Tuesday, March 21, 2017

83. ඔබ ඇවිත් යන්න එන්න... - 19

19
--------------------------------------------------

ගේ හිත හදාගන්න ගෙදර හැමෝම ලොකු ශක්තියක් උනා. නමුත් නිකිණි දකින්නේ නැතුව මගේ හිත ලෙඩ වෙලා වගේ. මම පන බයේ හිටියේ මේ අව් අස්සේ නිකිණි ගැනත් ගෙදරට ලීක් වෙලා ඇති කියලා. මගේ අවාසනාව එතරම්ම තිබ්බේ නැහැ. ගෙදර කවුරුත් ඒ ගැන දන්නේ නැති බව චලන ස්ථිර කලාම තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.

සති දෙකක්ම ගෙවිලා ආපු සඳුදා දවසේ ටෙක්ස්ටයිල් කෝස් එකට චලනයි මමයි ගියේ අලුත් බලාපොරොත්තු එක්ක. නිකිනිගේ ගාමන්ට් එක හින්දා මම හිටියේ බොහොම නොඉවසිල්ලෙන්.

අපිට උගන්නන්න හිටියේ සුපර්වයිසර්වරු. ගාමන්ට් එක හරියට මහා විසාල එළවලු තවානක් වගේ. නිකිණි සෑහෙන සල්ලිකාරියක් කියන්නේ ඇත්ත.  ඒ උනාට මට එහෙම කියලා එයාගේ ආඩම්බරකමක්  දැනෙන්නේවත් නැහැ. කවදාවත් තමන්ගේ සල්ලි ගැන ලොකු කතාවක් මගෙත් එක්ක කියලත් නැහැ.

මම හිටියේ කොයි මොහොතේ හරි, කොහෙන් හරි නිකිණි දකියි  බලාපොරොත්තුවෙන්. ඒත් පස්සේ තමයි දැනගත්තේ ඔෆිස් බිල්ඩින් තියෙන්නේ ගොඩක් එහායින් කියලා. හැමදේම හරිම පිළිවෙලයි. එතන දාහක් විතර වැඩ.

අපිව කණ්ඩායම් දෙකකට බෙදුවාම චලනයි මමයි වෙනම දැම්මේ අඳුරගන්න බැරි වෙයි කියලා හිනා වේවි. මම මේ කෝස් එක හොඳට කරන්න හිතාගත්තා. ඒ නිසා මට ඒ කියන දේවල් පට පට ගාල මීටරේට වැටෙන්න ගත්තේ.

ක්ලාස් එක ඇරිලා මම සුපුරුදු විදියට නිකිනිව බලන්න බෝගම්බර ග්‍රවුඩ් එක පිටිපස්සේ අපේ සුපුරුදු තැනට එනවා. සුපුරුදු අපේ ලෝකය තිබ්බේ කාර් එක ඇතුලේ.

මේ අලකලන්චියෙන් පස්සේ නිකිණි මාව දැකපු පලවෙනි දවසේ ඉවරයක් නැතුව මගේ තුවාල කැළැල් බල බලා අඬන්න ගත්ත නිසා මම එදාම එයාව පොරොන්දු කරගත්තා ඒ ගැන ආයෙමත් කතා කරන්න බැහැ කියලා.

"කොහොමද කෝස් එක?"

"නියමයි"

නිකිණි ආදරෙන් මගේ දිහා බලාගෙන. ආයෙත් අර ඇස් සෙල්ලම. නිකිණිගේ කන්දෙකයි, මුණයි රතු වෙලා. මම හෙමීට ඒ අත ඇල්ලුවා.

"නෝටි වෙන්න බෑ.. "

නිකිනිගේ නෝක්කාඩු මුණ නම් ඇත්තටම මාව පොළඹවනවා. මම අසරණ මුණක් දාන්න ඇති. ඇත්තටම නිකිණි මාව පිස්සු වට්ටලා.



"මම නෝටි නැහැ.. නයිස්"

නිකිණි එයාගේ පැත්තේ දොරට හේත්තු වෙලා මගේ දිහා බලන්නේ නැතුව ඇඹරෙනවා.

"ඔයා හරි ස්වීට්... ඇත්තටම"

"පැණි රසයි?"

"ඊ.. හි හි හි එහෙම නෙවෙයි මම කිව්වේ..... හි හි හි"

නිකිණි හිනාවෙන්නේ ලැජ්ජාවෙන් කියල මට තේරෙනවා. මගේ පපුවත් 'දඩ-බඩ ' ගගා ගැහෙනවා.

"ඌ.... යි.."

මම මගේ බෙල්ලේ තැලිච්ච තුවාලෙට අත තියාගත්තා.

"අනේ ඇයි ? මොකද?"

මම කලේ තනිකර බොරුවක් කියල නොදන්න නිකිණි ඉක්මනට මගේ ළඟට ලං වෙලා බෙල්ල හොඳට බලනවා. මම හෙමීට එයාගේ බෙල්ල වටේ අත දාල ඇදල අරගෙන නළලට මගේ ආදර මුද්‍රාව තියද්දි නිකිණි ගල්වෙලා, හුස්ම තදකරගත්තා.

"ඒයි !"

තත්පර දෙකකින්, මගේ පපුවට දකුණු අත තද කරලා මාව පස්සට තල්ලු කරපු කෙල්ල ඇස්දෙක තද කරලා වහගෙන අහක බලාගත්ත.

"පොලිසියට අල්ලලා දෙනවා, දන්නවද?"

නිකිනිට එකපාර හිනා ගියා. ඒ උනාට නිකිණි වෙව්ලනවා මට දැනෙනවා. තවත් නිකිනිව බයකරන්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. මට දුක හිතුනා.

"ඕව මොනවද.. මම ඔය පොඩි පොඩි කේස් වලට පොලිසි යන්නේ නැහැ තේරුනාද? කෙලින්ම යන්නේ රේප් කේස් වලට.. මොකද කියන්නේ?"

"ඊ.. කියන කතා... දෙනවා දෙකක් මම දැන්. මට්ටු වෙලා නැහැනේ තාම?"

"පොලිසියෙදිනේ ඔයා මාව කිස් කලේ.. ඇයි මතක නැද්ද? "

නිකිණි ලැජ්ජාවේ ඇඹරෙන්න ගත්තා. මගේ හිත පිරිලා. පව් නිසා අත අතඇරියම, නිකිණි මගේ දිහා බලලා අහිංසක විදියට හිනා උනා. මට හරි දුක හිතුනා.

"හරි හරි... සොරි බබා..."

"ඔයා හොඳයි... හොඳම හොඳයි.... ඇත්තටම හොඳයි"

නිකිනිගේ වැඩ වලට මට ආදරේ වැඩි වෙනවා. මම හුස්මක් අරගෙන සීට් එක දිග ඇරලා පහසුවෙන් වාඩි උනා. ඒත් හොරෙන්ම වගේ නිකිනිගේ අත අල්ලගන්න අමතක කලේ නැහැ. ඒ සිනිදු අතට මම හරි ලෝබයි.


"ඔයාගෙන්... අහන්න හිටියේ.. ඔයා.. චිරනිව මුණගැහෙන්න ගියාද? එයා... මැරෙන්න කලින්?'

මට මාතෘකාව මාරුකරන්න ඕනේ උනත් මේ ප්‍රශ්නෙටත් උත්තරේ මට හොයාගන්න බැරි උන නිසයි ඇහුවේ. නිකිණි මගේ දිහා විමසිල්ලෙන් බැලුවා.

"... මට ඒ ටික විතරක් කියන්න. ආයෙමත් ඒ ගැන කතාකරන්න නැති වෙන්නම"

".. නැහැ කලන..ඔයා එපා කිව්ව නිසා..."

"මම හිතුවා ඔයා ඒ උනාට යයිද කියලා"

"මම ඔයාගේ ප්‍රශ්නේ එකපාරක් අවුල් කළා. ආයෙමත් සැරයක් අවුල් කරන්නේ කොහොමද? මම හිතුවෙම ඔයා මට ගහල පන්න ගනී කියල"

"ඇයි ?"

"මම කියපු නිසානේ ඔයා චිරනිව මුණගැහෙන්න ගියේ"

"අපරාදේ"

"ඇයි ?"

"එදා ගහල එලෝ ගත්තනම්.. මේ කරදරේ නැහැනේ.."

නිකිණි මගේ ගාවට ලං උනේ මගේ අල්ල පිරිමදින ගමන්.

"එහෙම යන්නේ නැහැ.. තේරුනාද මිස්ටර්"

"තේරුනා මැඩම් "

-----------------------------

අපේ කලින් කම්පියුටර් කෝස් එකේ ප්‍රතිපල ඇවිත්. මට ඉහලම සමර්ථයක් ; චලනට සාමාන්‍ය සාමාර්ථයක්. මට හරිම ජොලි.

පහුවදා චලනට උන හැදිලා. හරියට වැල කාපු ලෙඩ කපුටා වගේ වැටිලා ඉන්නවා. මට උණ නැති හින්දා තනියෙම ක්ලාස් එකට යන්න උනේ. ඒක කදුරු කනවා වගේ, ඌ නැතුව පාලුයි. මම ක්ලාස් එකේ හිටියේ අමාරුවෙන්. දවල් කෑමෙන් පස්සේ ක්ලාස් එක පටන් ගත්ත ගමන් ,කවුදෝ දුවගෙන ඇවිත් සුපර්වයිසර්ට කටු-කුටු ගෑවා.

"හානේ.. ඇත්තද? මමත් දන්නේ නැහැනේ.. දැන් මොකද කරන්නේ?"

"අනේ .මිස්. මොනවහරි කරන්න. ලොකු මහත්තයට හොඳටම තරහ ගිහින්"

සුපර්වයිසර්වරිය අපේ පැත්තට හැරුනා.

"මෙතන කවුරුහරි ඉන්නවද එක්සෙල් හොඳට දන්න කෙනෙක්?"

මම ඒ දිහා බැලුවා. තවත් කීප දෙනෙක් අත ඉස්සුවා.

".. අනේ පොඩි උදව්වක් කරනවද? ඔය තුන්දෙනා මේ කරුණාරත්න එක්ක යනවද? පොඩි වැඩකට?"

මමත් අනිත් දෙන්නාත් අර මනුස්සයා පස්සේ වැටුනා.

"මොකටද අය්යා අපි?"

"අපේ ශ්‍යාමා මිස්, වෙනදට ශිප්මන්ට් හදන මිස ලෙඩ වෙලා ගිය දවස් ටිකේම නැහැ. හදිස්සි ඕඩරයක් ඇවිත්, ඔකොම හරි මේ එක්සෙල් වලින් හදාගන්න බැරුව... ලොකු මහත්තයට හොඳටම තරහා ගිහින්"

"මම අකවුන්ට්ස් නම් දන්නේ නැහැ"

එක්කෙනෙක් කිව්වා. මමත් දන්නේ නැහැ. ඒ උනාට කට පියාගෙන හිටියා.

"කමක් නැහැ යමු"

අපි තුන් දෙනාම මුනෙන් මුණ බලාගත්තා.

පතරංග ඔෆිස් බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවට ගියපු අපිව කාමරයක් ඉස්සරහ නතර කරලා කරුණාරත්න ඇතුලට ගියා. කාමරේ හැටියට නම් තද පොරක් වගේ. ටික වෙලාවකින් කාමරෙන් එලියට කරුණාරත්න ආවේ තවත් මනුස්සයෙක් එක්ක.

"මෙයලද? එක්සෙල් පුලුවන්ද?"

අපි එක්කෙනෙක්වත් උත්තර දුන්නේ නැහැ.

"ඔව් සර්"

"හ්ම්ම්.. යමුකෝ බලන්න"

අපි දිහා කන්න වගේ බලලා ඒ මනුස්සයා ඉස්සර උනා. අපිත් ඒ පස්සෙන් වැටුනා. මගේ පපුව ඇතුලෙන් සද්දයක් එනවා. 'මූද චානක? නාකි මනුස්සයෙක්නේ'.

චානක කියන්නේ කොයි වගේ පෙනුමක් තියෙන කෙනෙක්ද කියලා මට නිකිනිගෙන් අහන්න බැහැ මගේ හිත තැලෙන නිසා. පින්තුරයක්වත් ඉල්ලගන්න හිත හදාගන්න මට බැරි උනේ කවදාවත් නොදැක්ක මේ මිනිහා ගැන තිබ්බ ඉරිසියාකාර තරහ වෙන්න ඇති. 

"කවුද බන් ඒ?"

"දෙය්යෝ දනී"

ඊට පස්සේ ගියේ ලොකු ඔෆිස් කාමරේකට. 'Authorized persons only' කියලා දොරේ ගහලා තිබ්බා. එතන තිබ්බ එක පරිඝනකයක් ළඟට ගියපු කරුණාරත්න කියන මනුස්සයා අපිට විස්තරේ කිව්වා.

අර නාකි මනුස්සයා ඈතට වෙලා ජංගම දුරකතනයට උත්තර දෙනවා. මම ඇහැ තියාගෙන හිටියේ මූ චානක කියන එකද කියල සැක හිතුන නිසා. මට අප්සෙට් හොඳටම. කොන්ඩෙන් බාගයක් ඉදිලා. නාකි පෙනුමයි. මට දැනුනේ ඉරිසියාවද මන්ද.

"ඒ... මම නම් ඔච්චර දන්නේ නැහැ. ටිකයි එක්සෙල් දන්නේ.. කවුද හිතුවේ මෙහෙම එකක්"

එහෙම කියලා සුගත් යන්න ගියා.

මමයි තාරකයි විතරයි ඉතුරු උනේ. මට එක්සෙල් කජු වගේ. මම ඉක්මනට ඉක්මනට ෆෝමියුලා ටිකයි, මැක්‍රෝ ටිකයි නිවැරදි කලාම, ගානට ඔක්කොම කොටු වලට නියම උත්තර ටික ආවා. පැය බාගයක් යන්න ඇති. මගේ ටික නම් ඉවරයි. මම තාරක දිහා බැලුවා.

කරුණාරත්න නළලත් රැලි කරගෙන තාරකගේ පිටිපස්සට වෙලා නියපොතු කනවා.

"අඩෝ... ෆෝමියුලා ටික බලපන්. මැක්‍රෝ දෙක තුනක් තිබ්බ වැරදියට දාල"

"මම මැක්‍රෝ දන්නේ නැහැ මචන්..'

"පුතා ඉවරද? අය්යෝ දැන් දෙකටත් ළඟයි"

"ඔව් අංකල්.. තාරකගේ එකත් මම බලන්නද?

"අනේ ඔව් පුතා.. දැන් ලොකු මහත්තයා මාව කයි"

මම තාරකගේ පුටුවෙන් වාඩිවෙලා මැක්‍රෝ ටික ඉක්මනට හදාගෙන හදාගෙන ගියා.

".. පුතාට හොඳට පුළුවන්නේ"

කරුණාරත්න කිව්වේ සතුටෙන්. එතකොටම තවත් කවුදෝ දොර ඇරගෙන එනකොට කරුණාරත්න විතරක් නෙවෙයි අනිත් නාකි පොරත් බය බිරාන්ත වෙලා සීරුවෙන් හිටියා.

"කරුණාරත්න...! අද දෙකට මම මේක යවන්න ඕනේ ඇමරිකාවට.. තාම මොන බම්බුවක් කරනවද මිනිහෝ"
"හ.. හ.. හ-රි හ-රි ස-ර්....  තව ටිකයි. ටිකයි"

"මම උඹේ ජොබ් එකත් නැති කරනවා. උඹගේ කීමටයි මම ශ්‍යාමාව ගත්තේ. දැන් බලනවා වෙලා තියෙන දේ?"

ඒ මනුස්සයාගේ හඬේ තිබ්බේ මහා එපාකරපු ටෝන් එකක්. මම ඉක්මනට අන්තිම මැක්‍රෝ එකත් හදලා ආයෙමත් රන් කළා.. හරි! වැඩේ ගොඩ.

"හරි.. ඉවරයි"

මම එහෙම කියනවත් එක්කම කරුනාරත්නත් මම කියපු එකම කිව්වේ උඩ පනිනවා වගේ සතුටෙන්.
පුටුවෙන් නැගිට්ට මට එකපාරටම අර හඬේ අයිතිකාරයා පෙනුනා. මගේ දිහාට ඇවිදගෙන ආවේ හඬත් එක්ක පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති, වයසක් හිතාගන්නවත් බැරි කළු ; උස මනුස්සයෙක්.

"මේ කවුද?... තමුසේද වැඩේ කලේ?"

කෙලිම්ම මගේ ලඟට ආපු ඒ මනුස්සයා මගේ කරට අතක් දැම්මා; යකඩ වගේ අත් ! ළඟට ආවම තමයි ඒ මුනේ තවත් විස්තර දැක්කේ. මුණ හරියට මැටියෙන් හදපු එකක් වගේ.

"....මොකද්ද තමුසෙගෙ නම?"

මට එකපාරම ආවේ නොරිස්සුමක්. නමුත් මම තරහ පෙන්නුවේ නැහැ.

"කලන.. කලන ඇල්කඩුව"

"කොහෙන්ද කරුණාරත්න මේ පොරව හොයාගත්තේ?"

මගේ මුණ තවත් කළු වෙන්න ඇති.

"අර ටෙක්ස්ටයිල් කෝස් එක කරන කෙනෙක් සර්. මම උදව් ඉල්ලගෙන එහෙට ගියා"

අර මිනිහා මගේ දිහාට හැරුනා.

"තමුසේ ජොබ් එකක් කරනවද?"

"නැහැ"

මට රතු කට්ට පනින්න වගේ. මූ හරියට කතාකරන්නේ මම උගේ අත පල්ලෙන් වැටිලා වගේ.

"ඔච්චර තරහ ගන්න එපා කලන. කලන... කලන කැමතිද මෙතන වැඩ කරන්න?"

මම පුදුමෙන් ගල් ගැහිලා කරුණාරත්න දිහා බැලුවා. කරුණාරත්න 'හා කියන්න' වගේ ඉඟියක් දුන්නේ.

"කැමතියි... පඩි කීයක් ගෙවනවද?"

මම බය නැතුව ඇහුවම ඒ මනුස්සයා පුදුමෙන් වගේ මගේ දිහා බැලුවා. ඒ මුහුණේ හැඟීමක් කියවන්න බැහැ.

"පඩි කීයක් ඕනෙද?"

කලින් ගෙවපු කෙනාට ගෙවපු ගානම?"

මම බය නැති උනේ කොහොමද කියල මටම පුදුමයි.

"හ්ම්ම්....."

".............."

"හොඳයි.. තමුසේ හෙට ඉඳල වැඩට එනවා"

ඒ මනුස්සයා හැරුනා.

"මිස්ටර්.. පත්වීමේ ලිපියක් නැතුව මම කොහොමද වැඩ කරන්නේ?"

හැඟීමක් නැති ඒ මුනෙන් කියන්න බැහැ මිනිහට තරහ ගිහින්ද, නැද්ද කියලා. ඒත් කට කොනට නැගුනු හිනාවක් නම් තිබ්බා.

"මම ඒක ගෙදරට එවන්නං.. හෙට"

"තෑන්ක් යූ....මිස්ටර්"

ඒ මනුස්සයා යන්න ගියා. ශක්‍රයා ඇවිත් රන්කාසි බෙදනවා වගේ.  මෙහෙමත් ජොබ් දෙනවද?

"සර්.. සර්ගේ වාසනාව..අල්විස් සර්ට ලේසියෙන් කෙනෙක් හිතට අල්ලන්නේ නැහැ. සර් හෙට ඉඳන් වැඩට එන්න, දෙය්යන්ගේ පිහිටයි. ඒ උනාට..... ඒ සර්ට සර් කියන්න..."

"මට කණගාටුයි ඔයාගේ අඳුනන ගෑනුලමයා ගැන. එයාගේ රස්සාව නේද මට ලැබුනේ"

කරුණාරත්න වටපිට බලලා මගේ ළඟට ලං උනා.

"ඒ ළමයාට මෙතන එපා වෙලා තිබ්බේ. ආයේ එන එකක් නැහැ. දුර වැඩියි. කරගන්න දෙයක් නැතුව ඉන්න කාලේ ආවේ. සර් දුක් වෙන්න එපා... "

කරුණාරත්න කිව්වා. මම හිටියේ හොල්මන් වෙලා. මේක නම් පුදුම පොට්ට චාන්ස් එකක්.

-----------------------------------------

ගෙදර හැමෝටම හරි සතුටුයි. අම්මා නම් හැබැයි කිව්වේ කෝස් එක ඉවර කරානම් හොඳයි කියල. ඒ උනාට තාත්තා කිව්වා මගේ ටැලන්ට් එක තියෙන්නේ කම්පියුටර් පැත්තට නම් ඒ පැත්තෙන්ම ඉස්සරහට යන්න කියලා.

කිව්වා වගේම පහුවදා උදෙන්ම ලියුම කුරියර් කරලා තිබ්බා. ලියුම දැක්ක ගමන් මම බැලුවේ කවුද සයින් කරලා තිබ්බේ කියලා. අන්තිමට සීල් එක ගහලා අත්සන් කරලා තිබ්බේ අල්විස් කියලා. නමුත් තිලකරත්න කියලා කෙනෙකුත් අත්සන් කරලා තිබ්බා. මම ලියුමත් අරගෙන මම කෙලින්ම ගියේ ඔෆිස් එකේ දෙවැනි තට්ටුවට. එතන යනකොටම රැකගෙන වගේ කරුණාරත්න ඉන්නවා.

"ආ.. සර්.. මම මේ සර් එනකල්මයි හිටියේ"

කරුණාරත්නගේ මුණ නම් ටිකක් අමුතුයි. කලින් දවසට වඩා ගොත ගහනවා.මම ලියුම එයාගේ අතට දුන්නා. කරුණාරත්න මාවත් එක්කගෙන කොරිඩෝවේ අග තිබ්බ සෝපානයෙන් හයවෙනි තට්ටුවට යන්න බොත්තම එබුවා.

මම මෙච්චර වෙලා හිතේ හිර කරගෙන හිටපු ප්‍රශ්නේ ඇහුවේ පෙරුම් පුරලා වගෙයි.

"අර.. අර මට ජොබ් එක දුන්නේ.. එයාද මේ ගාමන්ට් එකේ අයිතිකාරයා?"

කරුණාරත්න ගැස්සුනා වගේ උනත් අමාරුවෙන් හිනා උනා.

"නෑ නෑ .. මේ සර්ගේ නම තිලකරත්න. ල.. ලොකු මැඩම්ටනේ අයිති"

ඒ කියන්නේ මේ ගල්මුසලයා නෙවෙයි චානක කියන්නේ. ඒක හොඳයි. ඒ උනාට ඌ කොයි වගේද කියලා බලනකල් මට සැනසිල්ලක් නැහැ වගේ. අපි ගියේ ලොකු කාමරේකට. කාමරේ මාර ලස්සනයි; ලොකුයි. හෝටල් කාමරයක් වගේ.

"ගුඩ් මෝනින් මිස්ට කලන. එන්න වාඩිවෙන්න"

"තැනක් යූ සර්"

මාව එතනට බාරදීපු කරුණාරත්න බය පක්ෂපාතිව එළියට ගියා.

"මොකද පරක්කු උනේ?"

"ලියුමත් අරගෙනම එන්න හිටියා. ඒකයි "

"කමක් නැහැ... අදට විතරයි. හැමදාම උදේ හත හමාර වෙනකොට මෙතන ඉන්න ඕනේ. ළඟනේ ඉන්නේ... නේද?.. තව.. පහෙන් මෙහා යන්න බැහැ , වැඩ ඉවර කරන්නේ නැතුව කොහොමත් යන්න බැහැ .. තේරුනාද?"

"ඔව්.."

"එහෙනම් අද දවසේ වැඩ ටික කරූ කියයි. ඉලන්දාරියා... මට ඕනේ වැඩ හොඳද? වැඩ!"

"ඕකේ "

"ගුඩ්ලක්"

ඒ මනුස්සයාගේ යකඩ අතට මගේ අත අහු උනත් මට කිසිම සුහද බවක් දැක්කේ නැහැ. වෙස්මුනක ඇඳපු හිනාවක් වගේ. වැඩි වයසක් නැති පාටයි.

මාව ඩෙස්ක් එකට ගෙනිහිල්ලා ඔක්කොම වැඩ ටික කරුණාරත්න බාරදුන්නා. මම එයාට කතාකලේ අන්කල් කියලා. චුට්ටක් මනුස්ස පාටට හිටියේ ඒ මනුස්සයා විතරයි.

මේ වගේ ලොතරැය්යක් ඇදෙයි කියලා නම් කොහොමවත් හිතුවේ නැහැ. නිකිනිට මේ කිසි දෙයක් කියාගන්නවත් බැරි උනා. කලින් දවසේ කොච්චර හොරගල් ඇහිලුවත් ටෙලිෆෝන් එකට ළඟාවෙන්න ලැබුනේ නැහැ. උදෙන් එන්න ගත්ත නිසා මගදිවත් කෝල් එකක් දීගන්න බැරි උනා. මෙහෙ නිකිනිගේ නම්බර් එකක් දන්නෙත් නැහැ. එලියට කෝල් එකක් ගන්න අහන්න බැහැ එකෙක්ගෙන්වත්, ඔක්කොම තිබ්බේ පොඩ්ඩක්වත් සුහද නැති මූණු.

කරුණාරත්න අන්කල් දවල් ඊට පස්සේ පැත්ත පලාතක ආවෙත් නැති නිසා මට සිද්ද උනේ සද්දයක් නැතුව පවරපු වැඩ ටික බලාගන්න විතරයි.

දවල් කෑමට මම කැන්ටින් එකට ගියා. අම්මගේ බත් එක වගේ කොහෙද මේ කැන්ටින් බත්! ගාමන්ට් මහන කෙල්ලෝ මොන දුකක් විඳිනවා ඇද්ද? උන්ගේ ශ්‍රමය එක අතකට හූරගෙන කනවා. කැන්ටින් එකේ කෙල්ලෝ හැරි හැරී මේ අමුතු සතා දිහා බැලුවත් මම ගණන් ගත්තේ නැහැ. යුනිෆෝම් නැති නිසා මගේ ජොබ් එක උන් අනුමාන කරලා වෙන්න ඇති බයෙන් හිනා උනේ.

චලන ක්ලාස් එකේ මොනවා කරනවද දන්නේ නැහැ. නිකිණි කොහේ ඉන්නවා ඇතිද? කාගෙන් කියල අහන්නද? දවල් කෑමෙන් පස්සේ ගිහන් වාඩි  උනා විතරයි ටෙලිෆෝන් එක වැදුනා.

"ශ්‍යාමා... මම එදා දීපු වැඩේ හරිද? ඉවරනම් ඉක්මනට කරුණාරත්න අතේ එවනවද?"

"මම ශ්‍යාමා නෙවෙයි"

මට කටහඬ අඳුන්නන බැරි මොකද? මාව මල් වෙඩිල්ලක් වගේ උතුරලා, පිපිරිලා ගියා. මම වටපිට බැලුවා. ළඟ පාත කවුරුත් නැහැ.

"ක.. කවුඩ් එහෙනම්.. ?"

"ඔය... නිකිණි නේද?"

එහා පැත්තෙන් ගොළු උනා වගේ උනා. නිකිණි තමයි. මිනි කිංකිනි හඬ!

"මම කලන"

"ක.. කලන? දෙය්යනේ.."

"බය උනාද? කලන තමයි"

"බොරු කියන්න එපා"

"හා.. දවස් දෙකට අමතක වෙලාද එහෙනම්.. අර නළලට... එදා..."

"ෂ්... ෂ්.. කෑගහන්න එපා... "

"දන්නවද.. මම  දැන් මෙතන වැඩ කරන්නේ"

"මෝ..මොනවා? ඒ කොහොමද?"

"අද හවස එනවනේ... එතකොට කියන්නම්..."

"............"

"අය්යෝ ළමයෝ.. මම කලන තමයි.. අර ඉස්පිරිතාලේ කොල්ලා"

නිකිනිගේ කිංකිනි හිනාව මාව මත් කරවනවා.

"එනවා අනේ... මට නිකන් හීනයක් වගේ.. කෝල් කරන්න බැහැ මෙහෙම.. බයයි"

"හරි.. හරි.. මොකද්ද ඔයාගේ වැඩේ මැඩම් ?"

ආයෙත් අර හිනාව. දුවගෙන ගිහින් ඉන්න තැනකින් අල්ලාගෙන එන්න හිතෙනවා.

"අර අලුත් ඕඩර් තුනක මර්චන්ටයිසින් වැඩේ... මම කරූ එවන්නම්"

"හොඳයි මැඩම් "

නිකිණි හිනාවෙලා කිව්වා. මට කතාව නතර කරන්න හිතෙන්නේ නැහැ. ඒ උනාට් නිකිණි ඉක්මනට කට් කලේ අති භයානක වැඩක් නිසා. ඒ උනාට මට හරි ජොලියක් දැනුනේ. මහා ලොකු වීර වැඩක් කළා වගේ දැනෙන්නේ මොකද මන්ද. එක්කෝ හැලියේ ඉන්න කකුළුවා වගේ වෙලාද මමත්?

නිකිනිට මම දැන් ගොඩක් ළඟයි. මගේ හිතට ලොකු සතුටක් දැනුනේ. බයකුත් නැතුව නෙවෙයි. කරුණාරත්න එනවා කිව්වට ආවේ නැහැ.

මම එදා නිකිනිව මුණගැහෙන්න ගියේ කුරුල්ලෙක් වගේ පියාඹගෙන. නිකිණි දැක්ක ගමන් එයාගේ ඇස්වල කාන්තියෙන් මාව මත් කරලා දැම්ම නිසා මම හිටියේ කතාකරගන්න බැරුව.

"කලන...."

"හ්ම්ම්...."

"..................."

"නිකිණි..."

අපි දෙන්නම ආයෙත් මූණෙන් මුණ බලාගෙන. දෙන්නටම හිනා.

"කොහොමද අනේ ඔයාට ජොබ් එකක් ලැබුනේ?"

මම ඔක්කොම විස්තරේ කිව්වා. සමහර උන්ගේ නම් මට පැටලෙනවා.

"කවුද එතකොට ඔයාව ගත්තේ?ලියුමේ සයින් කරලා තිබ්බේ කවුද?"

"තිලකරත්න කියල"

"ආ.. තිලකේද? එයා තමයි සෙක්ෂන් එක බාරව ඉන්නේ. හරිම හොඳයි. මම ඒ පැත්තේ සාමාන්‍යයෙන් යන්නෙම නැහැ. මම කරන්නේ මර්චන්ටයිසින්"

"තිලකේ... ඒ මනුස්සයා නම් මට ඇල්ලුවේ නැහැ. මුණ නිකන් පොලොස් ගෙඩියක් වගේ. හරි අමුතුයි"

"අපෝ නැහැ.. ඒ ඔයා හින්ද වෙන්න ඇති.. හි හි හි හි... "

"ආ... මම වගේ හැන්ඩ්සම් පොරක් දැක්කහම ඉරිසියා හිතෙන්න ඇති. ලොකු නෝනත් අහු වෙලානේ ඉන්නේ"

නිකිනිගේ මුණ අමුතු උනා.

".. ඇයි බබා... මම විහිලුවට කිව්වේ"

"සෙල්ලන් නෙවෙයි කලන.. ගින්දරත් එක්ක සෙල්ලන් කරනවා වගෙයි. නිකමටවත් චානකට ඉව වැටුනොත් අපි දෙන්නම ඉවරයි. ආරංචියේ හැටියට එයා මේ දවස්වල රට ගිහිං. අපි පරිස්සන් වෙන්න ඕනේ කලන.. මට බයයි ඔයා ගැන"

"බය වෙන්න එපා.. මං ඔෆිස් එකේදී කතා කරන්නේ නැහැ ඔයාට. හම්බුනොත් මැඩම් කියලා මනමාල හිනාවක් දානවා ඇරෙන්න"

"ඒයි !"

"නෑ නෑ.. හරි හරි සිරාවට. මම සැක හිතෙන දෙයක් කරන්නේ නැහැ. ඒ උනාට.. ඒවාට මට ගෙවීම් කරන්න වෙයි"

"ගෙවීම්?"

මම දබර ඇඟිල්ලෙන් මගේ තොල් වලට තට්ටුවක් දැම්මා. නිකිණි ජම්බු ගෙඩිය වගේ රතු වෙලා.

"නෝටි වෙන්න එපා......"

"විහිළු නෙවෙයි මැඩම්... ඇත්තටම දන්නවද?"

මම නිකිනිගේ ඉනෙන් තද කරලා අල්ලගත්තා. කෙල්ල ගැහෙනවා මාලුවෙක් වගේ.

"පුදුම කටක් තමයි.... "

"ඇත්ත.."

"තරහ වෙනවා..... "

මම නිකිණි දිහා බලාගෙන ඉඳලා ඒ ඇස්දෙක කොහොමහරි පටලවා ගත්තා. නිකිණි ගිනිකන වැටිච්ච හා පැටියෙක් වගේ ගල් ගැහිලා බලාගෙන. පවු දෙය්යනේ... මට දුකයි

"ඔයා තරහ වෙන්නේ නැහැ. මම ඒක දන්නවා.."

මම එහෙම කිව්වේ දිව දික් කරලා ඇද කරන ගමන්. නිකිණි එයාගේ ඉනේ පැටලිලා තිබ්බ මගේ අත තද කරලා අල්ල ගත්තා.

"නපුරා....."

"............."

මට ඒ නෙත්සරය වෙනස් කරන්න ඕනෙකමක් තිබ්බේ නැහැ.

"පයින් යමු... බහින්න බහින්න කාර් එකෙන්"

බලෙන්ම මාව කාර් එකෙන් බිමට ඇදලා ගත්ත නිකිනිත් එක්ක මම අත් පටලවාගෙන පාලු පාරේ ඇවිදගෙන ගියේ සැහැල්ලුවෙන්. නිකිණි මගේ ඇඟේ හැප්පි හැප්පි යනවා, මිරිකන්න හිතෙනවා.. මම නිකිනිට කොච්චර ආදරේ කරනවද? මට ඒක හිතාගන්නවත් බැහැ

-----------------------------

චලනයා මල ඇනට් එකක්. හඩ්ඩා වගේ අඳිනවා  විතරයි. ආත්මෙකට හෝදන්නේ නැහැ. මූ ටෙක්ස්ටයිල් කැපිල්ල ගැන නෙවෙයි, හේදිල්ල ගැනයි කෝස් එක කරන්න තිබ්බේ.

මගේ ප්‍රියතම කලිසන් කොටේ ඊයේ ඇඳලා ගුලිකරලා දාල, ප්‍රේමකරන්න ගිහින්. මට නේද.... මාර කේන්තියි. මම ඒ කලිසම හෝදලා දාන්න හිතුවේ අම්ම එනකල් හිටියොත් හෙට වෙනකොට වේලගන්න බැරිවෙන නිසා.

පොකට් වල මොනවද තියෙන්නේ කියලා අදින ගමන් මම වොෂින් මැෂින් තියෙන කාමරේ පැත්තට ඇවිදගෙන ගියා. එක පොකට් එකක අහු උනා කඩදාසි ගුලියක්. මම අතට අරගෙන බැලුවා. දෙකට නමලා, ඊටත් පස්සේ පොඩිවෙච්ච ටිකක් පරණ  ලියුම් කවරයක්.

'පිස්සෙක්නේ, සුගන්ධිගේ ලියුම් මෙහෙම දානවද?'

කෝකටත් මම ලියුම් කවරේ දිහා බැලුවා.'කලන ඇල්කඩුව' කියලා පටන් ගත්ත එඩ්රස් එකක්!
මගේ ලියුමක්?

මම අඩියට දෙකට ඒකත් අරගෙන කාමරේට පැනලා දොර වහගත්තා.

දෙය්යනේ.. ඒක චිරනිගෙන්!!

'සදාදර කලන,
මේ ලිපිය ඔයාට ලැබෙනකොට මම ජිවතුන් අතර නැතිවෙන්න පුළුවන්. ඒත් මම ගැන තියෙන තරහ , වෛරය ඔයාගේ හිතේ තදකරගෙන ඇති. මම ඒකට ඔයාගෙන සමාව ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි, වෙච්ච හැමදේකටම ඔයාගෙන් සමාව ඉල්ලනවා. ඔයාට කරපු නින්දාවට මට මැරිලාවත් සමාව ලැබෙන එකක් නැහැ.
එදා ඔයා මාව රිෆියුස් කලාම මට මම ගැනම ලොකු පිළිකුලක් ආවා. මගේ ලෝකෙම කඩාගෙන වැටුනා. මම හිතුවේ නැහැ ඔයා මාව රිෆියුස් කරයි කියලා. මම හිතුවා ඔයා මාව බාරගනියි කියලා. මම දන්නේ නැහැ ඒ වෙලාවේ මම මොනවා කලාද කියලා. මම හිටියේ මොන තත්වෙන්ද කියලා ඔයාට කියන්නයි ඕනේ කලේ. මට බැනලා උනත් මාව බාරගනී කියල හිතලයි මම ඔයාව හොයාගෙන ආවේ. අම්මලාට ලියපු ලියුමේ මේ කිසි දෙයක් මම ලිව්වේ නැහැ. ඒ උනාට ඒකෙ ලියපු හැම දෙයක්ම මම මේ ලියුමේ ලියනවා. අදිති මේ ලියුම වෙන කාටවත් අහු නොවෙන්න ඔයාට එවයි කියලා මට විස්වාසයි.
 

මට සමාවෙන්න කලන. ඔයා එදා කූඩුව ඇතුලේ කොච්චර වේදනාවෙන් හිටියද කියලා මම දැක්කා. මම හිතුවා ඔයා එතකොට හරි මාව බාරගනී කියලා. මහේෂ් අය්යා ඔක්කොම මෙඩිකල් රිපෝට් හදන්න උදව් කලේ ඇයි කියල මම දන්නවා. මට වැරදුනා කලන. මම ඔයාට තමයි ආදරේ කලේ. ඒක  වෙනස් වෙන්නේ නැහැ කලන. අපි අතරේ නොගැලපීම් තියෙන්න ඇති. ඒක මමත් පිලිගන්නවා. ඒත් මමයි ගොඩක් වැරදි කලේ. ඔයා කිව්ව දේවල් බොරුත් නෙවෙයි. මහේෂ් අය්යා මට බලාපොරොත්තු දුන්නා. අපේ ගෙදරිනුත් ඒකට කැමති වෙලා හිටියේ. ඔයයි මහේෂ් අය්යයි අතරේ මම අතරමන් වෙයි කියලා මට දැනුනේ නැහැ. එයා මට ලං උනා. කතරගම ට්‍රිප් එකෙන් පස්සේ තමයි හැමදෙයක්ම ඉක්මනට සිද්ද උනේ. මම මහේෂ් අය්යා එක්ක දුරදිග ගියපු බවක් අපේ ගෙදර දැනගෙන හිටියේ නැහැ. මම ආපහු හැරෙනකොට ප්‍රමාද වැඩියි. ඔයා වෙන කෙනෙක් එක්ක එෆෙයාර් එකක් කරනවා කියලා දැනගත්තම මට ඉහිලුම් නැති උනා. මම හිතුවෙම ඔයා ආපහු මගේ ගාවට ගන්න පුළුවන් කියලා. මහේෂ් අය්යා මාව රැවට්ටුවා. ඔයාගේ අගේ තේරෙනකොට මම පරක්කු වැඩියි.
ඔයාට කරපු අපහාසේ මම කලේ හිතල නෙවෙයි කලන. මගේ වැරැද්ද වහගන්න මට ඒක ඉබේටම කිය උනා. ඇත්ත.. මම ඔයාව තේරුම් ගන්න උත්සහ කලේ නැහැ. ඔයාගේ හිත මට වඩා හය්ය බව මම දන්නවා. මට දැන් කාටවත් මුණදෙන්න විදියක් නැහැ. මගේ මෝඩකම තමයි මේ සේරටම මුල. මට වෛර කරන්න එපා කලන. ඔයාට ජේසු පිහිටයි.
සදාදර
චිරනි '


මාව කාමරේ බිම ඉන්ද උනා. අත්දෙක වෙව්ලනවා. මේ ලියුම ආවේ කවදද? ලියුම් කවරෙත් පරණයි. දිනේ තියෙන්නේ චිරනි මැරුණ දවස. චලන මේක ගත්තේ කොහොමද? මට පෙන්නුවේ නැත්තේ ඇයි ? චිරනි....! මම මොකක් කියන්නද? චිරනිගේ ලේ මගේ අත්දෙකෙත් ගෑවිලා නේද? හැමෝම දන්නවද? ඇයි එහෙම උනේ? මගේ ඔලුව පිස්සුවක් වගේ උනා.

------------------------------

"ඔන්නෝක මෙන්න මෙහෙ දියං "

ඒගැන අහපු ගමන් චලන පැනපු ගමන් මගේ අතින් ලියුම් ඉදිරුවා.

"චලන...."
මට හොඳටම තද වෙලා.

".. හොඳයි.. හරි හරි.. ඔය ලියුම ආවේ චිරනි suicide කරගත්ත සතියේ තමයි. අම්මයි කිව්වේ දෙන්න එපා අරන් තියන්න කියලා. උඹ හිටියේ කට්ට පොඩිවෙච්ච ගල් ඉබ්බා වගේ. මේක පෙන්නලා ආයෙමත් මොකක් හරි එකක් කරගනියි කියලා බයට දුන්නේ නැත්තේ. උඹ බනිනවා නම් බැනපන්. මට දුක නැහැ"

චලන එහෙම කියලා මගේ උරහිසට තට්ටුවක් දැම්මා. මාව ටිකක් විතර කූල් උනා.

"මට ටිකක් තරහ ගියා මචං "

ඊට විනාඩි ගානකට පස්සේ මම එහෙම කිව්වහම චලන ඔලුව වනලා මගේ දිහා බැලුවා.

"උඹ කවදත් ඔහොම්මමයි. මගේ ඔලුවටමයි කඩාපාත් වෙන්නේ"

මම හිනාවෙලා උගේ ඔලුව අතගෑවා.

"ගියදේ ගියා බං. උඹ හොඳ එකා. මම දන්නවනේ උඹ මාව බේරනවා කියලා"

"අන්න ඒක තමයි මම කරන ගොන්කම"

චලන වගේ එකෙක් මට ලැබුනේ පෙර පිනකට. ඌ සහෝදරයෙක්ට වඩා දෙය්යෙක් වගේ. චිරනිගේ ලියුම මම ඉස්සරහම චලන පුච්චලා දැම්මේ ඒ මතකය අලුත් වෙන හින්දම නෙවෙයි. මහා ලොකු බරක් නිදහස් කරගන්න. ඇත්තටම ඊට පස්සේ මගේ හිතේ බර ගොඩක් අඩු උනා.


*******************************************

12 comments:

  1. අහ.. මගේ හිතේ බරත් ගොඩක් අඩු උනා.. ඊයේ කොමෙන්ට් එකක් නොදැම්මේ ඒ අප්සෙට් එක නිසයි..

    අද කෑල්ල චෝයි! :))))

    ReplyDelete
    Replies
    1. අප්සෙට් යන්නේ මොකද? හිරේ වැටුන නිසාද? ඉතින් නිදහස් උනානේ...

      චෝයි? හ්ම්ම් හ්ම්ම්

      Delete
  2. ඔයා මාර ඉක්මනට කතාව ලියනවනෙ.හිමීට කියවන්ඩ ඕනි නැත්තම් දැනෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. මේක ලියලා තිබ්බ කතාවක්. දැන් කරන්නේ ටයිප් කොටලා දාන එක විතරයි. ඔක්කොම කතාව ලිව්වේ මට අවුරුදු 18දී. මේ ලින්ක් එක බලන්න

      Delete
  3. අද නං කතාව උඩ ඉඳල පහළට ගානට කියවගෙන ආවා. (පොඩ්ඩක් විතර අතාත්වික උනත්) එහෙනං දිගටම මේ විදියට ලියන්න ඈ. ඔයා හරිම ලස්සනට ලියනව අනේ අවුරුදු දහඅටක කෙල්ලෙක් ලියපු එකක් කියල හිතන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. අතාත්වික කියන්නේ මෙයාල එකම තැනකට සෙට් උන එකද? වෙන්න ඇති. එකනේ මම කිව්වේ කතාව කියන්න පටන්ගන්නකොටම, සත්‍ය ප්‍රබන්ධයට වඩා සත්‍යයෙන් තොරයි කියලා.
      මේක ලියල තිබ්බේ ඒ කාලේ. බහින කලාවේ මම.. දැන් ලියන එව්වා ඇහුවොත් බල්ලෝ බත් නොකති

      Delete
  4. ඔන්න ඔක්කොම කියවල ඉවර කලා..වෙරි ගුඩ් ඈ....දහ අටේදි මෙහෙමනම් වැඩේ දිගටම ගෙනිච්ච නම් මේ වෙනකොට "සදහම් දිවයිනේ යොවුන් හදවත් කිතිකැවූ සිහින නවකතාකාරිය" වෙන්ට තිබ්බ බොට. ඔය දැං ඉන්න දෙකයි පණහෙ ලේඛිකාවො එහෙනං කැලේ...

    ReplyDelete
    Replies
    1. ඉවර නැත. තව ඇත.
      ආනේ.. ඔව්මයි... එහෙනම් මටත් පුළුවන් සතියකට වරක් සඟරාවක් ගහන්න.. ළමයින්ට නම් තියෙන පොත් ගහන්ට! අම්මේ බිසිනස් අයිඩියාස් උතුරනවා..
      ආපෝ.. චී.. සල්ලි නම් !

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...