Wednesday, March 15, 2017

78. ඔබ ඇවිත් යන්න එන්න... - 15

15.
----------------------------------------------------------------
නිකිනි කියපු දේවල් මගේ හිතේ හොල්මන් කරනවා.

නිකිනි ගැන මම මෙච්චර දවසක් හිතාගෙන හිටියේ කොහොමද කියලා මම ඒතරම් දුරට එදා වෙනකල් හිතුවේ නැහැ.
ඇත්තටම මම හිතුවේ කොහොමද?

මට ඒක හරියටම හිතාගන්න බෑ. ආදරේ කියලා හිතුනා මිසක් ඇත්තටම මම නිකිනි ගැන හිතලම නැතිවා වගෙයි.

නිකිනි අර කියපු චානකයාට ආදරේ කරන්න ඇති.  මට මාර ඉරිසියාවක් දැනුනේ.  නිකිනිගේ ආදරේ ලැබුනා කියන්නේ මොනතරම් සතුටක්ද මට. එක එක බහුබූත කල්පනා වෙන්න ගත්තා, ඉරිසියාව මගේ රතු කට්ට පනින තරම්.  ඒත් එක්කම තරහක් වගේ දෙයක්. 

නිකිනි බැදපු කෙනෙක් බව ඇත්තටම මම චලනයාට කියලා නෑ. උගේ හැටියට, මම දන්නවා එහෙම දැනගත්තොත් , උදව් කිරිල්ල කෙසේ වෙතත් මාව ඉහේ ඉදන් පට්ට ගහයි. නිකිනිටත් මම කිව්වා මාධවී අක්කට විස්තර කියන්න එපා කියල. මාධවී අක්කාගෙන් ලීක් වෙයි කියලා මට මාර බයයි.
අම්මා ටවුමට ගියේ කෝටියක් වැඩ පවරලා. දවල් වරුවේ නිකිනිත් නෑ. ඒ මදිවට පන බයයි චානකයාට අහුවෙයි නියලා. ඌ කොයි වගේ පෙනුමක්ද තියෙන්නෙ කියලා මට හරි කුතුහලේ. කාන්ති ගෙන් අහන්නත් මොකද්ද වගේ. 

චලනයාවත් අරගෙන මම කලිසමට බැහැලා ගෙදරින් පැනගත්තා. 

"උඹේ කෑල්ල ⁣බලන්නද"

"නෑ බං.  එයාව මුණගැහෙන්නෙ හවසට. දැං යමං ටිකක් ටවුමට"

"මලා. අද දහ වෙනිදා නේද"

"ඔව් ඇයි"

"මෙතුකයාගෙ ගෙදර එනවා කියලා මම promise උනා. එහෙ පාටියක්. යමං එහෙ"
මට උඩින්ම සන්තෝසයි.
මෙතුකගේ ගෙවල් වලට යන්නේ නිකිනිගේ ගෙවල් පහුකරගෙන. දවල්ට නිකිනි නෑ. ඒත් දකින්නත් ආසයි. මගේ ත්‍රාස ජනක ගමන මතක් වෙලා මට තනියෙම හිනා. 

මමයි  චලනයි බස් එකට නැගලා 'ලව් පොට්' එකේ වාඩි උනා. 

"මොකටද බං එහෙ යන්නෙ? "

"ඉදහංකො "

මමත් ආයෙ අහන්න ගියේ නෑ. බස්එක අද්දනකොටම කීප දෙනෙක් දුවගෙන ඇවිත් නැග්ගා. එකපාරටම මාව කොර වෙලා ගියා. චිරනි! චලනත් කට ඇරගෙන ඉන්නවා. 



"අ.... අ.... චිරනි"

චලන ගොත ගහන ගමන් කිව්වෙ අමාරුවෙන්. මම ඒ එක්කම මූන කෙලින් කරලා චිරනිගේ මූන දිහා බැලුවා. චිරනිගේ මූන බෙරිවෙලා ගිහින් තිබ්බේ. 

"දෙ.... දෙන්ඩ බෑග් එක"

මම චිරනිගේ බෑග් එක උදුරලා වගේ ගත්තේ එයා ඉස්සරහට යයි කියලා. මගේ ඇතුලේ හිටපු යකා දත් විලිස්සාගෙන හිටියේ.

"කො.... කො-හෙ-ද මෙහෙ ය-යන්නෙ?"

චිරනි ප්‍රශ්න අහන්නේ චලනගෙන්. චලනත් බය වෙලා වගේ. යක්සයා දත් විලිස්සනවා මට දැනෙනවා හොදටම. 

"මෙතුකගේ ගෙදර යනවා. කොහෙද ක්ලාස් ගියාද?"

ම⁣ට වචන පැටලුනේ නැහැ. සද්දෙත් වැඩි උනා මම හිතන්නෙ. 

"ම්.. ම්.. ක-කම්පියුටර් ක-ක්ලාස් ගියා"

චිරනි පිට්ටු හිරවෙලා වගේ අමාරුවෙන් කතා කරන්නෙ. අදිති කියපු දේවල් අකුණක් වගේ මට මතක් උනා. 

"ආයෙමත් එග්සෑම් කරන්නෙ නැද්ද? ඒ කියන්නෙ කැම්පස් ෂුවර්නෙ?"
"අපෝ නෑ. ආයෙමත් මොන ඒලෙවල්ද? "

චිරනි හරි අමාරුවෙන් වමාර ගත්තා. කෙල්ලට දාඩියත් දාලා.

"ඇයි අර කැම්පස් ⁣පොරට කිව්වනං වැඩේ කරලා දෙයි. මිනිහා හෙන පොරක්නෙ?"
ඒකනං බොලේ උපරිම වොලියුම් එකට ඇහෙන්න ඇති. චිරනි උඩ විසික් උනා. බලාපොරොත්තු වෙන්න නැතුව ඇති මම එහෙම කියයි කියලා. මට වියරු සතුටක් දැනුනේ. 

"කලන!"
චලනයා මගේ කකුල පෑගුවා. මම ගානක්වත් ඇතුව කෙලිම්ම චිරනිගේ රතුවෙලා ඇඩෙන්න යන මූණ දිහා කෙලිම්මයි බැලුවේ. චිරනි බයට වෙව්ලනවා. වටේ හිටපු එකා දෙන්නත් බලනවා. 

"දැන් කොහොමද ඔයාගෙ අර... කවුද ආ මහේෂ් වීරයා එහෙම?"
චලන මට තට්ටුවක් දැම්මා. ඒ ප්‍රශ්නේ කෙලින්ම මට එයාගෙන් අහන්න ඕනකම තිබ්බා. 

"කෑ ගහන්න එපා. ප්ලීස්. ඇයි ඔය තරං නපුරු ?"
මට හිනා ගියා. මගේ ඇතුලේ හිටපු යකා කෙරගගා හිනා උනා. 

"නිකං බොරැවට රගපාන්න එපා චිරනි!"

"කට කට! හෙමින් යකෝ. මේක බස් එක. "

චලනයා මාව සීට් එකට තදකලා. චිරනි අන්ත අසරණ වෙලා චලන දිහා බැලුවේ. මගේ හිත උනු උනේ නෑ. 

"ඔයා හිතන දේවල් වෙන්නෙ නෑ කලන. බොරුවට කෑ ගහන්න එපා. "

චිරනි ඇඩුම වලක්වාගෙන බොහොම පහත් හඩින් කිව්වා. 

"ඒක ඔයාගෙ හිතින් අහල බලන්න චිරනි. ඔයාගෙ හිත දන්නවා. ඔයා වගේ නෙවෙයි මට ලැජ්ජාවක් තියෙනවා. මම ඕක කලේ සෙල්ලමට නෙවෙයි.......! ඔයා වගේ සෙල්ලමට නෙවෙයි!!"

චිරනිගේ මූණ කලුපාට උනා. ගල්වෙලා වගේ හිටගෙන හිටියේ තරහ දරාගන්න බැරුව. 
බස් එක හෝල්ට් එකේ ස්ලෝ කරනවත් එක්කම චිරනි බෑග් එක උදුරගෙන බස්  එකෙන් බැස්සා  නෙවෙයි පැන්නා.
සිද්ධියට ඇහැ - කන දාගෙන හිටපු උන් ඒ පැනිල්ල දැකලා බයට වගේ 'හෝව් හෝව්' කිව්වත් එතකොට චිරනි අතුරැදහන් වෙලත් ඉවරයි. 

"මොකද්ද බං උඹ ඒ කලේ? "

චලන ඇහුවේ විස්සෝපෙන් වගේ. 

"මට ඒ ටික කියාගන්න ඕනකම තිබ්බා. ඒකයි කිව්වෙ. මම ගැන එයා රට වටේ කියන ඒවා උඹ දන්නවා ඇතිනෙ"

චලන මුකුත් ඊට වඩා කියන්න ගියේ නෑ. ටික වෙලාවකට දෙන්නම වෙන වෙනම කල්පනාවේ අතරමං වෙලා හිටියා. 

"උඹ ඒකිව හේට් කරලා වැඩක් තියනවද?........"
මම උත්තර දුන්නෙ නෑ. 

"කෙල්ලො ඔහොම තමයි බං  උන් හිතං ඉන්නෙ ලෝකෙ ගලෝලා උන්ගෙ දෙපා මුල තියලා අපි වදින්න ඕන කියලා. මේ අහපං.  උඹල දෙන්නගෙ ලව් එක ක්ලාසස් ඔක්කොගෙම උන් දන්නවා. ඒ නිසා කොක්කක් දාගන්නෙ නැතුව හිටහං නිකං නම කැත කරගන්නෙ නැතුව. ඒකිට ඕන මගුලක් නටාගන්න ඇරලා"

ඒ කිසිම දෙයක් මගේ ඔලුවට ගියේ නැහැ. මටම පුදුමයි මම මේ දැන් කරපු දේ. ඇයි මම එතරම් වෛරයෙන් චිරනි එක්ක?

හෝල්ට් එකෙන් බැහැලා අපි ඇවිදගෙන ගියා. මගේ හිත බර වෙලා. නිකිනි ඉන්න ෆ්ලැට් එක දකිනකොට මැලවුනු හිත යාන්තම් පන දාලා ආව. කාන්ති එක්ක එදා මගේ දෛවෝපගත 'කසුකුසුව' කරපු කඩේ , නිකිනිගේ ෆ්ලැට් එක දකිනකොට ආයෙමත් ඒ දේවල් මට මැවෙන්න ගත්තා. ඇත්තටම මටම පුදුමයි මම නිකිණි එක්ක යාලු උනා කිව්වහම. ළඟාවෙන්න බැරි හඳක් දෝතට ලැබුනා නේද?

මම චලන දිහා බැලුවා.

"උඹ මීට කලින් ආවද මෙහෙ?"

"පි.. පිස්සුද බන්... මෙතුකයා මෙහෙ ආවේ ලඟදිගේ "

"උගේ ගෙදර නෙවෙයි යකෝ.. නිකන් මේ පැත්තේ ආවේ නැද්ද?"

"නැ හ් "

මට එදා කාන්ති කියපු කතාව මතක් උනා. චලනයා නෙවෙයිද? වෙන්න බැහැනේ.

"උඹ බොරු නේද කියන්නේ?"

"ම්ම්... එකම එක පාරක් ආවනම් තමයි. ඒ කොයි කාලේද!"

මට ඒ ස්වරය දිරෙව්වෙ නැහැ. මොකද්දෝ මගෙන් හංගනවා. මට සැකයි.

"කවුද උඹට කිව්වේ?"

"කවුරු කිව්වම මොකද?"

"නිකිනිද?"

"............."

"............"

"ඔව්.. එයා තමයි!"

"නිකිණි? වෙන්න බෑ !"

"උඹ ආවේ ඇයි කියපන්, මට උඹව සැකයි දැන්"

"මම උඹට යන ගමන් කියන්නම්"

ඒත් තවත් මුකුත් අහන්න කලින් අපි දෙන්නා මෙතුකගේ ගෙදර ළඟ. ගෙදර කාලගෝට්ටියක් වගේ. අම්මේ.. ගේ සරසලා! ඒ මදිවට අපේ සෙට් එකේ උන් ඔක්කොම එතන. ගොමයා, මාළුවා, කුරියා , කොටා, බින්දුවා.. අපේ පන්තියෙන් බාගයක්ම එතන!

"මොකද යකෝ මේ? මෙතුකයා කසාද බැඳලද?"

මම හොල්මන් වෙලා ඇහුවා.

"මෙතුකයට පුලුවනෑ එච්චර හරියක් කරගන්න?"

මගේ තාම මීටරේට ගියේ නැහැ.

"උගේ නංගි ජම්බු ගහෙන් වැටිලා"

"අඃ ! මල් තමයි!!"

මෙතුකයට නංගියෙක් ඉන්නවද? අපෝ වැඩක් නැහැ, ඌ වගේම පොල්බෑවක් වගේ මුනක් ඇති. කොහොමත් මට ඒ ගැන උනන්දුවක් ඇත්තෙත් නැහැ.

"කාපන් කාපන්.. හෙටට කල් දමා පසුතැවිලි නොවන්න!"

මම තඩි කැවුම් දෙකක් ගත්තා. ආයෙමත් හුස්ම ගත්තේ ආස්මි ටිකකුත් කාලා ඉවර වෙලා. නංගිලා ජම්බු ගහෙන් වැටෙන අය්යලාට වාසි වෙන්නේ මේ විදියට තමයි. චඃ.. අපේ නංගි ජම්බු ගහෙන් වැටෙනකොට.. හැබෑටම අපිට වැදුනේ නැහැනේ මේ වගේ චාන්ස් එකක්.

කෑමද.. බීමද.. මොනවද අඩු. කට්ටියම සෙට් උනේ කාලෙකට පස්සේ නිසා ඉවරයක් නැති කතා. මෙතුකයාගේ අම්මා පැන පැන කෑම බෙදනවා. හත්මාසයක් බඩගින්නේ හිටියා වගේ අපිත් ඔක්කොටම වගකිව්වා.

"බඩු තියෙනවා.. ඕනෙද?"

"ගෙනෙන් ගෙනෙන්"

කුරියා පෙරේත බැල්මෙන් කිව්වා. මෙතුක ගිහින් බියර් බෝතල් තුනකුයි, අරක්කු බෝතල් කීපයකුයි අරගෙන ආව.

"ඔක්කොම කඩන්ඩද ?"

"කඩපන්.. කඩපන්"

ගොමයා පැනලා බියර් බෝතලයක් බදාගත්තා.

චලනයා නැගිට්ටා, මමත් ඒ එක්කම නැගිට්ටා.

"වාඩි වෙයන් යකෝ.. අද විතරයි මේ නොමිලේ කරුමාන්තේ. මේවා අපේ තාත්ත යකෝ ගෙනාවේ. අම්මට බයවෙන්න දේකුත් නැහැ. බියර් එකක් බීපන්"

බුරියා මට බියර් එකක් දුන්නා. මම ඒක අතේ තියාගෙන චලන දිහා බැලුවා. කුරියා එහෙම අරක්කු වලට වගකියනවා. චලනයායි , මමයි මුනෙන් මුණ බලාගෙන.

"උඹ බොනවද?"

"උඹ බොනවද?"

"බීපන්.. බීපන් යකෝ.. නඩු අහන්නේ නැතුව"

මම බෝතලේ ආයෙමත් ටීපෝ එක උඩින් තියලා නැගිටලා ගියේ ඒ සුවඳ මට අල්ලන්නේ නැති නිසා.
මට නිකිණි මතක් උනා. දැන් මගේ ගාව ඉඳලා උරහිසට වාරුවෙලා ඉන්නවා වගේ දැනුනා. බොන්නේ නැතුවම මාව මත් වෙලාද කොහෙද... පාටිය අගට නැටුමකුත් පටන් ගත්තම මමයි චලනයි දෙන්නා පැනලා හොඳට නැටුවා. මට දැනුනේ නිකිණි මගෙත් එක්ක නටනවා වගේ. හිටිය නම් අතින් අල්ලාගෙන ඇත්තටම නටනවා. මට හරි ආසයි එහෙම කරන්න.

අපි මෙතුකගේ ගෙදරින් එනකොට හවස් වෙලා. අපිට යන්නම් කියන්නවත් මෙතුක නැහැ, අරක්කු වල පදම වැදිලා මිනිහා ෆ්ලැට්! අනිත් ගොඩක් දෙනෙක් කටුස්සෝ කාපු පූසෝ වගේ, වෙරි මරගාතේ.

මමයි චලනයි ආවේ අම්මව මතක් වෙච්ච හින්දා, මල හොන්ඩරයයි, හම්බානක බනිනවා ඇති.
ආයෙමත් එනකොට නිකිනිගේ ෆ්ලැට් එක දිහා මට ඉබේම බැලුන. එයාගේ ලෑන්ඩ් කෘසර් එක තියෙනවා. මගේ හිතේ මල් පිපුනා.

"අර තියෙන්නේ නිකිනිගේ කාර් එක"

"ඕඕ.. ලෑන්ඩ් කෘසර් එකක්? අඩෝ ඒකී බර අත්තක්ද ? අම්මටසිරි!"

"නැතුව.."

මම කටට ආපු වචන ටික ගිලගත්තා. ගාමන්ට් එකක් තියෙනවා කියලා කියපු ගමන් ඔක්කොම පැටිකිරිය කියන්න වෙනවා. නිකිණි බැඳපු කෙනෙක් කියල දැනගත්තොත් මම ඉවරයි.

"තෝ ෆ්ලැට් එක ෆ්ලැට් කරන්න වගේ බැලුවට යන්නේ එහෙම නෑ , තොගේ කකුල්දෙක කඩනවා මම!"

චලන එහෙම කිව්වේ විහිලුවට උනාට විහිලුවටමත් නෙවෙයි කියල මට තේරුණා.

"නෑ බන්... ඒ කෙල්ලට නරක නාමේ එන කිසි දෙයක් මම කරන්නේ නැහැ"

එහෙම කිව්වට නිකිනිගේ ෆ්ලැට් එකට යන්නයි මට හිතුනේ. කට පියාගෙන පූසා වගේ මම බස් එකට එනකල් ඇවිදගෙන ආව... ෂෙක් ! දකින්නවත් බැරි උනානේ අද. කොහොමත් අද නිකිණි මුණගැහෙන දවසක් නෙවෙයි. ඉවසපන් පපුව!
****************************
ප.ලි: සෝදුපත් නොබලා ඇති නිසා අඩුපාඩු ඇති. කලින් බැලු ඇස්දෙක වගේම හිතත් සුවපත්වෙවා 

5 comments:

  1. මේක නවකතාවක් නේද , මේ වගේ දෙගුනයක්වත් එකපාර දාන්ටෝ

    ReplyDelete
    Replies
    1. නවකතාවක් තමයි හලෝ. ටයිප් කරන වේගෙට දාන්නේ. දුප්පත් මිනිස්සුනේ අපි

      Delete
    2. eka thamai. mage offer eka gana mkda kynne???

      Delete
  2. //හුනගැහෙන්නෙ//?
    //නිකිනිගේ මූණ කලුපාට උනා// චිරනි ට බැන්නම නිකිණි ගේ මුණ කළු වෙන්නේ මොකෝ?
    //මමයි චලනි දෙන්නා// බොන්නේ නැතුවම වෙරි වෙලාද චලන චලනි වගේ පෙනුනේ?

    ප.ලි. අද කෑල්ල මෙලෝ රහක් නෑ. නිකිණි නෑනේ. :/

    ReplyDelete
    Replies
    1. ඔක්කොම හැදුවා.
      අනේ අනේ කලනයෝ...... හැම කොටසේම නිකිණි දාන්නේ කොහොමද හලෝ. මේ කලනයාට ජිවිතයක් තියෙනවනේ. තාම ඒ ගෑනු ළමයා ඉන්නේ වෙනමනේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...