Monday, March 20, 2017

81. ඔබ ඇවිත් යන්න එන්න... - 17


17
----------------------------------------
දෙය්යෝ දෙනකොට ටොකු ඇන ඇන දෙනවලු. කිව්වත් වගේ ටෙක්ස්ටයිල් කෝස් එක තියෙන්නේ නිකිනිගේ ගාමන්ට් එකේ. මගේ ඉහේ තරු මල් පිපුනා වගේ.

"බලාගෙන පුතෝ... බල්ලා සැරයි "

චලනයා කිව්වේ එහෙමයි.

මම මේ ගැන නිකිනිට කිව්වහම එයා මුකුත් කිව්වේ නැහැ. බයක් වගේ දේකුත් තිබ්බා වගෙයි පෙනුනේ. නිකිණි මට බලපෑම් කරන්නේ නැතිබව මම දන්නවා. නිකිනිගේ හිත හය්යයි , මටත් වඩා කියලත් හිතෙනවා. ඒ උනාට මට වඩා දහස්  ගුණයක් හරි අහිංසකයි.

එග්සෑම් රිසල්ට්ස් අවුට් වෙලා.

මගේ කකුල් මෙඩ්ලින් ගහනවා. තාත්තා ඔෆිස් යන ගමන් මරන්න නියමවෙච්ච හරක් දෙන්නව වගේ අපි දෙන්නව ඉස්කෝලේ ගාවින් දාගෙන ගියේ, සමහර වෙලාවට අපි නොයා ඉඳී කියලවත් හිතුවද දන්නේ නැහැ.
ටෙරන්ස් ඇවිත් හිටියා, ඌත් අපි වගේම හොල්මන් වෙලා වගේ හිටියේ. ප්‍රතිපල බලන්න කට්ටිය නෝටිස් බෝඩ් එක ගාව පොරකනවා. පොරකකා බලන්න අහවල් දෙයක් තියෙනවාය ? අපි දෙන්නා හිටියා පැත්තක වෙලා.



"යමං , උඹ බලපන්"

"උඹ බලපන්... මේ ජල්බරි අස්සේ මම කාගේ මොනවා බලලා එයිද දන්නේ නැහැ"

"උඹ බලපන් යකෝ"

"මොකද.. උඹ බයද?"

"ඇයි ? උඹ බයද?"

බයද කියලා අහනවා. බයට මුත්‍රාශයත් හිරවෙලා වගේ. මම අමාරුවෙන් චලනයාව පිටත්කරලා ඇරියා.
දෙය්යනේ... ලයිට් කණුවක් තිබුනොත් පුතේ..උඹේ අවසානේ. මට තාත්තගේ හම්පටි බෙල්ට් එක මතක් උනා. ඒකෙන් පස්සට නෙලනකොට තමයි සුර සැප! මට නිකන් වදිනවා දැනෙනවා දැනෙනවා වගේ.
යකෝ... මේකා ප්‍රථිපල අච්චු ගහනවද? මගේ බඩත් දනවා. ටෙරන්ස් එනවා! මුගේ මූන... හැප්පිච්ච ලොරි බාගයක් වගේ.



"මොකද බං ?"

"......."

"අවුල්ද?"

 මට ටෙරන්ස් දිහා බැලුවා. මගේ බඩ දනවා හොඳටම.
"සී හතරයි බං "

"මරුනේ"

මට කිය උනා. ටෙරන්ස්ට නම් සන්තෝස නැහැ වගේ.මට තියනවා නම් දනී මම උඩ පනින විදිය.

"උඹට?"

"චලනයා බලන්න ගියා"

"මට උඹත් එක්ක පොඩි කාරනාවක් තියනවා කතාකරන්න. චලනයා ඉස්සරහ බෑ "

වලිගෙ ගිනිගත්ත වෙලාවේ අහවල් එක තියෙනවාද බලනවා වගේ! මට මල පැන්නත් පාලනය කරගත්තා.

"කියපන් ඉක්මනට"

"උඹ චිරනිව අතඇරියද ?"

මට කියන්න දෙයක් නැහැ.

"... උඹට පිස්සුද කලන? චිරනි කොච්චර ලස්සන කෙල්ලෙක්ද? උඹට ඔය වගේ කෙල්ලෙක් ආයෙනම් කවදාවත් හම්බවෙන්නේ නැහැ. කීදෙනෙක් මරාගත්තද චිරනිට?"

"අනේ මේ ටෙරන්ස්... මගෙන් කුණුහරප අහගන්න එපා"

මම කියලා දැම්මා. චඃ! මොන චිරනියෙක්ද?

"මේ බලපන්.. චිරනි හුඟක් දුකෙන් ඉන්නේ"

"උඹට හම්බුනාද? කවදද?"

"ඔව්... උඹව මුණගැහෙන්න ඕනේ කිව්වා. හෙට තුනහමාරට, ක්ලොක් ටවර් එක ගාවට, උඹ වරෙන්"

මට නිකිණි කියපු දේවල් මතක් උනා. එහෙනම්... බලමු! මොනවද චිරනිට කියන්න තියෙන්නේ කියල!!

".............."

"හරිද? "
"................"

"හරිද මචං.. හරිද?"

"හ්ම්ම්"

මම ඕනෙවට එපාවට කිව්වා. ටෙරන්ස් මගේ පිටට තට්ටුවක් දාල ගියා.

චලනයා එනවා. මගේ පපුව 'ඩෝන් පටෝන්' ගානවා. අනේ... මගේ ජිවිතේ..... යකෝ මූ මොකක් කියයිද? මම උගේ මූන දිහා බැලුව හොරෙන් වගේ.

"කූල් මචන් යමු"

මගේ පපුව පත්තු වෙලා.

"මොකද? ගොඩද?"

"ම්ම්... ගොඩ"

"හ්ම්ම්ම් කොහොමද බං.. උඹට?"

"මට?..... සී දෙකයි.. එස් දෙකයි"

පුහ් ! මගේ පපුව යන්තම් හෑල්ලු උනා. ඒ ඉතින් ඌ නේ.. මට?

"ම.. ම ට?

මගේ හුස්ම හිරවෙන්න වගේ. චලනයා මගේ පිටට තට්ටුවක් දැම්මා, යන්තමට හිනාවකුත් එක්ක.

"උඹට එස් දෙකයි"

මගේ ඇස්දෙක නිලංකාර වෙලා ගියා. ඒ කියන්නේ.. යකෝ..... මම වැඩ දෙකක්ම ෆේල්! ෂුවර් එකට පියෝයි, අප්ලයිඩුයි වෙන්න ඇති. මාව ඉබේම තාප්පෙට හේත්තු උනා.

"යමන්.. ගෙදර යමු"

අම්මා කිව්වේ මොකක් තිබ්බත් ගෙදර එන්න කියල, මට ඒක මතක් උනේ.

"ආ.. මේ ජෝඩුව මොකද මේ? කොහොමද රිසල්ට්ස් බැලුවද?"

මලා! අජිත් සර්. අපිට මැතිස් කරපු සර්. මම බිම බලාගත්තා.

"ඔව් සර්"

"results කොහොමද? චලනට කොහොමද?"

"සී දෙකයි, එස් දෙකයි සර්"

"ඔය පේනවද... ගියපාරට වඩා හොඳයි නේද? බැරුව නෙවෙයි. කලන?"

"එස්... දෙකයි... සර්..."

මම ඇහෙන නෑහෙන ගානට කිව්වා. අජිත් සර් මගේ උරහිසට අතක් තිබ්බා.

"ගණන් ගන්න එපා පුතා. බැරිකම නෙවෙයි, උනන්දුව නැතිකම. උඹල දෙන්නා ඕලෙවල් කරනවා වගේ කරන්න හදපු එකයි වැරැද්ද. ඕලෙවල් ඉහලිම්ම පැනගත්තනේ , ඉතින් උනන්දුව නැතිවෙලා ඉබේම කඩන් වැටෙනකල් හිටියා. ගියදේ ගියාවේ.. පිස්සු නැටුවා ඇති. ආයෙත් කරහල්ල. බැරි මොනවහරි තියෙනවා නම් ඇවිත් අහගිනින්. උඹල හොඳ කොල්ලෝ, නිකං විහින් නාස්ති වෙනවා"

අජිත් සර් කියපු කිසි දෙයක් මගේ ඔලුවට ගියේ නැහැ. සර් හැමවෙලේම චලනයාවත්, මමත් උනන්දු කළා තමයි. ඇත්තටම මට නම් කිසිම ඕනෙකමක් තිබ්බෙම නැහැ.
අජිත් සර්ගේ වචන වලට හිත ටිකක් හරිගියා වගේ. චලනයාත් එක්ක මම බස් එකට නැගලා, මුනවල් දෙකම හංගගෙන මුල්ලකට උනා. නැත්තම් දකින දකින එකා අහන්නේ රිසල්ට්ස්.

ගෙදර ලන්වෙච්ච ගමන්, නියුට්‍රල් එකේ තිබ්බ පපුව හයිස්පිඩ් ගැහෙන්න ගත්තා. මාව ඉබේටම නතර උනා පාර මැද්දේ.

"කලන යමන්"

මම නෙවේ හෙල්ලුනේ.

".. තාත්තා ටිකක් කෑගහයි. එච්චරනේ. ඕක දවසක් දෙකක් ඉවසපන්. එන හැටියකට මුණදෙමු"

මූ නම් කියයි! මුට සැනසෙන්න සී දෙකක්වත් තියෙනවා.කණු දෙකෙන් මම ගෙදරට ලයිට් දෙන්නද? මාව පෙති ගහයි.

"උඹට මොකද.. මමනේ කන්නේ. උඹට ගියපාරට වඩා හොඳයිනේ"

"උඹ දැන්ද ඒක හිතන්නේ? කොහෙද.. කොහෙවත් යන බඩු හින්ද උඹනේ කුලප්පු වෙලා හිටියේ. උඹ ක්ලාස් ආවද? පාඩම් කලාද? ඒ මොකවත් නෑ ! මම උඹට ඒ දවස්වලම කිව්වේ. දැන් ඉතින් විඳවපන් ! "

චලන කියෝගෙන කියෝගෙන ගියා.

"...................."

".. උඹ බයවෙන්න එපා... මම ඉන්නවනේ.. මම බොරුවක් හරි කියන්නම්"

චලන කතාකලේ නිවිච්ච ස්වරයෙන්.
ඊට පස්සේ දේශනයක් දීලා ගෙදරට ඇදගෙන ආවා. මගේ වෙලාවට ගෙදර කවුරුත් නැහැ. අම්මයි, නංගියි දෙන්නම ඉස්කෝලේ ගිහින්. අපි දෙන්නා දොර ඇරගෙන ඇතුලට රින්ගගත්තා.

----------------------------------

ගල් ගුහාවේ මකරා ආවා. දැන් ඉතින් ඉවරයි. මම කාමරේ එහාටයි මෙහාටයි ඇවිද්දේ ගිනි පාගනවා වගේ. අල්පෙනිත්තක් වැටෙන සද්දෙට උනත් දැන් මාව ගැස්සෙනවා.

".. කෝ මේ දෙබාන?"

මාව ගැස්සුනා, සාලෙන් ඇහෙන්නේ තාත්තගේ කටහඬ.

"අන්න ඉන්නවා කාමරේ.. පොඩි මෑන්.. ලොකු මෑන්! මෙන්න තාත්තා කතා කරනවා"

මට දැන් පාචනේ වගේ. මම බයවෙලා චලනයා දිහා බැලුවා.

"කලන.. උඹ මගේ රිසල්ට්ස් කියපන්, මම උඹේ රිසල්ට්ස් කියන්නම්"

මට චලනයා ගැන දැනුනේ පුදුම ආදරයක්. මූ නම් පුදුම බොක්කේ සහෝදරයෙක්!

"එපා බං... මම වැරදියි. මම ඒකට දඬුවම ගන්නම්"

මම බුවා වගේ කිව්වා. ඒ උනාට බය කන්දෙක දිගේ බේරනවා. මම ඝනකම් කලිසමක් ඇඳගත්තේ හම් පටියට වැඩිය නොරිදෙන්න. ඒ උනාට තාත්ත සමහර වෙලාවට සරම ඇඳගෙන එන්න කියලා නෙලන්නේ.

"කෝ.. මොකද පරක්කු?"

අම්මා කෑගහනවා. පරක්කු ඉතින් කලන්තේ නිසා!

අපි දෙන්නා හුඹහෙන් ඇදලා ගත්ත ගෙම්බෝ දෙන්නා වගේ හෙමින් හෙමින් එලියට ආව. සාලේ තිබ්බ හාන්සි පුටුවේ සුපුරුදු විදියට තාත්තා මේස් ගලෝනවා.

"රිසල්ට්ස් බැලුවද?"

"ඔව්"

"කොහොමද?"

"චලනට සී දෙකයි, එස් දෙකයි.. මට.. එස් දෙකයි"

මම පට පට ගාල කියලා දැම්මා.

"එස් දෙකයි?????!"

බිම් බෝම්බයක් පිපිරුණා වගේ , වටේටම තරු වගේ දේවල් විසි වෙනවා මට දැනුනේ.

තාත්තගේ මුණ බලාගෙන ඉන්නකොට රකුසු උනා. ගැහුවොත් ගහපුදෙන් කියලා මම ඇස්දෙක පියාගෙන ඔලුව කෙලින් කළා.

"ඇත්තද විමලා මේ කියන්නේ?"

සාලේ දෙදරන්න සද්දෙන් එහෙම කියලා තාත්තා ගුලිකරපු මේස් දෙක කොහේටදෝ විසිකරනවා ඇහුනා. මම එක ඇහැක් ඇරලා බැලුවා.

"අනේ ඕක අත අරින්න තිලකේ... ලොකු පුතාට අයෙමත් විභාගේ ගන්න පුළුවන්නේ.. පොඩි එකාගේ රිසල්ට්ස් ඇතිනේ ප්‍රයිවට් ඩිග්රි එකක් කරන්න. දැන් කෑගැහුවට වැඩක් නෑනේ"

".................."

හුස්ම පවා දැනෙන දීර්ඝ නිහැඬියාවක් අස්සේ මම ඇස් දෙකම ඇරියේ මොන හෙනයක්, කොයි පැත්තෙන් ඔලුවේ වදියිද කියල කල්තියා දැනගන්න. ටික වෙලාවක් ඔලුව පහතට කරගෙන, අත්දෙක ගැටගහගෙන හිටපු තාත්තා ඉස්සරහ අපි දෙන්නා තාමත් සීරුවෙන්.

"හ්ම්ම්"

මම ආයෙමත් ඇස්දෙක වහගත්තා. ආයෙමත් තත්පරයක් විතර යනකොට හුළඟක් වගේ දැනුන නිසා ඇස්දෙක අරිනකොට තාත්තා පුටුවේ නැහැ.

පුදුමයි!

මම හිතුවේ අඩුම තරමේ හතරකොන පැනලා පොල් අඩි තුන හතරක් වදියි කියලා. අඩුම තරමේ හොඳවයින් ලුණු - ඇඹුල් මොනවහරි? මමයි චලනයි දෙන්නම මුනෙන් මුණ බලාගත්තේ පුදුමෙන්.

"ඒකනේ මම කිව්වේ.. කූල් !"

චලනත් අමාරුවෙන් හිනා උනා. අපි දෙන්නටම ෂුවර් නැහැ. මට හිනා ගියේ ටික වෙලාවකට පස්සේ.
යන්තම් අපි දෙන්නා කකුල්දෙක වාරු කරගෙන ආයෙමත් කාමරේට රිංගගත්තා. මේක නම් අදහන්න බෑ. මරණෙන් ගැලවුනා වගේ.
මේ වගේ දෙයක් නම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.

"පුතා... ලොකු.... අන්න තාත්තා කතා කරනවා.. තාත්තගේ කාමරේ"

අම්මා ආටියක් වගේ එකක් එව්වා, මාව රත් වෙන්නම! මාව ඇඳෙන් පැන්නිලා නිකම්ම එළියට එවුනා. කාමරේ ලඟට යනකොට පේනවා තාත්තා ඇඳේ වාඩිවෙලා ඉන්නවා, අත් දෙකත් දෙපැත්තට ඇන තියාගෙන වගේ.

"ඇතුලට එනවා..!"

මාව නිකම්ම ඇතුලට විසි උනා..

"............ මොකද වැඩ දෙකක් ෆේල්?"

බුදු අම්මෝ.. ඒ සද්දෙට උඩ තට්ටුවේ වහලෙත් උඩ යන්න ඇති. මට කටේ ගම් ඇලවිලා වගේ.

"............ මෙහෙට එනවා.. ළඟට එනවා!"

මම අඩියක් ආයෙමත් ඉස්සරහට තිබ්බ. අතේ දුර බොහොම වැදගත්, ඒ වගේම කාමරේ දොර තියෙන තැනත් මතකේ තියාගන්න ඕනේ! කොහෙට නෙලයිද කවුද දන්නේ?

"......... ඇහුනේ නැද්ද මම අහපු දේ? මොනවද ෆේල්?"

"ප්.. පියෝයි.. ඇ-ඇප්ලයිඩුයි "

"මොකද ෆේල් උනේ?"

ඒක යකාගේ ප්‍රශ්නයක්නේ.. පේපර් එක බලපු එකානේ ඒක දන්නේ. ඒත් ඉතින් ඒක තාත්තට කියන්නද? මම බිම බලාගත්තා.

"ත.. තමුසේ ක්ලාස් ගියාද?"

"ඔව්"

"එහෙනම් මොකද ෆේල් උනේ? අවුරුදු කීයක් ඉගෙනගෙනද ඔය?ඈ ? තමුසේ හිතන්නේ මට සල්ලි තියෙන හින්ද ඕනේ මගුලක් නටාගත්තම හරි කියලද? තමුසේ දන්නවද.. මම මේ තත්වෙට ආවේ ගොඩක් මහන්සි වෙලාද කියල...? එකපාරක් බැරිවෙන්න පුළුවන්.. දෙවෙනිපාර වත් කරගන්න බැරි උනාද? බලනවා... මට පුලුවන්ද මිනිස්සුන්ට මුණ දෙන්න? විමලාට පුලුවන්ද ස්ටාෆ් එකට මුණ දෙන්න?"

මට දෙන්න උත්තරයක් නැහැ. ඉලව් මුණ දෙවිල්ලක් ගැන කියනවා. මම බයේ හිටියේ කොයි වෙලේද අත ඉස්සෙන්නේ කියලා.

".........ආපහු විභාගේ කරනවද?"

".................."

"කතාකරනවා...!"

"නැහැ"

"එහෙනම් අර ටෙක්ස්ටයිල් කෝස් එකවත් හරියට කරගන්නවා... ඒකත් ඔය වගේ අනාගෙන තිබුනොත්.... මම නොකිව්වයි කියන්න එපා.... මේ ගෙදරින් උඹව එලියට දානවා, පුළුවන් විදියට හම්බකරගෙන කන්න බැරිය? තේරුනාද?"

"..............."

"තේරුනාද?"

"ඔව්"

"දැන් යනවා..! කවද ඉඳලද කෝස් එක පටන් ගන්නේ?"

"ලබන මාසේ පලවෙනි සඳුදා ඉඳල"

"හ්ම්ම්.. යනවා දැන්!"

සන්සුන් ගමනින් වගේ කාමරෙන් එලියට ආවත් එලියට අඩිය තිබ්බ ගමන් මම අඩියට දෙකට අපේ කාමරේ!

"ඇද්ද වීරයට ?"

ඒ යන අතරේ නංගි කියනවා ඇහුනා. යකෝ.. ඉඳපන්කෝ...!

 ----------------------------
ටෙරන්ස් කෝල් කලාමයි මතක් උනේ.  මම දඩිබිඩි ගාලා චලනයාවත් ඇදගෙන ගෙදරින් එලියට පැනගත්තා. යනගමන් තමයි ඔක්කොම විස්තරේ කියන්න උනේ. 

"ඉතිං?"

චලනයා ඉද්ද ගැහුවා වගේ නතර උනා. 

"ඇයි?"

"උඹ ඉතිං යනවද?"

"ඔව් ඉතිං මම අහගන්න ඕනෙ එයාට මොනවද කියන්න තියෙන්නෙ කියලා"

"හදිස්සියෙම මොකද මේ කරැණාවක් පහල උනේ?"
මම යන්තමට හිනා උනා. 

"....උඹට කවුරැහරි ඔපීනියන් එකක් දුන්නද?"

"නැහ්"

"ඤදැක් නෙවෙයි. උඹේ කෙල්ල දන්නවද?"

"ඔව්.... එයා තමයි කිව්වෙ"
චලනයාගේ ඇස් ලොකු උනා. 

"උඹ චිරනි ගැන කිව්වද?"

"ඔව්"

"ඉතිං?"

"ඉතිං නතිං... !"

"මාරයිනෙ"

මට දැනුනෙ ආඩම්බරේ ඉවරයක් නෑ. නිකිනි වගේ කෙනෙක් තමයි මම බලාපොරොත්තු උනෙත් ඇත්තටම. බොක්කෙ තියෙන ඕන දෙයක් දෙගිඩියාවක් නැතුව කියන්න පුලුවන්!

මම ක්ලොක් ටවර් එක ගාවට ආවෙ ඕනවට එපාවට වගේ. ටෙරන්ස් ,බුරියත් එක්ක ⁣හෝල්ට් එක ඇතුලේ හිටියේ චිරනි. මම පුදුමෙන් අරුන්  දෙන්නා දිහා  බැලුවා. මුන් දෙන්නා මේ මොකාටද?

"කලන. මේක මෙතනින් ඉවර කරමු. ප්‍රශ්නයක්  නෑනෙ. "
"මොකක්? ප්‍රශ්නයක්  තියෙනවා! "
උගේ ස්වරය මට රතු කට්ට පැන්නුවා. 

"කලන... ටෙරන්ස් අය්යා.  මේක අපි දෙන්නා බේරගන්නං. තෑන්ස් ඔය දෙන්නට"
චිරනි මැද්දට පැනලා එහෙම කිව්වම උන් දෙන්නා යන්න ගියා. මම නං හොම්බට දෙකක් අනිනවා ආයෙ එක වචනයක් කිව්වා නං. 

"අපි දෙන්නා තනියම කතාකරමු"
චිරනි චලන දිහා බලලා කිව්වා. 

"චලන හිටියට කමක් නෑ. කියන දෙයක් ඉක්මනට කියන්න. "
මම චිරනිව ගනන් ගන්නේ නැතුව කිව්වා. 

"මට ඔයාට ප්‍රයිවට් එකේ කතාකරන්න ඕන කලන... ඔය තරං නපුරැ වෙන්න එපා. "

"මම තව ටිකකින් එන්නං මචං. පැයකින්?"

මම මුකුත් කියන්නත් කලින් චලන පාර පැනලා යන්න ගියා. මම අහක බලාගෙන. ආයෙමත් අර තරහා මගේ ඔලුව යකෙක් කරනවා.

"දැන් ඉතිං කියන්න"

"අපි යමු වේල්ස් පාක් එකට"

මම ටිකක් කල්පනා කලා. එක අතකට මෙහෙම හෝල් සේල් එකේ ඉන්න එක මට හරි නෑ. මම ඉස්සර උනා. චිරනි මගේ පස්සෙන්. ⁣දළදා වීදිය ඔස්සේ ඇවිදගෙන යනකොට ඩෙවෝන් එක හරියෙදී හීනෙන් වගේ මට මතක් උනා මේ වගේම අපි දෙන්නා ඇවිදගෙන ගිය හැටි. 

චිරනි එදා මෙතනදීම මගේ අතින් අල්ලපු වෙලාව. කෙල්ලෙක්ගෙ කියලා මුලින්ම අතින් ඇල්ලුවේ එදා. ඒ තැනම, අපි දෙන්නා දැන් පාරවල් දෙකක! එදා මම චිරනිට ආදරෙන්, අද ඒ හිතින්ම වෛරයෙන්..  කොල්ලෙක්ගේ හිතේ වෛරයක් ඇති උනාම ඒක ලේසියෙන් මැකෙන්නේ නැහැ. මම පය ඉක්මන් කරලා යන්න පටන් ගත්තා.

"කලන.. හෙමින් යමු"

චිරනි මගේ අතින් ඇද්දා. මම විදුලි වේගෙන් අත ඇදලා ගත්තා.

" මට වෙලා යනවා!"



මම කෙලින්ම ගිහින් නතර උනේ වැවරවුමේ උඩ තියෙන Wales පාක් එක ගාව. ඒ පාක් එක කොහොමත් දවල්ට පාලුයි. මට ඇතුලට යන්න හිතුනේ නැහැ. චිරනි මගේ ලඟින්ම ඇවිත් හිටගත්තා. මම චුට්ටක් එහාට උනා.

"කලන.."

".........."

"ඇතුලට යමු"

මම චිරනිට අත අල්ලන්න නොදී හෙමින් ඇතුලට ගියේ අකමැත්තෙන්.

"ඔයා ගොඩාරියක් වෙනස් වෙලා කලන. ඔයා ඉස්සර හිටපු කලන නෙවෙයි"

චිරනි බංකුවක් ගාවට ගිහින් වාඩි උනා. මම ටිකක් එහාට වෙන්න හිටගෙන  හැඟීමක් නැතුව ඈත බලාගෙන හිටියා. මල වදයක් වෙන්නයි යන්නේ.

ජෝඩු ගොඩක් ඉන්නවා, තැන් තැන්වල. චිරනිව මෙතනට මම කවදාවත් එක්කගෙන ඇවිත් නැහැ. මට දැන් අවුල් වගේ.

"ඇයි කලන, මට මෙහෙම කරන්නේ? ඇයි ඔය තරම් නපුරු? ඔයා ඔයතරම් නපුරු උනේ කොහොමද?"

"දැන් ඕකද ඔයා කියන්න ආවේ තකහනියක්?"

"කලන..!"

චිරනි මගේ ගාවට ඇවිත් ආයෙමත් අත අල්ලන්න හැදුවා. මම ගස්සලා එහාට උනත්, ආයෙමත් ඇවිත් මගේ බඩ මැද්දෙන් තදකරලා බදාගත්තා. මම චිරනිව එහාට තල්ලු කළා.

"පි.. පිස්සුද හලෝ තමුසෙට?"

මට දැන් මාර අවුල්.

චිරනි අඬන්න වගේ. මාව තරහින් එකපාරටම වෙව්ලන්න ගත්තා. 'පලිගන්න එපා.. ඇහුම්කන් දෙන්න' මට නිකිනිගේ වචන මතක් උනා. මම සන්සුන් වෙන්න උත්සහ කළා.

".. ඔයා හරියට මගේ හිත රිද්දනවා. ඔයා මගෙන් පළිගන්නවා. ඔයාට අලුත් ගර්ල් කෙනෙක් හම්බෙලාද මාව එපා උනේ?"

මම ඔලුව එකපාරටම හරවලා චිරනිව දවලා අළු කරන බැල්මක් දැම්මා.

"කාටද එපා උනේ? ප්‍රශ්නේ ඔයාගෙන්ම අහල බලන්න චිරනි. මේ තත්වෙට එන්න වැඩ කලේ කවුද? මමද? මහේෂ් කියන එකා එක්ක රවුම් ගැහුවේ කවුද? මමද? ඉතින් මම දැන් කවුරු එක්ක යාලු උනත් ඔයාට ඇති රුදාව මොකද්ද? ඔව්.. මට අලුත් ගර්ල් කෙනෙක් හම්බ උනා තමයි. ඉතින් මොකද?"

චිරනි අඬන්න ගත්තා. මම චිරනිට පිටිපස්ස හරවලා හිටගත්තේ තවත් තරහා වැඩිවෙන හින්දා. මගේ මුළු සර්වාංගෙම වෙව්ලනවා තරහට; ආවේගෙට.

"ඔයා මාව රැවට්ටුවා කලන... ඔක්කොමල්ල දන්නවා අපේ එෆෙයාර් එක... ඔයා ඔය මොන හිතකින්ද කියන්නේ?"

"ඔයා ඔය මොන කටකින්ද අහන්නේ?"

"කලන.. ඔයාට වැරදිලා"

"නෑ.. මට වැරදිලා තිබිලා හරි ගියා"

'ඇයි කලන. මම ඔයාට මොකද්ද කලේ මට මෙහෙම සලකන්න? "

"ඇයි දැන් මාව හොයාගෙන එන්නෙ? "

චිරන් ඒ ප්‍රශ්නෙට බයෙන් වගේ ගල් ගැහුනා.

"අනේ කලන... අනේ බබා... අහන්නකො ඉතින්.... ආදරේ හින්දනේ... ඇයි බබා ඔයා මට ආදරේ නැද්ද?"

මම නොරිස්සුමෙන් අහක බලාගත්තේ මහා පිළිකුලක් දැනුන නිසයි. මම උත්සහ කලේ සන්සුන් වෙන්න.

" අපි රණ්ඩු වෙන එකේ තේරැමක් නෑ. ගියදේ ගියා. අපේ එෆෙයාර් එක ඉවර වුනේ ගොඩ දවසකට කලින්. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. "
"පාඩුවේ? ඔයාටයි ඔයාගේ අර වල් ගෑනිටයි! එහෙම නේද?"

මට අකුණක් වැදුනා වගේ උනා.

".. මම ආවේ ඔයාට උදව් කරන්න. මට ආදරේ කරපු කෙනෙක් ප්‍රොස්ටිටියුට් කෙනෙක් එක්ක පැටලිලා කියලා දැනගත්තම උදව් කරන්න... මම ඔයත් එක්ක ඇඳට ආවේ නැතුවට.. ඔයාට ආදරේ කළා"

ආපහු හැරුණු මගේ අත විදුලි වේගයෙන් චිරනිගේ කම්මුල හරහා ගියා.

ඒ පාර කොච්චර සැරට වැදුනද කියනවා නම්, චිරනි කැරකිලා ගිහින් බිමට වැටුනා හතර ගාතෙන්. එකපාරටම ආවේසයෙන් වගේ නැගිට්ට චිරනි මගේ ඇඟට පැන්නේ යක්ෂණියක් වගේ. ඇඟට පැනපු ගමන් කොටි දෙනක් වගේ මාව හුරගෙන හුරගෙන ගියේ මට හිතාගන්න බැරි  විදියට.

කොහොමවත් හිතුවේ නැති මේ හෙනෙන් මම නිකම්ම බිමට පෙරලුනාම, චිරනි මගේ ඇඟ උඩ  නැගගෙන හුරන්නත්, හපන්නත් ගත්තේ යටිගිරියෙන් කෑගහන ගමන්. මම නැගිටින්න හදනකොට චිරනිව බිමට පෙරලුනා. මම දැන් චිරනිගේ ඇඟ උඩ.

කොහෙන්ද මන්ද මිනිස්සු වට උනා මේ සංදර්ශනේ බලන්න. මම චිරනිව අහකට විසික් කරලා දනි-පනි ගාල නැගිට්ටා. මුළු ඇඟ පුරාම මඩ. ෂර්ට් එකේ බොත්තම් ඔක්කොම කැඩිලා.

"නෑ .. නෑ .. ප්‍රශ්නයක් නෑ....."

මම සාමාන්‍ය වෙන්න හැදුවා. ඔක්කොමල්ලා ඇස්ගෙඩි දොඹ ගෙඩි කරගෙන, සමහරු අතින් කට වහගෙන.

"මේකා.. මේකා මාව රේප් කළා !"

චිරනි මහා හය්යෙන් කෑගහන්න ගත්තම මට දවල් තරු පෙනුනා.

දෙය්යනේ චිරනිගේ ඇඳුම් ඉරිලා. ඒ මොහොතත් එක්කම මිනිස්සු පොදියක් මගේ ඇඟට කඩාගෙන පාත් උනා. මගේ ඇස්වලින් තරු පංති පිටවෙනකොට, කටක් ඇරගන්න බැරිවෙන්න මගේ කම්මුලට උන්ගේ ශක්තිමත් අත් වලින් මුෂ්ඨි ප්‍රහාර එල්ල උනේ හීනෙන් වගේ. මට එක වචනයක් කියන්නවත් ලැබුනේ නැහැ ; පිරිමි ඔක්කොම කලේ මට අතොරක් නැතුව ගහපු එක. ඊට පස්සේ මොකද උනේ කියලා දෙය්යෝ තමයි දන්නේ


*******************************

to be cont...

12 comments:

  1. kathawa liyapu ekata hena gahanawa haloooo. Ada notification awe na kiyahanko. Nikamata awama dakke. Blogger ekatath henagahanawa....

    ReplyDelete
    Replies
    1. හත්වලාමේ.. මොකද මේ මට හෙන ඉල්ලන්නේ?
      :-(

      Delete
  2. Oya karapu wade harida mn ahanne aah??? Kello Ohommai.... Paw ahinsaka kolla!!!

    ReplyDelete
    Replies
    1. බොදු අම්මෝ.... මෙයාගේ සැර !
      ඇවිල්ල ඇප දීලා ගන්න එකයි ඇත්තේ.

      Delete
  3. අපි වගේ පුන්චි ළමයි වේල්ස්ප් පාර්ක් යන්නැති නිසා හොඳයි.:D

    ReplyDelete
    Replies
    1. මමත් ගිහිල්ලා නැත.

      Delete

  4. අද තමයි කාලෙකට පස්සෙ ඔහෙගෙ බ්ලොග් එකට Access ලැබුනෙ.. පහුගිය ටිකේ මොකක් හරි අවුලක් තිබ්බ.

    ඉස්සෙල්ලම ඔන්න එහෙනං වැරැද්දක් හොඳද? වේල්ස් පාක් කිව්වට රජවාසල උද්‍යානයෙ හරිම නම ඇවිල්ල වේස් පාක්.

    ReplyDelete
    Replies
    1. මමත් ඕක කියන්න හිටියෙ.

      Delete
    2. @Ravi: ඈ ?? මොනවත් වෙලා තිබ්බ? හ්ම්ම් හ්ම්ම්ම් එහෙනම් මානසික ආබාධ බ්ලොග් වලටත් බලපාන හින්දා වෙන්න ඇති. වෙලාවට කලින් ලියා තැබූ දෙයක් තිබ්බේ. නැත්තන් කිසි දෙයක් ලියන්න හොඳ තත්වයක නෙවෙයි මම ඉන්නේ.

      ඔකට මොන නම දාල තිබ්බත්, අපි නම් කිව්වේ 'වේල්ස් පාක්' කියලා. එකනේ මම කතාකරනකොට 'වේල්ස් පාක්' කියලා දාල, ලියනකොට ඉංගිරිස් වලින් දැම්මේ. මමත් ගිහිල්ලා නැහැ. මම හිතන්නේ ක්ලාස් යන ජෝඩු අතරේ ජනප්‍රිය පාක් එකක් විදියට තමයි මට මතක. වෙලාවට උන් දෙන්නා කා කොටා ගත්තේ. නැත්තන් මට උයනේ අසිරිය ලියන්න වෙනවා.

      Delete
    3. @හැලපේ : කියන්න හිටියේ පාක් එකේ නිවැරදි නමද? බ්ලොග් එකේ ඇක්සස් අවුලද ? බ්ලොග් එකටත් මට වෙච්ච දේ වෙලා

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...