Sunday, July 9, 2017

118. රතුපාට මල් - 3


රතුපාට මල් - 1
රතුපාට මල් - 2



"එතකොට මෙතැන මොකද්ද මේ තියෙන කැළල ?"

මට එකවරම කිසිවක් කරකියාගත නොහැකි විය.

පන්තියේ මද විවේකයෙන් ලද ඉසිම්බුවෙන් සිසුන් සියල්ලෝම තැන තැන කවාකාර ලෙස රැස්වී, එකිනෙකා හා දොඩමලු වෙමින් සිටියහ. ඒ කිසිවෙකුට අයිති නොමැතිව මගේ ජංගම දුරකතනයට එබෙන්නට හදද්දී, එකවරම මේ මුහුණ ඉදිරියට පැමිණි තෙලෙන් බදිනලද රටකජු ගොට්ටක් විසින් තවදුරටත් සිටිය නොහැකි මගේ වෘතය කඩා දමන ලදී.

ඒ කවරෙකුවත් නොව 'විකුම්' ලෙස හඳුනාගත් 'කලාවට බරැති' වෛද්‍ය ශිෂ්‍යයාය.

තෙම්පරාදු කරනලද දුඹුරු පැහැයට හුරු දම් පැහැති රටකජු විසින් නිරායාසයෙන්ම මා එම කවයේ මුල්ලකට ඈඳා ගන්නා ලදී.

ආගිය තොරතුරු අසා සිටිනවා විනා රටකජු වලට විවරවන මගේ මුව කිසිවකට පිළිතුරු දුන්නේ නැති බැවින් දෙතුන් වරක්ම එලෙස පොළඹවා ගන්නට මුහුණ පුරා වැඩුණු රැවුලකුන් හෙබි , පාංශු දේහදාරී පුද්ගලයා උත්සුක වෙනු මට දැනුනෙන් වඩාත් ඒවා මගහරින්නට මම උත්සුක වීමි.

මාතෘකා මාරු වුයේ රටකජු වලටත් වඩා වේගයෙනි. අවසානයේදී ඒවා උපන්ලප දක්වාම විහිදී ගොස්, ඉහත පැනය මාවෙත අර පුද්ගලයා යොමුකරනතුරුම මම නිහඬව සිටියෙමි.

ඒ පැනයත් සමඟම සියලු ඇස් මගේ දෙසට යොමුවුයෙන් මම පළමුව තැතිගත්තද , දෙවනුව යම් කෝපයක් සමඟම මගේ සුපුරුදු ආවේගයද ඇතුලාන්තයෙන් නැගී එන්නට විය.

"... නෑ මම ඇහුවේ.. ඒක නිකන් කැපුමක් වගේ හින්ද.. උපන් ලපයක් වගේ දෙයක් වෙන්න බෑ.. කැළලක් නේ?"



මගේ වම් කම්මුලෙහි යටි තොල්පටට ආසන්නව පැවතුනු කැළල වම් අතින්ම වැසුනේ අනිච්චානුගවය.

මම දැවෙන දෑසින් ඔහු දෙස බැලුවෙමි.

කවරෙකුගේ හෝ වාසනාවට ගුරුතුමා පංතිය නැවත ආරම්භ කළේය. පාඩම අතරතුරදී වුවද මට අර පුද්ගලයා ගැන ඇතිවුයේ නොපහන් කමකි. මුහුණ පුරා වැඩුණු රැවුල නිසා ඔහුගේ මුහුණේ වූ හැඟීම් කියවීම උගහට වුවද, ඔහුගේ බොරපැහැති ඇස් වල ගුප්ත බවක් තිබිණි. මේ පුද්ගලයා තවමත් තිස්විය නොඉක්මවූ සිය මිතුරන් අතරේ මට පෙනුනේ බලවත් නොගැලපීමක් ලෙසයි.

පංතිය නිමවී සියල්ලෝම කුරුබිලිය ඔස්සේ ආපසු එමින් සිටියෝය.

"සොරි"

බෑගය අතට ගෙන පංතිය පැවැත්වෙන ශාලාවෙන් එලියට බට මා ඉදිරියටම පැමිණි 'අර පුද්ගලයා' අනපේක්ෂිතව පැවසීය. මම නොපහන් බැල්ම වෙනස් නොකොටම

"ඊට්ස් ඕකේ "

කීවෙමි.

එහෙත් ඔහු නොසෙල්වී මගෙන් තව යමක් ඇසෙනතුරු මෙන් බලාසිටියේය. උසින් ඉතා අඩු මම ඔහු ඉදිරියේ දිස්වුයේ අඟුටුමිට්ටෙකු පරිද්දෙනි. තද නිල්පාට ලිනන් කමිසය හැඳ , එයටම ගැලපෙන ක්‍රීම් පැහැයෙන් යුතු ලිනන් සැහැල්ලු කලිසමට ඔහු දමා සිටි සපත්තු මා නෙත ගැටුනේ ඒ මොහොතේ වීම පුදුමයක්ද?


------------------------------

සතිය පුරාම එක හුස්මට දිවීමෙන් මම හෙම්බත්වී සිටියෙමි. සිසුන් විසින් ඉදිරිපත් කරනලද පර්යේෂණ යෝජනා ගොඩගැසී ඇත. මගේ හිස තදින් වේදනා දෙන්නා සේ දැනේ. දුරකතනයේ ශබ්දයට මම උදාසීන බවින් එය අතට ගතිමි.

'Honey is calling....'

කියා එහි දිස්වේ. ඉබේම පිටවූ බරැති සුසුමක් සමඟ මම දුරකථනය කනට යොමුකලෙමි.

"ඇයි ?"

"මම අද එනකොට පරක්කු වෙනවා. කෑම ගේන්නද?"

මගේ හිත ඔද්දල් වී ගියා සේ දැනුනි.

"අනේ.... කීය විතර වෙයිද? මම ඉන්නම් ඔයා එනකල් ඔෆිස් එකේ?"

"එපා කුන්චි, ඔයා යන්න. එක්කෝ... හ්ම්ම්ම් ඉන්නකෝ මම තව ටිකකින් ගන්නම්"


හිත තුල කැළඹෙන කෝපය උත්සන්න වන ලකුණු මටම දැනේ. එකවරම මට මෝහන පංතියේ රැවුල්කාරයා සිහිවුයේ මන්ද යයි මම නොදනිමි. ඒ ඇස්වල තිබුණු ගුප්ත බවත්, පෙනුමේ තිබුණු අමුත්තත් මට දැනෙන්නේ දැන් නොවේද?

මම අසල වූ මගේ කුඩා අභ්‍යාස පොත අතට ගෙන, පැන්සලයෙන් අනායාසයෙන්ම එහි එම පන්තියේ මුහුණු කිහිපයක්ම ඇඳිමි. රැවුල්කාරයා මම ඇන්දේ අවසානයටය. ගුප්ත යයි සිතෙන ඔහුගේ ඇස්වල කුමක්දෝ යමක් මට පැන්සලයෙන් නගාගත නොහැකි ලෙස හැඟේ.


දුරකථනය නැවතත් හඬයි. බලාපොරොත්තුවක් නැතුව වුවද මම එය දකුණු කන අසලින් තබාගත්තෙමි.

"කුන්චි..."

"හ්ම්ම්"

"එහෙනම් ඔයා ඔෆිස් එකේ ඉන්න. මම ඇවිත් ගන්නම්. අපි යමු ඩිනර් වලට එළියට. මම එන්නම් නවය වෙනකොට"

"හ්ම්ම්"

රාත්‍රී ආහාරයට එලියට යන්නට තරම් මානසිකත්වයක් මට නැතිවා වැනිය. මම අත බැඳි ඔරලෝසුව බැලීමි. තවමත් පහ පසුවී ගතවී ඇත්තේ මිනිත්තු තිස්පහක් පමණි.

තවත් හෝරා කිහිපයක් ඉතිරිව තිබුනද වෙනත් කාර්‍යයකට හිත යොදවන්නට මට හිතක්ද නැත. මම අභ්‍යාස පොතෙහි අඳිනලද රූප දෙස බලා සිටියෙමි. මට නැගෙන්නේ සරදම් සිනාවකි.

සත්‍ය වශයෙන්ම මම හුදු විනෝදය තකා ආරම්භකළ මෝහන විද්‍යා පංතිය දැනටමත් නිස්සාර බව දැනී ඇති බැවින්, ඒ වෙලාවේ දැනෙන කාන්සිය මකාගන්නට වෙන යම් වැඩක්‌ සොයාගතහොත් මැනවැයි මට සිහියට නැගුණි. ගුරුවරයාගේ කතා විලාශය නිසා පංතිය තුල සිටින විටදී වෙනසක් නොදැනෙතත් මේ කාලය මීට වඩා යහපත් යමකට යොදන්නට මට සිතුනි.

නැවතත් නාදවුනේ දුරකතනයයි.

"කුන්චි.... ඔයා යන්න එහෙනම් මැන්ගෝ ට්‍රී එකට. මම කෑම ලෑස්තිකරන්න කිව්වා. මම කෙලින්ම එතනට එන්නම්"

"හ්ම්ම්..."

දුරකථනය විසන්ධි කොට මම නැවතත් පුටුවේ හරි බැරි ගැහී හිඳගතිමි. මෝහන පංතියේ කාලහෝරාවටම මට වෙනත් යමක් සොයාගත යුතුය. සුපුන් නොමැතිව නිවසේ සිටීමට මට දැනෙන්නේ මහා පාලුවකි.

එකවරම මට සිහියට ආවේ පෙරදින දෙල්කඳ මංසන්ධියේදී හමුවූ තෙසක් රියෙහි රියදුරාගේ කතාවයි.

"නෝනා..... එයා නෝනව ප්‍රාර්ථනා කරලා තියෙනවා. ගොඩාක් පින් කරලා , නෝනාම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ උනාට...."

මගේ සිත පිරීගියේ නැත. ඒ වෙනුවට කුමක්දෝ අනියත බියකින් මම ඒ මොහොතේ පිඩා වින්දා කියා මතකයට නැගේ. ඒ එක්කම රියදුරා කි දෙයින් මම සත්‍ය වශයෙන්ම දොම්නසට පත්වීමි. මට නිතැතින්ම නැගුනේ සුසුමකි. විය නොහැකිය.

'කොහෙද යන පිස්සෙක්ද කොහෙද'

මම එසේ සිතා ඔහු කී දෙය වසුරු පිඩක් සූරා ඉවත් කරන ලෙසටම උවමනාවෙන්ම පිස දැමුයෙමි. එහෙත් ඔහු නොනවත්වා දොඩමළුය.


"... මම නෝනා... සෑහෙන්න භාවනා කරනවා. නෝනා දන්නවා නේද අර සමාධි අසපුව. අන්න එතන... "

".............."

"තවත් එකක්... නෝනා... ඔය .... නෝනට කියන්න... ඔය එක එක මිනිස්සු බොහොම පරිස්සමෙන් නෝනා. අර කළු කෙට්ටු මහත්තයා ළඟදීම නෝනට කරදරයක් කරනවා... ඔෆිස් එකේ... බොහොම පරිස්සමෙන් ලියුම් කියුම් වලට අත්සන් එහෙම කරන්නේ...."

ඒ මොහොතේ මම ඇත්තටම එයට සිනාසුනා මිස ඔහුගේ හිත තැලෙන්නට යමක් නොකීවෙමි. කළු කෙසඟ මිනිසුන් ඕනෑම තැනක සිටින බව තාර්කික සත්‍යකි.

රථයේ පසුපස හිඳගෙන , ඒ කිසිවකට විශේෂ අවධානයෙන් නොගිය මම ඔහුගේ වචන එතරම් ගණනකට ගත්තේ නැතත්, අද දහවල් සිද්ධියෙන් පසුව මට ඔහුගේ ඒ වචන එකවරම සිහිගැන්වීම වැලැක්විය නොහැකි විය.




12 comments:

  1. මේ මොකෝ කුංචිට වෙන්න යන්නේ... හිත මහ පුදුම තැනක්නේ...
    අද උදේ බ්ලොග් බලනකොට මේ කතාවේ කොටසක් දාලා නෑනේ ටික දවසකින් කියලා හිතුව විතරයි... මෙන්න මෙයා ඒ කොටස දාලා...

    ReplyDelete
    Replies
    1. කුන්චිට වෙන්න යනදේ මමත් දන්නේ නැහැ. බලමුකෝ නේද?

      දවස් කීපයක්ම දාන්න හිතාගෙන හිටියත් ලියපු කොටස ගැන තෘප්තිමත් නැති නිසා දැම්මේ නැහැ. අන්තිමට ඔන්න ඔහේ කියලා දැම්මා. නැත්තන් ඉදිරියට ලියවෙන්නෙම නැහැ.

      Delete
  2. ලිඛිතා ඇත්තටම මෝහන පන්ති තියේද... මේ චිත්‍ර ඇන්දෙත් ඔයාද... ඊඇල්ඟ කොටස ඉක්මන්ට දාන්න හොඳේ.. ඉවසීමක් නෑ මට..

    ReplyDelete
    Replies
    1. එහෙම පන්ති තියෙනවා. මම අහලා තියෙනවා. මම හිතන්නේ උඩින් කමෙන්ට් කරලා තියෙන නිර්මාණි දන්නවා යමක් ඒ ගැන කියන්න. මම නම් කවදාවත් එහෙම තැනකට ගොස් නැත!

      චිත්‍ර....?? හ්ම්ම් හ්ම්ම්

      බලමුකෝ ඉස්සරහට

      Delete
  3. හ්ම්ම් ම්ම්ම් ... ඈහ් ...... ඉතිරිය ඉතිරිය .... ඉක්මනට ....

    ReplyDelete
    Replies
    1. ඈහ් ගෑවුනේ මොකෝ අනේ?
      ඉතිරිය දාන්නම්කො... ඉන්ට අනේ ඉවසලා

      Delete
  4. පරන ටික කියවනකන් මට වෑල්
    අපිට නොතේරන කවි වලට වඩා උබගේ මේ නොතේරෙන කතා හොදයි

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් බැරි.
      මම මේ කවියක් තලාගන්නේ කතා ලියන්න තියෙන කම්මැලිකමට! කොහෙද මෙයාලත් එක්ක බැහැනේ

      Delete
  5. 2 වෙනි කොටස ඉවර වෙලා 3 වෙනස්ම තැනකින් පටන් අරන් තිබ්බ නිසා පොඩි අවුලක් උනා කියවනකොට ඒත් ඒක පස්සෙ හරි ගියා... ඔහොම යන්කෝ කතාව ගැන දැන්ම අනාගත වැකි නොකියා ඉන්නම්. මේ කුන්චනා මරු නම ඈ...

    ReplyDelete
    Replies
    1. සොඳුරු,
      මගේ ඔලුවේ තියෙනවා එක ආකෘතියක්. ඒකෙදි මම සමහර සිද්ධි මැද්දෙන් පටන්ගන්නවා. මගේ නොහැකියාවට අනුව ඒක සාර්ථක වෙන්නේ අඩුවෙන්. මට මේ ෆිල්ම් ඈන්ගල් සහ දර්ශනතල උණක් තියෙනවනේ. ඒවා තමයි මේවාට හේතු!

      මේ කතාවේ නම් අනාගත වැකි කියන්න ලැබෙන එකක් නැහැ ගොඩක් වෙලාවට. බලමුකෝ නේද?

      ඒක නෙවෙයි... හොඳ හිතින් අර පලහිලව්ව ලියල ඉවර කරනවද?? මොකද්ද? මොකද්ද නෙවෙයි අර ප්‍රථම වසන්තේ කිව්ව එක... හුහ්.. නකර ගෑනි කියන්න එපා මම!

      Delete
  6. මේ පෙත්ත බැලුවා. ඒත් මට මල්පෙති දෙකක් මග හැරිලා. හිමීට ඒවත් බලන්නම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බය කුරාන්ට එපා මෙයා.. මම මේ බය උනා මගේ පෙත්ත ගැන ලෝකයා දැනගත්තදෝ කියල... තව ඩින්ගෙන් අහුවෙනවා! මෙයා මේ මල් පෙත්තක් ගැනනේ කල්පනා කලේ

      Delete

මේ කොලේ ගැන ලියමුද? ලිව්වේ නැතත් කියෙව්වට ස්තුතියි

Related Posts Plugin for WordPress, Blogger...