Thursday, March 16, 2017

80. ඔබ ඇවිත් යන්න එන්න... - 16

16.
-----------------------------------------------------

ම්මගේ අඩෝවැඩියාව උදේ ඉඳලා. දීලා ගියපු එක වැඩක්වත් කරලා නැතුව රස්තියාදුවේ ගියා කියලා. දැන් ඉතින් ඉන්න වෙන්නේ කන්දෙකේ ඇඟිලි ගහගෙන තමයි. ඉස්කෝලේ නිවාඩුකාලේ හින්දා අම්මත් ගෙදර.

"මේං ලියුමක් ඇවිත්!"

අම්මගේ කතාවට මම දෙපාරක්ම පුදුම උනා. පලවෙනි එක මට ලියුමක් ඇවිත් කියන එක. අනිත් එක ඒක කඩන්නේ නැතුව මගේ අතටම ලැබෙන එක. මේ අපේ ගෙදරද??? බාත්රූම් එකෙන් එලියට පැනලා මම දුවගෙන ආව.

"කාගෙන්ද?"

නංගිගේ ඇන්ටනාව කොයි වෙලත් ඒ අතට මේ අතට කැරකෙනවා. සාලේ මේසෙ උඩ තිබ්බ ලියුම මම අතට ගත්තේ පුදුමෙන්. මේ කොහෙන්ද? අපොයි.. මේ අර මම විභාගේ ලියපු ටෙක්ස්ටයිල් කෝස් එකෙන් එවල තියෙන්නේ. ලියුම බැලුවම තවත් පුදුමයක්. ඒ විභාගෙන් මම පාස් වෙලා. චලනයාටත් ලියුමක් තිබ්බා. ඌත් පාස් වෙලා! මට ලකුණු වැඩියි. මේ විභාගයක් පාස් උනාමද කොහෙද..

මම නිකමට ගාමන්ට් එකේ නම බැලුවා. හ්ම්ම්.... ***** - මහාය්යාව. මේක නිකිනිගේ ගාමන්ට් එකවත්ද? මගේ පරණ පිනක් වැඩකරනවද කොහෙද..

මම නැටුමක් නටාගෙන කුස්සියට ගියා. අම්මා වටේ නැටුමක් නටලා තව ඩින්ගෙන් පිඟානකුත් බිඳෙනවා. අම්මා දුන්නා පස්සපැත්තට ගුටියක්.

"තාත්තා ආවම කියනවා. මට වද දෙන්නේ නැතුව. යකෝ.. පොඩි උන ආන්-බාන් කරනවා ලේසියිනෙ මේ කොල්ලෝ දෙන්නට වඩා. දුවනවා කුස්සියෙන්"

අම්මා මාව එලොගත්තට හිනාවක් මුණේ. දැක්කද සමකිරිල්ල? අර නැහැදිච්ච දෙකේ පන්තියේ චූ කොල්ලෝ ගානට මාවත් දාල. අම්ම දෙක වසරට කොහොම උගන්නනවද මන්ද.



හවස ආරංචිය කනේ තිබ්බ ගමන් පුදනකොටම කාපි යකා කියලා ලබන සතියේ එග්සෑම් රිසල්ට්ස් එනවා කියලා තාත්තා කියපි!

මට තරු පිට තරු විසි උනා. ඔය 'හුචස්පෙලේ' මට මෙලෝ ලක් එකක් නැති හැටි! දෙය්යෝම බලන්න ඕනේ.. අපොයි දෙය්යනේ කණුවක් තිබ්බොත් තාත්තා මෝල්ගහ කැඩෙනකල්ම හතර අතේ නෙළයි. මට නිකන් මැවිලා පේනවා බැන්ඩේජ් වලින් වැහිච්ච අපි දෙන්නා, ඉස්පිරිතාලේ කකුලකුත් එල්ලගෙන බාවලා ඉන්නවා.

ගාමන්ට් එකේ කෝස් එකට ඉන්ටවිව් එකක් තියෙනවා. ඒකට යන්න අවසර ලැබුනා.

--------------------------
"චලනයා.."

"හ්ම්ම්...."

"උඹ මට එදා කිවේ නැහැනේ මොකටද අර අරෙහෙ... අර ෆ්ලැට් එක පැත්තේ ගියේ කියල"

චලනයා යන්තමට මගේ දිහා හොර බැල්මක් දාල, ආයෙමත් පත්තරෙන් මුණ වහගත්තා.

"නිකන්.. මම උඹව අවුස්සන්න කිව්වේ"

"අනේ මෙහ් ! මගෙන් කුණුහරප අහන්නේ නැතුව කියපන්. මොකද්ද උඹ ඔය බිත්තරේ රකිනවා වගේ රකින්නේ?"

"උඹට මල පනියි"

"මොකද්ද කියපන්කො"

"මම ගියේ..............  සඳමිණි එක්ක"

ඇත්තටම මට මල පැන්නා. ම‍ම සඳමිනිට කැමති නැති එක චලන දන්නවා. මොකද්දෝ හේතුවකට මට ඒ කෙල්ල දිරවන්නේ නැහැ. එක්කෝ වැඩිය සෝෂල් කෙල්ලොන්ට මම කැමති නැතුවද කොහෙද.

"අම්මත උදු කිව්වලු... උඹ එහෙනම් මටත් කොලේ වැහුව... තෝ ඒකි එක්ක යාළුද?"

අකමැත්තෙන් උනත් මම හිනාවෙන්න උත්සහ කළා.

"මොන බම්බුවක්ද බන්... සඳමිනියි මගෙයි අතරේ එහෙම බම්බුවක් නැහැ. මම ට්‍රයි සුගන්ධිකාට"

චලනයාගේ මුණ මල් වත්තක් වගේ උනා. කවුද යකෝ ඒ?

"කව්ද බන් සුගන්ධිකා?"

"අර.. කම්පියුටර් ක්ලාස් එකේ හිටියේ.. අර අපිට චොක්ලට් කේක් හැමදාම අරන් දුන්නේ.. දිගම දිග කොණ්ඩයක් තියෙන්නේ"

බලපල්ලකො මුගේ තියෙන පෙම් පාට!

"මොකද බන් උඹ ඇඹරෙන්නේ ? ඉතින් උඹ සුගන්ධිකාට ට්‍රයි කර කර, මූන්  ලයිට් එක්ක රවුම් ගැහුවම හරියනවද? ට්‍රයි කරන එක බොක්කෙන්ම ට්‍රයි  කරපංකෝ."

"ඒකි මට සිරාවටම ලව් නම්... ඒ විදියට කියයි. මම ආරංචි කරලා බැලුව සඳමිණි ගෙන්. ඒකි  ඒ ඉස්කෝලේ"

"යකෝ එතකොට සඳමිණිද දැන් පණිවිඩ අදින්නේ?"

චලනයා හිනාවෙලා , පත්තරේ පැත්තක දාල යන්න හැදුවා.

"යකෝ.. මූ ගියපු දුර.... පණිවිඩත් යැව්වා... මට එහෙම කිව්වොත් උඹට %$%$&$^??"

"උඹට අහවල් බම්බුවක් කියන්නද? උඹ ඉන්නේ මේ ලෝකේ නෙවෙයිනේ. කොයි වෙලෙත් අබිං කාපු එකා වගේ තනියෙම හිනාවෙවී.. පොලවේ පය ගහපු වෙලාවක් අල්ලලා කියන්නයි කියල හිටියේ"

"හරි.. හරි... දාපන්කෝ අත! මගෙන් ෆුල් සපෝට්!! උඹ මට පෙන්නනවනේ?"

"..................."

"හ්ම්ම්... මොකද්ද බන් සීන් එක"

"මම උඹට කොහොමත් කතාකරන්න හිටියේ "

"...................."

"යමන්.. අද හවස එනවා කිව්වා හම්බෙන්න"

මට හොඳ පාඩම්! මම ඇත්තටම ඉන්නේ මෙලෝ සිහියකින් නෙවෙයිද කොහෙද. කොයි වෙලෙත් නිකිණි එක්ක හිතින් කතා කර කර හීන ලෝකේ ඉන්න මට, මගේ පන වගේ එකා ගැනවත් කල්පනාවක් නැහැ.
මරු! අද නිකිනිත් හම්බෙනවා, මුටත් උදව්කරගෙන යන්න පුළුවන්.

ඔය කියන කෙල්ලගෙ නම නම් හුරු උනාට මුණ නම් මතක නැහැ. අපිට ලයින් දාපු කෙල්ලෙක්ද කොහෙද. මුටද, මටද කියලා අපි දෙන්නටම ෂුවර් එකක් තිබ්බේ නැහැ. මූ කොහොම දාගත්තද කියන එක තමයි පුදුමේ.

හවස දෙන්නම ගජරාමෙට ඇඳ -පැළඳගෙන ගියා ටවුමට.

"කොහාටද එනවා කිව්වේ?"

මම චලනයා දිහා බැලුවා.

"ක්ලොක් ටවර් එක ගාවට"


අපි දෙන්නම ඒ පැත්තට ගියා.

චලනගේ මුන බලන්න ලස්සනයි. වෙලාවේ හැටියට බයිට් කරන්න වෙලාවක් නැහැ. ඈතින් එනකොට අඳුරගෙන කෙල්ලෝ දෙන්නෙක් අපි ඉන්න පැත්තට ඇවිදගන ආව. මේ කවුද? මුණු දෙක නම් ටිකක් එකවගේ, එක මුණක් නම් පුරුදුයි.

"ආ.. හලෝ.. කොහොමද?"

එකියක් හිනා උනා. ආ.. දැන්නේ හරියටම මීටර් උනේ. මෙයා අපිත් එක්ක අනිත් ක්ලාස් එකේනෙ හිටියේ. අපිට ඉස්සර හැමදාම චොක්ලට් කේක් අරන් දෙනවා මගේ වදේ අහගෙන ඉන්න බැරුව.

"ගොඩක් වෙලාද ඇවිත්? අ.. අ.. මේ.. මේ මතකනේ.. කලන? ඔයා දන්නවනේ?"

ච්ලනයා මගේ නම ලකුණු කළා. මම හිනා උනා සුහදව. මූව  මෙතන අලවලා මම නිකිණි බලන්න යන්න ඕනේ. මට හදිස්සියි.

"මේ මගේ අක්කා"

අපි දෙන්නවම පිටිපස්සට විසි උනා. මල කෙලියයි! ලත් තැන ලොප් උනාවත්ද? චලනයා ගල් ගැහිලා.

"අය්යෝ බය උනාද? අක්කට ඔයාව බලන්න ඕන කිව්වා. ඒකයි එක්කගෙන ආවෙ. "

සුගන්ධිකා මෙලෝ ගානක් නැතුව කිව්වා. එයාගෙ අක්කත් අපි දෙන්නගේ පපුවේ ගින්දර නිවන්න වගේ හිනාවක් දැම්මා. යන්තං ලේ ටිකක් ඉනුවා ඇගට. ඒත් බය නම් එකපාරට අඩු උනේ නෑ. 

"මට මල්ලි ගැන නංගි ඒ දවස්වලම කිව්වා. මම දැකලා නැති නිසා බලන්න ආස හිතුනා. "
අපි දෙන්නම පූස් පැටව් හිනාවක් දැම්මා. 

"අක්කව ටිකක් දැකල තියෙනවා වගේ"

"මම වැඩකරන්නෙ සෙලාන් එකේ. ඔයාගෙ තාත්තා නේද බෑන්ක් මැනේජර්? මිස්ට ඇල්කඩුව?"
"ඔව්"

මමයි උත්තර දුන්නෙ. අනේ මම දන්නෙ නෑ අපි දෙන්නගෙම කරුමේ. කොහෙන් ගියත් තාත්තගේ චැනල් එක හරහාම වැටෙනවා. 

"බය වෙන්න එපා හලෝ. ඔයාගෙ තාත්තා අපේ බොස්නෙ. මම කොහොමද ඕවා කියන්නෙ?"

මාධවී අක්කා....., සුගන්ධිකාගෙ අක්කා.... අය්යෝ කරුමේ කියන්නෙ මකර කටේ!

යංතං චලනයාව එතන ප්ලග් කරලා මම ගියා මගේ කිරිල්ලිව හොයාගෙන. යනකොට කාර් එක නං ඈතටම පේනවා. මම කෙලින්ම ළගට ගිහින් හිටගත්තා ඉස්සරහ දොර ගාව. මොකක්ද එකකට නැමිලා හිටපු නිකිනි කෙලින් වෙලා මාව දැක්ක ගමන් එයාගේ දිලිසෙන හිනාවෙන් මත් කරලා දැම්මා. 

"නගින්න , ඉක්මනට"

කාර් එක ටින්ටඩ්. දොරේ අගුල අරිනවත් එක්කම මම ඉස්සරහ සහය ආසනේට පැන්නා. වාහනේ පුරාම නිකිනිගේ සුවද. 

"මොකද නැමිලා හැංගුනේ මම එනකොට?"

"හොයනවද බලන්න"

"ඉතිං බැලුවද?"

"කොහේ බලන්නද? ඔයා මාව හොයාගත්තනේ"

නිකිනි බොරුවට නෝක්කාඩු කිව්වා. කහපාට බ්ලව්ස් එකට නිකිනිගේ ලස්සන තවත් පේනවා. 

"ගොඩක් වෙලාද ඇවිත්?"
මම ඇහුවේ එයා දිහාම බලාගෙන. මේ ඇස් සෙල්ලමට මම දැන් වහ වැටිලා. 

 "නෑ. මම දැක්කා ඔයා ක්ලොක් ටවර් එක ගාව ඉන්නවා. තවත් කට්ටිය හිටපු නිසා මම ස්ලෝ කරේවත් නෑ. කව්ද ඒ කෙල්ල?"

"මේ චලනයාගෙ වැඩක්. ඒකයි පරක්කු උනේ. "

"මම හිතුවේ ඔයාගෙ පරණ ගර්ල් ෆ්රෙන්ඩ් කියලා "

මම රත් උනා. නිකිනි කොහොමද චිරනි ගැන දන්නෙ! මම බය වෙලා වගේ බැලුවා. මගේ මූණ දැක්ක ගමන් නිකිනි සීරියස් මූණක් එක්ක මගේ කම්මුලකට අතක් තිබ්බා. ඒසී එක පරදගෙන ලොකු උණුසුමක් මට දැනුනේ. 

"කලන....."

මම කතාකරගන්න බැරුව ගොලු උනා. කව්ද චිරනි ගැන කිව්වෙ? කොහෙන්ද ආරංචි උනේ? 

"කලන.. ඇයි? තරහ ගියාද? දුක හිතුනද? අය්යෝ මම විහිලුවට කිව්වෙ. මම දන්න ඉටිගෙඩියක් නැහැ හලෝ. "

මම හොල්මන්. නිකිනි දන්නෙම නැද්ද? නිකිනි මගේ නහයෙන් අල්ලලා දෙපැත්තට වැනුවා. 

"මේ බලන්න බේබි මම විහිලුවක් කලේ. "

"මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. "

"මොකක්ද බේබි? කියන්න"

"මම ඇත්තටම හිතුවේ ඔයා මොනවා හරි දැනගෙන කියනවා කියලා. මට මීට කලින් එෆෙයාර් එකක් තිබ්බා. එයාගෙ නම චිරනි. අපෙත් එක්ක ක්ලාස් ආවා"

"ඉතිං?"

"ඒක නතරවෙලා ගියා. නිකං ඉබේටම වගේ. මට ඒ ගර්ල් බොරැවක් කලා. මට හරි තරහයි ඒ ගැන. නිකං පලිගන්න හිතෙනවා වගේ"

"ඇයි ඔයාට එහෙම හිතෙන්නෙ? මොකක්ද කරපු බොරුව.. කැමතිනං කියන්න මට"

මම මහේෂ්ගෙ කතාව මගේ හිතට දැනුනු විදියට ඔක්කොම කිව්වා. හංගන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. චිරනි හමුවෙච්ච විදියේ ඉදන් හැම දෙයක්ම මම නිදහසේ කිව්වා. නිකිනි ඒ හැම දෙයක්ම කිසිම කලබලයක් නැතුව අහගෙන හිටියා. 

"ඔයා හිතන්නෙ කවුරු වැරදි කියලද? "

ඔක්කොම කියලා ඉවර වෙලා මම නිකිනිගෙන් ඇහුවා. 

"දැං මම ඔයා වැරදියි කිව්වොත් ඔයාගෙ හිත පෑරෙනවා. චිරනි වැරදියි කිව්වොත් ඔයාගෙ හිතේ තියෙන වෛරය තවත් දෙගුන වෙනවා. කාරනේ වැරැද්ද කාගෙද කියලා නෙවෙයි.  ඔයා මොකටද බේබි තවත් මේ ගැන වද වෙන්නෙ? එයාගෙ හිතේ නිර්දෝෂී කමක් තියෙනවා නම් ඒක කියන්න ඉඩ දෙන්න. එයාට ඇහුම්කන් දෙන්න. ඔයා චිරනිව නිකං සැක කලා වෙන්න බැරිද? ඔයා එයාට වෛර කරන්නේ මට ආදරේ කරන්න ගත්තමද?"

"මං දන්නෙ නෑ. චිරනි මට ලොකු බොරැවක් කලා. ඇත්ත හැංගුවා"

"එයා ඇත්ත කියයි. කවදාහරි කියයි. අහගෙන ඉන්න. එයා හිතන දේවල් දන්නෙ එයා විතරයි. "
මම නිකිනි දිහා මෘදු විදියට බැලුවා

"එයා වැරදි නැත්තං?"

"ඒක ඊට පස්සෙ ඔයාම හිතල බලන්න. පලිගන්න යන්න එපා. දෙන්නටම හොද නෑ"

"නෑ මම අහන්නෙ එයා වැරදි නැත්තං?"

"ඔයා සමාව ඉල්ලන්න"

"ඔයාට බය නැද්ද?"

"මොකටද?"

"මම ආයෙමත් චිරනි එක්ක යාලු වෙයි කියලා?"

නිකිනි තත්පරයක් විතර ගල්වෙලා ඉදලා සුක්කානමේ ඔලුව තියාගත්තා. 

"ඒක ඔයාගෙ තීරණේ බේබි. මට මුකුත් කියන්න බෑනෙ. ආදරේ කියන්නෙ පියෝ දෙයක්. මම දන්නවා මගේ ආදරේ කොහොමද කියලා. "

සුක්කානම අතරින් ලොකූ සුසුමක් පිටවුනා. මම නිකිනිගේ උරහිසට අතක් තිබ්බා. 

"සොරි බබා. මම ඇහුවේ දෙකයි පනහේ ප්‍රශ්නයක්. "

"මගේ වාසියට මට බොරැ කියන්න බෑ. "

"නිකිනි"

නිකිනි එහෙම්මම ඔලුව හරවලා මගේ දිහා බැලුවම මගේ පපුව පත්තු උනේ ඒ ඇස් දෙක දැක්කම.

"මම බදින්න කලින් ඔයාව මුණගැහුන නම්.........."
මාව හිරි වැටිලා ගියා . මට නිකිනිව තුරැල් කරගෙන සනසන්න ඕනෙ. මටත් හොදටම රිදිලා

"මම ඔයාව බඳිනවා බබා. කොහොමහරි මම ඔයාව මගේ ළගට ගන්නවා"

"ඒක කෙරෙන්නෙ නෑ කලන. ඒක ඔයා හිතන තරං ලේසි දෙයක් නෙවෙයි. "

"ඇයි?"

"චානක ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවෙයි. එයා ඩිවෝස් එකක් කවදාවත් දෙන්නෙත් නෑ. කොටින්ම මට රට යන්නවත් දෙන්නෙ නෑ. අපේ අම්මලා පවා මාව නෙවෙයි චානකව විස්වාස කරන්නෙ. මම හුගක් අසරණයි. "

"එතකොට ඔය ගාමන්ට් එක?"

"ඒක තාම තියෙන්නෙ අම්මගෙ නමට. ඒක දුන්නොත් ඩිවෝස් එක දෙන්නම් ලු. ඒත් මට විස්වාස නෑ. මගේ නමට තිබ්බ හැමදේම දීලත් පේපර්ස් සයින් කලේ නැති එකේ"

මට මේක ෆිල්ම් එකක් වගේ.

"ඉතිං ඔයා  එෆෙයාර් එකක් කරනවා කියලා කිව්වොත්?"

"අම්මෝ මාව මරයි!"

ඒ වචනවල තිබ්බ භීතිය මට දැනුනා. මට මේ මිනිහා කොයි වගේද කියලා කුතුහලේ. පපුව ඇතුලෙන් එන ලොකු වේදනාවක් මාව හිර කරනවා වගේ.

"ඔයාට දැන් තේරෙනවද කලන.. මේක අනාගතයක් නැති සම්බන්ධයක් කියල, මට නම් කමක් නෑ ... ඔයාට? මට මාධි කිව්වා ඔයාගේ පවුලේ විස්තර. ඔයා හොඳ ඩිසන්ට් පවුලක.."

"ඇයි දැන් මේක ඉන් ඩිසන්ට් වැඩක්ද?"

මට තරහා යන්න ඇති,වේදනාවට. ඒ එක්කම ඒ තරහ මහා දුකකට පෙරලුනා.

"මම කියන දේ තේරුම් ගන්න කලන. බැඳපු කෙනෙක් එක්ක යාලු වෙන එක.... මිනිස්සු දකින්නේ වෙන විදියකට.. ඒක ඔයාටයි, ඔයාගේ පවුලේ අයටයි හොඳ නැහැ"

"කවුරුත් දන්නේ නැහැ ඔයා බැඳලා කියල"

"ඇයි ඔයාගේ මල්ලි? චලන?"

"ඌ දන්නේ නැහැ. මම කාටවත් කිව්වේ නැහැ. මාධවී අක්කාගෙන් ලීක් උනොත් ඇරෙන්න. මට ඔයා බැඳපු එකවත්, ඔයා වැඩිමල් එකවත් ප්‍රශ්නයක් නෙවෙයි බබා. මගේ හිතට ගැලපෙන කෙනෙක් තමයි මම කවදා හරි බඳින්නේ. මම බඳින්නේ ඔයාවයි..."

මගේ හඬට නිකිණි බලාගෙන හිටියා මිසක් මුකුත්ම කිව්වේ නැහැ. තොල්පෙති සැලෙනවා නිකිනිගේ.

"....මාධි අක්කා අපිට උදව් කරයි?"

නිකිණි 'නැහැ' කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා.

"එයා මේ කිසි දෙයක් දන්නේ නැහැ. එයා හිතාගෙන ඉන්නේ එදා.. ෆිල්ම් හෝල් එකේදී හම්බුනාට පස්සේ ආයෙමත් කන්ටැක්ස් නැහැ කියලා. එය කොටින්ම දන්නේ නැහැ අපි දෙන්නා අතරේ සම්බන්ධයක් තියෙනවාද කියලත්. මම එයාට කිව්වේ නැහැ"

"ඇයි ?"

"මාධි  කියන්නේ ඇත්ත තමයි"

"එහෙනම් මාධි අක්කා මේකට කැමති නැහැ?"

නිකිණි 'නෑ' කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා.

"මම ඔයා ගැන විස්තර එයාට කිව්වේ ඔයාව දැකපු මුල්ම දවසේමයි. ඔයා අපේ ගෙදර, මගේ ෆ්ලැට් එකට එයි කියලා මම හිතුවේ නැති උනාට බලාපොරොත්තු උනා. ඒ දවස්වල හැම විස්තරයක්ම මම මාධිට කියනවා. එයා ඔයාට කැමති වෙලා හිටියේ විස්තර අහලා. එයා ගොඩක් සතුටු උනා ඒවා අහලා. මට උදව් කරන්න දිවුරුවා. ඒත් එදා බෑන්ක් එකේදී මුණගැහුණු ගමන් ඔක්කොම උඩු යටිකුරු උනා. ඒ වෙනකල් අපි දෙන්නගෙන් කවුරුවත් ඔයා හරියටම කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ මට මාධි ගොඩක් දේවල් කිව්වා. මගේ හිත හදාගන්න උදව් කළා. ඒත් මට බැරි උනා. ඒ හින්දම මම එදා ෆිල්ම් එක බලන්න ආපු දවසේ තීරණේ කලේ.. ඔයාට ඔක්කොම කියලා තේරුම් කරලා දෙන්න. එහෙම කරලා මේක සදහටම නතර කරන්න.. මාධි හිතාගෙන ඉන්නේ ඒක එහෙම උනා කියලා. මම හිත ඇතුලේ යුද්ධයක් කළා ගොඩක්, ඒ හැම වෙලේම මම පැරදුනා. මාධි දන්නවා නම්.."

නිකිණි කම්පනයෙන් වගේ අත් දෙකෙන් මූන වහගත්තා.
මම වේදනාවෙන් බිම බලාගත්තා. අපි දෙන්නටම හොඳටම රිදිලා. ටික වෙලාවකින් මම නිකිනිගේ අත්දෙක මෑත් කරලා මුණට එබුනා. ඒ ඇස්වල ආදරේ එක්ක ලොකු දුකක් ගුලිවෙලා. මාව හිරි වැටිලා ගියා.

"මම ඔයාව කවදාකවත් දාල යන්නේ නැහැ බබා. මොන ප්‍රශ්න ආවත් අපි දෙන්නම එකට ඉම්මු. කවුරු මොනවා කිව්වත් මම දැන් තීරණේ කරලා ඉවරයි. මේක නතර කරන්න කියලා මට කියන්නවත් එපා බබා. මට ඒක කරන්න බෑ ! මම මේක කරන්නේ බොක්කෙන්. විහිලුවට නෙවෙයි"

නිකිණි මගේ උරහිසේ පැත්තකට ඔලුව තියාගත්තා.

"මට කවදාවත් මේ වගේ සැනසිල්ලක් දැනිලා නැහැ කලන. මාව දාල යන්න නම් එපා... මගේ පපුව පැලෙයි. මගේ දැන් ජිවිතේ එකම අරමුණ ඔයා විතරමයි"

මට දැනුනේ මොනවගේ හැඟීමක්ද කියලා මටම තේරුනේ නැහැ. සංකීර්ණයි වගේ. ඒත් නිකිණි ගැන තිබ්බ ආදරේ තවත් තහවුරු උනා වගේ කියලා නම් හොඳටම විස්වාසයි. දැන් නිකිනිට ඉන්නේ මම විතරයි. මාධි අක්කා, තමන්ගේ හොඳම යාළුවාටත් එයා බොරු කරන්නේ මම නිසා.

එන්න එන්නම නිකිණි ගැන තියෙන ආදරේ පැහැදිලි ජලයක් වගේ ස්ථිර වෙනවා කියලයි මට හිතුනේ. ආරම්භයෙවත් නැති ස්ථිර අධිෂ්ඨානයක් වගේ දෙයක් දැන් තදටම තියෙනවා. මට බොරුවක් කරන්න හිතන්නවත් බැහැ මේ අසරණ කෙල්ලට. නිකිණි ගාව තියෙන ගෑනුකම මම කොහෙවත් දැකලා නැහැ. ඒක යෝධ හෙවනැල්ලක් වගේ  
*******************************

to be cont...

6 comments:

  1. //පුදනකොටම කැපී යකා // යකා පව්.
    //"අම්මත උදු කිව්වලු...// බාලාංශේ ලමේක් ද කියල තියෙන්නේ?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    නිකිණි හම්බ වෙච්ච තැන ඉඳල කිසිම අඩුපාඩුවක් පෙනුනේ නෑ කියහන්කෝ.. :))))

    ReplyDelete
    Replies
    1. හැදුවා හැදුවා... බොහොම ස්තුතියි.
      මාර වැඩක් දැන් එහෙනම් වෙන්නේ..... දුහුල් මලක් 2/3?

      Delete
  2. අද තමයි ඉස්සෙල්ලම ආවේ.පරණ ටිකත් කියවල බලන්ඩ ඔනි.

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...