Sunday, March 12, 2017

75. ඔබ ඇවිත් යන්න එන්න... - 12

12

-------------------------------------------------------------------


ගේ පපුව 'ඩෝන් පටෝන්' ගානවා. මේක ලණුවක්ද ? මුන් මාව සැලසුම් කරලා උස්සන්න යනවද? නැත්තන් .. මරන්නවත් යනවද? මේකට එකත් එකටම නිකිනිගේ මහත්තයා සම්බන්ධ ඇති. මම නිකිනිව මුණගැහෙන්න ආව කියලා දැනගෙන මට ගේම් එකක් දෙන්න යනවද? මගේ බඩ පත්තු උනා. උදේ යාන්තමට බඩට දාගත්ත පාන් කෑල්ල දැවිලා අලුවෙලා යනවා වගේ දැනුනේ. මට දැන් ගොක්කොල පේනවා, පේනවා වගේ. චලනට කියන්න බෑ ; කුම්බලාවෝ කෑවනම් .. විඳවපන් බළලෝ කිව්වලු!


මම දොඩම්වල බස් එකෙන් බහිනකොට කකුල්දෙක මෙඩ්ලින් ගහනවා. මම එදා කරපු අමන; මොට්ට ; තකතීරු ; මැටි; තක වැඩෙන් මේක දුරදිග ගියපු තරම! එහෙමනම් මේ විදියට නිකිනිගේ මහත්තයට අහුවෙනවෑ ?දැන් ඉතින් මගේ අවසානේ තමයි.

යකෝ.. මට හදිස්සියට රක්ෂනයක්වත් නැහැ.ආපදා, අනතුරු කිසි දේකට ගෙවන්නෙත් නැහැ. දවසක් කීයක් ඉස්පිරිතාලේ ඉන්න වෙයිද කවුද දන්නේ.

අනේ.. කවුරු උනත් දැන් ඉතින් ශේප් වෙලා අතපය හතර බේරාගෙන ගෙදර එන්න ඕනේ. නැත්තම් ඔක්කොම ගෙදරට මාට්ටු. මට නිකන් මැවිලා පේනවා මම සරුවාන්ගෙම බැන්ඩේජ් කරලා , ඇඳක බාවලා, කකුල එහෙම වහලේ එල්ලගෙන, පැත්තකින් සේලයින් එල්ලගෙන ඉන්නවා. කේන්දරේ ආයුෂ අඩුයි කියලා තිබුනද බැලුවෙත් නෑ.. හදිසි මරණයක්... කොයි විදියට මැරෙන්න වෙයිද? මිනිය ගඟේ දායිද?

ආයේ නිකිනිගේ ගෙවල් දිහා බලාගෙන වතුරවත් බොන්නේ නැහැ කියන්න වෙයි. ගහගන්න දන්නෙත් නැහැ. දුවාගන්න පුළුවන් උනොත් නම් ලොකු දෙයක්. ඩෙක්ෂුස් එක්ක දුවාගන්න නම් ලේසියි... වාහනෙකින් එලවයිද?
කොහෙද.. ස්කවුටින් කරලා ඉගෙනගත්තේ  තුවාල වලට බෙහෙත් දාන්න විතරයිනේ.
මෝචරියට යනකොට මිනිය කැතට තියෙයිද දන්නේ නෑ..

මම ෆ්ලැට් එකට යන පාරට හැරුනා.



"ආ.. මහත්තයා... මම හිතුව එන්නේ නැතිවෙයිදවත් කියල... දහය පහු උන ගමන් මම බය උනා"

මාව ඉද්ද ගැහුවා වගේ නතර උනා. කාන්ති, මොකද මේ පාරේ කරන්නේ?

".. මම බය උනා මහත්තයාට තරහ ගියා කියල. ඒකයි මම පහලටම ආවේ.. අපි යමුද අර කඩේට?"

මගේ පපුව දැන් දෙමෝලෙන් පිටි කොටනවා.

මම බයක් පෙන්නන්නේ නැතුව කාන්ති පස්සෙන් කඩයක් පැත්තට ගියා. මේකි මාව කොහේ ගෙනියනවද? කුතුහලේ උපරිමේට. ඒත් මම අතඇරියේ නැහැ.
කාන්ති පස්සෙන් කඩේ ඇතුලට ගියා. ඒක පේස්ට්‍රි කඩයක්. සෙනඟ හිටියේ නැහැ. පබ්ලික් තැනක් නිසා මට ටිකක් බය අඩු උනත් මම හිටියේ කොයි වෙලේ හරි දුවන්න ලෑස්ති පිට.

".. මට මහත්තයව හම්බවෙන්නම ඕනෙකමක් තිබ්බා. මම හිතුවේ මහත්තයා අයෙමත් අපේ ගෙදර එයි කියලා"

මේ විකාර කතා... මම කඩේ කොනේම තිබ්බ මේසයක් ළඟ හිටගත්තම, කාන්ති එතන පුටුවකට බර උනා. ඒ පාර මොකද්ද මේ වටමේස කතාව?

"... එදා මහත්තයා ඇවිත් ගියපු දවසේ නිකිණි නෝනා නොසෑහෙන්න ඇඩුවා"

මාව උඩ විසික් උනා.

"ඇයි ?"

මගේ කටහඬත් බැරැන්ඩි වෙලා ගියා. කාන්ති කම්මුලේ අත තියාගෙන ලොකු බර සුසුමක් හෙලුවා. මාව හොඳටම අවුල් වෙලා ගියා.

"නිකිණි නෝනා පවු මහත්තයා... හරිම පවු.. මට හරියට දුකයි.. වාවන්නේ නැහැ. ඒත් මම කියලා මොනවා කරන්නද?"

"මට තේරෙන්නේ නැහැ කාන්ති මොනවද මේ කියන්න හදන්නේ කියලා"

මම ඇහුවේ ඇත්තටම, පුටුවක් අරගෙන වාඩිවෙන ගමන්. මේ අවුල මොකද්ද?

"නිකිණි නෝනා ඉන්නේ අපායක. මට ඒ නෝනා දුක් විඳිනවා බලාගෙන ඉන්න බැහැ. මහත්තයා නෝනා එක්ක තරහ උනාද?"

"............................."

මට දෙන්න උත්තරයක් නැහැ.
මේ ගෑනිව විස්වාස කරන්නේ කොහොමද එක අතකට? සමහරවිට කපටිකමක් ; රඟපෑමක් කරනවා වෙන්න බැරිද? නිකිනිගේ මහත්තයාගේ අතකොළුවක් වෙන්න බැරිද?

"නිකිණි නෝනා ඉන්නේ ගොඩාරියක් දුකෙන්. කන්නෙත් නෑ , බොන්නෙත් නෑ.. බලාගත්ත අතේ බලාගෙන හුල්ලනවා. තිස්සෙම කල්පනාව"

"කාන්ත් මට එන්න කිව්වේ මොකටද? මට මගේ පොත දෙන්න නම්... ඒක ආපිට දෙන්න. නැත්තම් මම යන්නම්"

නිකිණි ගැන අහන දේවල් වලින් හිත හුරගන්න ගමන් උනත් මම එහෙම කිව්වා. කාන්ති සද්ද නැතුව බිම බලාගත්තා.

"පොතක් නම් නැහැ මහත්තයා. මම කිව්වේ බොරු. පොතක් දෙන්න නෙවෙයි මං එන්න කිව්වේ"

මට මල් පොකුරක් එක්කම තරු පොකුරකුත් පැන්නා. ඒ එක්කම මාව නැගිට්ටුනා.

"එහෙනං ?"

"මෙන්න මේ ටික කියන්න... නිකිණි නෝනට දුකක් දෙන්න එපා මහත්තයා...."

කාන්ති මගේ කකුල් දෙක අල්ලාගෙන බිම දිගා උනා.

මට කරකියාගන්න දෙයක් නැහැ. මම වටපිට බැලුවේ වටේ උන්ට මේ ෂෝ එක කොහොම පේනවද බලන්න. කඩේ කිසිම කෙනෙක් හිටියේ නැහැ. කැෂියර් එකේ ගෑනු කෙනත් පිටිපස්ස හැරිලා ෆ්‍රිජ් එකට ඔලුව ඔබාගෙන මොකද්ද වැඩක්. මම ආයෙමත් කාන්ති දිහා බැලුව. කඳුළු පෙරාගෙන කාන්ති මගේ දිහා බලාගෙන.


"....... මම නිකිණි නෝනා ගාව වැඩට ඇවිත් අවුරුදු 5ක් වෙනවා.. ඒ අවුරුදු පහට නෝනා වින්ද දුක් මම දන්නවා. ඒකයි මම කියන්නේ... අනේ නිකිණි නෝනත් එක්ක තරහ වෙලානම්.. අනේ එහෙම කරන්න එපා"

මගේ තරහ කැලේ... දඩ බඩ ගගා මොකද්දෝ දෙයක් ඔලුවට කඩාගෙන වැටෙනවා වගේ මට දැනුනේ. මගේ කටත් ඇරිලා.. මොනවද මේ වෙන්නේ? මට මොනවද මේ ඇහෙන්නේ?

"... මහත්තයා ගැන මට නිකිණි නෝනා කිව්වේ ඒ දවස්වලමයි. පුදුම සන්තෝසෙකින් හිටියේ ඉස්පිරිතාලෙ ඉන්නකොටත්.  මම හිතුවෙ නෝනාගේ අපල ඔක්කොම ගෙවිලා හොඳ  කාලෙ එනවා කියලා... නෝනා ඉන්න අපායෙන් ගොඩ එනවා කියලා"

"ඇයි කාන්ති එහෙම කියන්නෙ?"

උත්තරයක් වෙනුවට කාන්ති දිග බර සුසුමක් හෙලුවා.

"ඔයාගෙ නෝනා බැඳලා නේද? එයාට එයාගෙ හස්බන්ඩ් ඉන්නෙ?"

මම අමාරැවෙන් වචන එකතු කරමින් කිව්වා. වේදනාව මගේ හිත පහුරු  ගානවා.
කාන්ති සද්දයක් නැතුව කල්පනා කරනවා. මට පුදුම වේදනාවක් දැනුනේ.

ඇත්තටම නිකිනි ඉන්නේ අපායකද?  මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නෙ? කුතුහලේ වගේම බයකුත් හිතේ පොරකනවා.

"ඒක දිග කතාවක් මහත්තයා. ඒක කියලා නැද්ද නෝනා? මහත්තයා මට සමාවෙලා මම කියනවා අහන් ඉන්න පුලුවන්නං ..."

මම පුටුව ඇදලා ආයෙත් වාඩි උනා. කාන්ති මගේ අවසරය ලැබුනු බව දැනගෙන වට පිට බලලා හෙමින් කටහඩ අවදිකලා.

"නෝනා බැඳලා නම් තමයි මහත්තයා. ඒ උනාට.... ඒ ⁣සර් යකෙක්. නිකිනි නෝනා පුදුම දුකක් විදින්නෙ. චානක සර් නෝනාට දස වද දෙනවා. ඒකයි නෝනා මෙහෙට වෙලා ඉන්නෙ."

මට මේක මහ අපබ්‍රන්සයක්!

"ඉතිං නෝනට පුලුවන්නෙ ඩිවෝස් වෙන්න."

"බෑ මහත්තයා"

"ඇයි?"

"චානක සර් ඒකට ඉඩ දෙන්නෙ නෑ. කීපාරක් එහෙම කරන්න හැදුවද? ඔක්කො දේපල ටිකත් හරෝගෙන. ඒවා නැතිවෙයි කියලද කොහෙද. නෝනගේ සල්ලි වලට අනේ කෑදරකමේ දගලන්නේ... අනේ පවු අපේ නෝනා මලක් වගේ හැදුනු කෙනෙක්"

මගේ පපුව ගැහෙන්න ගත්තා.

"නෝනා මම ගැන මොනවද කිව්වෙ?"

කාන්ති මගේ දිහා බලලා හිනා උනා.

"හොස්පිට්ල් එකේ ඉන්න දවස්වල කටේ තිබ්බෙම මහත්තයා ගැනමයි. අර නෝනගේ යාලු නෝනා.. මාධවී නෝනා විහිලුත් කරනවා ඒ දවස්වල, මහත්තයා ගැන කියලා. ආයෙමත් ජිවිතයක් ලැබුනා වගේ.. මම ඒ කාලෙටම නෝනා එහෙම සතුටකින් ඉන්නව දැන්කමයි. අනේ මහත්තයා නෝනාව රවට්ටන්න නම් එපා බුදුබව ලැබෙයි. නෝනා හරි පවු"

මට දැන් හුස්මත් හිරවෙන්න වගේ. නිකිනි මම ගැන එහෙනම් ඒතරම්ම හිතලද? එහෙනං එදා මට ඒ විදියට කතාකලේ ඇයි?

"මම ඒක දන්නවා ඒත්...."

"මහත්තයාටයි නෝනටයි මම මගේ පන උනත් දෙන්නං. ඒ උනාට අනේ නෝනව රවට්ටන්න බොරුවට නං ආස්සරය කරන්න එපා. නෝනා මහත්තයට පන ඇරගෙන ආදරෙයි"

මම මේසේ ඔළුව තියාගත්තේ මහා බරක් දැනුනනිසා.
මම මොකක් විස්වාස කරන්නද? මේ ගැහැණියට ඇත්ත තත්වය වටහලා දෙන්නේ කොහොමද? ඇත්තටම මොකද්ද ඇත්ත තත්වය? කාන්ති හිතාගෙන ඉන්නේ නිකිනියි මමයි යාලුයි කියල. නිකිණි එහෙම හිතාගෙන වත් හිටියද?

"කාන්ති කොහොමද එහෙම කියන්නේ... නිකිණි මට ආදරෙයි කියල?"

"මට ඒක තේරුනා.... නෝනගේ මුනෙන්.. වැඩ වලින් ඒක පේනවා.. අවුරුදු පහක් තිස්සේ මම දන්නවා නෝනව "

"ඒක එහෙම වෙන්නත් ඇති කාන්ති. ඒ උනාට ඔයා නොදන්නා දෙයක් මෙතන තියෙනවා"

"මොකද්ද මහත්තය?"

මට ඔලුව උස්සන්න හිතෙන්නේ නැහැ. මම කොහොමද කෙනෙක්ගේ මූන බලාගෙන මේක කියන්නේ?

"කාන්ති හිතන විදියේ සම්බන්ධයක් අපි දෙන්නා අතරේ තිබ්බේ නැහැ. අපි දෙන්නා තරහ වෙලත් නැහැ"

"............"

"ඒ උනාට..... මගේ හිතේනම්.... එහෙම එකක් තියෙනවා"

කාන්ති මට විස්වාසයි කියල හිතුන නිසා මම ඇත්තම කිව්වා. මෝඩකමට වෙන්නත් පුළුවන්. නමුත් මට වෙන විකල්පයක් තිබ්බෙත් නැහැ.

"නිකිණි නෝනා , මහත්තය පන ඇරලා. ඒක මම දන්නවා"

මගේ ඔලුව යකාගේ කම්මල වගේ උනා. 'නිකිණි... නිකිණි.... නිකිණි' සුන්දර වේදනාවක් වගේ මගේ හිත පුපුරු ගහනවා.
නිකිනිගේ හිතෙත් එහෙනම් ආදරයක් තියෙනවා. ඒක හැංගුව හේතුව කාන්ති නොදන්නවට මම දන්නවා. මම එයාට බාලයි; එයා විවාහකයි. ඒක නිසා තමයි!
ඉතින් එහෙම කියලා ඇයි අපිට ආදරේ කරන්න බැරි? නිකිණි හැමදාම දුක් විඳින්න ඕනෙද?

"කාන්ති.."

"මහත්තය.?"

"කාන්ති මට එහෙනම් උදව්වක් කරනවාද?"

"මොකද්ද? ඕනේ උදව්වක් කරන්නම්"

"මට නිකිනිව මුනගස්සවනවද? මට ෆ්ලැට් එකට එන්න බැහැ.. හෙට පුලුවන්ද?"

"හෙට? හෙට නෝනා ඔෆිස් යන දවසනේ. ටිකක් හවස් වෙලා නම් පුළුවන් වෙයි"

"නෝනා කොහෙද වැඩ කරන්නේ?"

"මහත්තයා දන්නේ නැද්ද? නෝනට ගාමන්ට් එකක් තියෙනවා. අර මහාය්යාවේ තියෙන ලොකූ ගාමන්ට් එක"

මාව හොල්මන් උනා. මගේ දෙය්යනේ..... නිකිණි කියන්නේ එතරම්ම සල්ලිකාරියක්ද ?

"ම්ම්... ඇත්තද?"

"අද හවස? අපි හවස අපි මාලිගාවේ යනවා"

"අපි කීවේ ?"

"මමයි නෝනයි... වෙන කවුරුත් නෑ.. හවස පහට විතර"

මොනවා කරන්නද? නිකිනිව ඉක්මනට දකිනකල්, කතාකරනකල් දැන් මට පිස්සු වගේ.

"මම එහෙනම්... පහට.. හරියට පහට ඉන්නම් කරඬුව තියෙන තට්ටුවේ... කාන්තිලා එන්න"

"හරි මහත්තයා එනවා"

"තව එකක්"

"මොකද්ද?"

"නිකිනිට කියන්න මම එනවා කියලා. එයා එපා කිව්වොත් මට කෝල් එකක් දෙන්න. කතාකරනකොට නෝනගේ නම කියන්න එපා...."

මම ඒක කිව්වේ දුකෙන් වගේ.

"... එයා අකමැති නම්.. මම එයාව මුණගැහෙන්න එන්නේ නැහැ කියන්න"

"හොඳයි"

මම කාන්ති එක්ක කතාකරලා ඉවර වෙනකොට පැය ගානක් ගිහින්. මෙච්චර දවසක් එකම එක පුංචි පැලයක් වගේ තිබ්බ නිකිණි ගැන අදහස මහා වෘක්ෂයක් වගේ වැඩිලා ඒ පැය කීපයට.

නිකිණි මගේ හිතට වැදිලා තදටම. එයාට මම ආදරෙයි, ඇත්තටම! නිකිණි මට ආදරේ බවත් මම දන්නවා. ඒත් එයා මේපාර මාව ප්‍රතික්ෂේප කරයිද කියලත් දන්නේ නැහැ. නමුත් මම දන්නවා එයාගේ ආදරෙත් ඇත්තක් !

ඉතිං ආයෙමත් මම නිකිනිව අමතක කරන්න හිතන්නෙවත් නැහැ.. සත්තයි


**********************************

ප.ලි. සෝදුපත් නොබැලුවත් ස්තුතියි.

6 comments:

  1. මාත් අමතක කරන්නෙ නෑ සත්තයි.

    ReplyDelete
    Replies
    1. හා හා හා හා!

      බලමුකෝ ටෝක්ස් වගේද කියල

      Delete
  2. එක හුස්මට කියවන් යමි

    ReplyDelete
  3. /මම එහෙනම්... පහට.. හරියට පහට ඉන්නම් කරඬුව තියෙන තට්ටුවේ./

    අපි ඉස්සර කිව්වෙ මම ඉන්නං දන්ත ධාතුව යට කියල.....

    ReplyDelete
    Replies
    1. හි හි ඒකට කියන්නේ උඩ මළුව

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...