Wednesday, October 26, 2016

39. වීදියේ මතක






කොල්ලුපිටිය කියන්නේ නගරයක්, ගමක් හරි තැනක් හරි නෙවෙයි. තනිකරම මතකයන් ගොඩක්! එක පෙළකට  මතක්කරගන්න බැරි ,  නමුත් කොහෙන් ඇරඹුවත් කොල්ලුපිටියෙන් කෙලවර වන මතකයන් එන, අද ඒ මතක මංපෙත් සුවඳ තැවරුණු වීදියක් දිගේ ඇවිදගෙන යාමක් කියන්නේ... කොතරම්ම අතීත ස්මරණයක්ද ? කොටිම්ම සමාන්තර ලෝකෙක ඇවිදගෙන යනවා වගේ. මොකද කිව්වොත් ඒ අඩි තබාගෙන ගිය පොළව වත් දැන් තියෙන ඉන්ටලොකින් ගල් නොතිබුණු සිමෙන්ති පලු එක්ක ඇතිවුණු මතකයන්..

කොටිම්ම සිමෙන්ති පළුවක කකුල පැටලිලා වැටෙන්න ගිය ඒ මොහොත කොතරම්ම ලොකු මතකයක්ද මට? වැටෙන්න නොදී අල්ලගන්න ගියපු තරුණ කොලුගැටයෙක් තාමත් ඒ වීදියේ , ඒ සිමෙන්ති පළුව අසල මම ආයෙමත් වැටෙන්න යනකල් බලාගෙන ඉන්නවා.. අල්ලගන්න!

ගාලු පාර පුරාම තියෙන්නේ ඒ මතක. කොල්ලුපිටියෙන් ඇරඹුණාම මතකයන් තියෙන්නේ කඩපේලි පවා අහුවෙන විදියට.

කානිවල් අයිස්ක්‍රීම් කියන්නේ එහෙම මිහිරි මතකයක්. ඉතාම ලාමක කෙල්ලක් විදියට කානිවල් අයිස්ක්‍රීම් කන්න කියලා ගියපු මොහොතේ, මටවත් වඩා උස කළුපාට පාත්තරයක් වගේ අයිස්ක්‍රීම් එකක් මගේ ඉස්සරහින් තියලා ගිහින්, අල්ලපු මේසේ වාඩිවෙලා මාව ඒ අයිස්ක්‍රීම් වලට වඩා වේගෙන් උණුකරපු ඇස්දෙකක් මම කොහොම අමතක කරන්නද? අදත් මම ඇතුලට නොගිහින් ඒ පුටුව තිබුන තැන දිහා හොරෙන් බලනවා.

අදත් දැනෙන, මනසින් විඳින ඒ අයිස්ක්‍රීම් සුවඳ එක්කම හිත ඇතුලේ තියෙන ඊයම් බරුවක් රත්වෙන්න පටන් ගන්නවා.

ගිය සතියෙත් මම බැලුවේ ඒ පුටුව, මේසය දිහාමයි!


ඉන්ලන්ඩ් කෝපි බොන්න මාව පුරුදු කළා නෙවෙයි, ඒක ඇබ්බැහියක් වෙනකල්ම නොනවත්වාම මට කෝපි පොවපු, කෝපි කෝප්පේ ඉස්සර කරගෙන මාව තනිකරගන්න සමත්වෙච්ච වීරයෙක් තාමත් ඒ වීදියේ ඇති.. බාගවෙලාවට දැන් ඒ කෝපි හල නැති නිසා බැරිස්ටාවට වෙලා වත් මම එනකල් ඇති.

මෙහෙම දේවල් වෙන්නේ මට විතරයි කියල දූපත් මානසිකත්වයක් තිබ්බ මගේ දූපත මහාද්වීපයක් උනේ අහම්බෙන්.

ඒ තමයි මේ ගීතය









.... එකම වීදියේ දෙතුන් වතාවක්
එහා මෙහා අපි  ඇවිද ඇතී
බිමට නැමුණු මල් අතු ඉති අතරේ
අපේ කතාවන් රැඳී ඇතී.....


මට අදාළ වෙන්නේ ඒ කොටස විතරක්ම වෙන්න ඇති. මොකද නපුරු මම ඒ පුංචි කඩවසම් තරුණයාට ඊළඟ පදයක් කියන්න දුන්නෙම නැති නිසා වෙන්න ඇති.

අදත් ඒ මතක මාව වල්මත් කරනවා. මට මාවම තේරුම් ගන්න බැරි අමුත්තෙක් විදියට පෙනෙනවිට, ඒ කඩවසම් තරුණයාගේ වේදනාත්මක ඇස්දෙක ආයෙමත් මට වඩා මම ඔහුව හඳුනන බව පසක් කරනවා.


ගාලු පාර අද අලුතෙන්ම අලුත් කරලා. තාමත් මට මගේ මතක මකාගන්න බැරි වෙලා කියන්න බැහැ, මම ඒවා මකන්න ලෝබයි, ඒ තමයි ඇත්ත!

සමහර වෙලාවට පයින් ගියත්, වාහනයකින් පහුකරගෙන ගියත්, මම ඒ මතක අහුමුලු අතාගාන එක තාම නතර කරන්නේ නැහැ. කොළඹට අයිති නැති මාව, කොළඹ කෙනෙක් කරන්න හැදුවේ නැත්තේ ඇයි කියලා ඒ තරුණයා හා බැඳී මතකයන් අතරින් ගමන් කරමින් හැමදාම හිතුවත්, තාමත් පිළිතුරක් හදාගන්න බැහැ. මොකද මම දන්නවා ඒ පිළිතුර තාමත් තියෙන්නේ වෙනත් කොහේ හරි කියල. ඉතින් මම තාමත් කොළඹට අයිති නැහැ.... ඔව්... අයිති උනෙත් නැහැ


ප.ලි: ගාලු පාරේ තවත් සුවිශේෂී තැනක් තමයි ගල්කිස්ස සහ ගල්කිස්ස උසාවිය ආශ්‍රිත කැෆටේරියා... හා හා හරි හරි ඉතින්...... ඇත්ත. එතන තමයි, *** *** විදුහල! හරි ඉතින් ඔව්.. ජිම් එක තමයි !!!


8 comments:

  1. දුක තමයි ලිඛිතා...

    ReplyDelete
    Replies
    1. දුකම කොයිතරම් සතුටක්දෝ.....

      Delete
  2. කොහොමහරි අන්තිමට අපේ ඉස්කෝලෙ ගැනත් හීනියට ලියලා තියෙනවා... මොකෝ ජිම් එකට ඔච්වර ආසා... :--)

    ReplyDelete
    Replies
    1. ඒ ගැන හීනියට ලියල කෙලවර කරන්න බැහැ අනේ.... ඉයාව්!!
      ජිම් එකට ඉතින්...... ආසයි...... වැඩියෙන්ම ආස ජිම් එක ඇතුලේ හුස්ම හිරවෙන පරිසරයට ! හි හි හි

      Delete
  3. හිතට දැනෙන්න ලියන ඔබේ තවත් ලස්සනම නිර්මාණයක් ලිඛිතා

    ReplyDelete
  4. ටොප් සටහනක්!!!!!!!

    කොල්ලුපිටිය මගේ ජීවිතේ බොහෝ අත්දැකීම් ඇති නගරයක්.

    ඔබ මේ කොල්ලුපිටිය දැක තිබේද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      තිබේ තිබේ...... කාලෙක පටන් කියවමි

      Delete
Related Posts Plugin for WordPress, Blogger...