Monday, March 6, 2017

71. ඔබ ඇවිත් යන්න එන්න... - 08

08
----------------------------------------------------------------------
විභාග භීතිකාව වකුගඩුවටත් දැනෙනවා. ' මේපාර නම් වැරදුනොත් උඹ ඉවරයි' කියලමයි මගේ ඔලුවේ වැඩකලේ. එක අතකින් තාත්තා; අම්ම නම් කූල් . බෑන්ක් මැනේජර්ගේ පුතා ඒලෙවල් ෆේල් කිව්වම මොන පැත්තකින්ද හිනා නොයන්නේ. තාත්තා නම් අපිව කෝටුමස් කරයි. අපි දෙන්නා වගේ නෙවෙයි, නංගි නම් පාඩම් කරනවා නෙවෙයි බොනවා. අපි දෙන්නා ඉතින් කවදා කාපු ටකරන්ද?
හිත හදාගෙන රෑ දොළහ වෙනකල් ගණන් ටිකක් හැදුවා. මෙලෝ දෙයක් මතක නැහැ. චලනයා හෝ ගාලා නිදිකිරනවා. මට නම් නිදිමත අහලකවත් නැති උනත් හිත එක තැනක නැහැ.

පහුවදා බදාදා. කට කපලා නිදාගන්න දවස. නිවාඩු තියෙන්නේ එදාට විතරයි. ටවුමේ රස්තියාදුවක් යන්න කියාපු දවස.

"ලොකු මෑන්.. ලොකු මෑන් "
අම්මගේ බරබරේ උදෙන්ම. ඇහෙන තාරතාවයේ හැටියටම බාල්දියක් බව තේරෙනවා. මම කොට්ටේ ඔලුව ඔබාගත්තා. ලොකු එකක් තියෙන එකෙක් කතාකරපුවාවේ.

"... ලොකු මෑන්... තාම නිදිද? නැගිටින්න නැගිටින්න... අර තාත්තගේ බත් එක  ගෙනිහින් දෙන්න ඔෆිස් එකට. අද හදිස්සියට ඒකත් දාල ගිහිං "

"මොකද්ද අම්මේ.. ඕක කන්නේ දවල්ටනේ. දවල්ට ගෙනිහින් දුන්නම මදැයි. මට නිදිමතයි"

"අනේ පුතේ.. පොඩි මෑන් එක්කම ගිහින් මේක දීල එන්නකෝ. තාත්ත අද උදේට තේක බිව්වෙත් නෑ "



අම්මල තාත්තලාගේ ලව් නිසා අපිට තමයි පරිප්පුව. පුදුමයි ; අම්මත් උදේම මජන් සූට් එක මාරුකරගෙන. මම කබ කඩ කඩා; ඈනුම් යව යවා , ෂෝට් එක පිටින් සාලේ දිහාවට ආව. මලා.. කවුදෝ කට්ටියක් සාලේ. මම අඩියට දෙකට බාත්රූම් එකට පැනගත්තා.
මල තොප්පියයි. නංගිගේ කැකිරි පැලිල්ලේ හැටියට එයාගේ යාළුවො රොත්තක් ඇවිත් වගේ. මම ඉක්මනට මූණට වතුර පාරක් ගහගෙන හොර පාරෙන් කාමරේට ගියා. චලනයා කාමරේ නැහැ. මෙන්න සාලෙන් උගේ කටහඬ ඇහෙනවා... මූට ගියපු කලක්!

"සඳමිනි ද? ආ...... .ඔව් ඔව්.."
ජංජාලයයි... 'මූන් ලයිට්ද'? මේ මොකද්ද බොලේ මේ වෙන්නේ. මම ඉක්මනට එහාට මෙහාට දුවලා මනුස්ස පාට වෙලා ඉක්මනට සාලේ පැත්තට ගියා, නැත්තම් නංගිගේ යාළුවො පවුනේ.

"ආ... කලන.. ගුඩ් මෝනින්"

"තාම ඉර පායලා නෑ වගේ"

ගෙදර නෙවෙයිනම් දනී මම කරන දේ. මෙන්න චලනයා වාඩිවෙලා කතාව. මමත් වාඩි උනා.

"ලොකු මෑන්... මේන් බත් එක!"

මට ලැජ්ජාවේ බැරුවා. මේ කෙල්ලෝ අස්සේ අම්මා මාව සවුත්තු කරනවා. මේ සූකිරි බෝලේ වගේ ගතියට ඉන්න එකාට ළඟින්වත් යන නමක්ද ඔය කියන්නේ? අරූගෙ අහවල් එකක් පොඩි වෙලාද ඌ පොඩි මෑන් උනේ?

"පස්සේ යන්නං "

"දැන් මම වතාවක් කිව්වනේ. මේන් මේක මාධවී දුවටත් දීලම එන්න"

තවත්  පාර්සලයක් දුන්නා. මාධවී අක්කා කිව්වහම මට පපුවත් එක්ක මොකද්ද උනා. අම්මගේ ස්වරයේ තිබ්බ වෙනස නිසා දැම්මම යන එක තමයි ඇඟට  ගුණ. දැන් ඉතින් මැරෙන්නය? මටයි චලනටයි යන්න උනා.

තාත්තගේ බැංකුවට මම ගිහින් තියෙන්නේ අතේ ඇඟිලි ගානට. අපිට එහෙ තහනම් කලාපයක්. අවසර ලැබෙන්නේ මේ වගේ වෙලාවල් වලදී විතරයි. අම්මගේ යාළුවගේ පොඩි දුව ;මාධවී අක්කා; වැඩකරන්නේත් ඒ බ්‍රාන්ච් එකේමයි .
එදා බැංකුවේ සෙනග වැඩියි. අපි දෙන්නා කෙලින්ම ඇතුලට ගියේ සික්කා අපිව දන්නා නිසා.

"හලෝ මචන් කොහොමද?"

ක්ලාස් එන එකෙක් හම්බුනා. බැංකුවේ වැඩකට ආවා කිව්වා. නැත්තම් තාත්තට බත් ගෙනාව කියන්නද?

මාධවී අක්කා කවුන්ටරේ හිටියේ නැහැ. අද ඇවිල්ලා නැතුවද මන්දා. මට අපහසුයි වගේ දැනුනේ. නිකිනිගේ මතකය අලුත් වෙනකොට පපුව හුරනවා වගේ.
තාත්තගේ වීදුරු කූඩුව එළියෙන් අපි දෙන්නා කීකරු බළල් පැටවූ දෙන්නා වගේ හිටගෙන ඉන්නකොට ඇතුලට යන්න අවසර ලැබුනා.

"එනවා එනවා ඇතුලට... මොකද?"
ඒ තමයි තාත්තගේ ඇමතුම.

"තාත්ත... බත් එක දාල ඇවිත්"

"අඃ .. ඇත්තද? ඔව් නේන්නං.... කෝ"

මම බත් එක දෝතින්ම මේසේ උඩින් තිබ්බ. ලිපිගොනුවක් අරන් සුදුම සුදු කෙල්ලෙක් ආව කාමරේට. ඔන්න මම නම් නෙවෙයි බැලුවේ.

"මේ සර්ගේ පුතාල දෙන්නද?"

මම ගැස්සුනා.

"ආ.. ඔව් ඔව්... නදිනි දැකල නැතුව ඇති"

"අන්....නේ.... මේ මල්ලිලා දෙන්න අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා නේද ?හරි ෂෝක් " 

මදැයි... කනට ගැහුවා වගේ. ආයෙමත් නිකිණි මතක් උනා. කෙල්ල හිනාවෙලා යන්න ගියා.

"රස්තියාදුවේ නොයා ගෙදර යනවා"

"තාත්තේ.. මේ"

"මොකද?

"මේක අම්ම මාධවී අක්කට දෙන්න කියල දුන්න"

"තියල යන්න මම දෙන්නම්"

" එයා ගාව තියෙන පාර්සල් එකක් ඉල්ලගෙන එන්න කිව්වා"

"ඇයි කවුන්ටරේ නැද්ද?"

තාත්තා වෙලාව  බලන ගමන් කිව්වා.

"හිටියේ නැහැ"

"එහෙනම් කැන්ටින් එකේ බලන්න"

ඒ කියන්නේ 'දැන් පලයන්' වගේ. අපි දෙන්නා ගරුසරු ඇතුව එලියට ආවා. කැන්ටින් එකට යන්න ඇතුලට යන්න ඕනේ. සික්කා අපි එනකොටම හිනාවෙලා දොරත් ඇරලා දුන්න.
'මොනවද මේ තරම් වටිනා දේ?'
මට නිකමට බලන්න හිතුනා. බ්‍රවුන් පේපරේ දිග ඇරලා මම ඔතපු කොටසින් යන්තමට එබිලා බැලුව. මලා! නවනින්ගිරාවයි. කාන්තා යට ඇඳුම්. මම ආයෙමත් ඒවා ඇතුලට එබුවේ දාඩිය දාපු නිසා. චලනයාට හිනා.

කොරිඩෝවේ අග තිබ්බ දොර ඇරගෙන අපි දෙන්නා කැන්ටිමට යනකොට මුළු  කැන්ටිමම හිස්.
හිස්ම හිස් කැන්ටිම සිසාරා බලපු අපිට මාධවී අක්කා කොනේම මුල්ලේ මේසෙක වාඩිවෙලා ඉන්නවා පෙනුනා. අපිට පිටුපාලා ඉඳගෙන හිටපු මාධවී අක්කා අපේ අඩි සද්දෙටද මන්දා පුටුවෙන් හැරිලා අපි දිහා බැලුවා.
ඒත් එක්ක ඉස්සහරහින් පුටුවේ වාඩිවෙලා හිටියේ වෙන කවුරුත් නෙවෙයි, නිකිණි!

මගේ ඔලුවට එකපාරටම හෙනයක් පාත් උනා වගෙයි. ඒ විතරක් නෙවෙයි, නිකිනිගේ ඇස්දෙක හොඳටම රතුවෙලා , කඳුළු දෝරේ ගිහින් ඉදිමිලා තිබුනා. මාව දැකපු නිකිණි බිරාන්ත වෙලා වගේ බලාගෙන හිටියා. මට කරකියාගන්න දෙයක් නැති උනා. කකුල් දෙක පන නැති වෙලා මුළු ලෝකෙම කඩාගෙන මගේ ඉස්සරහ වැටෙනවා වගෙයි මට දැනුනේ.

"ආ... කලන මල්ලි.... ඈ ඇයි ?"

මාධවී අක්කා අපිව දැකලා කලබලෙන් නැගිටලා අපි හිටපු පැත්තට එන්න හැදුවා.
මගෙත් නිකිනිගේත් ඇස්  ඒ ක්ෂණයේ යා උනා. මගේ ඇස්දෙකටම පෙනුනා නිකිනිගේ ඇස්දෙක කොතරම් ලොකු උනාද කියල..
'කලන මල්ලි' කියල ඇහුන ගමන් ඒ මුහුණ බලාගෙන ඉන්නකොට ජම්බු ගෙඩියක් වගේ රතු උනා. එයා මගේ දිහායි; මාධවී අක්කගේ දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ ඒ බිරත්න පෙනුමෙන්මයි. මගේ මුණ දැක්ක මාධවී අක්කා ගල් ගැහුනා.

අතේ තිබ්බ පාර්සලේ කැන්ටිමේ මේසයක් උඩට විසිකරපු මම ආපහු හැරුනේ විදුලි වේගෙන්.
චලන ගල් ගැහිලා වගේ ඉන්නවා මම දැක්කා. අඩියට දෙකට කැන්ටිමෙන් විතරක් නෙවෙයි බැංකුවෙනුත් එලියට පන්න මම අවසිහියෙන් පාර දිගේ  දුවගෙන ගියා.

දෙනෝදාහකගේ ඇඟේ හැප්පි හැප්පි මම කොහේ දිව්වද කියල මටම තේරුමක් තිබ්බේ නැහැ. අන්තිමට මම නතර වෙලා තිබ්බේ වැව රවුමේ අන්තිම කෙළවරක. මහා විසාල ගහක් ළඟ  බංකුවකට කඩන් වැටුන මම අත්දෙක ඔලුවේ ගහගෙන පිස්සෙක් වගේ ඔහේ හිටියා.

නිකිණි මුලිම්ම මුණගැහුණු දවසේ ඉඳන්, එයාව බලන්න ගියපු හැටි; ඒ ඇස්වල කාන්තිය මම විඳපු හැටි; මගේ අත්දෙක අල්ලාගෙන හිටපු හැටි; උමතුවෙන් වගේ එයාවම හිතමින් හිටපු හැටි; එයාව බලන්න ෆ්ලැට් එකට ගියපු හැටි.... මේ හැම දෙයක්ම චිත්‍රපටියක් වගේ මැවෙන්න ගත්තා. ඒ හැම මොහොතකම තිබ්බ පුංචිම පුංචි දේවල් පවා මට ආයෙමත් ආයෙමත් මතක් වෙන්න ගත්තා. ඒ හැම මොහොතකම මගේ හිතට දැනුන අමුතු හැඟීම ආයෙමත් දැනෙන්න ගත්ත. ඒ දැනෙන හැම වෙලාවකම මහා ගින්නක් මගේ වටේ පත්තු වෙලා මාව දවනවා වගේ දැනුනේ.

මගේ ඇස්වල තෙතක් තිබ්බා වගේ මතකයි. හුස්ම ගත්තේ අමාරුවෙන් වගේ. මේ හැමදෙයක්ම පොඩිකරලා; චප්ප කරලා දාල කෑගහල අඬන්න ඇත්තම් කියලා හිතුනේ.

'තරුමල් යායම පොඩිකර අහස් විලේ
ඉරහඳ මිරිකා දියකර සාගරේ'

පපුව හය්යෙන් මොරගාන්න ගත්තා. දෙය්යනේ! ඇයි මෙහෙම වෙන්නේ? මොන එකක්ද මේ විදියටම හැමදේම මට වෙන්නේ? නිකිණි දැන් මම ගැන දන්නවා. මම මල්ලි කෙනෙක් කියලා දන්න නිසා මම දිහා දැන් බලන්නේ වත් නැති බව ෂුවර්. මම මහා කුපාඩියෙක්; ගෑනු පෙරේතයෙක් වගේ හිතයි! අනේ එහෙම දෙයක් නැහැනේ.. මගේ හිතේ නිකිණි ගැන තියෙන්නේ මොනවගේ දෙයක්ද කියල මට  හිතාගන්න බෑ. නමුත් කිසිම නරක දෙයක් හිතක කොනකවත් නැතිබව මට දිවුරන්න පුළුවන්. කොහොමද මම මේ දේවල් තේරුම් කරලා දෙන්නේ එයාට? දැන් හැමදේම ඉවරයි නේද? වැවට පනින්න වගේ ආවේගයක් තිබ්බත් මම දෝතින්ම මුහුණ වහගෙන පුළුවන් තරම් සන්සුන් වෙන්න උත්සහ කළා...

එකම එක වතාවක්... එකම එක වචනයක් එක්ක මේ හැමදේම නිකිනිට තේරුම් කරන දෙන්න පුළුවන් නම්.....

යන්තමට කඳුලක් පිටවෙලා ගියාට පස්සේ මම සෑහෙන වෙලාවක් රැලි නගන වතුර දිහා බලාගෙන හිටියා. බුර බුරා නගින ගින්න වෙනුවට මහා හිස්කමක් තමයි ඉතුරු උනේ. අන්තිමට මගේ දකුණු උරහිස කවුදෝ අල්ලනවා දැනිල මම ගැස්සිලා ආපු බැලුවා. වටේටම කළුවර.

"කලන.... මචෝ.. යමන් ගෙදර"

චලනයා..

මහා රෑ වෙනකල් මම මෙතනද? මම සතියක් උන හැදිච්ච එකා වගේ දුර්වල වෙලා කියලා මට හිතුනේ. අතපය ගල්වෙලා වගේ. මාව ඌ උගේ උරහිසකට වාරුකරගත්තා.
මම තද කරලා චලනව අල්ලාගත්තේ ඇයි කියන්න දන්නේ නැහැ. මම දුර්වලයි. ගතින් වගේම හිතිනුත්. අඳුර හින්දා උගේ මූන නොපෙනෙන එක එක අතකට හොඳයි.

" ....මම උඹව හැමතැනම හෙව්වා"

මාව ත්‍රිරෝද රථයට නග්ග ගත්ත ගමන් චලන කිව්වේ කම්පනය වෙච්ච කටහඬකින්. ආයෙත් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ගෙදර තත්වෙත් ඌ ඔක්කොම හසුරවගත්තා වෙන්න ඇති. කිසි කෙනෙක් මගෙන් කිසිම දෙයක් ඇහුවේ නැහැ. මම මහාමාරිය ලෙඩෙක් වගේ ඇඳේ ගුලි වෙලා හිටියා. පැයකට විතර පස්සේ මම හිතේ හැටියට කොට්ටෙට මුණ ඔබාගෙන ඇඩුවා , හිත ඔකොම දිය වෙලා යනකල්.


***********************************************
ඊළඟ කොටස 

ප.ලි. මට සෝදුපත් බලාදෙන ඒ ඇස්දෙකට පින්.

12 comments:

  1. Replies
    1. ඔය අඬන්න පටන්ගත්ත නෙවෙයි...

      Delete
  2. කියෝපු වෙලාවෙ ඉඳන් තාම අඬනව අනේ!

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතිං ... හරි නෑ කියල කෙලිම්ම කිව්වනං ඉවරයිනෙ.
      මේවා මේ දෙකයි පනහේ ලියවිලි. දනිමි.

      Delete
  3. තාත්තයි, පුතාගෙයි දෙබස් ටික මරු ලිඛිතා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. තාත්තා එක්ක ලිමිටඩ් කතාබහ තියෙන එක මට හරි හිනා යන දෙයක් ඒ කාලෙ. දැන් නම් එහෙම නෑ

      Delete
  4. හ්ම්ම්...දැනෙන කතාවක්....දිගටම කියවන්න එන්නම්

    ReplyDelete
    Replies
    1. විසිරි? ඔයා? ⁣මෙහෙ? පුදුමයිනෙ.... කවුද ලින්ක් එක දුන්නෙ?

      Delete
  5. /අපි දෙන්නා ගරුසරු ඇතුව එලියට ආවා. /

    මාත් ඉස්සර අප්පච්චි හම්බවෙන්න කච්චේරියට ගිහිල්ල ගරු සරු ඇතුව තමයි කාමරෙං එලියට එන්නෙ...ඒ කිව්වෙ පස්සෙං පස්සට...

    /මේ මල්ලිලා දෙන්න අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා නේද ?/

    අයිඩෙන්ටිකල් ට්වින්ස්ල වෙන්නෙ බං අයිඩෙන්ටිටි කාඩ් එක හදාගත්තම. ඊට කලිං නන්-අයිඩෙන්ටිකල් ට්වින්ස්...

    ReplyDelete
    Replies
    1. ආන්න එහෙම තමයි ආවේ.. කෝ ඉතින් වචනේ ඇවිල්ල නැහැ.
      මේකත් අර 'පස්දුන් කෝරලේ' කතාව වගේ.

      Delete
  6. wewa raume konak thiyenawada? he he

    ReplyDelete
    Replies
    1. [ වැව රවුමේ අන්තිම කෙළවරක.]
      වැවරවුමේ කෙලවර විදියට නුවර ව්‍යවහාරයේ තියෙන්නේ අම්පිටියට හැරෙන පැත්තේ. එතන තියෙනවා ඉස්කෝල දෙකක්මත්.

      Thanks for the comment

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...