් නංගි අකමැති වෙයි නේද?"

නිකිනි මගෙත් එක්ක බිම වාඩි වෙන ගමන් ඇහුවා. 

"නංගි එහෙම කෙනෙක් නෙවෙයි. මට පොල්ල දාන එකක් නෑ. "

එහෙම කිව්වට මගේ හිතෙත් තිබ්බේ දෙගිඩියාව.
නිකිණි මගේ අතට ගාථා පොතක් පෙරලලා දුන්නම, මමත් දන්නා තරමින් ඔය මොන මොනවා හරි කියන්න ගත්තා. කිසි ගාථාවක තේරුමක් දන්නේ නැහැනේ. මල් පුජා කරලා අපි දෙන්නම සෙරෙප්පු ටිකත් අරගෙන පන්සල් දොරකඩට ආවා.

"කලණ..!"

නිකිණි මගේ අත තද කරලා අල්ලපු නිසා මම ඔලුව උස්සලා බැලුවා.

"... ම... ම... මාධවී අක්කා"

අපි දෙන්නම ගල් ගැහුනා.

"කලණ මල්ලි? නිකිණි?!!"

මාධවී අක්කා බයවෙලා උනත් දුන් දාන ඇස්වලින් අපි දෙන්නා දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. ඊට පස්සේ විදුලි වේගෙන් පන්සල ඇතුලට ගියාම, මටයි නිකිනිටයි  සිහි එලවාගෙන මූණෙන් මූන බලාගැනුනේ ඉබේටමයි. නිකිනිගේ මුණ බෙරී වෙලා.

"මාධි!"

නිකිණි ආපහු හැරිලා කතා කරලත් මාධවී අක්කා නෙවෙයි නතර උනේ තියා හැරිලාවත් බැලුවේ.

"අපි යමු නිකිණි"

මම නිකිනිගේ අතින් අල්ලාගෙන එළියට එනකොට නිකිණි ගොඩ පාරක් හැරි හැරී බැලුවා.

"..අනේ කලණ... මට බයයි..."



"ඔයා බයවෙන්න එපා."

"අනේ මට බයයි.... මාධිට හොඳටම කේන්ති ගිහින්... දෙය්යනේ.. මාධි මගෙත් එක්ක දැන් තරහ වෙයි"

නිකිණි බෙරි වෙච්ච මුනෙන්, අතේ නියපොතු හපන්න ගත්තා.

"දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නිකිණි.. අපි හෙමිට එයාට කතා කරමු. කේන්තියෙන් ඉන්න වෙලාවේ කතාකරන්න යන්න හදන්න එපා. වැඩක් නැහැ.. එයා තේරුම් ගන්න එකකුත් නැහැ"

කාර් එකේ යනකල්ම නිකිණි හීල්ලුවා. මමත් ටිකක් ගැස්සිලා හිටියත් පෙන්නුවේ නැහැ. කවදා හරි මේක මාධවී අක්කට නම් අහු වෙන බව මම දැනගෙන හිටියේ. රෑට කෑමත් අරගෙන දීලා මම නිකිනිව ෆ්ලැට් එක ගාවින් දාල, එතන ඉඳන් බස් එකකට නැග්ගා.

"මම මාධිට ලොකු බොරුවක් කලේ කලණ "

"මාධවී අක්කා තේරුම් ගනී බබා"

"අනේ මගේ හිතට හරි අප්සට්.. මම මිට කලින් මාධිට බොරුවක් කරලා නැහැ. මගේ හැම දුක් කරදරයකදිම හිටියේ මාධි විතරයි. මම දැන් එයාට මුණදෙන්නේ කොහොමද මන්ද"

"මම එයාට කතා කරන්නම්.. ඔයා බය වෙන්න එපා"

"දෙය්යනේ.. මම මාධිට පොරොන්දු උනා.... ඔයාව හිතින් අයින් කරනවා කියල"

"බයවෙන්න එපා බබා.. එන දේකට , අපි දෙන්නම මුණදෙමු"

ඇත්ත.. නිකිනිගේ දුකට සැපට හිටපු හොඳම යාළුවා තමයි මාධවී අක්කා. නිකිණි අද මේ තත්වේ ජිවත් වෙලා ඉන්නෙත් මාධවී අක්කා නිසා. මාව ආයෙමත් මුණගැහෙන්නේවත් , කතාකරන්නේවත් නැහැ කියල පොරොන්දුවක් වෙලා ඒ පොරොන්දුව කඩකරලා කියලා දැනගත්තම? මාධවී අක්කට තරහ යන්නේ නැතුව් තියෙයිද?

මාධවී අක්කට ලේසියෙන්ම මේකට පලිගන්න පුළුවන්. එයා ගාව ලොකුම ආයුදේ තියෙනවා කියල එයත් දන්නවා ඇති.

------------------

මම කලබලෙන් දුවගෙන ගියේ ඒ වෙලාවට බැංකුව වහනවා කියලා දන්නා නිසා. මිනිස්සු අතරෙන් ඇවිදගෙන යන්න අමාරු, ඒ වෙලාවට ඔක්කොමල්ලා යන්නේ ඊට විරුද්ධ පැත්තට හින්දා.

'මලා! තාත්තා!!'

මම විදුලි වේගෙන් එතන තිබ්බ ටෙලිෆෝන් බොක්ස් එකක් ඇතුලට රිංගගත්තා. කාර් එක ටිකක් ඈතට යනකල් හැංගිලා ඉන්න ගමනුත් මම පාරේ යන හැමෝම ගැන විමසිල්ලෙන් හිටියේ. ඒ එක්කම වගේ සාරියක් ඇඳගෙන මට ඕනේ කෙනා මතු උනා.

"මාධවී අක්කේ"

එකපාරටම මම කතා කලාම නතර වෙලා හැරිලා බලපු මාධවී අක්කා තත්පර දෙකක් විතර ගිනියම් වෙච්ච බැල්මක් දීලා, අහක බලාගෙන අඩිය ඉස්සරහට තියන්න හදනකොටම මම පාර හරස් කළා.

"මාධවී අක්කේ... මට ඔයත් එක්ක කතාකරන්න ඕනේ"

"............"

මාධවී අක්කා යන්න හැදුවට මම යන්න දුන්නේ නැහැ. සෙනඟ නිසා එහෙට මෙහෙට වෙන්නත් බැහැ.

"ප්ලීස්"

"මොනවද?"

මාධවී අක්කගේ හඬ බොහොම අමනාපයි.

"නිකිණි ගැන"

"මේ අහනවා කලණ...! කරුණාකරලා.... කරුණාකරලා ඔය මිනීමරන සෙල්ලම නතර කරනවා!! මට කියන්න තියෙන්නේ එච්චරයි"

"ඒත් මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා.... අක්කේ.. පොඩ්ඩක් ඇහුම්කන් දෙනවද?"

"මට නිදහසට කරුණු ඕනේ නැහැ මල්ලි... නිකිණි ගැන මම දන්නේ හෝඩියේ පන්තියේ ඉඳල. මට එයා ගැන කියල දෙන්න ඔයා දන්නා තරම හොඳටම මදි. කරුණාකරලා එයාගෙන් ඈත්වෙන්න.. ඒ කෙල්ල කාගේවත් සෙල්ලම් බඩුවක් නෙවෙයි"

"මාධි අක්කේ.. මම කියන්දේත් පොඩ්ඩක් අහන්න... ඔයා කියන දේවල් ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන්.. ඒත් චුට්ටකට මම කියන දේත් අහන්න... අපි මේක හෙමින් කතාකරමු"

"........"

මාධවී අක්කා සද්දයක් නැහැ. හොඳටම තරහ ගිහිල්ලා තියෙන බව නම් පේනවා.

"මගෙයි නිකිනිගෙයි එෆෙයාර් එකට දැන් අවුරුද්දකටත් වැඩියි.. මම මේක කරන්නේ සෙල්ලමට නෙවෙයි. නිකිණි ඉන්න තත්වේ ඔක්කොම මම දන්නවා. ඔයා මොනවද හිතන්නේ කියලත් මට හිතාගත්තෑකි"

"අ.. අවුරුද්දක්? දෙය්යනේ.... නිකිණි මට මුකුත්ම කිව්වෙත් නැහැ... මට මෙච්චර ලොකු බොරුවක් කරයි කියල මම ජීවිතේට හිතුවේ නැහැ. එයා කොහොමද මට මෙහෙම බොරු කලේ?"

මාධවී අක්කා ඔලුවේ අතක් ගහගත්තා.

" නිකිනිට බනින්න එපා... නිකිණි දුක් උනා ඔයාට කියාගන්න බැරුව"

"කලණ මල්ලි ! ඔයාට වටින්නේ නැහැ මේ වගේ සෙල්ලමක් නිකිණි එක්ක කරන්න. මම ඔයාගේ තාත්තට මොනවද කියන්නේ? ඇන්ටිට කොහොමද මුණ දෙන්නේ? ඔයා මේ මොනවද කරන්නේ මල්ලි?"

"මෙතන ප්‍රශ්නේ අපේ අම්ම තාත්ත නෙවෙයිනේ අක්කේ. ඔයා කැමති නැද්ද නිකිණි සන්තෝසෙන් ඉන්නවට?"

"මම දන්නේ නැහැ කලණ මල්ලි... මට තේරුම් කරන්න හදන්නත් එපා... ටිකක් හිතන්න... මට මේක කොහෙත්ම අනුමත කරන්න බැහැ "

"මාධි අක්කේ"

"ඔයාට තේරෙන්නේ නැහැ මල්ලි.. එක පැත්තකින්.. ඔයා මල්ලියෙක්. මම ඔයාට මගේම මල්ලි කෙනෙක්ට වගේ ආදරෙයි. අනික් පැත්තෙන් නිකිණි මගේ හොඳම යාලුවා. නිකිණි හුඟාක් අසරණ වෙච්ච කෙල්ලෙක්. ඔයා හිතෙන සුරංගනා කතා වෙන්නේ නැහැ මල්ලි. නිකිණි ඔය දුකෙන් මිදෙනවට හැමෝටම වඩා සතුටුවෙන්නේ මම! ඒ උනත්.."

"ඒ උනාට.. මට කවදාවත් නිකිනිව අත අරින්න බැහැ. නිකිණි එහෙම කරන්නෙත් නැහැ. ඒක ඉර හඳ වගේ විස්වාසයි"

මාධවී අක්ක නළලට අතක් තියාගත්තේ හිත අවුල් වෙච්ච හින්දා වෙන්න ඇති.

"ඒ තරන් දුරදිග ගිහින්?"

"ඔව්"

"දෙය්යනේ..."

"......"

"මට කරන්න දෙයක් නැහැ මල්ලි.. මට නිකිනිවත් ඕනේ. ඔයත් ඕනේ. මම නිකිනිට එදාම පැහැදිලි කරලා කිව්වා... මේක කවදාවත් කරන්න හදන්න හිතන්නවත් එපා කියලා.."

"......."

"මට මේක අංකල්ට කියන්න වෙනවා"

"............."

"මම මේක කරන්නේ ඔය දෙන්නගෙම හොඳට... කරුණාකරලා නිකිනිව අමතක කරන්න. මම අන්තිම වතාවට කියන්නේ"

"ඒක කවදාවත් වෙන්නේ නැහැ මාධි අක්කේ. මාධි අක්කට ඕනේ නම් තාත්තට කියන්න. ඒත් නිකිනිව තනි කරනන්න එපා. එයාට ඉන්න එකම, හොඳම යාලුවා ඔයා විතරයි. එයාගේ සැනසීම මම විතරයි. ඒ අහිංසකිගේ සැනසිල්ල උදුරගන්න එපා, ඒක මහා අපරාධයක්! මට කියන්න තියෙන්නේ එච්චරයි"

මම ආපහු හැරිලා පාර දිගේ ටොරින්ටන් එක පැත්තට ඇවිදගෙන ආවා; හැරුනේවත් නැහැ. තාත්තට කියනවා කිව්වහම මට බයක් හිතුනේ නැහැනේ! ඒ බය යටකරගෙන නිකිනිගේ ආදරේ මතුවෙලාද?

රෑ එලි වෙනකල් මට හරිහැටි නින්දක් තිබ්බේ නැහැ. නිකිනිට මාධවී අක්කා මොනවා කියන්න ඇතිද? මේ සතියේ මාධවී අක්කා එහෙ නතර වෙන සතිය.

මොකක් උනත් මම නිකිනිව දාල දන්නේ නැහැ. මට ඒක කරන්න බැහැ 
----------------------------------------

ඔෆිස් ඇරිලා ගෙදර එනකොට , දොරෙන් ඇතුලට එනකොටම මම අමුත්තක් දැනුනා. වෙනදට වඩා ගේ පුදුම නිහඬයි.

මොකක් නමුත් අවුලක්... මගේ දැන් බඩ පපුව පත්තු වෙලා. තාත්තා දැනගෙනද?

මම කාමරේ එහාටයි මෙහාටයි මාළුවා වගේ ඇවිද්දේ ඉබේටම. ඔලුව ගිනි අරගෙන වගේ මට දැන්. දැන් ඉතින් මොකක් කරන්නද?

මාධවී අක්කට එදා පොර ටෝක් දුන්නට, හිතුවේ නැහැනේ මෙහෙම වෙයි කියල. තාත්තා අද මාව හම ගහයි. මරලා, හිටුවා පස් ගහයි. ඒත් ඉතින් කුම්බලා කටු කෑවා නම්.. දුක් විඳපන් බළලෝ කිව්වලු...

"පොඩි මෑන් ! අන්න තාත්ත කතා කරනවා"

අම්මගේ ටෝන් එකත් අප්සෙට්.
මගේ ඇස්දෙක දැන් පේන්නෙත් නැහැ පාර හොයාගන්න. ජිවිත ආසාව අත ඇරලා මම හෙමින් හෙමින් තාත්තගේ කාමරේට බඩගාගෙන වගේ ගියා. දොර රෙද්ද අස්සෙන් මට පේනවා තාත්තා කාමරේ මාළුවා වගේ එහාට මෙහාට ඇවිදිනවා. තාත්තා එහෙම කරන්නේ හොඳටම තරහ ගියාම බව මම නම් දන්නවා.

කෝ මගේ පුරුෂ ධෛර්යය? ඒක ආගිය අතක් නැහැ වගේ.. කෝ දෙය්යනේ අපේ ගෙදර හදිස්සියකට හෙල්මට් එකක් වත් නැහැනේ.

"කලණ ! එනවා ඇතුලට!!"

මාව ඉබේටම ඇතුලට විසික් උනා. දැන් නම් මාව මැරිලා වැටෙන්න ඔන්න මෙන්න. මුලිම්ම කනේ පාරක්! ඔන්න මම එක ඇහැකුත් වහගත්තා.

"ක.. කවුද එරංග කියන්නේ?"

ඈ ?? කවුද යකෝ එරංග??

".. තමුසෙට කතාකරන්න බැරිද? කවුද එරංග කියන්නේ?"

හත්වලාමේ.. ඇත්තට කවුද එරංග කියන්නේ.. ආ.. ගොමයද?? ඌ ඉතින් මගේ ඉස්කෝලේ එකෙක්නෙ.. ඌ නිසා මොකද මේ තාත්තගේ මල අතේ?

"අ.. අපේ.. ඉස්කෝලේ.. එරංගද?"

"ඔව්.. ඒකා තමයි!! ඌට කියන්ඩ මගේ අතට අහුවෙන්න එපා කියලා. අහු උනොත් අඬු කඩලා විතරක් අරින්නේ නැහැ."

".........."

මට දැන් හොල්මන්ද පොල්කොළ!!

"දන්නවද ඌ මොනාද කරලා තියෙන්නේ කියල?"

"ම.. ම.. මොකද්ද?"

"මේන් බලනවා!"

තාත්තා මොකද්දෝ එකක් මගේ දිහාට විසික් කළා. ඒක තඩි වැලන්ටයින් කාඩ් එකක්. මම ඒක අහුලලා බැලුවා. මලා! ඒක අපේ නංගිට ලියපු එකක්. මාව බය උනා.

".. තමුසෙගෙ යාළුවො ආයේ මෙහෙ පස් පාගලා තිබ්බොත් බලාගෙනයි! තමුසෙවත් මම පන්නනවා.... තේරුනාද? ඌට කියනවා මම එහෙම කිව්වාය කියල... තේරුනාද?"

තාත්තා තරහින් වෙව්ලනවා.

"තේ.. තේරුනා"

අවසරයක් ලැබුන නිසා මම අඩියට දෙකට එලියට පැන්නා. ෂූ.......... මේ මොන හෙනයක්ද?

යකෝ... ගොමයා නංගිට කාඩ් එකක් එව්වා කියලා ඒකටත් මමද පලි ? මේක යකාගේ ලෝකයක්නේ.

ගොමයා මොකද ඇත්තට එහෙම කාඩ් එකක් එව්වේ? අපේ නංගිට ට්‍රයිද? ඉකේය්යා.. ඌ ටැප් වෙන්න බොන, රස්තියාදුකාර සෙවලයෙක්නේ.

නංගිගේ කාමරේ දොර වහලා. නංගි රෑට කන්න ආවෙත් නැහැ. චලනයා මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ. තාත්තා නංගිටත් බැනලද දන්නේ නැහැ.

ගොමයා අපේ නංගිට කාඩ් එකක් එවපු එක මාර වැඩක් උනේ නැති උනාට, ඒකෙ මොකද්දෝ කොස්සක් මට දැනුනා. හුටා.. නංගි ගොමයා එක්කවත් පැටලිලාද ? චලනයාත් මමත් දහ අතේ කල්පනා කළා. දෙන්නටම හොල්මන් වගේ. අපි දෙන්නම එකතුවෙලා චැනල් එක ටියුන් කළා. නංගි එහෙම එකක් කරයිද?

මමයි චලනයි ඉරිදා උදෙන්ම ගියා දමිතලගේ ගෙදර. වෙලාවට ඌ ගෙදර නැහැ. ඌ හමුදාවට බැඳිලා. දැන් ඉතින් සුන්. ගොමයා ඉන්නේ මාතලේ කියලා විතරයි දන්නේ. කෙලින්ම නංගිගෙන් අහන්නත් බෑ වගේ. තාත්තගේ බයිට් එක උනේ මමනේ. මේකේ ඇත්ත නැත්ත දැනගන්නකල් මට ඉවසිල්ලක් නැහැ.

මම වෙලාවක් බලලා නංගිට කිට්ටු කළා.

"තාත්ත මොකද හලෝ අර මුඩියක් පාගාගෙන?"

නංගි ගැස්සිලා වගේ මගේ දිහා බැලුවා. බයක් වගේ ඇස්වල.

".. එරංග කොහොමද තමුසෙට කාඩ් එකක් එව්වේ?"

නංගි උත්තරයක් දුන්නේ නැහැ. බිම බලාගෙන හිටියා.

".. තාත්තා ඔයාටත් බැන්නද?"

"හ්ම්ම්"

"දන්නවනේ තාත්තගේ හැටි? එරන්ගයාගේ බලු වැඩ. මට අහුවෙද්දෙන්කෝ ඕකා"

නංගි මුකුත්ම කිව්වේ නැහැ. මට එතකොට තමයි සැක හිතුනේ.

".. මොකද... නංගි මොනවද මගෙන් හංගන්නේ?"

"මුකුත් නෑ "

"මම කිව්වනේ ඔක්කොම.. මට බොරු නම් කියන්ඩ එපා. එරන්ගයා මොකද කාඩ් එකක් එව්වේ?"

"මම කිව්වා... එයා ඇහුවේ නැහැ"

මට තරු පැන්නා.

"මොකක්?!"

"අනේ අය්යේ.. කාටවත් කියන්න එපා... අම්මටවත් කියන්න එපා... එරන්ගගෙයි මගෙයි අතරේ පොඩි එෆෙයාර් එකක් තියෙනවා"

මට තරු පන්තියක්ම පැන්නා.

"පි.. පි.. පිස්සුද නංගි ?"

"අනේ තාත්තට නම් දැනගන්න තියන්න එපා.... මාව මරයි"

"මම අහන්නේ ඔයාට පිස්සුද? එරංග කියන්නේ නොම්බර එකේ කාඩයෙක් ! බේබද්දෙක්!..."

නංගි බිම බලාගෙන හිටියා. මට මේක අදහගන්න බැහැ.
            
".. එරංග කියන්නේ හොඳ එකෙක් නෙවෙයි. ඔයා මොන ගොන් වැඩක්ද මේ කරන්නේ? අපිත් ඌව ආශ්‍රය කරන්නේ අතේ දුරෙන්.ඔයාට ඇත්තටම...... පිස්සුද?"

මම මගේ උපරිම හොඳ වචන පාවිච්චි කරලා කියලා දෙන්න හැදුවේ නංගිට. එරන්ගයා කියපු කරපු වැඩ නංගිටවත් කියන්න බෑ අපිනේ දන්නේ. ඒ  වගේ මදාවියෙක් එක්ක නංගි මොනවද කරන මේ පිස්සු වැඩ.

නංගි මුළු දවසම හිටියේ මාව මග ඇරලා. මගේ ඔලුව ඇතුලේ වැඩකලෙත් මේකමයි. වැඩක් කරගන්නත් බෑ. නංගි කට කියෙව්වට හෙන අහිංසකයි කියලා මම දන්නවා. ඒ උනාට මේ තරම් මෝඩවෙයි කියල මම නම් හිතුවේ නැහැ. නංගි හොඳ අනාගතයක් තියෙන කෙනෙක්. දැනටත් මෙඩ්ඩෙක් වෙන්නනේ යන්නේ...

චලනයා ආයෙමත් දමිත්ගේ ගෙදර ගියා මේකේ අග - මුල හොයාගන්න කියලා. ගෙදර අයත් හිටියේ අවුලෙන්. තාත්තා නංගිට හරිම ආදරෙයි. තාත්තගේ පැත්තේ කාටවත් දුවලා නැහැ. ඒ නිසා හැමෝම අපිටත් වඩා නංගිට ආදරෙයි.

තාත්තා හරියට එරන්ගයා ගැන දැනගත්තා නම් පිස්සුවක් නටනවා මට ෂුවර්. චලනටත් හිතාගන්න බැහැ නංගි මේ කරගත්ත මෝඩකම ගැන.

චලන සුගන්ධිකා ගැන ගෙදරට කිව්වා. හැමදේම හොඳින් සිද්ද උනා. පොඩ්ඩක් විතර සද්දයක් දැම්මත්, තාත්තා කැමති උනා හිතන්නවත් බැරි ඉක්මනින්. සුගන්ධිකාගේ අක්කා බැංකුවේ හින්දා මිසක් පවුල නරක නැහැ කියලයි මට ඇහුනේ.

ඌ ගොඩ. චලනයා උඩ පනිනවා. මම තමයි තාම එකතැන තප්පුලන්නේ. නිකිණි අඩුම ගානේ ඩිවෝස් වෙලා නම් ටිකක් හරි හිතාගන්න තිබ්බා. කොහේද අල්විස්කාරයා ඒක දෙන පාටක් පේන්නවත් නැහැ.

සුගන්ධිකා දැන් අපේ ගෙදරත් එනවා. අම්මා හරිම කැමතියි සුගන්ධිකාට. පොඩි ඉරිසියාවකුත් හිතේ පොරකනවා. ගුණමකු මම චලනට ඉරිසියා කරන එක වැරදියි උනාට දෙය්යනේ හිතුනනේ!

මූට හරියනවා කියන්නේ මට හරි ගියා වගේ තමයි. නංගිගේ අවුලෙන් පස්සේ කසාද හුටපට කතාවෙනව වැඩියි. මම කරන්නේ හෙමීට ලිස්සලා යන එක. දැම්ම කොහොමද නිකිණි ගැන කියන්නේ?

"කියපන් බන්... ඕනේ පපඩමක් වෙලා යන්න!"

චලන එහෙම කිව්වට මට තාම අවුල්.

".... අල්විස්කාරයා ඩිවෝස් එක දෙන  ගේන්න මම කන වලිය දන්නේ මම විතරයි. වෙරි උනාම ඔක්කොම කිව්වට.. ඌ හෙන ලෝකෝත්තරයා.. නිකිණිලාගේ අම්මලවත් රවට්ටගෙන ඉන්නේ.."

"ඇයි බන් ඌ ඔතරම්ම සල්ලි වලට කෑදර ?"

"ආරංචියේ හැටියට ඌ සල්ලිකාරයෙක් නෙවෙයි. නිකිනිව බැඳගෙන තියෙන්නේ සල්ලි වලට... සල්ලි වලට ඌ ඕනේ දහදුරා වැඩක් කරයි. ඔක්කාරෙට එනවා බන් ඌ මතක් වෙනකොටත්... වනචර $%$#%^%"

"ඇයි බං නිකිනිට ඩිවෝස් එක ගන්න බැරි?"

"නිකිණි කැමතියි ගාමන්ට් එක දීලා ඩිවෝස් වෙන්න. අම්මගේ නමටනේ තියෙන්නේ තාම. ඒත් අම්මලා කැමති නැහැලු ඒකට "

"හ්ම්ම්.. දැන් එතකොට උඹ ගෙදරට මොනවා කියන්නේ?"

"රීම් එකෙන් හරි කාගෙන යනවා.. වෙලාව ආවම ඔක්කොම කියන්න ඕනෙනේ.."

------------------------------------

 චඃ.. වෙලාව තමයි.. බස් එක මගදී කැඩුන නිසා මම ඉතිරි ටික පයින් යන්න ආව වෙන බස් එකකට නගිනවට වඩා හොඳයි කියලා හිතුන නිසා. හෝල්ට් දෙකයිනේ, ඔන්න ඔහේ මනෝපාරක් දාගෙන යනවා.

"ෂ්.. ෂ් ..."

කෙල්ලෙක්ගෙ ෂුවක්.. මම හැරිලා බැලුවේ ක්ලාස් වලින් පස්සේ කාලෙකින් කෙල්ලෙක්ගෙ ෂුවක් ඇහුනේ නැති නිසා. ආ.. සඳමිණි ! ඇත්තනේ.. එයාගේ ගෙවල් මේ හරියෙනේ. ඒ උනාට කිට මරලා කොහේ හරි යන්න වගේ පාරේ ඉන්නේ.

"මොකද මේ පාන්දරම පයින් බඩගාන්නේ ?"

පාර මාරු වෙලා සඳමිණි මම හිටපු පැත්තට ආවා.
"නිකන්.. හිතුන"

නැත්තන් පටි රෝල්.

"ඇයි වදේ.. කාර් එකක් ගන්න එපැයි "

"අපිට කොයින්ද පූසෝ කේක් ?"

"ඇයි දැන් සල්ලිකාරයෝනේ"
මම හිනාවෙලා නිකන් හිටියා.

"මම ඔයාව හම්බවෙන්නමයි හිටියේ"

"මමත් ඔයාව හම්බවෙන්න හිටියේ"

"ඇයි ? මොකටද?"

"ඊට කලින් ඔයා කියන්නකෝ"

"අපේ නංගි එරංගත් එක්ක එෆෙයාර් එකක් කරනවද?"

සඳමිණිගේ මුණ හතරැස් උනා.

"ඇ .. ඇ යි?"

"මම දන්න නිසයි අහන්නේ."

"හ්ම්ම්"

"එරංගයට කියන්න මම ඌව තියන්නේ නැහැ කියල. අපේ නංගි අහුවෙලා. මේක ඉක්මනටම නතර කරන්න ඕනේ"

"............"

"සඳමිණි.. ඔයා එහෙම හෙල්ප් කරන්න එපා තේරුනාද? එරංග කියන්නේ කවුද කියලා මේ අපි දන්නවා."

"මම දන්නේ නැහැ කලණ... මට ඕවයින් වැඩක් නැහැ. උදානි දැන් අපි කියන දෙයක් අහන්නේ නැහැ. අපි අනන්තවත් කිව්වා. දැන් මගෙත් එක්කත් තරහ වෙලා"

"එහෙමද? බලමුකෝ.. මම ආපහු නංගිට කතා කරලා බලන්නම්. තාත්ත එහෙම ඔක්කොම විස්තරේ දැනගත්තොත් ඉවරයි. අපි දෙන්නටත් සද්දේ දැම්මා, ඌ මගේ පරණ යාලුවෙක් කියල තමයි ගිහින් තියෙන්නේ. අනේ උගෙයි මගෙයි යාළුකම්"

"හා.. යාළුවො දැන් පරණ වෙලාද ? අපිවත් පරණ වෙලාද දන්නේ නැහැ"

"නැහැ එහෙම නැහැ අනේ. මම කිව්වේ නිකන්. සඳමිණි කෝකටත් සෙවිල්ලෙන් ඉන්නවද? මට බෑනේ ඒ ගැන ඔච්චරම හොයන්න... අඃ .. දන්නවද චලනයා...."

මගේ කටට ආවේ සුගන්ධිකා ගැන කියන්න, මම නතර කරගත්තා.

"ඇයි මොකද?"

"නෑ මුකුත් නෑ "

"කලණ.. ඔයා දැන් මාර වෙනස්.. ඉස්සර වගේ නෙවෙයි"

"කොහොමද?"

"නෑ.. කොහොමවත් නැහැ"

සඳමිණි ඔලුව දෙපැත්තට වනලා මූඩ් එක වෙනස් කරගත්තා.

"මොනවටද මාව හම්බවෙන්න ඕනෙය කිව්වේ?"

සඳමිණි ගොළු උනා. ආයෙමත් මූඩ්. මට ඔය කෙල්ලන්ගේ මූඩ් ගැහිල්ල තමයි අල්ලන්නේ නැත්තේ.

"සඳමිණි.. ඇයි ? මොකද්ද අවුල?"

"ඔයා.... ඔයා.."

සඳමිණි වටපිට බලන ගමන් ගොත ගහන්න ගත්තා.

"ඔව්?"

"ඔයා... බැඳපු ගෑනියෙක් එක්ක යාළුයි කියලා කියන්නේ ඇත්තද?"
මාව ගැස්සුනත් එකපාරටම මට තරහා ගියා. නිකිනිට එහෙම 'ගෑනි' කියනවට මම කැමති නැහැ. මම අමාරුවෙන් හිනාවක් මවාගත්තේ උගත් පාඩම් නිසා.

"සඳමිණිට කවුද කිව්වේ?"

"කිව්වා කෙනා වැඩක් නැහැනේ.. මම අහන්නේ ඇත්තද කියල"

"එයා බැඳලා හිටියා තමයි. ඒත් දැන් ඩිවෝස්.."

"ඔයා බොරු කියන්නේ... එයා ඩිවෝස් වෙලා නැහැ.. ඔයාට පිස්සුද කලණ ?"

"........................"

සඳමිණිට කියන්න ඕනේ මොකද්ද කියල ඒ වෙලාවේ මගේ ඔළුවට ආවේ නැහැ. සඳමිණිගේ අත මිට මෙලවිලා, දෙන්නම බිම බලාගෙන.

"කලණ !"

"ඔයා නංගිටත් කිව්වද?"

සඳමිණි 'නැහැ' කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා මම දැක්කා.

"එහෙනම්.. ඒ කතාව ඇත්ත..."

"................"

"එහෙනම් ඔයා චිරනිව අත ඇරියේ ඒ නිසා?"

"සඳමිණි..... කිසිම සම්බන්ධයක් නැති දේවල් සම්බන්ධ කරන්න හදන්න එපා.... චිරනි ගැන කතාව වෙනස්"

"ඔයා.. ගොඩක් වෙනස් වෙලා කලණ... දැක්කද ඔයාගේ කටින්ම ඒක පිට උනා. ඔයා ඔයාගේ නංගිට දොස් කියන්නේ.. ඔයත් කරන්නේ ඒ වගේම වැරැද්දක්.. ඔයාලගේ අම්මලා ඕකට කැමති වෙන්නේ නැහැ. "

මට රතු කට්ට පැන්නා.

"මම ඒක බලාගන්නන්"

"ඔයා ලොකු වැරද්දක් කරන්නේ කලණ.. මට හරි දුකයි. බලන්න ඔයා කොච්චර ලස්සන අනාගතයක් තියෙන කෙනෙක්ද? ඇයි ඔයා විහින් විනාශ වෙන්න හදන්නේ?"

"තමන්ගේ වැඩක් බලාගන්නවා ඕයි "

මම තරහෙන් කෑගැහුව. සඳමිණි ගල් ගැහුනා.

මම තප්පරයක් වත් එතන නොරැදී එතනින් ඇවිදගෙන ගියා. මුළු දවසෙම සඳමිණි කියපු දේවල් වගේම එයාගේ හැසිරීමත් මාව අවුලට පත්කරලා තිබ්බේ.

සඳමිණි මේ ගැන දැනගත්තේ කාගෙන්ද? නංගිගෙන් වෙන්න බැහැ. මේ කාටවත් නොතේරෙන්නේ නිකිනිටයි මටයි තියෙන ආදරේ තේරුම්ගන්න බැරිකම. මම ඇත්තටම නිකිනිට ආදරෙයි. නිකිනිත් එහෙමමයි.

කොහොමද දෙය්යනේ මම ඒ අහිංසකිව අමතක කරන්නේ?


************************

15 comments:

  1. Replies
    1. ස්තුතියි. ඉයන් ස්තුති කරන්නේ මොකටද කියලා තමයි මට තේරෙන්නේ නැත්තේ?

      Delete
    2. අර බුදු දහමෙ කියන්නෙ පෙර කල කර්ම ගෙවලම ඉවර කරන්ට ඕන කියල. උඹේ මේ එලොවටත් නැති මෙලොවටත් නැති සම්ප්‍රප්පලාප කියවල අපි පූරුවෙ කරපු කරුම ගෙවල දානව.

      අන්න ඒ කරුම ගෙවිල්ලට උදව් වුනාටයි ඉයන් උඹට තෑන්ක්ස් කියල කියන්නෙ..තේරුණෙයි ඔහෙට?

      Delete
    3. අනේද කියන්නේ.... තක්කෙටම හරිනේ.. රවියෝ දැන්වත් මගේ පස්සෙන් මලයකෙක් වගේ එන්නේ නැතුව අර 'නහි වේරේන වේරානි' ගාථාව වත් අහලා ඔය යක්ස ආත්මෙන් මිදෙනවකෝ.. ඔන්න මම එහෙම එන්න ගත්තොත් උසේන් බෝල්ට් ආවටවත් බේරෙන්න බැරිවෙයි හරිද? කරුමේ කරුමේ...!

      මලිත්ට ගැහුවම මොකදමේ චන්චලා අඬන්නේ?

      Delete
  2. කතාව අහලා පුරුදුයි වගේ......

    ReplyDelete
    Replies
    1. කතාව ඔයාට හිතුනු එකක් නේද???..

      Delete
    2. පිළිතුරු දීමට නොහැකිය. පන්දුව නිදැල්ලේ යන්නට හරිමි.

      කොයි කොටසද අහල තියෙන්නේ?

      Delete
  3. whole story...... Seems familiar!!!

    ReplyDelete
    Replies
    1. මළසේක !

      [මේ කතාවේ එන සමහර චරිත මනංකල්පිතයි. සමහර ඒවා අමුම අමුයි. කවදා හරි, කොතනකදී හරි මේ චරිත ඔබට මුනහැගෙන්න ඉඩක් ලැබුනොත්, මම පතනවා මේ කතාවෙන් ගත්ත දේවල් වලින් ඔවුන්ව ප්‍රශ්නෙකට ඇදලා නොදාවී කියල. මේ කිසි චරිතයක් මේ බ්ලොග් එක පැත්ත පළාතේ නොඑන බව නම් සහතිකයි.]

      මේ කතාව ගැන මම මෙතැන ඔය උඩින් උපුටලා ගත්ත කොටස ලිව්වේ ඒකයි.

      Delete
  4. ඒ කාලෙ තිබ්බ "කිඩාරම් මලේ වහපු නිල මැස්සෝ" කියල මල් පත්තරයක්. ඒකෙ ගිය කතාවක් මේක. මට හොඳට මතකයි. කතාව ලිව්වෙ උණ්ඩුකපුච්ඡිකා කහඹිලියාගොල්ල කියල බබලතෙක්. සමහරවිට මේ ලිඛිතා කියල ලියන්නෙ ඒ අම්මණ්ඩිම වෙන්ටැ..හූ නෝස්?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒකෙත් තිබුනා නේ 'අහල්‍යාට දුන්නු කටරොඩු වැල' ගැන ලියවෙච්ච මාර අමුතු පහේ ඩිටෙක්ටිව් ස්ටොරියක්. මම හිතන්නේ අන්තිමට ඒ කටරොඩු පැලේ මල්මාමා අතට පත්වෙන කොටසෙන් පස්සේ වාරණයක්ද කොහෙදත් ගියා. අන්න කතා..... මල් කියන්නේ කටරොඩු මල්!

      ඒක නම් ලිව්වේ කුලී ගෙදරක ඉන්න මොකද්ද යකෙක්. නමත් හරියට මතක නැහැ වාන්පතුලේ ගෙදර පඳුරුතැලුම්' වගේ නමක්ද කොහෙද. කොහේ හොයන්නද දැන්... ඒවා තිබ්බ තැන්වල ගසුත් පැලවෙලා

      Delete
  5. කතාවෙ ඊලඟ කොටස එනකල් මේ බලන් ඉන්නෙ...ඒ අස්සෙ කොමෙන්ට් වලත් රහ කතා යනවානෙ..

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස ඉක්මනට දාන්නම්කො. ඒක දැම්මට පස්සේ මට පස්පඩන්ගුවේ බනිවී. ඒත් කමක් නැහැ එක්කෝ, මේක දාල ඉවරයක් කරන්නත් ඕනේ
      කොමෙන්ටු වල තමයි ඉතින් ඇත්තටම වටිනාකමක් දැනෙන්නේ. හි හි හි.. ඇත්ත

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...