Tuesday, March 21, 2017

82. ඔබ ඇවිත් යන්න එන්න... - 18

18
--------------------------------------------------------------
හා මහා සීතලක් දැනුනේ. ඇස්දෙක බොහොම අමාරුවෙන් ඇරලා බලනකොට තමයි මට තේරුනේ ඒ බිම සිමෙන්තියේ සීතල කියලා. මුළු ඇඟේම රෝමකුපයක් ගානේ ඇදුම් කනවා. මම අමාරුවෙන් වාඩි උනා. දෙය්යනේ මේ කොහෙද? මට ඉස්සරහින් තිබ්බේ සිරස් පොලු තොගයක්. වටේම කට්ට කළුවරයි. පොලු වලින් එපිට කාකිපාට ඇඳගත්ත මිනිස්සු... දෙය්යනේ මම මේ ඉන්නේ පොලිස් කුඩුවේ?? මට මොකද උනේ?



යන්තම බඩගාගෙන වගේ ඇවිත් පොලු අල්ලාගෙන නැගිටින්න හදනකොට මට කෙඳිරි ගෑවුනා. එතකොටම එතන බංකුවේ වාඩිවෙලා හිටපු කෙනෙක් නැගිට්ටා.

"කලන!"

චලනයා..! මට බුදුන් දැක්කා වගේ..

"මොකද බන් උනේ?"

"මට.. ව-තු-ර ටික-ක් දීපන්!"

"ඉන්න ඉන්න"

චලනයා දිව්වා.

"නෑ නෑ ... වතුර? දෙන්නේ නැහැ වතුර!! තියෙන ^^$^$&&^%$^% විසේ මදිවට තව වතුරත් දෙන්න?? තොපිට කාලා තෙල! හිටපන් මම උඹට හොඳ වතුරක් දෙන්න! &&^%^"



තරු තියෙන කාකි සූට් කාරයෙක් දෙවනත් වෙන්න බැන්නා. චලනයා වතුර බෝතලේ තියාගෙන අසරණ වෙලා බලාගෙන ඉන්නවා.

".......... මූට ඇප දෙන්නේ නැහැ. තමුසේ යනවා යන්න!"

චලනයාට රවන ගමන් තරු කාරයා ගිගිරුවා.
මම මරන්න නියමවෙච්ච හරකෙක් වගේ පොලුවල එල්ලිලා එලිය බලාගෙන. මේ මොන හෙනයක්ද? දොරෙන් එහා තිබ්බ කොටසේ කොනේ කවුද වාඩිවෙලා ඉන්නවා. චිරනි! මගේ ඇඟේ ලේ රත් උනා... චලනයා මගේ ගාවට ඇවිත් ඉක්මනට ඒ දර්ශනේ කවර කළා.

"මොකද බන් උනේ? මොකද්ද උඹ මේ කරගත්තේ?"

"මම කරපු බම්බුවක් නෑ... අරකි... අරකි පැනලා මාව බිම දාගෙන, හූරගෙන , හූරගෙන  ගියා... යක්සිනි.. එන්න කියපන් ඕකිට මම ^%#%^%^"

මට කටට වචන එන්නෙත් නැහැ. චලන බයවෙලා වගේ අහගෙන හිටියා. පොලිස්කාරයෙක් ආවා එතකොට මම ඉන්න පැත්තට.

"මේ... ඕයි.. තමුසේ කෙල්ලව බඳින්න කැමති නම් පැමිණිල්ල ඉල්ලලා අස්කරගන්න කැමතියිලු, තමුසේ මොකද කියන්නේ? මේක ගොඩින් බේරගත්තෑකි"

මට මතක් උනා සුද්ද සිංහලම. කියාගන්න බෑ , තොල් පැලිලා ඉදිමිලා, වෙව්ලනවා.

"ගොඩින්? මොනවද ගොඩින් බේරාගන්නේ ? ඉල්ලලා අස්කරගන්න බැරිනම්.. ඉල්ලලා %%^%&**&^"

"කලන.. කට වහගෙන හිටපන් යකෝ"

චලන මගේ කට වැහුවේ වදෙන් පොරෙන්. චලනයා වහගෙන හිටපු නිසා චිරනිව පේන්නේ නැහැ, මම කියපුවා ඇහෙන්න ඇති. ඒ තරම් හය්යෙන් මම කෑගැහුවේ.

එතකොටම , තලත්තෑනි පෙනුමක් තියෙන උස මහත පොරක් ආව. ඌට තිබ්බේ මහම මහා මරුමුස් පෙනුමක්. ආපු ගමන් ඌ මාව අල්ලගන්න අත දැම්මත්, මම පස්සට පැන්නා.

"ඉලන්දාරියා මේ.. සෙල්ලන් දාන්න එපා තේරුනාද? තමුසෙට මේකෙන් ගැලවෙන්න බෑ හරිද? උඹ චිරනිව බඳින්නම ඕනේ!"

මගේ දිහාට දබර ඇඟිල්ල දික් කරලා ඌ ගිගිරුවා.

"ඇයි ? තමුසේ මට මක් කරන්ඩද?"

"මක්කරඩද  ? තමුසෙව අතුරුදහන් කරන්ඩ උනත් පුළුවන් යකෝ මට!  තෝ දැනගනින්!"

"ඕවා කියනවා ගිහින් කොන්ඩේ බැඳපු සිමය්යලට.. මම කරපු ලබ්බක් නැහැ නාකියා! ගිහින් අහගන්නවා තමුසෙගෙ මහලොකු දූ පොඩ්ඩගෙන් "

එතකොටම කුඩුවේ දොර ඇරගෙන පැන්න කාකි සූට් ටිකක් මට ගහගෙන ගහගෙන ගියා. මම ඔලුවත් බදාගෙන බිම පෙරලුනා. අතින් පයින් නම් කමක් නෑ , බැටන් පොලු වලින්. තරු පිට තරු තොගයයි!

මට ඇප දෙන එක තහනම් කරලා කියලා දැනගත්තේ සිහිය ඇවිල්ලත් ගොඩක් වෙලා ගිහින් වටේ කතාබහ තේරෙන්න ගත්තමයි. ආපහු බලනකොට චිරනිවත් , අර බඩ තඩි මිනිහවත් පේන්න හිටියේ නැහැ. චලනයාව මම හෙව්වා... ඌ හිටියේ එළියේ බංකුවක , උගේ කකුලේ කොටසක් විතරයි මම දැක්කේ. කීප පාරක් එලෙව්වත් ඌ නෙවෙයි හෙල්ලුනේ.

මට මේ දේවල් හරියට හීනයක් වගේ. චිරනි! දෙය්යනේ චිරනි කොහොමද මට එහෙම දෙයක් කලේ? මේක සහගහන අපරාධයක්! කෙල්ලෙක් දුෂණය කරපු චෝදනාවකට මම අද හිර කූඩුවක. දෙය්යනේ.. දුෂණයක් තියා චිරනිගේ අතින්වත් අල්ලන්න මම හැදුවද? මේ මොන බේගලක්ද ? මේ නරි රැලත් මේ කතන්දරේට රැවටිලා මාව මරන්න හදනවා. ඒ මදිවට ලැජ්ජාව!!

වෙන වලියක් නම් ඉතින් කමක් නැහැ. ඒත් මේ වගේ ලැජ්ජා නැති දේකට කූඩුවේ ඉන්නවා කියන්නේ? මුළු ඇඟම පුපුරු ගහනවා. මට නිකිණි මතක් උනා. දෙය්යනේ මම කොහොමද ඒ කෙල්ලට මුණ දෙන්නේ?

මේ කිසි කෙනෙක් ,මම කියන දේ විස්වාස කරනවා තියා අහන්නවත් හදන්නේ නැහැ. චිරනිගේ ඩඩා ඇමති කටු කන එකෙක් කියලා මම දන්නවා. උගේ කටේ සවුදම ඇහුවම මට මගේ ඉවසීම නැතිවෙලා ගියානේ.

මාව අපරාධකාරයෙක් විදියට හංවඩු ගැහිලා. චිරනි හැසිරුනේ යකින්නියක් වගෙයි. දෙය්යනේ... නිකිණි ගැන දැනගෙන මාව පටලපු කරදරයක මහත ! දෙය්යනේ.. දැන් නිකිණි ගැන ඔක්කොමල්ලට කියලත් ඇති.

දෙය්යනේ.. දෙය්යන්ටවත් මේ අසාධාරණේ පේන්නේ නැද්ද? මම වේදනාව දරාගන්න බැරුව සීතල පොලවේ ගුලිවෙලා ඇඩුවා.

-----------------------------------------

මට කාටවත් මුණදෙන්න බැහැ. වැරැද්දක් කලාට නෙවෙයි, හංවඩුව නිසා. පහුවදා උදේ මට උන හැදිලා වගේ අමාරුයි. වතුර පොදක්වත් නැතුව හිටපු මට දවල්ට කන්න බත් එකක් දීගන්න චලනට පුළුවන් උනා. බත් ඇටයක් තියා වතුර පොදක්වත් මට ඒ වෙනකල් ලැබිලා තිබ්බේ නැහැ. මම බත් එක අතට ගත්තේ පිරියෙන් නොවුනට, බඩගින්න විසින් මාව පෙරේතයෙක් කරලා තිබුනා.

"අ.. අම්මල?"

"අම්මලා ඊයෙත් දවසම හිටියා, උඹට සිහිය තිබ්බේ නැහැ ඒ වෙලාවේ. අදත් උදේ පාන්දර ඇවිත් ගියා, උඹ ඇහැරිලා නෑ. මම කිව්වා යන්න කියලා. මම ඉන්නවනේ. තාත්ත ගියා අනික් වැඩ වලට. උඹ අප්සෙට් ගහන්න එපා. මම දන්නවා උඹ මේ විදියේ වැඩක් කරන්නේ නැහැ කියල"

"බලපන් චලන... මම දැන් කාටවත් මුණදෙන්නේ කොහොමද? මට පුළුවන් අරකිව මරලම දාන්න! %$%%^%&"

"ඒකිගේ තාත්තා කියනවා උඹ ඒකිව බැන්දොත් නඩුවක් දාන්නේ නැතුව පැමිණිල්ල අස්කරගන්නවා කියල"

"බම්බුව! මොන කෙබරයක්ද ඒ?"

"උඹ දන්නවද.. මේක සීරියස්..."

චලන මගේ ලඟට ඇවිත් පොලු අතරින් අත දාල මගේ උරහිසක් ඇල්ලුවේ වටපිට බලන ගමන්.

".. මෙඩිකල් රිපෝට් එකේ තියෙනවලු මේක රේප් කේස් එකක් කියල"

මට තරු පැන්නා !!

"මොකක්?"

මගේ බඩයි , පපුවයි 'හෝස්' ගෑවා. මේ මොන කුණුහරපයක්ද ?

"මොකද බන් ඇත්තටම උනේ?"

මම සේරම සිද්දවෙච්ච දේවල් ඇලපිල්ලක්, රේපයක් අඩු නැතුව කිව්වා. චලනයා අහගෙන හිටියේ පුදුමයෙන්.

"එහෙනං....."

මම කූඩුවට පයින් ගැහුවේ වේදනාවට උනත් තලලා දාලා තිබ්බ මගේ ඇඟ තවත් රිදෙන්න ගත්තා. හිතේ වේදනාව ඊට දහස් වාරයක් වැඩියි.

"... අරකි මාව රැවට්ටුව.. මම ඕකිට!"

"යකෝ.. කෑ නොගහ හිටහන්.. උඹ බයවෙන්න එපා. උන්ට බම්බු ගහන්න කියපන්. අපි නඩු කියනවා"

මම ඔලුවත් බදාගෙන බිම ඉඳගත්ත. මගේ ඔලුව කම්මලක් වගේ. චිරනි අටවපු උගුල නම් හරියටම හරි. මගේ හිතේ වෛරය ගිනි කන්දක් වගේ උතුරන්න ගත්තා. කෙල්ලෙක්ට තියෙන හොඳම අවිය එහෙනම් මම වෙනුවෙන් පාවිච්චි කල.. හොඳයිකෝ !

මාව බලන්න ආපු කිසි කෙනෙක්ව මම මුණගැහුනේ නැහැ. අම්මා ලොකප් එකේ කම්බි කූරු ලඟට වෙලා සෑහෙන්න වෙලා අඬලා අඬලා ගියත්, බිත්තිය පැත්ත හැරිලා කළුවරේ හිටියා මිසක් මම නෙවෙයි හැරුනේ. මටත් ඇඩෙනවා. චිරනි ගැන විතරක් නෙවෙයි මට මේ ඔක්කොම ගැන පුදුම වෛරයක් ඇතිවෙලා තිබ්බේ. තාත්තාත් මේවා විස්වාස කරලා ඇති. මාව එලියට ආවොත් පෙති ගහයි.

අම්මලා හවස වෙනකොට ගියා වගේ තේරුනත් චලන නම් ගියේ නැහැ. පොලිස් කාරයෝ ටික අමුතු ලෙඩක් තිබ්බ එකෙක් බලන්න එනවා වගේ ඇවිත් 'ආ...  මූද ඒ?' කියලා අහලා මාව හොඳට බලාගෙන යන එක මට පුසුම හිරිහැරයක් වෙලා තිබ්බේ. මට පුදුම දුකක් දැනුනේ.

හවස් වෙනකොට මම හෙම්බත් වෙලා. කවුරුත් පේන මානයේ නැති නිසා මම යකඩ කූරු ලඟට වෙලා දොරෙන් එළියේ පැමිණිලි ලියන මේසේ දිහා බලාගෙන හිටියේ කොයි වෙලේක හරි අර හැතිරි ආවොත් ඇත්තටම දෙකක් කියන්න.

"කලන"

මම ගැස්සිලා හැරිලා බැලුවා. දෙවියනේ නිකිණි! මම ඔලුව ගහගත්තා කකුල්දෙක ඇතුලේ.

"කලන.. කලන...."

"යන්න යන්න නිකිණි.. ප්ලීස් යන්න.."

"මාත් එක්ක කතාකරන්න කලන... කෝ එන්නකෝ.... අනේ එන්නකෝ.. ප්ලීස්..."

ඒ හඬට අවනත නොවී ඉන්න මට බැරි උනා. නිකිණි දිහා බලන්න බැහැ මට. නිකිණි අත්දෙක යකඩ කූරූ අතරින් දාලා මගේ මුණ ඒ අත්දෙකට මැදිකර ගත්තා. මම ඇස්දෙක වහගෙන හිටියේ.

"දෙය්යනේ..... දෙය්යනේ බේබි.. මේ මොකද උනේ? අනේ මට සමාවෙන්න බේබි... මට චලන ඔක්කොම විස්තරේ කිව්වා... මම නේද ඔයාට චිරනිට කතාකරන්න කියලා කිව්වේ... අනේ මම වගේ පවුකාරියක්! මම හිතුවේ නැහැනේ මේ වගේ දෙයක් වෙයි කියල... අනේ කලන... අනේ.... මගේ පපුව පැලෙන්න වගේ..."

මට ඇස්දෙක අරින්න බැහැ. මගේ හිතත් උණු වෙලා ඇස්දෙක දිගේ ගලාගෙන ආවා. නිකිණි එයාගේ ඔලුව යකඩ කුරුවල ගහනවා. මම ඉක්මනට යකඩ කූර මගේ අතින් ආවරණය කරගත්තා. නිකිනිගේ හඬ බිඳිලා... කටහඬත් බැරැන්ඩි වෙලා. විනාඩි කීපයක් අඬපු නිකිණි දිහා මම බලාගෙන හිටියා.

"ඔයා කාලද ඉන්නේ බේබි?"

"..................."

නිකිණි මගේ දිහා ඔලුව උස්සලා බැලුවා. මම අහක බලාගත්තා. ඇඟේ අමාරුවට වඩා හිතේ අමාරුව.

"ඔයා හිතන්න එපා මම ඔයාව අවිස්වාස කරනවා කියල. ඔය මේ වගේ වැඩක් කවදාවත් කරන්නේ නැහැ කියලා මට විස්වාසයි... මට කවුරු නැතත් ඔයාව විස්වාසයි බේබි"

මම යන්තමට නිකිණි දිහා බැලුවා. ඒ ඇස්වල තිබ්බේ ආදරේ. නිකිණි මගේ අත මෘදුව උනත් තදින් අල්ලගත්තා. ඒ උණුහුම; ආදරේ මට දැනෙනවා. මට මම ගැනම ආත්ම විශ්වාසයක් ඇතිවුනේ එතකොටයි. මම හිටියේ මම ගැනම හොඳටම බිඳ වැටිලා.

ගෙනල්ලා තිබ්බ කෑම එක නිකිනි මට එයාගේ අතින්ම කැව්වා. කන්න බෑ තොල් පැලිලා දැවිල්ලයි හොඳටම. එතනින් යන එන පොලිස් කාරයෝ මොනවදෝ මුමුණ මුමුණ යනවා. සමහරු නක්කලේට හිනා වෙනවා. මම වෙච්ච හැම දෙයක්ම නිකිනිට කිව්වා. නිකිණි හැමදේම අහගෙන හිටියේ උවමනාවෙන්. අන්තිමට හොරෙන් වගේ මගේ අත අරගෙන එයාගේ රෝසපාට තොල් වලින් හාදුවක් සටහන් කළා. මට දැන් අඬන්න ඕනේ..

"මම චිරනිට කතාකරන්නම්. මොකද්ද මේකේ තේරුම අහන්නම්"

"ඔයා යන්න එපා ඕකිගේ කකුල් දෙක ලඟට. ඒකි ඔයාටත් අපහාස කළා"

"ඒකට කමක් නැහැ බේබි. මට ඕන ඔයාව එළියට ගන්න"

"එපා නිකිණි. ඔයා කාටවත් බාල්දුවෙන්න යන්න ඕනේ නැහැ. මාව එලියට ගත්තොත් මම ඕකිව මරනවා!"

නිකිණි මගේ අත තද කරලා අල්ලලා මගේ ඇස්වලට එබුනා.

"ඔයාගේ තරහ සාධාරණයි. එයා ඔයාට හුඟක් ආදරේ කරන්න ඇති. ඔයාව මම උදුරාගත්ත කියලා එයාට තරහ යන්න ඇත්තේ"

"මම මොනවා කලාම ඒකිට මොකද?"

"එහෙම කියන්න එපා... සමහර වෙලාවට.. එයා... මට වඩා ඔයාට.. ආදරේ කරන්න ඇති.."

"බම්බුව... ගෑනු මායං! ආදරේට මෙහෙම කරනවද? ඔයා දන්නේ නැද්ද මට විරුද්ධව තියෙන කම්ප්ලේන් එක මොකද්ද කියල?"

මම කෑගැහුවේ වේදනාවෙන්. නිකිණි වටපිට බලලා මගේ නළල ඉම්බා. මාව සන්සුන් උනා.

".. මට ඕකිගේ නමවත් කියන්න එපා"

නිකිණි මගේ අත එයාගේ කම්මුලට තදකරගෙන මගේ දිහා බලාගෙන හිටියේ උතුරන ආදරෙන්; දුකෙන්. මගේ දුක, වෛරය ටික ටික දියවෙලා යනවා වගේ මට දැනුනේ. යන්තම් මගේ ඔලුව පැහැදිලි වෙන්න ගත්තේ එතකොටයි. මේ පටලැවිල්ලේ ඇත්ත දැනගන්නේ කොහොමද?

"මචං.. මචං.. අම්මල එනවා.."

චලන දුවගෙන ඇවිත් කිව්වහම, නිකිණි අඩියට දෙකට අනික් දොරෙන් පිටවෙලා ගියා. අම්මලා තාම දන්නේ නැහැ වගේ නිකිණි ගැන. මගේ හිත නිකිණි අරගෙන ගියාම ආයෙමත් මම මැලවුනා වගේ. අම්මලා එක්ක කතාකරන්න බැහැ , මම ආයෙමත් කූඩුවේ මුල්ලකට ගිහින් ගුලි උනා.

------------------------------------------

මම බිරාන්ත වෙලා චලනයා දිහා බැලුවා. කූඩුවේ දොර ඇරලා දාල , පොලිස් කාරයා මගේ අතට පෑනක් දුන්නා.

"මෙතන අත්සන් කරන්න"

අපෝ! තියෙන හැදිච්චකම. මට මතකයි මූ මට කුණුහරප කිය කියා බැටන් පොලු වලින් ගහපු හැටි. මම අත්සන් කරලා ඉවර වෙනකොටම චලනයා ඌ උගේ උරහිසට මාව තද කරගත්තා.

"අපි ගෙදර යමු අය්යේ.."

නංගිගේ කටහඬ ආවට මම ඒ පැත්තවත් බැලුවේ නැහැ. බිම බලාගෙනම හිටියා.

"යමන් කලන"

චලන මාවත් වාරු කරගෙන පොලිසියෙන් එලියට ආව. හරියට නපුරු හීනයක් දැකල ඉවර උනා වගේ. මේ දවස් දෙකට මම මැරි මැරී කොච්චර ඉපදුනාද? චිරනි... මේ මොන හීනයක්ද? මගේ අතපය වාරු නැහැ වගේ වෙව්ලනවා.

"ඒක ඉවරයි කලන. ගිය දේ ගියා. දැන් ඔක්කොම හරිනේ"

චලන මම කාර් එකට නග්ගවන ගමන් කිව්වා. චලන ඩ්‍රයිවින් සීට් එකේ වාඩි වෙලා. අම්මයි නංගියි පිටිපස්සේ සීට් එකේ. ඒ කියන්නේ තාත්තා ඇවිත් නැහැ. මගේ හිත තුවාලයක් පෑරුනා වගේ.

මම ඔලුව ඉස්සුවේ වත් නැහැ. අම්මා මාව බදාගෙන.

චිරනි.. එයා මැරිලා. මැරිලා නෙවෙයි.. සියදිවි නසාගෙන. ලියලා තිබ්බ ලියුමෙන් මම නිර්දෝෂයි කියලා ඔප්පු උන නිසාත්, එයාල පැමිණිල්ල අස්කරගත්ත නිසාත් මාව නිදහස් කළා. ඊයේ රෑ නිදිපෙති බිලා මැරිලාලු. මට නිකක් කරකවලා අතඇරියා වගේ.

"අම්මපා මෙහෙමත් කෙල්ලෝ... දැන් කාලේ හැදෙන එව්වෝ.."

"දැන් ඉතින් ඉවරයිනේ අම්මේ... ආයේ ඒ ගැන පූර්විකා ඕනේ නැහැ"

නංගි  අම්මගේ කතාව නතර කළා. අම්මගේ සුසුම් මට හරි බරක්. ආයෙමත් අම්මගේ ඉකිබිඳින සද්දේ මිසක් කිසිම කතාවක් ගෙදර යනකල් තිබ්බේ නැහැ. ගෙදර ගියපු ගමන් මං කාමරේට වැදිලා දොර වහ ගත්තා.

මගේ හිතට පුදුම වෙහෙසයි. දුකයි. පාලුයි. මම නිර්දෝෂියි තමයි.... ඒත්..

"පුතේ..."

අම්මා ඇඳගාව.. මට කාමරේ දොර ලොක්  කරන්න අමතක වෙලා වගේ. මාව ඉබේටම නැගිට්ටිලා ගියත්, ඇඳේ වාඩිවෙලා මම අහක බලාගත්ත. අම්මා මගේ ගාවින්ම ඉඳගෙන මාව තද කරලා බදාගත්තා.

".. මගේ රත්තරන් පුතේ.. පුතා හිතන්න එපා පුතා තනි වෙලා කියලා. තාත්තා ඔහොම හිටියට.. පුතාට පන වගේ ආදරෙයි. ගිය දවස් ටිකේ හරියකට කෑමක් බීමක් ගත්තෙත් නැහැ. පුතාට මේ ගෙදර හැමෝම ආදරෙයි. මගේ පුතාට දළදා හාමුදුරුවන්ගේ සරණයි"

මම අම්මගේ ඔඩොක්කුවේ ඔලුව තියාගත්තා. යන්තම් කඳුලක් උනනවා. මේ මුළු ලෝකෙන්ම අම්මෙක්ගේ ආදරේ මනින්න බැහැ කියල මම දන්නවා.

".. මගේ රත්තරන් පුතාව මට විස්වාසයි. ඔක්කොම දේවල් අමතක කරන්න වස්තුවේ. දැන් ඉතින්.. ගිහින් නාගෙන එහෙම.. බත්කමු. තුවාල ටිකට මම බෙහෙත් ගාන්නම්. මේ ටික දවසට මගේ පැටියා හොඳටම ඇදිලා ගිහින්"

අම්මා මගේ ඔලුව අතගගා එහෙම කිව්වහම මට දැනුනේ පුදුම සනීපයක්.
මට ඉන්නේ කවුද, නැත්තේ කවුද කියලා මට දැන් හොඳටම තේරෙනවා. චලන මගේ ලඟින් හෙලවුනේ නැහැ. ටෙරන්ස්, බුරියා උන් සේරම සෙට් කරලා අතුරුදහන් උනා. මුන් තමයි යාළුවො! මට හිටියේ කවුද, නැත්තේ කවුද කියලා හොඳට මතකයි. එක අතකට පාඩම සැර උනත් මේ සිද්ධියෙන් මම මිනිස්සු කවුද කියලා අඳුන ගත්තා.

තාත්තා කලින් ආව වගේ මට කාර් එකේ සද්දේ ඇහුනා.

"කලන.. අන්න උඹව තාත්තා අහනවා"

මම හිටියේ දවසම නිදාගෙන හෙම්බත් වෙලා. ඇඳේ ඉඳන් දොර පැත්තට හැරෙනකොටම මම දැක්කා දොර රෙද්ද මෑත් කරගෙන තාත්තා කාමරේටම එනවා. මම ඇඳේ වාඩි වෙලා හිටියේ ලෙඩෙක් වගේ.

එකපාරටම තාත්තා මාව බදාගෙන අඬන්න ගත්තා. පිය සෙනෙහසේ උණුසුම මගේ පපුවටම කාගෙන ගියා. මට හිතාගන්න බැහැ , මේ මගේම තාත්තද; අර දරදඬු හිට්ලර්මද කියල.

එදා රෑ කෑම  හුඟක්ම වෙනස්. තාත්තා අවුරුදු බර ගානකට පස්සේ ගිටාර් ගහනකොට මම ඇරෙන්න , හැමෝම වටවෙලා සින්දු කිව්වා. මට යන්තමට මතකයි අපි පුංචි කාලේ තාත්තා එහෙම අපිත් එක්ක සින්දු කියනවා.

බොරුවට අපිට සැරකලාට තාත්තා අපිට ආදරෙයි. ඇත්තටම ඒ ආදරේ අපිට පේන්නේ නැහැ. මට ඒ ආදරේ පෙනුනේ නැතුව ඇති. හුඟ කාලෙකට පස්සේ අපි හැමෝම හිතේ හැටියට එකිනෙකාට තියෙන ආදරේ පෙන්නුවා. මම නිර්වින්දනය වෙලා හිටියත් ඒවා දැක්කම හිත ගොඩක් හැදුනා.

අම්මා.. තාත්ත.. චලනයා... නංගි.. මේ හැමෝම මට කොච්චර ආදරේද?

"නිකිනිව හම්බ උනාද?"

නිදාගන්න යද්දී මම චලනගෙන් ඇහුව. චලන උත්තරයක් දුන්නේ නැහැ. මම ඔලුව උස්සලා එහා ඇඳේ නිදාගෙන ඉන්න චලන දිහා බැලුවා. ඌ හෙළ උනේ නැති උනත් නිදි නැති බව මම දන්නවා.

"චලන.."

"හ්ම්ම්"

"උඹට ඇහුනද මම අහපු දේ?"

"හ්ම්ම්"

"..........?"

"මට නිකිනිව හම්බ උනේ නැහැ.. ඇයි ?"

"එයා ගියාද දන්නේ නැහැ චිරනිව මුණගැහෙන්න."

චලන දඩ-බඩ ගාල නැගිටලා ඇඳ උඩ වාඩි වෙලා මගේ දිහා බය වෙලා වගේ බැලුවා.

"ඇයි ? යනවා කිව්වද?"

"මම එපා නම් කිව්වා. ගියාද දන්නේ නැහැ.. පවු චලන.. නිකිණි.. පවු අහිංසකි "

චලන මුකුත් කියන්නේ නැතුව ආයෙමත් නින්දට වැටුනා.

**********************************************

4 comments:

  1. ඇස් වලට කඳුලු ආව....ඇත්තෙන්ම දුකයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  2. නුවර පොලිසියෙ ඒ කාලෙ හිටිය මහ මරුමුස් සාජන් කෙනෙක්. පිළිමතලාවෙ අපෙ ගෙවල් කිට්ටුව මිනිහගෙ ගෙවල්. අර කළණයට ගහන්ට ඇත්තෙ අනිවා ඌම තමයි..මහ එපා කරපු එකා..

    ReplyDelete
    Replies
    1. කලනට අමතරව තව කට්ටිය එහි ගොස් ඇතිබව 'පෙනේ'

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...