Sunday, February 19, 2017

63. ඔබ ඇවිත් යන්න එන්න... - 01

01

කපාරටම හෙනයක්  වැදිලා වගේ ගැස්සුන මම ඇහැරුනේ උතුර දකුණ හොයාගන්න බැරුව. ඇස්දෙක පොල්ගෙඩි සයිස් එකට ඇරලා වටපිට බැලුවමයි මට සිහිය ආවේ, මම තාමත් සිලෝන් ටකරන් බස් එකේ! බ්‍රේක් පාරට බෙල්ල කඩාගෙන නින්දේ හිටපු මගේ හොක්ක සමතලා නොවුනේ නූලෙන්..



බස් එක ඇතුලේ  මහා කලබලයක්. ඔක්කොමල්ල දොර දිහාට පොරකන්නේ එකම කසුකුසුවක් එක්ක.
".. හැප්පිලා හැප්පිලා.... කවුද හැප්පුනා...."

ඔක්කොමල්ල දුවන්නේ හරියට මේ දැන් මතුවෙච්ච රත්තරන් ඉල්ලමක් බලන්න යනවා වගේ. මමත් අතඇරියේ නැහැ. පොරකාගෙන සිද්දිය වෙච්ච තැනට ලං කරා. අපොයි... මම ආපු බස් එකටයි; ඉස්සරහ තිබ්බ වෑන් එකටයි මැද්දේ කවුදෝ යටවෙලා ගුලියක් වගේ ඉන්නවා. මට පෙනුනේ අත්දෙකක් විතරයි. එක අතක වලලක් තිබ්බා යන්තමට දැක්කා.

"වැඩක් නෑ.. මැරිලද කොහෙද"

චමින්ද කෙනෙක් තොල් පෙරලුව. මම පුරුෂ දහිරිය අරගෙන ඇතුලට එබිලා බැලුව. මිනිස්සු සිද්ධිය විග්‍රහ කරගෙන වටවෙලා ඉන්නවා විතරයි. ඒ අස්සේ බස් කාරයාට බනින්නත්, ගුටි අනින්නත් කට්ටිය ඕසෙට. මම පැත්තකින් දුවගෙන ගිහින් ඉඩ තියෙන තැනකින් ඇතුලට එබුනා. කොහෙවත් යන හැමදේටම හොට නොදා ඉන්න එක මටත් ඉතින් ඇඟට අමාරුයි වගේනේ.

".... කහ ඉර පෙනී පෙනී මේ ගෑනුන්ට අම්මප තියෙන හදිස්සියක්. බලනවකො අයිසේ.... මගේ ජොබ් එකත් ගහල යන මලදානයක් තමයි මේක. මගේ අතින් නම් කවදාවත්... මේ කවමදාකවත් බල්ලෙක් වත් හැප්පිලා නෑ අම්මප..."

බස් එකේ ඩ්‍රයිවර් තුන් මුන්නෙන් දාඩිය දාගෙන බෙරිහන් දෙන්නේ බයටද; තරහටද; දෙකටමද කියලා මට හිතුනා.
මම යටට නැවිලා, ඇතුලට රිංගලා මැරිච්ච කෙනා දිහා බැලුවා. එකපාරටම ඒ පොදිය යන්තමට හුස්ම ගන්නවා වගේ පෙනුනා. හෑ ! ආයෙත් එබිලා බැලුවා. ඒක ඇත්ත.. පපුව යන්තමට උස පහත වෙනවා.

"මැරිලා නැහැ... මෙයාට පන තියෙනවා..."



මට කෑ ගැහුනා. ඇත්තටම වාහන දෙකට මැද්දේ වාසනාවකට වගේ ඉඩකට තමයි මැදිවෙලා හිටියේ. ඔක්කොමලා එකවරම ගොළු උනා වගේ ඇහුනා. මම කවුරුවත් බලන්නේ නැතුව අර හිඩැසට අත්දෙක පුළුවන් උපරිමේ දික් කරලා දාල ඇදලා ගත්තා.

"හා හා.. අල්ලන්න එපා.... පොලිසියෙන් එනකල් හොලවන්න එපා... මගේ නම් ඔන්න වැරද්දක් නෑ "
"පන තියෙනවා හලෝ....... මේ මනුස්සයව හොස්පිටල් එකට ගෙනියමු"

ඔක්කොම වීරයෝ ටික උඩබිම - වටපිට බලන්න ගත්ත. ඕන පපඩමක් ! මම රිංගලා  අරගෙන නැගිට්ටා. කොහෙන්දෝ ආපු ලේ පාරක් වගේ ගතියක් දැනුනා. ඔක්කොම මිනිස්සු මහසෝනා දැක්ක වගේ දෙපැත්තට උනේ මගේ උදව්වට වගේ.

කොහෙන්දෝ ඇවිත් ඒ මොහොතේ නතරකරපු ත්‍රීවිලර් එකකට මම රිංගුවේ තවත් හිතන්නෙවත් නැතුව. ඉවෙන් වගේ ඒ රියදුරා රතුකට්ට ලඟට එනකල් පාගලා වේගෙන් ගියේ පුළුවන් උපරිම වෙට්ටු දමමින්.

මගේ පපුව දෙමෝලෙන් පිටි කොටනවා වගෙයි. මම වෙව්ලන අත්දෙකින් ලෙඩාව හුස්ම ගන්න පුළුවන් වන විදියට හරවලා තියන ගමන් නාඩි බලන්න ගත්ත.

"ටිකක් ඉක්මනට යන පුලුවන්ද අය්යා.. නාඩි වැටෙන්නේ හෙමින්"



නාඩි එන්න එන්නම දුර්වල බවයි මගේ ඔලුවට තේරුනේ.  තරු පෙනෙනවා වගේ.. රෝහලේ ගේට්ටුව ගාව වේගෙන් බ්‍රේක් ගහපු රියදුරා දුවල ගිහින් ගිලන් ඇඳක් ගෙනාවා. හැමදෙයක්ම උනේ ක්‍ෂණයෙන්. රෝගියා ඇතුලටත් ගෙනිච්චා.

"නම මොකද්ද?"
පොතක් උලුක් කරගෙන ආපු පැණි ආප්පයක් වගේ මුණක් තිබ්බ හෙදිය ඇහුවේ කිසිම කරුණාවක් නැතුව.

"කලන.. කලන ඇල්කඩුව"
"ලෙඩාගේ නම?"
මට තරු විසිඋනා.
"... ලෙඩාගේ නම......"

"දන්නේ නෑ "
"දන්නේ නෑ ?! තමා එයාගේ කවුද?"

මේ මොන හුටප්පරයක්ද? මම අසරණව වටපිට බැලුවා. දෙතොල් වෙව්ලන්න ගත්තනේ අප්පා...

"මැඩම්... ඒ ගෑනු කෙනා ඇක්සිඩන්ට් වෙලා බස් එකකට. මේ මහත්තයා ගෙනාවේ. එච්චරයි. නම දන්නේ කොහොමෙයි?"

"ඉතින් කියන්න එපැයි "

දිව්‍යලෝකෙන් ආව වගේ ත්‍රීවිලර් රියදුරා එහෙම කියනකොට තමයි මට ඩිංගක් සිහිය ආවේ. මම හිටියේ කලබල වෙලා. පණ්ඩිතයා වගේ උස්සගෙන ආවට මෙහෙම දෙයක් කවදාවත් කරලත් නැහැ.

"සර්.. මම යන්නං එහෙනම්"
"සල්ලි?"
මම කලිසමේ පිටිපස්සේ සාක්කුවට අතදානකොටම මට තේරුනා වෙලා තියෙන නස්පැත්තිය.

"ඇයි සර්?"
"හුටා මගේ පර්ස් එක! මගේ පර්ස් එක නෑ.. වැටිලද? අය්යෝ... "

"කමක් නැහැ සර්... සල්ලි එපා. ජිවිතයක් බේරුව පිනම ඇති මහත්තයා. කවුරුහරි බල්ලෙක් ඒ ටිකට පොකට් එකට විද්දද දන්නේ නැහැනේ. දැන් කාලේ ඉන්නේ තිරිසන්නු... සර් ගේ අතේ සල්ලි තියෙනවද?"

මට දීගන්න උත්තරයක් නෑ.
අතේ පිච්චියක්වත් නැහැ. මගේ සේසතම තිබ්බේ ඒ පර්ස් කබලේ. මගේ ටියුෂන් කාඩ්.. අයි.ඩී. එක... හුටා.. චිරනිගේ ටෙලිෆෝන් නොම්බරේත් ඒකෙ. මගේ පපුව හිරවෙන්න වගේ. අතේ තිබ්බ ලේ පිටින්ම මම ඔලුවේ අත ගහගත්තා. සල්ලි... සල්ලි කොහෙද ඉතින් ඒ පර්ස් එකේ.. සීසන් මිසක්.. ඒක කිව්වහැකිද

"ගන්න සර්... සර් වගේ මහත්තයෙක්ට මම හරි ගරු කරනවා. සර්ගේ අතේ සල්ලි නැහැනේ"

බලෙන් වගේ  මගේ අතේ රුපියක් සීයක් ගුලිකරපු රියදුරාගේ ඇස්වල තිබ්බේ පුදුම ලෙන්ගතුකමක්. මට මොකවත්ම හිතාගන්න බැහැ. වඳින්න ගිය දේවාලේ ඉසේ කඩාගෙන වැටෙනහැටි ! නෙද්දකින්... මටමමයි වෙන්නේ.

රියදුරත් යන්න ගියා. මම අර මොකාද වගේ ඔහේ හිටගෙන උන්නා. කමිසේ පුරාම ලේ ගෑවිලා. මම හරියට පාතාල ලෝකෙන් ආපු ඌරු මොටෙක් වගේ. ලේ වල ගඳට මගේ නහය ඇකිළුනා.

"ඔයා නේද දැන් ලෙඩෙක් ගෙනාවේ"

නර්ස් නෝනා කෙනෙක් හුරතලේට අහනකොට මම පුදුමෙන් වගේ බැලුවා. හැබෑටම???

"අ.. මම....."

"එයාව අපි ඊ ටී යූ එකට දැම්මා. බයවෙන්න දෙයක් නැහැ. ඩොක්ටර් ඔයාට කතාකලා"

ඔන්න ඉතින් මමත් ගියා වීරයා වගේ.
මාව දැකපු ගමන් දොස්තර උඩ ඉඳලා පහලටම බැලුවා. හරියට බෝම්බකාරයෙක් දිහා බලනවා වගේ. එක්කෝ මගේ සිපර් එකවත් ඇරිලද ? මම හෙමීට ඒකත් ගානට චෙක් කරා. අවුලක්  තාම නෑ.


"ඇක්සිඩන්ට් එකක් නේද?"
"ඔව් ඩොක්ටර්"
"ඔයා.. එයාගේ?"
"අඳුනන්නේ නැහැ. හුස්ම වැටෙනවා  දැක්ක නිසා අරගෙන ආව. පොලිසියෙන් නම් ඇවිත් තිබ්බේ නෑ එතනට"
මම එහෙන් මෙහෙන් මට ඔලුවට ආපු ඔක්කොම කිව්වේ තටමමින්.

"නම එහෙම"
"කලන.."
"ලෙඩාට නම් එතරම්ම අමාරුවක් නැහැ. පොඩි පොඩි තුවාල ටිකක් තියෙනවා. හුස්ම ගන්න අමාරුවක් තිබ්බ නිසා ඊ ටී යූ දැම්මේ. අපි බලාගන්නම්"

මමත් ඔලුව වැනුවේ දන්නවා වගෙයි. මෙලෝ මලදානයක් තේරුනේ නැහැ. මොනවා කරන්නද.. බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි. දොස්තර යන්න ගියා. මම ආයෙමත් කොරිඩෝව මැද්දේ ගල්කනුව වගේ.
"සර්"

මම හැරිලා බැලුව. අර ත්‍රිරෝද රථ රියදුරා ආයෙමත් ඇවිත්. හුටා... දීපු සල්ලි ආයෙමත් ඉල්ලා ගන්නද? දුවන්නය? මිනිහගෙනේ සල්ලි. මම අතේ ගුලිවෙලා චප්ප වෙලා තිබ්බ රුපියල් සීය දිග ඇරියා.

".. සර් දැන් යනවද?"
"ඔ... ඔව්! මේ මෙතන ඉඳල වැඩක් නැහැනේ.. ය.. යන්න ඕන තමයි.. ඒ.. ඊ"
"සර්ට  ගිහෑකියැ ? යං මා එක්ක.. මම ඇඳුමක් දෙන්නම්"
"එපා ඕනේ නැහැ.. කමිසේ හෝදගත්තැකි"
"සර්ගේ ගෙවල්...?"
"කටුගස්තොට"
"යමු සර්.. මම ගෙනිහින් ඇරලවන්නම්"
"මගේ බෑග් එක බස් එකේ"
"යමු සර්.. මමත් දැන් යන්නේ ඒ පැත්තට"

මේ මනුස්සයව හලන්නත් බෑ. කරන්න වෙන දෙයකුත් නැහැ. මමත් නැග්ගා ත්‍රීවිලර් එකට.

"කොහොමද සර් ලෙඩාට?"
"ප්‍රශ්නයක් නෑ කිව්වා. බයවෙන්න දෙයකුත් නෑ කියල තමයි කිව්වේ"

එකපාරටම මගේ ඔලුව හරහා යමක් මතකයට ආව. මේකා මාව ගෙනියන්නේ මරන්නද? අතපය හතර විතරයි මා ගාව. ඇයි මගේ ඔරලෝසුව? ඒත් ඔරලෝසුවකට මිනිමරණ රටක් තියෙනවද? කියන්නත් බෑ. දැන් ලංකාවත් කොරියාව වගේනේ. පාලු තැනකට ගිහින් එකපාරටම 'ජබක්' ගාල පිහියෙන් ඇන්නොත්? මලා තමයි..

"සර්...!"
"අ.. ඔ.. අ.."
"සර් බයවෙලා මොකද? බයවෙන්න එපා සර්.... මමත් පොලිසියට කියන්නම්කො විස්තරේ. වෙලාවට සර් හිටියේ. නැත්තන් කිසි කෙනෙක් අත ගහන්න බලාගෙන නෙවෙයි හිටියේ. ජිවිතයක්නේ සර්... එත් ඉතින් උදව් කරන මිනිහටමනේ කෙලවෙන්නේ. බලන්න දැන් සර්ගේ පොකට් එකටත් විදලා"

මු මොකාටද එන්නේ? බොරුවට කතාව දාගෙන ඇවිත් එකපාරටම මුනට.. අර මොනවද.... හදිස්සියට මගේ ඔලුවට එන්නෙත් නැහැ... ෆෝමලීන්...! අර ෆෝමලීන් දාපුලේන්සුවක් ඇල්ලුවොත් එහෙම. අතේ තිබ්බ රුපියක් සීය දාඩියට තවත් චප්ප වෙලා.

"... ආ.. අන්න පොලිසියෙන් ඇවිත්"

යන්තම් සිහිය එලොගත්ත. අපි දැන් බස්සෙක තිබ්බ තැන ආයෙත්. මම ත්‍රීවිලර් එකෙන් එලියට බහිනකොට ඔක්කොමල්ල මගේ දිහාට හැරුනා. පොලිස් තොප්පි  දෙකකුත් ඒ අස්සේ.

"හා තමුසේද මිනිහ?"

මම මුකුත් හිතාගන්න බැරුව වටපිට බැලුවේ අන්දුන් කුන්දුන් වෙලා.

".. තමුසේද හැප්පුණු කෙනාව ගෙනිච්චේ?"
"ඔ.. ඔව්...?"
ඔක්කොම දැන් මේ පොලිස් නාටකේ බලන්න වටවෙලා.

"කෝ හලෝ ඒ ගෑනිගේ පර්ස් එක? කෝ? කෝ?? ඉස්සුවද?"
මම උඩ විසි උනා. ඔක්කොමල්ලා තුම්මුල්ලේ පද්මේ අහු උනාම නටන නාටකේ බලන්න පොරකනවා එතන. මේ මොන ගිනිගෙඩියක්ද?

"මං දන්නේ නෑ.. මම ගෙනිච්චේ ලෙඩා විතරයි"

මට මලෙත් උපරිම මල පැන්නා.
"බොරු කියන්න එපා. මෙයාල දැකල තියෙනවා පර්ස් එකත් ගෙනියනවා.."

මේ මොකද්ද ඒ බයිලාව?
"ගෙනිච්ච නම් තියෙන්ඩ එපැයි... පිස්සුද? මේක හරි කෙළියක්නේ"

මට එකසිය ගානට තද උනා.
"සර්.. සර්.. පර්ස් එක නම් ගෙනිච්චේ නැහැ සර්. මම තමයි ත්‍රීවිලර් එක ගෙනිච්චේ. ඒකෙ තිබ්බෙත් නැහැ. ඒක විතරක් නෙවෙයි, මේ සර්ගේ පර්ස් එකත් නැතිවෙලා. එක්කෝ පික් පොකට් ගහල"

ඇතිවෙච්ච ඒ තත්වෙට වතුර පාරක් ගහන ගමන් ත්‍රීවිලර් රියදුරා මැද්දට පැන්න. ඔක්කොම මගේ දිහා කන්න වගේ බලනවා. මගේ ඇඟේ මාළු ගඟේ නටනවා.

"ඇත්තට?"

නෝන්ඩියට වගේ ඒ අහපු ඇහිල්ලට මට තවත් තද උනත් මෝලේ මොලේ තිබ්බ ඥානය මට අනතුරු ඇඟේව්වේ  ඒ පොලිස් තොප්පි අස්සේ තියෙන්නේ මොලයක් නෙවෙයි කියල. ඒ නිසා මම කට වහගත්ත උනත් ත්‍රීවිලර් රියදුරා ඉතිරි ටික ඇදලා දුන්නා.

ඔක්කොම ඉවසතැකී මේ පොලිස් සොක්කන්ගේ පඩෂෝ තමයි අල්ලන්නේ නැත්තේ. යන්තන් මගේ හම්පඩ බෑග් එක තිබුනා බස් එකේ මුල්ලක වැටිලා. ඒක උස්සන ගොන් රාජයෙක් නැහැනේ. බලි වගේ ලියපු සටහන් ටිකයි, ඉවර වෙන්න යන කාබන් පෑනයි හොරෙන් ගන්න උපන්ගෙයි මෝඩයෝ ඉන්නවද? ඒක ඇතුලේවත් වැරදිලාවත් මගේ පර්ස් එක නම් තිබ්බේ නැහැ.

කට උත්තර තොගේකුයි තවත් මොනවදෝ එකතු කරගෙන මුකුත් උනේ නැහැ වගේ පොලිස් ජීප් එක යන්න ගියා. මාර ට්‍රැෆික් එකක්. මට ක්ලාස් යන එක දැන් පලක් නෑ කියල තේරුනේ වෙලාව බැලුවම.
"යමු සර්.. මම ගෙනිහින් ඇරලවන්නම්"

පර්ස් එක නැතිවෙච්ච සෝකෙන් මුසපත් වෙලා හිටපු මම වලිගෙ නැති හූනෙක් වගේ පීචන් විදියට ත්‍රිවිලරේ අස්සේ ගුලි උනා. යනකල්ම මගේ හිත හැදෙන්න මේ ආගන්තුකයා නොයෙක් දේවල් කිව්වා. මට හරියටම එකක්වත් මතක නැහැ.කොහොමහරි ගේ ළඟටම ගෙනිහින් නතර කළා.

"ඔහොම පොඩ්ඩක් ඉන්න..."
මම බැහැලා ගේ ඇතුලට දිව්වා. ගේට්ටුව ගාව මල් පාත්ති ළඟ හිටගෙන හිටපු චන්දරේ මාව දැකලා බිරාන්ත වෙලා බලාගෙන හිටියා.

"දෙය්යෝ සාක්කි... මොකද පුංචි මහත්තය උනේ?.. මොකද උනේ??"
කමිසෙයි, කලිසමෙයි තිබ්බ ලේ පැල්ලම් දැකල බය වෙලා චන්දරේ ගල් ගැහිලා.

"මට රුපියක් හාරසීයක් දිපාන් ප්‍රශ්න අහන එක පස්සට තියලා.."
මගේ අණ පිළිපැද්ද චන්දරේ හීයක් වගේ ගේ ඇතුලට දුවගෙන ගිහින් සල්ලි ගෙනාව. මම ඒ හාරසියම රියදුරා අතේ තිබ්බ.

"අය්යෝ සර්... මම සල්ලි බලාගෙන කරපු දෙයක් නෙවෙයි. සර්ලා වගේ අය අද කාලේ අඩුයි"
"ඔයාල වගේ අයත් අඩුයි අය්යා. කමක් නැහැ ගන්න. උදව්ව වගේම ඒකෙ සාධාරනෙකුත් තියෙන්න එපැයි. ගන්න ගන්න.. කමක් නැහැ."
අමාරුවෙන් බලෙන්ම ඒ සල්ලි ඔහුගේ අතේ ගුලිකරන්න මට පුළුවන් උනා.

"මට නම අහන්නත් බැරි උනානේ"
"මගේද? මගේ නම තිස්ස... සර්ගේ නම කලන නේද?"
"ඔව්.. එහෙනම් බොහොම ස්තුතියි තිස්ස අය්යා. මේ උදව්ව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ"
"හරි හරි.. රයිට් සර්... එහෙනම් මම ගියා"

රියදුරා යන්න ගියා.

"මොකද පුංචි මහත්තය උනේ?"
තාමත් විසඳගන්න බැරි ප්‍රෙහෙලිකාව නිසා චන්දරේ ඇහුව. එතකොටයි මට ආයෙත් සිහිය ආවේ.

"හිටපන් මම කියන්නම්"

මම දඩිබිඩි ගාල ඇඟ හොදගත්ත. කමිසෙයි කලිසමයි රෙදි සෝදන මැෂිමට දාල, සෝදන කුඩුත් හලලා ඔන් කළා. මේ ඔක්කොම චන්දරේ බලාගෙන හිටියේ ප්‍රශ්නාර්ථයෙන්.

මම සාලේ වාඩි වෙලා, මුලිම්ම රුපියල් සීය පේන විදියට ඉස්සරහට ගත්ත.

"උඹ කාටවත් කියන්නේ එහෙන නෑ හරිද?"
"......."
"තේරුනාද?"
"මොකද්ද?"
"උඹ කාටවත් කියන්නේ නැහැ කියල පොරොන්දු වෙයන් ඉස්සරවෙලාම"
"හරි මාත්තය. මම පොරොන්දු වෙන්නම්"

දැන් ඉතින් චන්දරේගෙන් මැරුවත් දැනගන්න බැරි විත්තිය මට විස්වාසයි. මම කෙලින්ම ගෙඩි පිටින්ම රුපියන් සීය උගේ අතේ තිබ්බ.

ඔක්කොම කතාව චන්දරේට කිව්වා. චන්දරේ ඇස්දෙක උඩ ඉන්දවගෙන අහගෙන ඉන්නවා. මම ඉතින් මගේ පැත්තට බර වැඩිවෙන්න අතින් පයින් විශේෂණ පද දෙක තුනකුත් දැම්ම. නැත්තම් කොහොමද කතාවේ වීරයා මම වෙන්නේ? ඒත් ඉතින් වීරයාගේ පොකට් එකටත් විදලා.
ඒක ඊළඟ ප්‍රශ්නේ. පොකට් එක ගැන ආසාව අත අරින්නේ කොහොමද? චිරනිගේ ටෙලිෆෝන් නම්බර් එක ඉල්ලගත්තේ නොවඳිනා වැඳුම් වැඳලා වරුවක් වියදම් කරලා.

"කොහෙද බන් උඹ ගියේ ක්ලාස් එන්නේ නැතුව?"
හවස ටීවී එක ගාව පැලවෙලා ඉන්නකොට ගෙට කඩාපාත් උන චලනයා ඇහුවේ ඉනට අත්දෙකත් ගහගෙන.

"මට වැඩක් තිබ්බ"
මම ගානක් නැතුව කිව්වා. චලන මගේ දිහා බලාගෙන ඉන්නවා. මම වහලේ; ටීවී එකේ ඇස්දෙක තියාගෙන ඉන්න වලිකනවා.

"මේ.. මම දන්නේ නැද්ද උඹේ හැටි! හුහ්... ඇත්ත කියපන්... චිරනි එක්ක උඹ කොහෙද රෝන්දේ ගියේ?"
මම උඩ ගියා.

"බම්බුව... මට චිරනි හම්බුනේ නැහැ. පලයන් යන්න මගෙන් කුණුහරප අහන්නේ නැතුව. බස් එකේදී මගේ පර්ස් එක නැති උන නිසා... ක ක.. කාඩුත් නැති නිසා මම ආපහු ආව"

චලන කමිසේ බොත්තම් ගලෝන ගමන් ගේ ඇතුලට ගියා. ඒ මොකද්ද මම ඒ කලේ? අම්මප මම හෙන කෙබරයක්නේ චලනයාට  කිව්වේ.. මගේ පපුව 'ඩක් .. ඩක් ' ගානවා.

'අපරාදේ ක්ලාස් එක' පලවෙනි වතාවට මට හිතුන. එතකොට චිරනිත් අද ක්ලාස් ඇවිත් නැද්ද?

"කවුද යකෝ ඒ පවුකාරය? උඹේ පර්ස් එකට ගහන්න තරං . දිට්ඨ දැම්ම වේදනීය කර්මයක් පලදෙන්න ඇති.. හෙහ් හෙහ්..."

මම කකුල් දෙකත් පුටුව උඩට අරගෙන ගුලි උනා.

"කෑවද"
"නෑ ! කමු මටත් බඩගිනියි"
හැබෑටම මට මෙලෝ ගින්නක් දැනිල තිබ්බේ නෑ ඒ වෙනකල්. අපි දෙන්නම ගියා බත් එකට දෂ්ට කරන්න.

"මොකද උඹ හොරෙන් බලන්නේ? මොකද්දෝ හොරයක් තියෙනවා. මට අද තමුසෙගෙ මූඩ් එක අල්ලන්නේ නැහැ"

මම චලනයාගේ වචන වලට ගැස්සුනා.
ඇත්ත වෙන්න ඇති. හිතේ හොරයක් තියාගෙන මට එක චලනයාගෙන හංගන්න බෑ. එකට ගර්භාෂයෙන් එළියට පැනපු අපි දෙන්න අතරේ රහස් කියල දෙයක් නම් තිබ්බෙම නැහැ. ඒ වගේමයි හිතට දැනෙන දෙයක් හංගන්නත් බැහැ. ඒත්  මගේ හිත හැංගෙනවා. කොටිම්ම  මම කලිසම් කමිස පවා වේලලා ගෙට අරගෙන තිබ්බේ.

චලනව මග ඇරලා මම කාමරේට වැදුනා. ක්ලාස් නොගිය එක චලනයා අම්මට කියන්නේ නැහැ. මට ඒක විස්වාසයි. ඒත්  ඉතින් විස්තරේ කියනකල්ම මාව බයිට් කරයි.

රෑ  තිස්සෙම මගේ ඔලුවේ හොල්මන් කලේම දවල් වෙච්ච සිද්ධිය. චලනට වඩා පරක්කු වෙච්ච නිසා මටත් එක්ක ඉඩ අල්ලලා තියන්න චලනයා කලින් බස් එකේ ගියා. නැත්තම් අපි දෙන්නම එකටමයි ක්ලාස් යන්නේ.

මම රෝහලට ගෙනිච්ච කෙනාගේ මුණ යන්තමට මතකයි. ඒත් හරියටම මතක නැහැ. ඒ වෙලාවේ දැනුනේ නැහැ වගේ තේරුනත් දැන් හීනෙන් වගේ ඒ ස්පර්ශයේ තිබ්බ මෘදු මොලොක් බව මට දැනෙන්නට උනා.

"මොකද බං උඹ කොට්ටේ බදාගෙන ඇඹරෙන්නේ ?ලෙඩක්ද නැත්තම් හැටිද?"
ඇඳෙන් පැනලා ඇඳ යටට රිංගන්න හිතුනා. මේ කරුවලේ මුට තියෙන රුදාවක් හැබෑට!

"නිදා ගනින්කෝ වාත නොවී"
"කාපන් මචෝ එස්ලෝන් පයිප්ප. ඕව දිරවන ඒවා එහෙම නෙවෙයි ඔන්න"

මම කොට්ටේ  ඇතුලට මුණ ඔබාගෙන අනික් පැත්තට හැරුන.

ලෙඩාට කොහමද දන්නේ නෑ? හුගක් අමාරුද දන්නේ නැහැ. ඊ.ටී. යූ ලුනේ. ඒ කියන්නේ? ICU නම් දන්නවා.  බයවෙන්න දෙයක්  නැහැනේ කියල කිව්වේ. ගෙදරට පණිවිඩයක් ඇරියද දන්නේ නා. ෂඃ ! මට ඒක මතක මතක නැති උනානේ. කොටිම්ම කවුද; කොහෙද කියලවත් දන්නේ නැහැනේ.
හදිස්සියෙවත් මැරුනොත් එහෙම? මිනිය මට ඒවිද? හුට එහෙම උනොත් වීරයා මලා තමයි...

************************************************* 

12 comments:

  1. Replies
    1. හෙහ් හෙහ්... මේ කතාව ඉල්ලලා අස්කරගන්න ඔට්ටු නෑ මේ කතාව අවසානයේ හරිද?

      Delete
  2. එක හුස්මට කියවමින්....

    ReplyDelete
  3. / පොතක් උලුක් කරගෙන ආපු පැණි ආප්පයක් වගේ මුණක් තිබ්බ හෙදිය.../

    යකෝව්...ඒ අපෙ ප්‍රියම්බිකාගෙ අයියගෙ වයිෆ්...මේක දැක්කනං එහෙම උඹව මරාගෙන කාවි...:)

    ReplyDelete
    Replies
    1. හි හි හි... ආයෙත් හොස්පිටල් යන වැඩක් !

      Delete
  4. කලනයගේ කතාව කියවල ඉවර වෙලා බ්ලොග් එකට පාර දැනගෙන ඇවිල්ල දැන් මේ මුල ඉඳන් කියවනවා..

    ReplyDelete
    Replies
    1. කලණ නිසා ආව කිව්වනෙ? අම්මෝ වෙල්කම්

      ( හෙමිහිට: හොර දෙටුවා! ලියන්නෙ නෑ කම්මැලි ඉබ්බා!!!!&$$$;:;)

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...