Wednesday, March 15, 2017

70. ඔබ ඇවිත් යන්න එන්න... - 07

07
--------------------------------------------------------------------
නිකිනිගේ ෆ්ලැට් එකට ගිහින් මම කරගත්තේ මොන අමන;ගොන් වැඩක්ද කියලා මට පස්සේ හිතුනා. මම යන්න ඕනේ නැති ගමනක් මම ගියේ. හිත හදාගන්න බැරුව මම ක්ලාස් දෙකක්ම කට්  කරගෙන ගෙදරට වෙලා ගුලිවෙලා හිටියා.

ක්ලාස් යන්න චලන එක පාරක් කතාකලා. එච්චරයි. මට මගේ පාඩුවේ ඉන්න දුන්නා. වෙලාවකට මට හිතුනා චලනට මගේ ගමනත්; සිද්ද වෙච්ච දේවලුත් ඔක්කොම කියල හිත නිදහස් කරගන්න. ඌ මට අනිවාර්යයෙන් අම්මමෝ නැතුව බනීවි.

ඒත් කමක් නැහැ කියලා මම ඌට ඔක්කොම කතාව පුළුවන් විදියට ; නිදාගන්න ගිහින්;  ඇඳේදී කියලා දැම්මා. ලයිට් ඔෆ් කරලා; කළුවරේ නිසා පහසුවක් තිබ්බ ඔක්කොම කියාගන්න. මම කන හදාගෙන හිටියේ හොඳවයින් කුණුහරප දෙකතුනක් එක්ක බැනුමක් අහන්න.
ඒත් චලනයා 'හ්ම්ම්' කියලා වචනයක් කිව්වේ නැහැ.
මට හෙන පුදුමයි. ඉවසගෙන ඉන්න බැරුව මම ඇඹරෙන්න ගත්ත. ඇයි මූ මට බනින්නේ නැත්තේ?

"චලන. ම.. මම හිතුවේ උඹ මට බනියි කියල"

"..................."

"චලන ... ! කතා කරපංකෝ බං !!!"
කරුවලේ මට ඌගේ මුණ පෙනෙන්නෙත් නැති නිසා මම බෙරිහන් දුන්නා.

"................."

".. චලන...! මොනවහරි කියපන් බං.. උඹට තේරෙන්නේ නැහැ.... මම ඉන්නේ මොන තත්වෙකද කියලා. මම දන්නවා මම ගියේ වැරදි ගමනක් කියලා. ඒත්... මට ඒක නොකර බැරි උනා. මම පිලිගන්නවා මගේ වැරද්...ද"

"............"

"චලන!!!"



මම ඇඳේ ඉඳගත්ත. 'දඩ බඩස්' සද්දෙන් ඇඳෙන් බැහැපු චලන කාමරේ ස්විච්  එක දාල ; ඉනේ අත්දෙක ගහගෙන මගේ දිහා කන්න වගේ බැල්මක් දැම්මා.

"ඉවරද උඹේ කතාව?"


උගේ ඒ 'තාත්තගේ' ටයිප් ස්වරයට මම ගල්වෙලා හිටියා. ඌ ආයෙමත් හැරිලා ගිහින් දොරේ අගුල දැම්ම. මේ මොනාද වෙන්නේ කියල මම බලාගෙන උන්නේ.

"..... මේ අහපං. මම උඹට වතාවක් කිව්වා ඕකිව අත අරින්න කියලා. ඒත් උඹ ඇහුවේ නැහැ. ගියා ගෙවල් හොයාගෙන... උඹට හම්බුනා අල! ආයෙත් වතාවක් මම කිව්වත් වැඩක් නෑ.. ගමනේ හරි වැරැද්ද හොයන්නේ ගිහින් ඉවර වෙලාද? උඹ ඕනේ මගුලක පලයන් මට කමක් නෑ. මට කියන්න එන්න එපා... ගිහින් කියාගනින් උඹේ....."

චලන තරහින් වෙව්ලනවා. මම දැකලා නැහැ මූට මෙච්චර තද වෙනවා. අපි දෙන්නගෙන් සාමාන්‍යයෙන් රතුකට්ටා මමයි. චලනයාට ලේසියෙන් තදවෙන්නේ නැහැ. තද උනත් මෙච්චරම තද වෙන්නේ නැහැ. මම කොට්ටේ අස්සේ ඔලුව ඔබා ගත්තා.

දැන් ඉතින් ඉවරයි. මුගෙයි මගෙයි සහෝදරකමුත් ඉවරයි. මගේ තත්වේ දැන් හොරිකඩ බල්ලෙක් ගානයි. අක්කා කෙනෙක්ට පෙරන්ඩ ගිහින් මම කරගත්ත වින්නැහියක්! විභාගෙත් ලයිට්කනු අරගනියි. චිරනිත් දැන් මේක දැනගනියි.
මට මගේ ජීවිතෙත් තිත්ත වෙලා.

"කලන"

චලනය මගේ පිටට අත තියනවා මට දැනුනා. ඌ මාව උඩුබැලි අතට පෙරලුවා.

".. මට තරහ ගියා බං. මගෙත් එක්ක තරහ වෙන්න එපා මචං. මට ඉන්නේ උඹ විතරයිනේ"

සහෝදර ප්‍රේමය නිසා මම ඌ ව තද කරලා බදාගත්තා. ඇත්තටම ඒ බැම්ම කොච්චර ශක්තිමත්ද? චලන මට බැන්නේ ; ඌට තරහ ගියේ මං ගැන තියෙන ඒ සහෝදර ප්‍රේමේ හින්ද නේද?

"හිත හදාගනින් කලන"

චලනයා මගේ උරහිසෙන් අල්ලලා කිව්වා. ඒ වචන ටිකම මට ශක්තියක්.

"... කොල්ලෝ උනහම වලේ බහිනවා ඉඳල හිටලා.. ඔය ප්‍රශ්න පැත්තකින් තියලා ක්ලාස් පලයන්. ටික දවසකින්ම අතෑරලා දාපන්"

මම කීකරු විදියට ඔලුව වැනුවා. චලනයා මගේ කෙස් අවුල් කරලා මගෙත් එක්කම ඇඳේ දිගා උනා. මමත් එහෙම්මම නිදාගත්තා. ලයිට් එක ගැනවත් කල්පනා උනේ නැහැ. නිදි වර්ජිත උනත් කල්පනා කරමින්ම අපි දෙන්න හිටියේ කිසිම කතාබහක් නැතුව.

---------------

පහුවදා උදේ අලුත ඉපදිච්ච පූස් පැටියා වගේ මම චලනයත් එක්ක ක්ලාස් යන්න එලියට බැස්සා.
නංගිත් ඇවිත් හෝල්ට් එකට.

"ආ..... මොකද අද කලින් යන්නේ... අම්බෝ වහින්න වගේ අද"

අපෝ...! අපි මොකක් කලත් මේ බඩ්ඩට වැරදියි. හදිස්සියට බෝ පැලයක්වත් වෙන්න බැරිද?

"අපි ක්ලාස් ගියාම තමයි නරක. පරක්කු උනාම කෙල්ලෙක් වත් නෑ පාරේ"

"යනවා යනවා ඔය එන බස් එකක නැගලා මගේ කාඩ් එකත් නොකා. ආ... මොකද එදා.. සිකුරාදා තිසරු ලාගේ දිහා කන්න වගේ බලාගෙන හිටියා කියන්නේ? මටත් එක්ක ලැජ්ජාව!! බස්සෙකේ පිටිපස්සෙම ඉඳන් බැලුව කියන්නේ.."

"ආ.. අර 'අනං-මනං' ජෝඩුවද ? ඒ මොන නෝන්ඩි බඩුද ? අනං -මනන් ඉතින් දැක්ක ගමන් කන්න හිතෙන නිසා බැලුව.. අපෝ මේ කෙල්ලන්ට තියෙන්නේ පුදුම උනක්නේ"

චලනයාත් ඇරියේ නැහැ. නංගිලාගේ ස්කුල් බස් එක ආව එතකොටම. පවු කියලා පාරටත් පැනලා අපි නතර කරවලා දුන්නා.

කවුදෝ ඇතුලේ ඉඳන් එස්.ආර් හිනාවක් දානවා. මලා! මේ මූන් ලයිට් නේද? චලනයා පැනලා හිනා උනේ නැහැ; යන්තමට මම වගේම හිනාවක් දැම්මා. මොකක් උනත් කෙල්ලෝ පුරෝපු නිධානයක් වගේ ස්කුල් බස් එකක්නේ. ගතියට ඉන්න එපැයි. අපේ නංගිවත් අරගෙන ඒක යන්න ගියේ කෙල්ලෝ දාස් ගානකගේ ඇස් වල අපි බැබළෙද්දී.. අම්මේ මාරයි ආ...

"ඒ කියන්නේ අද මූන් ලයිට් ක්ලාස් එන්නේ නෑ "

"ඇයි උඹට සයිකොද?"

චලනයාගෙන් උත්තරයක් එන්න කලින් බස් එකක් ආවා. අපි දෙන්නත් රිලව් දෙන්නා වගේ ඒකෙ එල්ලුනා. කොහෙද අපේ තාත්තට කාර් තිබ්බට අපිට ඒකෙ යන්න පින නෑ. ඒක දකින්නෙත් අවාරෙට පොල් වගේ. එළවලු ගේන දාට විතරක් පින තිබුනොත් රියදුරු ආසනේට පැන්නෑකි. නැත්තන් ඉතින් මැරෙන්න වැටෙන්න ඕනේ ඒකෙ යන්න.

ක්ලාස් එක පටන් ගන්න කලින් ඇතුලට ගියපු එකම මදැයි. 'සූ' පාරක් ගියා ඇතුලට එනකොටම පිළිගැනීමේ වගේ. අපි දන්නවා කවුරුවත් නෙවෙයි අපේම යාළුවො තමයි 'සූ' කියන්නේ කියල.

"මග්ගොන ගිහින් හිටියද ගිය දවස් ටිකේ?"

ටෙරන්ස් ගත් කටටම ඇහුවා.

"තොපේ අම්මට.."

"ළමයි දෙන්නයි!"

ටෙරන්ස්ම සම්පුර්ණ කළා.

"අන්න උඹේ කෙල්ල ඉස්සරහ"

"චඃ"

මම එතන බැංකුවේ වාඩි උනා. මේ හැම පිස්සුවක්ම  අත ඇරලා මුලිම්ම විභාගේ පාස් කරගන්න ඕන. නැත්තම් උඹේ කටෙත් පස්; මගේ කටෙත් පස් තමයි.
ඉතාම හොඳ පූස් පැටියා වගේ මම පාඩම අහගෙන හිටියා. අනුකලනය කියන්නේ මේකද බොලේ.. දුන්න ගණන් ටිකනම් සේරම හැදුවා. දෙය්යෝම බලන්න ඕන මේ අසරණ ගැත්තා දිහා. ගියපාර එස් හතර නිසා සේරම නැතිවෙලා ගියා. ජිවන වියදම උග්‍ර උනත්; ආර්ථිකය පහලටම වැටුනා. ධරිත්‍රතාවයේ පතුලටම කිමිදිලා තමයි අපි දෙන්නා ඉන්නේ. තාත්තගේ විදේශ ආධාර වලට සම්භාධක නිසා විභාගේ ගොඩ දාගත්තේ නැත්තම් ; ලෝක බැංකුව වන තාත්තා අනුකම්පා කරලා මේ තුවෙනි ලෝකේ රටක් වගේ ඉන්න අපි දෙන්නට ආධාර කරන්න පටන්ගනී නේ...

"උඹට අද අමු කැවිලද?"

බාත් ඇහුවේ නිකමටම නෙවෙයි. 'බාත්' කිව්වේ ප්‍රභාත් . නෝන්ඩියටමත් නෙවෙයි.

"තොපි වගේ හැමදාම වලේ ඉන්න සිරිතක් අපිට නැහැ"

මම දෙන්න පුළුවන් සභ්‍ය උත්තරයක් දුන්නා. හෝල්ට් එකට ඇවිත් ඒකත් ෆුකරගෙනම මම ඔරලෝසු කනුව දිහාට ඇවිදගෙන ගියා.

"චිරනි එනකල් ඉන්නේ නැද්ද?"

"චඃ .. යමු බන්... මට නෝට්ස් ටික ෆොටෝකොපි කරගන්නත් තියෙනවා"

චලනයා ආයේ මුකුත් කියන්නේ නැතුව මගෙත් එක්කම යන්න ආවා. අපිට ඉස්සරහින් යන කෙල්ලගේ වියතක් විතර සයෙන් බාගයක්ම පලලා. චලනය මට ඇනලා පෙන්නුවා.

"මෙච්චර දිගට ඇඳගෙන.. මයේ අම්මේ.."

කෙල්ල පට පට ගාල කකුල් ඉක්මන් කරලා ගියා. මට එකපාරටම චිරනි මතක් උනා. අනිත් එවුන්ට විහිළු කලාට චිරනිත් අඳින්නේ දනිස්සෙන් අඟල් ගානක් උඩට. ඉස්සර නම් අපි හැමෝම බැලුවේ එකට. දැන් ඒ කවුරුත් ඒ වගත් මගෙත් එක්ක කියන්නේ නැත්තේ චිරනි මගේ කෙල්ල නිසාද? නැත්තම් වෙන මොකක් හින්දද?

කොන්දොස්තරගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්න බැරි හින්දා ෆුට්බෝඩ් එකෙන් ඇතුලට නැග්ගා. ච.. බස් එකක ගියා වගේ තේරෙන්නේ ෆුට්බෝඩ් එකේ ගියාම. ඇතුලේ ඒ සොමිය දැනෙන්නේ නැහැ. මමයි චලනයි ඇතුලට ඇවිත් සෙනග මැද්දෙන් ඉස්සරහට ගියා.
කෙල්ලෙක්ට හිනාවක් දාල පොත් ටිකත් දුන්නා. කෙල්ල නම් ලස්සනයි; දිගම දිග කොණ්ඩේ. මම උඩ පොල්ලේ එල්ලිලා චලනයට හේත්තු උනා.

"මොකද යකෝ.. මම කෙල්ලෙක් කියල හිතුවද?"

"චෙප් ! කට වහපිය... කෙල්ලෙක් නම් මෙහෙමද යකෝ හේත්තු වෙන්නේ?"

ඉඳගෙන හිටපු කෙල්ල අතින් කට වහගෙන 'කිචි කිචි' ගගා හිනා වෙනවා. ඇහෙන්න ඇති. අපෙත් කටවල් බෝක්කු වගේනේ.
බස් එක මහයියාවේ නතර කළා. බුරියා ඉන්නවා බස් හෝල්ට් එකේ.

"ෂ්... ෂ්....."

ඌට ඇහෙන්නේ නැහැ.
"අඩෝ බුරියා.... ඔය ඇති සෙවල පෙරුවා... නැගපන් යකෝ බස් එකකට"

බුරියා හොල්මන් උනා. ඌට උතුර දකුණ මාරු වෙලා. දුවාගන්න; හිතාගන්නවත් විදියක් නැහැ. අපි දෙන්නා මුකුත් උනේ නැති ගානට ඉස්සරහ බලාගත්තා.

"මම උඹට!"

ඌ අතේ තිබ්බ පොත් උලුක් කළා. ඌට හොඳටම තද වෙලා වගේ. බස් එක ඒ වෙනකොට අද්දලා. මුළු බස් එකම දැන් බුරියා දිහා බලාගෙන.

හැමෝම හිතන්න ඇත්තේ එකම දෙයයි. ඒත් අපි දන්නවා බුරියාගේ ගෙවල් පාරේ බස් අඩුයි කියලා. කවුරුවත් ඇහුවද? ඇහුවනම් කියන්න තිබ්බා.

අර කෙල්ල හොඳටම හිනාවෙනවා. මම දන්නේ නැහැ ඔතරම් මොකටද හිනාවෙන්නේ කියල මේ කෙල්ලෝ. මට චිරනි මතක් උනා. එයා හිනාවෙන්නේ දත් පෙන්නන්නේ නැතුව. එයා ඇත්තටම හිනාවෙනවද?

"අඩෝ බැහැපන්..."

චලනය මගේ කමිසෙන් ඇදලා බිමට ගන්න හදනකල් මම නිකිනිගේ ඒ දිලිසෙන හිනාව මතක් කර කර හිටියේ.


*************************************************





ප.ලි. මට සෝදුපත් බලාදෙන ඒ ඇස්දෙකට පින්.

8 comments:

  1. මේ..මම මේක කියෙව්වට ආයේ කොමෙන්ට් දාන්නේ නෑ හරිය.. අර 'යෝධයා' ගිය සති අන්තෙම මාව මැඩේව්වා තුදූ කිය කියා හිටං.. :/

    ReplyDelete
    Replies
    1. හෑ! ඒකත් එහෙමද?
      ගානක් නෑ.. කියෝනවා කියල නම් තේරෙනවා. කතාව හොඳනම් කොමෙන්ටු ඇති. හොඳ නැති නිසානේ කොමෙන්ට්ස් නැතුව ඇත්තේ.... ස්තුතියි ක.මි. මේ කොමෙන්ට් එකට.

      Delete
    2. මේවා මල් කතා නේ අෆ්ෆා.. මේවට කොමෙන්ට් කරන්න ප්‍රබුජ්ජ අය සැජ්ජයි.. අපි වගේ සුජීව ඩයල් තමයි ඉතිං මෙව්වයේ යාවජීව පාටකයෝ හිටං..

      Delete
    3. ඒ කිව්ව කට්ටිය මගේ බ්ලොග් එකේ හතර මායිමේ එන්නෑනෙ!

      Delete
  2. sirawata koheda bns nam tika hoyagaththe.........

    ReplyDelete
    Replies
    1. හෑ ?
      මේ ඔක්කොම ඇත්ත නම් අනේ.... නම් දෙකක් නම් කතාවේම ඇත්ත නම්. අනික්වා මගේ සමකාලින යාලුවෙන්ගේ නම්. අෆොයි ඔන්න ඉතින් මාව නැතිවෙන්නයි හදන්නේ.

      Delete
  3. මට මිස් වෙච්ච එව්වා 11 සිට කියෙව්වා. දැන් මේක 7වුනේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. Sorry.
      වැරදිලා draft වැටුනා. රේ-post කලාම සිද්ද උන දෙයක්. අංක ටික අනුව බලන්න පුළුවන් නේද?

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...