විසිතුරු කොල

Tuesday, February 11, 2020

237. මම සිහින දකිමි


Image result for kabhi kabhi + song


වරින් වර මා සිත මුමුණයි
නුඹ මා වෙනුවෙන්ම මැවුණු බව
මින් පෙර - තාරුකා අතර දිදුලමින් හිඳ,
නුඹ මා වෙනුවෙන්ම මිහිමතට කැඳවිණි...

විටෙක මම සිතමි
ඔබ බුහුටි සිරුරද, දෑසද මටම හිමි බව...
තුරුපත් අතර සෙවනැලි සෙවන මට බව...
ඔබ දෙතොල් , කෝමල දෑත් මට අයිති බව...

විටෙක මම මවාගමි
මංගල බෙර වැයුම් මග දෙපස වැයෙතැයි...
මංගල රාත්‍රිය මේ දැන් එළඹතැයි..
නුඹ මුහුණ වසාලු සළුපට සෙමෙන් මම හරිතැයි..
නුඹ විලිබරව මා උරෙහි ගුලිවෙතැයි...

විටෙක මම සිහින දකිනෙමි
නුඹ මෙලෙසින්ම ප්‍රේමයෙන් මා හා
දිවි ඇති තුරා සිටිනා බව...
නුඹේ මේ පෙම්වත් බැල්ම
සැමදා මෙලෙසින්ම මා වෙත රැඳෙන බව...
දනිමි ඔබ මට ආගන්තුක බවද - නමුදු.........
මම සිහින දකිමි...




මේ ගීතය මම දකින බොහොම ප්‍රේමනීය ගීතයක්. අහන වාරයක් පාසා උනත් එපා නොවෙන ප්‍රමාණයේ රසයක් තියෙනවා. මේ ගීතයේ අර්ථය ගන්න පුළුවන් තරමින් උත්සහ කළා... අහලා බලන්නකෝ...




Tuesday, February 4, 2020

236. සුහදිනියේ - 30 | මධුලිකා අනතුරක?





 කලින් කොටසට 

විධාරණය වන්නට ආසන්න ගිනිකන්දක් තරණය කරන තිදෙනෙකු සේ අප තිදෙනා එකිනෙකාට වෙනස් දිශා වලින් බංගලාව දෙසට ගමන් කලේ සැලසුම් සහගතවය. තාත්තා පැමිණ ඇත්තේ කා සමඟ දැයි මට එකවරම සිතාගත නොහැකි විය. එබැවින් මම ඉදිරිපස මිදුල දෙසින් පිවිසුණු අතර මම මධුලිකා සුන්දර් සමඟ වතු යායේ තාවකාලික ඩිස්පැන්සරිය වෙත පිටත්කොට හැරියෙමි.

මම එනවිටදී තාත්තා සිය ජීප් රථය තුලින් බැස මිදුලේ සක්මන් කරමින් සිටි අතර මගේ උකුසු ඇස්  ඒ මේ අත දුවමින් ඔහුගේ ඔත්තු සොයන්නට විය. පෙනෙන අයුරින් ඔහු හා කිසිවකු පැමිණ නොමැති හැඩකි. මා දුටු වනම තාත්තා සක්මන නවතා මා දෙස වරක් බලා සිට පෝටිකෝවේ ඇති හාන්සි පුටුව වෙත ඇවිද ගියේය. ඉන් අදහස් කරන්නේ මම ඔහු පසුපස පැමිණිය යුතු බවකි.

මම නිවස තුලින් එන ශබ්ද වලට කන් දුන්නෙමි. කිසිවකුත් පැමිණ නැතිවාද?

"මම මේ ... සුන්දර් එක්ක කෝවිල් ගියා "

තාත්තා කිසිවක් පැවසුවේ නැත. ඔහු අත තවමත් ජංගම දුරකථනය රැඳී තිබිණ. එය කුඩා කනප්පුව මත තැබූ තාත්තා සිය වම අතින් නිකට පිරිමදින්නට විය. එය එතරම් සුබ ලකුණක් නොවන බව මම දනිමි. ඒ ඔහුගේ කල්පනාකාරී ස්වභාවයයි.

තාත්තාගේ මේ හැසිරීම් සියල්ල මල්ලිත්, ඊට වඩා මමත් හොඳින් අවබෝධකොටගෙන සිටින්නේ වඩා ශරීර සෞඛ්‍යට යහපත් බැවිනි. ඔහු සිය පුටුවට ඉදිරියෙන් ඇති අනෙක් පුටුව මට දැක්වූයේය. මම චකිතයෙන් යුතුව එහි හිඳගත් අතර, හිස තුල දහසකුත් එකක් පිළිතුරු අනේක ආකාරයෙන් පටලවමින් බොරු කන්දක් ලැස්ති කරගත්තෙමි.