Wednesday, March 1, 2017

68. ඔබ ඇවිත් යන්න එන්න... - 06

06
--------------------------------------------------------------------------------------------------
ගන්නන කිසි දෙයක් ඔලුවට යන්නේ නැහැ. මේ පාරත් විභාගේ ඇනගන්න වැඩක් තමයි. ගිය පාර නම් එස් හතරෙන් ගොඩ ගියා. මේපාර නම් ලයිට් කණු ෂුවර්. චලනයාගේ වදේට මම ක්ලාස් ගියේ. රිවිෂන් එකත් මට තිත්ත වෙලා. ඔක්කොම දේවල් වතුරට හේදිලා ගියා වගේ.

"මම ගෙදර යනවා බං "
මම ඉන්ටවල් එකේදී කිව්වා. චලන මගේ දිහා බලාගෙන හිටියා.

"මොකද බං වෙලා තියෙන්නේ? උඹ ඊයේ අපේ ගෙදර එයි කියලා මම බලාගෙන හිටියා. හිටහන්.. මම උඹව හම්බවෙන්න ඕනේ"

ඒ ටෙරන්ස්.

"හෙට බලමු, මම යනවා"

මම පොත අරගෙන නැගිට්ටා. චලන තාමත් කතාවක් නැතුව මගේ දිහා බලාගත්ත ගමන්මයි.

"චිරනිට කියන්නේ නැද්ද?"

"චඃ"

මම පන්තියෙන් එලියට ආවා. ඔලුව කම්මල වගෙයි. ගෙදර යන්න හිතකුත් නෑ. ආයෙමත් නිකිනිව මතක් උනා. අද නම් නිකිනි ගෙදර ගිහින් ඇති. මම හිත තද කරගත්තා.
ඒත් බස් හෝල්ට් එකට ආපු ගමන් මට මාවම පාලනය කරගන්න බැරි උනා. මම නැග්ගා දොඩම්වල බස් එකට.
බස් එකට වඩා වේගෙන් මගේ හිත දුවනවා. බස් එකෙන් මම බැස්සේ වෙන ලෝකෙක ඉඳල බහිනවා වගේ. එඩ්රස් එක ආයෙමත් බැලුව. මේ හරියේ නම් තමයි.. ඔව් තට්ටු නිවාසයක් වගෙයි.

පාරේ මනුස්සයෙක් ගෙන් පාර අහගත්තා. හරි, ඒක තට්ටු නිවාසයක් තමයි. පහලම තට්ටුවේ අංක ඔක්කොම ලියල; '2/63' දෙවෙනි තට්ටුවේ.
මම ලිෆ්ට් එක ගාවට ගියත්.. ආයෙමත් හිතේ බය බුර බුරා නැග්ගා. මොකද්දෝ හේතුවකට පඩිපෙළේ යන්න ඕනේ කියල හිතුනා. දකුණට හැරිලා ඊට පොඩ්ඩක් එහායින් තිබ්බ පඩිපෙළේ පලවෙනි පඩියට අඩිය තිබ්බ විතරයි ලිෆ්ට් එක පහලට ඇවිත් ඒකෙ දොර ඇරුනා.

යන්තමට වගේ ඇස් කොනෙන් මම දැක්ක මාධවී අක්ක ලිෆ්ට් එකෙන් එලියට අඩිය තියනවා. මම කලේ පඩිපෙළේ පුළුවන් උඩම පඩියට පැනගත්ත එකයි. පපුවේ සද්දේ ගල්මෝලක් වගේ එලියට ඇහුනද මන්ද...

මාට්ටු උනානම් එහෙම! කකුල් දෙකේ වෙව්ලිල්ල නතර වෙන්න තවත් විනාඩි දෙක තුනක්ම ගියා. ඒත් නිකිනිව දකිනකල් මට හිතට සැනසිල්ලක් නැහැ වගේ. මම ආයෙමත් ධෛර්ය අරගෙන පඩිපෙළ එක හුස්මට නැගගෙන නැගගෙන ගියා.

පඩිපෙළ ඉවර වෙන තැන ඉඳල දොරවල් බලාගෙන යනකොට.... එක්තරා දොරක '2/63' කියලා ගහලා තිබ්බ. මගේ අත වෙව්ලනවා. මම ඒ වෙව්ලන අතින් දොරේ සීනුව ගැහුවා. හැම තප්පරයක්ම කල්පයක් වගේ. මටම මගේ හුස්ම හඬ ඇහෙනවා.

'ක්ලික්'

දොරේ අගුල ගැලවෙන සද්දේ ආවා. යන්තමට ඇරුණු දොරෙන් කවුදෝ නාඳුනන ගැහැණු රුවක මුණේ කොටසක් පෙනුන.

"නි.. නිකිනි නෝනා ඉන්නවද?.. ම.. ම-මේක නිකිණිගේ ගෙදරද?"
ඇස්දෙක විසින් මාව පරික්ෂා කළා.

"ඔ.. ඔව්... නෝනා නම් ඉන්නවා.... මහත්තයා කවුද?"

මට වචන එන්නේ නැහැ. උගුර-කට ඔක්කොම වේලිලා. ඒත් මම බයක් අඟවන්නේ නැතුව ඉන්න තමයි හැදුවේ.

"ම.. මම එයාගේ යාලුවෙක්. නෝනට කතාකරන්න පුලුවන්ද?"

"කාන්ති... කවුද?"

පිටිපස්සෙන් ඇහුනු ඒ හඬ නිසා දොර ටිකක් පළලට අරුනා. මම දැක්කා ඈ! ඒ නිකිණි. මාව  ඉබේටම දොර ලඟට ලංඋනා. මගේ හිනාව දැකපු නිකිණි මුලිම්ම අදහගන්න බැරි පුදුමෙන් ගල් ගැහිලා ඒ එක්කම ලොකු සන්තෝෂයකින් ලස්ස්......සන හිනාවක් ආව. ඔව් ඒ විදුලියක් වගේ හිනාව.

"අන්...නේ.... කලන... එන්න එන්න ඇතුලට"

මෑත් කරපු දොර අතරින් මම හෙමිහිට ඇතුලට ගියා.  පොලව වහලා තිබ්බ ටෙරාසෝ ඇතිරිල්ල නිසා මම මගේ හම්පඩ සපත්තු දෙක ගලවන්න නැමුනා.

"එපා එපා.. සපත්තු ගලවන්න එපා. එන්න එන්න... ඇවිත් වාඩිවෙන්න"

මම හිස ඔසවලා නිකිණි දිහා බැලුවා. මට දැන් මොකද්දෝ වගේ. රෝහලේදී නොදැකපු හුරුබුහුටිකමක් නිකිනිගේ පුරාම තිබ්බේ. කැරලි කොණ්ඩේ උඩට කරලා ගැටගහලා මුහුණේ තිබුනේ හඳක් වගේ පෙනුමක්.
කිහිලිකරුවකට වාරුවෙලා ඇවිත් මම හිටපු පුටුවට ඉස්සරහින් තිබ්බ සෝපාවට බරවුනා.

"ඉතින්..... ඔයා අද එයි කියලා නම් හිතුනේ වත් නැහැ. කොයි වෙලේ හරි එයිමයි කියල විතරයි හිතුවේ. ඉතින් කොහොමද? පාර හොයාගන්න අමාරු උනාද?"

"නැහැ"

"දැන් මේ මගේ යාළුවා ඉඳල ගියේ... ඔයාට හම්බවෙන්නත් ඇති. මාධවී කියලා. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්"

මගේ පපුව පහුරු ගානවා වගේ; උගුරත් හිරවෙන්න වගේ.

"දැන්.. ඇවිදින්න පුලුවන්ද?"

"ඔව්.. ක්ලචර්ස් වලින් පුළුවන්"

"කවදද ආවේ"

"ඊයේ හවස් වෙලා"

"අ.. අම්මලා එහෙම කෝ?"

මම අමාරුවෙන් ඇහුවේ ඊළඟට උත්තර බඳින්න වෙන්නේ ඒ උසාවියට හින්දයි. ගෙදර AC තිබ්බත් මගේ පිට දිගේ දාඩිය බේරෙනවා. නිකිණි එකපාරටම අමුතු මුණක් දැම්ම.

"කාන්ති... ගිහින් බොන්න මොනවහරි ගේන්න"

කාන්ති යන්න ගියා සාලෙන්. අපි දෙන්නා විතරයි පේන්න හිටියේ සාලේ. මගේ හුස්ම ගන්න සද්දේ පිටටත් ඇහෙන තරම්. නිකිණි හිනා වෙලා මුඩ් එක වෙනස් කරගත්තා.

"ළඟට ආපු ගමන්ද ?"
මම ඔලුව වැනුවා; ඔව් කියන්න වගේ. ආයෙමත් ඒ නිහඬතාවය. ඒක හරිම උණුසුම්. මට දැනුනා.

"මම ගැන කිසි විස්තරයක් නොදැන ආපු එක මට අදහ ගන්නත් බැහැ. මගේ ආරාධනාව වැරදියි. මම මේ ෆ්ලැට් එකේ ඉන්නේ තනියෙම. ඉඳල හිටලා මාධවී කියන මගේ යාළුවා ඇවිත් ඉඳල යනවා. අපේ ගම මිරිහානේ. අම්මලා ඉන්නේ එහෙ"

මම ඒ කිසිම දෙයක් අහගෙන හිටියේ නැහැ. නිකිණි දිහාවම බලාගෙන හිටියා. මට ඇහුනේ ගීතයක් වගේ.

"ම.. මම හිතන්නේ ඔයාගේ යාළුවා මට පහලදී හම්බ උනා..."

"අය්යෝ... දැනගත්තොත් මාව කයි. පොරේ.. අඳුන්නල දෙන්න කියල.."

ඒ වචන... නිකිණි 'අක්කගේ' කටින් පිටවෙලා මගේ පපුව හූරගෙන බිම වැටුනා. ඒ උනාට හිත පිරිලා උතුරනවා වගේ. මෙයා දන්නවනම් මම කවුද කියල? තත්වේ මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බ. මගේ තොලකට වේලිලා..

"මම එයාව දන්නවා.."

"කාවද? මාධවිව? ඒ කොහොමද?"

ඒ මොකද්ද ඒ මම කලේ? මගේ කට නම් කෙටේරියක් හැබෑට.

"ඒ.. එයාව මම බෑන්ක් එකේදී දැකල තියෙනවා. සෙලාන් එකේනෙ වැඩකරන්නේ?"
යන්තම් වෙට්ටුවක් දාගත්ත.

"අය්යෝ එහෙනම් ඔයාට කතාකරන්නයි තිබ්බේ. "

"ඔයත් බෑන්කර් කෙනෙක්ද?"

මමම අහපු ඒ ප්‍රශ්නෙත් එක්කම මමත් ගොළු උනා. මම උපරිම රඟපාන්න උත්සහ කළා.

"න.. නැහැ.. මම මෙහෙ.. ප්‍රයිවට් තැනක වැඩ කරනවා"

මම පපුව හිල්කරන වේදනාව මැඩගෙන අහගෙන හිටියා. නිකිණි මට වඩා වැඩිමල්  කියන එක පිළිගන්න මගේ හිත කොහොමත්ම සුදානම් නැහැ.

"ඔ.. ඔයා මොනවද කරන්නේ කලන?"

මට දාඩිය දැම්ම. තාම ඉගෙනගන්නවා කිව්වොත් ඉවරයි. එතකොට එකෙන්ම දැනගන්නවා මම මල්ලි කෙනෙක් කියල. මට කරගන්න දෙයක් නැති උනා.

"ම.. මම බිස්නස් කරනවා"

"බිස්නස්? මොනවද?"

"කුඩු බිස්නස්... ගංජා... ගුලි... මල්"

නිකිණි කිංකිනි හඬින් හිනා උනා. මුළු ගෙදර පුරාම මල් විසිරුණා වගෙයි මට දැනුනේ. එතකොට පුදුම ලස්සනක්.

"ඔයා පිස්සු පොරක්...."

මටත් හිනා. සතුටට ගෙදර බිත්තිත් හිනා වෙනවා වගේ දැනුනේ. අනේ මේ සතුට හැමදාම තියාගන්න පුළුවන් නම්.....

"...ඊළඟට  එනකොට මටත් හොඳවයින් ගුලි දෙක තුනක් ගේන්න "

'හුටා' මම අදත් ආවේ අත්දෙක වන වන නේද? නිකිණි ගැහුවේ හින්ට් එකක්ද?

"අනේ... මම අදත් ආවේ අත්දෙක වන වනනේ"

"අය්යෝ.. මම එහෙම හිතල නෙවෙයි කිව්වේ. විහිලුවට. ඕක මොකද්ද? ඔයාගෙන්.. මට.. මොකවත්ම එ-පා.. මේ තියෙන දේ-ව-ල් හොඳටම ඇති"

අන්තිම වචනටික මගේ පපුව පසාරුකරගෙන කිඳා බැස්සේ හීයක් වගේ. මම නිකිණි දිහාම බලාගෙන හිටියේ මමත් නොදැනුවත්වම. ඇස්දෙක පියවෙන්නවත් නැතුව ඇති.

අපි දෙන්නගේ ඇස්දෙක පැටලිලා කොච්චර වෙලාවක් උනාද කියල මට දැනුනේ නැහැ. ඒත්.. ඒ සුළු මොහොත මගේ ජිවිතේ පුදුම සංවේදී මොහොතක්.

අපි දෙන්නගේ දැහැන බිඳුනේ කාන්ති සාලෙට එනවත් එක්කමයි. නිකිණි ගැස්සිලා බිම බලාගත්තා. කන්පෙති රෝසපාට වෙලා. මගෙත් කන්දෙක රත් වෙච්ච නිසා, බිම බැලුනා.

"ගන්න"

කාන්ති පිළිගන්නන කූල් බීම එකට නිකිණි එහෙම කිව්වා. මම හෙමින් ඔලුව උස්සලා බීම එක අතට ගත්ත. තිබහයි; බඩගින්නයි මට අමතක වෙලා තිබුනේ. ආයෙමත් සංවේදී නිහඬතාවයක් අපි අතරේ.

ඔක්කොම නිහඬතාවය බිඳගෙන මහා හඬින් වගේ දුරකතනයක් නාදවෙනවා ඇහුනා. අපි දෙන්නම උඩ විසි වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති අපි දෙන්නගෙම ඇස් ආයෙත් මුණගැහුනේ. කාන්ති අඩියට දෙකට දුරකථනය තිබ්බ තැනට දුවල යනවා පෙනුනා.

"ඉ.. ඉන්නවා... ඔ. ඔව්... ඊයේ තමයි ආවේ. ඔව්.. හා.. හොඳමයි"

කාන්ති උත්තර දුන්නේ නිකිණි දිහා බලන ගමන් බිරාන්ත වෙලා වගේ. නිකිනිගේත් ඇස්දෙකෙත් ඒ එක්කම භීතියක් පැතිරිලා ගියා. මට මහා වෙනසක් දැනුනේ. නිකිණිගේ අම්මාද? තාත්තද? ඒ කවුරුහරි වෙන්න ඇති; මට හිතුනා.

"... න.. නෝනා... නෝනට..... කතාකරනවා"

කාන්ති ඇස්දෙක ලොකු කරලා කතාකලා. කාන්තිගේ උදව් ඇතුව නිකිණි බයෙන් බයෙන් දුරකථනය ලඟට ගිහින් රිසීවරයට කන තිබ්බා.

"හ්ම්... .නෑ.. එපා.. හ්ම්ම් හ්ම්ම්.... හ්ම්ම්"

නිකිනිගේ මුහුණ මට පේන්නේ නැහැ. වැඩිපුරම නිකිණි පාවිච්චි කලේ 'හ්ම්ම්' කියල විතරයි. මොකද්දෝ අමුත්තක්; අපහසුතාවයක් පැතිරිලා ගිහින්. මම බාගෙට බීපු බීම එක ට්‍රේ එක උඩින් තියලා අහක බලාගත්තා.
මෙතන තියෙන තත්වේ අනුව මට දැනුනේ අපහසුතාවයක්. කාන්තිගේ මූණත් අවුල්. මම ආවේ වැරදි වෙලාවටද? වැරදි ගමනක්ද? මේක නිකිනිට ප්‍රශ්නයක් වෙයිද?
රිසිවරය තිබ්බ නිකිණි ආපහු හැරෙන්නේ නැතුව එතනම තිබ්බ බිත්ති බාගයට හේත්තු වෙලාම ගල් ගැහිලා වගේ හිටියා. මම හෙමින් නැගිට්ටා.

"නිකිණි... මම එහෙනම් යන්නම්.."

නිකිණි ආපහු හැරිලා අපහසුවෙන් නගාගත්ත ඇත්ත හිනාවකින් මට සමුදුන්නා. ඒ හිනාවෙ දුකක්; ආදරයක්; වගේම බයක් තිබ්බ බවයි මට තේරුනේ. මට ඒ ගැන ප්‍රශ්න කරන්න බැහැ. ඒත් මොකද්දෝ වේදනාවත් මගේ හිත තෙරපනවා වගෙයි දැනුනේ.

"ඔයා ආපු එකට මට හරි සතුටුයි කලන..."

නිකිණි කාන්ති දිහා බලලා බිම බලාගත්තා. කාන්ති බීම එක තිබ්බ ට්‍රේ එකත් අරගෙන කුස්සිය පැත්තට ගියා. කාන්ති නොපෙනී යනවත් එක්කම නිකිණි ඔලුව උස්සල මගේ දිහා බැලුවා; බොහොම මෘදු බැල්මක්.

".. ඔ.. යාව අඳුනගන්න ලැබුණු එකට..  සන්තෝසයි... මගෙන් කරදරයක් උනානං... මට ඒකට සමාවෙන්න"

නිකිණි කිව්වේ චතුර ඉංග්‍රීසියෙන්.

"නෑ ....... එහෙම එකක් නැහැ. මම යන්නං "

"හොඳයි"

මම හෙමින් හෙමින් දොර ගාවට ආවා. නිකිණි කොර ගගහා ඇවිත් මට දොර ඇරලා දුන්නා. කොහෙන්දෝ ආපු සුවඳක් මාව පහුකරගෙන හමාගෙන ගියා. හිත ඇතුලේ මොකද්දෝ හිරවෙලා වගේ... පපුවත් හිරවෙනවා... මම ක්ෂණයෙන් ආපහු හැරුනා. නිකිණි මගේ ළඟම.

"ඔයාට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවද?"

මගේ හුස්ම වදින දුරින් හිටපු නිකිණි ගල් ගැහිලා තත්පරයක් මගේ දිහා බලාගෙන හිටියා. ඇස්දෙක දිස්නේ දෙනවා. යන්තම් මෘදු හිනාවකින් ඇගේ තොල් සැලුනා.

"නැහැ.. එහෙම නැහැ"

"ආ යූ ෂුවර්?"

නිකිනිගේ ඇස්වල කාන්තිය වැඩිවෙලා මාව ගිනිකන වැටෙන තරමට. මට කෙල ගිලුනෙත් නෑ.

"කලන.. ඔයාට එහෙම හිතෙනවද?"

යන්තම් සිහිය එලවගත්ත මම සාක්කුවේ තිබුන ටිකට් එක අරගෙන මගේ ටෙලිෆෝන් නම්බරේ ලිව්වා.

"උවමනාවක් උනොත් මට කෝල් එකක් දෙන්න"

කවදාවත් චිරනිටවත් නොදුන්න මගේ දුරකථන අංකය මොන එහෙකට මේ වගේ කෙල්ලෙක්ට දුන්නද කියල මට කල්පනා උනේ නැහැ. නිකිණි කිසිම ප්‍රතික්ෂේප කිරිල්ලක් නැතුව කියල අතට ගත්තා.

"මම යන්නං "
 නිකිණි  මගේ දිහා බැලුවා විතරයි; රෝසපාට තොල්පෙති  සැලුනා ඇරෙන්න කිසිම දෙයක් කිව්වේ නැහැ. මම හීනෙන් වගේ ඇවිදගෙන එලියට ආවා.

ලිෆ්ට් එකේ ඇවිත් පහලම තැනින් බහින ටිකට ආයෙමත් ඔලුව අවුල් උනා.


******************************************************************
ඊළඟ කොටස

ප.ලි. මට සෝදුපත් බලාදෙන ඒ ඇස්දෙකට පින්.

10 comments:

  1. ඒ කලනට විසඳගන්නත් බැරි උනොත් මේ කළණට කියන්න 07********* :)))))

    බය වෙන්න එපා තුදූ ඔයාට කලණ ලාම දෙන්නෙක් ඉන්නව නේ

    ReplyDelete
  2. කමෙන්ට් එකක් දාන්න වෙලාවක් දියන්කෝ වලිකිතෝ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ ඕනේ තරන් වෙලාව.. මොකද මම එපා කිව්වද? දවස ගානේ දාන්නේ ඒකට තමයි හලෝ...... ලේසි කරුමාන්තයක් කියල හිතුවද?

      Delete
  3. Replies
    1. මැහුමක් වගේනේ මට පේන්නේ.... thx

      Delete
  4. හුස්ම නොගෙන කියවමි....කාලෙකින් රහට කතාවක් ලැබුනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඇත්තම කියනවා කියලා හිතන්නම්කො

      Delete
  5. ලියල මාසෙකට පස්සේ මම මේ එක හුස්මට කියවන ගමන්.. සිරාවට නැගලම යනවා.. අක්කල ගැන ලියවෙච්ච කතා කියවනකොට නිකන් මෙව්වා වෙලා යනවා හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. මාසයක් වෙලාද?
      හරි හරි කියෝගෙන යන්නකෝ. මම දන්නවා ඊළගට එන්නේ මන්නයක් අරගෙන!

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...