Thursday, March 9, 2017

74. ඔබ ඇවිත් යන්න එන්න... - 11

11.

-----------------------------------------------------------------

"මොකද්ද උඹ දාගත්ත කොක්ක?"


චලනයා බත්  අනන ගමන් ඔලුව උස්සලා ඇහුවේ සාලේ පලාතකවත් කවුරුත් නැති නිසා වෙන්න ඇති. බත් එක අතගගා හිටපු මම උඩ විසි උනා.

"ම.. මුකුත් නෑ "


"කලනයෝ.... උඹ මොකාටද එන්න හදන්නේ?"

මට කෑම එපා උනා. මම පිඟාන එහෙම්මම දාල අත හෝදගන්න පැන්ට්‍රි එකට ගියා. අත හෝදගෙන ආපහු හැරෙනකොට දොරකඩ අහුරගෙන චලන හටගෙන ඉන්නේ ගොන්පොරයකට වගේ.


"මාධවී අක්කා මට කිව්වා. මට ඇත්ත කියපන්. උඹ ඊයේ කොහෙද ගියේ?"


"මට  මගේ පාඩුවේ ඉන්න දීපන්"


"උඹ තාමත් අර කෙල්ල ගැන සයිකෝ නේද?.. උඹ දන්නවද මාධවී අක්කා මට දෙහි කැපුවා ඇතිවෙන්න... දන්නවද මොනවද කිව්වේ කියල?"


"මොනවද?"


"අහනහැටි විතරක්.... මොඤාවද ! මාධවී අක්ක අපිත් එක්ක තරහවෙන පොටක් මේක. උඹට පිස්සුද කලන? මම කියන තැනකට වඳින්නම්... එකට කෙල්ලෝ දාහක් දෙන්නම්.. ඕක අතෑරලා දාපන්! තාත්ත දැනගත්තොත් වෙනදේ මම කියන්න ඕනේ නැහැනේ"




මගේ පපුව හෝස් ගෑවා. ඇත්තටම තාත්තා මාව කෑලි කරලා මූදේ දායි. මගේ ඔලුව ආයෙමත් අවුල් උනා.

මට මොනවද අඩු? හොඳ පවුලක්.. අතිජාත සහෝදරයෙක්. අම්මා, තාත්තා, නංගි .. සතුටුවෙන්න ඕනේ තරම් දේවල් තියෙනවා. ඒත් ඒ දෙයක්ම අත ඇරලා මම මොකද්ද මේ නටන්න යන පිස්සුව? හැමදෙයක්ම අවුල් කරගන්නේ මොකටද මම?

මේ පිස්සුව නතර නොකලොත් මම විතරක් නෙවෙයි චලනත් අමාරුවේ. මගේ ඔලුව යුද්ධ පිටියක් වගේ. එක විදියකට නැති නිසා අවුලක් නොපෙනෙන්න මම පුළුවන් තරම් ටීවී එකේ තමයි ගතකලේ.


කම්පියුටර් කෝස් එකත් ඉවර උනා.  විභාගේ නම්  තිබ්බේ නැහැ. විභාගයක් අමාරු නොවිච්ච පලවෙනි වතාව.


හවසට යාළුවො එක්ක පිට්ටනියේ සෙල්ලම් කරන්න යන්න පුරුදු උනේ මනස්ගාත හිතනවා කියලා චලන කරදර කරන නිසා. ඉඳල හිටලා ටෙරන්ස් එනවා ක්‍රිකට් ගහන්න. ඒ ඌ චිරනි ගැන මොකක් හරි අහන්න හැදුවත් මම හිතාමතාම මාතෘකාව මකලා දානවා. චිරනි ගැන මතක් කලත් මට ඊට වඩා නිකිනිවම තමයි මතක් වෙන්නේ.


චලනටයි මටයි දෙන්නටම ක්‍රිකට් බෑ කියලා අනිත් උන් දන්නවා. යාන්තම් බැට් එක වනලා ජාමේ බේරාගන්නවා. ක්‍රිකට් ගහන තැන ලොකු ෆ්ලැට් එකක් තියෙනවා. චලන මට දවසක් දෙකක් පෙන්නුවා හැමදාම අපේ ක්‍රිකට් බලාගෙන ඉන්න කෙල්ලෙක්. මට නම් ගානක් නැහැ. ඉඳල හිටලා අපි සෙල්ලම් කරන තැනින් එහාට මෙහාට යනවත් නෝට් වෙලා තියෙනවා.


සෙල්ලම ඉවර වෙලා දවසක් එතන ටැප් එකට එනකොට වතුර නැහැ. චඃ! මට වතුර නැතුව නම් ඉන්න බෑ මොකක් නැති උනත්.


"අපිටත් උදේ ඉඳන් වතුර නෑ "


එතන හිටපු ගෑනු කෙනෙක් කිව්වා. මට නම් ඌරා වගේ යන්න බෑ පාරේ. චලන යන්න හදනවා. මම අදි -මදි කළා.


"ඔන්නොහෙ යමු බන්... ගෙදර ගිහින් වොෂ් දාමු"


මම මුණ පුළුටු කරගෙන ආපු හැරෙන්න හැදුවේ.


"වතුර ඕනෙද?"


කටහඬ ආපු පැත්ත එකපාරටම හිතාගන්න බැරුව මම වටේම කැරකුනා. අම්මටසිරි! අන්න අර කෙල්ල ඉන්නවා දත් තිස්දෙකම එළියේ දාගෙන. ඈතට දකිනකොට තේරුනේ නැතත් කෙල්ල ලස්සනයි. දුරට පැපොල්ද කොහෙද.


"ඔව්"


චලන පැනපු ගමන් කිව්වා. කෙල්ල ළඟ තියාගෙන හිටපු හෝස් එකක් දික් කළා. අපිත් කොටි වලිගෙ වගේ ඒක අල්ලගත්තා. මෙන්න ටිකකින් වතුර! මම නිධානයක් දැක්කා වගේ ප්‍රීතියෙන් පිනාගෙන ගියා.


"තැන්ක්ස්"


"ඉට්ස් ඕකේ.."


අම්මේ සිරික්කිය. වතුර නම් ලැබුනේ මට තමයි. මෙහෙමත් පැනලා දෙන කෙල්ලෝ ඉන්නවද? චලන මාව බයිට් කරනවා කොහෙන් ගියත් මට චීත්තයක් නම් සෙට් වෙන එක ෂුවර් කියලා. එක අතකට වතුර ඩිංගක් දුන්නා කියල ඒ කෙල්ල ගැන නරකයි කියලා හිතන්නත් බෑනේ.. මට නිකිණි මතක් උනා.


"හෝදගත්තද ? "



චලන මගේ කනට කරලා කියලා කෙකර ගගා හිනා උනා.  මම යන්තමට හිනාවෙලා සද්දේ වහගත්තා.

මට ආයෙමත් මතකයට ආවේ නිකිණි. මේ කාගේවත් නැති, මම කිසිම කෙල්ලෙක්ගෙ නොදැකපු අමුත්තක් නිකිනිගේ තියෙනවා. හිනාවෙනකොට නිකට හීනි වෙලා කම්මුලක් වලගැහෙනවා. බැඳලා කියලා හිතන්නවත් බෑ , ඉස්කෝලේ යන කෙල්ලෙක් වගේ. සින්ඩරෙල්ලා කුමාරි වගේ.. ඒ වගේම දුකෙන් ඉන්න කෙනෙක්...  අන්තිමට සින්ඩරෙල්ලා ට රාජ කුමාරයෙක් ලැබුනානේ.


මම රාජකුමාරයෙක් නෙවෙයිද? නිකිනිව මොකද්දෝ අමුතු බලකොටුවක් ඇතුලේ දුකෙන් හිරවෙලා ඉන්නවා කියලමයි මට දැනෙන්නේ. ඒ මොකද කියන්න මමවත් දන්නේ නැහැ.


මම මේ මොන බම්බුවක් හිතනවාද ? නිකිණි කියන්නේ කවුද? මම කවුද? එයා වතාවක් කිව්වනේ සිංහලෙන් එයා බැඳලා කියල. තව මොනවටද මම උඩපනින්නේ ?


ඒත් ...... මම කොහොමද නිකිනිව අමතක කරන්නේ?


නිකිණි මට හම්බුනේ අහම්බෙන්. ඒ වගේම කොච්චර පොඩි කාලයක්ද ගතවුනේ? ඒත්  අමතක කරගන්න බැරුව මම දඟලනවා. ඒත් චිරනි? චිරනි මට හම්බ උනේ ක්ලාස් යද්දී. චිරනියි මමයි අවුරුද්දකට ලංවෙන්න ආශ්‍රය කළා. ඒත්.. චිරනිගේ සම්බන්ධය නතරකරනකොට මට දුකක් දැනුනේ නැත්තේ ඇයි ? මම බොරුවක් නම් කලේ නැහැ චිරනිට. මට ඒ ගැන විස්වාසයි.


ඇත්තටම.... චිරනි මගෙන් අයින් උනාද.. මම චිරනිගෙන් අයින් උනාද? මම චිරනිට ආදරේ කලේ නැද්ද? එහෙම කියන්නේ කොහොමද? මම බොරුවට ආදරේ පෙන්නුවා නම් නෙවෙයි. ඒත්.. මොකද්දෝ අමුතු අඩුවක් තිබ්බා.


චිරනි ලස්සනයි. ඕනෙම කොල්ලෙක් දෙතුන්පාරක් බලන්න විතරක් නෙවෙයි, පස්සෙන් එන්න තරම් චිරනි ලස්සනයි. පන්තිවල හිටපු ලස්සනම කෙල්ල තමයි චිරනි. ඒකෙ සැකයක් නැහැ. ඒත්... මට දැනුනා අඩුවක්. චිරනි මගේ අදහස් වලට ගැලපුනේ නැද්ද මන්ද.. එක්කෝ මම කවදාවත් ඒ ගැන ගැඹුරෙන් හිතල තිබ්බේ නැතුවවද්ද ?නොගැලපීම මොකද්ද මන්දා.. හැමදාම ඒ පරතරය අපි දෙන්න අතරේ තිබ්බද?


චිරනි එක්ක යාලුවෙන්න මම දන්නම ; අපේ ඉස්කෝලෙම එවුන් කීදෙනෙක් පොරකෑවද ? මුල් දවස්වල මට දැනුනේ පුදුම ජයග්‍රහණයක්. ඒත්.. මම බලපොරොත්තුවෙච්ච දේවල් ඒ කිසිදේක තිබ්බේ නැහැ. කවදාකවත් චිරනි මගේ හිතට කතා කරලා තිබ්බේ නැහැ නේද? මම කැමති මොනවද කියලා හොයල බැලුවද කියලවත් මතකයක් නැහැ. මම වශී උනේ චිරනිගේ ලස්සනට.

නිකිණි චිරනිට වඩා ගොඩක් වෙනස්. ඒ හිනාවට උනත් පුළුවන් මගේ හිතට කතාකරන්න. ඕනෙම දෙයක් මට කියන්න පුළුවන් බයක් නැතුව කියලා හිතෙන්නේ. හිත පිරෙනවා. ලස්සනටම නෙවෙයි... වෙන මොකද්දෝ එකක්.


"කලන.. මෙන්න උඹට කෝල් එකක්"


මගේ මනෝ පාරට 'සලාන්' ගාල බෝලයක් වැදෙන්න චලනයා කෑගහනවා ඇහුනා. යක්කඩෝ ! කවුද මට කෝල් කරන්නේ? මම දනි - පනි ගාල ඇඳෙන් බිමට පැනලා සාලෙට දිව්වා. චලන රිසිවරය තියලා ගිහින්. මම දෙගිඩියාවෙන් ඒක කනේ ඔබාගත්තා.


"කලන?"


"ඔව්... ස්පිකින්!"


අප්පට හුඩු , කෙල්ලෙක්! මල තොප්පියයි. තාත්තා දැනගත්තොත් කෙල්ලෝ ගෙදරට කතා කරනවා කියල මලකෙලියයි. මම වටපිට බැලුවා, කවුරුත් නෑ ළඟපාත.


"මම.. මහත්තය... මම කාන්ති කතාකරන්නේ"


"කාන්ති.. මොන?"


මට මීටරේට වැටුනේ නැහැ.


"නිකිණි නෝනගේ"


මම බිරාන්තවෙලා ගියා. කටේ කෙලත් හිඳුන. ආයෙත් වටපිට බැලුවා, කවුරුත් නෑ.


"අ... අ... ඇයි.. ක. කාන්ති.."


"මහත්තය ඇයි ඊයේ අහක බලාගන ගියේ? මහත්තය එදා අපේ ගෙදර පොතක් දාල ගිහින් තිබ්බ. මම ඒක දෙන්න කතාකලේ"


"මොන?"


"අර මොකද්ද පොතක්"


"ඒක නෙවෙයි! මම කොහෙද ඊයේ දැක්කය කිව්වේ?"


"ඇයි.. ඊයේ මහත්තයා ෆ්ලැට් එක ගාවින් ගියේ? මම කතාකලා ඇහුනේ නැහැ මම හිතන්නේ. නෝනා කිව්වා පොත එවන්න ක්‍රමයක් අහගන්න කියලා"


"චඃ.. පොතක් නෙවෙයි හලෝ.. මම ආවේ නැහැ ඔය පැත්තේ.…"


"මහත්තයම තමයි. මම හොඳට දැක්කා.. ඇයි.. අපේ නෝනා එක්ක සණ්ඩු උනාද?"


"මම මොකටද ඔයාගේ නෝනා එක්ක සණ්ඩු වෙන්නේ? මම නම් ආවේ නැහැ.. ම්ම්ම්.. මොකද්ද මම ඇඳගෙන හිටියේ?"


"එදා මහත්තයා ආපු දවසේ ඇඳගෙන හිටපු එකමයි."


මට තරු විසි උනා. චලනයා! ඌ කොහෙද එහෙ ගියේ?


"එකට කමක් නැහැ. මට පොත එපා"


"එඩ්රස් එක දෙන්න මහත්තයා.. මම තැපැල් කරන්නං "


"ඒත් එපා. මට දැන් ඒකෙන් ඇති වැඩක් නැහැ"


"මහත්තයා....."


කාන්තිගේ හඬේ මොකද්දෝ වෙනසක් උනා.


"ඇයි ?"


"මහත්තයා හෙට මෙහෙ එනවද?"


"ඒ මොකටද?”


"තරහ ගන්නේ නැතුව මහත්තයා එනවද? මට මහත්තයට ලොකු කතාවක් කියන්න තියෙනවා. නැත්තම් මම කොහෙට හරි එන්නද? මහත්තයා කියන තැනකට ?”


මේ මොන ගිනි ගෙඩියක්ද?


"මෝ මොකටද ඒ?”


"අනේ මහත්තයා. මේක හරි වැදගත්. මම  ගැන වැරදියට හිතන්න එපා මහත්තයා………. මහත්තයට විතරයි මේක කරන්න පුලවන්"


"මොකද්ද ? මොනවා ගැනද මේ කියන්නේ?"


"ඒක ලොකු කතාවක් මහත්තයා.... මෙහෙම කියන්න බෑ. මම කොහෙටද එන්න ඕනේ මහත්තය?”


“............”


මට දෙන්න උත්තරයක් නැහැ  . හොල්මල් වෙලා මම මේ කතාවට. මොකක් කියන්නද? මේ නාඳුනන ගෑනිට මොකද්ද තියෙන කතාව මගෙත් එක්ක?

නිකිනියි මමයි ගැනද? මට බනින්නද? ගහන්නද? තර්ජනය කරන්නද? නිකිනිගේ කසාද මහත්තයාගෙන් එන  තර්ජනයක්ද? මට තේරුම් ගන්න බැහැ


"මහත්තය"


".........……."


"අනේ මහත්තය පින් සිද්දවෙයි, එන්නකෝ…... මම ආයෙම කෝල් කරන්නද?”


කාන්ති අඬන්න වගේ හඬින් කිව්වා


"එපා මම එන්නම් ෆ්ලැට් එකට"


මට එකපාරටම කිය උනා. මම රිසිවරය තිබ්බේ පඹ ගාලක පැටලිලා .


මොකද්ද ඒ  පාර වෙන්න යන්නේ ?අනිත් පිස්සු හැදෙන කතාව චලන ඒ  පැත්තේ හිටියා කියන එක. මේ හැමදේකම නිකිණි ඉන්නවා.  අත අරින්න බැරි බන්ධනයක් වගේ.


චලනගෙන් එක ප්‍රශ්නයක් විසඳන්න ගියොත් කෝල් එක ගැන ඔක්කොම කියන්න වෙයි. එතකොට ආයෙම ගම කන්න වෙනවා.


එක්කෝ ඌ කොහේ හරි වෙන ගමනක් යන්න ඇති ඒ පැත්තෙන්.. ඌ ඔත්තු බලන්නවත් ගියාද? නැහ්හ් වෙන්න බෑ.. ඌ ඒ ජාතියේ නෙවෙයි. අහන්න බෑ මගේ කිල්ලොටේ හුණු තලියක් තියෙන නිසා. දැන් කරන්න දෙයක් නැහැ. එන විදියට මුණ දෙනවා.




*****************************************




ප.ලි: මගේ කුඩුකේඩුකම නිසා මේ පාර සෝදුපත් නොබැලු බැවින්, අඩුපාඩු තිබිය හැකිය 

13 comments:

  1. onna 1st. dawasak inna ba ooi next eka kiyawanna....

    ReplyDelete
    Replies
    1. පොතෙන් මේකට ටයිප් කරගන්න වෙලාවක් නැහැ අනේ. මිටපස්සේ කොටස් දෙකක් විතර එකට දාන්න ට්‍රයි කරන්නම්. කුතුහලෙත් ඉතින් තියෙන්නේ එපෑ , නේද?

      Delete
  2. නිකට හීනි නිසා වෙන්නැති නිකිණි කියලා නම දාන්න ඇත්තේ....

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ... හි හි හි
      මාර ඇනලසිස් තමයි අරැණට තියෙන්නෙ

      Delete
  3. හප්පච්චියේ කාන්ති කොල්ලට කං සැපක් දෙන්ඩද කොහෙද හදන්නේ

    ReplyDelete
  4. චලන මැරුං කන්න තනන්නේ මගෙං ඕං..

    ReplyDelete
  5. කියවාගෙන යනව...නියමයි

    ReplyDelete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...