Thursday, March 23, 2017

85. ඔබ ඇවිත් යන්න එන්න... - 21

21
------------------------------

"ලන.. වැඩට නෑවිත් ඉන්න එහෙම එපා. මට හදිස්සි වැඩ වගයක් තියෙනවා තමුසෙට කියලා කරවගන්න"

මාව ගේ ගාවින් බස්සනකොට අල්විස් කාරයා එහෙම කිව්වා.

"හ්ම්ම්"

මම කිව්වේ කිසිම උවමනාවකින් නෙවෙයි. රස්සාව විතරක් නෙවෙයි, මට ජීවිතෙත් එපා වෙලා තිබ්බේ. ලාදුරු රෝගියෙක් වගෙයි මම ගේ ඇතුලට ඇවිදගෙන ආවේ. ඇතුලට යනකොට අම්මයි නංගියි රෑට උයනවා. චලනයා නිදි.

"හානේ.. පුතානේ... මම මේ බය වෙලා උන්නේ. හදිස්සියේම නුවරඑළියේ යනවා කිව්වා මිසක් කිසි තොරතුරක් නැතුවනේ හිටියේ. ඇයි කෝල් එකක්වත් දුන්නේ නැත්තේ?"

මට එතකොටයි එහෙම එකක් මතක් උනෙත්. මම ඒ ප්‍රශ්න පත්තරෙන් බේරෙන්න කාමරේට රින්ගගත්තේ මහන්සියි කියලා.

"අඩෝ.. උඹ නුවර එළියේ ගියාලු නේද?"

"........."

චලනයා නිදිමතේ ඇඳ උඩ වාඩිවෙලා ඇහුවා. මම සද්ද නැතුව ෂෝටක් දාගෙන ඇඳේ පෙරලුනා.

"ඈ.. බන්.. තෝ කොටුවක් වත් පනින්න ගියාද නිකිණි එක්ක?.. හික් හික්"

හිතට දැනෙන දුක කියාගන්න බැහැ මට.

"... කලන... අඩෝ.. මොකද උඹට වෙලා තියෙන්නේ?"

මම නින්ද ගියා වගේ ඇස්දෙක පියාගෙන හිටියා. චලන දොරත් වහගෙන කාමරෙන් යනවා මට ඇහුනා. මගේ පපුව පැලෙන්න වගේ.. නිකිණි... දෙය්යනේ මොකද මේ උනේ?

මම ඇඳේ උඩු අතට පෙරලිලා සිවිලිම දිහා බලාගෙන හිටියා. මගේ ඇස්වලින් ආපු කඳුළු ඇස්දෙක දෙපැත්තෙන් උතුරලා කම්මුල දිගේ පහලට යනවා මට දැනෙනවා. මට කෑගහලා අඬන්න ඕනේ.

මම කවදාවත් හිතුවේ නැහැ නිකිණි මට මෙහෙම කරයි කියලා. නිකිනිව දැක්ක දවසේ ඉඳලා වෙච්ච දේවල් චිත්‍රපටියක් වගේ මතක් වෙන්න ගත්තා.



මම මහන්සියි කියලා රෑට කන්න ගියෙත් නැහැ. චලන මට කරදර කලේ නැහැ. මට ඕනේ කලේ කොහේ හරි කවුරුත් නැති දිහාවකට ගිහින් කෑගහලා අඬන්න. මට මේක දරාගන්න බෑනේ දෙය්යනේ..

චලන මේවා දන්නවනං.. දෙය්යනේ මම ඌටත් නිකිනිගේ විස්තර හැංගුවා. මට හොඳ වැඩේ! ඌට කියල තිබ්බ නම් ඌ නිකිණි ගැන හොයල බලනවා. මම වගේ අන්ධයෙක් වගේ වැඩ කරන්නේ නැහැ ඌ. මම නිකිනිව කොච්චර විස්වාස කලාද? කිදෙනෙක්ට මම බොරු කලාද එයා නිසා. මට වෛරයක් හිතෙන්නේ නැහැ උනත් පුදුම කලකිරීමක් දැනෙන්නේ.

රෑ එලි වෙනකල් මට නින්දක් තිබ්බේ නැහැ. නින්දයාගෙන එනකොට නිකිණි හිනාවෙනවා ඇහෙනවා; අල්විස්ගේ හැකර හිනාව ඇහෙනවා. අල්විස්ගේ මැටි මුණ ඔලුව වටේ කැරකෙන ගමන් කලින් කියපුවා මන්තරයක් වගේ මතුරනවා. මාව ගැස්සිලා ඇහැරෙනවා.

"පුතා.. වැඩට යන්නේ නැද්ද?"

මම ඕනෙවට එපාවට යන්න හදනකොට චලනයි, තාත්තයි පිටත්වෙලා ගිහින්. ඒක හොඳයි මුණ දෙන්න බැහැ මට. මම උදේ බත් එක අතගෑවා විතරයි.

"ඔය කෑවෑ ? ඔහොම කාලා කොහොමද ළමයෝ.."

අම්මා එහෙම කිව්වට මට කන්න බැහැ.

"... මොකද පුතේ වෙලා තියෙන්නේ? ආපු වෙලේ ඉඳලා බලාගත්ත අතේ බලාගෙන? මොකක් හරි රස්සාවේ ප්‍රශ්නයක්ද?"

"මට එතනින් අස්වෙන්න වෙයි"

"අර මොකද? ප්-ප්‍රශ්නයක්ද?"

"හ්ම්ම්"

මම එහෙම කියලා වැඩි කතාවක් නැතුව ගෙදරින් එලියට බැස්සා. විභාගේ ඉවර නිසා නංගි ගෙදර.

මම ගාමන්ට් එකට යනකොට ටිකක් පරක්කු වෙලා.

"ෂ්.. ෂ්.. සර් සර්"

දෙපාරක් විතර කතා කලාමයි මම හැරිලා බැලුවේ. අඳුනනවා වගේ මුණ.

"සර් කොහෙද මෙහෙ?"

ආ.. මේ තිස්ස අය්යා නේ. අර ත්‍රීවිලර් රියදුරා. මම අමාරුවෙන් සුහද හිනාවක් ගන්න උත්සහ කළා.

"මම මේ.... නිකන් යාලුවෙක් හම්බෙන්න ආව"

"ඇත්තෙයි ? අපේ නංගි වැඩකරන්නේ මේකේ. මම මේ නංගිව ගෙනල්ල දාන්න ආපුගමන්. ඉතින් සර් කොහොමද?"

"වරදක් නෑ "

"දැන් සර් මොකද කරන්නේ? ජොබ් එකක් කරනවද?"

මම හිනා උනා විතරයි.
".. අපේ නංගි ජුකී මහනවා. දැන් අවුරුද්දකට වැඩියි... මොකද.. සර්ට අසනීපයක්ද? මුණත් තඩිස්සි වෙලා වගේ.."

"ටිකක් සනීප මදි"

"සර් මෙතනින් උදව්වක් ඕනෙනම් කියන්ට... මම පටාස් ගාල කරවලා දෙන්නම්"

"තිස්ස අය්යා කොහොමද එච්චර හරියක් කරන්නේ?"

"සර්ට ජොබ්ස් එකක්ද?"

"හ්ම්ම්... ඔව්"

මම බොරුවට කියලා බැලුවා.

"අය්යෝ සර්... යං ලොකු මැඩම් ගාවට. ලොකු මැඩම් රත්තරං මැඩම් කෙනෙක්.. අපිටත් හරියට උදව් කළා... ආ.. සර් දන්නවද... ඒ මැඩම්ව තමයි සර් එදා හොස්පිටල් එකට ගෙනිහිල්ල තියෙන්නේ. සර්ව දැක්කොත් අම්මප , මට ෂුවර් උදව් නොකර ඉන්නේ නැහැ"

මගේ බඩ පපුව 'හෝස්' ගෑවා.

"නෑ තිස්ස අය්යා... මම ආවේ යාලුවෙක් මුණගැහෙන්න. තිස්ස අය්යා යන්න. පස්සේ බලමු"

මම යන්තම් ගැලවිලා ආව. නිකිණි.. ලොකු මැඩම්... කියන්නේ එයා වෙන්න ඇති. මගේ පපුව විස ඊතලයක් ඇනිලා වගේ ඇදුම් කනවා.

මම ඔලුව නමාගෙන ඔෆිස් එක ඇතුලට ගියේ ලෙඩෙක් වගේ වැනි වැනී. ෆයිල් වගයක් එවලා තිබ්බා. පලවෙනි ෆයිල් එකම දැක්ක ගමන් මම අඳුනගත්තා; ඒ තමයි නිකිනිගේ වැඩ එවන ෆයිල් එක. ඒක ඇතුලේ දෙකට නමලා ලියුම් කවරයක්. මම වටපිට බලලා ඒක අතට ගත්තා.

'එක්පෙති මලක්වී - අන් ගෙමිදුලක පිපුනද
කාටත් හොරා ඔබ- නෙලාගත් මේ කුසුම
මියැදෙන්න නොදී
රැකගනුව 'කලන' ලෙස
මම ඔබට 'නිකිණියක්' වන්නෙම්'

මගේ අත වෙව්ලන්න ගත්තා. ඒ තිබුනේ නිකිනිගේ අකුරු. හිත පුපුරු ගහනවා.මම ඒ කඩදාසිය චප්ප කරලා කීතු කීතු වලට ඉරලා විසික් කළා.

මම ඒ ආවේගෙටම හාෆ්ෂිට් එකක් අරගෙන ලියාගෙන ලියාගෙන ගියා. ඒකත් අරගෙන මම අල්විසාගේ ඔෆිස් එකට ගියේ පිඹගෙන වගේ. දොර ඇරපු වේගෙට කෝල් එකක හිටපු අල්විස් උඩ විසි වෙලා යන්න ඇති.

"ඔහ් කලන..... එන්න එන්න..."

එතන හිටගෙන හිටපු දෙන්නෙක් ඉක්මනට එලියට පිටත් කරපු අල්විස් මට වාඩිවෙන්න පුටුව පෙන්නුවා. මම ඉඳගත්තේ නැහැ. උගේ මුණවත් බලන්නේ නැතුව මම ලියුම මේසේ උඩින් තිබ්බා.

"මම අස්වෙනවා මිස්ටර් අල්විස්"

මම අමාරුවෙන් කියාගත්තා.

"වාඩිවෙන්න වාඩිවෙන්න..."

ඒක අණක් වගේ උනත් මම පුටුව ඇදලා අරගෙන වාඩි උනා.

".. මම කලනට කිව්වනේ... මගේ හිතේ තරහක් නැහැ අයිසේ... ඉතින් මොකටද කලන අස්වෙන්නේ?"

"මට තවත් මෙතන වැඩකරන්න බැහැ ස-ර්ර්"

"ඔය පිස්සු මනස්ගාත අත ඇරලා දාන්න. කලන මෙතන ඉන්නේ මම යටතෙනේ. එහෙම අවුලක් නැහැ. මෙන්න මේක අරගෙන යන්න. මම කලනට අස්වෙන්න දෙන්නේ නැහැ. කලන නිසා තමයි අපිට අලුත් ඕඩර්ස් ලැබුනේ. උන් හරි ඉම්ප්‍රෙස් අපි වැඩකරන වේගෙට. කලන අපිට අවශ්‍යයි.. මට අවශ්‍යයි..!.මම තමුසෙට මාර්ගය පෙන්නුවා විතරයි. තේරුනාද? දැන් ඉතින් යන්න. වැඩ ගොඩ ගැහිලා ඇති"

අල්විස් එහෙම කිව්වේ වෙනස් ටෝන් එකකින්.

මම නැට්ට කැඩිච්ච හූනා වගේ එලියට ආවේ ලියුමත් අතේ අරගෙන. දොරකඩදී මට කරුනාරත්නව හම්බ උනාම මිනිහා බයවෙලා මගේ දිහා බැලුවා. මං අහකබලාගෙන ඉක්මනින් මගේ තැනට ආවා.

මට හැම දෙයක්ම නැති වෙලා ගියා වගෙයි දැනුනේ. නිකිණි එවලා තිබ්බ ෆයිල් දෙක තුනම මම ආපහු ඇරියේ වෙන පියන් කෙනෙක් අතේ. ඉතිරි ෆයිල් දිහා බලන්නේවත් නැතුව මම ඔහේ හිටියා.


"සර්.."

ඔලුව උස්සලා බැලුවම කරුණාරත්න. මට හෙන මල.

"ඇයි ?"

"සර්ට තේකක් ගේන්නද?"

"තමුසෙගෙ ජොබ් එක මට තේ අදින එකද? මට ඕනේ ඇති තේකක් නැහැ. යනවා යන්න පවු නොදී"

ඔක්කොමල්ල උඩ විසික් වෙන්න ඇති මගේ ඒ සද්දෙට.

බයවෙච්ච කරුණාරත්න අකමැත්තෙන් වගේ යන්න ගියා. මට මහා තනියක් දැනුනේ. ඉරලා විසික් කරපු කොළ දිහා බලාගෙන ආයෙමත් මම මගේ පපුව හුරගත්තා. මුළු ලෝකෙම කැරකෙන්න ගත්ත හින්දා මම ඔලුව තියාගත්තා මේසෙට.

ටෙලිෆෝන් එක ගොඩ වෙලාවක ඉඳන් වදිනවා. මම ඒක ගත්තේ නතරවෙන පාටක් නැති නිසා.

"හලෝ.. කලන? පොඩ්ඩකට මගේ ඔෆිස් රූම් එනවද?"

"ඇයි මිස්ටර් අල්විස්?"

"තාම ලන්ච් ගත්තේ නැද්ද?"

"තාම නෑ "

"එන්ඩකෝ පොඩ්ඩක්.. ඉක්මනට"

මල වදයක්නෙ. මම ලේන්සුවෙන් මුහුණ පිහන ගමන් ආයෙමත් උගේ කාමරේට ගියා. යනකොට ඌ කෝට් එක අඳිනවා.

"අපි යමු ලන්ච් වලට"

"දැම්මම ලන්ච් ගන්න බැහැ මිස්ටර් අල්විස්"

"නෑ නෑ යමු යමු.. මට කලන එක්ක ටිකක් කතාකරන්නත් ඕනේ"

මම අකමැත්තෙන් උනත් අල්විස් පස්සෙන් වැටුනා. ළඟ තියෙන රෙස්ටුරන්ට් එකට මම බෑ කියද්දී ඇදගෙන ගිහින් බලෙන්ම වගේ කෑමත් ඕඩර් කලාට මම බිව්වේ වතුර වීදුරුවක් විතරයි. මට මේ මිනිහා දකිනකොට පුදුම තරහක් එන්නේ. මට මුගෙන් බත් ඇටයක්වත් ඕනේ නැහැ!

"....කලන ඔච්චර අප්සෙට් යනවගක් දන්නවා නම් මම ඔය කතා ඔක්කොම කියන්නෙත් නැහැ. තව කතා කියන්න හිටියේ.. කියන්න බෑනෙ ඔය අප්සෙට් ගහල තියෙන විදියට.. හෙහ් හෙහ්.. මම හිතුවේ... කලන.. මේක ෆන් එකට... අර ජොලියට වගේ ආතල් ගන්න කරනවා කියල.. හෙහ් හෙහ්..."

ආයෙත් මූ පටන් ගත්තා. මගේ මුගේ කට තලන්න පුලුවන්නං ! එපා කියන්නය?

".. ඔය වයසට ආදරේ පරම පිවිතුරු, පවිත්‍ර එව්වා මෙව්වා කියලා තමයි හිතන්නේ.. හෙහ් හෙහ්"

මට දැන් මුගේ දත්ටික කඩන්න හිතයි. මගේ වේදනාව බලන එක මූට ආතල් එකක් වෙලාද එහෙනම්? නිකිණි වගේම මූත් බොරුකාර නාකියෙක්!

"මිස්ට අල්විස්... මම අද හාෆ්ඩේ දාල ගෙදර යන්න ඕනේ"

"ඇයි හදිසියක්ද ?"

"ඔව්.. මම අද එනකොටත් අම්මට සනීප නැහැ. බෙහෙත් අරගෙන දෙන්න යන්න ඕනේ"

"කලනට නංගි කෙනෙක් විතරයිනේ ඉන්නේ?"

"ඔව්.. නංගිට ඕවා කරන්න බැහැනේ.. එයා පොඩියි"

මම චලන ගැන කිව්වේ නැහැ. මුවත් මම ගොනා කරන්න ඕනේ.. ජරා නාකියා!
යන්තං අල්විස්ගෙන් ගැලවිලා මම හාෆ්ඩේ දාල ගෙදර ආව.ඔෆිස් එකෙන් පැනගන්න සිහිය මිසක් මට ගෙදර සැනසීමක් තියෙන නිසා ආවා නෙවෙයි. ගෙදර යනකොට මම ඈතදීම දැක්කා ගෙදරට කට්ටියක් ඇවිත් වගේ. සද්දෙන්ම හොයාගන්න පුළුවන්, ඒ නංගිගේ යාළුවො. චලනයාත් කතාව දාගෙන ඉන්නවා. ගෙදර ඇතුලට ඇතුල් වෙනකොටම ඔක්කොමල්ලා මගේ දිහා බැලුව.

"ආ... මේ මොකද මේ අවේලාවේ...? අපි මේ ගෙන්නගන්න කෝල් කරනවා"

එහෙම කියාගෙන නංගි ටෙලිෆෝන් එක ගාවින් මෙහාට එනවා.

"අපි මේ ඔයාව ගෙදර ගෙන්නගන්න කෝල් කරනවා"

මම අමාරුවෙන් හිනාවක් හදාගන්න උත්සහ කළා.

"හරි හරී... දැන් බිග් බිග් පොරවල්.. බිග් බිග් ටෝක්ස්"

දුලාරි; නංගිගේ දඟකාරම යාළුවා එහෙම කිව්වේ හිනාවෙලා.

"මොකටද මාව ගෙන්නගන්නේ?"

මම වෙනසක් පෙන්නන්නේ නැතුව ඉන්න ඇහුවා.

"අපි මියුසිකල් ෂෝ එකකට යන්න හදන්නේ"

මම උත්තරයක් දෙන්නේ නැතුව ඔලුවත් බිමට බාගෙන කාමරේට ගියා. සාලේ මට ඇහෙනවා කසු කුසුවක්. මම එහෙම්මම ඇඳේ පෙරලුනා. අමුත්තක් දැනෙනකොට ඇස්දෙක ඇරලා බැලුවම නංගි දොර ගාව.

"කලන අය්යේ... ඔයා එන්නේ නැද්ද?"

"මගේ ඔලුව රිදෙනවා. උණ ගන්න වගේ"

"කෝ බලන්න"

නංගි ඇඳ උඩ වාඩිවෙලා මගේ නළලට අත තිබ්බා. මට තරහත් එක්ක.

"මුකුත් නම් පේන්න නැහැ. ගතේ ලෙඩක්ද? හිතේ ලෙඩක්ද?"

"යන දේවාලෙක යනවා මට වද නොදී...!"

නංගි ඒ සද්දෙට ගැස්සුනත්, ඒ එක්කම සන්සුන් වෙලා, එකපාරටම නැගිටලා ගිහින් දොර ලොක් කරලා දොරට හේත්තු වෙලාම කතා කළා.

"ඔයා මොනවද ඔය තරම් හිතන්නේ? බලන්ඩ... ඊයේ රෑට කෑවෙත් නැහැ.. අද උදේ කෑවෙත් නැහැ.. අපි මේ මියුසිකල් ෂෝ එකට යන්න ලෑස්ති කරගත්තේ ඔයා නිසා. ඔයා එන්නම ඕනේ"

මට පුදුම හිතුනා. මේ මගේ කොච්චි කරල වගේ නංගිද ?

නිකිණි ගැන දන්නවා වෙන්න බැහැ. මම කොච්චර හැංගුවත් මගේ හිතේ තියෙන දේවල් පිටට පේනවා. නංගි ආයෙමත් ඇඳ ළඟට ආව.

"චලන අය්යාගෙන් ඇහුවට මුකුත් කියන්නෙත් නැහැ. එයා ඊට හපන්! රහසක් නම් මට කමක් නැහැ. ඒ උනාට ඔහොම ඉන්නකොට මට හරි දුකයි අය්යේ"

මට තවත් පුදුමයි. ඇහේ කටුව වගේ දකින දකින වෙලාවල් වලදී කටු අත්ත වගේ එල්ලෙන නංගිද මේ?

"හරි හරි.. මම එන්නං "

මම ඇඳේ අනික් පැත්තට හැරුනා.

වදෙන් පොරෙන් වගේ මාව මියුසිකල් ෂෝ එකට ඇදගෙන ගියා කට්ටිය. නංගිගේ යාළුවො ඔක්කොම මට ආදරෙන් සැලකුවා. පුළුවන් උපරිමෙන් මාව හිනස්සන්න හැදුවා. යකෝ.. මේක නම් සැලසුම් සහගත එකක් වගේ.. මෙන්න සුගන්ධිත් ඇවිත්! නිකිණි... මගේ පපුව පත්තු උනා. මම මේ සතුටුවෙන වේලාවක්ද ?

ෂෝ එක පටන් ගන්නකොට හයටත් ළඟයි. එතකල් කඩේ තිබ්බ කඩචෝරු ඇති වෙනකල් කෑවා. මම ඒ කිසි දෙයක් දිහා බැලුවේ වත් නැහැ. කෙල්ලෝ කොල්ලෝ පිරිලා.

නංගියි නංගිගේ යාළුවොයි ඔක්කොම හිටියේ ඒ ජොලියෙන්. චලනයායි , සුගන්ධියි ටික වෙලාවකින් මාරු වෙලා ගියා. එහෙනම්.. නංගිත් සපෝට්! මට ආයෙමත් පපුව කොනිති ගහනවා වගේ.

වටේ මොනවා වෙනවද කියල මට ගානක් තිබ්බේ නැහැ. මම හිටියේ වේදනාවෙන් මිරිකිලා. දකින, අහන, බලන හැමදේකම අගට 'නිකිණි' එකතු වෙනවා. ඔහේ සින්දු අහගෙන හිටියා මිසක් මට කිසිම සංවේදීකමක් දැනුනේ නැහැ.

"කලන.."
මම යන්තම් ඔලුව උස්සලා දකුණු පැත්ත බැලුවා. සඳමිණි..! මම යන්තම් හිනා උනා.

"මොකද ඔයා විතරක් බුම්මගෙන?"

"මම මේ සින්දු අහනවා"

"නෑ.. ඔයා මොකද්දෝ ලොකු අප්සෙට් එකකින් ඉන්නේ?"

"නැහ් "

"නැහ් නෙවෙයි.. ඕන අන්ධයෙකුට පේනවා.. ඔයා ඔහොම ඉන්න කෙනෙක් නෙවෙයි. කොයි වෙලෙත් නටාගත්ත ගමන්මයි.. ඔයාගේ ජොබ් එකේ ප්‍රශ්නයක්ද?"

"කවුද සඳමිණිට කිව්වේ?"

"උදානි.. ඔයාගේ නංගි "

මම මුකුත් කිව්වේ නැහැ.

"... ඔයාගේ ජොබ් එක හුඟක් හොඳයිලු නේද?"

"හ්ම්ම්"

"එහෙනම් මොකද්ද තියෙන ප්‍රශ්නේ?"
මම ඇහුනේ නැහැ වගේ ස්ටේජ් එක දිහා බැලුවා.

'ආදරය සුන්දර වරදකි - කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි - උඹ දුන්නු දුක හොඳටම ඇති..'

මට ඒ වචන දරාගන්න බැහැ වගේ. මාව වේදනාවෙන් මිරිකෙනවා. ඇස්දෙකත් මම තද කරලා පියාගත්තා.

"කලන..."

සඳමිණි මගේ උරහිසෙන් අල්ලලා හෙලෙව්වා. මම ඔලුව ඉස්සුවේ වත්, ඇස්දෙක ඇරියේ වත් නැහැ.

"..ඔයා දුකෙන් ඉන්නවා මට බලාගෙන ඉන්න බැහැ. මටවත් කියන්න බැරි ප්‍රශ්නයක්ද?"
සඳමිණි මගේ මූණට එබුනා. මාව ගැස්සිලා ගියා.

'.... දැහැනේ වෙලී -උන්මාද වුයේ මා
හද ස්වර තලා - කම්පිත වෙවී
මට මා පවා - නැතිකලේ කවුරුන්දෝ.....'


මට ඒක අහගෙන ඉන්න බැහැ. මගේ ඇස්වලට කඳුළු එන්න ඇති.

"කලන.. ඇයිමේ ? අඬනවා නේද?"

මම ඒ එක්කම නැගිට්ටා. මගෙත් එක්ක ආපු කට්ටිය ඔක්කොම මගේ දිහා භිත වෙලා බැලුවේ ලයාන්විත ගීතයේ දැහැන කැඩුන නිසා වෙන්න ඇති. මම කිසිම කතාවක් නැතුව හෝල් එකෙන් එලියට ආවා.

ඇන්තනිස් එක ගාව ඉඳන් ගෙදරට පයින් යන දුර. හෝල්ට් දෙකයි. මම එලියට ආවේ පයින්ම යන්න හිතාගෙන.

"කලන.. කලන.. ඔහොම ඉන්න"

සඳමිණි මගේ පස්සෙන්ම දුවගෙන එනවා. මට දැන් මේකිගේ බෙල්ල මිරිකලා දුවන්න හිතයි.

"මට මගේ පාඩුවේ ඉන්න දෙන්න සඳමිණි"

"එකපාරක් මම කියන දේ අහන්න කලන"

"............."

මම නතර උනා. ඒ පාර මොකද්ද?

"ඔයා කරන දේවල් අන්කලුයි ඇන්ටියි දැනගත්තොත් මොකද වෙන්නේ? එයාලා කොච්චර දුක් වෙයිද?"

මම හොදට සඳමිණි ගේ මුණ දිහා බැලුවේ එතකොටයි.

"මොනවද?"

"ඔයා දන්නවා මම මේ මොනවා ගැනද කියන්නේ කියල?"

ආපහු හැරුණු මම ගෙදරට එනකල්ම දුවගෙන ආවා. ගේට්ටුව ගාවදි හැරිලා බලනකොට සඳමිණි පේනතෙක් මානයක නැහැ.

*******************

12 comments:

  1. හ්ම්ම්ම්... තාම හිත හදා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.... කලනට තාමත් බෑ හිත හදාගන්න... එකෙක් වත් සැනසෙන්න කියනවලකෝ මොනවහරි

      Delete
  2. kaalekata passe aawa oooon. ada nikn poddai wagee....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩයි ටයිප් කරගන්න පුළුවන් උනේ...

      Delete
  3. මේ ළමයා...කලන කියල ලියන්නෙ නැතුව කළණ කියල ලියන්න බැරිද? එතකොට තියනව පොඩි ගතියක්...

    අනික කලන කිව්වම මතක් වෙන්නෙම අනුකලනය අවකලනය...:)

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස.... මමත් කැමති කලණ වර්ෂන් එකට. වේගෙන් ලියාගෙන යනකොට මට මතක බැරි වෙනවා
      ආයේ සැලකිලිමත් වෙන්නම්

      Delete
  4. මු මාර බඩුවක්නෙ මොනා හරි කිව්ව පමණින් පිස්සු කෙළින්න. රස්සාවකට නෙවෙයි මුව මොන්ටිසෝරියකට යවන්න. අනේ අම්මප ඔයාගෙත් කොල්ලො.

    ReplyDelete
    Replies
    1. හැලපයා:
      මගේ කොල්ලො? හුහ්
      කවුරැහරි මොනවහරි කිව්වහම ඔයිට වඩා පිස්සු කෙලින , පරිනත කොල්ලෝ මම දන්නවා. ඕකනේ කියන්නෙ ඇත්ත පබැදුමට වඩා සත්යයෙන් ඈතයි කියලා

      Delete
    2. අටම්: හෙහ් හෙහ් තමයි! ආව මෙතන හෙහ් හෙහ් ගාන්න

      Delete
  5. Replies
    1. හි හි හි.. ඔන්න දාල තියෙන්නේ. මම හිතුව කවුරුත් අද එන එකකුත් නැහැ කියලා

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...